Skip to content

පටුනට යන්න

විවාහ කලත්‍රයෙක් තෝරාගැනීමට දෙවිගෙන් මඟ පෙන්වීම

විවාහ කලත්‍රයෙක් තෝරාගැනීමට දෙවිගෙන් මඟ පෙන්වීම

විවාහ කලත්‍රයෙක් තෝරාගැනීමට දෙවිගෙන් මඟ පෙන්වීම

“ඔබට උගන්වන්නෙමි, ඔබ විසින් යායුතු මාර්ගයෙහි ඔබට ගුරුකම් දෙන්නෙමි. මාගේ ඇස ඔබ කෙරේ යොමුකොට ඔබට දැනමිතිකම් දෙන්නෙමි.”—ගීතාවලිය 32:8.

1. සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වන සාධක කවරේද?

 ඔබ කෙදිනක හෝ සර්කස් සංදර්ශනයක් නරඹා ඇද්ද? එහිදී විවිධ දස්කම් හා අරුම පුදුම ක්‍රීඩා දැකගත හැක. ඉහළ අහසේ කරණම් ගසන කතක් තමන් එල්ලී සිටින ඔන්චිල්ලාව අත්හැර, දක්ෂ ලෙස අවකාශයෙහි පිනුම් දෙක තුනක් ගසමින්, අනික් කෙළවරේ ඔන්චිල්ලාවක යටිකුරුව එල්ලී සිටින හරඹකරුගේ අත් අල්ලාගනියි. යුවළක් කිසිදු ආයාසයක් නොදරමින් මිහිරි සංගීත නාදයකට අනුව අයිස් මත රැඟුමක් ඉදිරිපත් කරයි. හදිස්සියේම රැඟුම් ශිල්පී තම සහකාරියව අහස දෙසට ඔසවා අතහරියි. මොහොතකට ගුවනෙහි පාවී යන ඇය පිනුමක් දෙකක් ගසමින්, නැවතත් අයිස් මතට පතිත වන්නේ මනරම් හංස ධේනුවක් ජලය මතට බසින්නාක් මෙනි. දෙදෙනාම දිගටම තම රැඟුමෙහි නිරත වන්නේ නරඹන සියල්ලන්වම අමානන්දයට පත් කරවමිනි. මෙම අවස්ථා දෙකේදීම දස්කම් පෑ අය කිසිදු ආයාසයක් නොදැරුවාක් මෙන් පෙනේ. එනමුත් පෙරහුරුවක් නොමැතිව, දක්ෂ සහකරුවෙකු හෝ සහකාරියක නොමැතිව, විශේෂයෙන් නිසියාකාර උපදෙස් හෝ මඟ පෙන්වීම් නොමැතිව එවන් දෙයක් කිරීමට නිර්භීත වන කිසිවෙකු අප අතර සිටීවිද? උත්තරය පැහැදිලිය. මෙම තර්කය දැන් විවාහ දිවියට අදාළ කරගනිමු. සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන අය තම ජීවිතය ප්‍රීතියෙන් ගත කරන්නේ, කිසිදු වෙහෙසක් නොදරමින් බව පෙනී යා හැක. එනමුත්, හොඳ සහකරුවෙකු හෝ සහකාරියකගේ අවශ්‍යතාව, දෙදෙනාගේම නොමද සහයෝගය සහ විශේෂයෙන් ඥානවන්ත උපදෙස්වල අවශ්‍යතාව අවතක්සේරු කළ නොහැක. ඇත්තෙන්ම නිසි මඟ පෙන්වීමක් අත්‍යවශ්‍යය.

2. (අ) විවාහ විධිවිධානය ආරම්භ කළේ කවුද? කුමන අරමුණක් සඳහාද? (ආ) ඇතැම් විවාහයන් සිදු කරනු ලබන්නේ කෙසේද?

2 තරුණ අවිවාහක පුරුෂයෙකු හෝ ස්ත්‍රියක දිවි ඇති තුරා සිටිය හැකි සහකාරියක් හෝ සහකරුවෙකු ගැන කල්පනා කිරීම ස්වාභාවිකය. විවාහය නමැති විධිවිධානය ආරම්භ කළේ යෙහෝවා දෙවිය. මුල් විවාහයේ සිට පුරුෂයන් සහ ස්ත්‍රීන් යුග දිවියට පා තබා ඇත්තේ එය ජීවිත ගමනේ අතිවැදගත් සන්ධිස්ථානයක් ලෙස සලකමිනි. මුල්ම මිනිසා වූ ආදම්, තම භාර්යාවව තෝරා නොගත්තේය. එම තේරීම කළේ ප්‍රේමනීය පියෙකු ලෙස කටයුතු කළ යෙහෝවාය. ඔහු ආදම්ට භාර්යාවක් ලබා දුන්නේය. (උත්පත්ති 2:18-24) බෝවී, පොළොව මිනිස් සංහතියෙන් පිරවීමේ කාර්යය ඔවුන් දෙපොළට භාර දී තිබිණ. එම මුල් විවාහයෙන් පසු, විවාහයන් සාමාන්‍යයෙන් සිදු කරනු ලැබුවේ මණමාලයා සහ මණමාලිගේ දෙමාපියන්ගේ මැදිහත් වීමෙනි. ඇතැම් අවස්ථාවලදී, එම දෙමාපියන් අවශ්‍ය පියවර ගත්තේ තරුණ පුරුෂයාගේ හෝ ස්ත්‍රියගේ අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුවය. (උත්පත්ති 21:21; 24:2-4, 58; 38:6; යෝෂුවා 15:16, 17) ඇතැම් රටවල සහ සංස්කෘතීන්වල යෝජිත විවාහයන් තවමත් පොදුවේ සිදු කරනු ලැබේ. තවත් සමහරු තම විවාහක කලත්‍රයාව තමන් විසින්ම තෝරාගැනීමට කැමැත්තක් දක්වති.

