Skip to content

පටුනට යන්න

සල්ලි දෙනවද මැරුම් කනවද?

සල්ලි දෙනවද මැරුම් කනවද?

සල්ලි දෙනවද මැරුම් කනවද?

“සල්ලි දෙනවද, මැරුම් කනවද” කියා තර්ජනය කරමින් තම ගොදුර කරගත්තවුන් දෙසට පිස්තෝල අමෝරාගෙන සිටි සොර කල්ලි ගැන ඔබ අසා තිබිය හැක. මෙම හුරු පුරුදු තර්ජනයට අදදින අප සියලුදෙනාටම, විශේෂයෙන්ම ධනවත් රටවල වෙසෙන අයට නිරතුරුවම මුහුණ පාන්න සිදුව තිබෙන අතර, එය උභතෝකෝටික ප්‍රශ්නයක් වී තිබේ. කෙසේවුවද, දැන්, තර්ජනය එල්ල වී තිබෙන්නේ සොරෙකුගෙන් නොවේ. ඒ වෙනුවට, අද සමාජය තුළ වැඩි වැඩියෙන් කතා බහට ලක් වී තිබෙන මුදල හා ද්‍රව්‍යමය සාර්ථකත්වයයි එම තර්ජනය එල්ල කරන්නේ.

මේ හේතුවෙන් අලුතෙන්ම ප්‍රශ්න කීපයක් පැනනැඟී තිබෙන අතර සැලකිලිමත් විය යුතු කාරණා කීපයක්ද මතු වී ඇත. මුදල් හා ද්‍රව්‍යමය දේවල් පසුපස හඹා යෑමට තීරණය කරන විට අප මොන වගේ දේවල් පරදුවේ තබන්න සූදානම්ද? අග හිඟකම් තිබුණත් අපට සතුටෙන් සිටිය හැකිද? ඇත්තෙන්ම ජනයා සිටින්නේ ද්‍රව්‍යවාදය නමැති පුදසුන මත ‘අරුත්බර දිවිය’ පුද කරමින්ද? ප්‍රීතිමත් දිවියකට එකම මඟ මුදල්ද?

සල්ලි පිස්සුව

මිනිසුන්ගේ ආශාවන් සාධාරණ වේවා අසාධාරණ වේවා, මේ හැම ආශාවකටම වඩා ඉදිරියෙන් තිබෙන්නේ සල්ලි පිස්සුවයි. ලිංගික ආශාව හා ආහාරවලට තිබෙන ආශාව මෙන් නොව සල්ලි පිස්සුවට ඉමක් කොනක් නොමැති විය හැක. මහලු වියේදීවත් එය නැති වී යන බවක් නම් නොපෙනේ. ඇත්තෙන්ම වයසින් පරිණත වන විට බොහෝ අය තුළ මුදලට සහ ඉන් ගත හැකි දේවලට තිබෙන ආශාව වැඩි විය හැක.

මින් පෙනීයන්නේ ගිජුකම වැඩි වන බවය. එක් ජනප්‍රිය චිත්‍රපටියක රඟපෑ ප්‍රධාන නළුවෙක් මෙසේ පැවසීය. “ගිජුකමෙන් ප්‍රතිඵල තියෙනවා. ගිජුකම හොඳයි.” බොහෝදෙනෙකු විසින් 1980 ගණන් ගිජුකමේ යුගය ලෙස නම් කළත්, එම කාලපරිච්ඡේදයට පෙර හා පසුව සිදු වූ දේවලින් පෙනීයන්නේ ගෙවී ගිය කාලය තුළ මුදල් සම්බන්ධයෙන් මිනිසුන්ගේ ආකල්පය එතරම්ම වෙනස් වී නැති බවය.

වෙනසකට තිබෙන්නේ ධනවත් වීමේ ආශාව ක්ෂණිකව ඉටු කරගැනීම සඳහා බොහෝදෙනෙකු ප්‍රස්තාවන් උදා කරගැනීමට මාන බැලීමය. බොහෝ මිනිසුන් ද්‍රව්‍යමය දේවල් වැඩි වැඩියෙන් නිපදවීමට හා එක්රැස් කිරීමට තම ශක්තිය වැය කරමින් ඒ සඳහා වැඩි කාලයක් ගත කරන බවයි පෙනෙන්ට තිබෙන්නේ. ධනසම්පත් එක්රැස් කිරීමට හා මුදල් වියදම් කිරීමට දැඩි ආශාවක් අද මිනිසුන් තුළ වර්ධනය වී ඇති බවට ඔබ එකඟ විය හැක. නූතන සමාජය එම ආශාව ඉටු කරගැනීමට පරිශ්‍රමයක් දරන්නේ බොහෝවිට අහසේ මාළිගා තනමින්ය.

