Skip to content

පටුනට යන්න

අවසන් ජයග්‍රහණය කරා පියනැඟීම

අවසන් ජයග්‍රහණය කරා පියනැඟීම

අවසන් ජයග්‍රහණය කරා පියනැඟීම

“සුදු අශ්වයෙක් සිටිනවා දුටිමි, ඌ පිට හුන් තැනැත්තාට දුන්නක් තිබුණේය; ඔටුන්නක්ද ඔහුට දෙනලද්දේය. ඔහු ජයගනිමින්ද ජයගන්න පිණිසද [ඔහුගේ ජයග්‍රහණය සම්පූර්ණ කරන පිණිසද, NW] පිටත්ව ආවේය.”—එළිදරව් 6:2.

1. යොහන් දර්ශනයෙන් දුටු අනාගතික සිදුවීම් මොනවාද?

 ප්‍රේරිත යොහන්ට දේවානුභාවය ලැබීම නිසා, ඈත අනාගතයේදී, එනම් වසර 1,800කට පමණ පසුව සිදුවීමට නියමිත ක්‍රිස්තුස්ගේ සිංහාසනාරූඪ වීම ගැන විස්තර කිරීමට හැකි විය. තමන් දර්ශනයෙන් දුටු, අනාගතයේදී ඉටුවීමට නියමිත දේවල් විශ්වාස කිරීමට යොහන්ට ඇදහිල්ල අවශ්‍ය විය. පුරෝකථනය කර තිබූ පරිදි යේසුස්ගේ සිංහාසනාරූඪ වීම 1914දී සිදු වූ බවට පැහැදිලි සාක්ෂි අද අපට තිබේ. යේසුස් ක්‍රිස්තුස් “ජයගනිමින්ද ඔහුගේ ජයග්‍රහණය සම්පූර්ණ කරන පිණිස” පියනඟමින්ද සිටින බව ඇදහිල්ල නමැති ඇස්වලින් අපි දකින්නෙමු.

2. රාජ්‍යය පිහිටුවීම ගැන සාතන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? මෙය කුමක් සඳහා සාක්ෂියක්ද?

2 රාජ්‍යය පිහිටුවීමත් සමඟම සාතන්ව ස්වර්ගයෙන් පහ කරන ලදි. මෙහි ප්‍රතිඵලයක් හැටියට, මහත් සේ උදහසට පත් වී සිටින ඔහු තව තවත් දරුණු වී ඇත. එහෙත් ඔහුට නම් කිසිදා ජයක් නොලැබේ. (එළිදරව් 12:7-12) ඔහු මහත් උදහසින් කටයුතු කිරීම නිසා ලෝකයේ පවතින තත්වය වෙන කවරදාටත් වඩා දරුණු වී තිබේ. මිනිස් සමාජය භේද බින්න වෙමින් පවතී. මේ තත්වය යෙහෝවාගේ සාක්ෂිකරුවන් සලකන්නේ තමන්ගේ රජ “ඔහුගේ ජයග්‍රහණය සම්පූර්ණ කරන පිණිස” පියනඟමින් සිටින බවට පැහැදිලි සාක්ෂියක් ලෙසටය.

නව ලෝක සමාජයක් බිහි වෙමින්

3, 4. (අ) රාජ්‍යය පිහිටුවනු ලැබූ දා සිට ක්‍රිස්තියානි සභාවෙහි සංවිධානාත්මක කටයුතුවල සිදු කර තිබෙන වෙනස්කම් මොනවාද? මෙවැනි වෙනස්කම් සිදු කිරීම අවශ්‍ය වූයේ මන්ද? (ආ) යෙසායා පුරෝකථනය කළ පරිදි මෙම වෙනස්කම් නිසා ලබා තිබෙන ප්‍රයෝජනය කුමක්ද?

3 යළි පිහිටුවනු ලැබූ ක්‍රිස්තියානි සභාව මුල් සියවසේ තිබූ ක්‍රිස්තියානි සභාවේ පැවති තත්වයට ගෙන ඒම සඳහා රාජ්‍ය පිහිටුවීමත් සමඟම කාලය උදා විය. එතැන් සිට ක්‍රිස්තියානි සභාවට රාජ්‍යය හා සම්බන්ධ වගකීම් රැසක් පැවරී තිබේ. ක්‍රිස්තියානි සංවිධානය ක්‍රියාත්මක විය යුතු ආකාරය 1938 ජූනි 1 සහ ජූනි 15 මුරටැඹ (ඉංග්‍රීසියෙන්) සඟරාවල විමසුමට ලක් කරන ලදි. පසුව 1971 දෙසැම්බර් 15 මුරටැඹ (ඉංග්‍රීසියෙන්) කලාපයේ පළ වූ “නීතික සංස්ථාවකින් වෙනස් වන පාලක මණ්ඩලය” නමැති ලිපිය මගින් නවීන දින පාලක මණ්ඩලය ගැන වඩාත් හොඳින් පැහැදිලි කරන ලදි. විවිධ ප්‍රදේශවල පිහිටි සභාවලට අවශ්‍ය උපකාරය හා මඟ පෙන්වීම සැපයීම සඳහා 1972දී වැඩිමහල් මණ්ඩල පත් කරන ලදි.

