හද කම්පා කරන අහිමි වීමක් මැද ප්‍රීතියෙන් සහ තුති පුදමින්
ජීවිත කතාව
හද කම්පා කරන අහිමි වීමක් මැද ප්‍රීතියෙන් සහ තුති පුදමින්
පැවසුවේ නැන්සි ඊ. පෝට
එදා 1947 ජූනි 5වෙනිදා එක්සත් ජනපදයේ ගිනිකොණදිග මුහුදු තීරයේ පිහිටි බහමාස් දූපත්වලදී සැන්දෑවරුවේ ආගමන නිලධාරියෙක් මාවයි, මගේ සැමියා වූ ජෝර්ජ්වයි හමු වෙන්න ආවා. අපිට තවදුරටත් මෙහෙ ඉන්න අවසරයක් නැහැ, “වහාම මෙම දූපත්වලින් පිට වෙන්න” කියා පැවසූ ලිපියක් ඔහු අපට භාර දුන්නා.
බහමාස්වල ලොකුම නගරය වන නසවුවලට මුලින්ම ආපු යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මිෂනාරිවරුන් වන්නේ ජෝර්ජුයි, මමයි. නියූ යෝක්හි උතුරුකරයෙහි වූ මිෂනාරි පාසැලක් වන ගිලියද්හි අටවෙනි පන්තියෙන් උපාධිය ලැබුවහම අපට පැවරුම ලැබුණේ මෙහාටයි. අපි ඇවිත් මාස තුනක් යන්නත් කලින් ඔවුන් එච්චර දැඩි ක්‍රියා මාර්ගයක් ගත්තේ ඇයි? එදා ඉඳලා අවුරුදු 50කට වැඩි කාලයක් ගත වෙලා තිබුණත් මම තාමත් මෙහෙ ඉන්නේ කොහොමද?
දේවසේවය සඳහා පුහුණුව
මගේ ජීවිතය හොඳින් ගත කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මගේ තාත්තා (හැරි කිල්න) නිසයි. ඔහු යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වෙද්දි හුඟක් පරිත්‍යාගයන් කළා. ඒක මට විශිෂ්ට ආදර්ශයක් වුණා. ඔහු නිතර අසනීපයෙන් පසු වුණත්, රාජ්‍යයේ කටයුතුවලට මුල් තැන දුන්නා. හැම සති අන්තයකම වගේ ජ්වලිතව දේශනා සේවයේ යෙදුණා. (මතෙව් 6:33) අපිට මුදල් අතින් අගහිඟකම් තිබුණා. ඒ වුණත්, 1930 ගණන්වලදී කැනඩාවේ ඇල්බටා, ලෙත්බ්‍රිජ්හි තිබුණ ඔහුගේ සපත්තු සාප්පුව ආත්මික ක්‍රියාකාරකම්වල මධ්‍යස්ථානය වෙලා තිබුණා. පුරෝගාමීන් කියා හැඳින්වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන දේවසේවකයන් අපේ ගෙදර ඇවිත් ඔවුන් ලබපු අද්දැකීම් කිව්ව ඒ මුල් කාලය තාමත් මගේ මතකයේ රැඳිලා තියෙනවා.
මම 1943දී ෆෝට් මක්ලෞඩ් සහ ඇල්බටාහි ක්ලාෂෝම් යන නගර අවට පුරෝගාමී සේවයේ යෙදෙන්න පටන්ගත්තා. ඒ වකවානුවේ IIවන ලෝක යුද්ධය පැවති කාලයේදී විරුද්ධවාදීන්ගේ බොරු ප්‍රචාරයන් නිසා කැනඩාවේ දේශනා සේවය තහනම් කර තිබුණා. අපිට මේ කෙළවරේ සිට අනිත් කෙළවර දක්වා කිලෝමීටර් 100ක දුර ප්‍රමාණයක් ඇති ප්‍රදේශයක සේවය කරන්න තිබුණත් අපි යෞවනව හා සෞඛ්‍ය සම්පන්නව හිටිය නිසා එම ප්‍රදේශයේ සෙනඟ අඩු තැන්වලට සහ ගොවිපොළවල්වලට බයිසිකලයෙන් යන එක, එහෙමත් නැත්නම් ඇවිදින එක සුළු දෙයක් කියලා අපි හිතුවා. ගිලියද් උපාධිය ලබාගෙන හිටිය කීපදෙනෙක් එක්ක කතා කරන්න මේ කාලයේදී මට අවස්ථාව උදා වුණා. ඔවුන්ගේ අද්දැකීම් ඇහැව්වහම මට මිෂනාරිවරියක් වෙන්න ආශාවක් ඇති වුණා.
