Skip to content

පටුනට යන්න

‘දෙවි අපේ පක්ෂයෙහි සිටිනවා නම්, අපට විරුද්ධ වන්නේ කවුද?’

‘දෙවි අපේ පක්ෂයෙහි සිටිනවා නම්, අපට විරුද්ධ වන්නේ කවුද?’

‘දෙවි අපේ පක්ෂයෙහි සිටිනවා නම්, අපට විරුද්ධ වන්නේ කවුද?’

‘එසේ වී නම් මේ කාරණා ගැන කුමක් කියමුද? දෙවි අපේ පක්ෂයෙහි සිටිනවා නම්, අපට විරුද්ධ වන්නේ කවුද?’—රෝම 8:31.

1. ඉශ්‍රායෙල්වරුන් සමඟ මිසරයෙන් පිට වී ගියේ කවුද? ඔවුන් එසේ කිරීමට හේතු වූයේ කුමක්ද?

 ඉශ්‍රායෙල්වරුන් වසර 215ක් පුරා මිසරයේ ගත කිරීමෙන් පසු, නිදහස ලබා ඉන් පිට වී ගිය අවස්ථාවේදී “ඔවුන් සමඟ මිශ්‍ර සමූහයක්ද” ගමන් කළහ. (නික්මයාම 12:38) මිසරයෙහි මහත් විනාශයක් ඇති කරවමින් එහි බොරු දෙවිවරුන්ව නින්දාවට පත් කළ ගරු බිය දනවන පීඩා දහයක් ඉශ්‍රායෙල් ජාතිකයන් නොවූ එම මිශ්‍ර සමූහයා සියැසින් දුටූහ. මේ අතර, ඔවුන් දුටු තවත් දෙයක් වූයේ තම සෙනඟව ආරක්ෂා කරගැනීමට යෙහෝවා සතු හැකියාවයි. විශේෂයෙන්ම සතරවන පීඩාවේ සිට ඔවුහු එය දුටුවෝය. (නික්මයාම 8:23, 24) ඉශ්‍රායෙල් ජාතිකයන් නොවූ මේ මිශ්‍ර සමූහයට යෙහෝවාගේ අරමුණු පිළිබඳව තිබූ දැනුම සීමිත වූවත්, එක් දෙයක් ඔවුන්ට මනාව පැහැදිලි විය. එනම්, මිසරයේ දෙවිවරුන්ට එහි වැසියන්ව ආරක්ෂා කිරීමට නොහැකි වුවත්, බලවත් දෙවිකෙනෙකු වන යෙහෝවාට තම සෙනඟව ආරක්ෂා කළ හැකි බවය.

2. ඉශ්‍රායෙල් ඔත්තුකරුවන්ට රාහාබ් උපකාර කළේ මන්ද? ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවි කෙරෙහි තැබූ විශ්වාසය නිසා ඇය ලැබූ යහපත් විපාකය කුමක්ද?

2 මින් වසර 40කට පසු, එනම් ඉශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශයට ඇතුල් වීමට ටික කලකට පෙර මෝසෙස්ගේ අනුප්‍රාප්තිකයා වූ යෝෂුවා එම දේශය සෝදිසි කර බැලීමට පුරුෂයන් දෙදෙනෙකුව යැව්වේය. එහිදී ඔවුන්ට යෙරිකෝවේ වැසියෙකු වූ රාහාබ්ව හමු විය. ඉශ්‍රායෙල්වරුන් මිසරයෙන් පිටත්ව ආ දා සිට ගත වී තිබූ අවුරුදු 40 පුරා යෙහෝවා ඔවුන්ට ආරක්ෂාව සපයමින් සිදු කළ බලවත් ක්‍රියා ගැන ඇය අසා තිබිණ. දෙවිගේ ආශීර්වාද ලබාගැනීමට නම් ඔහුගේ සෙනඟට උපකාර කළ යුතු බව තමන්ට අසන්න ලැබුණු දේවලින් ඇය තේරුම්ගත්තාය. එසේ දෙවිගේ සෙනඟට උපකාර කිරීමට ඇය ගත් නැණවත් තීරණය නිසා, පසුව ඉශ්‍රායෙල්වරුන් ඇය වාසය කරමින් සිටි නගරය අල්ලාගත් අවස්ථාවේදී සිදු කළ විනාශයෙන් ඇයත් ඇගේ නිවසේ සිටි අයත් ආරක්ෂා විය. ආශ්චර්යවත් ලෙස ඔවුන් ලැබූ ගැළවීමද දෙවි ඉශ්‍රායෙල්වරුන් සමඟ සිටි බවට ප්‍රබල සාක්ෂියක් විය. ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවි කෙරෙහි රාහාබ් තැබූ විශ්වාසයට යහපත් විපාකයක් ලැබිණ.—යෝෂුවා 2:1, 9-13; 6:15-17, 25.