3. විවාහ කලත්‍රයෙකු තේරීමේදී සැලකිල්ලට ගත යුත්තේ කුමක්ද?

3 විවාහ කලත්‍රයෙකු තේරීමේදී සැලකිල්ලට ගත යුත්තේ කුමක්ද? ඇතැම් අය ශාරීරික පෙනුමට ආකර්ෂණය වෙති. ඔව්, ඔවුහු තමන්ට ප්‍රියමනාප අය වෙත ඇදී යති. තවත් අය බලන්නේ ද්‍රව්‍යමය පැත්තයි. තමාව හොඳින් බලාගන්නා හා තම වුවමනා එපාකම් හොඳින් පිරිමසන කෙනෙකු සෙවීම ඔවුන්ගේ ඉලක්කය වේ. කෙසේවෙතත්, මෙවැනි දේවල් මත පමණක් ප්‍රීතිමත්, තෘප්තිය ගෙන දෙන සම්බන්ධයක් ගොඩනැඟිය හැකිද? හිතෝපදේශ 31:30හි වැදගත් කරුණක් සඳහන් වේ. ‘රූපශ්‍රීය රැවටිලි සහිතය. ශෝභනකම නිෂ්ඵලය. ප්‍රශංසාව ලැබෙන්නේ යෙහෝවා කෙරෙහි භය ඇති ස්ත්‍රියටය’ කියා එහි පැවසේ. මෙම පදයෙහි හරය ඔබට තේරුණාද? කලත්‍රයෙකු තෝරාගැනීමේදී එහි අවධාරණය කර තිබෙන්නේ යෙහෝවාගේ දෘෂ්ටිකෝණය සැලකිල්ලට ගැනීම වැදගත් වන බවය.

දෙවිගෙන් ප්‍රේමනීය මඟ පෙන්වීමක්

4. විවාහ කලත්‍රයෙකු තෝරාගැනීමේදී දෙවි ලබා දෙන්නේ කෙබඳු උපකාරයක්ද?

4 අපගේ ප්‍රේමනීය ස්වර්ගික පිය වූ යෙහෝවා සෑම කාරණාවකදීම අපට මඟ පෙන්වීම සඳහා තම ලිඛිත වචනය සපයා ඇත. “ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත් නුඹේ දෙවිවූ [යෙහෝවා] වන මමය” කියා ඔහු පවසන්නේ එනිසාය. (යෙසායා 48:17) එසේ නම්, විවාහ කලත්‍රයෙකු තෝරාගැනීමේදී නිවැරදි බවට නැවත නැවත ඔප්පු වී ඇති මඟ පෙන්වීම් බයිබලයෙහි සොයාගත හැකිවීම පුදුමයට හේතුවක් නොවිය යුතුය. අපගේ විවාහයන් දිගු කල් පවතිනවා දැකීමත්, විවාහය තුළ ප්‍රීතිය අප අද්දැකීමත් යෙහෝවාගේ අවංක ආශාවයි. එමනිසා, මෙම මඟ පෙන්වීම් තේරුම්ගෙන අදාළ කරගැනීමට අවශ්‍ය උපකාර ඔහු විසින් සපයා ඇත. අපගේ ප්‍රේමනීය මැවුම්කරු එවන් දෙයක් කරයි කියා අපට අපේක්ෂා කළ නොහැකිද?—ගීතාවලිය 19:8.

5. විවාහයක් තුළ කල්පවතින සන්තෝෂය භුක්ති විඳීමට නම්, අත්‍යවශ්‍ය වන්නේ කුමක්ද?

5 යෙහෝවා විවාහ විධිවිධානය පිහිටෙවූ විට, ඔහුගේ අරමුණ වූයේ කල්පවතින බැඳීමක් ඇති කිරීමය. (මාර්ක් 10:6-12; 1 කොරින්ති 7:10, 11) යෙහෝවා ‘භාර්යාවන් අත්හැර දැමීම ද්වේෂ කරන්නේ’ එනිසාය. ඇත්තෙන්ම විවාහය කටු ගා දැමිය හැක්කේ “වේශ්‍යාකම” නමැති පදනම මත පමණි. (මලාකී 2:13-16; මතෙව් 19:9) එමනිසා, විවාහ කලත්‍රයෙකු තෝරාගැනීම, අප ගන්නා බැරෑරුම්ම පියවරවලින් එකක් වේ. එය සැහැල්ලුවට නොගත යුත්තකි. විවාහය සම්බන්ධයෙන් ගන්නා තීරණයක් නිසා ඉමහත් සතුටක් හෝ දැඩි දුකක් ඇතිවීමට තිබෙන ඉඩ කඩ වැඩිය. හොඳ කලත්‍රයෙක් තෝරාගත්තා නම්, නොයෙකුත් ආශීර්වාද භුක්ති විඳීමට හැකි වන අතර, ජීවිතය තෘප්තිකර එකක් වන බවට සැකයක් නොමැත. අනික් අතට, දුර්වල තේරීමක් කරතොත්, එය ඉමහත් ශෝකයට හේතුවක් විය හැක. (හිතෝපදේශ 21:19; 26:21) දිගටම සන්තෝෂය භුක්ති විඳීමට නම්, ඥානවන්ත තේරීමක් කළ යුතුය. එමෙන්ම දෙදෙනා අතර සිදු වන බැඳීම කල්පවතින එකක් කරගැනීමට අවංක ආශාවක් තිබිය යුතුය. ඒ මන්දයත්, දෙවි විවාහ විධිවිධානය පිහිටෙව්වේ, සමඟිය සහ සහයෝගය අවශ්‍ය කරන සම්බන්ධයක් ලෙස නිසාය.—මතෙව් 19:6.

