Skip to content

පටුනට යන්න

වරද හෙළි කිරීමෙන් ආත්මිකව සුවයක් ලබාගත හැක

වරද හෙළි කිරීමෙන් ආත්මිකව සුවයක් ලබාගත හැක

වරද හෙළි කිරීමෙන් ආත්මිකව සුවයක් ලබාගත හැක

‘මාගේ වරද ගැන නිහඬව සිටිමින්, දවස පුරා කඳුළු හෙළා සුසුම්ලෑමෙන් මාගේ ඇඟපත දිරා ගියේය. දිවා රෑ දෙකේදීම ඔබ මට දඬුවම් කළේය. මාගේ ශක්තිය පහව ගියේය. ගිම්හානයේදී නැති වන දියසීරාව මෙන් වියළී ගියේය.’ (ගීතාවලිය 32: 3, 4, නව අනුවාදය) මෙම දුක්බර වදන්වලින් කියාපාන්නේ පුරාණ ඉශ්‍රායෙලයේ රජ කෙනෙක් වූ දාවිත් ඔහු කළ වරද හෙළි නොකර සැඟවීමෙන් අත් විඳි වේදනාවයි.

දාවිත් බොහෝ හැකියාවන්ගෙන් පිරිපුන් තැනැත්තෙකි. ඔහු රණ ශූරයෙකි, පළපුරුදු රාජ්‍ය පාලකයෙකි, කවියෙකි සහ සංගීතඥයෙකි. එසේ වුවත් ඔහු විශ්වාසය තැබුවේ දෙවි කෙරෙහි මිසක තම හැකියාවන් මත නොවෙයි. (1 සාමුවෙල් 17:45, 46) ඔහුව හඳුන්වා තිබෙන්නේ “[යෙහෝවා] කෙරෙහි සම්පූර්ණ” සිතක් තිබුණාවූ කෙනෙකු හැටියටයි. (1 රාජාවලිය 11:4) නමුත් ඔහු අතින් ඉතා පිළිකුල්සහගත වරදක් සිදු විය. පෙනෙනාකාරයට ගීතා 32වන ගීතිකාවේ ව්‍යාංගයෙන් පවසන්නේ ඒ ගැන විය හැකියි. වරදෙහි නියැලීමට ඔහුට මඟ පෑදූ තත්වයන් පරීක්ෂා කර බැලීමෙන් අපට බොහෝ දේ ඉගෙනගත හැකියි. බොරු වළවල් මඟහරවා ගැනීම සඳහාත්, දෙවි සමඟ ඇති අපේ සබඳතාවය නැවත ගොඩනඟාගැනීම සඳහාත් අප අතින් සිදු වන වැරදි හෙළි කිරීමේ ඇති වැදගත්කම එහිදී අපට සොයාගත හැකියි.

පක්ෂපාත රජෙක් පාපයට වැටෙයි

ඉශ්‍රායෙල්වරුන් අම්මොන්වරුන්ට විරුද්ධව යුධ ව්‍යාපාරයක යෙදී සිටින කාලයේදී දාවිත් යෙරුසලමේ වාසය කළේය. එක් සන්ධ්‍යා වරුවක ඔහුගේ මාළිගාවේ පියස්සෙහි සක්මන් කරමින් සිටියදී ළඟ පාත නිවසක රූමත් ස්ත්‍රියක් දිය නාමින් සිටින ආකාරය ඔහු දුටුවේය. තම සිතට නැඟුණු රාගයෙන් මුසපත් වුණ සිතිවිලි ඉවතලීමට ඔහු අසමත් විය. එම ස්ත්‍රිය තම හමුදාවේ සෙබළෙකු වූ උරියාගේ භාර්යාව වන බැත්-ෂෙබා බව දැනගත් පසු දාවිත් ඇයව ගෙන්වාගෙන ඈ සමඟ දුරාචාරයේ යෙදිණ. ටික කාලයක් ගිය පසු බැත්-ෂෙබා තමන් ගැබ්ගෙන ඇති බව දාවිත්ට දැන්වීය.—2 සාමුවෙල් 11:1-5.

