Skip to content

පටුනට යන්න

‘ප්‍රඥාව අපගේ දවස් වැඩි කරවයි’

‘ප්‍රඥාව අපගේ දවස් වැඩි කරවයි’

‘ප්‍රඥාව අපගේ දවස් වැඩි කරවයි’

ජීවිතේ අද්දකින නොයෙකුත් ප්‍රශ්න ගැටලු විසඳාගැනීමට අත්‍යවශ්‍යම දෙය වන්නේ ප්‍රඥාවය. එම පරම සත්‍යය නිෂ්ප්‍රභ කළ හැක්කේ කාටද? සැබෑ ප්‍රඥාව යනු දැනුම සහ අවබෝධය හරියාකාරයෙන් භාවිතා කිරීමට ඇති හැකියාවය. ප්‍රඥාවේ විරුද්ධ දෙය නම් මෝඩකම සහ උමතුවය. ලියවිලිවල අපට බලවත් ලෙස උනන්දු කරන්නේ ප්‍රඥාව ලබාගැනීමටයි. (හිතෝපදේශ 4:7) ඇත්තෙන්ම බයිබලයේ එක් පොතක් වන හිතෝපදේශය මූලිකවම ලියා තිබෙන්නේ ප්‍රඥාව සහ හික්මවීම ලබා දීමටය. එහි ආරම්භක වදන් මෙසේයි. ‘ඉශ්‍රායෙල්ගේ රජ වූ දාවිත්ගේ පුත්‍ර සාලමොන්ගේ හිතෝපදේශ. ඒවා වනාහි ප්‍රඥාවද ගුරුකමද [හික්මවීමද, NW] දැනගැනීමටය.’—හිතෝපදේශ 1:1, 2.

හිතෝපදේශයේ මුල් පරිච්ඡේදයන්වල ගැබ් වී ඇති නැණවත් සහ විශ්වාසවන්ත ඉගැන්වීම් අපි සලකා බලමු. හරියට ප්‍රේමනීය පියෙකු ඔහුගේ පුත්‍රයාගෙන් අයදින ආකාරයෙන්, සාලමොන් තම පාඨකයන්ගෙන් හික්මවීම පිළිගන්න ලෙසත් ප්‍රඥාවට ඇහුම්කන් දෙන ලෙසත් අයැද සිටියි. (1වන සහ 2වන පරිච්ඡේද) යෙහෝවා සමඟ කිට්ටු සබඳතාවයක් ඇති කරගන්න සැටිත් අපේ හදවත ආරක්ෂා කරගන්න සැටිත් ඔහු පෙන්වා දෙයි. (3වන සහ 4වන පරිච්ඡේද) සදාචාරාත්මකව පිරිසිදුව සිටීමට එහි අපට අවවාද කර තිබේ. (5වන සහ 6වන පරිච්ඡේද) දුරාචාර පුද්ගලයෙකුගේ ක්‍රියාකලාපය පිළිබඳව දී ඇති විස්තරයේ වටිනාකමද කියා නිම කළ නොහැක. (7වන පරිච්ඡේදය) එමෙන්ම, පුද්ගලාරෝපණය කර ඇති ප්‍රඥාව සෑම කෙනෙකුගෙන්ම කරන අයැදීම් කොතරම් සිත්ගන්නාසුලුද! (8වන පරිච්ඡේදය) කෙටි උපදෙස්වලින් සමන්විත වන පසු පරිච්ඡේදයන් ඇරඹීමට කලින් සාලමොන් රජ ඔහු මෙතෙක් පවසා ඇති කරුණු උද්‍යෝගිමත් ආකාරයකින් සාරාංශ කරයි.—9වන පරිච්ඡේදය.

