Skip to content

පටුනට යන්න

යෙහෝවා කෙරෙහි ඇති ඔබේ විශ්වාසය කොතරම් ශක්තිමත්ද?

යෙහෝවා කෙරෙහි ඇති ඔබේ විශ්වාසය කොතරම් ශක්තිමත්ද?

යෙහෝවා කෙරෙහි ඇති ඔබේ විශ්වාසය කොතරම් ශක්තිමත්ද?

කූට කුමන්ත්‍රණයක් දියත් කරලයි තියෙන්නේ. දේශයේ උසස් ආණ්ඩු නිලධාරීන් සියලුදෙනාම එකතු වී අලුත් නීතියක් පැනවීමට උත්සාහ කරනවා. ඔවුන් රජුට කියා සිටින්නේ, ආණ්ඩුව මගින් අනුමත නොකරන ඕනෑම නමස්කාර ක්‍රමයක යෙදෙන කෙනෙකුට මරණ දණ්ඩනය නියම කරන්න කියායි.

සමහරවිට ඔබ මීට සමාන සිදුවීම් ගැන කලින් අසා ඇති. ඉතිහාසය දෙස බලද්දී පනතෙන් නැත්නම් නීතිය යොදවා නපුර කිරීමට වෑයම් කර ඇති අය ගණන් කළ නොහැකි තරම්. අනාගතවක්තෘ දානියෙල්ගේ දවස්වලදී පර්සියානු අධිරාජ්‍යයේ සිදු වූ ඉහත සඳහන් සිද්ධිය මීට හොඳ නිදසුනක් වෙයි. ඒ අවස්ථාවේදී රජව සිටි දාරියුස් මෙසේ නියෝග කළා. “කවුරුනුමුත් තිස් දවසක් යන තුරු [රජුගෙන්] මිස යම් දෙවිකෙනෙකුගෙන්වත් මනුෂ්‍යයෙකුගෙන්වත් කිසියම් අයදුමක් කළොත්, ඔහු සිංහ ගුහාවේ දමනු ලැබේ.”—දානියෙල් 6:7-9.

ජීවිතය අනතුරේ හෙළන මෙවැනි අණක් යටතේ දානියෙල් ක්‍රියා කළේ කෙසේද? ඔහු දෙවි කෙරෙහි ඇති තම විශ්වාසය දිගටම රැකගත්තාද? එහෙමත් නැත්නම් ඔහු රජුගේ අණට යටත් වී දෙවිට ද්‍රෝහි වුණාද? බයිබල් වාර්තාව අපට පිළිතුරු දෙන්නේ මේ ආකාරයටයි. “ඒ පත්‍රය අත්සන් කළ බව දානියෙල් දැනගත් විට, තමාගේ ගෙදරට ගොස්, තමාගේ උඩුමහලේ කවුළු යෙරුසලම දෙසට ඇරී තිබියදී, තමා ඊට පළමු [නිතිපතා, NW] කළාක්මෙන් දවසට තුන්වරක් දණින් හිඳ තමාගේ [දෙවි] ඉදිරියෙහි යාච්ඤාකොට ස්තුතිකෙළේය.” (දානියෙල් 6:10) ඊළඟට සිදු වූ දේ ඔබ දන්නවා ඇති. දානියෙල්ව සිංහ ගුහාවට දැමුවත් යෙහෝවා ඔහුට කිසිම අනතුරක් වෙන්න ඉඩහැරියේ නැහැ. ඔහු ‘සිංහයන්ගේ මුඛ පියවා’ තම ඇදහිලිවන්ත සේවකයාව බේරාගත්තා.—හෙබ්‍රෙව් 11:33; දානියෙල් 6:16-22.

