Skip to content

පටුනට යන්න

මහත් ක්‍රියා කරන යෙහෝවාව පසසන්න

මහත් ක්‍රියා කරන යෙහෝවාව පසසන්න

මහත් ක්‍රියා කරන යෙහෝවාව පසසන්න

‘මාගේ සිත යෙහෝවාව වර්ණනා කරයි. මක්නිසාද බලවත් වූ තැනැත්තා මා වෙනුවෙන් මහත් දේ කළේය.’—ලූක් 1:46-49.

1. අප යෙහෝවාව පැසසුමට ලක් කරන්නේ ඔහු කළ කුමන මහත් ක්‍රියා වෙනුවෙන්ද?

 යෙහෝවා සිදු කරන මහත් ක්‍රියා නිසා ඔහුව පැසසුමට ලක් කිරීම වටී. අනාගතවක්තෘ මෝසෙස් ඉශ්‍රායෙල්වරුන් මිසරයේ වහල්භාවයෙන් නිදහස ලැබීම ගැන විස්තර කළ අවස්ථාවේදී මෙසේ පැවසුවේය. “නුඹලා [යෙහෝවා] කළාවූ සියලු මහත් ක්‍රියා නුඹලාගේ ඇස්වලින් දුටුවහුය.” (ද්විතීය කථාව 11:1-7) ඇය යේසුස්ව මෙලොවට බිහි කරන බව කන්‍යාවක් වූ මරියා නම් තරුණියට ගාබ්‍රියෙල් දේවදූතයා දැනුම් දුන් අවස්ථාවේදී ඈ මෙසේ පැවසුවාය. ‘මාගේ සිත යෙහෝවාව වර්ණනා කරයි. මක්නිසාද බලවත් වූ තැනැත්තා මා වෙනුවෙන් මහත් දේ කළේය.’ (ලූක් 1:46-49) ඉශ්‍රායෙල්වරුන්ව මිසරයේ වහල්භාවයෙන් නිදහස් කරගැනීම හා ආශ්චර්යවත් ලෙස සිදු වූ දෙවිගේ ප්‍රේමනීය පුත්‍රයාගේ පිළිසිඳගැනීම වැනි මහත් ක්‍රියා වෙනුවෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් හැටියට අපි යෙහෝවාව පැසසුමට ලක් කරන්නෙමු.

2. (අ) කීකරු මිනිසුන්ට දෙවිගේ ‘සදාකාල අරමුණින්’ අදහස් වන්නේ කුමක්ද? (ආ) පත්මොස් දිවයිනේ සිටිද්දී යොහන් අද්දුටුවේ කුමක්ද?

2 මෙසියස්ව හා ඔහුගේ රාජ්‍ය පාලනය යොදාගනිමින් කීකරු මිනිසුන්ට ආශීර්වාද ගෙන ඒම සඳහා වූ යෙහෝවාගේ ‘සදාකාල අභිප්‍රාය, [අරමුණ, NW]’ සහ ඔහුගේ මහත් ක්‍රියා අතර සමීප සම්බන්ධයක් තිබේ. (එපීස 3:8-13) මහලු වියේ පසු වූ ප්‍රේරිත යොහන් දර්ශනයක් මාර්ගයෙන් ස්වර්ගයේ සිදු වෙමින් තිබූ දේවල් දුටු අවස්ථාවේදී, එම සදාකාලික අරමුණ ක්‍රමානුකූලව එහි ඉටුවීම කරා ළඟා වෙමින් තිබිණ. හොරණෑවකට සමාන හඬකින් මෙම වදන් නිකුත් වෙනවා ඔහුට ඇසිණ. “මෙහි නැගී එන්න, මේ දේවලට පසුව විය යුතු දේවල් නුඹට පෙන්වන්නෙමි.” (එළිදරව් 4:1) “දෙවි ගැන කතා කිරීම නිසා හා යේසුස් ක්‍රිස්තුස් ගැන සාක්ෂි දැරීම නිසා [NW]” රෝම ආණ්ඩුව මගින් යොහන්ව පත්මොස් දිවයිනට පිටුවහල් කර තිබූ කාලයේදී, ඔහුට ‘යේසුස් ක්‍රිස්තුස් විසින් එළිදරව් කිරීමක්’ සපයන ලදි. එම එළිදරව් කිරීමේදී යොහන් ඇසූ දුටු දේවල් මගින් දෙවිගේ සදාකාලික අරමුණ ගැන බොහෝ දේවල් හෙළි විය. ඒ දේවල් මගින් සියලුම ක්‍රිස්තියානීන්ට ආත්මික දේවල් පිළිබඳව ඥානාලෝකයක් මෙන්ම කාලෝචිත දිරිගැන්වීමක්ද සපයයි.—එළිදරව් 1:1, 9, 10.

3. යොහන් දර්ශනයෙන් දුටු වැඩිමහල්ලන් 24දෙනා නියෝජනය කරන්නේ කාවද?