දාවිත් කර කියා ගත නොහැකි තත්වයකට පත් විය. මන්ද ඔවුන් කළ පාපය එළි වුවහොත් දෙදෙනාටම මරණ දඬුවම නියම වීම අනිවාර්යයෙන්ම සිදු වන්නකි. (ලෙවී කතාව 20:10) එමනිසා, ඔහු විසින් මෙයට උපායක් යොදන ලදි. දාවිත් බැත්-ෂෙබාගේ ස්වාමිපුරුෂයා වූ උරියාව සටන් බිමෙන් ගෙන්වා වග තුග විමසීමෙන් පසු උරියාට නිවසට යන මෙන් උපදෙස් දුනි. මෙහිදී දාවිත්ගේ යටි අදහස වූයේ, මෙමගින් බැත්-ෂෙබාට ලැබෙන්න සිටි දරුවාගේ පියා උරියා බව පෙන්වීමට සැලැස්වීමයි.—2 සාමුවෙල් 11:6-9.

දාවිත්ව කෝපයට පත් කරවමින් උරියා තම භාර්යාව බැලීමට යෑම ප්‍රතික්ෂේප කළේය. හමුදාවේ සෙසු භටයන් දරුණු යුද්ධයක නිරත වී සිටින විට තමාට එවැන්නක් ගැන සිතීමටවත් නොහැකි බව ඔහු පැවසීය. සාමාන්‍යයෙන් ඉශ්‍රායෙල් හමුදාවේ භටයන් යුධ මෙහෙයුමක නිරතව සිටින විට තම භාර්යාව සමඟවත් අඹුසැමි සබඳතා පැවැත්වීමෙන් ඔවුන් වැළකී සිටිය යුතු විය. චාරිත්‍රානුකූලව පිරිසිදුව සිටීම ඔවුන්ගෙන් අපේක්ෂා කරන ලදි. (1 සාමුවෙල් 21:5) ඉන්පසු දාවිත් උරියාට භෝජන සංග්‍රහයකට ආරාධනා කර ඔහුට බොන්න දී මත්වීමට සැලැස්සුවේය. ඒත් උරියා තම භාර්යාව වෙතට නොගියේය. උරියාගේ මෙම පක්ෂපාත ක්‍රියාකලාපය මගින් දාවිත්ගේ පාපය කොතරම් හෙළා දැකිය යුතු යමක්ද කියා අපට කියාපායි.—2 සාමුවෙල් 11:10-13.

දාවිත් කළ පාපය ඔහු පසුපස පන්නන්නට විය. තමා යෙදූ උපාය අසාර්ථක වීමේ ලකුණු දුටු විට ඔහු ඉතිරිව ඇති අන්තිම විසඳුමද ක්‍රියාත්මක කළේය. සෙන්පති යෝවාබ්ට ලියූ ලියුමක්ද සමඟින් ඔහු උරියාව නැවතත් සටන් බිමට යැවීය. මතු දැක්වෙන දෙයින් එම ලියුම ලිවීමේ අරමුණ දැනගත හැක. “සටන ඉතා බලවත්ව තිබෙන තැන පෙරමුණේම උරියා සිටුවා, පහර ලැබ නසින පිණිස ඔහු අත්හැර අහක් වෙන්න.” කොළයක කුරුටු ගෑ වචන කිහිපයකින් බලවත් රජ උරියාව මරණයට පත් කළේය. එසේ කිරීමෙන් තම පාපය සැඟවීමට තමා සමත් වුණායයි දාවිත් සිතුවා විය හැකියි.—2 සාමුවෙල් 11:14-17.