ආත්ම සෝදිසියක් කිරීමට කාලයක්

අද දිනත් යෙහෝවාගේ සේවකයන් තමන්ට එදිරිවාදිකම් පාන ලොවක ජීවත් වන නිසා ඔවුන්ට ආත්මික මෙන්ම ශාරීරික වශයෙන් නොයෙක් ආකාරයේ තර්ජනවලට මුහුණ දෙන්න සිදු වෙනවා. උදාහරණයකට, සමහර රටවල ජාති භේදය නිසා හටගෙන තිබෙන කෲර යුද්ධවලදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගණනාවකගේ ජීවිත අහිමි වී තිබෙනවා. ලෝකයේ වෙනත් තැන්වල යෙහෝවාගේ සේවකයන් මුහුණ දෙන්නේ ආහාර හිඟය, දුගීකම, ස්වාභාවික විපත්, දරුණු ලෙඩ රෝග හා ජීවිතය අනතුරට ලක් කරන වෙනත් ආකාරයේ ප්‍රශ්නවලටයි. මීට අමතරව, විරුද්ධවාදීකම්, රැකියා ස්ථානයේදී එල්ල වන පීඩන හා ආත්මිකත්වය බිඳ දැමිය හැකි විවිධ පරීක්ෂණවලටද ඔවුන් මුහුණ දෙනවා. ඇත්තෙන්ම, යෙහෝවාගේ සේවකයන්ව තුරන් කිරීමට ඔවුන්ගේ ප්‍රධාන සතුරා වන සාතන් උපරිම උත්සාහයක් දරන බව පැහැදිලියි.—1 පේතෘස් 5:8.

මේ වගේ අභියෝගාත්මක ප්‍රශ්න හමුවේ අපි ක්‍රියා කළ යුත්තේ කෙසේද? අපේ ජීවිතය අනතුරේ තිබියදී අපට බියක් දැනෙන එක සාමාන්‍යයි. ඒ නිසා, ප්‍රේරිත පාවුල්ගේ මෙම දිරිගන්වනසුලු වදන් මනසේ තබාගැනීම යෝග්‍යයි. “මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි [යෙහෝවාම] කියා තිබේ. මෙසේ: [යෙහෝවා මාගේ උපකාරකයාය]; මම භය නොවන්නෙමි; මනුෂ්‍යයා මට කරන්නේ කුමක්ද?” (හෙබ්‍රෙව් 13:5, 6) අදත් යෙහෝවා තම සේවකයන්ව අත් නොහරින බව අපට නිසැක විය හැකියි. හැබැයි අපි මතක තබාගත යුතු දෙයක් තිබෙනවා. අපි වෙනුවෙන් මැදිහත් වන බවට යෙහෝවා දී තිබෙන පොරොන්දුව ගැන දැනගැනීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ පොරොන්දුව කෙරෙහි නොසැලෙන විශ්වාසයක්ද තිබිය යුතුයි. එසේ නම්, යෙහෝවාව විශ්වාස කිරීමට තිබෙන්නේ කිනම් පදනමක්ද කියා සොයා බැලීම කොතරම් වැදගත්ද! ඒ වගේම අපේ විශ්වාසය තව තවත් ශක්තිමත් කරගැනීමට හා එය දිගටම රැකගැනීමට අපි කොතරම් උත්සාහයක් දැරිය යුතුද! අපි එසේ කරනවා නම්, “කිසි නුවණකින් දැනගත නොහැකිවූ [දෙවිගේ] සමාදානය ක්‍රිස්තුස් [යේසුස්] තුළ[අපගේ] සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත.” (පිලිප්පි 4:7) යෙහෝවා අපේ සිත් මෙලෙස ආරක්ෂා කිරීමේ ප්‍රතිඵලය කුමක්ද? අපට පීඩා හමුවේ කලබල නොවී සිටීමටත් තත්වයට නැණවත් ලෙස මුහුණ දීමටත් අවශ්‍ය ශක්තිය ලැබෙනවා.