3 වැඩිමහල්ලන් 24දෙනෙකු රජවරුන් මෙන් ඔටුනු පැළඳ සිංහාසනාරූඪ වී සිටිනවා යොහන් ස්වර්ගික දර්ශනයේදී දුටුවේය. ඔවුන් දෙවි ඉදිරියෙහි වැඳ වැටී මෙසේ පවසන්නට විය. ‘යෙහෝවා, අපගේ දෙවියනි, ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින තැනැත්තාය. මක්නිසාද ඔබ සියලු දේ මැව්වේය. ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය. ඒවා මවන ලද්දේය.’ (එළිදරව් 4:11) එම වැඩිමහල්ලන්ගෙන් නියෝජනය කෙරෙන්නේ දෙවි පොරොන්දු වී තිබෙන පරිදි උසස් තත්වයකට නැවත නැඟිට සිටින සියලුම ආලේප ලත් ක්‍රිස්තියානීන්වයි. මැවිල්ලෙන් පිළිබිඹු වන දෙවිගේ මහත් ක්‍රියා සඳහා ඔහුව පැසසුමට ලක් කරන්න ඔවුහු පෙලඹෙති. යෙහෝවාගේ “සදාකාලිකවූ බලය හා දෙවිකම” පිළිබඳ සාක්ෂි අපේ අවධානයට ලක් වන විට අප තුළ ඇති වන්නේ පුදුමයකි. (රෝම 1:20) අප වඩ වඩා යෙහෝවා ගැන ඉගෙනගන්න විට ඔහුගේ පුදුම ක්‍රියා සඳහා ඔහුව පැසසුමට ලක් කරන්න අපට තිබෙන හේතුද වැඩි වේ.

පැසසීමට වටින යෙහෝවාගේ ක්‍රියා ප්‍රකාශ කරන්න

4, 5. දාවිත් යෙහෝවාව පැසසුමට ලක් කළ ආකාරය සම්බන්ධයෙන් උදාහරණ සපයන්න.

4 ගීතිකාකාර දාවිත් දෙවිගේ මහත් ක්‍රියා පැසසුමට ලක් කළේය. උදාහරණයක් හැටියට ඔහු රචනා කළ ගීතයක අඩංගු මේ වදන් සලකා බලන්න. ‘සියොන්හි වාසය කරන යෙහෝවාට ප්‍රශංසා ගී කියන්න. සෙනඟ අතරේ ඔහුගේ ක්‍රියා ප්‍රකාශ කරන්න. මා විසින් සියොන් දුවගේ දොරටුවලදී ඔබගේ ප්‍රශංසා සියල්ල [පැසසීමට වටින ඔබගේ ක්‍රියා, NW] ප්‍රකාශ කරන පිණිස යෙහෝවා මට කරුණාව දක්වන්න. මරණ ද්වාරවලින් මා ඔසවන්නාවූ ඔබ, මට ද්වේෂ කරන්නන්ගෙන් මා විඳින පීඩා දෙස බලන්න.’ (ගීතාවලිය 9:11, 13, 14) දාවිත් දේවමාළිගාව ඉදි කිරීමේ සැලැස්ම ඔහුගේ පුත් සාලමොන්ට ලබා දීමෙන් පසු, මෙසේ පවසමින් දෙවිව පැසසුමට ලක් කළේය. ‘යෙහෝවා, මහන්තත්වයද පරාක්‍රමයද තේජසද ජයද මහිමයද අයත් ඔබටය. රාජ්‍යයත්, යෙහෝවා, ඔබට අයිතිය. ඔබ සියල්ල කෙරෙහි හිස මෙන් උසස්ව සිටින්නේය. එබැවින් අපේ දෙවි, අපි ඔබට ස්තුති කරමින් ඔබගේ තේජවත් නාමය වර්ණනා කරන්නෙමු.’—1 ලේකම් 29:10-13.

5 දාවිත් කළාක් මෙන් දෙවිව පැසසුමට ලක් කරන්න කියා ශුද්ධ ලියවිල්ල අපට පුන පුනා ආරාධනා කරයි. ඇත්තෙන්ම එසේ කරන්න කියා එය අපව උනන්දු කරවයි. ශුද්ධ ලියවිල්ලෙහි අඩංගු ගීතාවලිය පොතේ දෙවිව පැසසුමට ලක් කරන ප්‍රකාශයන් රැසක් තිබෙන අතර, එම ගීතවලින් අඩක්ම වගේ රචනා කර තිබෙන්නේ දාවිත්ය. ඔහු නිතරම යෙහෝවාට ස්තුති කරමින් ඔහුව පැසසුමට ලක් කළේය. (ගීතාවලිය 69:30) එමෙන්ම දාවිත් විසින් හා වෙනත් අය විසින් දෙවිගේ ආනුභාවය යටතේ රචනා කරන ලද දේවල්, යෙහෝවාව පැසසුමට ලක් කිරීම සඳහා පුරාණයේ පටන් යොදාගෙන තිබේ.

6. දේවානුභාවයෙන් ලියවී තිබෙන ගීතාවලිය අපට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?