4 සභා කටයුතු නිසි ලෙස අධීක්ෂණය කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ගය නිසා ක්‍රිස්තියානි සභාව තවත් ශක්තිමත් විය. වැඩිමහල්ලන්ට ඔවුන්ගේ වගකීම් ඉටු කිරීම සම්බන්ධයෙන් නිසි මඟ පෙන්වීම් සැපයීම සඳහා පාලක මණ්ඩලය විසින් පිළියෙළ කළ විධිවිධානයද ක්‍රිස්තියානි සභාව වඩාත් ශක්තිමත් වීමට හේතු විය. විනිශ්චමය කාරණා හැසිරවීම සම්බන්ධයෙන්ද ඔවුන්ට පුහුණුවක් ලැබිණ. දෙවිගේ භූමික සංවිධානයෙහි ක්‍රමානුකූලව සිදු වී තිබෙන මෙම වර්ධනයන් ගැනත්, ඉන් අත් වන ප්‍රයෝජන ගැනත් යෙසායා 60:17හි මෙසේ පුරෝකථනය කර තිබිණ. “මම පිත්තල වෙනුවට රත්රන් ගෙනෙන්නෙමි, යකඩ වෙනුවට රිදීද ලී වෙනුවට පිත්තලද ගල් වෙනුවට යකඩද ගෙනෙන්නෙමි. මම නුඹේ මුලාදෑනීන් සමාදානයද නුඹේ ආණ්ඩුකාරයන් ධර්මිෂ්ඨකමද වෙන්ට සලස්වන්නෙමි.” මෙසේ ක්‍රිස්තියානි සභාව තුළ සිදු වන වර්ධනයෙන් පැහැදිලි වන්නේ දෙවිගේ ආශීර්වාද එයට තිබෙන බවයි. එමෙන්ම, ජ්වලිතව ඔහුගේ රාජ්‍යයට සහයෝගය දෙන අයට දෙවිගේ අනුමැතිය තිබෙන බවටත් එම වර්ධනය සාක්ෂියක් වේ.

5. (අ) යෙහෝවා ඔහුගේ සෙනඟට කර තිබෙන ආශීර්වාදවලට සාතන් ප්‍රතිචාරය දක්වා තිබෙන්නේ කෙසේද? (ආ) පිලිප්පි 1:7හි සඳහන් වන පරිදි, යෙහෝවාගේ සෙනඟ සාතන්ගේ උදහස හමුවෙහි ක්‍රියා කර තිබෙන්නේ කෙසේද?

5 රාජ්‍යය පිහිටුවීමෙන් පසු දෙවි ඔහුගේ සෙනඟ කෙරෙහි ප්‍රේමනීය ලෙස දක්වන සැලකිල්ල හා ඔවුන්ට සපයන මඟ පෙන්වීම් සාතන්ගේ අවධානයෙන් ගිලිහී ගොස් නැත. මීට හොඳ උදාහරණයක් මෙසේ ගෙනහැර දැක්විය හැක. තමන් තවදුරටත් හුදෙක් බයිබල් ශිෂ්‍යයන් පමණක් නොවන බව සංඛ්‍යාවෙන් කුඩා වූ මෙම ක්‍රිස්තියානි කණ්ඩායම 1931දී ප්‍රසිද්ධියේ කියා සිටියේය. යෙසායා 43:10හි සඳහන් වන පරිදි ඔවුහු යෙහෝවාගේ සාක්ෂිකරුවෝ හැටියට තමන්ව හඳුන්වා දුන්නෝය. ඒ කාලයේදීම සාතන් කිසිදා සිදු නොවූ ආකාරයේ හිංසා පීඩා එම ක්‍රිස්තියානි කණ්ඩායම වෙත ගෙන ආවේය. ආගමික නිදහස සම්බන්ධයෙන් පිළිගැනීමකට ලක්ව තිබූ අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව හා ජර්මනිය වැනි රටවල පවා සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට තමන්ගේ ආගමික නිදහස රැකගැනීම සඳහා විටින් විට නීතියේ පිහිට පැතීමට සිදු විය. වර්ෂ 1988වන විට අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෙහෝවාගේ සාක්ෂිකරුවන් හා සම්බන්ධ නඩු 71ක් විභාග කර තිබෙන අතර, ඒවායින් තුනෙන් දෙකකම තීන්දුවල වාසිය හිමි වූයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ටය. අදත් ලොව පුරා යෙහෝවාගේ සාක්ෂිකරුවන් තමන්ගේ ආගමික නිදහස රැකගැනීමේ අරමුණින් ගොනු කර තිබෙන නඩු, විභාග වෙමින් පවතී. ඔවුන් ගෙන තිබෙන මෙම පියවර නිසා පළමු සියවසේදී මෙන් අදදිනද “ශුභාරංචිය රැකගැනීමටත් එයට නීත්‍යනුකූල පදනමක් සැපයීමටත්” හැකි වී තිබේ.—පිලිප්පි 1:7NW.