එහෙත් මිනිසුන්ට ඉන් වැඩි සතුටක් අත් වී තිබේද? වසර 3000කට පෙර ජීවත් වූ ඥානවන්ත මෙන්ම ඉතා ධනවත් සාලමොන් රජ එම පැනයට පිළිතුරු දෙමින් මෙසේ ලිවීය. “රිදීයට ඇලුම්වෙන්නා රිදීයෙන්වත් සම්පත්වලට ඇලුම්වෙන්නා ලාභයෙන්වත් තෘප්තියට නොපැමිණෙයි. මේකත් නිෂ්ඵලකමක්ය.” (දේශනාකාරයා 5:10) නූතන සමාජ අධ්‍යයනයන්ද මෙවැනිම උනන්දුව දනවන නිගමනයන් සපයයි.

මුදල හා සතුට

මිනිසුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් සොයාගෙන ඇති ඉතා පුදුම දනවන දෙයක් වන්නේ මුදල් හා ද්‍රව්‍යමය දේවල් එක්රැස් කිරීම මගින් හිතන තරමටම සෑහීමට හා සතුටට පත් නොවන බවය. පුද්ගලයෙකුගේ දිවිය යම් අයුරකින් ඉසුරුමත් තත්වයකට පත් වූ පමණින්ම ඔහුගේ සතුට රැඳී තිබෙන්නේ ඔහු හිමි කරගෙන තිබෙන ද්‍රව්‍යමය දේවල ප්‍රමාණය මතයි කියා නොසිතිය යුතු බව පර්යේෂකයන් බොහෝදෙනෙකුට වැටහී තිබේ.

මෙබැවින්, ඉවක් බවක් නැතුව ද්‍රව්‍යමය දේවල් හා මුදල් පසුපස හඹා යන බොහෝදෙනෙක් මෙම ප්‍රශ්නය නඟති. ‘අපි හිතන්නේ අපි මිලට ගන්න හැම දෙයකින්ම අපිට සතුටක් ලැබෙනවා කියලයි. ඒත් අන්තිමේදී අපි හිතන තරම්ම ඒවායින් සතුටක් ලැබෙන්නේ නැත්තේ ඇයි?’

සතුටෙන් පිරි මිනිස්සු (ඉංග්‍රීසියෙන්) නම් පොතේ කර්තෘ ජොනතන් ෆ්‍රීඩ්මන් මෙසේ පවසයි. “යම් අවම ආදායමක් උපයාගත් පසු තමන් සතු මුදල් ප්‍රමාණය අනුව සතුට මැනීම අනුවණ දෙයකි. දරිද්‍රතා මට්ටමෙන් ඉහළ ආදායමක් ලැබුවත් ඉන් සැලකිය යුතු සතුටක් නොලැබේ.” කෙනෙකුට සතුට උදා වන්නේ ආත්මික දේවල් හා අරුත්බර දේවල් හඹා යෑමෙන් මෙන්ම සදාචාර සාරධර්ම පිළිපැදීමෙන් බව බොහෝදෙනෙකුට වැටහී ඇත. එමෙන්ම මිනිස් සබඳතා පවත්වාගැනීම අත්‍යවශ්‍ය වන අතර අපේ සතුට සොරාගන්නාවූ ගැටුම් හෝ අකුල් හෙළීම්වලින් බැහැර වී සිටීමත් අත්‍යවශ්‍යය.