6 අද සිටින යෙහෝවාගේ නමස්කාරකයන්ට ගීතාවලිය මොනතරම් ප්‍රයෝජනවත්ද! දෙවි අප වෙනුවෙන් කර තිබෙන මහත් ක්‍රියාවලට ස්තුති කරන්න අප තුළ පෙලඹීමක් ඇති වන අවස්ථාවලදී ගීතාවලියෙහි සඳහන් අලංකාර වදන් අපට මතකයට නැඟිය හැක. උදාහරණයක් හැටියට අලුත් දවසක් ආරම්භ කරමින් අප උදෑසන අවදි වන විට ගීතාවලියෙහි සඳහන් මෙම වදන්වලට සමාන වදන් පැවසීමට අප තුළ පෙලඹීමක් ඇතිවීමට පුළුවන. “[යෙහෝවාට] ස්තුතිකිරීමත්, මහෝත්තමයාණෙනි, ඔබගේ නාමයට ප්‍රශංසා ගී කීමත් යහපත. . . . උදය ඔබගේ කරුණාගුණයත් සෑම රාත්‍රියේම ඔබගේ විශ්වාසකමත් ප්‍රකාශකිරීම යහපත. මක්නිසාද [යෙහෝවා], ඔබගේ ක්‍රියාවෙන් ඔබ මා සන්තෝෂ [කළේය]. ඔබගේ හස්ත කර්ම ගැන ප්‍රීති ප්‍රකාශ කරන්නෙමි.” (ගීතාවලිය 92:1-4) අපේ ආත්මික වර්ධනයට බාධාවක් වී තිබූ යමකින් අප ජයගත් විට, ගීතිකාකරු ගායනා කළාක් මෙන් අපේ ප්‍රීතිය හා ස්තුතිය යාච්ඤාවෙන් ප්‍රකාශ කිරීමට අප තුළ පෙලඹීමක් ඇති විය හැක. ඔහු මෙසේ ගායනා කළේය. ‘එන්න, අපි යෙහෝවාට ප්‍රීතියෙන් ගායනා කරමු. අපේ ගැළවීමේ පර්වතයට ප්‍රීති ඝෝෂා පවත්වමු. ස්තුති දෙමින් ඔහු ඉදිරියට පැමිණෙමු. ගීතිකාවලින් ඔහුට ප්‍රීති නාද පවත්වමු.’—ගීතාවලිය 95:1, 2.

7. (අ) ක්‍රිස්තියානීන් විසින් ගායනා කරනු ලබන ගීතිකා බොහොමයක දක්නට තිබෙන විශේෂ ලක්ෂණය කුමක්ද? (ආ) රැස්වීම්වලට කල් වේලා ඇතුව පැමිණීමටත් අවසානය දක්වාම සිටීමටත් තිබෙන හොඳ හේතුව කුමක්ද?

7 අපි සභා රැස්වීම්වලදී, එක්රැස්වීම්වලදී හා සමුළුවලදී යෙහෝවාට ප්‍රශංසා ගී ගායනා කිරීමෙහි හවුල් වන්නෙමු. මෙම ගීතිකාවල විශේෂ ලක්ෂණයක් වන්නේ, ඒවායින් බොහොමයක් ශුද්ධ ලියවිල්ලෙහි අඩංගු දේවානුභාවයෙන් ලියවී තිබෙන ගීතාවලිය මත පදනම් වී තිබීමයි. යෙහෝවාට ප්‍රශංසා කිරීම සඳහා ඒ ඒ අවස්ථාවට ගැළපෙන පරිදි යොදාගත හැකි හද උණුසුම් කරවන ගීතිකා අද අපට තිබීම ගැන අප මොනතරම් සතුටු වෙනවාද! ගීතිකා ගායනා කිරීමෙන් දෙවිව පැසසුමට ලක් කිරීමට අපට පුළුවන. එමනිසා ගීතිකාවලින් හා යාච්ඤාවලින් යෙහෝවාව පැසසුමට ලක් කිරීමේදී සෙසු නමස්කාරකයන් සමඟ හවුල් වීමට හැකි වන පිණිස අපේ රැස්වීම්වලට කල් වේලා ඇතුව පැමිණ අවසානය දක්වාම රැඳී සිටීම යෝග්‍ය වේ.

“ජනයෙනි, යාහ්ට ප්‍රශංසා කරන්න!”

8. “හලෙලූයා” යන වචනයෙන් අදහස් කරන්නේ කුමක්ද? බොහෝ අවස්ථාවලදී එය පරිවර්තනය කර තිබෙන්නේ කෙසේද?