6. යෙහෝවාගේ සෙනඟගේ ඉදිරි ගමන වැළැක්වීමට සීමා තහංචිවලට හැකි වී තිබේද? පැහැදිලි කරන්න.

6 දෙවන මහා ලෝක යුද්ධය සඳහා පසුබිම සකස් වෙමින් තිබූ 1930 ගණන්වලදී අධිරාජ්‍යවාදී ආණ්ඩු විසින් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ආගමික වැඩකටයුතුවලට සීමා තහංචි පනවන ලදි. ජර්මනිය, ස්පාඤ්ඤය හා ජපානය එසේ සීමා තහංචි පැනවූ රටවල්වලින් කිහිපයකි. එනමුත් 2000 වසරේදී එම රටවල් තුනෙන් පමණක් ක්‍රියාශීලී රාජ්‍ය ප්‍රචාරකයන් 5,00,000කට ආසන්න පිරිසක් වාර්තා විය. මෙම සංඛ්‍යාව 1936දී ලොව පුරා සිටි සාක්ෂිකරුවන්ගේ ගණන මෙන් දස ගුණයකට ආසන්නය! ජයගනිමින් ඉදිරියට යන යේසුස් ක්‍රිස්තුස්ගේ නායකත්වය යටතේ සිටින යෙහෝවාගේ සෙනඟගේ ඉදිරි ගමන වැළැක්වීමට සීමා තහංචිවලට නොහැකි බව ඉන් පැහැදිලි වේ.

7. වර්ෂ 1958දී පැවැත්වූ සමුළුවේ විශේෂත්වය කුමක්ද? එදා සිට අද දක්වා සිදු වී තිබෙන ප්‍රබල වෙනස කුමක්ද?

7 යෙහෝවාගේ සෙනඟ ඉදිරියටම ගමන් කරන බව 1958දී නියූ යෝක් නුවර පවත්වන ලද දිව්‍ය කැමැත්ත නමැති ජාත්‍යන්තර සමුළුවේදී කෙතරම් හොඳින් පැහැදිලි වීද! එම සමුළුවට පැමිණ සිටි සංඛ්‍යාව 2,53,922ක් වූ අතර, යෙහෝවාගේ සාක්ෂිකරුවන් මෙතෙක් පවත්වා තිබෙන සමුළුවලට පැමිණි විශාලතම සංඛ්‍යාව එයයි. වර්ෂ 1970 වන විට, එවකට නැඟෙනහිර ජර්මනිය කියා හැඳින්වූ රටෙහි හැර කලින් සඳහන් කළ රටවල් තුනෙහි සාක්ෂිකරුවන්ට ඔවුන්ගේ ආගමික කටයුතු කරගෙන යෑමට නිදහස ලැබී තිබිණ. නමුත් ඒ කාලයේදී අතිවිශාල සෝවියට් සංගමයේ හා වොර්සෝ ගිවිසුමට අයත් මිත්‍ර රටවල සිටි සාක්ෂිකරුවන්ගේ ආගමික කටයුතු තහනම් කර තිබිණ. කලින් කොමියුනිස්ට් රටවල් ලෙස පැවති එම රටවල අදදින ක්‍රියාශීලී සාක්ෂිකරුවෝ ලක්ෂ පහකට වැඩියෙන් සිටිති.

8. යෙහෝවා ඔහුගේ සෙනඟට ආශීර්වාද කිරීමේ ප්‍රතිඵලය වී තිබෙන්නේ කුමක්ද? මේ ගැන 1950 ගණන්වල පළ වූ මුරටැඹ සඟරාවක සඳහන් වූයේ කුමක්ද?

