Skip to content

පටුනට යන්න

දෙවි දුක් වේදනා නිම කරන කාලය ආසන්නයි

දෙවි දුක් වේදනා නිම කරන කාලය ආසන්නයි

දෙවි දුක් වේදනා නිම කරන කාලය ආසන්නයි

ලෝකේ කොයි පැත්ත බැලුවත් දකින්න තියෙන්නේ දුකම තමයි. සමහරු දුක් වේදනා විඳින්නේ විහින්මයි. එසේ වන්නේ ඔවුන් ලිංගික රෝග බෝ කරගන්න නිසා, එහෙමත් නැත්නම් මත්ද්‍රව්‍ය, මත්පැන් අනිසි භාවිතය හෝ දුම්පානයෙන් නරක ඵලවිපාක ලබන නිසයි. එපමණක්ද නොව, නිසි ආහාර පුරුදු පවත්වා නොගැනීම හේතුවෙන් සෞඛ්‍ය ගැටලුවලටද ඔවුන්ට මුහුණ දීමට සිදු වෙයි. කෙසේවෙතත්, බොහෝවිට දුක් වේදනාවන්ට තුඩු දෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුට පාලනය කරගත නොහැකි තත්වයන් වන යුද්ධ, වාර්ගික ප්‍රචණ්ඩත්වය, අපරාධ, දිළිඳුකම, සාගින්න, රෝග වැනි දේවල්. මිනිසුන්ට පාලනය කරගත නොහැකි තවත් දෙයක් නම් මහලු වීම හා මරණය හේතුවෙන් ඇති වන වේදනාවයි.

‘දෙවි ප්‍රේමයය’ කියා බයිබලයේ අපට සහතික කරනවා. (1 යොහන් 4:8) එසේ නම්, ප්‍රේමනීය දෙවිකෙනෙක්, සියවස් ගණනාවක් පුරා මෙලෙස දුක් වේදනා පවතින්න ඉඩහැර තිබෙන්නේ මන්ද? ඔහු මෙම තත්වයට පිළියමක් යොදනු ඇත්තේ කවදාද? මෙවැනි ප්‍රශ්නවලට උත්තර දීමට පෙර මිනිසුන් සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ කුමක්ද කියා අපි සෝදිසි කර බැලිය යුතුයි. දෙවි දුක් වේදනා පවතින්න ඉඩහැර තිබීමට හේතුව සහ ඒ සම්බන්ධයෙන් ඔහු කරන්න යන දේ තේරුම්ගැනීමට එය අපට උපකාර කරයි.

නිදහස් කැමැත්ත නමැති දීමනාව

දෙවි මුල් මිනිසාව මැවීමේදී සෑදුවේ මොළයක් ඇති නිකම්ම නිකම් ශරීරයක් පමණක් නෙවෙයි. තවද, දෙවි ආදම් සහ ඒවව මැව්වේ මනසක් නැති රොබෝවරුන් වීමට නෙවෙයි. ඔහු ඔවුන් තුළ නිදහස් කැමැත්ත පැලපදියම් කළා. ‘දෙවි තමන් සෑදූ සියල්ලම දුටුවේය, බලව එය ඉතා යහපත්ව තිබුණේය’ කියා පවසා තිබෙන බැවින් එය අතිවිශිෂ්ට දීමනාවක්. (උත්පත්ති 1:31) ඔව්, ‘ඔහුගේ ක්‍රියා සම්පූර්ණයි.’ (ද්විතීය කථාව 32:4) කිසි තේරීමක් කිරීමට ඉඩ නොදී අපේ හැම සිතුවිල්ලක්ම හා හැම ක්‍රියාවක්ම පාලනය කරනවාට අප කවුරුත් කැමති නැති නිසා අපි සියලුදෙනාම නිදහස් කැමැත්ත නමැති දීමනාව ඉතා අගේ කරන්නෙමු.

කෙසේවෙතත්, නිදහස් කැමැත්ත නමැති අතිවිශිෂ්ට දීමනාව අපට ලබා දුන්නේ සීමාවකින් තොරව යොදාගැනීමටද? මුල් ක්‍රිස්තියානීන්ට දේවවචනයෙහි මෙසේ උපදෙස් දෙනවා. ‘නුඹලා නිදහස් අය නුමුත්, ඒ නිදහස නපුරට වැස්මක් කොට නොව දෙවිගේ දාසයන් මෙන් ව්‍යවහාර කරන්න.’ (1 පේතෘස් 2:16) පොදු යහපත තකා සීමාවන් තිබිය යුතුයි. මේ නිසා, නිදහස් කැමැත්ත නීති මගින් පාලනය විය යුතුයි. එසේ නැතහොත් ව්‍යාකූලත්වයක් ඇති වෙයි.