3. (අ) නැවත ගොඩනඟන ලද යෙරිකෝ නුවර අසල යේසුස් සිදු කළ ප්‍රාතිහාර්යය කුමක්ද? යුදෙව් පූජකයන් එයට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? (ආ) ඇතැම් යුදෙව්වන් හා පසු කාලයේදී යුදෙව් නොවන බොහෝදෙනෙකු තේරුම්ගත්තේ කුමක්ද?

3 ඉන් සියවස් පහළොවකට පසුව, යේසුස් නැවත ගොඩනඟන ලද යෙරිකෝ නුවර අසල සිටි අන්ධ සිඟන්නෙකුව සුවපත් කළේය. (මාර්ක් 10:46-52; ලූක් 18:35-43) මෙහිදී දෙවිගේ අනුබලය යේසුස්ට තිබෙන බව තේරුම්ගත් ඔහු, තමාට කරුණාව දක්වන මෙන් යේසුස්ගෙන් අයැද සිටියේය. යේසුස් මෙවැනි ප්‍රාතිහාර්යයන් සිදු කළේ තමන් කරමින් සිටි වැඩය දෙවි විසින් තමන්ට දෙන ලද පැවරුමක් බව තහවුරු කිරීම සඳහාය. නමුත් යේසුස් විසින් සිදු කරනු ලැබූ මෙම ප්‍රාතිහාර්යයන් පිළිගැනීම යුදෙව් ආගමික නායකයෝ හා ඔවුන්ගේ අනුගාමිකයෝ ප්‍රතික්ෂේප කළහ. ඔවුන් සැමවිටම වෑයම් කළේ යේසුස්ගේ වැරදි සෙවීමටය. (මාර්ක් 2:15, 16; 3:1-6; ලූක් 7:31-35) ඔවුන් විසින් මරණයට පත් කරන ලද යේසුස්ව නැවත නැඟිටුවා ඇති බව දැනගන්න ලැබුණු අවස්ථාවේදී පවා එය දෙවි විසින් සිදු කරනු ලැබූ ක්‍රියාවක් බව පිළිගැනීමට යුදෙව් ආගමික නායකයෝ සහ ඔවුන්ගේ අනුගාමිකයෝ කැමති නොවූහ. එමෙන්ම, ‘ස්වාමි වූ යේසුස් ගැන දේශනා කිරීමේ’ කාර්යයට බාධා ඇති කරවමින් යේසුස්ගේ අනුගාමිකයන්ට හිංසා පීඩා කිරීමේදී මූලිකත්වය ගෙන කටයුතු කළේද මොවුන්ය. එහෙත් ඇතැම් යුදෙව්වන් හා පසු කාලයේදී යුදෙව්වන් නොවන බොහෝදෙනෙකු විසින් ආගමික නායකයන් සිදු කළ එම ක්‍රියාවන් හොඳින් විමසා බලමින්, ඒවා නිවැරදිව ඇගයීමකට ලක් කරන ලදි. තමන් ධර්මිෂ්ඨයි කියා සිතූ යුදෙව් ආගමික නායකයන්ව දෙවි ප්‍රතික්ෂේප කර තිබූ බවත්, දෙවිගේ අනුබලය තිබුණේ යේසුස්ගේ නිහතමානී අනුගාමිකයන්ට බවත් ඔවුන් අවබෝධ කරගත්තේය.—ක්‍රියා 11:19-21.

අදදින දෙවිගේ අනුබලය ලැබෙන්නේ කාටද?

4, 5. (අ) ඇතැම් අය ආගමක් තෝරාගැනීමේදී සැලකිල්ලට ගන්නේ මොනවාද? (ආ) සැබෑ ආගම හඳුනාගැනීමේදී, සැලකිල්ලට ගත යුතු වැදගත් ප්‍රශ්න දෙක කුමක්ද?

4 මෑතකදී රූපවාහිනියේ විකාශනය වූ සම්මුඛ සාකච්ඡාවකදී එක් පූජකයෙක් සැබෑ ආගම හඳුනාගැනීම පිළිබඳව මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මෙසේ පැවසුවේය. “යම් ආගමක් සැබෑ ආගම කියා කියන්න පුළුවන් වන්නේ එම ආගමේ උගන්වන දේවල් පිළිපදින යහපත් පුද්ගලයන්ව බිහි කරන්න ඒ ආගම සමත් වූවොත් පමණයි කියා මම අවධාරණයෙන් යුතුව කියා සිටිනවා.” සැබෑ ආගම මගින් යහපත් පුද්ගලයන්ව බිහි කරන බව සත්‍යයක්. එහෙත්, යම් ආගමක් මගින් යහපත් පුද්ගලයන්ව බිහි කළ පමණින්ම එයට දෙවිගේ අනුබලය ලැබෙනවා කියා පැවසිය හැකිද? යම් ආගමක සත්‍යය අසත්‍යතාව නිශ්චය කරන එකම මිනුම් දණ්ඩ එයද?