8 යෙහෝවාගේ සාක්ෂිකරුවන් මහත් වර්ධනයක් අද්දැකීමට හේතුව, ඔවුන් ‘පළමුකොට රාජ්‍යයත් දෙවිගේ ධර්මිෂ්ඨකමත් [දිගටම] සොයමින් සිටීමයි.’ (මතෙව් 6:33) “කුඩා තැනැත්තා දහසක්ද සුළු තැනැත්තා බලවත් ජාතියක්ද වන්නේය. [යෙහෝවා වන] මම ඒකේ නියම කලට ඒක ඉක්මන් කරන්නෙමි” කියා යෙසායා පුරෝකථනය කළ වදන් වචනයේ පරිසමාප්තියෙන්ම අද සැබෑවක් වී තිබේ. (යෙසායා 60:22) වර්ධනය අඛණ්ඩව සිදු වෙමින් පවතී! පසුගිය අවුරුදු දහය ඇතුළත පමණක් ක්‍රියාශීලී රාජ්‍ය ප්‍රචාරකයන්ගේ ගණන 17,50,000කට වඩා වැඩි විය. මොවුන් සිය කැමැත්තෙන්ම විශේෂ කණ්ඩායමක කොටසක් වී තිබේ. මේ කණ්ඩායම ගැන 1950 ගණන්වල පළ වූ මුරටැඹ සඟරාවක මෙසේ සඳහන් විය. “දැන් දෙවි ලෝක ව්‍යාප්ත නව සමාජයක් සඳහා කටයුතු පිළියෙළ කරමින් සිටියි. . . . මෙම සමාජයේ අත්තිවාරම බඳු මුල් සාමාජිකයන් අර්මගෙදොන් යුද්ධයෙන් බේරී ජීවත් වනු ඇත. . . . සංවිධානයේ කටයුතු හසුරුවන ආකාරය ගැන අද්දැකීම් තිබෙන මෙම සාමාජිකයන් ‘අලුත් පොළොවේදී’ දිව්‍යාණ්ඩු ක්‍රමයට අනුකූලව සංවිධානය වී සිටිනු ඇත.” එම ලිපිය අවසානයේදී මෙසේ සඳහන් විය. “ඒ කාලයේදී අප සියලුදෙනාම එක්ව ලෝක ව්‍යාප්ත නව සමාජයක වැසියන් ලෙස අඛණ්ඩව ඉදිරියට ගමන් කරන්නෙමු!”

9. යෙහෝවාගේ සාක්ෂිකරුවන් අවුරුදු ගණනාවක් තිස්සේ ඉගෙනගෙන තිබෙන දේවල් ප්‍රයෝජනවත් වී තිබෙන්නේ කෙසේද?

9 මේ අතර, මෙම ලෝක ව්‍යාප්ත නව සමාජයේ වැඩි වෙමින් පවතින සාමාජික පිරිස අද කාලයේදී පවා ඉමහත් ප්‍රයෝජන අත් කරගත හැකි ආකාරයේ පුහුණුවක් ලබා තිබේ. ඇතැම්විට මෙම පුහුණුව අර්මගෙදොන්වලින් පසු සිදු කෙරෙන යළි ගොඩනැඟීමේ වැඩ කටයුතුවලදී ප්‍රයෝජනවත් වීමටද පුළුවන. උදාහරණයක් හැටියට, සාක්ෂිකරුවන් විශාල සමුළු සංවිධානය කිරීම, හදිසි සහනාධාර කඩිනමින් සැපයීම හා කෙටි කලක් ඇතුළත ගොඩනැඟිලි ඉදි කිරීම යනාදි දේවල් සිදු කරන ආකාරය ගැන ඉගෙනගෙන තිබේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් සිදු කරනු ලබන එම දේවල් බොහෝදෙනෙකු අගය කර තිබේ. එමෙන්ම ඔවුන් බොහෝදෙනෙකුගේ ගෞරවයටද පාත්‍ර වී ඇත.

වරදවා වටහාගැනීම් නිවැරදි කිරීම

10, 11. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන තිබූ වැරදි වැටහීම් නිවැරදි කිරීමට කටයුතු කර තිබෙන ආකාරය සම්බන්ධයෙන් උදාහරණ සපයන්න.

10 කෙසේවෙතත්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් පොදුවේ මිනිසුන් දරන අදහස් සමඟ එකඟව වන්නේ නැහැ කියා ඇතැම් අය චෝදනා කරති. මෙයට මුල් වන හේතු වන්නේ රුධිර ප්‍රවේශනය ප්‍රතික්ෂේප කිරීම, දේශපාලනමය කාරණාවලදී මධ්‍යස්ථභාවය රැකීම, දුම්පානය හා සදාචාර ප්‍රමිති යනාදිය සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් බයිබලය මත පදනම් වූ ස්ථාවරයක සිටීමයි. ඇතැම් කාරණා සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් දරන අදහස් සැලකිල්ලට ගැනීම වටින බව පිළිගන්න අය දැන් වැඩි වෙමින් පවතී. උදාහරණයක් හැටියට, රෝහලේ තමන් සමඟ වැඩ කරන අය සහ තමන් අතර රුධිර ප්‍රවේශනය සම්බන්ධයෙන් පැය ගණනාවක විවාදයක් ඇති වූ බව පෝලන්තයේ සිටින වෛද්‍යවරියක් එරට පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ කාර්යාලයට දුරකථනයෙන් පැවසුවාය. මේ විවාදය ඇතිවීමට හේතු වූයේ එරට දිනපතා පළ වන පුවත්පතක් වන ජැනික් සහොඩ්නි නමැති පුවත්පතේ සඳහන් වූ ලිපියකි. ඇය මෙසේ පැවසුවාය. “වෛද්‍ය ක්ෂේත්‍රය තුළ රුධිරය අනවශ්‍ය ලෙස භාවිත කිරීම ගැන මම කනගාටු වෙනවා. මේ තත්වය වෙනස් කළ යුතුයි. සමහර අය මේ කාරණය විවෘතව සාකච්ඡා කරන්න කැමති වීම ගැන මම සන්තෝෂ වෙනවා. මේ ගැන වැඩි විස්තර දැනගන්න මම කැමතියි.”