කාගේ නීතිද?

නිදහස භුක්ති විඳිය යුත්තේ කෙතරම් දුරකටද කියා තීරණය වන්නේ කාගේ නීති අනුවද? මෙම පැනයට පිළිතුරු දීම සඳහා දෙවි දුක් වේදනාවලට ඉඩහැර තිබීමට ප්‍රධාන හේතුව දැනගැනීම වැදගත්. මිනිසුන්ව මැව්වේ දෙවි නිසා, මිනිසුන්ට තමන්ගේ සහ අන්‍යයන්ගේ යහපත සඳහා අවශ්‍ය වන නීති ගැන හොඳින්ම දන්නේ ඔහුයි. ඒ සම්බන්ධයෙන් බයිබලයේ මෙලෙස පවසයි. ‘ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹව ගෙනයන්නෙත් නුඹේ දෙවි වූ යෙහෝවා වන මමය.’—යෙසායා 48:17.

පැහැදිලිවම, වැදගත් කාරණය වන්නේ මෙයයි. මිනිසුන්ව මවා තිබෙන්නේ දෙවිගෙන් ස්වාධීනව කටයුතු කිරීමට නෙවෙයි. යෙහෝවා දෙවි ඔවුන්ව මැව්වේ ඔහුගේ ධර්මිෂ්ඨ නීතිවලට කීකරු වීම මත ඔවුන්ගේ සාර්ථකත්වය හා සන්තෝෂය රඳාපවතින අයුරිනුයි. දෙවිගේ ප්‍රොපේතවරයෙකු වූ යෙරෙමියා පැවසුවේ ‘යෙහෝවා, මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති නැති බව දනිමි. ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත’ කියායි.—යෙරෙමියා 10:23.

දෙවි මිනිසාව මැව්වේ ගුරුත්වය වැනි භෞතික නීතිවලට යටත් වීමටයි. එලෙසම, එකමුතු සමාජයක් ගොඩනැඟීමට ඔහු දී තිබෙන සදාචාර නීතිවලටද යටත් විය යුතු ආකාරයකටයි ඔහු මිනිසාව මැව්වේ. එසේ නම්, “නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් [යෙහෝවා] කෙරෙහි විශ්වාසකරන්න” කියා දේවවචනයෙහි අපෙන් ඉල්ලා සිටින්නේ හොඳ හේතුවක් ඇතුවයි.—හිතෝපදේශ 3:5.

මේ නිසා, දෙවිගේ පාලනයෙන් බැහැරව තම සාර්ථකත්වය උදා කරගන්න මිනිස් පවුලට කිසිදා හැකි වන්නේ නැහැ. ජනයා, දෙවිගෙන් ස්වාධීන වීමට උත්සාහ දරමින් එකිනෙකා අතර ගැටුම් ඇති කරන හා ‘මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩු කරන’ සමාජීය, ආර්ථික, දේශපාලනික හා ආගමික ක්‍රම අත්හදා බලනවා.—දේශනාකාරයා 8:9.

වැරදුණු තැන කොතැනද?

දෙවි අපේ මුල් දෙමාපියන් වූ ආදම් සහ ඒවට ලබා දුන්නේ පරිපූර්ණ ආරම්භයක්. ඔවුන් ශාරීරිකව හා මානසිකව පරිපූර්ණව සිටි අතර ජීවත් වීමට පාරාදීසමය උයනක් ඔවුන්ට තිබුණා. ඔවුන් දෙවිගේ නීතියට යටත් වූවා නම්, ඔවුන්ට දිගටම පරිපූර්ණව හා සතුටෙන් සිටීමට හැකියාව තිබුණා. කල් යත්ම, ඔවුන්ට පාරාදීස පොළොවක පරිපූර්ණ ජීවිතයක් ගත කරමින්, සන්තෝෂවත් පවුලක දෙමාපියන් වීමට හැකිකම තිබුණා. මිනිස්වර්ගයා සඳහා දෙවිගේ අරමුණ වූයේ එයයි.—උත්පත්ති 1:27-29; 2:15.