මම 1945දී, කැනඩාවේ සස්කැචවොන්වලදී ජෝර්ජ් පෝට එක්ක විවාහ වුණා. වර්ෂ 1916 ඉඳලා ඔහුගේ දෙමාපියන් ජ්වලිත සාක්ෂිකරුවන් වෙලා ඉඳලා තියෙනවා. ඔහුත් ඔහුගේ වෘත්තිය හැටියට තෝරගෙන තිබුණේ පූර්ණ-කාලීන දේවසේවයයි. අපිට මුල්ම පැවරුම ලැබුණේ කැනඩාවේ උතුරු වැන්කුවර්හි මනහර ලින්වැලිවලටයි. වැඩි කල් යන්න කලින් අපිට ගිලියද් පාසැලට සහභාගි වෙන්න ආරාධනාවක් ලැබුණා.
දේවධර්මය උගන්වන නොයෙකුත් සෙමනේරිවලින් උපාධි ලැබුව අය එක්ක මම අවුරුදු ගණනාවක් පුරා කතා කරලා තියෙනවා. මට හොඳටම වැටහුණ එක දෙයක් තමයි ඔවුන් දේවධර්මය පිළිබඳව ලැබුව පුහුණුවෙන් දෙවි කෙරෙහිත්, ඔහුගේ වචනය වන බයිබලය කෙරෙහිත් ඔවුන්ට තිබුණ විශ්වාසය නැති වෙලා ගිහින් කියන එක. ගිලියද්වලදී සිද්ධ වුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. එහිදී අපි ඉගෙනගත්ත දේවලින් අපේ සිතීමේ හැකියාව තියුණු වුණා විතරක් නෙවෙයි වඩාත්ම වැදගත් දේ වන යෙහෝවා දෙවි සහ ඔහුගේ වචනය කෙරෙහි අපේ විශ්වාසයත් තව තව වැඩි වුණා. අපේ පංතියේ හිටිය අනිත් අයව චීනයට, සිංගප්පූරුවට, ඉන්දියාවට සහ අප්‍රිකාවේ මෙන්ම දකුණු අමෙරිකාවේ රටවල්වලට හා තවත් රටවල්වලට යැව්වා. අපේ පැවරුම බහමාස් නිවර්තන දූපත්වලට බව දැනගන්න ලැබුණ දා අපිට ඇති වුණ ප්‍රීතිය මට අද වගේ මතකයි.
කොහොමද අපිට ඉන්න පුළුවන් වුණේ?
පන්තියේ අනිත් අයට ලැබුණ පැවරුම්වලට යන්න තිබුණ දුර ප්‍රමාණය එක්ක සසඳද්දී බහමාස්වලට තිබුණු දුර ප්‍රමාණය කෙටියි. වැඩි වේලාවක් යන්න කලින්, අපිට ගිම්හානයේ උණුසුම ලබන්න හැකි වුණා. ඒ විතරක් නෙවෙයි නිල් අහස්තලය, නිල් කැටයක් වන් වතුර, ලා පැහැයෙන් යුත් ගොඩනැඟිලිවල ලස්සන වගේම ගණන් කරන්නවත් බැරි තරම් බයිසිකල් ගොඩකුත් දකින්න ලැබුණා. මේ ඔක්කොටම වැඩියෙන්, හද පත්ලේ රැඳී තියෙන්නේ අපේ බෝට්ටුව ළඟා වෙද්දී අපි එනකං බලාගෙන හිටිය සාක්ෂිකරුවන් පස්දෙනාව දකිද්දී ඇති වුණ මුල්ම හැඟීමයි. මෙහෙ සංස්කෘතිය අපේ සංස්කෘතියට වඩා වෙනස් බව අපිට ටික දවසකින්ම වැටහුණා. උදාහරණයක් හැටියට, මගේ මහත්තයා මට කතා කරන්නේ ස්වීට්හාට් (වස්තුව) කියලයි. හැබැයි සමහරු එයාට කියලා තිබුණා ප්‍රසිද්ධියේ මට එහෙම කතා කරන්න එපා