6. කලත්‍රයෙකු තෝරාගැනීමේදී තරුණ පුරුෂයන් සහ ස්ත්‍රීන් විශේෂයෙන් සැලකිලිමත්ව කටයුතු කළ යුත්තේ මන්ද? ඥානවන්ත තීරණයක් ගැනීමට පිටුවහලක් වන්නේ කුමක්ද?

6 කලත්‍රයෙකු තෝරාගැනීමේදී, රූපශ්‍රීයට තිබෙන ප්‍රබල ආකර්ෂණය සහ සිතෙහි ඇති වන ප්‍රබල හැඟීම් නිසා යමෙකුගේ හොඳ විනිශ්චය බොඳ විය හැකි බව තරුණ තරුණියන් විශේෂයෙන් මතක තබාගත යුතුය. කිසියම් සම්බන්ධයක් රූපශ්‍රීය නැතහොත් වෙනත් භෞතික හේතූන් මත පදනම් වේ නම්, කායික අවශ්‍යතා පිරිමසා ගැනීමෙන් පසු එකිනෙකා කෙරෙහි ඉක්මනින්ම අප්‍රසන්නභාවයක් මෙන්ම වෛරයක් පවා ඇති විය හැක. (2 සාමුවෙල් 13:15) අනික් අතට කල්පවතින ප්‍රේමයක් වර්ධනය වන්නේ එකිනෙකාව හොඳින් දැනහඳුනා ගැනීමෙන් අනතුරුවය. තමාවම පෞද්ගලිකව තේරුම්ගැනීමේ අවශ්‍යතාවද සුළු කොට නොතැකිය යුතුය. මෙහිදී අපගේ සිත සම්බන්ධයෙන් තේරුම්ගත යුතු යමක් ඇත. අපගේ සිත මුලින්ම ප්‍රිය කරන දේ අනිවාර්යයෙන්ම අපට හොඳයි කියා කිව නොහැක. (යෙරෙමියා 17:9) බයිබලයෙහි අන්තර්ගත දිව්‍ය මඟ පෙන්වීම එතරම් වැදගත් වන්නේ එමනිසාය. අපගේ ජීවිතය සම්බන්ධයෙන් ඉතා ඥානවන්ත තීරණ ගත හැකි ආකාරය තේරුම්ගැනීමට එම මඟ පෙන්වීම අපට පිටුවහලකි. ගීතිකාකරු යෙහෝවාගේ අදහස් මෙලෙස ප්‍රතිනාද කළේය. “ඔබට උගන්වන්නෙමි, ඔබ විසින් යායුතු මාර්ගයෙහි ඔබට ගුරුකම් දෙන්නෙමි. මාගේ ඇස ඔබ කෙරේ යොමුකොට ඔබට දැනමිතිකම් දෙන්නෙමි.” (ගීතාවලිය 32:8; හෙබ්‍රෙව් 4:12) අප සැමට ප්‍රේමය ලබාගැනීමට සහ කුලුපග මිත්‍රත්වයක් භුක්ති විඳීමට සහජ ආශාවක් ඇත. මෙම ආශාව විවාහයෙන් පිරිමසාගත හැකි වුවත්, විවාහ ජීවිතයක පැනනඟින අභියෝගයන්වලට මුහුණ දීම සඳහා මේරූකම සහ විචාර බුද්ධිය අවශ්‍ය වේ.

7. කලත්‍රයෙකු තෝරාගැනීමේදී බයිබලය මත පදනම් උපදෙස් ඇතැම් අය ප්‍රතික්ෂේප කරන්නේ මන්ද? මෙය කුමකට මඟ පෑදිය හැකිද?