විශ්වාසයට පදනම

අපේ මැවුම්කරු වන යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීමට අපට ඕනෑ තරම් හේතු තිබෙනවා. ඒ සඳහා ප්‍රධාන හේතුවක් වන්නේ යෙහෝවා දෙවි තම සේවකයන් ගැන අව්‍යාජ සැලකිල්ලක් දැක්වීමයි. යෙහෝවා තම සේවකයන්ව ඉතා ආදරයෙන් රැකබලා ගත් අවස්ථා ගණනාවක් ගැනම බයිබලයේ සඳහන් වෙනවා. තම තෝරාගත් සෙනඟ වන ඉශ්‍රායෙල්වරුන් සමඟ යෙහෝවා කටයුතු කළ ආකාරය මෝසෙස් විස්තර කළේ මේ ආකාරයටයි. “කාන්තාර දේශයකදීද පාළුවූ භයංකරවූ වනයේදීද ඔහු [දෙවිට] සම්බවිය; [දෙවි] ඔහු වටකරගෙන, ඔහු රැක බලාගෙන, තමන් ඇසේ කළුරුවාව මෙන් ඔහු [රක්ෂා කළේය].” (ද්විතීය කථාව 32:10) යෙහෝවා අදත්, සාමුහික වශයෙන් හෝ පෞද්ගලික වශයෙන් තම සේවකයන්ව හොඳින් රැකබලා ගන්නවා. උදාහරණයකට, බොස්නියාවේ සිවිල් යුද්ධයක් හටගත් විට සමහර සාක්ෂිකරුවන් දරුණු ආහාර හිඟයකට මුහුණ දුන්නා. ඒ අවස්ථාවේදී ක්‍රොඒෂියාවේ හා ඔස්ට්‍රියාවේ සහෝදරයන් තම ජීවිත අනතුරේ හෙළා ඉතා භයංකර ප්‍රදේශ පසු කරමින් බොස්නියාවේ සහෝදරයන් වෙතට සහනාධාර ගෙන ගියා. ඇත්තෙන්ම, යෙහෝවා මේ නිර්භීත සහෝදරයන්ගේ සිත් පොලඹවා බොස්නියාවේ සහෝදරයන්ට අවශ්‍ය සහනය ලබා දුන්නා කියා පැවසිය හැකියි. a

යෙහෝවා සර්වබලධාරී දෙවි වන නිසා ඔහුගේ සේවකයන් මොනයම් දුෂ්කරතාවකට මුහුණ දුන්නත් ඔවුන්ට නිසි ආරක්ෂාව සපයන්න ඔහුට හැකියාව තිබෙනවා. (යෙසායා 33:22; එළිදරව් 4:8) ඇතැම් අවස්ථාවලදී යෙහෝවා තම සේවකයන්ට මරණය අද්දකින්න ඉඩහරින බව ඇත්තයි. ඒත් ඔහු තම සේවකයන්ව උසුලන අතර ඔවුන්ට මරණය දක්වාම පක්ෂපාතකම රැකගැනීමට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා. ඒ වගේම, ප්‍රීතිය රැකගැනීමටත් අවසානය දක්වාම සන්සුන්ව විඳදරාගැනීමටත් ඔවුන්ට උපකාර කරනවා. මෙය සලකා බලද්දී, ගීතිකාකරුට තිබුණාක් මෙන් අපිටද යෙහෝවා ගැන මෙවැනි නිසැකභාවයක් වර්ධනය කරගත හැකියි. “[දෙවි] අපේ සරණ හා ශක්තියය, දුකේදී ඉතා ළංවූ පිහිටක්ය. එබැවින් පොළොව වෙනස්වෙතත්, මුහුද මැද පර්වත සැලෙතත්, . . . භය නොවන්නෙමු.”—ගීතාවලිය 46:1, 2, 3ආ.