5 ආගම ඇතුළුව වෙනත් දේවල් සම්බන්ධයෙන් තමන්ට තෝරාගැනීමේ නිදහස තිබීම බොහෝදෙනෙක් ඉතා අගය කොට සලකති. එහෙත් තෝරාගැනීමේ නිදහස තිබූ පමණින්, පුද්ගලයෙකු නිවැරදි තේරීමක් කරයි කියා සහතික විය නොහැක. උදාහරණයක් හැටියට, ආගම සම්බන්ධයෙන් ඇතැම් අය කරන තේරීම රඳා පවතින්නේ එහි සිටින සාමාජික පිරිස, එය සතු ධනය, එහි පවත්වනු ලබන චිත්තාකර්ෂණීය උත්සව හෝ පවුලේ සාමාජිකයන්ගේ තේරීම යනාදිය මතයි. එහෙත් යම් ආගමක සත්‍යය අසත්‍යතාව තීරණය කිරීමේදී ඉහත සඳහන් කිසිවක් මිනුම් දඬු ලෙස යොදාගත නොහැක. මේ කාරණය සම්බන්ධයෙන් පහත සඳහන් වැදගත් ප්‍රශ්න දෙක සැලකිල්ලට ගත යුතුයි. ‘දෙවි අපේ පක්ෂයෙහි සිටිනවා’ කියා නිසැකකමින් යුතුව පැවසීමට හැකි වන පිණිස දෙවිගේ කැමැත්ත කිරීමට එහි සාමාජිකයන්ව උනන්දු කරවන්නේ කුමන ආගමද? එමෙන්ම දෙවිගේ අනුබලය තමන්ට ලැබෙන බවට ප්‍රබල සාක්ෂි එය සපයනවාද?

6. සැබෑ ආගම බොරු ආගම්වලින් වෙන් කර හඳුනාගැනීමට උපකාරවත් වන්නේ යේසුස් පැවසූ කුමන වදන්ද?

6 සැබෑ නමස්කාරය හඳුනාගැනීම සඳහා නිවැරදි මිනුම් දණ්ඩක් සපයමින් යේසුස් මෙසේ පැවසුවේය. “බොරු අනාගතවක්තෘවරුන්ගෙන් ප්‍රවේසම්වෙන්න. ඔව්හු බැටළු වේශයෙන් නුඹලා ළඟට එති, නුමුත් ඇතුළතින් ඔව්හු කෲරවූ වෘකයෝය. ඔවුන්ගේ ඵලවලින් නුඹලා ඔවුන් ඇඳින ගන්නහුය.” (මතෙව් 7:15, 16, අකුරු ඇල කළේ අපය; මලාකි 3:18) සැබෑ ආගම හඳුනාගැනීමේ ලක්ෂණවලින් නොහොත් “ඵලවලින්” කිහිපයක් දැන් අපි සලකා බලමු. අදදින දෙවිගේ අනුබලය ලැබෙන්නේ කාටද කියා නිවැරදිව තීරණය කිරීමට එය අපට උපකාරවත් වේ.

දෙවිගේ අනුබලය තිබෙන අයව හඳුනාගැනීමේ ලක්ෂණ

7. බයිබලය මත පදනම් දේවල් පමණක් උගන්වනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

7 ඔවුන්ගේ ඉගැන්වීම් පදනම් වන්නේ බයිබලය මතය. මේ සම්බන්ධව යේසුස් මෙසේ පැවසුවේය. “මාගේ ඉගැන්වීම මාගේ නොව මා එවූ [තැනැත්තාගේය]. යමෙක් [ඔහුගේ] කැමැත්ත කරන්ට කැමති නම්, ඔහු ඒ ඉගැන්වීම [දෙවිගෙන්] වූ ඉගැන්වීමක්ද නොහොත් මා විසින් උපදවා කියනවාදැයි දැනගන්නේය.” එමෙන්ම ‘දෙවිගෙන් වූ තැනැත්තේ දෙවිගේ වචන අසයි.’ (යොහන් 7:16, 17; 8:47) දෙවිගේ අනුබලය ලැබෙන්නේ ඔහුගේ වචනය මගින් හෙළි කර තිබෙන දේවල් උගන්වන අයට පමණක් බව එම වදන්වලින් මනාව පැහැදිලි වේ. එමෙන්ම ඔවුන් මිනිසුන්ගේ ප්‍රඥාව හා සම්ප්‍රදායන් මත පදනම් ඉගැන්වීම් ප්‍රතික්ෂේප කළ යුතුය.—යෙසායා 29:13; මතෙව් 15:3-9; කොලොස්සි 2:8.