කෙසේවෙතත්, අපේ මුල් මුතුන්මිත්තන් සිය නිදහස් කැමැත්ත අනිසි ලෙස පාවිච්චි කළා. දෙවිගෙන් ස්වාධීන වීමෙන් තමන්ට සාර්ථකත්වයක් ලැබිය හැකියයි ඔවුන් වරදවා සිතුවා. දෙවිගේ නීතිවලින් පිට පැන්න ඔවුන් තමන්ගේම කැමැත්තට අනුව නිදහසේ ක්‍රියා කළා. (උත්පත්ති, 3වන පරිච්ඡේදය) ඔවුන් ඔහුගේ පාලනය ප්‍රතික්ෂේප කළ නිසා, ඔහු තවදුරටත් ඔවුන්ව පරිපූර්ණ අය ලෙස ජීවත් කරවීමට බැඳී සිටියේ නැහැ. ‘ඔවුහු දුෂ්ටකම් කළෝය. ඔවුහු ඔහුගේ දරුවෝ නොවෙති. ඔවුහු කැළැල් ඇත්තෝය.’—ද්විතීය කථාව 32:5.

ආදම් සහ ඒව දෙවිට අකීකරු වූ මොහොතේ සිටම ශාරීරිකව හා මානසිකව පිරිහීමට පටන්ගත්තා. ජීවනයේ උල්පත යෙහෝවායි. (ගීතාවලිය 36:9) මුල් මිනිස් යුවළ යෙහෝවාගෙන් වෙන් වූ නිසා අසම්පූර්ණත්වයට පත් වී අවසානයේදී මියගියා. (උත්පත්ති 3:19) ජාන උරුම වීමේ නීතියට අනුව, ඔවුන්ගේ ජනිතයන්ට උරුම වූයේ තම දෙමාපියන් සතුව තිබුණ දේ පමණයි. ඒ කුමක්ද? අසම්පූර්ණත්වය හා මරණයයි. එබැවින් ප්‍රේරිත පාවුල් මෙලෙස ලිව්වා. “එහෙයින් එක් මනුෂ්‍යයෙකු [ආදම්] කරණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණාක්මෙන්, සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය.”—රෝම 5:12.

පරමාධිපත්‍යය ප්‍රධාන ප්‍රශ්නයයි

ආදම් සහ ඒව දෙවිට විරුද්ධව කැරලිගැසූ විට, ඔවුන් අභියෝග කළේ ඔහුගේ පරමාධිපත්‍යයට, එනම් පාලනය කිරීමට ඔහුට ඇති අයිතියටයි. ඔවුන්ව විනාශ කර තවත් යුවළක් මැවීමට යෙහෝවාට හැකිකම තිබුණ නමුත් ජනයා සඳහා සුදුසුම පාලනය හා පාලනය කිරීමට අයිතිය තිබෙන්නේ කාටද යන ප්‍රශ්නය එමගින් නිරාකරණය වන්නේ නැහැ. තමන්ගේම අදහස් උදහස්වලට එකඟව තමන්ගේම සමාජයන් ගොඩනඟාගැනීමට මිනිසුන්ට යම් කාලයක් දීමෙන්, දෙවිගෙන් ස්වාධීනව කරන ඔවුන්ගේ පාලනය සාර්ථක වේවිද නොවේවිද කියා පෙන්වීමට හැකි වන බව නිසැකයි.

වසර දහස් ගණනකින් ගොඩනැඟී ඇති මිනිස් ඉතිහාසය අපට පවසන්නේ කුමක්ද? එම සියවස් ගණන පුරාම ජනයා සමාජ, ආර්ථික, දේශපාලනික හා ආගමික වශයෙන් බොහෝ ක්‍රම අත්හදා බලා තිබෙනවා. කෙසේවුවත්, දුෂ්ටකම්වල හා දුක් වේදනාවල නම් අඩුවක් නැහැ. විශේෂයෙන්ම අපේ කාලයේදී, “නපුරු මනුෂ්‍යයොත් රැවටිලිකාරයොත් රවටමින්ද රැවටෙමින්ද වඩ වඩා නරක්වන්නෝය.”—2 තිමෝති 3:13.