යෙහෝවා සත්‍යය කතා කරන දෙවි කෙනෙක් කියාත් බයිබලයේ පවසයි. ඉන් අදහස් වන්නේ ඔහු සැමවිටම තම පොරොන්දු ඉෂ්ට කරන බවයි. ‘බොරු නොකියන දෙවි’ වශයෙන් ඔහුව බයිබලයේ හඳුන්වන්නේ ඒ නිසයි. (තීතස් 1:1) යෙහෝවා තම සේවකයන්ව ආරක්ෂා කරන්නත් රැකබලා ගන්නත් නැවත නැවත පොරොන්දු වෙනවා. මෙයින් අඟවන්නේ කුමක්ද? යෙහෝවාට එම පොරොන්දුව ඉටු කිරීමට බලය තිබෙනවා විතරක් නෙවෙයි එසේ කිරීමට ඔහු ඉතා කැමැත්තෙන්ද සිටින බවයි.—යෝබ් 42:2.

විශ්වාසය ශක්තිමත් කරගැනීමට අත්වැලක්

අපට යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීමට ඇති තරම් හේතු තිබුණත් එම විශ්වාසය දිගටම පවත්වාගැනීම ලෙහෙසි පහසු දෙයක් කියා සිතීම සුදුසු නැහැ. දෙවි කෙරෙහි අල්ප විශ්වාසයක් ඇති මිනිසුන්ගෙන් අප වට වී සිටින නිසා යෙහෝවා කෙරෙහි ඇති අපේ විශ්වාසයද ක්‍රමක්‍රමයෙන් හීන වී යන්න පුළුවන්. එමනිසා අපේ විශ්වාසය ශක්තිමත් කරගැනීමට හා එය දිගින් දිගටම පවත්වාගැනීමට අප දැඩි වෙහෙසක් දැරිය යුතුයි. අපේ විශ්වාසය රැකගැනීමට තිබෙන බාධක මොනවාදැයි යෙහෝවා හොඳින් දන්න නිසා ඔහු ඒවා ජයගැනීමට අවශ්‍ය උපකාරය සපයයි.

ඔහු ප්‍රධාන වශයෙන්ම උපකාරය සපයන්නේ තම ලිඛිත වචනය වන බයිබලය මාර්ගයෙන්. තම සේවකයන් වෙනුවෙන් ඔහු කළ පුදුමාකාර බලවත් ක්‍රියා ගණනාවක් ගැන එහි වාර්තා වී තිබෙනවා. හොඳයි, මෙහෙම සිතා බලන්න. ඔබ යමෙකුගේ නම දැනගත්ත පමණින් ඔහු පිළිබඳව විශ්වාසයක් ඇති කරගන්නවාද? අනිවාර්යයෙන්ම නැහැ. ඔහු කෙරෙහි විශ්වාසයක් ගොඩනඟාගැනීමට නම් ඔහු කොයි වගේ කෙනෙක්ද, ඔහු අතීතයේදී ක්‍රියා කර ඇත්තේ කොයි ආකාරයටද වැනි දේවල් ගැන අප දැනගෙන සිටිය යුතුයි. ඒ හා සමානව, යෙහෝවා කෙරෙහි විශ්වාසයක් ගොඩනඟාගන්න නම් අප ඔහුව අඳුරගන්න අවශ්‍යයි. අපි දෙවිගේ ක්‍රියා ගැන බයිබලයෙන් කියවද්දී, ඒ වගේම ඒවා ගැන මෙනෙහි කරද්දී යෙහෝවා ගැනත් ඔහුගේ සිත්ගන්නා ගුණාංග ගැනත් අපට වඩ වඩා ඉගෙනගගන්න ලැබෙයි. ඒ විතරක් නෙවෙයි, ඔහු කොතරම් විශ්වාසවන්ත කෙනෙක්ද කියා අපි ක්‍රමක්‍රමයෙන් වටහාගන්නා නිසා ඔහු කෙරෙහි තිබෙන අපේ විශ්වාසය වඩ වඩා ශක්තිමත් වෙයි. ගීතිකාකරු මේ සම්බන්ධයෙන් කදිම ආදර්ශයක් සැපයුවා. ඔහු ඉතා හැඟීම්බරව මෙසේ යාච්ඤා කළා. “[යෙහෝවාගේ] ක්‍රියා සඳහන් කරන්නෙමි; මක්නිසාද ඔබගේ පුරාණ ආශ්චර්යයන් සිහිකරන්නෙමි. ඔබගේ කර්මාන්ත සියල්ල ගැන භාවනාකරන්නෙමි, ඔබගේ ක්‍රියා ගැන මෙනෙහි කරන්නෙමි.”—ගීතාවලිය 77:11, 12.