බැත්-ෂෙබා ඇගේ ස්වාමි පුරුෂයා ගැන වැලපීම නතර කළ පසු දාවිත් ඇයව විවාහ කරගත්තේය. කාලය ක්‍රමයෙන් ගෙවී ගිය අතර ඔවුන් දෙදෙනාගේ දරුවාද උපත ලැබීය. මේ සෑම දෙයක්ම සිදු වෙන තුරුත් දාවිත් තම වරද ගැන මුනිවත රැක්කේය. සමහර විට ඔහු තමාටම තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට උත්සාහ කරමින්, යුද්ධයේදී මිය ගිය අන් අයට මෙන් උරියාටද හිමි වූයේ ගෞරවාන්විත මරණයක් කියාත් ඔහුට තමන්ගේ අණට අකීකරු නොවී භාර්යාව ළඟට යන්න තිබුණා කියාත් ඔහු තර්ක කරන්න ඇති. මන්ද පාපය තුනී කිරීමට ‘රැවටිලිකාර හෘදය’ නොයොදන උපායක් නැත.—යෙරෙමියා 17:9; 2 සාමුවෙල් 11:25.

වරදට හේතු පාදක වූ අත් වැරදීම්

ධර්මිෂ්ඨකමට ප්‍රේම කරන දාවිත් වැනි මනුෂ්‍යයෙකු කාමමිථ්‍යාචාරයට සහ මිනී මැරීමට පෙලඹුණේ කෙසේද? පෙනෙනාකාරයට වරදට තුඩු දුන් කාරණා කාලයක් පුරා දළුලමින් තිබී ඇත. යෙහෝවාගේ සතුරන් සමඟ සටන් වැද සිටි තම සෙනඟට සහය දෙමින් ඔවුන් අතර දාවිත් නොසිටියේ මන්ද කියා අපට සිතෙයි. අනෙක් අතට, දාවිත් තම මාළිගාවේ විවේක සුවයෙන් කල් යැවූ නිසා යුද්ධය පිළිබඳව කිසිදු හැඟීමක් ඔහුට නොතිබුණේය. තවද, විශ්වාසවන්ත සොල්දාදුවෙකුගේ භාර්යාව කෙරෙහි මුසපත් වූ වැරදි ආශාවන් මැඩපවත්වා ගැනීමටද ඔහු අසමත් වුණි. සභාවේ ආත්මික ක්‍රියාකාරකම්වල නිරත වෙමින් දේශනා සේවයේ නොකඩවා හවුල් වීම, අදදින සැබෑ ක්‍රිස්තියානියෙකුට විශාල ආරක්ෂාවකි.—1 තිමෝති 6:12.

ව්‍යවස්ථාවේ පිටපතක් සාදාගෙන දිනපතා කියවීමට ඉශ්‍රායෙල් රජවරුන්ට උපදෙස් දී තිබුණි. එවැනි උපදෙසක් දීමට හේතුව බයිබලයේ මෙසේ විස්තර කරයි. “ඔහුගේ හෘදය තමාගේ සහෝදරයන් කෙරේ උඩඟුනොවී, ඔහු ආඥාවෙන් දකුණට හෝ වමට හැරී නොගොස්, මේ ව්‍යවස්ථාවේ සියලු වචනද මේ නියෝගද පවත්වා රක්ෂාකරන හැටියට, තමාගේ දෙවිවූ [යෙහෝවාට] භයවෙන්ට ඉගෙන ගන්න [පිණිසය].” (ද්විතීය කතාව 17:18-20) දාවිත් මෙම දරුණු වරද කළ කාල වකවානුවේදී එම උපදෙස අනුගමනය නොකරමින් සිටින්න ඇතැයි කියා අපට සිතාගත හැකියි. කටයුතු කිරීමට අසීරු මෙවැනි අර්බුදකාරි කාලවලදී වැරදි දේවල් කිරීමෙන් වැළකී සිටීම සඳහා අපට ආරක්ෂාව ලබාගත හැකි ප්‍රධානතම මාර්ගය වන්නේ දේවවචනය දිනපතා අධ්‍යයනය කිරීම සහ මෙනෙහි කිරීමයි.—හිතෝපදේශ 2:10-12.