කියලා. එහෙම කිව්වේ සාමාන්‍යයෙන් මෙහෙ එහෙම කතා කරන්නේ අනියම් බිරිඳකට නිසයි.ටික දවසකට පස්සේ, අපි ජනයා අතරේ නිදහසේ ගැවසෙන එක තර්ජනයක් කියලා පූජකයන්ට හැඟුණ නිසා කොමියුනිස්ට්වාදීන් කියලා අපිට බොරුවට චෝදනා කරන්න පටන්ගත්තා. ඒ හින්දා අපිට රටෙන් පිට වෙන්න කියලා නියෝගයක් පැනෙව්වා. එතකොට මේ දූපත්වල සාක්ෂිකරුවන් හිටියේ 20කටත් වඩා අඩු සංඛ්‍යාවක්. මේ ටිකදෙනා වහාම ක්‍රියාත්මක වෙලා අපිට ඉන්න අවසර දෙන්න කියලා දහස්ගණනකගේ අත්සන් තැබුව පෙත්සමක් ඉදිරිපත් කළා. ඊට පස්සේ ඔවුන් පිට වෙන්න කියා දැම්ම නියෝගය ඉවත් කළා.
නව බලප්‍රදේශයකට
දෙවිට ප්‍රේම කළ අයගේ හදවත් තුළ බයිබල් සත්‍යය ශීඝ්‍රයෙන් පැළ වුණ නිසා බහමාස්වලට තවත් ගිලියද් මිෂනාරිවරුන්ව එව්වා. ඊට පස්සේ, 1950දී ශාඛා කාර්යාලයක් පිහිටෙව්වා. අවුරුදු දහයකට පස්සේ, නියූ යෝක් බෘක්ලින්හි මූලස්ථානයේ සාමාජිකයෙක් වූ මිල්ටන් හෙන්ෂල් බහමාස් බලන්න ඇවිත් බහමාස්වල වෙන දූපතකට ගිහින් සේවය කරන්න කැමති අය ඉන්නවද කියලා මිෂනාරිවරුන්ගෙන් ඇහැව්වා. ඒ වෙලාවේ ජෝර්ජුයි මමයි ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා. ලෝං දූපතේ අවුරුදු 11ක් අපිට ඉන්න පුළුවන් වුණේ ඒ නිසයි.
බහමාස් දූපත් රාශියෙන් එකක් වූ මේ දූපතේ ප්‍රමාණය දිගින් කිලෝමීටර් 140ක් හා පළලින් කිලෝමීටර් 6ක් වෙනවා. ඒ කාලේ එහෙ දියුණුයි කියලා කියන්න පුළුවන් එක නගරයක්වත් තිබුණේ නැහැ. එහි අගනුවර වූ ක්ලැරන්ස් නගරයේ තිබුණේ ගෙවල් 50ක් විතරයි. විදුලි බලය, ගෙවල්වලට වතුර පයිප්ප, ඉවුම් පිහුම් පහසුකම් එහෙමත් නැත්නම් ජලනල සැපයුම් තිබුණේ නැති නිසා දකින්න තිබුණේ ඉපැරණි ජීවන රටාවක්. ඉතින් අපිට ඒ පිටිසරබද ජීවන රටාවට හුරු වෙන්න සිද්ධ වුණා. එහෙ මිනිස්සු වැඩි කැමැත්තක් දැක්වුවේ ඔවුන්ගේ සෞඛ්‍යය ගැන කතා කරන්නයි. ඔවුන්ගේ සුව දුක් විමසද්දි “ඔයාගේ සැප සනීප කොහොමද” කියලා නාහන්න අපි වගබලා ගත්තා. නිකං හරි කට වරද්දගෙන ඇහැව්වොත්, ඒ පුද්ගලයාගේ සෞඛ්‍යය ගැන මුළු ඉතිහාසයම කියන්න පටන්ගන්නවා.