11 පසුගිය වසරේ පවත්වන ලද සමුළුවකදී අමෙරිකා එක්සත් ජනපදය, ඉශ්‍රායෙලය, කැනඩාව හා යුරෝපය යන රටවල් නියෝජනය කළ වෛද්‍ය බලධාරීන් පිරිසක් රුධිරය භාවිත නොකර රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරුන්ට උපකාර කිරීමේ අරමුණින් පිළියෙළ කර තිබූ තොරතුරු සාකච්ඡා කළේය. රුධිර ප්‍රවේශනයන් ලබා නොගන්න රෝගීන්ගේ මරණ අනුපාතයට වඩා එය ලබාගන්න රෝගීන්ගේ මරණ අනුපාතය වැඩි බව ස්විට්සර්ලන්තයේ පවත්වන ලද එම සමුළුවේදී පෙන්වා දෙන ලදි. රුධිර ප්‍රවේශන ලබාගත් රෝගීන්ට වඩා රුධිර ප්‍රවේශන ලබා නොගත් සාක්ෂිකරුවන්ට ඉක්මනින් රෝහලින් පිට වී යෑමට හැකි විය. එහි ප්‍රතිඵලයක් හැටියට ප්‍රතිකාර සඳහා වැය වන වියදම්ද අඩු කරගැනීමට හැකි වී තිබේ.

12. දේශපාලනය සම්බන්ධයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මධ්‍යස්ථභාවය ගැන ලෝකයේ ප්‍රමුඛ පෙළේ පුද්ගලයන්ගේ පැසසීමට ලක් වී තිබෙන ආකාරය පිළිබඳව උදාහරණයක් සපයන්න.

12 යෙහෝවාගේ සාක්ෂිකරුවන් දෙවන ලෝක මහා යුද්ධයට කලින් මෙන්ම යුද්ධය පැවති කාලයේදීද දරුණු නාට්සි ප්‍රහාරවල ඉලක්කය විය. ඒ කාලයේදී සාක්ෂිකරුවන් ඔවුන්ගේ මධ්‍යස්ථභාවය රැකගත් ආකාරය බොහෝදෙනෙක් අගය කළහ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් නිෂ්පාදනය කරන ලද යෙහෝවාගේ සාක්ෂිකාරයන් නාට්සි හිංසා හමුවෙහි ස්ථිරව (ඉංග්‍රීසියෙන්) නමැති වීඩියෝ පටය මුලින්ම 1996 නොවැම්බර් 6වනදා ජර්මනියේ පිහිටි රාවන්ස්බෲක් රැඳවුම් කඳවුරේදී පෙන්වන ලද අවස්ථාවේදී බොහෝදෙනෙක් අගය පළ කළහ. එමෙන්ම 1998 අප්‍රියෙල් 18වනදා බර්ගන්-බෙල්සන්හි පිහිටි ප්‍රසිද්ධ රැඳවුම් කඳවුරේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් වීඩියෝ පටයක් පෙන්වූ අවස්ථාවේදී, දකුණු සැක්සනිහි පිහිටි දේශපාලනය පිළිබඳ අධ්‍යාපනික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වන ආචාර්ය වොල්ෆ්ගං ෂෙල් මෙසේ පිළිගත්තේය. “මහත් කම්පාවක් ඇති කරවන ඉතිහාසගත සත්‍යයක් වන්නේ, ක්‍රිස්තියානි පල්ලිවලට අයත් අය තුළ නොතිබූ දැඩි අධිෂ්ඨානයකින් යුතුව යෙහෝවාගේ සාක්ෂිකරුවන් ජාතික සමාජවාදී ආණ්ඩුවල බලපෑම්වලට යට නොවී සිටීමයි. . . . යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ඉගැන්වීම් ගැන අපට හැඟෙන ආකාරය කුමක් වුණත්, නාට්සි පාලනයේ දැඩි නීති යටතේ පවා ඔවුන් සිය ස්ථාවරය රැකගැනීම පැසසීමට වටිනවා.”