ඊට අමතරව දස පනතේ අවසාන ආඥාවෙහි ‘නුඹේ අසල්වාසියාගේ භාර්යාවට ආශා නොවෙවයි’ කියා පැහැදිලිව සඳහන් කර තිබේ. (නික්මයාම 20:17) මෙම අවස්ථාව වන විට දාවිත්ට භාර්යාවන් සහ උපභාර්යාවන් විශාල සංඛ්‍යාවක් සිටියේය. (2 සාමුවෙල් 3:2-5) තවත් රූප සම්පන්න ස්ත්‍රියෙකුට ඔහු තුළ ආශාවක් ඇතිවීම වැළැක්වීමට මෙය ප්‍රමාණවත් වූයේ නැත. මෙම සිද්ධියෙන් අපට යේසුස් පැවසූ වදන්වල සත්‍යතාව මනාව පසක් වේ. එහි පවසන්නේ, “ස්ත්‍රියෙකු දෙස රාගයෙන් බලන කවරෙක් නුමුත් එවේලේම ඈ සමග සිතින් කාමමිථ්‍යාචාරය කෙළේය” කියාය. (මතෙව් 5:28) නුසුදුසු ආශාවන් ඇති වූ විට ඒවා මුදුන් පමුණුවාගැනීමට වෑයම් නොකර ඉක්මනින්ම එවැනි සිතුවිලි අපගේ මනසින් සහ හෘදයෙන් ඉවත් කළ යුතුයි.

පසුතැවීම සහ දයාව

දාවිත්ගේ වරද වහෙන් ඔරෝ නැතුව ඍජුව බයිබලයේ පවසා ඇත්තේ එවැනි පාපයන්ට උල්පන්දම් දීමක් හැටියට නොවෙයි. ඇත්තෙන්ම එම වාර්තාවෙන් අපට යෙහෝවාගේ කැපීපෙනෙන ගුණාංගයක් වන දයාව පිළිබඳ කදිම සාක්ෂියක් සපයයි.—නික්මයාම 34:6, 7.

බැත්-ෂෙබාට දරුවා ලැබුණ පසු දාවිත්ව මුණගැසීමට යෙහෝවා ප්‍රොපේත නාතාන්ව යවනු ලැබීය. මෙය දෙවිගේ දයාව පිළිබිඹු කිරීමක් විය. ඇත්තෙන්ම එම අවස්ථාවේදී දාවිත් නාතාන්ට මුහුණ නොදී නිශ්ශබ්දව සිටියා නම් දාවිත් දිගටම වරදෙහි නියැලෙමින් තමන් කළ පාපය ගැන කිසිම තැකීමක් නැති මුරණ්ඩු කෙනෙකු වන්නට ඉඩ තිබුණි. (හෙබ්‍රෙව් 3:13) දාවිත්, දෙවිගේ දයාවට ප්‍රතිචාරය දැක්වීම සතුටට කාරණයකි. නාතාන්ගේ දක්ෂ උපායශීලි උපදෙස් ඇසූ විට ඔහුගේ හදවත කීරිගැසී ගිය අතර දෙවිට විරුද්ධව තමා වරදක් කර ඇති බව දාවිත් බැහැපත්ව තේරුම්ගත්තේය. දාවිත් ගීතා 51වන ගීතාවලිය ලියා ඇත්තේ බැත්-ෂෙබා සමඟ ඔහු කළ වරද හෙළි කර ඒ ගැන පසුතැවිලි වීමෙන් පසුවය. අපත් වරදක් කර ඇත්නම් එහි ඇති බරපතළකම සුළු කිරීමට තරම් දැඩි හෘදයක් වර්ධනය වීමට ඉඩ නොදෙමු.—2 සාමුවෙල් 12:1-13.

