Skip to content

පටුනට යන්න

ප්‍රමිති වෙනස් වෙයි, අප අසරණ වෙයි

ප්‍රමිති වෙනස් වෙයි, අප අසරණ වෙයි

ප්‍රමිති වෙනස් වෙයි, අප අසරණ වෙයි

එංගලන්තයේ රජ වූ Iවන හෙන්රිගේ කාලයේදී (1100-1135) යාරයක දිග ප්‍රමාණය නියම කළේ කෙසේද කියා ඔබ දන්නවාද? එය තීරණය කළේ “රජුගේ නාසයේ කෙළවර සිට ඔහු දිගහැර සිටි අතේ මාපටැඟිල්ලේ කෙළවර දක්වා දිග ප්‍රමාණය” මැනීමෙනි! හෙන්රි රජගේ යටත්වැසියන් භාවිත කළ යාර කෝදු නිවැරදිද? එය තීරණය කිරීමට නම්, හෙන්රි රජු ඉදිරියටම යා යුතු විය!

වර්තමානයේ යම් මිනුම් දණ්ඩක් නිවැරදිව තීරණය කරන්නේ යම් ප්‍රමිතියකට අනුකූලවයි. මීටරයක දිග තීරණය කරන්නේ, ආලෝකය තත්පරයකදී රික්තකයක් තුළ ගමන් කරන දුර ප්‍රමාණය 29,97,92,458න් බෙදීමෙනි. මේ සඳහා යොදාගන්නා ආලෝකයට වෙනස් නොවන තරංග ආයාමයක් ඇති අතර, එය නිකුත් කිරීමට විශේෂ ලේසර් කිරණයක් යොදාගැනේ. ඉහත සඳහන් ප්‍රමිතිය පහසුවෙන් දැකබලා ගත හැකි උපකරණයක් පොදු ජනයා සතු වී නම්, ඔවුන්ට මීටරයක දිග පහසුවෙන් පරීක්ෂා කිරීමට හැකියාව ලැබේ.

කෙසේවෙතත්, යම් මිනුමක් නියම කිරීමට තිබෙන ප්‍රමිතිය ඉතා සුළු ආකාරයකින් හෝ වෙනස් වූවොතින් කුමක් සිදු වේද? එවිට ඉන් යම් සැකයක්, අවිශ්වාසයක් ජනිත විය හැක. එමනිසා, මෙම ප්‍රමිති ආරක්ෂා කිරීමට දැඩි උත්සාහයක් දරා ඇත. නිදසුනකට, බ්‍රිතාන්‍යයෙහි ඕනෑම ද්‍රව්‍යයක ස්කන්ධය මැනීමට භාවිත කරන ප්‍රමිතිය ලෙස යොදාගන්නේ ප්ලැටිනම් සහ ඉරිඩියම් ලෝහ මිශ්‍රණයකින් සාදා ඇති කිලෝග්‍රෑම් එකක් බරැති සිලින්ඩරයකි. මෙම සිලින්ඩරය, ආරක්ෂාව සඳහා බ්‍රිතාන්‍යයේ ජාතික භෞතික විද්‍යා පරීක්ෂණාගාරයෙහි තබා ඇත. එනමුත්, එය අවට මහාමාර්ගවල ගමන් කරන වාහනවලින් සහ අහසේ පියාසර කරන ගුවන් යානාවලින් නිකුත් වන දූෂිත දුම් හේතුවෙන්, කිලෝග්‍රෑම් එකක් සඳහා භාවිත කරන මෙම ප්‍රමිතිය දිනපතා බරින් වැඩි වේ. මෙම සිලින්ඩරය ලෝක ප්‍රමිතියේ ප්‍රතිරූපයක් පමණි. ලෝක ප්‍රමිතිය ආරක්ෂා කර තිබෙන්නේ ප්‍රංශයේ සෙව්රේහි පිහිටි අන්තර් ජාතික මිනුම් කාර්යාංශයේ පොළොව යට ඇති සුරක්ෂිතාගාරයක තබා තිබෙන ඝණ්ටා සරා තුනක් යටය. එනමුත් මෙම වස්තුව පියවි ඇසට නොපෙනෙන යම් විපර්යාසවලට ලක් වන නිසා, එහි බර අඩු වැඩි වේ. කාලගුණ විද්‍යාඥයන් යම් විපර්යාසයන්වලට ලක් නොවන මීටත් වඩා ස්ථාවර ප්‍රමිතියක් දැනට සොයාගෙන නොමැත.

යම් ප්‍රමිතියක් මෙසේ සුළු ආකාරයෙන් වෙනස් වෙද්දී වැඩිදෙනා ඒ ගැන එතරම් කලබල නොවෙති. කෙසේවෙතත්, ප්‍රමිතියක් සහමුලින්ම වෙනස් කරනු ලැබේ නම් තත්වය ඊට වඩා බරපතළ වේ. උදාහරණයකට, බ්‍රිතාන්‍යය කාලයක් තිස්සේ භාණ්ඩ කිරා මැන බැලීමට භාවිත කළ රාත්තල් සහ අවුන්ස වෙනුවට කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් යොදාගැනීමට පටන්ගත් විට ජනතාව අතර සැකයෙන් මුසු වූ අවිශ්වාසයෙන් පිරුණු වාතාවරණයක් ඇති විය. සිත් පිත් නොමැති ඇතැම් කඩ හිමියන්ගේ ක්‍රියාකලාපයන් මෙම වාතාවරණයට හේතු වූ බව විශ්වාස කෙරේ. කිලෝග්‍රෑම්, ග්‍රෑම් සහ රාත්තල් අවුන්ස අතර ඇති සම්බන්ධය බොහෝ ජනයාට නුහුරු නුපුරුදු වූ නිසා, ඔවුහු දේවල් වංචනික ලෙස කිරා මැන දීමට පසුබට නොවූහ.