8 යෙහෝවාට ප්‍රශංසා කිරීම යන අදහස ගැබ්ව ඇති “හලෙලූයා” යන හෙබ්‍රෙව් වචනය “ජනයෙනි, යාහ්ට ප්‍රශංසා කරන්න!” යනුවෙන් බොහෝ අවස්ථාවලදී පරිවර්තනය කර තිබේ. උදාහරණයක් හැටියට, ගීතාවලිය 135:1-3හි අවධාරණයෙන් යුතුව කර තිබෙන ඇරයුමක මෙසේ සඳහන් වේ. ‘[ජනයෙනි, NW] යාහ්ට ප්‍රශංසා කරන්න; යෙහෝවාගේ නාමයට ප්‍රශංසා කරන්න. යෙහෝවාගේ මෙහෙකරුවෙනි, යෙහෝවාගේ ගෘහයෙහි, අපේ දෙවිගේ ගෘහ මළුවල සිටින්නෙනි, ඔහුට ප්‍රශංසා කරන්න. යෙහෝවාට ප්‍රශංසා කරන්න; මක්නිසාද යෙහෝවා යහපත්ය. ඔහුගේ නාමය ප්‍රියකරු නිසා ගී කියමින් එය වර්ණනා කරන්න.’

9. යෙහෝවාව පැසසුමට ලක් කිරීමට අපව පොලඹවන්නේ කුමන දේවල්ද?

9 මැවිල්ල තුළින් පිළිබිඹු වන දෙවිගේ පුදුම ක්‍රියා ගැනත් ඔහු අප වෙනුවෙන් කර තිබෙන දේවල් ගැනත් කල්පනා කර බලන විට, අප තුළ හෘදයාංගම අගය කිරීමක් ඇති වන අතර, ඔහුව පැසසුමට ලක් කරන්න එය අපව පොලඹවයි. අතීතයේදී යෙහෝවා ඔහුගේ සෙනඟ වෙනුවෙන් කළ ආශ්චර්යවත් ක්‍රියා ගැන සිතන විටද ඔහුට ප්‍රශංසා කිරීමට අප තුළ පෙලඹවීමක් ඇති වේ. එමෙන්ම යෙහෝවා අනාගතයේදී කරන බවට පොරොන්දු වී තිබෙන මහත් දේවල් ගැන කල්පනා කර බලද්දීද ඔහුට අපේ ප්‍රශංසාව හා ස්තුතිය ප්‍රකාශ කළ හැකි ආකාර අපි සොයා බලන්නෙමු.

10, 11. අපේ ජීවිතය දෙවිට ප්‍රශංසා කිරීම සඳහා හොඳ හේතුවක් වන්නේ කෙසේද?

10 අප සතු ජීවිතයද යෙහෝවාව පැසසුමට ලක් කිරීමට හොඳ හේතුවක් වේ. දාවිත් මෙසේ ගායනා කළේය. “මම ඔබට ස්තුතිකරන්නෙමි; මක්නිසාද මම භයානකලෙසත් පුදුම ලෙසත් සාදනලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්ය; මාගේ ආත්මයද ඒ බව මනාකොට දනියි.” (ගීතාවලිය 139:14) ඔව්, අපව ‘පුදුමාකාර ලෙස සාදා’ තිබෙන අතර පෙනීමේ, ඇසීමේ හා කල්පනා කිරීමේ හැකියාව වැනි අනර්ඝ ත්‍යාගයන් අපට ලැබී තිබෙන්නේ දෙවිගෙනි. මේ නිසා අප ජීවත් විය යුත්තේ අපේ මැවුම්කරුව පැසසුමට ලක් කරන ආකාරයෙන් නොවේද? මේ සම්බන්ධයෙන් පාවුල් මෙසේ ලීවේය. “එහෙයින් නුඹලා කතත් බොතත් වෙන යමක් කරතත් සියල්ල [දෙවිගේ] ගෞරවය පිණිස කරන්න.”—1 කොරින්ති 10:31.

11 යෙහෝවා කෙරෙහි අව්‍යාජ ප්‍රේමයක් අපට තිබෙනවා නම්, අප කරන සෑම දෙයකදීම ඔහුව පැසසුමට ලක් කරන්න අපි වෑයම් කරන්නෙමු. ප්‍රධානතම ආඥාවට යොමු දක්වමින් යේසුස් මෙසේ පැවසුවේය. “නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද නුඹේ දෙවිවූ [යෙහෝවාට] ප්‍රේමකරන්න.” (මාර්ක් 12:30; ද්විතීය කථාව 6:5) යෙහෝවා අපේ මැවුම්කරු වන නිසාත් “සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද” පැමිණෙන්නේ ඔහුගෙන් නිසාත් අප ඇත්තෙන්ම ඔහුට ප්‍රේම කරමින් ප්‍රශංසා කළ යුතුය. (යාකොබ් 1:17; යෙසායා 51:13; ක්‍රියා 17:28) හේතු සාධක විමසා බැලීමට අප සතු හැකියාව, ආත්මික දේවල් සොයා බැලීමට තිබෙන නැඹුරුවාව හා ශාරීරික ශක්තිය, අප සතු ගුණාංග සහ හැකියාවන් සියල්ලද අපට ලැබී තිබෙන්නේ යෙහෝවාගෙනි. මේ නිසා අපේ මැවුම්කරු වශයෙන් ඔහු අපේ ප්‍රේමයත් ප්‍රශංසාවත් ලබන්න වටී.