“එන්න, මාගේ කෑමෙන් කා, මා පෙරා තිබෙන මුද්‍රිකපානයෙන් බොන්න”

හිතෝපදේශ 9වන පරිච්ඡේදයේ මුල් පද 9 මුලින් සඳහන් කළ උපදෙස්වල වැදගැම්මකට නැති සාරාංශයක් නොවේ. ඇත්තෙන්ම එය ඉතාමත් සිත්ගන්නාසුලු උපහැරණ සමඟින් ඉදිරිපත් කර තිබෙන නිසා පාඨකයන් තුළ ප්‍රඥාව සෙවීමට පෙලඹීමක් ඇති කරයි.

හිතෝපදේශ 9වන පරිච්ඡේදය ආරම්භ වන්නේ මෙම වදන්වලින්ය. “ප්‍රඥාතොමෝ ඇගේ ගෙය ගොඩනගා, ඇගේ කුළුනු සත කපා තිබේ.” (හිතෝපදේශ 9:1) “කුළුනු සත” යන යෙදුමේ අදහස දක්වමින් එක් හෙබ්‍රෙව් සාහිත්‍යධරයෙක් මෙසේ පැවසුවේය. “එයින් යොමු දක්වන්නේ, මැද මිදුලක් සහිත මන්දිරයකට ආධාරක වශයෙන් එක පැත්තක කුලුනු තුන බැගින් දෙපස ඇති කුලුනු හයට සහ දොරටුවට විරුද්ධ පැත්තේ ඇති කුලුනටයි.” මෙම අර්ථ දැක්වීම සත්‍යයක් වුවත් මුසාවක් වුවත්, සැබෑ ප්‍රඥාව බොහෝ අමුත්තන්ව පිළිගැනීමට ශක්තිමත් නිවසක් ගොඩනඟා තිබේ.

නිවසේ මංගල්‍ය භෝජනය සඳහා සෑම දෙයක්ම සූදානම්ය. මස් මෙන්ම මුද්‍රිකපානයද තිබේ. භෝජනය පිළියෙළ කරන විට සහ මේසය සරසන විට ප්‍රඥාව විසින් එයට පෞද්ගලික අවධානයක් දී තිබේ. “ඇගේ සතුන් මරා, ඇගේ මුද්‍රිකපානය මිශ්‍රකොට, ඇගේ මේසයද පිළියෙළකර තිබේ.” (හිතෝපදේශ 9:2) උපමාලංකාරයෙන් සඳහන් කර ඇති මෙම මේසයේ දක්නට ඇත්තේ මනස පුබුදුවාලන ආත්මික ආහාරයි.—යෙසායා 55:1, 2.

සැබෑ ප්‍රඥාව විසින් සූදානම් කර තිබෙන මංගල්‍යයට ආරාධනා කර ඇත්තේ කාවද? “ඇගේ තරුණියන් ඈ පිටත්කර හැර: අනුවණවූ [අද්දැකීම් නොලද්දාවූ, NW] කවුරු නුමුත් මෙහි හැරී ඒවයි නගරයේ උස්තැන්හි සිට මොරගසන්නීය. තේරුම් නැති [හෘදයේ යම් අඩුවක් ඇති, NW] තැනැත්තාට ඈ මෙසේ කියයි: එන්න, මාගේ කෑමෙන් කා, මා පෙරා තිබෙන මුද්‍රිකපානයෙන් බොන්න. මෝඩකම් අත්හැර ජීවත්වෙන්න; ප්‍රඥා මාර්ගයෙහි යන්න.”හිතෝපදේශ 9:3-6.