සාමාන්‍යයෙන් හුඟදෙනෙක්ව හම්බ වෙන්නේ පිදුරු වගේ දේකින් සෙවිලි කළ වහලකුත්, දර ලිපකුත් තියෙන නිවසෙන් පිට තිබෙන කුස්සියේදී නිසා අපේ සාක්ෂි දැරීමෙන් වැඩිහරියක් සිද්ධ වුණේ කුස්සියෙන් කුස්සියටයි. සාමාන්‍යයෙන් ඔවුන් දුප්පත්. ඔවුන්ගෙන් වැඩිදෙනෙක් ගොවියන් එහෙමත් නැත්නම් මසුන් අල්ලන්නන්. ඔවුන් හරිම කරුණාවන්තයි. ඔවුන්ගෙන් වැඩිදෙනෙක් ආගමට දහමට ලැදි අය විතරක් නෙවෙයි මිථ්‍යා විශ්වාසයන්ටත් නැඹුරු අයයි. අසාමාන්‍ය දෙයක් සිද්ධ වුණොත් ඔවුන් එය සැලකුවේ පෙරනිමිත්තක් හැටියටයි.
පූජකයන් කිසි බයක් හැකක් නැතුව මිනිස්සුන්ගේ ගෙවල්වලට ගිහිල්ලා අපි දීලා තිබුණ බයිබල් පොත් පත් ඉරලා දැම්මා. මේ විදිහට ඔවුන් සමහරුන්ව භයගැන්නුවත්, ඔවුන්ට හැමෝම භය වුණේ නැහැ. උදාහරණයක් හැටියට, වයස අවුරුදු 70ක නිර්භීත ස්ත්‍රියක් හිටියා. ඈ භය වුණේ නැහැ. ඇයට වුවමනා වුණා බයිබලය ඉගෙනගන්න. ඉතින් අන්තිමේදී තවත් කීපදෙනෙකුත් එක්කම ඇය සාක්ෂිකාරියක් බවට පත් වුණා. මේ අතර ජනයා වැඩි උනන්දුවක් දක්වන්න පටන්ගත්ත නිසා සමහර ඉරිදා දවස්වලදී ඔවුන්ව රැස්වීම්වලට අරගෙන එන්න කිලෝමීටර 300ක් විතර රිය පදවන්න ජෝර්ජ්ට සිද්ධ වුණා.
මුල් මාසවලදී වෙන සාක්ෂිකරුවන් හිටියේ නැතත්, ජෝර්ජුයි මායි එකතු වෙලා සාමාන්‍යයෙන් තියෙන හැම රැස්වීමක්ම පවත්වමින් අපේ ආත්මිකත්වය රැකගත්තා. ඊට අමතරව, හැම සඳුදා රාත්‍රියකම අපි නියමිත කාලසටහනකට අනුව මුරටැඹ සඟරාවේ පාඩම් ලිපිය සාකච්ඡා කළා. ඒ වගේම අපේ බයිබල් කියවීමත් කළා. ඒ විතරක් නෙවෙයි, අපිට ලැබුණ මුරටැඹ හා පිබිදෙව්! කලාපවල හැම ලිපියක්මත් අපි කියෙව්වා.
අපි ලෝං දූපතේ ඉන්දැද්දී මගේ තාත්තා අන්තරා වුණා. වර්ෂ 1963 ගිම්හානයේදී අපි ඉන්න තැනට කිට්ටු තැනක අම්මට පදිංචි වෙන්න සැලසුම් යෙදුවා. ඇය මහලු වයසේ පසු වුවත්, 1971දී මියයන තෙක්ම ලෝං දූපතේ ජීවන රටාවට හොඳට හුරු වෙලා හිටියා. අදදින ලෝං දූපතේ නවතම රාජ්‍ය ශාලාවකුත් සභාවකුත් තියෙනවා.