දාවිත්ට සමාව ලැබුණත් ඔහු කළ වරදට නිසි දඬුවම් ලැබුණු අතර වරදේ ප්‍රතිඵලවලින් ඔහු නිදහස් නොවීය. (හිතෝපදේශ 6:27) දාවිත්ව දෙවි දඬුවමින් නිදහස් නොකළේ මන්ද? එසේ නිදහස් කළා නම් එයින් නිරූපණය වන්නේ දෙවි සෑම දෙයක්ම සැහැල්ලුවට ගන්නා බවත් ඔහුට ස්ථිර ප්‍රතිපත්තියක් නොමැති බවත්ය. එසේ කළහොත් තම පුත්‍රයන් වැරදි ක්‍රියාවන්වල නිරත වන විට දැඩි ක්‍රියාමාර්ගයක් නොගත්, එමෙන්ම කමකට නැති හික්මවීමක් දුන් උත්තම පූජක ඒලීගේ තත්වයට ඔහු පත් වනු ඇත. (1 සාමුවෙල් 2:22-25) නමුත් තමන් කළ වරද ගැන පසුතැවෙන කෙනෙකුට යෙහෝවා ප්‍රේමනීය කරුණාව පෙන්වීමෙන් වැළකී සිටින්නේද නැත. වරදෙහි ගිනි දළු මැද දැවි දැවී සිටින පුද්ගලයෙකුට ඔහුගේ කරුණා ගුණය සිසිල් පැන් පොදක් මෙනි. දිව්‍ය සමාව සහ සෙසු නමස්කාරකයින්ගේ ගොඩනංවනසුලු ඇසුර ආත්මිකව යළි ගොඩ ඒමට වරදකරුවෙකුට මහෝපකාරි වේ. ඔව්, යේසුස්ගේ මිදීමේ පූජාවේ පදනම මත පසුතැවිලිවන්නන්ට ‘ලබන්න සුදුසු නැති දෙවිගේ උතුම් කරුණාව’ අද්දැකිය හැක.—එපීස 1:7NW.

‘පවිත්‍ර සිතක්’සහ ‘අලුත් ආත්මයක්’

පනස් එක්වන ගීතාවලියේ සඳහන් තමන්ගේ පසුතැවිල්ලට පසු දාවිත් නොවටිනාකමේ හැඟීමකින් යටපත් වුණේ නැත. පසුතැවිලි වීමෙන් පසු ලියූ එම ගීතිකාවේ සඳහන් ප්‍රකාශයන්වලින් පෙන්නුම් කෙරෙන්නේ ඔහු ලද සහනය සහ දෙවිට විශ්වාසවන්තව සේවය කිරීමට ඔහු ගත් අධිෂ්ඨානයයි. මෙය සොයා බැලීමට ගීතා 32වන ගීතාවලිය කියවන්න. එහි පළමු ඡේදය ආරම්භ වන්නේ මෙසේයි. “අපරාධයට කමාවත් පාපයට වැස්මත් ලැබූ තැනැත්තේ ආශීර්වාද ලද්දෙක්ය.” කොතරම් දරුණු වරදක් කළත් එම වරද කළ පුද්ගලයා අවංකවම පසුතැවෙනවා නම් සතුටුදායක ප්‍රතිඵල ලබාගත හැකියි. අවංකවම පසුතැවෙන බව පෙන්විය හැකි එක් ක්‍රමයක් නම් දාවිත් මෙන් කළ වරද සම්පූර්ණයෙන් පිළිගැනීමය. (2 සාමුවෙල් 12:13) ඔහු යෙහෝවා ඉදිරියෙහි තමා නිර්දෝෂ බව ඔප්පු කිරීමට හෝ වෙන කෙනෙකු මත වරද පැටවීමට තැත් නොකළේය. පස්වන ඡේදයෙහි පවසන්නේ “මාගේ පාපය ඔබට ප්‍රකාශකෙළෙමි, මාගේ අයුතුකම නොසැඟවීමි. මාගේ වරද [යෙහෝවාට] කියාදෙන්නෙමියි කීමි; ඔබද මාගේ පාපයේ අයුතුකම කමා [කළේය]” කියාය. අවංකවම පසුතැවිලි වීමෙන් සහනයක් ලැබෙන අතර එසේ කිරීමෙන් යම් පුද්ගලයෙකුට තමා කළ වැරදි ගැන වරද සහිත හෘදය සාක්ෂියක් ඇතුව සිටිය යුතු වන්නේද නැත.