7 කලත්‍රයෙකු තෝරාගැනීමේදී, විවාහය නමැති විධිවිධානය පිහිටෙවූ තැනැත්තාගේ උපදෙස්වලට අවනත වීම ගත හැකි ඥානවන්තම ක්‍රියාමාර්ගය වන බවට කිසිදු සැකයක් නොමැත. එනමුත් බයිබලය පදනම් කරගෙන දෙමාපියන් හෝ ක්‍රිස්තියානි වැඩිමහල්ලන් හෝ දෙන උපදෙස් තරයේ ප්‍රතික්ෂේප කිරීමට නැඹුරුවාවක් අපට තිබිය හැක. ඔවුන් අපව හරියට තේරුම්ගන්නේ නැති බව අපට සිතිය හැකි අතර, අපගේ සිතේ ආශාව පසු පස හඹා යෑමට ප්‍රබල චිත්තවේගීය හැඟීම් දැඩි පෙලඹීමක් වන්නට පුළුවන. කෙසේවෙතත්, ජීවිතයේ යථාර්ථයන් කෙමෙන් කෙමෙන් අවබෝධ වෙද්දී, අපගේ යහපත සඳහා දුන් ඥානවන්ත උපදෙස්වලට සවන් නොදීම ගැන අප පසුතැවෙනවා නිසැකය. (හිතෝපදේශ 23:19; 28:26) අපගේ විවාහය තුළ ආදරය බිඳී ඇති බවත්, දරුවන් ඇති දැඩි කිරීම ඉතා දුෂ්කර කාර්යයක් බවත් අපට අවබෝධ විය හැකි අතර, සමහර විට නොඇදහිලිකාර කලත්‍රයෙකු හා විවාහ වීමට ගත් අඥාන තීරණයේ ප්‍රතිඵල පවා අද්දකිමින් සිටිනවා විය හැක. ඉමහත් සන්තෝෂයක් ගෙන දීමට හැකි විවාහ ජීවිතයකින් මෙතරම් දුකක් ඇති වෙනවා නම්, එය කොයිතරම් ඛේදනීය දෙයක්ද කියා සිතාගත හැක.

දේවභක්තිය අත්‍යවශ්‍යය

8. විවාහයක් කල් පැවතීමට හා ඉන් සැබෑ සන්තෝෂය නෙළාගැනීමට දේවභක්තිය දායක වන්නේ කෙසේද?

8 එකිනෙකා කෙරෙහි ඇති ආකර්ෂණය විවාහ බන්ධනයක් ස්ථිර කිරීමට දායක වන බව පිළිගත යුතුය. එනමුත් එවන් බන්ධනයක් කල් පැවතීමට හා ඉන් සැබෑ සන්තෝෂයක් නෙළාගැනීමට නම්, දෙදෙනාම එකම ප්‍රතිපත්තිවලට ගෞරවයක් දැක්වීම බෙහෙවින් වැදගත් වේ. ඇත්තටම දෙදෙනාම යෙහෝවාට භක්තියක් පිරිනමයි නම්, ඉන් කල් පවතින බැඳීමක් ඇති වන අතර, වෙනත් කිසිදු හේතු සාධකයකට වඩා එය සමඟියට දායක වේ. (දේශනාකාරයා 4:12) ක්‍රිස්තියානි යුවළක් තම ජීවිත යෙහෝවාට කරන සැබෑ නමස්කාරය වටා ගොඩනඟන විට, ඔවුන් ආත්මිකව, මානසිකව හා සදාචාරමය අතින් සුවිශේෂ සමඟියක් භුක්ති විඳිති. දෙවිගේ වචනය ඔවුන් පාඩම් කරන්නේ එකටය. ඔවුන්ගේ සිත් එක්සත් කරවන යාච්ඤාවෙහි ඔවුහු දෙදෙනාම නිරත වෙති. ක්‍රිස්තියානි රැස්වීම්වලට එකට යන ඔවුහු, ක්ෂේත්‍ර සේවයේදීද එකට වැඩ කරති. මෙමගින් ඉතා ශක්තිමත් ආත්මික බන්ධනයක් ඇති වන අතර, ඔවුහු එකිනෙකාට තව තවත් සමීප වෙති. වැදගත්ම දේ නම්, ඔවුන් දෙදෙනාම යෙහෝවාගේ ආශීර්වාදය අද්දැකීමය.

9. ඊසාක්ට භාර්යාවක් සෙවීමේදී ආබ්‍රහම් ක්‍රියා කළේ කෙසේද? එහි ප්‍රතිඵලය කුමක්ද?

9 ඇදහිල්ලෙන් ක්‍රියා කළ කුලදෙටු ආබ්‍රහම් දේවභක්තික ජීවිතයක් ගත කළ නිසා, තම පුත්‍ර ඊසාක් සඳහා භාර්යාවක් සෙවීමට අවස්ථාව එළඹුණු විට, ඔහු වෑයම් කළේ දෙවිව සතුටු කිරීමටය. තම විශ්වාසවන්ත සේවකයාට ආබ්‍රහම් මෙසේ පැවසීය. ‘මා වාසය කරන දේශයෙහි කානානිවරුන්ගේ දූවරුන්ගෙන් නුඹ මාගේ පුත්‍රයාට භාර්යාවක් නොගෙන මාගේම දේශයටද මාගේම නෑයන් වෙතටද ගොස් මාගේ පුත්‍ර වූ ඊසාක්ට භාර්යාවක් ගන්නා හැටියට ස්වර්ගයේ දෙවිද පොළොවේ දෙවිද වූ යෙහෝවා ගැන නුඹ දිවුරිය යුතුය. . . . යෙහෝවාම තමන්ගේ දූතයා නුඹට පෙරටුව යවන්නේය; නුඹ එතැනින් මාගේ පුත්‍රයාට භාර්යාවක් ගෙනෙන්නෙහිය.’ ඇත්තෙන්ම, රෙබෙකා තම පුරුෂයා වූ ඊසාක් ඉමහත් සේ ප්‍රේම කළ ඉතා යහපත් භාර්යාවක් විය.—උත්පත්ති 24:3, 4, 7, 14-21, 67.