8. නමස්කාරයේදී දෙවිගේ නාමය භාවිත කිරීම වැදගත් දෙයක් වන්නේ මන්ද?

8 ඔවුහු යෙහෝවා යන දෙවිගේ නම භාවිත කරන අතර, එය මිනිසුන්ට දන්වති. යෙසායා මෙසේ පුරෝකථනය කළේය. ‘යෙහෝවාට ස්තුති කරන්න, ඔහුගේ නාමය කියා යාච්ඤා කරන්න, ඔහුගේ ක්‍රියා ජනයන් අතරේ දන්වා, ඔහුගේ නාමය උසස් බව සඳහන් කරන්න. යෙහෝවාට ගායනා කරන්න. මක්නිසාද ඔහු උතුම් දේ කළේය. මේ බව මුළු පොළොවෙහි දන්වන්න.’ (යෙසායා 12:4, 5) ‘ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා’ කියා යාච්ඤා කරන්න යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට ඉගැන්වීය. (මතෙව් 6:9) මේ නිසා යුදෙව්වෙකු වේවා යුදෙව් නොවන්නෙකු වේවා සියලුම ක්‍රිස්තියානීන් ‘දෙවිගේ නාමය දරන සෙනඟ’ වශයෙන් ක්‍රියා කළ යුතු විය. (ක්‍රියා 15:14) ‘තමන්ගේ නාමය දරන සෙනඟක්’ වීම මහත් ගෞරවයක් ලෙස සලකන අයට තම අනුබලය ලබා දීමට දෙවි සතුටු වන බවට සැකයක් නැත.

9. (අ) ප්‍රීතිය සැබෑ ආගමට අයත් සාමාජිකයන්ව හඳුනාගැනීමේ ලක්ෂණයක් වන්නේ මන්ද? (ආ) යෙසායා සැබෑ ආගම සහ බොරු ආගම අතර වෙනස දක්වන්නේ කෙසේද?

9 ඔවුහු දෙවිගේ ප්‍රීතිමත් පෞද්ගලිකත්වය විදහාපෙන්වති. “ශුභාරංචියේ” කර්තෘ වන යෙහෝවා “සන්තෝෂවත් දෙවිය.” (1 තිමෝති 1:11NW) එසේනම්, ඔහුට නමස්කාර කරන අය අසන්තෝෂයෙන් සිටින්නේ කොහොමද? මේ නිසා ඔහුට නමස්කාර කරන අය නිතරම ඒකාන්ත ආකල්පයක් ඇතුව සන්තෝෂයෙන් සිටිති. ඔවුන්ට එසේ සන්තෝෂයෙන් සිටීමට හැකි වී තිබෙන්නේ කෙසේද? ලෝකයේ පවතින විවිධ දුෂ්කරතාවලට හා පෞද්ගලිකව නොයෙකුත් ගැටලුවලට මුහුණ දීමට සිදු වුවත්, ක්‍රිස්තියානීන්ට දිගටම ප්‍රීතියෙන් සිටින්න හැකි වී තිබෙන්නේ ඔවුන්ට නිතිපතා බහුල ලෙස සැපයෙන ආත්මික ආහාර නිසයි. මේ අය සහ බොරු ආගම්වල සිටින අය අතර පවතින වෙනස දක්වමින් යෙසායා මෙසේ පැවසුවේය. “එබැවින් ස්වාමිවූ [යෙහෝවා] මෙසේ [කියන්නේය]: මෙන්න, මාගේ මෙහෙකරුවන්ට කන්ට තිබෙද්දී නුඹලාට බඩගිනි වන්නේය. මෙන්න, මාගේ මෙහෙකරුවන්ට බොන්ට තිබෙද්දී නුඹලාට පිපාසා වන්නේය. මෙන්න, මාගේ මෙහෙකරුවන් ප්‍රීතිවෙද්දී නුඹලාට ලජ්ජාව ඇතිවන්නේය. මෙන්න, මාගේ මෙහෙකරුවන් සිතේ ප්‍රීතියෙන් ගීකියන කල්හි නුඹලා සිතේ වේදනාවෙන් කෑගසමින් ආත්මයේ පෙළීම නිසා කෑමොර ගසන්නහුය.”—යෙසායා 65:13, 14.

10. දේවල් අත්හදා බලා ඉගෙනගැනීමෙන් වැළකී සිටීමට සැබෑ ආගමේ සිටින අයට හැක්කේ කෙසේද?