ආරාධනාව නිකුත් කිරීමට ප්‍රඥාව විසින් තරුණියන්ව පිටත් කර තිබේ. මනුෂ්‍යයන් විශාල සංඛ්‍යාවකට ආරාධනා කිරීම සඳහා ඔවුන් ප්‍රසිද්ධ ස්ථානවලට ගොස් ඇත. “හෘදයේ යම් අඩුවක්” තිබෙන අය එසේ නැතහොත් තේරුම්ගැනීමේ හැකියාවෙන් අඳුරුව සිටින අද්දැකීම් අඩු අය ඇතුළු සෑම කෙනෙකුටම ආරාධනා කරයි. (හිතෝපදේශ 9:4) මේ ආරාධනාව පිළිගන්න අයට ජීවනයේ පොරොන්දුවට උරුමකම් කිව හැකියි. හිතෝපදේශ පොත ඇතුළත් දෙවිගේ වචනයේ ඇති ප්‍රඥාව සෑම කෙනෙකුටම ලබාගත හැකියි. අදදින සැබෑ ප්‍රඥාවේ දූතයන් ලෙස යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔවුන්ට මුණගැසෙන සෑම අයෙකුටම බයිබලය පාඩම් කිරීමට ආරාධනා කරමින් සිටියි. ඇත්තෙන්ම මෙම දැනුම ලබාගැනීම මඟ පාදන්නේ සදාකාල ජීවනයටයි.—යොහන් 17:3.

ප්‍රඥාව ලබා දෙන හික්මවීම ක්‍රිස්තියානීන් යටහත් පහත්ව පිළිගත යුතුයි. තරුණ අයට සහ මෑතකදී යෙහෝවා ගැන ඉගෙනීමට පටන්ගෙන ඇති අයට විශේෂයෙන්ම මෙය අදාළයි. දෙවිගේ මාර්ග පිළිබඳව ඔවුන්ට ඇති සීමිත දැනුම නිසා ඔවුන්ගේ “හෘදයේ යම් අඩුවක්” තිබිය හැක. ඔවුන්ගේ හෘදයේ සියලුම චේතනා නපුරුයි කියා ඉන් අදහස් නොවේ. නමුත් ඔවුන්ගේ හෘද තත්වය යෙහෝවා දෙවිට ප්‍රසන්න වන තත්වයට පත් කරගැනීම සඳහා කාලය සහ වෑයම අවශ්‍යයි. මෙයින් අදහස් කරන්නේ ඔවුන්ගේ සිතිවිලි, ආශාවන්, ඔවුන් ප්‍රිය කරන දේවල් හා ඔවුන්ගේ ඉලක්කයන් දෙවිට පිළිගත හැකි වන ආකාරයට සකස් කරගැනීමයි. එසේ නම්, දෙවිගේ වචනයේ ඇති ‘ආත්මික වූ අමිශ්‍ර වූ කිරිවලට’ ඔවුන් ආශාවක් වර්ධනය කරගැනීම මොනතරම් වැදගත්ද!—1 පේතෘස් 2:3.

ඇත්තෙන්ම අප සියලුදෙනාම “මුල් කාරණා” පසු කර මේරුභාවයට පැමිණිය යුතුයි. අප ‘දෙවිගේ ගැඹුරු දේවල්’ සඳහා ආශාවක් වර්ධනය කරගත යුතු අතර, මේරූ පුද්ගලයන්ට සරිලන දැඩි ආහාරවලින් පෝෂණය විය යුතුයි. (හෙබ්‍රෙව් 5:12-6:2; 1 කොරින්ති 2:10) යේසුස් ක්‍රිස්තුස් විසින්ම මෙහෙයවනු ලබන “විශ්වාසවූ නුවණ ඇති දාසයා” කලට සුදුසු ආත්මික ආහාර ඉතාමත් කඩිසර ලෙස සෑම අයෙකුටම සපයමින් සිටියි. (මතෙව් 24:45-47) බයිබලය සහ දාස පංතිය මගින් සපයන ප්‍රකාශන උද්‍යෝගිමත්ව අධ්‍යයනය කිරීමෙන්, ප්‍රඥාව විසින් සූදානම් කර තිබෙන උපමාලංකාර මේසයෙන් අපටත් මංගල්‍ය භෝජනයක් භුක්ති විඳිය හැක.

