Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ඉංග්‍රීසි නව ලෝක පරිවර්තනයේ 2 පේතෘස් 3:13හි සඳහන් ‘අලුත් අහස’ බහු වචනයෙන් යොදා තිබුණත් එය එළිදරව් 21:1හි ඒක වචන ස්වරූපයෙන් යොදා තිබෙන්නේ මන්ද?

මෙය මුල් භාෂාවල ව්‍යාකරණ රටාවන්වලට සම්බන්ධයක් දක්වන නමුත්, ඒවායේ අර්ථයන්හි වෙනසක් නැති බව පැවසිය හැකියි.

අප ප්‍රථමයෙන් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ මෙම වචනය යොදා ඇති ආකාරය සලකා බලමු. “අහස” ලෙස පරිවර්තනය කර තිබෙන මුල් හෙබ්‍රෙව් භාෂාවේ ෂා·මාʹයීම් යන වචනය සැමවිටම බහු වචන ස්වරූපයක් ගනී. එසේ බහු වචන ස්වරූපයෙන් එය දක්වා ඇත්තේ එම වචනයට ගෞරවාන්විතභාවයක් ලබා දීමට නොවෙයි. ඒ වෙනුවට එයට බහු වචන ස්වරූපයක් ලබා දී ඇත්තේ එම වචනයේ අර්ථය අප සතු දැනුම අභිභවා යන බව හෝ එය ගණන් කළ නොහැකි විවිධ කොටස්වලින් සමන්විත වූ යම් දෙයක් බව පෙන්වා දීමටයි. එසේ නම්, තරු ප්‍රකෝටි ගණනකින් සමන්විත, ඉමක් කොනක් නැති භෞතික අහසට හෙබ්‍රෙව් බසින් බහු වචන ස්වරූපයක් දී ඇත්තේ ඇයි කියා තේරුම්ගත හැක. ෂා·මාʹයීම් යන වචනය නියත පදයක් සමඟ යෙදෙන අවස්ථාවලදී නව ලෝක පරිවර්තනයේ එය යොදා තිබෙන්නේ බහු වචන ස්වරූපයෙනි. මේ අනුව යෙසායා 66:22හි අහස යන වචනය බහු වචන ස්වරූපයෙන් දක්වා තිබේ. ෂා·මාʹයීම් යන්න නියත පදයක් නොමැතිව යෙදී ඇති විට, එය (ඉංග්‍රීසි නව ලෝක පරිවර්තනයේ, උත්පත්ති 1:8; 14:19, 22 සහ ගීතාවලිය 69:34හි දක්වා ඇති ආකාරයට) ඒක වචනයෙන් හෝ (උත්පත්ති 49:25; විනි. 5:4; යෝබ් 9:8 සහ යෙසායා 65:17හි දක්වා ඇති ආකාරයට) බහු වචනයෙන් හෝ පරිවර්තනය කළ හැක.

ඉංග්‍රීසි නව ලෝක පරිවර්තනයේ, යෙසායා 65:17 සහ 66:22හි අහස සඳහා යොදා ඇති හෙබ්‍රෙව් වචනය පරිවර්තනය කර තිබෙන්නේ බහු වචන ස්වරූපයෙනි.

ඌ·රා·නෝස්ʹ යන ග්‍රීක් වචනය ඒක වචන ස්වරූපයක් ගන්නා අතර එහි අර්ථය “අහස” වේ. එහි බහු වචන ස්වරූපය වන්නේ ඌ·රා·නෝයිʹ යන්නයි. සැලකිල්ලට ගත යුතු කාරණයක් වන්නේ ග්‍රීක් සෙප්ටුඅජින්ට් පරිවර්තකයන් යෙසායා 65:17 සහ 66:22 යන අවස්ථා දෙකේදීම ඒක වචන ස්වරූපයක් භාවිත කර තිබීමයි.

ග්‍රීක් ලියවිලිවල අලුත් අහස යන යෙදුම සඳහන් අවස්ථා දෙක ගැන කුමක් කිව හැකිද?

දෙවන පේතෘස් 3:13හි ප්‍රේරිතවරයා භාවිත කරන්නේ ග්‍රීක් බහු වචන ස්වරූපයයි. මෙම පදයට කලින් පදවල (2 පේතෘස් 3:7, 10, 12වන පදවල) ඔහු වර්තමානයේ දුෂ්ට ‘අහසට’ නැතහොත් දුෂ්ට ක්‍රමයට යොමු දැක්වීම සඳහා බහු වචන ස්වරූපය භාවිත කර ඇත. එමනිසා ඔහු 2 පේතෘස් 3:13වන පදය සඳහාත් බහු වචන ස්වරූපයක් ලබා දී ඇත. තවත් සැලකිය යුතු කාරණයක් තිබේ. දෙවන පේතෘස් 2:22හි වදන් ලියද්දී ප්‍රේරිතවරයා හිතෝපදේශ 26:11න් උපුටා දැක්වීය. ඒ සඳහා ඔහු යොදාගත්තේ මුල් හෙබ්‍රෙව් පිටපත්ය. මේ ආකාරයටම ඔහු 2 පේතෘස් 3:13 ලියන විටදීද යෙසායා 65:17න් උපුටා දක්වන ලදි. යෙසායා “අලුත් අහස” දක්වා ඇත්තේ බහු වචන ස්වරූපයෙන් නිසා පේතෘස්ද එය බහු වචන ස්වරූපයකින් දක්වා ඇත.

ඊට මදක් වෙනස්ව, එළිදරව් 21:1හි සඳහන් වදන් ප්‍රේරිත යොහන් දක්වා ඇත්තේ සෙප්ටුඅජින්ට් ලියවිල්ලෙහි යෙසායා 65:17 දක්වා ඇති ආකාරයටයි. කලින් සලකා බැලූ ලෙස එහි ‘අහස’ සඳහා යොදා ඇත්තේ ග්‍රීක් ඒක වචන ස්වරූපයයි. එමනිසා යොහන් “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද දුටිමි. මක්නිසාද පළමු අහසත් පළමු පොළොවත් පහවගියේය” කියා ලියද්දී ඔහු අහස සඳහා යොදාගත්තේ ඒක වචන ස්වරූපයයි.

මේවා පරිවර්තනයේදී අදාළ වන ව්‍යාකරණ රටාවන්ය. එමනිසා, නව ලෝක පරිවර්තනයේ “අහස” යන යෙදුම සඳහා එක් අවස්ථාවකදී බහු වචන ස්වරූපයකුත් තවත් අවස්ථාවකදී ඒක වචන ස්වරූපයකුත් යොදාගෙන තිබුණද එහි අර්ථයේ කිසිදු වෙනසක් සිදු වී නොමැත.

[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Stars: Frank Zullo