13, 14. (අ) මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට සැලසුම් කළ අවස්ථාවේදී අනපේක්ෂිත ලෙස ඔවුන්ට උපකාරය ලැබුණේ කෙසේද? (ආ) අද සිටින දෙවිගේ සෙනඟට වාසිදායක වන ලෙස කර තිබෙන ප්‍රකාශයන්වලට උදාහරණ සපයන්න.

13 මතභේදවලට තුඩු දී තිබෙන කාරණා සම්බන්ධයෙන් ලෝකයේ සිටින ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව පැසසුමට ලක් කිරීම හා අධිකරණ මගින් සාක්ෂිකරුවන්ට හිතකර තීන්දු දී තිබීම, සාක්ෂිකරුවන් කෙරෙහි ඇතැම් අය තුළ තිබෙන අගතිසහගත හැඟීම් නැති කිරීමට හේතු වී තිබේ. එමෙන්ම සාක්ෂිකරුවන් කෙරෙහි හොඳ හැඟීමක් මිනිසුන් තුළ ඇතිවීමටත් එය හේතු වී ඇත. මෙහි ප්‍රතිඵලයක් හැටියට, මින් පෙර කවදාවත් තමන්ට සවන් නොදුන් පුද්ගලයන් සමඟ කතා කිරීමට ඔවුන්ට හැකි වී තිබේ. මේ නිසා එවන් තීන්දු හා පැසසුමට ලක් කිරීම් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ බොහෝ සෙයින් අගය කරති. මුල් සියවසේදී යෙරුසලමෙහි සිදු වූ දෙයක් ඒ දේවලින් අපට සිහිපත් කරයි. ක්‍රිස්තියානීන් ජ්වලිතව දේශනා සේවය කරමින් සිටි නිසා ඔවුන්ව නැති කර දැමීමට සැන්හීඩ්‍රින් යනුවෙන් හැඳින්වූ යුදෙව් අධිකරණය උත්සාහ කළ අවස්ථාවේදී, ‘සියලු මනුෂ්‍යයන් විසින් ගරු කරන ලද ව්‍යවස්ථාව උගන්වන්නෙකු වූ’ ගමාලියෙල් අනතුරු ඇඟවීමක් කරමින් මෙසේ පැවසුවේය. “ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි, නුඹලා මේ මනුෂ්‍යයන්ට කරන්ට යන කාරණය ගැන ප්‍රවේසම්වෙන්න. . . . මේ මනුෂ්‍යයන්ගෙන් වැලකී ඔවුන්ට කිසිවක් [නොකරන්න]. මක්නිසාද මේ මන්ත්‍රණය හෝ මේ ක්‍රියාව මනුෂ්‍යයන්ගෙන් වී නම්, ඒක පෙරළාදමනු ලබන්නේය. නුමුත් ඒක [දෙවිගෙන්] වී නම්, ඔවුන් පරාජයකරන්ට නුඹලාට බැරිය; එසේ උත්සාහ කළොත් සමහරවිට නුඹලා [දෙවිට] විරුද්ධව පවා යුද්ධකරන්නහුවන්ට පුළුවන.”—ක්‍රියා 5:33-39.

14 මෑත කාලයේදී ගමාලියෙල් හා සමානව ලෝකයේ ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ලැබිය යුතු ආගමික නිදහස වෙනුවෙන් එඩිතරව කතා කර තිබේ. උදාහරණයක් හැටියට, ආගමික නිදහස පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ හිටපු සභාපති මෙසේ කරුණු ගෙනහැර දැක්වුවේය. “යම් ආගමක විශ්වාසයන් සමාජයේ බහුතරයකට පිළිගත නොහැකි වූ පමණින් හෝ දැනට පවතින ආගමික සම්ප්‍රදායට වෙනස් වූ පමණින් එම ආගමට හිමි විය යුතු ආගමික අයිතිවාසිකම් අහිමි නොකළ යුතුයි.” නිකායන් කියා හඳුන්වනු ලබන ආගම්වල සිදු වන දේවල් ගැන දැඩි පරීක්ෂණයක් කිරීම සඳහා ජර්මානු ආණ්ඩුව කොමිසමක් පත් කළේය. ලෙයිප්සිග් සරසවියේ ආගම් පිළිබඳව පුළුල් අධ්‍යයනයක යෙදී සිටින මහාචාර්යවරයෙක් එම කොමිසම ගැන මෙසේ ප්‍රශ්න කළේය. “සාමාජිකයන් සුළු පිරිසක් සිටින ආගම් ගැන පමණක් පරීක්ෂණ පවත්වන්නේ ඇයි? ප්‍රධාන ආගම් දෙක [රෝමානු කතෝලික හා ලුතරන් සභාව] ගැන මේ විදිහට පරීක්ෂණයක් නොපවත්වන්නේ ඇයි?” කලින් ජර්මානු ආණ්ඩුවේ නිලධාරියෙකු පැවසූ මේ වදන්වලින් එම ප්‍රශ්නවලට උත්තර සොයාගත හැක. “මේ දේවල් පිටුපස සිටින්නේ ආණ්ඩුව පත් කළ කොමිසම ගත් ක්‍රියාමාර්ගයට දැඩි බලපෑමක් කළ කතෝලික හා ලුතරන් සභාවල ආගමික උන්මන්තකයන් බවට කිසිම සැකයක් නැහැ.”