පවුලේ සහ සදාචාර ප්‍රමිතිවල වෙනස් වීම

එසේ නම් පවුලේ සහ සදාචාර ප්‍රමිතිවල වෙනස් වීම් ගැන කුමක් කිව හැකිද? මෙවන් වෙනස් වීම් වඩාත් බරපතළ විය හැක. අප සදාචාර ප්‍රමිති පහත වැටෙන යුගයක ජීවත් වන බව සනාථ කිරීමට පවුල් බිඳවැටෙන ආකාරය, සාමාන්‍ය ජනතාව අනාචාරයෙහි යෙදෙන ආකාරය සහ අපගේ දරු සම්පත කාමාතුරයන් අතින් අතවරයට ලක් වන ආකාරය ගැන සඳහන් කිරීම පමණක්ම ප්‍රමාණවත්ය. දැන් ඇතැම් දරුවන්ව හදාවඩා ගන්නේ එක් දෙමාපියෙකු විසින් පමණි. සමහර දරුවන්ට “දෙමාපියන්” කියා සලකන්න වෙන්නේ ඔවුන්ව හදාගැනීමට ගත් සමලිංගික යුවළයන්ටයි! එපමණක්ද නොව, ගුරුවරුන් වැනි යම් බලතල හිමි අයගේ රැකවරණය යටතේ සිටින දරුවන් කුරිරු ලෙස ලිංගික අතවරයටද ලක් වේ. ජනතාව උසස් කියා පිළිගත් ප්‍රමිතිවලට පිටුපා ඇති බවට මේවා හොඳ සාක්ෂි වේ. වසර දෙදහකට පමණ පෙර බයිබලය පුරෝකථනය කළේ ‘මනුෂ්‍යයන් තමන්ටම ප්‍රේමකරන්නන්, ජන්ම ස්නේහය නැත්තන්, යහපතට ප්‍රේම නොකරන්නන් හා දෙවිට වඩා සැපසෙල්ලමට ප්‍රේමකරන්නන්’ වන බවය. දැන් දැන් වැඩිදෙනා මෙවැනි ආකල්පවලට වැඩි වැඩියෙන් නැඹුරු වන බව පෙනේ.—2 තිමෝති 3:1-4.

සදාචාර ප්‍රමිති බිඳවැටීම, එකිනෙකා අතර තිබිය යුතු අන්‍යොන්‍ය විශ්වාසය බරපතළ ලෙස බිඳවැටීමටද සම්බන්ධයි. වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ උසස් ප්‍රමිති බිඳවැටී ඇති බව, මෑතකදී සිදු වූ එක්තරා බිහිසුණු සිද්ධියකින් පැහැදිලි විය. උතුරු එංගලන්තයේ ගමක් වන හයිඩ්හි වැසියන් තම ජීවිතයේ සියලු රහස් හෙළි කළේ ඔවුන්ගේ “විශ්වාසවන්ත” පවුලේ වෛද්‍යවරයාටය. එනමුත්, කනගාටුවට හේතුවක් වූයේ ඔහු කෙරෙහි තිබූ විශ්වාසය ඉතා ඛේදනීය ආකාරයකින් බිඳවැටීමය. ඔහු ඔවුන්ගේ විශ්වාසය බිඳ දැමුවේය. කෙසේද? උසාවියකින් මේ සම්බන්ධයෙන් නිකුත් වූ වාර්තාවලින් හෙළි වූයේ මෙම වෛද්‍යවරයා තමා වෙත පැමිණි රෝගීන්ගෙන් අඩුම තරමින් කාන්තාවන් 15දෙනෙකුගේවත් මරණයට වගකිව යුතු බවය! මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලැබීමෙන් පසුව මියගිය තවත් රෝගීන් 130දෙනෙකුගේ වාර්තා පරීක්ෂා කිරීමට පොලිසියට සිදු විය. ගම්වැසියන්ගේ විශ්වාසය බිඳවැටී තිබුණාද? ඔව්! ඒ වෛද්‍යවරයා වරදකරුවෙකු බව තීන්දු කොට බන්ධනාගාරගත කෙරිණ. එම බන්ධනාගාරයේ නිලධාරීන් දෙදෙනෙකුගේ මව මෙම වෛද්‍යවරයා අතින් මැරුම් කෑ බවටද සැකයක් තිබිණ. එමනිසා, මෙම වෛද්‍යවරයා එම නිලධාරීන් දෙදෙනාගේ භාරය යටතේ තැබුවේ නැත. ඔවුන්ට වෙනත් රාජකාරීන් පවරන ලදි. ද ඩේලි ටෙලිග්‍රාෆ් නමැති පුවත්පත මෙම සිද්ධිය ගැන වාර්තා කළ විට, එම වෛද්‍යවරයාට “ ‘යකාගේ’ දොස්තර” යන නම දීම පුදුමයක් නොවේ.

වත්මන් ජීවිතයේ විවිධ ක්ෂේත්‍රයන්වල ප්‍රමිති වෙනස් වෙමින්, පිරිහෙමින් පවතින නිසා, ඔබට අබ මල් රේණුවක තරම්වත් සැකයක් නොමැතිව විශ්වාස කළ හැක්කේ කාවද? වෙනස් නොවනසුලු ප්‍රමිති සොයාගත හැක්කේ කොතැනින්ද? එවන් ප්‍රමිති පවත්වාගැනීමට බලයක් හා හැකියාවක් ඇති කෙනෙක් සිටීද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු මීළඟ ලිපියෙහි සලකා බැලේ.