10 ඔවුන්ගේ හැසිරීම හා ඔවුන් ගනු ලබන තීරණ බයිබල් ප්‍රතිපත්තිවලට අනුකූල වේ. “නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් [යෙහෝවා] කෙරෙහි විශ්වාසකරන්න. නුඹේ සියලු මාර්ගවලදී [ඔහුව] සලකන්න, එවිට [ඔහු] නුඹේ මාවත් සමතලාකරනවා ඇත” කියා හිතෝපදේශයේ ලේඛකයා අපට උපදෙස් දෙයි. (හිතෝපදේශ 3:5, 6) දෙවිගේ අනුබලය ලැබෙන්නේ ඔහුගේ මඟ පෙන්වීම සොයන අයට මිස ඔහු සපයන ප්‍රඥාව නොසලකා හරිමින් මිනිසුන්ගේ මතිමතාන්තර පසුපස යන අයට නොවේ. පුද්ගලයෙකු දෙවිගේ වචනයට එකඟව තම ජීවිතය හැඩගස්වා ගැනීමට වෑයම් කරන විට, ඔහුට දේවල් අත්හදා බැලීමෙන් ඉගෙනගැනීම අවශ්‍ය නොවනු ඇත. ප්‍රතිඵලයක් හැටියට, අත්හදා බැලීමේදී සිදු විය හැකි වැරදි ඔහුට මඟහරවා ගත හැක.—ගීතාවලිය 119:33; 1 කොරින්ති 1:19-21.

11. (අ) සැබෑ ආගමේ සාමාජිකයන් අතර ගිහි පැවිදි භේදයක් නැත්තේ මන්ද? (ආ) දෙවිගේ සෙනඟ අතර පෙරමුණ ගෙන කටයුතු කරන අය තම රැළේ සාමාජිකයන්ට තබන්නේ කිනම් ආදර්ශයක්ද?

11 ඔවුන් සංවිධානය වී සිටින්නේ මුල් සියවසේදී ක්‍රිස්තියානි සභාව සංවිධානය වී තිබූ ආකාරයටය. යේසුස් මෙම ප්‍රතිපත්තිය සිය අනුගාමිකයන්ට ඉදිරිපත් කළේය. “නුඹලා රබ්බියි කියවා නොගන්න. මක්නිසාද නුඹලාගේ [ආචාරීන්] එක්කෙනෙක්මය, නුඹලා සියල්ලෝම සහෝදරයෝය. පොළොවෙහි කාටවත් පියාණෝයයි නොකියන්න. මක්නිසාද නුඹලාගේ පියාණෝ එක්කෙනෙක්මය, එනම් ස්වර්ගයෙහි සිටින [තැනැත්තාමය]. නුඹලා නායකයෝයයි කියවා නොගන්න. මක්නිසාද නුඹලාගේ [නායකයා] එක්කෙනෙක්මය, එනම් [ක්‍රිස්තුස්ය]. නුමුත් නුඹලා අතරෙන් ඉතා උත්තමයා නුඹලාගේ සේවකයා වන්නේය.” (මතෙව් 23:8-11) බොහොම ගම්භීර පදවි නාමවලින් තමන්ට ගෞරවය ලබාගැනීමට තැත් කරමින්, ගිහියන්ට වඩා උසස් තත්වයක සිටින පූජක පිරිසක් බිහිවීමට එකිනෙකාව සහෝදරයන් ලෙස සලකන සභාවක් ඉඩ නොතබයි. (යෝබ් 32:21, 22) දෙවිගේ රැළ රැකබලා ගන්නා අයට පවසා තිබෙන්නේ “බලහත්කාරය නිසා නොව දේව කැමැත්ත ලෙස සතුටු සිතින්ද, නින්දිත ලාභය නිසා නොව මනාප සිතකින්ද, නුඹලාගේ භාරයට දෙනලද්දවුන් කෙරෙහි අධිපතිකම්කරන්නාක්මෙන් නොව නුඹලාම රැළට ආදර්ශව සිටිමින්ද එය [රැකබලා ගන්න]” කියාය. (1 පේතෘස් 5:2, 3) සැබෑ ක්‍රිස්තියානි එඬේරුන් අනිත් අයගේ ඇදහිල්ල කෙරෙහි බලපැවැත්වීමට තැත් කරන්නේ නැත. දෙවිගේ හවුල් සේවකයන් වශයෙන් ඔවුන් දැඩි වෑයමක් දරන්නේ තම සභාවේ සාමාජිකයන්ට කදිම ආදර්ශයක් තැබීමටයි.—2 කොරින්ති 1:24.

12. තමන්ගේ අනුබලය ලැබීමට කැමති අයගෙන් දෙවි අපේක්ෂා කරන්නේ මිනිස් ආණ්ඩු සම්බන්ධයෙන් කිනම් සමබර ස්ථාවරයක සිටීමද?