අප සහනය පැතිය යුත්තේ කාගෙන්ද?

15, 16. (අ) ගමාලියෙල්ගේ මැදිහත් වීමෙන් ලැබුණු ප්‍රතිඵලය සීමිත එකක් වූයේ මන්ද? (ආ) බලතල තිබූ පුද්ගලයන් තිදෙනෙකුට පවා යේසුස් වෙනුවෙන් කළ හැකි දේ සීමිත වූයේ මන්ද?

15 ගමාලියෙල් පැවසූ වදන්වලින් පැහැදිලි වන්නේ දෙවිගේ අනුබලය ලැබෙන වැඩක් කඩාකප්පල් කළ නොහැකි බවයි. ගමාලියෙල් යුදෙව් අධිකරණය ඉදිරියෙහි පැවසූ වදන්වලින් මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන්ට ප්‍රයෝජන ලැබිණ. එහෙත් තමන්ගේ අනුගාමිකයන් බවට පත් වන අය හිංසා පීඩාවලට ගොදුරු වන බවට යේසුස් පැවසූ වදන් සැබෑවක් වන බව එම ක්‍රිස්තියානීහු අමතක නොකළහ. යුදෙව් ආගමික නායකයන් මුල් ක්‍රිස්තියානීන්ව නැති කර දැමීමට කළ සැලසුම් ගමාලියෙල්ගේ මැදිහත් වීම නිසා අත් හිටවනු ලැබුවත්, ඔවුන්ට හිංසා පීඩා කිරීම අත්හැර දැමුවේ නැති බව මෙම වදන්වලින් පැහැදිලි වේ. “ඔව්හු ඔහුගේ වචනයට එකඟවී, ප්‍රේරිතයන් තමුන් වෙතට ගෙන්වා, ඔවුන්ට තළා, [යේසුස්ගේ] නාමයෙන් කථා නොකරන්ට අණකොට යන්ට හැරියෝය.”—ක්‍රියා 5:40.

16 යේසුස්ට විරුද්ධව එල්ල කරන ලද චෝදනා විභාග කළ අවස්ථාවේදී, ඔහු නිර්දෝෂ බව තේරුම්ගත් පිලාත් ඔහුව නිදහස් කිරීමට උත්සාහ කළේය. එහෙත් ඔහුගේ උත්සාහය ව්‍යර්ථ විය. (යොහන් 18:38, 39; 19:4, 6, 12-16) යේසුස් නිර්දෝෂ බව තේරුම්ගත් යුදෙව් අධිකරණයේ සාමාජිකයන් දෙදෙනෙකු වූ නිකොදේමුස්ට හා අරිමාතියේ යෝසෙප්ට පවා යේසුස්ට එරෙහිව ගත් නඩු තීන්දුව වෙනස් කිරීමට බලයක් නොතිබිණ. (ලූක් 23:50-52; යොහන් 7:45-52; 19:38-40) චේතනාව කුමක් වුවත්, යෙහෝවාගේ සෙනඟට පක්ෂව නැඟී සිටින මිනිසුන්ගෙන් බලාපොරොත්තු විය හැකි සහනය ඉතාමත් සීමිතයි. යේසුස් ක්‍රිස්තුස් ලෝකයේ වෛරයට පාත්‍ර වූවාක් මෙන් ඔහුගේ අනුගාමිකයන්ද දිගටම ලෝකයේ වෛරයට පාත්‍ර වනු ඇත. සම්පූර්ණ සහනයක් ලැබෙන්නේ යෙහෝවාගෙන් පමණි.—ක්‍රියා 2:24.

17. යෙහෝවාගේ සාක්ෂිකරුවන් දරන යථාර්ථවාදී දෘෂ්ටිය කුමක්ද? අත්නෑර ශුභාරංචිය දේශනා කිරීමට තමන් ගෙන තිබෙන අධිෂ්ඨානය දුර්වල වීමට ඔවුන් ඉඩහැර නැත්තේ මන්ද?