10. පුරුෂයන් සහ භාර්යාවන්ට තිබෙන ශුද්ධ ලියවිලිමය වගකීම් විස්තර කරන්න.

10 අප තවමත් අවිවාහක ක්‍රිස්තියානීන් නම්, විවාහය සඳහා අවශ්‍ය ශුද්ධ ලියවිලිමය සුදුසුකම් අත් කරගැනීම සඳහා තිබිය යුතු ගුණාංග වර්ධනය කරගැනීමට දේවභක්තිය අපට උපකාර කරයි. පුරුෂයෙකුට සහ භාර්යාවකට තිබිය යුතු දේවලට ප්‍රේරිත පාවුල් සඳහන් කළ මෙම දේවල්ද ඇතුළත් වේ. ‘භාර්යාවෙනි, ස්වාමීන්ට මෙන් නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටින්න. . . . පුරුෂයෙනි, ක්‍රිස්තුස් සභාවට ප්‍රේම කොට, ඈ උදෙසා තමන්ම පාවා දුන්නාක් මෙන්ම, නුඹලාත් නුඹලාගේ භාර්යාවන්ට ප්‍රේම කරන්න. . . . පුරුෂයන් විසින් තමුන්ගේ භාර්යාවන්ට තමුන්ගේම ශරීරවලට මෙන් ප්‍රේම කටයුතුය. . . . නුඹලා එක් එක්කෙනා තම තමාට මෙන් තම තමාගේ භාර්යාවට ප්‍රේම කරන්න; භාර්යාවද පුරුෂයාට භයපක්ෂව සිටින්ට බලාගනීවා.’ (එපීස 5:22-33) පාවුල් දේවානුභාවයෙන් ලියූ මෙම වදන්වලින් පැහැදිලි වන්නේ, ප්‍රේමය සහ ගෞරවය පෙන්වීම සඳහා අවශ්‍යතාවක් ඇති බවය. මෙම උපදෙස්වලට අවනත වන්න නම්, යෙහෝවා සඳහා ගෞරවාන්විත බියක් තිබිය යුතුය. දෙදෙනා අතර තිබෙන බැඳීම හදපත්ලෙන්ම පැමිණිය යුතු අතර, දුක සැප දෙකේදීම එය ශක්තිමත්ව තබාගත යුතුය. එසේ නම්, විවාහ වීමේ අදහසින් සිටින ක්‍රිස්තියානීන්, මෙම වගකීම ඉසිලීමට සමත් තත්වයක සිටිය යුතුය.

විවාහ වන වයස තීරණය කිරීම

11. (අ) අප විවාහ වීමට සූදානම්ද යන්න තීරණය කිරීමට ශුද්ධ ලියවිල්ලෙහි දී ඇති උපදෙස කුමක්ද? (ආ) බයිබලයෙහි 1 කොරින්ති 7:36හි සඳහන් උපදෙස් අනුගමනය කිරීම ඥානවන්ත දෙයක් බව කුමන උදාහරණයෙන් පැහැදිලි වේද?

11 අප විවාහ වීමට සූදානම්ද කියා දැනසිටීම අතිවැදගත්ය. ශුද්ධ ලියවිල්ලේ ඒ සම්බන්ධව යම් විශේෂ වයස් මට්ටමක් නියම කර නැත්තේ, විවාහ වීමට සුදුසු වයස් මට්ටම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නිසාය. කෙසේවෙතත් “යෞවන හැඟීම් ප්‍රබල වන කාලය” එනම් හොඳ තීරණයක් ගැනීමට ප්‍රබල ලිංගික හැඟීම් බාධාවක් විය හැකි කාලය “පසු වන” තෙක් සිටීම යෝග්‍ය බව ශුද්ධ ලියවිල්ලෙහි පෙන්වා දී තිබේ. (1 කොරින්ති 7:36NW) මිෂෙල් නමැති තරුණියගේ අදහස්වලට දැන් සවන් දෙමු. “මගේ යාළුවෝ වැඩිදෙනෙක් නහඹර වියේ සිටියත්, පිරිමින් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන විවාහ වෙනවා දකින කොට, බයිබලයේ උපදෙස් අදාළ කරගන්න එක මට ලොකු අභියෝගයක් හැටියටයි දැනුණේ. කොහොම වුණත්, ඒ උපදෙස් ලැබෙන්නේ යෙහෝවාගෙන් කියාත් යෙහෝවා කියන ඕනෑම දෙයක් අපේම යහපතට හේතු වෙනවා කියාත් මට තේරුම්ගන්න පුළුවන් වුණා. ඒ නිසා, මම විවාහ වෙන්න හදිස්සි වුණේ නැහැ. මට පුළුවන් වුණා යෙහෝවා සමඟ තිබුණු මගේ සම්බන්ධතාවය ශක්තිමත් කරගන්න කාලය ගන්න. ඒ විතරක් නෙවේ, නහඹර කාලයේදී ලබාගන්න බැරි අද්දැකීම් සම්භාරයක් ලබාගන්නත් මට පුළුවන් වුණා. අවුරුදු කිහිපයකට පස්සේ මම විවාහ වෙනකොට, විවාහ ජීවිතයේ වගකීම් සහ එහි ඇති වන ගැටලු හසුරුවන්න මම හොඳ තත්වයක සිටියා.”