දේවවචනයට අමතරව යෙහෝවා තම සංවිධානය මාර්ගයෙන් අපට බයිබලය මත පදනම් වූ ප්‍රකාශනද සපයනවා. මෙම ප්‍රකාශනවල ආත්මික ආහාර බහුලව ඇති අතර ඒවායේ කියවීමට තිබෙන නූතන කාලයේ යෙහෝවාගේ සේවකයන්ගේ දිරිගන්වනසුලු අද්දැකීම් අපේ විශ්වාසය ගොඩනැංවීමට දායක වෙයි. ඉතා අසරණ තත්වයන් යටතේ සිටිද්දී යෙහෝවා විවිධ පුද්ගලයන්ට උපකාරය හා සැනසිල්ල ලබා දුන් ආකාරය මෙම අද්දැකීම්වලින් මනා ලෙස පිළිබිඹු වෙයි. උදාහරණයකට, පසු කලෙක යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වූ මාටින් පෝට්සින්ගගේ අද්දැකීම සලකා බලන්න. ඔහු තම මව්බිම අත්හැර පුරෝගාමියෙක් ලෙස සේවය කිරීම සඳහා යුරෝපයට ගියා. එහි සිටියදී ඔහු ඉතා දරුණු ලෙස අසනීප වුණා. ඔහු අතේ මුදල් නොතිබූ නිසා ඔහුට ප්‍රතිකාර කිරීමට කිසිම වෛද්‍යවරයෙක් ඉදිරිපත් වුණේ නැහැ. එහෙත් යෙහෝවා ඔහුව අත්හැරියාද? නැහැ. අන්තිමේදී ඔහුට සිදු වූ දෙය සලකා බලන්න. ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයාට සහෝදර පෝට්සින්ගගේ තත්වය ගැන දැනගන්න ලැබුණා. ඔහු බයිබලය ගැන ගැඹුරු විශ්වාසයක් තිබූ පුද්ගලයෙක් වූ අතර තාත්තා කෙනෙක් තම පුතාව බලාගන්නා විදිහට ඔහු ඉතා කරුණාවන්තව සහෝදර පෝට්සින්ගට සත්කාර කළා. ඒ විතරක් නෙවෙයි, ඔහුගේ ප්‍රතිකාරවලට ඔහු කිසිම මුදලක් අය කළේ නැහැ! මෙවැනි ජීවිත කතා කියවීම තුළින් අපේ ස්වර්ගික පියා කෙරෙහි අපේ ඇදහිල්ල හා විශ්වාසය ශක්තිමත් වන්නේ නැද්ද?

අපේ විශ්වාසය ශක්තිමත් කිරීමට යෙහෝවා සපයන තවත් අද්විතීය ආධාරකයක් වන්නේ යාච්ඤාවයි. මෙම අනගි වරප්‍රසාදය ගැන සඳහන් කරමින් ප්‍රේරිත පාවුල් ප්‍රේමනීය හැඟීමකින් මෙසේ පවසයි. “නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් [දෙවිට] දන්වන්න.” (පිලිප්පි 4:6) “සියල්ලෙහිදී” කියා කීමෙන් පාවුල් අඟවන්නේ යාච්ඤාව තුළින් අපේ හැඟීම් හා අවශ්‍යතාවන් නොවළහා ප්‍රකාශ කළ හැකි බවයි. ඒ වගේම අපට බියක් හෝ කනස්සල්ලක් ඇති වන ඕනෑම අවස්ථාවකදී යෙහෝවා වෙත එළඹිය හැකි බවත් මින් ඇඟවෙයි. අපි වඩ වඩා හැඟීම්බරව යාච්ඤා කිරීමට පුරුදු වෙත්ම හා යෙහෝවාට යාච්ඤා කිරීමට ඇති අපේ නැඹුරුවාව වැඩි වෙත්ම යෙහෝවා කෙරෙහි අපේ විශ්වාසය වඩාත් ගැඹුරු වන බව නිසැකයි.