විසිවන සියවස විද්‍යාත්මක හා කාර්මික දියුණුවේ හිණිපෙත්තටම නැග්ගා. එනමුත් මුළු මිනිස් ඉතිහාසයේ දරුණුතම වේදනා අද්දුටුවේද එම සියවසේදීමයි. එමෙන්ම මොනතරම් වෛද්‍යමය දියුණුවක් ලබා තිබුණත්, දෙවිගේ නීති උල්ලංගනය කිරීමෙන් ඇති වන ප්‍රතිඵලවලින් මිදිය නොහැකියි. ඔව්, ජීවනයේ උල්පත වන දෙවිගෙන් වෙන් වූ මිනිසාට අසනීපවලින් හා මහලු වී මිය යෑමෙන් මිදෙන්න බැහැ. මිනිසාට ඔහුගේ ‘ගමන නියම කිරීමට අයිතියක්’ නැහැයි කියන එක කෙතරම් පැහැදිලිද!

දෙවිගේ පරමාධිපත්‍යය පිළිගන්න සිදු වේ

දෙවිගෙන් ස්වාධීන වීමෙන් විඳින මේ දරුණු අද්දැකීමෙන් නිසැකවම පෙනී යන්නේ, ඔහුගෙන් වෙන් වූ මිනිසාගේ පාලනය කිසිදා සාර්ථක නොවන බවයි. දෙවිගේ පාලනයට පමණයි සතුට, සමගිය, සනීපාරක්ෂාව සහ ජීවිතය ලබා දීමට හැකි වන්නේ. එපමණක්ද නොව, යෙහෝවා දෙවිගේ සදා නොවෙනස් වන වචනයේ, එනම් ශුද්ධ බයිබලයේ පෙන්වන්නේ, දෙවිගෙන් ස්වාධීන වී ඇති මිනිස් පාලනයේ “අන්තිම දවස්වල” අපි ජීවත් වන බවයි. (2 තිමෝති 3:1-5) මෙම පාලනයට හා දුෂ්ටකමට මෙන්ම දුක් වේදනාවලට යෙහෝවා ඉඩ දී තිබෙන කාලයේ අවසානය අතළඟයි.

නොබෝ කලකින් දෙවි මිනිස් කටයුතුවලට මැදිහත් වනු ඇත. ඒ ගැන ශුද්ධ ලියවිල්ලේ අපට පවසන්නේ මෙසේයි. ‘ඒ රජුන්ගේ දවස්වලදී [දැන් පවතින මිනිස් පාලනවලදී] ස්වර්ගයේ දෙවි කිසිකලක නැති නොවන්නාවූ රාජ්‍යයක් [ස්වර්ගයේ] පිහිටුවන්නේය. ඒකේ ආණ්ඩුව අන් සෙනඟකට අත්හරිනු නොලබන්නේය [යළි කවදාවත්ම මිනිසුන් පොළොව පාලනය නොකරනු ඇත]. ඒක ඒ සියලු රාජ්‍යවල් [වත්මන් පාලනයන්] පොඩි කර නැති කරන්නේය, එයද සදාකාලේටම පවතින්නේය.’—දානියෙල් 2:44, 45ආ.

බයිබලයේ තේමාව වන්නේ, ස්වර්ගික රාජ්‍යය මගින් යෙහෝවා දෙවිගේ පරමාධිපත්‍යය නිදොස් කිරීම යන්නයි. යේසුස් මෙය ඔහුගේ ප්‍රධානතම ඉගැන්වීම කරගත්තා. ඔහු මෙසේ පැවසුවා. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය.”—මතෙව් 24:14.

මිනිස් පාලනය වෙනුවට දෙවිගේ පාලනය පැමිණෙන විට බේරෙන්න හා විනාශ වෙන්න යන්නේ කවුද? හිතෝපදේශ 2:21, 22හි අපට මෙසේ සහතික කර තිබෙනවා. “මක්නිසාද අවංක අයවල් [දෙවිගේ පාලනය පිළිගන්නා අය] දේශයෙහි වාසයකරන්නෝය. නිර්දෝෂ අයවල්ද එහි නැවතී සිටින්නෝය. නුමුත් දුර්ජනයෝ [දෙවිගේ පාලනය පිළිනොගන්නා අය] දේශයෙන් සිඳදමනු ලබන්නෝය.” දේවානුභාවය ලත් ගීතිකාකරු මෙසේ ගායනා කළා. “මද කලකින් දුෂ්ටයා නැතිවන්නේය. . . . නුමුත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුමකරගන්නෝය; ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය. ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.”—ගීතාවලිය 37:10, 11, 29.

