Skip to content

පටුනට යන්න

ඔහුගේ ආත්මික අවශ්‍යතාව සංසිඳේ

ඔහුගේ ආත්මික අවශ්‍යතාව සංසිඳේ

රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව

ඔහුගේ ආත්මික අවශ්‍යතාව සංසිඳේ

සයිප්‍රසය මධ්‍යධරණී මුහුදේ ඊශාන කෙළවර පිහිටි දිවයිනකි. බයිබල් කාලවලදී සයිප්‍රසය හොඳ තත්වයේ ලී හා තඹවලට ඉමහත් සේ ප්‍රසිද්ධ වී තිබූ බව කියවේ. එපමණක්ද නොව පාවුල් හා බාර්ණබස්ගේ පළමුවන මිෂනාරි ගමනේදී ඔවුහු රාජ්‍යයේ ශුභාරංචිය පතළ කිරීමට සයිප්‍රසයට ගියෝය. (ක්‍රියා 13:4-12) අදදිනත් සයිප්‍රස් ජාතිකයන්ගේ ජීවිතවලට හොඳ බලපෑමක් කිරීමට රාජ්‍යයේ ශුභාරංචිය සමත් වී තිබේ. මෙය සනාථ කරමින් හතළිස් හැවිරිදි ලූකස් පැවසුවේ මෙසේයි.

“මම දරුවන් හත්දෙනෙකුගෙන් යුත් පවුලක සාමාජිකයෙක්. අපට හරක් ගොවි පොළක් තිබුණා. මම ළමා කාලයේ ඉඳලාම කියවන්න හරි කැමතියි. මම ගොඩක් ආස කළ පොතක් තමයි ග්‍රීක් ශුද්ධ ලියවිලිවලින් පමණක් සමන්විත පුංචි බයිබලය. මට අවුරුදු දහයක් වන විට මම මගේ යාළුවෝ කාණ්ඩයත් එකතු කරගෙන බයිබලය පාඩම් කළා. අපේ ගමේ හිටපු සමහර වැඩිහිටි අය අපිව මිථ්‍යාදෘෂ්ටිකයෝ කියලා හංවඩු ගසන්ට පටන්ගත් නිසා ඒක මට වැඩිකල් කරන්න හම්බ වුණේ නෑ.

“පසුව මම එක්සත් ජනපදයේ ඉගෙනුම ලබමින් සිටි කාලයේදී විවිධ ආගමික පසුබිම්වල සිටි මිනිස්සුන්ව මට හමු වුණ නිසා නැවතත් මගේ ආගමික දේ ගැන දැනගැනීමට තිබූ ආශාව දළුලන්න පටන්ගත්තා. මේ නිසා මගේ සමහර දවස් ගෙවී ගියේ විශ්වවිද්‍යාල පුස්තකාලයේ තිබූ විවිධ ආගමික පොත් අතරෙයි. ඒ විතරක් නෙවෙයි මම හුඟාක් පල්ලිවලටද ගියා. මම හුඟාක් මහන්සි වුණා. නමුත් මම මොන දේ කළත් මගේ ආත්මික අවශ්‍යතාව නම් සංසිඳුණේ නැහැ.

“මගේ ඉගෙනීමේ කටයුතු අවසන් වූ පසු මම නැවතත් සයිප්‍රස්වලට ගියා. එහිදී මම වෛද්‍ය රසායනාගාරයක අධ්‍යක්ෂවරයෙකු ලෙස රැකියාවක් කළා. යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු වන ඇන්තෝනියස් කියලා වැඩිහිටි කෙනෙක් මාව හමුවීමට මම රැකියාව කරන ස්ථානයට නිතර දෙවේලේ ආවා. ඔහු මාව හමුවීමට එන එක ගැන ග්‍රීක් ඕතඩොක්ස් පල්ලියට දැනගන්න ලැබුණා.

“ඉක්මනින්ම එක් දේවධර්මාධරයෙක් මාව හමුවීමට පැමිණි අතර යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ කතා කරන්න එපා කියමින් මාව අධෛර්ය කළා. මම පොඩි කාලයේ සිට විශ්වාස කළේ සත්‍යය උගන්වන්නේ ග්‍රීක් ඕතඩොක්ස් පල්ලියේ කියලා. ඉතින් මම ඇන්තෝනියස්ගේ පැමිණීම නවත්වා දේවධර්මාධරයෙකු සමඟ බයිබල් සාකච්ඡාවක් ආරම්භ කළා. මම සයිප්‍රසයේ තියෙන නොයෙක් පූජකාරාමවලටත් ගියා. ඕතඩොක්ස් ක්‍රිස්තියානීන් පරිශුද්ධ කන්දක් හැටියට සැලකූ ඇතෝස් කන්ද නැඟීම සඳහා ග්‍රීසියේ උතුරු පැත්තට පවා ගමන් කරන්න මට සිදු වුණා. එතෙක් මෙතෙක් මා කළ කිසිම දෙයකින් මගේ බයිබල් ප්‍රශ්නවලට නම් පිළිතුරු ලැබුණේ නැහැ.

“සත්‍යය සොයා දෙන්න කියා මම දෙවිට යාච්ඤා කළා. ටික කාලයකට පස්සේ ඇන්තෝනියස් නැවත වරක් මාව හමු වෙන්න රැකියා ස්ථානයට ආවා. මට ඒ වේලාවේ හිතුණා ඔහුගේ පැමිණීම මගේ යාච්ඤාවට පිළිතුරක් කියලා. පසුව මම දේවධර්මාධරයාගේ පැමිණීම නවත්වා ඇන්තෝනියස් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. මම ක්‍රමානුකූලව වර්ධනය වූ අතර මගේ කැපවීම වර්ෂ 1997 ඔක්තෝබර්වලදී වතුර බව්තීස්මයෙන් සංකේතවත් කළා.

“මුලදී මගේ භාර්යාවගෙන් මෙන්ම දස හැවිරිදි හා දාහතර හැවිරිදි වැඩිමහල් දූවරුන් දෙදෙනාගෙන් විරුද්ධවාදීකම් පැමිණියා. නමුත් මගේ හොඳ හැසිරීම නිසා, මගේ භාර්යාව රාජ්‍ය ශාලාවේ පවත්වන රැස්වීම්වලට පැමිණීමට තීරණය කළා. එහිදී සාක්ෂිකරුවන්ගේ කරුණාවන්තකම හා අන් අය කෙරෙහි ඔවුන් දක්වන පුද්ගලික සැලකිල්ල ඇගේ සිතට තදින්ම කාවැදුණා. විශේෂයෙන්ම ඇයගේ සිත්ගත්තේ ඔවුන් බයිබලය පාවිච්චි කරන ආකාරයයි. අවසානයේදී මගේ භාර්යාවත් වැඩිමහල් දූවරුන් දෙදෙනාත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කිරීමට තීරණය කළා. “දෙවිගේ අනාවැකිමය වදන්” නමැති 1999 පැවැත්වූ දිස්ත්‍රික් සමුළුවේදී ඔවුන් තුන්දෙනාම බව්තීස්ම වෙනවා දකිනකොට මට ඇති වූ සතුට කියා නිම කරන්න බැහැ.

“මම සොයපු සත්‍යය මට ලැබුණා. දැන් මම මගේ භාර්යාව හා ළමයි හතරදෙනාත් එක්ක පවුලක් හැටියට එක්සත්ව යෙහෝවාට සැබෑ නමස්කාරය පිරිනමනවා.”