මිහිපිට සිටියදී, බාධාවකින් තොරව යාච්ඤා කිරීමට අවශ්‍ය වූ විට යේසුස් හුදෙකලා ස්ථානයකට ගියා. (මතෙව් 14:23; මාර්ක් 1:35) ඉතා බැරෑරුම් තීරණ ගැනීමට පෙර ඔහු රාත්‍රියක් පුරාම තම පියාට යාච්ඤා කළ අවස්ථාද තිබෙනවා. (ලූක් 6:12, 13) යේසුස්ට යෙහෝවා කෙරෙහි කොතරම් ශක්තිමත් විශ්වාසයක් තිබුණාද කිව්වොත් මිනිසෙකුට අද්දැකිය හැකි දරුණුතම පීඩාවන් යටතේ පවා නොසැලී සිටින්න ඔහුට හැකි වුණා. වධ කණුවේ මිය යද්දී ඔහු පැවසූ අවසන් වදන් වන්නේ, “පියාණෙනි, ඔබගේ අතට මාගේ ආත්මය භාරදෙමි.” යෙහෝවා කෙරෙහි ඇති ඔහුගේ විශ්වාසය ඔප්පු කරන එම ප්‍රකාශනයෙන් ඇඟවූයේ කුමක්ද? එනම් යෙහෝවා එම අවස්ථාවේදී යේසුස්ව මරණයෙන් බේරා නොගත්තත්, යේසුස් අවසානය දක්වාම තම පියා කෙරෙහි නොසැලෙන විශ්වාසයක් ඇතුව සිටි බවයි.—ලූක් 23:46.

යෙහෝවාව මුළු හදින්ම විශ්වාස කරන අය සමඟ නිතිපතා ආශ්‍රය කිරීම දෙවි කෙරෙහි අපේ විශ්වාසය වර්ධනය කරගත හැකි තවත් ක්‍රමයක්. යෙහෝවා අතීතයේ තම සෙනඟට අණ කළේ ඔහු ගැන තව තවත් ඉගෙනගැනීමට මෙන්ම එකිනෙකාව දිරිගැන්වීමට එකට රැස් වෙන්න කියායි. (ද්විතීය කතාව 31:12; හෙබ්‍රෙව් 10:24, 25) ආශ්‍රය කිරීම තුළින් අපේ විශ්වාසය ශක්තිමත් වන අතර ඇදහිල්ලට විරුද්ධව එල්ල වන දැඩි පරීක්ෂාවන් හමුවේ විඳදරාගැනීමට අවශ්‍ය ශක්තියද ලැබෙනවා. මෙයට නිදසුනක් සලකා බලමු. දේශනා සේවය තහනම් කර තිබූ එක් අප්‍රිකානු රටක යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට පොලිස් රැකවරණය, ගමන් බලපත්‍ර, විවාහ සහතික, සෞඛ්‍ය සේවාවන් හා රැකියා වැනි සාමාන්‍යයෙන් පොදු ජනතාවට ලැබිය යුතු පහසුකම් අහිමි වී තිබුණා. එම රටේ එක්තරා ප්‍රදේශයක සිවිල් යුද්ධයක් හටගත් අතර එක් සභාවකට දැඩි පරීක්ෂණවලට මුහුණ දෙන්න සිදු වුණා. සභාවේ දරුවන් ඇතුළු සාමාජිකයන් 39දෙනෙක් ෂෙල් වෙඩිවලින් ආරක්ෂාව ලබාගැනීමට කාන්තාරයකට පලා ගිය අතර, ඔවුන්ට මාස හතරක් පමණ කුඩා පාලමක් යට ජීවත් වෙන්න සිදු වුණා. එවන් දුෂ්කර තත්වයන් යටතේදී පවා ඔවුන් දිනපතාම බයිබල් පාඨයක් සාකච්ඡා කළ අතර සෑම සභා රැස්වීමක්ම දිගටම පැවැත්වුවා. මෙය ඔවුන්ට දිගටම ආත්මිකත්වය රැකගැනීමටත් විඳදරාගැනීමටත් අවශ්‍ය ශක්තිය ලබා දුන්නා. යෙහෝවාගේ සෙනඟ සමඟ නිතිපතා ආශ්‍රය කිරීමේ ඇති වැදගත්කම මෙම අද්දැකීමෙන් ඔප්පු වන්නේ නැද්ද?

