Skip to content

පටුනට යන්න

‘මිතුරෙකු සිදු කරන තුවාල’

‘මිතුරෙකු සිදු කරන තුවාල’

‘මිතුරෙකු සිදු කරන තුවාල’

පළමුවන සියවසේ ගලාතියේ විසූ ක්‍රිස්තියානීන්ට යම් හික්මවීමක් ලබා දිය යුතුයි කියා ප්‍රේරිත පාවුල්ට හැඟුණා. සාමාන්‍යයෙන් යමෙකුව නිවැරදි කරද්දී ඔහු තුළ අමනාපයේ හැඟීම් මතු වන බව අමුතුවෙන් කිව යුතු නැහැ. “එසේවී නම් මම නුඹලාට සැබෑව කියන බැවින් නුඹලාට සතුරෙක් වී සිටිම්ද” කියා පාවුල් ගලාතිවරුන්ගෙන් ඇසුවේ ඒ නිසා විය හැකියි.—ගලාති 4:16.

පාවුල් ‘සැබෑව කතා කළේ’ ගලාතිවරුන් කෙරෙහි යම් වෛරයක් තිබූ නිසා නෙවෙයි. ඒ වෙනුවට, ඔහු ක්‍රියා කළේ “මිත්‍රයෙකු විසින් කරන තුවාල විශ්වාසකමින් වේ” යන බයිබල් ප්‍රතිපත්තියට එකඟවයි. (හිතෝපදේශ 27:6) වරදකරුවෙකුට තරවටු කරද්දී ඔහුගේ ආත්ම ගරුත්වයට පහරක් එල්ල විය හැකි බව පාවුල් වටහාගත්තා. ඒත්, යෙහෝවා යමෙකුට තරවටු කරන්නේ එම පුද්ගලයා කෙරෙහි ඔහු දක්වන ප්‍රේමය නිසයි කියන එකත් පාවුල් දැන සිටියා. එමනිසා, වරදකරුවෙකුට අවශ්‍ය තරවටුව ලබා නොදීම යෙහෝවා දෙවි ඔහු කෙරෙහි දක්වන ප්‍රේමය ඔහුගෙන් වසං කිරීම හා සමාන දෙයක් බව පාවුල් තේරුම්ගත්තා. (හෙබ්‍රෙව් 12:5-7) ගලාති සභාවට අවශ්‍ය තරවටුව හා උපදෙස් ලබා දීමට පාවුල් පසුබට නොවූයේ ඒ නිසයි. ඔව්, ඔහු එම සභාවේ අයගේ සදාකාලික යහපත ගැන සැලකිලිමත් වූ විශ්වාසවන්ත මිතුරෙක් වශයෙන් කටයුතු කළා.

අද යෙහෝවාගේ සාක්ෂිකරුවන් “සියලු ජාතීන් ගෝලයන් කරන්න, . . . [යේසුස් ක්‍රිස්තුස්] අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න” යන ආඥාවට එකඟව කටයුතු කරනවා. (අකුරු ඇල කළේ අපය.) මේ වගකීම ඉටු කරන මෙම අවංක ක්‍රිස්තියානීන්, බොරු ඉගැන්වීම් හෙළි කරමින් හා ක්‍රිස්තියානි නොවන හැසිරීම් රටාවන් හෙළා දකිමින් බයිබල් සත්‍යයන් නොවළහා ප්‍රකාශ කරනවා. තවද ඔවුන් කිසිවිටෙක සත්‍යය බාල කිරීමට වෑයම් කරන්නේ නැහැ. (මතෙව් 15:9; 23:9; 28:19-20; 1 කොරින්ති 6:9, 10) ඔවුන්ව සැලකිය යුත්තේ වෛර කළ යුතු සතුරන් හැටියට නෙවෙයි, අන්‍යයන්ගේ ශුභසිද්ධිය ගැන සැලකිල්ලක් දක්වන අවංක මිතුරන් හැටියටයි.

ගීතිකාකරු දේවානුභාවයෙන් ලත් තීක්ෂ්ණ බුද්ධියෙන් මෙසේ පැවසුවා. “ධර්මිෂ්ඨයා මට පහරදේවා, ඒක කරුණාවක් වන්නේය; ඔහු මට තරවටුකෙරේවා, එය හිස පිට තෙල් මෙන් වන්නේය; මාගේ හිස ඊට අප්‍රිය නොකෙරේවා.”—ගීතාවලිය 141:5.