12. යෙහෝවාගේ මහත් ක්‍රියා ගැනත් ගීතාවලිය 40:5හි සඳහන් වදන් ගැනත් ඔබට හැඟෙන්නේ කෙසේද?

12 යෙහෝවාගේ මහත් ක්‍රියා ගැන කල්පනා කර බලන විට ඔහුට ප්‍රේම කිරීමට හා ඔහුව පැසසුමට ලක් කිරීමට අපට තිබෙන හේතු අසීමිතයි! “මාගේ දෙවිවූ [යෙහෝවා], ඔබ විසින් කළ පුදුම ක්‍රියාද, අප කෙරෙහි ඇති ඔබගේ සිතිවිලිද බොහෝය. ඒවා ඔබ ඉදිරියෙහි පිළිවෙළින් තැබිය නොහැකිය; ඒවා ප්‍රකාශකරන්ටත් ඒ ගැන කථා කරන්ටත් කැමැත්තෙමි, නුමුත් ඒවා ගණන්කරන්ට පුළුවන්වාටත් වැඩිය” කියා දාවිත් ගායනා කළේය. (ගීතාවලිය 40:5) යෙහෝවාගේ පුදුම ක්‍රියා සෑම එකක් ගැනම සඳහන් කරන්න දාවිත්ට නොහැකි වූවාක් මෙන් එය කිරීමට අපටද නොහැක. නමුත් අපි දෙවිගේ මහත් ක්‍රියා අපේ අවධානයට යොමු වන සැම විටම ඔහුව පැසසුමට ලක් කරමු.

දෙවිගේ සදාකාලික අරමුණ හා සම්බන්ධ ක්‍රියා

13. අපේ බලාපොරොත්තුව හා දෙවිගේ මහත් ක්‍රියා අතර සමීප සම්බන්ධයක් තිබෙන්නේ කෙසේද?

13 දෙවිගේ සදාකාලික අරමුණ හා සම්බන්ධ පැසසුමට ලක් කිරීමට වටින මහත් ක්‍රියා සහ අපේ අනාගත බලාපොරොත්තුව අතර සමීප සම්බන්ධයක් තිබේ. ඒදන් උයනෙහි ඇති වූ කැරැල්ලෙන් අනතුරුව යෙහෝවා ප්‍රකාශ කළ මුල්ම අනාවැකිය මගින් බලාපොරොත්තු ජනිත කළේය. සර්පයාට දඬුවම් නියම කරමින් දෙවි මෙසේ පැවසුවේය. ‘මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි. ඒ වංශය තාගේ හිස පොඩි කරන්නේය. තා ඔහුගේ විලුඹ පොඩි කරන්නෙහිය.’ (උත්පත්ති 3:15) යෙහෝවා නෝවාගේ කාලයේ පැවති දුෂ්ට ලෝකය විනාශ කර දැමීම සඳහා ගෙන ආ ජලගැල්මෙන් නෝවාව හා ඔහුගේ පවුලේ අයව ආරක්ෂා කරමින් මහත් ක්‍රියාවක් කිරීමෙන් පසුව, ඇදහිලිවන්ත මිනිසුන්ගේ හදවත්වල පොරොන්දු වූ ස්ත්‍රියගේ වංශය පිළිබඳ බලාපොරොත්තුව දිගටම දැල්වෙමින් තිබිණ. (2 පේතෘස් 2:5) ආබ්‍රහම් හා දාවිත් වැනි ඇදහිලිවන්ත පුරුෂයන්ට අනාවැකි ලෙස දුන් පොරොන්දු, යෙහෝවා එම වංශය යොදාගනිමින් කරන්න යන දේවල් සම්බන්ධයෙන් තීක්ෂ්ණ බුද්ධිය ලබාගැනීම සඳහා උපකාරවත් විය.—උත්පත්ති 22:15-18; 2 සාමුවෙල් 7:12.

14. යෙහෝවා මනුෂ්‍යවර්ගයා වෙනුවෙන් සිදු කළ විශිෂ්ටතම මහත් ක්‍රියාව කුමක්ද?

14 මනුෂ්‍යවර්ගයා වෙනුවෙන් මහත් ක්‍රියා කරන තැනැත්තා වශයෙන් යෙහෝවා සිදු කළ විශිෂ්ටතම ක්‍රියාව වන්නේ පොරොන්දු වංශය වූ යේසුස් ක්‍රිස්තුස්ව නොහොත් ඔහුගේ ඒකජාතක පුත්‍රයාව මිදීමේ මිල පූජාවක් ලෙස සැපයීමයි. (යොහන් 3:16; ක්‍රියා 2:29-36) මෙම පූජාව මගින් දෙවි සහ මිනිසුන් අතර සමගිකමක් ඇති කිරීම සඳහා අවශ්‍ය පදනම සපයන ලදි. (මතෙව් 20:28; රෝම 5:11) පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසේදී, යෙහෝවා තමන් සමඟ මුලින්ම සමගිකමක් ඇති කරගත් අයගෙන් සමන්විත ක්‍රිස්තියානි සභාව පිහිටෙව්වේය. ඔවුහු ශුද්ධාත්මයේ උපකාරය ඇතුව ලොව පුරා ශුභාරංචිය දේශනා කළහ. එසේ කරමින් ඔවුහු යේසුස්ගේ මරණය හා නැවත නැඟිටීම කීකරු මිනිසුන්ට දෙවිගේ ස්වර්ගික රාජ්‍යයේ පාලනය යටතේ සදාකාලික ආශීර්වාද භුක්ති විඳීම සඳහා මඟ සලසන ආකාරය පැහැදිලි කර දුන්හ.