යෙහෝවා කෙරෙහි විශ්වාසය ගොඩනැංවීමට උපකාරවත් වන තවත් දෙයක් වන්නේ රාජ්‍යයේ ශුභාරංචිය අන්‍යයන් සමඟ බෙදාගැනීමට නිතරම සූදානම්ව සිටීම මෙන්ම එම වැඩෙහි ක්‍රියාශීලීව යෙදී සිටීමයි. මෙයට හොඳ නිදසුනක් වන්නේ කැනඩාවේ රුධිර පිළිකාවෙන් පෙළුණු තරුණ සහෝදරියකගේ අද්දැකීමයි. මෙතරම් දරුණු අසනීපයක් තිබියදී ස්ථාවර පුරෝගාමියෙක් හැටියට පූර්ණ කාලීන සේවයෙහි නිරත වීමට ඇය තුළ දැඩි ආශාවක් තිබුණා. ඇගේ තත්වය කෙටි කාලයකට හොඳ අතට හැරුණු අතර ඇය එම අවස්ථාව උපකාරික පුරෝගාමි සේවය කිරීමට යොදාගත්තා. ඊට පස්සේ ඇගේ තත්වය අසාධ්‍ය වී මාස කිහිපයකට පසුව ඇය මිය ගියා. අවසාන මොහොත දක්වාම ඇය හොඳ ආත්මිකත්වයකින් සිටි අතර යෙහෝවා කෙරෙහි ඇගේ විශ්වාසය කිසිවිටෙක හීන වී ගියේ නැහැ. ඇගේ මව මෙසේ පවසනවා. “දුව මැරෙන මොහොත වෙනකම්ම එයාගේ අසනීපය ගැන හිතනවට වඩා අනිත් අය ගැන සැලකිලිමත් වුණා. එයා නිතරම ‘අපි පාරාදීසයේදී නැවත හමු වෙමු’ කියලා අනිත් අයව දිරිගන්වලා ඒගොල්ලන්ව බයිබලය පාඩම් කරන්න උනන්දු කළා.”

යෙහෝවාව විශ්වාස කරන බව ඔප්පු කරන්න

“ආත්මය නැති ශරීරය මැරී තිබෙන්නාක්මෙන්ම ක්‍රියාවලින් වෙන්වූ ඇදහිල්ලද මැරී තිබේ.” (යාකොබ් 2:26) ඇදහිල්ල පිළිබඳව යාකොබ් පැවසූ දේම දෙවි කෙරෙහි අපට ඇති විශ්වාසය සම්බන්ධයෙනුත් අදාළ කළ හැකියි. අපි දෙවිව විශ්වාස කරනවා කියා කොතරම් පැවසුවත් අපේ ක්‍රියාවෙන් එය ඔප්පු කළේ නැත්නම් එයින් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ආබ්‍රහම් යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසයක් ගොඩනඟාගෙන සිටි කෙනෙක්. එය ඔහු ඔප්පු කළේ යෙහෝවාගේ සෑම ආඥාවකටම කීකරු වීම තුළින්. ආබ්‍රහම්ට කොතරම් ගැඹුරු විශ්වාසයක් තිබුණාද කිව්වොත් යෙහෝවාගේ ඉල්ලීම පිට තම පුත්‍රයා වන ඊසාක්ව පූජා කිරීමට පවා ඔහු සූදානමින් සිටියා. ආබ්‍රහම් විදහාපෙන්වූ මෙම කැපීපෙනෙන විශ්වාසය හා කීකරුකම හේතුවෙන් ඔහුව පසු කලෙක යෙහෝවාගේ මිතුරා වශයෙන් හැඳින්වුවා.—හෙබ්‍රෙව් 11:8-10, 17-19; යාකොබ් 2:23.