“නින්දාකරන්නෙකුට තරවටු නොකරන්න”

ප්‍රඥාවේ ඉගැන්වීම්වලට හික්මවීම සහ අවවාද ඇතුළත් වෙයි. මෙවැනි දේවල් සෑම කෙනෙකුටම ප්‍රිය නොවනවා වෙන්න පුළුවන. එබැවින් හිතෝපදේශ පොතේ පළමු කාණ්ඩය අවසාන වන්නේ අනතුරු ඇඟවීමකිනි. “නින්දාකරන්නෙකුට අවවාදකරන්නා තමාට ලජ්ජාවද, දුෂ්ටයෙකුට තරවටුකරන්නා තමාට කැලලක්ද පමුණුවාගන්නේය. නින්දාකරන්නෙකුට තරවටු නොකරන්න, එසේ කළොත් ඔහු නුඹට වෛරවෙයි.”හිතෝපදේශ 9:7, 8අ.

තමාගේ මාර්ගය නිවැරදි කරගැනීම සඳහා දෙන උපදෙස නින්දා කරන්නෙකු විසින් ප්‍රතික්ෂේප කරන අතර, එම උපකාරය පිරිනමන තැනැත්තාටද ඔහු වෛර කළ හැකියි. දුෂ්ට පුද්ගලයෙකු අවවාදයේ ඇති වටිනාකම අගය නොකරයි. එසේ නම් සත්‍යයට වෛර කරන කෙනෙකු හෝ එයට නිග්‍රහ කරන කෙනෙකු මත දෙවිගේ වචනයේ ඇති සත්‍යාලෝකය බැබළවීමට වෑයම් කිරීම කොතරම් අනුවණකමක්ද! ප්‍රේරිත පාවුල් අන්තියෝකියේ දේශනා කරන විට සත්‍යයට ප්‍රේමයක් නොමැති යුදෙව් මිනිසුන් පිරිසක් සමඟ කටයුතු කිරීමට ඔහුට සිදු විය. එම පිරිස ඔහුට අවමන් කිරීමෙන් ඔහුව ආරවුලකට පටලවාගැනීමට මාන බැලීය. එවිට පාවුල් මෙසේ පැවසීය. “[දෙවිගේ] වචනය පළමුකොට නුඹලාට කියන්ට යුතුව තිබුණේය. නුඹලා ඒක පහකොට, සදාකාල ජීවනයට තමුන් නුසුදුස්සන් බව නුඹලාම විනිශ්චයකරගන්න හෙයින්, මෙන්න, අපි අන්‍යජාතීන් අතට හැරී යමුව.”—ක්‍රියා 13:45, 46.

අප රාජ්‍යයේ ශුභාරංචිය අවංක හදවත් ඇති අයට කියා දීමට දරන වෑයමේදී, සත්‍යයට අපහාස කරන්නන් සමඟ වාද විවාදවල පැටලීමෙන් වැළකීමට වගබලා ගත යුතුයි. යේසුස් තම ගෝලයන්ට මෙසේ අවවාද කළේය. “ගෙදරට ඇතුල්වන විට ඊට ආචාරකරන්න. ගෙයි වැසියන් සුදුසු නම්, නුඹලාගේ සමාදානය ඒ පිටට පැමිණේවා. නුමුත් නුසුදුසු නම් නුඹලාගේ සමාදානය නැවත නුඹලා කරා පැමිණේවා. කවරෙක් නුමුත් නුඹලා පිළිගන්නේවත් නුඹලාගේ වචන අසන්නේවත් නැත්නම්, ඒ ගෙදරින් හෝ නුවරින් හෝ පිටත්ව යන කල නුඹලාගේ පාදවල ධූලි ගසාදමන්න.”—මතෙව් 10:12-14.