වේදනා ගෙන දුන් අභියෝගයක්
වර්ෂ 1980දී, ජෝර්ජ්ට තේරුණා ඔහුගේ සෞඛ්‍ය තත්වය දුර්වල වේගන යන බව. මගේ දයාබර සැමියා, සහකරුවා සහ මිතුරා ඇල්ෂයිම රෝගයට ගොදුරු වෙනවා දැකීම තමයි මගේ ජීවිතයේ ලොකුම වේදනාකාරි අද්දැකීම වුණේ. ඔහුගේ පෞද්ගලිකත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඔහු 1987දී මැරෙන්න කලින් ගෙවුණු අවුරුදු හතරක විතර කාලය තමයි දරාගන්න හුඟක්ම අමාරු වුණ වේදනාකාරිම කාලය වුණේ. ඔහුට හැකි තාක් කල් ඔහු මාත් එක්ක එකට දේශනා සේවයේ හවුල් වුණා; රැස්වීම්වලටත් ගියා. නමුත් ඔහුට ඒ සඳහා දරන්න වුණ වෑයම දකිනකොට මට මගේ කඳුළු හංගගන්න බැරුව ගියා. අපේ ක්‍රිස්තියානි සහෝදරයන්ගේ පිරී ඉතිරී ගිය ප්‍රේමය ඇත්තටම සැනසීමක් වෙලා තියෙනවා. ඒත් තවමත් ඔහු නැති පාලුව නං මැකිලා නැහැ.
ජෝර්ජුයි මමයි නිතරම සතුටෙන් අදහස් හුවමාරු කරගත්ත එක අපේ විවාහයේ මිල කළ නොහැකි වටිනාකමක් ඇති පැත්තක්. මොනවා කරන්නද ජෝර්ජ් නැති වුණා. “නොකඩවා යාච්ඤාකරන්න” “යාච්ඤාවෙහි නොකඩව පවතින්න” “සියලු ආකාර යාච්ඤා ඉදිරිපත් කරන්න” කියලා යෙහෝවා ඔහුගේ සේවකයන්ට කළ ආරාධනාවට දැන් මම කලින්ටත් වඩා කෘතඥපූර්වක වෙනවා. (1 තෙසලෝනික 5:17; රෝම 12:12; එපීස 6:18, NW) යෙහෝවා අපේ ශුභසිද්ධිය ගැන සැලකිලිමත් වෙන බව දැනගන්න ලැබිලා තියෙන එක ඇත්තෙන්ම සහනයක්. මට හැඟෙන්නේ ගීතිකාකරුට හැඟුණ විදිහටමයි. ඔහු මෙහෙම ගායනා කළා. ‘දවස්පතා අපේ බර උසුලන්නාවූ යෙහෝවාට ප්‍රශංසා වේවා.’ (ගීතාවලිය 68:19) හෙට දවස ගැන හිත හිතා නොඉඳ මගේ සීමාවන් තේරුම් අරගෙන, එදිනෙදා ලැබෙන ආශීර්වාදවලට ස්තුතිවන්ත වෙමින්, යේසුස් අවවාද කළ ආකාරයටම ජීවත් වෙන එකයි හොඳම ක්‍රමය.—මතෙව් 6:34.
දේවසේවයේ යෙදීමෙන් ප්‍රීතිමත් ආශීර්වාද
ක්‍රිස්තියානි දේවසේවයේ යෙදෙන එක, ඕනෑවට වඩා අතීතය ගැන හිතමින් නොඉන්න මට උපකාරයක් වෙලා තියෙනවා. මේ විදිහට මට පුළුවන් වෙලා තියෙනවා අධෛර්යයට පත් කරවන හැඟීම් යටපත් කරගන්න. අනිත් අයට බයිබල් සත්‍යය ඉගැන්වීම ප්‍රීතිය ලැබෙන හොඳම ක්‍රමයක්. ඒකෙන් මගේ ජීවිතයට සංවිධානාත්මකභාවයක් සහ ස්ථාවරත්වයක් ලැබිලා තියෙනවා. මේ තුළින් පිළිවෙළකින් යුත් ආත්මික දිනචර්යාවක් ඇතුව ඉන්න පුළුවන් වෙලා තියෙනවා.—පිලිප්පි 3:16.
අවුරුදු 47කට විතර ඉස්සර මම රාජ්‍ය පණිවිඩය ගැන කතා කරපු තැනැත්තියකගෙන් දවසක් මට දුරකථන ඇමතුමක් ලැබුණා. ඇය, අපි 1947දී බහමාස්වලට ආව අලුත අපිත් එක්ක මුලින්ම බයිබලය පාඩම් කළ කෙනෙකුගේ දියණියක්. ඇගේ අම්මා, තාත්තා සහ සහෝදර සහෝදරියන් ඔක්කොමත්, ඔවුන්ගේ දරුවන් සහ දරුවන්ගේ දරුවන් වැඩිදෙනෙකුත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් බවට පත් වුණා.