15. අපගේ කාලයේදී යෙහෝවා මවිතකර ලෙස කටයුතු කර තිබෙන්නේ කෙසේද?

15 අපගේ කාලයේදී යෙහෝවා ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ ඉතිරි කොටසට අයත් අන්තිම අයව එක්රැස් කිරීමේදී මවිතකර ආකාරයකින් කටයුතු කර තිබේ. ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයේ සිට පාලනය කරනු ලබන 1,44,000ට අයත් ඉතිරි අයව මුද්‍රා කිරීමට ඉඩ සලසමින් ඔහු විනාශය නමැති සුළඟ වළක්වා ඇත. (එළිදරව් 7:1-4; 20:6) “මහා බබිලෝනිය” නමැති බොරු ආගම්වලින් සමන්විත ලෝක අධිරාජ්‍යයේ ආත්මික වහල්භාවයෙන් ආලේප ලත් ක්‍රිස්තියානීන්ව දෙවි නිදහස් කරගෙන තිබේ. (එළිදරව් 17:1-5) ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ ඉතිරි කොටස 1919දී ලැබූ එම නිදහස හා එදා සිට ඔවුන් අද්දකින දෙවිගේ ආරක්ෂාව නිසා ඔවුන්ට කුමක් කරන්න හැකි වී තිබේද? ඉතා වේගයෙන් ළඟා වෙමින් තිබෙන ‘මහත් පීඩාවේදී’ යෙහෝවා සාතන්ගේ ආධිපත්‍යය යටතේ පවතින දුෂ්ට ක්‍රමය නැති කර දැමීමට කලින්, අවසාන වතාවට සාක්ෂියක් දෙමින් තමන්ගේ ආලෝකය බැබළවීමට ඔවුන්ට හැකි වී තිබේ.—මතෙව් 24:21; දානියෙල් 12:3; එළිදරව් 7:14.

16. වර්තමානයේ ලොව පුරා සිදු කෙරෙන රාජ්‍යය දේශනා කිරීමේ වැඩපිළිවෙළේ ප්‍රතිඵලයක් හැටියට සිදු වෙමින් තිබෙන්නේ කුමක්ද?

16 යෙහෝවාගේ ආලේප ලත් ක්‍රිස්තියානීන් ජ්වලිතව ලොව පුරා රාජ්‍යය දේශනා කිරීමේ වැඩපිළිවෙළක් දියත් කර තිබෙන අතර, එය ඉතා වේගයෙන් ඉදිරියට ඇදී යමින් තිබේ. මෙහි ප්‍රතිඵලයක් හැටියට, වැඩි වෙමින් පවතින “වෙනත් බැටළුවෝ” යෙහෝවාට නමස්කාර කිරීමට තෝරාගනිති. (යොහන් 10:16) අප සමඟ එක්ව යෙහෝවාව පැසසුමට ලක් කිරීම සඳහා ලොව පුරා සිටින මොළොක් ගුණැති අයට තවමත් ප්‍රස්තාව විවෘතව තිබීම ගැන අපි සතුටු වන්නෙමු. “එන්න” කියා කරන ආරාධනාව පිළිගන්න අය සිටින්නේ සදාකාලයටම යෙහෝවාව පැසසුමට ලක් කිරීමේ අපේක්ෂාව ඇතුව මහත් පීඩාවෙන් බේරී ජීවත් විය හැකි තත්වයකයි.—එළිදරව් 22:17.

දහස් ගණන්දෙනා සැබෑ නමස්කාරය වටා එක්රොක් වෙති

17. (අ) අපේ දේශනා කිරීමේ කටයුතුවලට ඍජු ලෙස බලපාන පරිදි යෙහෝවා සිදු කරමින් සිටින මහත් ක්‍රියා මොනවාද? (ආ) සෙකරියා 8:23හි සඳහන් අනාවැකිය අද ඉටු වෙමින් තිබෙන්නේ කෙසේද?