17 ඉදිරියේදීත් තමන් හිංසා පීඩාවලට ගොදුරු වන බව මේ කාරණය දෙස යථාර්ථවාදීව බලන යෙහෝවාගේ සාක්ෂිකරුවෝ දනිති. විරුද්ධවාදිකම් නතර වන්නේ සාතන්ගේ ආධිපත්‍යය යටතේ පවතින ක්‍රමය සම්පූර්ණයෙන්ම නැති කර දැමීමෙන් පසුව පමණයි. කෙසේවෙතත්, මෙලෙස හිංසා පීඩාවලට ලක්වීම නීරස අද්දැකීමක් වුවත්, යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ඔවුන්ට පවරා තිබෙන වැඩය වන රාජ්‍ය ශුභාරංචිය දේශනා කිරීමෙන් වැළකී නොසිටිති. දෙවිගේ අනුබලය ඔවුන්ට ලැබෙන නිසා මෙය නතර කිරීමට කිසිම හේතුවක් නැත. ඔවුහු ඔවුන්ගේ හොඳම ආදර්ශය වන ධෛර්යසම්පන්න නායකයාගේ ආදර්ශය අනුකරණය කරති.—ක්‍රියා 5:17-21, 27-32.

18. යෙහෝවාගේ සෙනඟට ඉදිරියේදී මුහුණ දීමට තිබෙන්නේ කුමන දුෂ්කරතාවන්ටද? එහෙත් ඔවුන්ට තිබෙන නිසැක විශ්වාසයට අනුව එහි ප්‍රතිඵලය කුමක් වනු ඇද්ද?

18 සැබෑ ආගම බිහි වූ දා සිට එයට දැඩි විරුද්ධවාදිකම් එල්ල විය. ස්වර්ගයෙන් නෙරපා දමා සිටින ගොග් නමැති සාතන් වැඩිකල් නොගොස් ඔහුගේ මුළු වැර යොදා සැබෑ ආගමට දරුණු ප්‍රහාරයක් එල්ල කරනු ඇත. නමුත් සැබෑ ආගම නොනැසී දිගටම පවතින බව නිසැකයි. (එසකියෙල් 38:14-16) සාතන්ගේ මඟ පෙන්වීම යටතේ ‘මුළු ලෝකයේ රජවරු බැටළුපැටවාට විරුද්ධව යුද්ධ කරන්නෝය. බැටළුපැටවා ඔවුන් පරාජය කරන්නේය. මක්නිසාද ඔහු ස්වාමිවරුන්ගේ ස්වාමීන්ය. රජවරුන්ගේ රජය.’ (එළිදරව් 16:14; 17:14) ඔව්, අපේ රජ අවසන් ජයග්‍රහණය කරා පියනඟමින් සිටියි. වැඩිකල් නොගොස් ඔහු ‘සිය ජයග්‍රහණය සම්පූර්ණ’ කරනු ඇත. ‘දෙවි අපේ පක්ෂයෙහි සිටිනවා’ කියා යෙහෝවාගේ නමස්කාරකයන් පවසන විට, ඔවුන්ට එරෙහිව නැඟී සිටීමට කිසිවෙකුට නොහැකි වන දවස වැඩි ඈතක නොවේ. එසේනම්, ජයග්‍රහණය කරා පියනඟමින් සිටින යේසුස් සමඟ ඉදිරියටම යෑම මොනතරම් වරප්‍රසාදයක්ද!—රෝම 8:31; පිලිප්පි 1:27, 28.

ඔබට පැහැදිලි කළ හැකිද?

• රාජ්‍යය පිහිටුවනු ලැබූ දා සිට ක්‍රිස්තියානි සභාව ශක්තිමත් කිරීම සඳහා යෙහෝවා කර තිබෙන්නේ මොනවාද?

• සිය ජයග්‍රහණය සම්පූර්ණ කිරීමෙන් ක්‍රිස්තුස්ව වැළැක්වීම සඳහා සාතන් කර තිබෙන්නේ මොනවාද? එහි ප්‍රතිඵල මොනවාද?

• යෙහෝවාගේ සාක්ෂිකරුවන් නොවන අය සාක්ෂිකරුවන්ට වාසිදායක වන ක්‍රියාමාර්ගයන් ගැනීම ගැන අපට තිබිය යුතු සමබර ආකල්පය කුමක්ද?

• ළඟදීම සාතන් කරන්නේ කුමක්ද? එහි ප්‍රතිඵලය කුමක් වනු ඇද්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ පින්තූරය]

යෙහෝවාගේ සෙනඟ ඉදිරියට පියනඟමින් සිටින බවට සාක්ෂියකි, සමුළු

[20වන පිටුවේ පින්තූර]

දෙවන ලෝක මහා යුද්ධය පැවති කාලයේදී සාක්ෂිකරුවන් මධ්‍යස්ථභාවය රැකගැනීම නිසා අදත් යෙහෝවාව පැසසුමට ලක් වෙයි