දාවිත් යෙහෝවාගෙන් සමාව අයැද සිටීමෙන් පසු මෙසේ ඉල්ලීය. ‘දෙවියනි, පවිත්‍ර සිතක් මා තුළ මැවුව මැනව. අලුත් ආත්මයක් මා තුළෙහි සෑදුව මැනව.’ (ගීතාවලිය 51:10) දාවිත් ‘පවිත්‍ර සිතක්’ සහ ‘අලුත් ආත්මයක්’ දෙන මෙන් කරන ඉල්ලීමෙන් යමක් පිළිබිඹු වේ. එනම් තමා තුළ පාපතර ස්වභාවයක් තිබුණා කියාත් තම හෘදය පවිත්‍ර කරගැනීමට සහ අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට දෙවිගේ උපකාරය අවශ්‍යයි කියාත් දාවිත් පිළිගත් බවය. තමා ගැන නුඋවමනා ආත්ම අනුකම්පාවක් ඇති කරගනිමින් තැවි තැවී නොසිට දෙවිගේ සේවයේ දිගටම නිරත වීමට ඔහු අදිටන් කරගත්තේය. ඔහු මෙසේ යාච්ඤා කළේය. ‘යෙහෝවා, කට අරින්ට මට පිහිටවුව මැනව; එවිට මාගේ මුඛය ඔබට ප්‍රශංසා කරන්නේය.’—ගීතාවලිය 51:15.

දාවිත්ගේ අවංක පසුතැවිල්ලට සහ තමාට සේවය කිරීමට ඔහු ගත් අධිෂ්ඨානයට යෙහෝවා දැක්වූ ප්‍රතිචාරය කුමක් වීද? ඔහු දාවිත්ට මෙම හද උණුසුම් කරවන සහතිකය දෙනු ලැබීය. “ඔබට උගන්වන්නෙමි, ඔබ විසින් යායුතු මාර්ගයෙහි ඔබට ගුරුකම් දෙන්නෙමි. මාගේ ඇස ඔබ කෙරේ යොමුකොට ඔබට දැනමිතිකම් දෙන්නෙමි.” (ගීතාවලිය 32:8) මෙය පසුතැවිලි වන කෙනෙකුගේ හැඟීම් ගැන හා අවශ්‍යතාවන් ගැන යෙහෝවා දක්වන පෞද්ගලික සැලකිල්ල පිළිබඳ සහතිකයකි. කාරණා දෙස ගැඹුරින් බැලීම සඳහා දාවිත්ට තීක්ෂ්ණ බුද්ධිය ලබා දීමට යෙහෝවා විසින් පියවර ගන්නා ලදි. එවිට අනාගතයේදී යම් පරීක්ෂාවකට මුහුණ දෙන විට එමගින් ඇති වන ප්‍රතිඵල සහ එය අන් අය කෙරෙහි බලපෑ හැකි ආකාරය ගැන ඔහුගේ සිහියට නැඟෙන අතර ඥානවන්තව කටයුතු කිරීමටද හැකියාවක් ලැබෙනු ඇත.

දාවිත්ගේ ජීවිත කතාවෙන් දරුණු වරදක් කර ඇති සෑම කෙනෙකුටම දිරිගැන්වීමක් ලැබෙයි. වරද හෙළි කිරීමෙන් සහ අවංක පසුතැවීමක් පෙන්නුම් කිරීමෙන් අපේ උතුම්ම වස්තුව වන යෙහෝවා දෙවිත් සමඟ තිබෙන අපේ සබඳතාවය නැවත ඇති කරගත හැකියි. වරද සඟවාගෙන එසේ නැතහොත් මුරණ්ඩුකම විදහාපෙන්වමින් දැඩි සිතක් ඇතුව සිටීම නිසා විඳින්න සිදු වන දරුණු ප්‍රතිවිපාකයන්ට වඩා එම අවස්ථාවේදී විඳින්න සිදු වන වේදනාව සහ ලජ්ජාව දරාගැනීම අපට පහසු වේ. (ගීතාවලිය 32:9) සියල්ලටම වඩා වැදගත් වන්නේ, ‘දයාබර කරුණාවල පියා වූද සෑම සැනසිල්ලේ දෙවි වූද’ යෙහෝවාගෙන් සමාව ලබාගැනීමට ඇති හැකියාවයි.—2 කොරින්ති 1:3.

[31වන පිටුවේ පින්තූරය]

උරියාව මරණයට පත් කරවමින් තම වරදින් ගැළවීමට දාවිත් මාන බැලීය