නමුත් ඥානවන්තයෙකු අවවාදයට දක්වන ප්‍රතිචාරය, නින්දා කරන්නෙකු දක්වන ප්‍රතිචාරයට වඩා හාත්පසින්ම වෙනස්ය. ඒ පිළිබඳව සාලමොන් මෙවැන්නක් සඳහන් කර තිබේ. “ඥාණවන්තයෙකුට තරවටුකරන්න, ඔහු නුඹට ප්‍රේමකරයි. ඥානවන්තයෙකුට ගුරුකම් දෙන්න, ඔහු වඩා ඥානවන්තවන්නේය.” (හිතෝපදේශ 9:8ආ, 9අ) “කිසි දඬුවමක් ලබන කල ඒක ශෝකයට මිස ප්‍රීතියට කාරණාවක් මෙන් පෙනෙන්නේ නැත. නුමුත් පසුව එයින් පෙළුණු තැනැත්තන්ට ධර්මිෂ්ඨකමේ සමාදාන ඵල හටගන්නේය” යන කාරණය ඥානවන්ත පුද්ගලයෙක් තේරුම්ගන්නේය. (හෙබ්‍රෙව් 12:11) උපදෙස් ලබන විට එය අසතුටට කාරණයක් වුවත් එය පිළිපැදීමෙන් යහපත් ඵල නෙළාගත හැකි නම් අප එවැනි දෙයක් ප්‍රතික්ෂේප කළ යුත්තේ මන්ද?

“ධර්මිෂ්ඨයෙකුට උගන්වන්න, ඔහු ඉගෙනගැන්මෙහි දියුණුවන්නේය” කියා ප්‍රඥාවන්ත රජ තවදුරටත් උපදෙස් දෙයි. (හිතෝපදේශ 9:9ආ) තමා සියලු දේ ඉගෙනගෙන අවසන් බව පැවසීමට තරම් කිසිවෙකු ඥානවන්ත නොවන අතර, කෙනෙකුට තවත් දේවල් ඉගෙනගැනීමට මහලු වයස බාධාවක් නොවේ. මහලු අය සත්‍යය පිළිගෙන යෙහෝවා දෙවිට කැප වෙන ආකාරය දකින්න ලැබීම මොනතරම් ප්‍රීතියක්ද! අපිත් ඉගෙනගැනීමට ආශාවක් වර්ධනය කරගනිමින් ක්‍රියාකාරි මනසක් ඇතුව සිටිමු.

“ජීවිතයේ අවුරුදුද නුඹට එකතුකරනු ලැබේ”

සාලමොන් ප්‍රඥාව සඳහා අවශ්‍ය මූලිකම දේ පෙන්වන ලදි. ‘ප්‍රඥාවේ පටන්ගැන්ම නම් යෙහෝවා කෙරෙහි භයවීමය. ශුද්ධ තැනැත්තා ගැන දැනගැනීමෙන් නුවණ ලැබේ.’ (හිතෝපදේශ 9:10) සැබෑ දෙවිට නිසි ගරු භියක් නොමැති තැන දේවප්‍රඥාව නැත. යම් පුද්ගලයෙකුගේ මනස දැනුමෙන් පිරී තිබෙන්න පුළුවන. නමුත් ඔහු යෙහෝවාට නිසි ගරු භියක් දක්වන්නේ නැත්නම් ඔහු සතු දැනුම මැවුම්කරුව ගෞරවයට පාත්‍ර වන ආකාරයට යෙදවීමට ඔහු අසමත් වෙයි. අඥානයෙකු මෙන් ඔහු තමන් සතු දැනුමෙන් වැරදි නිගමනයන්ට එළඹිය හැකියි. ප්‍රඥාවේ එක් අංගයක් වන අවබෝධය ලබාගැනීම සඳහාත් ශුද්ධ තැනැත්තා වන යෙහෝවා දෙවි පිළිබඳ දැනුම ලබාගැනීම අත්‍යවශ්‍යයි.