12 ඔවුහු මිනිස් ආණ්ඩුවලට යටත් වුවත් තම මධ්‍යස්ථභාවය රැකගනිති. “ඉහළ අධිකාරීන්ට යටත් [NW]”නොවන කෙනෙකුට දෙවිගේ අනුබලය ලැබෙයි කියා බලාපොරොත්තු විය නොහැක. මන්ද ‘ඇත්තාවූ මුලාදෑනිකම් [අධිකාරිය, NW] දෙවි විසින් නියම කර තිබේ. එබැවින් මුලාදෑනිකමට [අධිකාරියට, NW] විරුද්ධව සිටින්නා දෙවිගේ නියෝගයට විරුද්ධව සිටියි’ කියා ශුද්ධ ලියවිල්ලෙහි පවසා තිබෙන බැවිනි. (රෝම 13:1, 2) කෙසේ වෙතත්, මෙහිදී යම් ගැටීමක් සිදුවීමට ඉඩ තිබෙන බව යේසුස් පිළිගත්තා කියා ඔහු පැවසූ මේ වදන්වලින් පැහැදිලි වේ. ‘කායිසර්ගේ දේ කායිසර්ටද දෙවිගේ දේ දෙවිටද දෙන්න.’ (මාර්ක් 12:17) දෙවිගේ අනුබලය ලැබීමට කැමති අය “පළමුකොට ඔහුගේ රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද [සොයමින් සිටිය, NW]” යුතුය. එසේ කරන අතරේදී, තමන් දෙවිට ගණන් දිය යුතු දේවලට පටහැනි නොවන තමන්ගේ රටේ නීතිවලට යටත් වෙති. (මතෙව් 6:33; ක්‍රියා 5:29) “මා ලෝකයෙන් නොවන්නාක් මෙන් ඔව්හුද ලෝකයෙන් නොවෙති” කියා යේසුස් ඔහුගේ ගෝලයන් සම්බන්ධයෙන් පැවසූ අවස්ථාවේදී මධ්‍යස්ථභාවය අවධාරණය කළේය. පසු අවස්ථාවක ඔහු තවදුරටත් මෙසේ පැවසුවේය. “මාගේ රාජ්‍යය මොලොවින් නොවේය.”—යොහන් 17:16; 18:36.

13. දෙවිගේ සෙනඟව හඳුනාගැනීමේදී ප්‍රේමය මගින් ඉටු කෙරෙන්නේ කිනම් කාර්යභාර්යද?

13 ඔවුහු පැති නොගෙන ‘සියල්ලන්ටම යහපත්කම්’ කරති. (ගලාති 6:10) ක්‍රිස්තියානි ප්‍රේමය පැති නොගනියි. සමේ පාට, ආර්ථික මට්ටම, අධ්‍යාපන මට්ටම, ජාතිය හා භාෂාව කුමක් වුවත් සැබෑ ක්‍රිස්තියානීහු සියලු මිනිසුන්ට එක හා සමානව සැලකිල්ල දක්වති. විශේෂයෙන්ම ඇදහිල්ලේ පවුලට අයිති අය ඇතුළුව සියලුදෙනාටම යහපත්කම් කිරීම, දෙවිගේ අනුබලය තිබෙන අයව හඳුනාගැනීමට උපකාරවත් වන ලක්ෂණයක් වේ. යේසුස් මෙසේ පැවසුවේය. “නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත.”—යොහන් 13:35; ක්‍රියා 10:34, 35.

14. දෙවිගේ අනුමැතිය තිබෙන අය අනිවාර්යෙන්ම මිනිසුන්ගේ පිළිගැනීමට ලක් වනවා කියා පැවසිය හැකිද? පැහැදිලි කරන්න.

14 දෙවිගේ කැමැත්ත කිරීමේදී හිංසා පීඩාවලට වුවත් මුහුණ දීමට ඔවුහු කැමති වෙති. යේසුස් කල් තියා ඔහුගේ අනුගාමිකයන්ට මෙසේ අනතුරු ඇඟෙව්වේය. “ඔව්හු මට පීඩාකළෝනම් නුඹලාටත් පීඩාකරන්නෝය; මාගේ වචනය රක්ෂාකළෝ නම් නුඹලාගේ වචනයත් රක්ෂාකරන්නෝය.” (යොහන් 15:20; මතෙව් 5:11, 12; 2 තිමෝති 3:12) තමාගේ ඇදහිල්ලෙන් ලෝකයාව වරදට පත් කළ නෝවාව එදා සිටි මිනිසුන් විසින් හෙළා දැක්කාක් මෙන් දෙවිගේ අනුබලය තිබෙන අය බහුතරයකගේ පිළිගැනීමට ලක් වී නැත. (හෙබ්‍රෙව් 11:7) අදදින දෙවිගේ අනුබලය ලැබීමට කැමති අය ඔහුගේ වචනයේ බලය කිසි සේත් අඩු කිරීමට නොසිතති. එමෙන්ම හිංසා පීඩාවලින් වැළකී සිටීමේ අරමුණින් දෙවිගේ ප්‍රතිපත්ති පාවා නොදෙති. තමන් දෙවිට විශ්වාසවන්තව සේවය කරන තාක් කල් මිනිස්සු තම ස්ථාවරය ගැන ‘පුදුමව තමන්ට අපහාස කරන’ බව ඔවුන් දනී.—1 පේතෘස් 2:12; 3:16; 4:4.