යෙහෝවා කෙරෙහි ඇති අපේ විශ්වාසය ඔප්පු කිරීමට අප දරුණු පීඩාවක් පැමිණෙන තෙක්ම බලා සිටින්න අවශ්‍ය නැහැ. යේසුස් තම ගෝලයන්ට කිව්වේ, “ස්වල්පයක් ගැන විශ්වාසව සිටින්නා බොහෝ දේ ගැනත් විශ්වාසව සිටියි. ස්වල්පයක් ගැන අධර්මිෂ්ඨව සිටින්නා බොහෝ දේ ගැනත් අධර්මිෂ්ඨව සිටියි” කියායි. (ලූක් 16:10) අපේ දෛනික ජීවිතයේ සෑම මොහොතකදීම අප යෙහෝවා කෙරෙහි විශ්වාසය දක්වන බව පිළිබිඹු කළ යුතුයි. එයින් අදහස් වන්නේ සුළු සුළු කාරණාවලදී පවා යෙහෝවාට කීකරු වීමයි. එවැනි කීකරුකමක් විදහාපෙන්වද්දී අද්දකින ප්‍රයෝජන නිසා අපේ ස්වර්ගික පියා කෙරෙහි අපේ විශ්වාසය තව තවත් ශක්තිමත් වන අතර වඩා විශාල පරීක්ෂණවලට මුහුණ දීමට අපව සූදානම් කරයි.

මෙම ලෝකය භයංකර අවසානයකට කෙමෙන් කෙමෙන් ළඟා වෙද්දී යෙහෝවාගේ සෙනඟට වඩ වඩා පීඩා දුෂ්කරතාවලට හා ඉතා භයානක තත්වයන්ට මුහුණ දීමට සිදු වෙයි. (ක්‍රියා 14:22; 2 තිමෝති 3:12) දැන් සිටම යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසයක් ඇතුව සිටිනවා නම්, අපට මහත් පීඩාවෙන් බේරී ජීවත් වෙන්න පුළුවන්. මේ ක්‍රමය තුළ මරණය අද්දකින්න සිදු වුණත් අපට නැවත නැඟිටීමක් බලාපොරොත්තු විය හැකියි. මේ කුමන ක්‍රමයකින් හෝ වේවා අපට නව ලොව උරුම වෙයි. (2 පේතෘස් 3:13) අපි යෙහෝවා කෙරෙහි ඇති අපේ විශ්වාසය හීනවීමට ඉඩ නොදී දිගටම ඔහු සමඟ තිබෙන අපේ අනගි සබඳතාව රැකගනිමු. එසේ කරනවා නම්, සිංහ ගුහාවෙන් බේරී ආ දානියෙල් සම්බන්ධයෙන් පැවසූ මේ වදන් අපටද අදාළ වෙයි. “කිසි අනතුරක්ද ඔහුට සිද්ධ නොවී තිබුණේය, මක්නිසාද ඔහු තමාගේ [දෙවි] කෙරේ විශ්වාස කෙළේය.”—දානියෙල් 6:23.

[පාදසටහන]

a වැඩි විස්තර සඳහා 1994 නොවැම්බර් 1, මුරටැඹ කලාපයේ 23-27 දක්වා පිටු බලන්න.

[9වන පිටුවේ පින්තූරය]

මාටින් පෝට්සින්ග වැනි යෙහෝවාගේ විශ්වාසවන්ත සේවකයන්ගේ ජීවිත කතා කියවීමෙන් අපේ ඇදහිල්ල ශක්තිමත් වෙයි