මවිතකර නව ලොවක්

දේවරාජ්‍යයේ පාලනය මගින් වත්මන් ක්‍රමයට නිමාවක් ගෙනෙන විට බේරෙන අය දුෂ්ටකම හා දුක් වේදනා තුරන් කළ පොළොවකට ඇතුල් වනු ඇත. මිනිස්වර්ගයා සඳහා දෙවිගේ උපදෙස් සපයනු ලබන අතර කාලයාගේ ඇවෑමෙන් “ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන් [යෙහෝවා] ගැන දැනගැන්මෙන් පොළොව [පිරීයයි].” (යෙසායා 11:9) මෙම ගොඩනංවනසුලු, ඒකාන්ත ඉගැන්වීම සැබවින්ම සාමකාමී, එකමුතු මිනිස් සමාජයක් බිහි කරනු ඇත. මෙවිට, යුද්ධ, මිනීමැරුම්, ප්‍රචණ්ඩත්වය, දූෂණ, සොරකම් හෝ වෙනත් කිසිම අපරාධයක් නොතිබෙනු ඇත.

දෙවිගේ නව ලෝකයේ ජීවත් වන කීකරු මිනිසුන්ට මවිතකර ශාරීරික සුවයන් ලැබෙනවා. දෙවිගේ පාලනයට විරුද්ධව කැරලිගැසීමෙන් ඇති වූ සියලුම නරක ප්‍රතිඵල ඉවත් කරයි. අසම්පූර්ණත්වය, අසනීප, මහලු වයස සහ මරණය අතීතයේ දේවල් බවට පත් වෙයි. බයිබලය අපට මෙසේ සහතික කරයි. “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය.” එපමණක්ද නොව ශුද්ධ ලියවිල්ලේ මෙසේද පොරොන්දු වෙයි. “එකල අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය, බිහිරන්ගේ කන්ද ඇරෙන්නේය. එකල කොරා මුවෙකු මෙන් පැන යන්නේය. ගොළුවාගේ දිව [සතුටින්] ගී කියන්නේය.” (යෙසායා 33:24; 35:5, 6) සදාකාලයටම ශක්තිසම්පන්න සෞඛ්‍යයක් භුක්ති විඳින්න ලැබීම මොනතරම් සතුටක්ද!

දෙවිගේ ප්‍රේමනීය මඟ පෙන්වීම යටතේ, එම නව ලෝකයේ වැසියන් ලෝක ව්‍යාප්ත පාරාදීසයක් ගොඩනැඟීමේ කාර්යයේදී තම ශක්තීන් හා කුසලතා යොදවනු ඇත. දිළිඳුකම, සාගින්න සහ නිවාස නොමැතිකම සදහටම පහවන බව සහතික කරමින් යෙසායාගේ අනාවැකියේ මෙලෙස පවසනවා. “ඔව්හු ගෙවල් ගොඩනගාගන එහි වාසයකරන්නෝය; මිදිවතු වවා එහි ඵල කන්නෝය. ඔවුන් ගෙවල් ගොඩනැගුවාම වෙන කෙනෙක් වාසයකරන්නේවත් ඔවුන් වැවුවාම වෙන කෙනෙක් කන්නේවත් නැත.” (යෙසායා 65:21, 22) ඇත්තවශයෙන්ම, “ඔව්හු කිසිවෙකුගෙන් භයක් නොලැබ, එකිනෙකා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද වාසයකරනවා ඇත.”—මීකා 4:4.

දෙවිගේ ප්‍රේමනීය සැලකිල්ල හා කීකරු මිනිසා නිසා පොළොව පිබි- දේවි. අපට මෙම ශුද්ධ ලියවිලි- මය සහතිකයන් තිබෙනවා. “වනාන්- තරයද වියළි දේශයද ප්‍රීතිවන්නේය; කාන්තාරය ප්‍රීතිමත්වී සෙව්වන්දි මෙන් මල් දරන්නේය. . . . කාන්- තාරයෙහි ජලයද මරුකතරෙහි දොළ පාරවල්ද බිඳඑන්නේය.” (යෙසායා 35:1, 6) “පො- ළොව මත බොහෝ ධාන්‍ය ඇති වන්නේය; කඳු මුදුන් මත ඒවා පිරී ඉතිරී යන්නේය.”—ගීතාවලිය 72:16NW.