බොහෝදෙනෙකුට පෙනීයන්නේ, පුද්ගලයන්ගේ සිත් තුළ තෙරපෙන ගැටලුවලට විසඳුමක් වශයෙන් ද්‍රව්‍යමය සම්පත් යොදාගැනීම වත්මන් සමාජයේ පවතින ගැටලුවලට ප්‍රධාන හේතුව වී ඇති බවය. සමාජ තත්වය පිළිබඳ අදහස් දක්වන විචාරකයන් කීපදෙනෙක් සර්ව අශුභවාදය හා අතෘප්තිමත්භාවය නමැති පොදු මනෝ ස්වභාවය ගැන කතා කරති. ධනවත් රටවල වෙසෙන ජනයා ප්‍රතිකාර පතා වෛද්‍යවරුන් කරා යෑමේ නැඹුරුවාව වැඩි වී ඇති බවත් ජීවිතයේ අර්ථය හා මනසේ සාමය සොයා ගුරු දේවයන්, නොයෙක් නිකායන් හා සහන සේවා මධ්‍යස්ථාන වෙත යන බවත් ඔවුහු සඳහන් කරති. මෙනයින් ජීවිතයට සැබෑ අරුතක් එක් කිරීමට ද්‍රව්‍යමය දේවලට නොහැකි බව සහතික වේ.

මුදලට ඇති හා නැති බලය

මුදල්වලට බලයක් තිබෙන බව පිළිගත යුතුය. මුදල්වලින් අලංකාර නිවාස, මනබඳින විලාසිතාවලින් නිම කළ ඇඳුම් කට්ටල හා වෛවර්ණ ගෘහභාණ්ඩ ගත හැක. එමෙන්ම අධික ප්‍රශංසාව, එකඟත්වය හෝ බොරු ප්‍රශංසාව මෙන්ම ඔබට උපකාරවත් වන තාවකාලික මිතුරන් පවා මුදලින් ලබාගත හැක. එහෙත් ඉන් ඔබ්බට යා හැකි බලයක් මුදල්වලට නැත. අපට වඩාත්ම අවශ්‍ය සැබෑ මිතුරෙකුගේ ආදරය, මනසේ සාමය මෙන්ම මියැදෙන මොහොතේ අසන්න ලැබෙන හදපතුලෙන් නැඟී එන සැනසිලිදායක වචන කීපයක් මුදල්වලට ලබාගත නොහැක. එපමණක්ද නොව, මැවුම්කරු සමඟ සබඳතාවක් අත් කරගැනීමට ආශා කරන අයට මුදල් ගෙවා දෙවිගේ අනුමැතිය ලබාගැනීමට නුපුළුවන.

සාලමොන් රජට කිසි දෙයකින් අඩුවක් නොතිබිණ. ඒ කාලයේදී ප්‍රීතියට දායක වූ සෑම දෙයක්ම මිල දී ගත් ඔහු, ද්‍රව්‍යමය සැප සම්පත් කෙරෙහි විශ්වාසය තැබීමෙන් සදාකාල සතුටක් නොලැබෙන බව වටහාගත්තේය. (දේශනාකාරයා 5:12-15) බැංකු බංකොලොත් වීම හෝ උද්ධමනය හේතුවෙන් මුදල් අහිමි විය හැක. දරුණු කුණාටු මගින් දේපොළ විනාශ වී යා හැක. ද්‍රව්‍යමය අහිමි වීම් තරමක් දුරට පියවාගැනීමට රක්ෂණ ඔප්පු මගින් හැකි වුවත්, චිත්තවේගීය වේදනාවන් සුව කිරීමට ඒවාට පුළුවන්කමක් නැත. හදිසි ආර්ථික බිඳවැටීමකදී බැඳුම්කරවල හා ව්‍යාපාර වස්තුවල අගය එක රැයකින් පිරිහී යා හැකියි. ඉහළ වැටුපක් ගෙවන රැකියාවක් පවා අද තිබී හෙට නැති වී යා හැක.

එසේනම්, අප මුදල් කෙරෙහි සමබර දෘෂ්ටියක් තබාගන්නේ කෙසේද? අපේ ජීවිතය තුළ මුදල් හා වස්තුවට දිය යුතු වන්නේ කුමන තැනද? සැබවින්ම වටිනා අරුත්බර දිවියක් හිමි කරගත හැකි ආකාරය දැනගැනීමට කරුණාකර මෙම විෂය සම්බන්ධයෙන් තවදුරටත් විමසිලිමත් වන්න.

[4වන පිටුවේ පින්තූර]

ද්‍රව්‍යමය සැප සම්පත්වලින් සදාකාල සතුටක් නොලැබේ