කරුණු ඇගයීමට කාලය ඇවිත්

15, 16. (අ) දෙවිගේ අනුබලය ලැබෙන ආගම හඳුනාගැනීමේදී අපට උපකාරවත් වන්නේ කිනම් ප්‍රශ්න සලකා බැලීමද? (ආ) දශලක්ෂ ගණන්දෙනා එළඹ තිබෙන නිගමනය කුමක්ද? එයට හේතුව කුමක්ද?

15 ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘බහුතරයකගේ ආගමික විශ්වාසයන්ට වෙනස් වුවත්, තම විශ්වාසයන් හා ඉගැන්වීම් සම්පූර්ණයෙන්ම දේවවචනය මත පදනම් කරගෙන සිටීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධව සිටින්නේ කුමන ආගමික කණ්ඩායමද? දෙවිගේ පෞද්ගලික නාමයේ ඇති වැදගත්කම අවධාරණය කරමින් තමන්ව හඳුන්වා දීමට එම නාමය යොදාගනිමින් සිටින්නේ කවුද? මුළු මනුෂ්‍යවර්ගයාගේම ගැටලුවලට එකම විසඳුම දෙවිගේ රාජ්‍යය බව ස්ථිර විශ්වාසයකින් යුතුව පවසන්නේ කවුද? ඇතැම් අය යල්පැන ගිය ඒවා ලෙස සැලකුවත් හැසිරීම පිළිබඳව බයිබලයේ සඳහන් ප්‍රමිති රක්ෂා කරන්නේ කවුද? වැටුපක් ලබන පූජකයන් වෙනුවට එහි සියලුම සාමාජිකයන් දේශනාකරුවන් ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන්නේ කුමන ආගමික කණ්ඩායමද? දේශපාලනික කටයුතුවලට සම්බන්ධ නොවුවත්, නීති ගරුක පුරවැසියන් වීම සම්බන්ධයෙන් පැසසුමට ලක් වී සිටින්නේ කවුද? දෙවි ගැනත් ඔහුගේ අරමුණ ගැනත් ඉගෙනගැනීමට අන් අයට උපකාර කිරීම සඳහා තමන්ගේ කාලය හා මුදල් ප්‍රේමනීය ලෙස වැය කරන්නේ කවුද? පැසසීමට ලක් කිරීමට වටින මේ සෑම දෙයක්ම කරමින් සිටියත්, අන්‍යයන්ගේ පිළිකුලට, සමච්චලයට හා හිංසාවට ලක් වෙමින් සිටින්නේ කවුද?’

16 සැබෑ ආගම පිළිපදින්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් පමණක් බව ලොව පුරා සිටින දශලක්ෂ ගණන්දෙනා අදාළ කරුණු ඇගයීමකට ලක් කිරීමෙන් අනතුරුව නිගමනය කර තිබේ. ඔවුන් මෙම නිගමනයට එළඹ තිබෙන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් උගන්වන දේවල්, ඔවුන්ගේ හැසිරීම හා ඔවුන්ගේ ආගම මගින් ඔවුන් ලබා තිබෙන ප්‍රයෝජන යනාදිය පදනම් කරගෙනය. (යෙසායා 48:17) දශලක්ෂ ගණන්දෙනා සෙකරියා 8:23හි පුරෝකථනය කර තිබෙන මෙම වදන් පවසති. “අපි නුඹලා සමග යන්නෙමුව, මක්නිසාද [දෙවි] නුඹලා සමග සිටින බව අප විසින් අසා තිබේ.”

17. සැබෑ ආගම තමන්ගේ ආගමයි කියා යෙහෝවාගේ සාක්ෂිකරුවන් පෙන්වා දීම අහංකාර දෙයක් නොවන්නේ මන්ද?