17 යෙහෝවා මේ කාලයේදී අපේ දේශනා කිරීමේ කටයුතුවලට ඍජු ලෙස බලපාන මහත් ක්‍රියා සිදු කරමින් සිටියි. (මාර්ක් 13:10) ඇත්තෙන්ම, ඒවා පැසසුමට ලක් කිරීම වටී. අවුරුදු කිහිපයක සිට ඔහු ‘ක්‍රියාකාරකම්වලට මඟ පාදන විශාල දොරටු විවෘත’ කර තිබේ. (1 කොරින්ති 16:9NW) මෙහි ප්‍රතිඵලයක් හැටියට කලින් සතුරුකම් පෑ විශාල බලප්‍රදේශවල පවා ශුභාරංචිය දේශනා කිරීමට හැකි වී තිබේ. කලක් ආත්මික අඳුරේ ජීවත් වූ බොහෝදෙනෙක් යෙහෝවාව නමස්කාර කිරීමට එක් වන්න කියා කරන ආරාධනාව දැන් පිළිගනිමින් සිටිති. ඔවුන් ඉටු කරමින් සිටින්නේ මෙම අනාවැකිමය වදන්ය. “ඒ දවස්වලදී සියලු භාෂා ඇති ජාතීන්ගෙන් මනුෂ්‍යයන් දසදෙනෙක්, වස්ත්‍ර කොන අල්ලාගෙන, එසේය, යුදෙව් ජාතියේ මනුෂ්‍යයෙකුගේ වස්ත්‍ර කොන අල්ලාගෙන—අපි නුඹලා සමග යන්නෙමුව, මක්නිසාද [දෙවි] නුඹලා සමග සිටින බව අප විසින් අසා තිබේයයි කියනවා ඇතැයි සේනාවල [යෙහෝවා කියන්නේය].” (සෙකරියා 8:23) යුදෙව් ජාතික මනුෂ්‍යයාගෙන් නියෝජනය වන්නේ අද සිටින ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ ඉතිරි කොටසයි. දහයෙන් භූමික සම්පූර්ණත්වය නියෝජනය විය හැකි නිසා, ‘මනුෂ්‍යයන් දසදෙනාගෙන්’ නියෝජනය වන්නේ ‘මහත් සමූහයයි.’ මොවුන්ට ‘දෙවිගේ ඉශ්‍රායෙල්’ සමඟ ඇසුරු කරන්න ප්‍රස්තාව උදා වන අතර එම කණ්ඩායම් දෙකම “එක රැළක්” බවට පත් වී තිබේ. (එළිදරව් 7:9, 10; ගලාති 6:16) දැන් බොහෝදෙනෙකු යෙහෝවා දෙවිගේ නමස්කාරකයන් ලෙස එකට එක්ව පරිශුද්ධ සේවය පිරිනමමින් සිටිනවා දැකීමෙන් ඇති වන ප්‍රීතිය මොනතරම්ද!

18, 19. යෙහෝවා දේශනා කිරීමේ කාර්යයට ආශීර්වාද කරමින් සිටින බවට තිබෙන සාක්ෂි මොනවාද?

18 බොරු ආගම්වල දැඩි බලපෑම් නිසා කවදාවත් ශුභාරංචිය පිළිගනියි කියා නොසිතූ රටවල පවා දහස් ගණන් නොව සියදහස් ගණන්දෙනා සැබෑ නමස්කාරය වැලඳගැනීම, අප තුළ ඇති කරවන්නේ ඉමහත් ප්‍රීතියකි. රාජ්‍ය ප්‍රචාරකයන් 1,00,000ත් 10,00,000ත් අතර සංඛ්‍යාවක් වාර්තා කරන රටවල් ගණන කොපමණද කියා අලුත්ම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත (ඉංග්‍රීසියෙන්) බලන විට ඔබට දැකගන්න පුළුවන. රාජ්‍ය දේශනා කිරීමේ කාර්යයට යෙහෝවා ආශීර්වාද කරමින් සිටින බවට එය ප්‍රබල සාක්ෂියකි.—හිතෝපදේශ 10:22.