ප්‍රඥාව අත් කර දෙන විපාකයන් කවරේද? (හිතෝපදේශ 8:12-21, 35) ඉශ්‍රායෙලයේ රජ මෙසේ පවසයි. “මක්නිසාද මා කරණකොටගෙන නුඹේ දවස් වැඩිවෙයි. ජීවිතයේ අවුරුදුද නුඹට එකතුකරනු ලැබේ.” (හිතෝපදේශ 9:11) ප්‍රඥාව ඇසුරු කිරීමෙන් ලැබෙන ප්‍රතිවිපාකය නම් ජීවිතයේ දවස් සහ අවුරුදු වැඩිවීමයි. ඔව්, “ප්‍රඥාව වනාහි එය ඇත්තාගේ ජීවිතය ආරක්ෂාකරන්නේය.”—දේශනාකාරයා 7:12.

ප්‍රඥාව ලබාගැනීමට වෑයමක් දැරීම අපේ පෞද්ගලික වගකීමකි. මෙම කාරණය ගෙනහැර දක්වමින් සාලමොන් මෙසේ ප්‍රකාශ කරයි. “ඔබ නැණවත් වුවහොත්, එහි වාසිය ඔබට ම ය; ඔබ ඥානය ප්‍රතික්ෂේප කළොත්, ඉන් වන අවාසියත් ඔබට ම ය.” (හිතෝපදේශ 9:12, නව අනුවාදය) ප්‍රඥාවන්තයාගේ ප්‍රඥාව ඔහුගේම ශුභසිද්ධියට දායක වන අතර නින්දාකරන්නෙකුගේ අඥානකම ඔහුගේම විනාශයට හේතු වේ. අප නෙළාගන්නේ අප වපුරන දෙයමයි යන කියමන පරම සත්‍යයකි. එමනිසා අපි ‘ප්‍රඥාවට ඇහුම්කන් දෙමු.’—හිතෝපදේශ 2:2.

‘අඥාන ස්ත්‍රිය ඝෝෂාකාරියි’

ඊළඟට සාලමොන් ප්‍රඥාවේ සහ අඥානකමේ වෙනස මෙසේ ගෙනහැර දක්වයි. “අඥාන ස්ත්‍රිය ඝෝෂාකාරීව, මෝඩව, කිසිත් නොදැන සිටින්නීය. තමුන්ගේ මාර්ගවල කෙළින්ම යමින් ගමනේ යෙදෙන අයින්ට අඬගසන පිණිස, ඈ නගරයේ උස් තැන්වල ඇගේ ගෙයි දොරකඩ ආසනයක හිඳගන්නීය. අනුවණවූ කවුරු නුමුත් මෙහි හැරී ඒවායි කියන්නීය.”හිතෝපදේශ 9:13-16අ.

අඥානකම සමාන කර තිබෙන්නේ ඝෝෂාකාරි කිසි සංයමයක් නැති අඥාන ස්ත්‍රියකටය. ඇයත් නිවසක් ගොඩනඟා තිබේ. අද්දැකීම් නොමැති අයට ආරාධනා කිරීමේ කටයුත්ත ඇයද භාරගෙන තිබේ. එම නිසා ඔවුන් ප්‍රඥාව විසින් කරන ආරාධනය පිළිගන්නවාද එසේ නැතහොත් අඥානකම විසින් කරන ආරාධනය පිළිගන්නවාද කියා තේරීමක් කළ යුතුයි.

“සොරෙන් ගත් වතුර මිහිරිය”

ප්‍රඥාව සහ අඥානකම තම අසන්නන්ට ‘මෙහි හැරී ඒවායි’ කියන්නේය. නමුත් අයැදීම් දෙකෙහි වෙනසක් තිබේ. ප්‍රඥාව මනුෂ්‍යයන්ට ආරාධනා කරන්නේ මුද්‍රිකපානය, මස් සහ රොටි තිබෙන මංගල්‍ය භෝජනයකටය. අඥානකම විසින් විදහාපෙන්වන වශී කරවනසුලු ස්වභාවය මගින් සිහිගන්වන්නේ සල්ලාල ස්ත්‍රියකගේ ක්‍රියා කලාපයය. සාලමොන් මෙසේ පවසයි. “තේරුම් නැති [හෘදයේ යම් අඩුවක් ඇති, NW] අයට ඈ කථාකොට: සොරෙන් ගත් වතුර මිහිරිය, රහසින් කන කෑම රසවත්යයි කියන්නීය.”හිතෝපදේශ 9:16ආ, 17.