12. තරුණ කාලේදීම හදිස්සි වී විවාහ වීම නුවණට හුරු දෙයක් නොවන්නේ මන්ද?

12 ඉක්මන් වී තරුණ කාලේදීම විවාහ වන අය, වයසින් මෝරන විට තම ආශාවන් සහ අවශ්‍යතාවන් වෙනස් වී ඇති බව බොහෝදුරට තේරුම්ගනිති. මුලදී මහත් සේ ආශා කළ දේවල් පසු කාලයේදී එතරම් වැදගත් නොවන බව ඔවුන්ට පෙනී යයි. එක් ක්‍රිස්තියානි තරුණියකගේ හෘදයාංගම ආශාව වූයේ වයස අවුරුදු 16දීම විවාහ වීමටයි. ඒ ඇගේ ආච්චි සහ මව එම වයසේදීම විවාහ වූ නිසා විය යුතුය. ඇය පෙම් කළ එක්තරා තරුණයෙකු ඒ අවස්ථාවේදී ඉක්මනින් විවාහ වීමට වූ ඇගේ යෝජනාව ප්‍රතික්ෂේප කළ විට, ඇය තමාට කැමැත්ත පළ කර තිබූ වෙන කෙනෙකු සොයා ගියාය. ඇය විවාහ විය. එනමුත් පසු කාලයේදී, තමා ගත් හදිසි තීරණය ගැන ඇය බෙහෙවින් පසුතැවුණාය.

13. නොමේරූ අවදියේදී විවාහ වන අය ගැටලු අද්දකින්නේ කුමන පැතිවලින්ද?

13 විවාහය ගැන කල්පනා කර බලද්දී, ඊට අදාළ සෑම දෙයක් ගැනම මේරූ ආකාරයෙන් කල්පනා කර තේරුම්ගැනීම වැදගත්ය. නොමේරූ අවදියේදී විවාහ වීමෙන් ගැටලු රාශියක් පැනනැඟිය හැක. ඇත්තෙන්ම තරුණ යුවළකට එවැනි ගැටලුවලට මුහුණ දීම අසීරු කාර්යයක් විය හැකියි. විවාහ ජීවිතය තුළ සහ දරුවන් ඇති දැඩි කිරීමේදී ඇති වන පීඩාවන් සමඟ කටයුතු කිරීම සඳහා අවශ්‍ය අද්දැකීම් සහ මේරූකම ඔවුන්ට නොතිබෙනවා විය හැක. එසේ නම්, විවාහ ජීවිතයට පා තැබිය යුත්තේ, කල්පවතින සම්බන්ධයකට ඇතුල් වන්න අප ශාරීරිකව, මානසිකව හා ආත්මිකව සූදානම් වූ පසුව පමණි.

14. විවාහයකදී ඇති වන පීඩාකාරි අවස්ථාවන් හැසිරවීමට අවශ්‍ය වන්නේ කුමක්ද?

14 විවාහ ජීවිතයට පා තබන අය “මාංසයෙහි දුක්” අද්දකින බව පාවුල් සඳහන් කළේය. (1 කොරින්ති 7:28) එකිනෙකට වෙනස් පුද්ගලයන් දෙදෙනෙකු විවාහයකදී එක් වන නිසාත්, එකිනෙකාගේ අදහස් එකිනෙකට වෙනස් වන නිසාත්, ගැටලු පැනනඟිනවා නිසැකය. අපගේම අසම්පූර්ණකම් නිසා, විවාහ විධිවිධානය තුළ අපට හිමි වැඩ කොටස ශුද්ධ ලියවිල්ලෙහි පැහැදිලි කර ඇති ආකාරයටම ඉටු කිරීම අසීරු විය හැක. (1 කොරින්ති 11:3; කොලොස්සි 3:18, 19; තීතස් 2:4, 5; 1 පේතෘස් 3:1, 2, 7) ඇති වන පීඩාකාරි අවස්ථාවන් ප්‍රේමනීය ආකාරයකින් හැසිරවීමේදී දිව්‍යමය මඟ පෙන්වීම්වලට අවනත වීමටත්, ඒවා ක්‍රියාත්මක කිරීමටත් මේරූකම පමණක් නොව, නිසි ආත්මික ස්ථාවරත්වයක්ද අවශ්‍ය වේ.

15. තම දරුවන්ව විවාහය සඳහා සූදානම් කිරීමේදී දෙමාපියන්ට ඇත්තේ කවර වැඩ කොටසද? පැහැදිලි කරන්න.