19 අපේ ප්‍රේමනීය ස්වර්ගික පියා වන යෙහෝවා දෙවි අපේ ජීවිතවලට සැබෑ අරමුණක් මෙන්ම ඔහුට සේවය කිරීමේ තෘප්තිය ගෙන දෙන කාර්යයද අපට ලබා දී තිබේ. එපමණක්ද නොව, දීප්තිමත් අනාගතයක් පිළිබඳ බලාපොරොත්තුවක්ද අප තුළ ඇති කර තිබේ. ඔහුගේ සෙනඟ වන අපි මේ සෑම දෙයක් සඳහාම, ඔහුව පැසසුමට ලක් කරමින් ඔහුට අපේ ස්තුතිය පුද කරමු. අප ජීවත් වන්නේ දෙවිගේ සියලුම පොරොන්දුවල ඉටුවීම අද්දැකීමේ අපේක්ෂාව හා ‘සදාකාල ජීවනයේ බලාපොරොත්තුව ඇතුව දෙවිගේ ප්‍රේමයෙහි දිගටම පැවතීමට’ වූ අධිෂ්ඨානය ඇතිවයි. (යූද් 20, 21) දෙවිව පැසසුමට ලක් කරන මහත් සමූහය දැන් 60,00,000ක් පමණ වීම ගැන අප මොනතරම් සතුටු වෙනවාද! පැහැදිලිව දැකගත හැකි යෙහෝවාගේ ආශීර්වාද භුක්ති විඳිමින් ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ ඉතිරි කොටස ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයන් වන වෙනත් බැටළුවන් හා එක්ව සංවිධානය වී රටවල් 235ක පිහිටි සභා 91,000ක පමණ දෙවිට සේවය කරති. “විශ්වාසවූ නුවණ ඇති දාසයා” දරන අඛණ්ඩ වෑයම්වල ප්‍රතිඵලයක් හැටියට අපි සියලුදෙනාම ආත්මිකව හොඳින් පෝෂණය වන්නෙමු. (මතෙව් 24:45) ප්‍රේමනීය ලෙස අධීක්ෂණ කටයුතු කරමින් වර්ධනය කරා ඇදී යන දිව්‍යාණ්ඩු සංවිධානය මගින් විවිධ රටවල පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාල 110 උපයෝගි කරගනිමින් රාජ්‍ය කටයුතු මෙහෙයවනු ලැබේ. ‘ඔවුන්ගේ සම්පත්වලින් යෙහෝවාව ගෞරවයට පත් කිරීම’ සඳහා යෙහෝවා ඔහුගේ සෙනඟගේ හදවත් පොලඹවා තිබීම ගැන අපි ඔහුට ස්තුතිවන්ත වන්නෙමු. (හිතෝපදේශ 3:9, 10) එහි ප්‍රතිඵලයක් වශයෙන් බෙතෙල් හා මිෂනාරි නිවාස, රාජ්‍ය ශාලා හා එක්රැස්වීම් ශාලා අවශ්‍යතාව අනුව ඉදි කෙරෙමින් පවතී. මේ දේවල් ඇතුළුව මුද්‍රණ පහසුකම් යොදාගනිමින් ලොව පුරා දේශනා කිරීමේ කාර්යය අඛණ්ඩව සිදු වේ.

20. පැසසුමට ලක් කිරීමට වටින යෙහෝවාගේ මහත් ක්‍රියා ගැන සිතන විට අප තුළ ඇති විය යුතු පෙලඹවීම කුමක්ද?

20 අපේ ස්වර්ගික පියා සිදු කරන පැසසුමට ලක් කිරීමට වටින මහත් ක්‍රියා සියල්ලම සඳහන් කිරීම අසීරුය. නමුත් යෙහෝවාව පසසමින් සිටින අතිමහත් සෙනඟ සමඟ එක්ව ඔහුව පැසසුමට ලක් කිරීමෙන් වැළකී සිටීමට අවංක හදවතක් තිබෙන කෙනෙකුට හැකිද? ඇත්තෙන්ම නොහැකියි! එනිසා දෙවිට ප්‍රේම කරන සියලුදෙනාම එක්ව ප්‍රීතියෙන් මෙසේ හඬනඟාවා! ‘[ජනයෙනි, NW] යාහ්ට ප්‍රශංසා කරන්න; ස්වර්ගවල සිට යෙහෝවාට ප්‍රශංසා කරන්න. උස් තැන්හිදී ඔහුට ප්‍රශංසා කරන්න. ඔහුගේ සියලු දූතයෙනි, ඔහුට ප්‍රශංසා කරන්න. තරුණයන් හා තරුණියෙනි, මහල්ලන් හා බාලයෙනි, පොළොවේ සිට යෙහෝවාට ප්‍රශංසා කරන්න. මොවුහු යෙහෝවාගේ නාමයට ප්‍රශංසා කෙරෙත්වා; මක්නිසාද ඔහුගේ නාමය පමණක් උසස්ය. ඔහුගේ මහිමය ස්වර්ගය හා පොළොව මත්තෙහි පවත්නේය.’ (ගීතාවලිය 148:1, 2, 12, 13) ඔව්, අපි දැනුත් සදහටමත් මහත් ක්‍රියා කරන යෙහෝවාව පැසසුමට ලක් කරමු.

ඔබ උත්තර දෙන්නේ කෙසේද?

• පැසසීමට වටින යෙහෝවාගේ මහත් ක්‍රියා සමහරක් නම් කරන්න.

• යෙහෝවාව පැසසුමට ලක් කිරීම සඳහා ඔබ තුළ පෙලඹවීමක් ඇති විය යුත්තේ මන්ද?

• අපේ බලාපොරොත්තුව හා දෙවිගේ මහත් ක්‍රියා අතර සමීප සම්බන්ධයක් තිබෙන්නේ කෙසේද?

• රාජ්‍යය දේශනා කිරීමේ කාර්යයට ඍජු ලෙස බලපාන පරිදි, යෙහෝවා පැසසුමට ලක් කිරීමට වටින ක්‍රියා සිදු කරමින් සිටින්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10වන පිටුවේ පින්තූරය]

යෙහෝවාව පැසසුමට ලක් කරන ගීතිකා ගායනා කරන විට, ඔබ මුළු හදින්ම ඔබේ හඬත් එයට එක් කරනවාද?

[13වන පිටුවේ පින්තූර]

මොළොක් ගුණැති අයට යෙහෝවාව පැසසුමට ලක් කිරීම සඳහා හවුල් වීමේ ප්‍රස්තාව තවමත් විවෘතව තිබීම ගැන අපි සතුටු වන්නෙමු