“අඥාන ස්ත්‍රිය” ඉදිරිපත් කරන්නේ මුද්‍රිකපානය නොව සොරාගත් ජලයයි. (හිතෝපදේශ 9:13) ආදරණීය භාර්යාව සමඟ ලිංගිකව ලබන සතුට ලියවිලිවල සමාන කර තිබෙන්නේ පිපාසය සංසිඳුවන ජලයටයි. (හිතෝපදේශ 5:15-17) සොරාගත් ජලය නියෝජනය කරන්නේ රහසිගතව පවත්වාගෙන යන තහනම් ලිංගික සම්බන්ධකම්ය. කාටත් හොරා සිදු කරන නිසා එම ජලය මුද්‍රිකපානයටත් වඩා ප්‍රණීත මෙන් පෙනිය හැකියි. එමෙන්ම ප්‍රඥාව ලබා දෙන රොටි සහ මස්වලට වඩා හොර රහසේ කන රොටි ප්‍රණීතයයි පෙනී යා හැක්කේ ඒවා අයුතු ලෙස අත් කරගන්න නිසාය. නමුත් තහනම් කර ඇති දේ සහ රහසේ කරන කියන දේ සිත්ගන්නාසුලුයයි සිතීම මෝඩකමේ ලක්ෂණයකි.

ප්‍රඥාව විසින් කරන ඇරයුමට ජීවනය පිළිබඳ පොරොන්දුව ඇතුළත් වෙයි. නමුත් අඥානකම නමැති ස්ත්‍රිය තමාගේ මාර්ග අනුගමනය කිරීමෙන් අත් වන ප්‍රතිවිපාක ගැන කිසිදු සඳහනක් කරන්නේ නැත. නමුත් සාලමොන් අනතුරු ඇඟවීමක් දෙයි. “ඈ කැඳවන අය, මරණය එහි ඇති බව ද පාතාලයෙහි [ෂෙයෝලයෙහි, NW] ගැඹුරු තැන වැටී ඇති බව ද නොදනිති.” (හිතෝපදේශ 9:18, න. අ.) “අඥාන ස්ත්‍රියගේ නිවස ගෙයක් නොව සොහොනක්. ඔබ එයට ඇතුල් වුවහොත් පණ පිටින් නම් යළිත් එළියට එන්න ලැබෙන්නේ නැහැ” කියා එක් බයිබල් විශාරදයෙක් විසින් ලියන ලදි. දුරාචාර ජීවන රටාවක් අනුගමනය කිරීම මරණයට ආවැඩීමක් මිසක ඥානවන්ත දෙයක් නම් නොවේ.

යේසුස් ක්‍රිස්තුස් පැවසුවේ, “පටු දොරටුවෙන් ඇතුල්වෙන්න. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය, පාරත් පළලය, එයින් ඇතුල්වන්නෝද බොහෝය. මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය” කියායි. (මතෙව් 7:13, 14) එමනිසා අපි සෑම විටම ප්‍රඥාවේ මේසයෙන් වළඳමින් ජීවනයට යන මාර්ගයේ සිටින අය අතර සිටිමු.

[31වන පිටුවේ පින්තූරය]

ඥානවන්ත පුද්ගලයෙක් හික්මවීම පිළිගනියි

[31වන පිටුවේ පින්තූරය]

ප්‍රඥාව ලබාගැනීම එක් එක්කෙනාගේ පෞද්ගලික වගකීමකි