ඇත්තෙන්ම මේ තැනැත්තියගේ පවුලේ සාමාජිකයන් 60කට වඩා සාක්ෂිකරුවන් වී තිබෙනවා. ඒත් ඈ මෑතක් වෙනකම්ම බයිබල් සත්‍යය පිළිගත්තේ නැහැ. නමුත් දැන් ඇය යෙහෝවා දෙවිගේ සේවිකාවක් වෙන්න සූදානමින් ඉන්නවා. ජෝර්ජුයි මමයි බහමාස්වලට එනකොට හිටිය සාක්ෂිකරුවන් අතළොස්ස දැන් 1400කට වඩා වැඩි වෙලා තියෙනවා දකින්න ලැබීම මොනතරම් ප්‍රීතියක්ද!මගේම කියලා දරුවෙක් නැති එක පාළුවක් නෙවෙයිද කියලා සමහරු මගෙන් අහනවා. ඇත්තෙන්ම, දරුවෝ ඉන්න එක ආශීර්වාදයක් වෙන්න පුළුවන්. ඒත්, මගේ ආත්මික දරුවන්, මුනුබුරු මිනිබිරියන් සහ ඔවුන්ගේ දරුවන් නිතරම මට පෙන්වූ ප්‍රේමය වගේ ප්‍රේමයක් සාමාන්‍යයෙන් හැම දෙමාපියෙකුටම තමන්ගේම දරුවන්ගෙන් නොලැබෙන්න පුළුවන්. “යහපත කරන්ටත්, උතුම් ක්‍රියාවලින් ධනවත් වෙන්ටත්” කැමති අය තමයි සන්තෝෂවත්ම අය කියන එක සත්‍යයක්. (1 තිමෝති 6:18) මගේ සෞඛ්‍ය තත්වය අනුව හැකි උපරිමයෙන් දේවසේවයේ සහභාගි වෙන්නේ ඒ නිසයි.
දවසක් දත් දොස්තරව හම්බ වෙන්න ගිහින් ඉන්නකොට තරුණ කාන්තාවක් මා ළඟට ඇවිල්ලා මෙහෙම කිව්වා. “ඔයා මාව දන්නේ නැහැ. ඒත් මම ඔයාව දන්නවා. ඇත්තටම මං ඔයාට ආදරෙයි.” ඇය බයිබලයෙන් සත්‍යය දැනගත්ත විදිහ මට විස්තර කරන්න පටන්ගත්තා. ඒ වගේම අපි මිෂනාරීන් හැටියට බහමාස්වලට ආව එක ගැන ස්තුතිවන්ත වුණා.
තවත් අවස්ථාවකදී මම නිවාඩුවක් ගත කරලා ආපහු ආවහම නසවුහි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ දැන් මම ඉන්න කාමරේ ඉස්සරහ දොරේ රෝස මලක් ගහලා තිබුණා. ඒ එක්කම පුංචි සටහනකුත් ලියලා තිබුණා. “ඔයාව ආදරෙන් පිළිගන්න ආසයි.” යෙහෝවාගේ වචනය, සංවිධානය සහ ආත්මය මගින් බිහි කර තිබෙන ජනයා දිහා බැලුවහම මම මුළු හදවතින්ම ස්තුතිවන්ත වෙනවා විතරක් නෙවෙයි යෙහෝවාට හුඟක් ප්‍රේම කරන්නත් මාව පෙලඹෙනවා. ඇත්තෙන්ම, අප අවට සිටින්නන්ගෙන් ලැබෙන උපකාරය මගින් යෙහෝවා හුඟක් වෙලාවට අපිව උසුලාගෙන තිබෙනවා.