17 දෙවිගේ අනුබලය තිබෙන්නේ තමන්ට පමණක්යයි පෙන්වා දීමෙන් අදහස් කරන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් අහංකාරයි කියාද? ඇත්තෙන්ම ඔවුන් එසේ පෙන්වා දීමෙන් කරන්නේ පුරාණයේ ඉශ්‍රායෙල්වරුන් හා මුල් සියවසේ ක්‍රිස්තියානීන් කළ දෙයයි. මිසරවරුන් විශ්වාස කළ දේවල් කුමක් වුවත්,දෙවිගේ අනුබලය තිබෙන්නේ තමන්ටයි කියා ඉශ්‍රායෙල්වරු කියා සිටියහ. මේ හා සමානව, මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන්ද කියා සිටියේ දෙවිගේ අනුබලය තිබෙන්නේ යුදෙව් ආගමේ අයට නොව තමන්ටය කියාය. යෙහෝවාගේ සාක්ෂිකරුවන් කියා සිටින දෙය සත්‍යයක් බව අදාළ කරුණු පරීක්ෂා කර බැලීමෙන් මනාව පැහැදිලි වේ. අන්තිම කාලයේදී සිය සැබෑ අනුගාමිකයන් විසින් කරනු ලබන කාර්යය ගැන යේසුස් මෙසේ පුරෝකථනය කළේය. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය.” (මතෙව් 24:14) අදදින යෙහෝවාගේ සාක්ෂිකරුවෝ රටවල් 235ක එම කාර්යය සිදු කරමින් සිටිති.

18, 19. (අ) විරුද්ධවාදිකම්වලට මුහුණ දීමට සිදු වුවත්, දේශනා සේවය නතර කිරීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට කිසිම හේතුවක් නැත්තේ මන්ද? (ආ) සාක්ෂිකරුවන්ට දෙවිගේ අනුබලය තිබෙන බව ගීතාවලිය 41:11හි පවසන දෙයින් පැහැදිලි වන්නේ කෙසේද?

18 යෙහෝවාගේ සාක්ෂිකරුවන් තමන්ට ලැබී තිබෙන පැවරුම අඛණ්ඩව ඉටු කරන අතර, එයට බාධා ඇති කිරීමට හිංසා පීඩාවලට හෝ විරුද්ධවාදිකම්වලට ඉඩ දී නැත. යෙහෝවාගේ වැඩය කළ යුතුමයි. ඉදිරියේදීත් එය සිදු කෙරෙන බව සහතිකයි. දෙවිගේ වැඩය ඉටු කිරීමෙන් සාක්ෂිකරුවන්ව වළක්වාලන්න පසුගිය සියවස පුරා විවිධ ආකාරවලින් උත්සාහ කළත්, අවසානයේදී ඒ උත්සාහයන් සියල්ලම අසාර්ථක විය. එයට හේතුව යෙහෝවා දී තිබෙන මෙම පොරොන්දුවයි. “නුඹට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල නොවන්නේය; විනිශ්චයකිරීමට නුඹට විරුද්ධව නැගිටින සියලුම දිව් නුඹ විසින් වරදට පත්කරනවා ඇත. [යෙහෝවාගේ] මෙහෙකරුවන්ගේ උරුමයත් මාගෙන් ඔවුන්ට ලැබෙන ධර්මිෂ්ඨකමත් එයාකාරයයි [යෙහෝවා කියන්නේය].”—යෙසායා 54:17.

19 ලොව පුරා මුහුණ දීමට සිදු වන විවිධ විරුද්ධවාදිකම් මැද පවා යෙහෝවාගේ සාක්ෂිකරුවන් අදදින වෙන කවරදාටත් වඩා ප්‍රබලව හා ක්‍රියාශීලීව සිටීමෙන් තහවුරු වන්නේ ඔවුන් කරමින් සිටින දෙය යෙහෝවා අනුමත කරන බවයි. දාවිත් රජ මෙසේ පැවසුවේය. “මාගේ සතුරා මා කෙරෙහි ජය ඝෝෂා නොපවත්වන්නේය, ඔබ මා කෙරෙහි ප්‍රිය බව මෙයින් දනිමි.” (ගීතාවලිය 41:11; 56:9, 11) යෙහෝවාගේ සෙනඟගේ නායකයා වන යේසුස් ක්‍රිස්තුස් අවසන් ජයග්‍රහණය කරා පියනඟමින් සිටින නිසා ඔවුන්ට එරෙහිව ජය ඝෝෂා පැවැත්වීමට දෙවිගේ සතුරන්ට කවදාවත් නොහැකියි!

ඔබට උත්තර දිය හැකිද?

• අතීතයේ දෙවිගේ අනුබලය තිබුණේ කාටද?

• සැබෑ ආගම හඳුනාගැනීමේ ලක්ෂණ සමහරක් නම් කරන්න.

• යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට දෙවිගේ අනුබලය තිබෙන බව ඔබ පෞද්ගලිකව ඒත්තුගෙන ඇත්තේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[13වන පිටුවේ පින්තූරය]

දෙවිගේ අනුබලය ලැබීමට කැමති අය තමන්ගේ ඉගැන්වීම් මුළුමනින්ම ඔහුගේ වචනය මත පදනම් කරගත යුතුය

[15වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානි වැඩිමහල්ලෝ සභාවට ආදර්ශයක් තබති