ඇයි මිනිස්සු දුක් විඳින්නේ?
ඇයි මිනිස්සු දුක් විඳින්නේ?
“ඇයි දෙවියනේ ඇයි?” මෙම හද කලඹන සිරස්තලය දිස් වුණේ සුළු ආසියාවට වින කළ භූමිකම්පාවකින් පසු පුළුල් ලෙස බෙදාහරිනු ලැබූ පුවත්පතක මුල් පිටුවෙයි. තුවාල වූ දියණියව උසුලාගෙන කැඩී බිඳී ගිය තම නිවසෙන් පිටතට එන, සොවින්බර පියෙකුගේ පින්තූරයක්ද එහි පළ කර තිබුණා.
යුද්ධ, සාගත, වසංගත හා ස්වාභාවික විපත් මගින් දොර කවුළු විවර කළේ දුක් ගිනි ජාලාවකට හා කඳුළු ගංගාවකටයි. එසේ නැතහොත් බොහෝදෙනෙකුට මරු කැඳවීමටයි. එමෙන්ම ලිංගික දූෂණය, ළමා අපචාරය සහ වෙනත් අපරාධවලට ගොදුරු වීමෙන් වේදනා විඳින්නන්ද සිටියි. හදිසි අනතුරු හේතුවෙන් තුවාල ලබන හා මරණයට ගොදුරු වන ලක්ෂ සංඛ්‍යාත ජනයා ගැන සිතා බලන්න. ඒ විතරක් නෙවෙයි, අසනීප, මහලු වයස සහ ප්‍රේමනීයයන්ගේ වියෝව නිසා තවත් බිලියන සංඛ්‍යාතයක් වේදනාකාරි අද්දැකීම් ලබා තිබෙනවා.
පෙර කවදා හෝ නොවූ විරූ අන්දමින් 20වන සියවස දරුණුතම වේදනාවන් විඳ තිබෙනවා. වර්ෂ 1914 සිට 1918 දක්වා පැවති 1වන ලෝක මහා යුද්ධයේදී සොල්දාදුවන් මිලියන දහයකට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කරනු ලැබුවා. සමහර ඉතිහාසඥයන් කියා සිටින්නේ, එය බොහෝ රටවැසියන්ටද මරු කැඳවූ බවයි. දෙවන ලෝක මහා යුද්ධයේදී, සටන්කාමීන් මෙන්ම අසරණ ස්ත්‍රීන්, දරුවන් හා මහලු පුරුෂයන් මිලියන ගණනක් ඇතුළු රටවැසියන් මිලියන 50ක් පමණ ඝාතනය කරනු ලැබුවා. ඉකුත් සියවස පුරාම, තවත් මිලියන සංඛ්‍යාතයක් ජාතියක් වශයෙන් සමූලඝාතනය කරනු ලැබූ අතර විප්ලවයන්ට, වාර්ගික ප්‍රචණ්ඩත්වයට මෙන්ම සාගින්න හා දිළිඳුභාවයට ගොදුරු වුණා. එලෙස “විශාල ලෙස සිදු වූ පිළිකුල්සහගත දේවල්” නිසා මිලියන 180කට වැඩි ජනතාවක් මියගිය බවට විසිවන සියවසේ ඓතිහාසික සිද්ධීන් (ඉංග්‍රීසියෙන්) නම් ප්‍රකාශනයේ සඳහන් වෙයි.
වර්ෂ 1918/19 හටගත් ස්පාඤ්ඤ සෙම්ප්‍රතිශ්‍යාව නිසා මිලියන 20ක ජනතාවක් මරුට බිලි වුණා. පසුගිය දශක දෙකේදී, මිලියන 19ක් පමණ ඒඩ්ස්වලින් මියගිය අතර තවත් මිලියන 35ක් පමණ ඒඩ්ස් හටගන්වන වෛරසයෙන් ආසාදිත වී සිටිනවා. ඒඩ්ස් නිසා දරුවන් මිලියන ගණනකට දෙමාපියන් අහිමි වී තිබෙනවා. එමෙන්ම මවගේ ගර්භයේදීම දරුවාට ඒඩ්ස් වැළඳීම නිසා, මියයන බිළිඳුන්ගේ සංඛ්‍යාව මෙතකැයි කියා කිව නොහැකියි.