එමෙන්ම මියගිය බිලියන සංඛ්‍යාත ජනයා ගැන කුමක් කිව හැකිද? ‘ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත-නැඟිටීමක් සිදුවීමට යන’ නිසා දෙවි විසින් සිහි කරනු ලබන්නන්ව යළි ජීවනයට ගෙන එයි. (ක්‍රියා 24:15) ඇත්තෙන්ම මළවුන් යළි ජීවනය ලබයි. දෙවිගේ පාලනය සම්බන්ධයෙන් ඔවුන්ට විස්මිත සත්‍යයන් උගන්වනු ලබන අතර පාරාදීසයෙහි සදහටම ජීවත් වීමේ ප්‍රස්තාවද ලබා දෙයි.—යොහන් 5:28, 29.

මෙම ක්‍රම තුළින්, යෙහෝවා දෙවි වසර දහස් ගණනාවක් පුරා මිනිසා දුක් විඳිමින්, අසනීප වෙමින් හා මරණය විඳිමින් සිර වී සිටි කටුක තත්වයේ සම්පූර්ණ වෙනසක් සිදු කරනු ඇත. අසනීප නැති වෙනවා! ආබාධ නැති වෙනවා! මරණය නැති වෙනවා! දෙවි “ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු [පිසදමන්නේය]; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව [යනු ඇත].”—එළිදරව් 21:3, 4.

දෙවි දුක් වේදනා නිම කරනු ලබන්නේ එලෙසයි. ඔහු මෙම දූෂිත ලෝකය විනාශ කර, සම්පූර්ණයෙන්ම “ධර්මිෂ්ඨකම වාසයකරන” නවතම ක්‍රමයක් ගේන්න යනවා. (2 පේතෘස් 3:13) මොනතරම් කදිම ශුභාරංචියක්ද! එම නව ලෝකය අපට අත්‍යවශ්‍යයි. එමෙන්ම එය දැකීමට අපට තව බොහෝ කලක් බලා සිටීමට සිදු වන්නේ නැහැ. නව ලෝකය එළිපත්තේ තිබෙන බවත්, දෙවි දුක් වේදනා පවතින්න ඉඩහැර තිබෙන කාලය නිමවීමට ආසන්න බවත් බයිබල් අනාවැකි ඉටු වී තිබීම නිසා අපි දන්නවා.—මතෙව් 24:3-14.

[8වන පිටුවේ කොටුව]

මිනිස් පාලනය අසාර්ථක වේ

මිනිස් පාලනය සම්බන්ධයෙන් කලින් සිටි ජර්මන් චාන්සල්වරයෙකු වූ හෙල්මූට් ෂ්මිට් මෙසේ පැවසුවා. “අපේ අතින් . . . හැම වෙලාවෙම ලෝකය පාලනය වෙලා තියෙන්නේ නියම විදිහට නෙවෙයි. ඒකෙනුත් වැඩි කාලයක් දුෂ්ට විදිහටයි. . . . ඒ පාලන කාලය තුළදී සම්පූර්ණ සාමයක් පවත්වාගන්න අපිට කොයිම දවසකදීවත් පුළුවන් වෙලා නැහැ.” මානව සංවර්ධන වාර්තාව 1999 (ඉංග්‍රීසියෙන්) මෙසේ සඳහන් කළා. “මිනිසුන් අතරේ නොමිනිස්කම වැඩි වෙමින්, අපරාධ වැඩි වෙමින්, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැඩි වෙමින් තිබෙන නිසා ඔවුන්ගේ සමාජ ව්‍යූහය ඛාදනය වෙමින් පවතින බවට සියලුම රටවල් වාර්තා කරනවා. . . . මුළු ලෝකයම නොයෙක් තර්ජනවලට මූණ දෙන අතර ජාතීන් සතු හැකියාවන්වලින් ඒවා මැඩපැවැත්වීමට හැකි වී නැහැ. ඔවුන් ජාත්‍යන්තර මට්ටමින් පිළියම් යොදන්න උත්සාහ කළත් ඔවුන්ට සාර්ථක විය නොහැකියි.”

[8වන පිටුවේ පින්තූර]

“ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.”—ගීතාවලිය 37:11

[5වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

ඉහළ සිට තුන්වැන්න, මව සහ දරුවා: FAO photo/​B. Imevbore; පහළ, පිපිරීම: U.S. National Archives photo