Skip to content

පටුනට යන්න

බයිබලය පාඩම් කිරීමෙන් ඵලක් තිබේද?

බයිබලය පාඩම් කිරීමෙන් ඵලක් තිබේද?

බයිබලය පාඩම් කිරීමෙන් ඵලක් තිබේද?

“කියවිය යුත්තේ පූජකයෙකු ඉදිරිපිට පමණයි.” කතෝලික භක්තිකයන් සතු සමහර බයිබල්වල මුල්ම පිටුවේ මෙම අනතුරු ඇඟවීම දිස් වෙනවා. “අපි කතෝලිකයන් නිසා නිතරම බයිබලය කියෙව්වෙ නැහැ. ඒත් දැන් ඒක වෙනස් වෙලා” කියා ලොස් ඇන්ජලිස්හි කතෝලික බයිබල් සමාගමේ කේ මර්ඩි පවසයි. තවද ශුද්ධ ලියවිලි තමන්ගේ ජීවිතයට කොතරම් බලපෑමක් කරනවාද කියා කතෝලිකයන්ට අවබෝධ වෙද්දී “ඔවුන් තමන්ගේ උත්සාහයෙන්ම බයිබලය කෙරෙහි ඇල්මක්, ආශාවක් ඇති කරගන්නවා” කියා ඇය තවදුරටත් කියා සිටියි.

මෙම වෙනස් වීම සම්බන්ධයෙන් යූ. එස්. කැතලික් නම් සඟරාව ආගමික අධ්‍යාපනය පිළිබඳ සංවිධායකයෙකු ඉදිරිපත් කළ අදහසක් මෙසේ උපුටා දක්වයි. බයිබලය පිළිබඳ සාකච්ඡා කරන පන්තිවලට සහභාගි වූ කතෝලිකයන්ට හැඟුණේ “බයිබලයේ දැනුම් සම්භාරයක් තිබුණත් තමන්ට ලැබිලා තියෙන්නේ ඉන් ස්වල්ප දැනුමක් බවයි. තමන්ට ලැබුණේ නැහැයි කියා හැඟුණ දැනුම් සම්භාරයෙන් ටිකක් ලබාගන්නයි ඔවුන්ට වුවමනා වන්නේ.”

කාරණය එසේ විය හැකි වුවත්, බයිබලය අධ්‍යයනය කරන ශිෂ්‍යයෙකුට සොයාගැනීමට තිබෙන්නේ කුමන ‘දැනුම් සම්භාරයක්ද?’ මේ ගැන හිතන්න. එදිනෙදා අද්දකින කනස්සලුභාවයට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියා දැනගන්න ඔබ කැමතිද? පවුල් කවය තුළ සාමය පවත්වාගත හැක්කේ කෙසේද? අසංවර මෙන්ම සමාජ විරෝධී හැසිරීම වැඩි වී තිබෙන්නේ මන්ද? අදදින යෞවනයන් අතර ප්‍රචණ්ඩත්වය පැවතීමට හේතුව කුමක්ද? මෙම ප්‍රශ්නවලට හා වෙනත් ව්‍යාකූල කරවන ප්‍රශ්නවලට දේවවචනය වන බයිබලයෙන් විශ්වසනීය උත්තර ලබාගත හැකි අතර, ඇත්තෙන්ම ඒවා කතෝලික හෝ රෙපරමාදු භක්තිකයන්ට පමණක් නොව නමුත් බෞද්ධ, හින්දු, මුස්ලිම්, ෂින්ටෝ භක්තිකයන්ට මෙන්ම අදේවවාදීන්ට හා අඥෙයවාදීන්ට පවා “දැනුම් සම්භාරයක්” වනු ඇත. ගීතිකාකරු පවසන ආකාරයට ‘දෙවිගේ වචන ඔහුගේ පාදයන්ට පහනක් හා ඔහුගේ මාවතට එළියක්’ වුණා. ඔබ සම්බන්ධයෙන්ද එය එසේම විය හැකියි.—ගීතාවලිය 119:105.