වෙනත් දේවල් නිසාද දරුවන් බොහෝ වේදනා විඳිනවා. වර්ෂ 1995 අවසානයේදී එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) මගින් සැපයූ තොරතුරු සඳහන් කරමින් එංගලන්තයේ මැන්චෙස්ට ගාඩියන් වීක්ලි මෙසේ පැවසුවා. “පසුගිය අවුරුදු දහය තුළ සිද්ධ වූ යුද්ධවලින් දරුවන් මිලියන දෙකක් ඝාතනයට ලක් වූ අතර, මිලියන 4ත් 5ත් අතර සංඛ්‍යාවක් ආබාධිතයන් බවටද, තවත් මිලියන 12ක් උන්හිටි තැන් අහිමිවූවන් බවටද පත් වී තිබේ. මිලියනයකට අධික සෙනඟක් අනාථයන් වී ඇත. එසේ නැතහොත් ඔවුන්ට දෙමාපියන්ගෙන් වෙන්වීමට සිදු වී තිබේ. එමෙන්ම මිලියන 10ක් මානසික රෝගවලට ගොදුරු වී ඇත.” මීට අමතරව, සෑම වසරකම ලොව පුරා මිලියන 40 සිට 50 දක්වා ප්‍රමාණයක් ගබ්සාවන් සිදු කරනු ලබන බවටද තක්සේරු කර තිබෙනවා!
ඉදිරියේදී මොනවා වෙයිද?
ඉදිරියේදී යම් දරුණු දෙයක් සිදු වෙයි කියා බොහෝදෙනෙක් කල්පනා කරනවා. විද්‍යාඥයන් කණ්ඩායමක් මෙසේ පැවසුවා. “මිනිස්සුන්ගේ ක්‍රියාකලාපයන් නිසා . . . අපිට අපේ සුපුරුදු ජීවිතය ගත
කළ නොහැකි වන සේ මෙම ජෛව ලෝකය වෙනස් විය හැකියි.” ඔවුන් ඊට මෙයද එක් කළා. “මේ මොහොතේ පවා පස්දෙනෙකුගෙන් එක්කෙනෙක් බඩගෝස්තරයවත් සොයාගත නොහැකි තරමටම දිළිඳුව සිටින අතර දහදෙනෙකුගෙන් එක්කෙනෙක් දරුණු ලෙස මන්දපෝෂණයෙන් පෙළෙනවා.” එම විද්‍යාඥයන් “ඉදිරියේ ඇති දේ පිළිබඳව සියලුම මනුෂ්‍යයන්ට අනතුරු ඇඟවීමක් දීමට” මෙම අවස්ථාව යොදාගනිමින් මෙසේ පැවසුවා. “දරුණු දුක්ඛිත තත්වයකට වැටීමෙන් මිනිසුන්ව වළක්වාගැනීමට හා අපේ නිවහන වූ මේ මිහිකත යළි එකතු කළ නොහැකි වන සේ කීතු කීතුවලට ඉරී යෑමට ඉඩ නොදීමට නම්, පොළෝතලය මත අපගේ ජීවිතය පවත්වාගෙන යන ආකාරයෙහි යම් වෙනසක් සිදු විය යුතුයි.”දෙවි මෙතරම් දුක් වේදනා හා දුෂ්ටකම පවතින්න ඉඩහැර තිබෙන්නේ මන්ද? තත්වය පිළිසකර කිරීමට ඔහු අරමුණු කරන්නේ කෙසේද? කවදාද?
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
ඉහළ, රෝද පුටුව: UN/DPI Photo 186410C by P.S. Sudhakaran; මැද, සාගිනි දරුවන්: WHO/OXFAM; පහළ, වැහැරුණු මනුෂ්‍යයා: FAO photo/B. Imevbore