15 දිව්‍ය මඟ පෙන්වීම් අනුගමනය කිරීමේ වැදගත්කම දරුවන්ට තේරුම්ගන්න උපකාර කිරීමෙන්, විවාහය සඳහා ඔවුන්ව සූදානම් කිරීමට දෙමාපියන්ට පුළුවන. ශුද්ධ ලියවිලිවල සහ සමිතියේ ප්‍රකාශනවල තොරතුරු දක්ෂ ලෙස ඒත්තුගැන්වීමට සැලැස්වීමෙන්, දරුවන් හෝ දරුවන්ගේ අනාගත කලත්‍රයන් විවාහය නමැති බැඳීමට පා තබන්න සූදානමින් සිටිනවාද යන්න තේරුම්ගැනීමට ඔවුන්ට උපකාර කිරීමට දෙමාපියන්ට හැක. a දහඅටවන වියේ පසු වූ බ්ලොසම් සිතාගෙන සිටියේ, සභාවේ ඇගේ ආදරය දිනාගෙන සිටි තරුණයා ඇගේ සිහින සැබෑ කරයි කියාය. ඔහු පූර්ණ-කාලීන සේවයෙහි නියුතු වූ අතර, විවාහ වීමේ අදහස ඔවුන් දෙදෙනාටම තිබිණ. එනමුත්, ඇය ළාබාල වැඩියි කියා සිතූ දෙමාපියන් ඇගෙන් ඉල්ලා සිටියේ තව අවුරුද්දක් ගෙවී යන තුරු බලා සිටින්නටයි. බ්ලොසම් දැන් ඒ ගැන මෙසේ සිහිපත් කරයි. “ඒ ඥානවන්ත උපදෙස්වලට කන් දුන්න එක ගැන මම ගොඩක් සන්තෝස වෙනවා. බලා සිටින්නට සිදු වූ අවුරුද්ද ඇතුළත මම ටිකක් මේරූ වුණා. ඒ තරුණයාගේ සමහරක් ගුණාංග හොඳ විවාහ කලත්‍රයෙකුගෙන් අපේක්ෂා කරන ඒවා නෙවෙයි කියලා මට වැටහෙන්න පටන්ගත්තා. එයා පස්සේ සංවිධානය අත්හැරලා ගියා! මම බේරුණේ මොනතරම් ලොකු විපත්තියකින්ද කියලා මට දැන් තේරෙනවා. දේවල් දිහා ඥානවන්තව බලා හොඳ තීරණයක් ගැනීමට උපකාර කළ හැකි දෙමාපියන් ඉන්න එක නම් කියා නිම කරන්න බැරි ආශීර්වාදයක්!”

‘ස්වාමීන් තුළ පමණක් විවාහ වන්න’

16. (අ) ‘ස්වාමීන් තුළ පමණක් විවාහ වීම’ ක්‍රිස්තියානීන්ට පරීක්ෂණයක් විය හැක්කේ කෙලෙසද? (ආ) නොඇදහිලිකාරයෙකු විවාහ කරගැනීමේ පරීක්ෂාව ඇති වන විට, ක්‍රිස්තියානීන් මෙනෙහි කළ යුත්තේ කුමක්ද?

16 ක්‍රිස්තියානීන් සඳහා යෙහෝවාගේ මඟ පෙන්වීම ඉතා පැහැදිලිය. ‘ස්වාමීන් තුළ පමණක් විවාහ වන්න.’ (1 කොරින්ති 7:39) මෙම ප්‍රමිතිය ක්‍රිස්තියානි දෙමාපියන්ට සහ ඔවුන්ගේ දරුවන්ට පරීක්ෂණයක් විය හැක. ඒ කෙසේද? තරුණ තරුණියන්ට විවාහ වීමේ ආශාව තිබිය හැකි වුවත්, සභාව තුළ කලත්‍රයන් විය හැකි අයගේ හිඟයක් තිබෙනවා වගේ පෙනෙන්නට පුළුවන. යම් ප්‍රදේශයක සහෝදරියන් ඕනෑ තරම් සිටියත්, සහෝදරයන්ගේ හිඟයක් තිබිය හැක. එසේ නැතහොත්, ගැළපෙන කෙනෙකු නොසිටිනවා වන්නට පුළුවන. සභාවේ කැප වූ සාමාජිකයෙකු නොවන තරුණයෙකු තරුණ ක්‍රිස්තියානි කාන්තාවකට (නැතහොත් කැප නොවූ තරුණියක් සහෝදරයෙකුට) කැමති බව ඇඟවිය හැකිය. එමනිසා, යෙහෝවා පිහිටුවා ඇති ප්‍රමිති නොසලකා හැරීමට ඇති පීඩනය වැඩි විය හැක. මෙවැනි තත්වයකට මුහුණ දෙන අවස්ථාවේදී, ආබ්‍රහම්ගේ ආදර්ශය ගැන මෙනෙහි කිරීම නුවණට හුරුය. ඔහු දෙවි සමඟ ඇති කරගත් කදිම සම්බන්ධතාව දිගටම පවත්වාගෙන ගිය එක් ක්‍රමයක් වූයේ, තම පුත්‍ර ඊසාක් යෙහෝවාට සැබවින්ම නමස්කාර කළ ස්ත්‍රියක හා විවාහ වන බවට වගබලා ගැනීමෙනි. ඊසාක් තම පුත්‍ර යාකොබ් සම්බන්ධයෙන්ද එවන් ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේය. මේ සඳහා සෑහෙන වෑයමක් දැරුවත්, එයින් දෙවි සතුටු වූ අතර ඔහුගේ නොමද ආශීර්වාදය ලැබීමටද එය හේතු විය.—උත්පත්ති 28:1-4.