අනේක වාරයක් ස්තුතිවන්ත වෙමින්
මට හැම වෙලාවෙම පහසු ජීවිතයක් ගත කරන්න ලැබිලා නැහැ. දැනුත් කියන්න තරම් පහසු ජීවිතයක් නෙවෙයි ගත කරන්නේ. ඒ වුණත්, මට ස්තුතිවන්ත වෙන්න නම් ඕන තරං දේවල් තියෙනවා. දේවසේවයෙන් ලැබෙන ප්‍රීතිය, ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් හුඟදෙනෙකුගෙන් ලැබෙන ආදරය කරුණාව, යෙහෝවාගේ සංවිධානය දක්වන ප්‍රේමනීය සැලකිල්ල, බයිබලයෙන් ලැබෙන නියම සත්‍යයන්, ප්‍රේමනීයයන් නැවත නැඟිටුණහම ඔවුන් එක්ක ඉන්න ලැබීමේ බලාපොරොත්තුව සහ යෙහෝවාගේ විශ්වාසවන්ත සේවකයෙක් එක්ක විවාහ වෙලා ගත කළ අවුරුදු 42දී සිදු වූ දේවල් පිළිබඳව රැඳී ඇති මතකයන් වගේ දේවල්. පූර්ණ කාලීන සේවයට ලැදි මගේ මහත්තයාට දිගටම පූර්ණ කාලීන සේවයේ රැඳී ඉන්න උපකාර කරන්න මට හැකියාව දෙන්න කියලා මම විවාහ වෙන්න කලින් යාච්ඤා කරලා තියෙනවා. යෙහෝවා ඉතා කාරුණිකව ඒ යාච්ඤාවට පිළිතුරු දුන්නා. ඉතින් හැමවිටම යෙහෝවාට විශ්වාසවන්තව සිටීමෙන් මගේ ස්තුතිවන්තභාවය පෙන්වන්නයි මට ඕනෙ.
බහමාස් කියන්නේ සංචාරකයන් පැමිණෙන ප්‍රසිද්ධ තැනක්. ඔවුන් මෙහි පැමිණෙන්නත්, නිවර්තන දේශගුණික කලාපයකට ආවේණික සුන්දර දසුනක් දැකීමේ ප්‍රීතිය ලබන්නත් ඩොලර් දහස් ගණනක් වියදම් කරනවා. යෙහෝවාගේ සංවිධානයෙන් නිර්දේශ කරන ඕනෑම තැනකට ගොස් සේවය කරන්න තීරණය කළ නිසා මේ දූපත්වල එක කෙළවරක ඉඳන් අනිත් කෙළවරටම යන්නත්, ගිහින් දේවරාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශ කරන්නත් ලැබීමේ ප්‍රීතිය මම අද්දැකලා තියෙනවා. ඊටත් වඩා වැදගත් දෙයක් වෙන්නේ, මිත්‍රශීලී බහමාස් ජාතිකයන්ගේ අනර්ඝතම ප්‍රේමය ගැන දැනගන්නත්, ප්‍රේමය ලබන්නත් මට පුළුවන් වෙලා තිබීමයි.
මගේ දෙමාපියන් වෙත සත්‍යය ගෙනා අයටත්, දේවරාජ්‍යය පළමුව සොයන්න මගේ පුංචි මනසේ සහ හෘදයේ ආශාව පැළ කරපු මගේ දෙමාපියන්ටත් මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අදදින යෙහෝවාගේ යෞවන සේවකයන් දේවසේවය සඳහා පුළුල්ව ඇති මහඟු අවස්ථා අල්ලාගත හැකි ‘විශාල දොරටුවෙන්’ ඇතුල් වෙනවා නම් ඔවුන්ටත් පුළුවන් ආශීර්වාද රැසක් ලබාගන්න. (1 කොරින්ති 16:9) ඔබේ ජීවිතය ‘දෙවිවරුන්ගේ දෙවි’ වන යෙහෝවාට ගෞරවය ගෙනෙන පරිදි ගත කරනවා නම් ඔබත් අනේක වාරයක් ස්තුතිවන්ත වේවි.—ද්විතීය කථාව 10:17; දානියෙල් 2:47.
[24වන පිටුවේ පින්තූරය]
බ්‍රි.කො., වික්ටෝරියාවල 1944දී වීදි සේවයේ යෙදෙමින්
[24වන පිටුවේ පින්තූරය]
ජෝර්ජුයි මමයි 1946දී ගිලියද් පාසැලට සහභාගි වී
[25වන පිටුවේ පින්තූරය]
1955දී බහමාස්, නසවුහි මිෂනාරි නිවස ඉදිරිපිට ජෝර්ජ් එක්ක
[26වන පිටුවේ පින්තූරය]
අපි 1961 සිට 1972 දක්වා සේවය කළ ඩෙඩ්මන්ස් කේවල මිෂනාරි නිවස