17. නොඇදහිලිකාරයෙකු සමඟ විවාහ වීම, මහත් ශෝකයක් අද්දැකීමට ඇති ඉඩ කඩ වැඩිවීමක් වන්නේ මන්ද? ‘ස්වාමීන් තුළ පමණක් විවාහ වීමට’ තිබෙන වැදගත්ම හේතුව කුමක්ද?

17 නොඇදහිලිකාරයෙකු හා විවාහ වීමෙන් අනතුරුව, ඔහු හෝ ඇය ක්‍රිස්තියානි භක්තිකයෙකු බවට පත් වී ඇති අවස්ථා ඇත්තේ අතළොස්සක් පමණි. බොහෝ අවස්ථාවන්වලදී නොඇදහිලිකාරයන් විවාහ කරගැනීම ඉමහත් දුකකට හේතු වී ඇත. අසම ලෙස සම්බන්ධ වන අයට එකම විශ්වාසයන්, ප්‍රමිති හෝ ඉලක්කයන් ඇතුව සිටිය නොහැකි බව පැහැදිලිය. (2 කොරින්ති 6:14) මෙය අදහස් හුවමාරුවට සහ ප්‍රතිඵලයක් වශයෙන් විවාහය තුළ සන්තෝෂයට බාධාවක් විය හැක. නිදසුනකට, එක් ක්‍රිස්තියානි ස්ත්‍රියකගේ ශෝකයට හේතුව සලකා බලන්න. ආත්මිකව ප්‍රබෝධයක් ලබා දෙන රැස්වීමකට ගොස් නිවසට පැමිණි විට, තම නොඇදහිලිකාර පුරුෂයා සමඟ එහිදී දැනගත් ආත්මික දේවල් ගැන කතා කිරීමට නොහැකි වීම ඇගේ ශෝකයට හේතු විය. එනමුත්, ඊටත් වඩා වැදගත් දෙයක් සැලකිල්ලට ගත යුතුය. ‘ස්වාමීන් තුළ පමණක් විවාහ වීම’ යෙහෝවාට ඔබේ පක්ෂපාතකම දැක්විය හැකි මාර්ගයකි. අප දේවවචනයට එකඟව කටයුතු කරන විට, අපගේ සිත අපට දොස් නඟන්නේ නැත්තේ, අප ‘ඔහු ඉදිරියෙහි ප්‍රසන්න දේ කරන බැවින්ය.’—1 යොහන් 3:21, 22.

18. විවාහය ගැන කල්පනා කර බලද්දී, අවධානය දිය යුත්තේ කුමන වැදගත් කාරණාවලටද? ඒ මන්ද?

18 විවාහ වීම ගැන සලකා බලද්දී, අපේක්ෂිත කලත්‍රයාගේ සදාචාරමය ප්‍රමිතිවලට සහ ඔහුගේ හෝ ඇගේ ආත්මිකත්වයට මුල් තැන දිය යුතුය. ක්‍රිස්තියානි පෞද්ගලිකත්වය, දෙවි සඳහා ප්‍රේමය සහ දෙවිට මුළු සිතින් කැප වී සේවය කිරීමේ ආශාව රූපශ්‍රීයට වඩා වටී. ඇත්තෙන්ම දෙවිගේ අනුමැතිය ලැබිය හැක්කේ, ආත්මිකත්වය ශක්තිමත්ව තබාගැනීමට උත්සාහ කරමින් විවාහ කලත්‍රයෙකු සතු වගකීම් සිතට ගෙන එය ඉටු කරන අයට පමණි. යුවළකට විවාහ බැම්ම ශක්තිමත්ව තබාගැනීමට උපකාරවත් වන ප්‍රධානතම හේතුකාරකය වන්නේ, මැවුම්කරු සඳහා දෙදෙනාටම ඇති භක්තිය සහ ඔහුගේ මඟ පෙන්වීමට දක්වන පූර්ණ අවනතභාවයයි. මෙසේ යෙහෝවාව ගෞරවයට පත් කිරීමට හැකි වන අතර, කල්පවතින බැඳීමකට දායක වන ස්ථිරසාර ආත්මික අඩිතාලමක් මත විවාහය කෙමෙන් කෙමෙන් ගොඩනඟාගත හැකි වේ.

[පාදසටහන]

a වර්ෂ 1999 පෙබරවාරි 15 මුරටැඹ කලාපයේ 4-8 දක්වා පිටු බලන්න.

ඔබේ පිළිතුර?

• හොඳ විවාහ කලත්‍රයෙකු තෝරාගැනීමේදී දිව්‍ය මඟ පෙන්වීම අවශ්‍ය වන්නේ මන්ද?

• විවාහ බන්ධනය ශක්තිමත් කරගැනීමට දේවභක්තිය උපකාරවත් වන්නේ කෙසේද?

• තම දරුවන්ව විවාහය සඳහා සූදානම් කිරීමට දෙමාපියන්ට හැක්කේ කෙසේද?

• ‘ස්වාමීන් තුළ පමණක් විවාහ වීම’ වැදගත් වන්නේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[17වන පිටුවේ පින්තූර]

කලත්‍රයෙකු තේරීමේදී දෙවිගේ උපදෙස් අදාළ කරගැනීම ඉමහත් සන්තෝෂයට හේතු විය හැක

[18වන පිටුවේ පින්තූර]

‘ස්වාමීන් තුළ පමණක් විවාහවීමෙන්’ මහඟු ආශීර්වාද නෙළාගත හැක