Skip to content

පටුනට යන්න

අපි යෙහෝවාව සෝදිසි කර බැලුවා

අපි යෙහෝවාව සෝදිසි කර බැලුවා

ජීවිත කතාව

අපි යෙහෝවාව සෝදිසි කර බැලුවා

පැවසුවේ පෝල් ස්ක්‍රයිබ්නර්

“සුබ උදෑසනක් ස්ටැක්හවුස් මහත්මිය. මම ආවේ පාස්කුවට කේක් ඕඩර භාරගන්න. ඔයා ඔයාගේ පවුලේ උදවිය එක්ක රස විඳින්න කේක් එකක් ගන්නවාමයි කියලා මම හොඳට දන්නවා.” මේ, මමයි මගේ හොඳම පාරිභෝගිකයෙකුයි අතර ඇති වුණ දෙබසක්. මේ සිද්ධිය වුණේ 1938 වසන්ත කාලයේ මුල. එතකොට මම පදිංචි වෙලා හිටියේ එක්සත් ජනපදයේ නියූ ජ’සි ඇට්කෝවලයි. කවදත් මගෙන් කේක් ගන්න ස්ටැක්හවුස් මහත්මිය එදා එයාට කේක් එපා කියලා කිව්වහම මට පුදුමත් හිතුණා.

“මට කේක් ඕන වෙන එකක් නැහැ, මොකද අපි පාස්කුව සමරන්නේ නැහැ” කියලා එයා කිව්වා.

එයා පාස්කුව සමරන්නේ නැහැ කියලා කිව්වාට පස්සේ මට තේරුණේ නැහැ මොනවා කියන්නද කියලා. වෙළඳාමේදී පාරිභෝගිකයාගේ අදහස්වලට ගරු කිරීම මූලික නීතියක්. දැන් ඉතිං මොකද කරන්නේ? මම එයාට මෙහෙම කිව්වා. “මේ කේක් එක නම් හරි රසයි. ඔයා අපේ නිෂ්පාදනවලට කැමතියි කියලා මම දන්නවා. ඔයා පාස්කුව සැමරුවේ නැතත් ගෙදර අය කේක් කන්න ආස ඇතිනේ.”

“මට කේක් එක නම් ඕනේ නෑ” කියලා එයා මට මෙහෙම කිව්වා. “ස්ක්‍රයිබ්නර් මහත්මයා, මට ඔයාට යමක් කියන්න තියෙනවා. මේක තමයි ඒකට හොඳම වෙලාව.” එදා ඇති වුණ ඒ සාකච්ඡාව මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළා! ස්ටැක්හවුස් මහත්මිය නියූ ජ’සි, බ’ලින්වල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවේ සාමාජිකාවක්. ඇය පාස්කුවේ මූලාරම්භය ගැන කියලා දීලා මට විවිධ මාතෘකාවලින් යුත් පොත් පිංච තුනක් දුන්නා. ඒවායේ මාතෘකා තමයි රැකවරණය, හෙළි කිරීම සහ ආරක්ෂාව (මෙම පොත් පිංච සිංහලෙන් නොමැත). මම ඒ පොත් පිංච ටිකත් අරගෙන ගෙදර ගියා. මට ඒවා කියවන්න ලොකු ආශාවක් තිබුණත්, මට ටිකක් බය හිතුණා. මොකද ස්ටැක්හවුස් මහත්මිය මට කියපු දේවල්වලින් පොඩි කාලේ වෙච්ච සිද්ධීන් වගයක් මට මතක් වුණා.

මුලින්ම බයිබල් ශිෂ්‍යයන්ව මුණගැසුණ ආකාරය

මම ඉපදුණේ 1907 ජනවාරි 31වෙනිදා. වර්ෂ 1915දී මට අවුරුදු අටක් වෙනකොට මගේ තාත්තා පිළිකාවකින් මියගියා. මේ නිසා මගේ අම්මයි මමයි මැසචුසෙට්ස් මොල්ඩන්වල තිබුණ අම්මගේ දෙමාපියන්ගේ විශාල නිවසේ පදිංචියට ගියා. මගේ අම්මගේ සහෝදරයෙක් වන බෙන්ජමින් රැන්සම් සහ එයාගේ භාර්යාවත් පදිංචි වෙලා හිටියේ එම නිවසේ තුන්වන තට්ටුවෙයි. බෙන් මාමා 1800 ගණන්වල ඉඳන්, ඒ කාලයේ ජාත්‍යන්තර බයිබල් ශිෂ්‍යයන් හැටියට හැඳින්වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක ආශ්‍රය කරමින් හිටියා. මම බෙන් මාමාට හුඟක් ආදරෙයි. ඒත්, මෙතෝදිස්ත ආගමේ හිටිය මගේ අම්මගේ නෑයෝ හිතුවේ මාමාට ටිකක් පිස්සු කියලා. එයාගේ භාර්යාව එයාව දික්කසාද කරන්න කලින්, එයාට ඔලුවේ අමාරුවක් තියෙනවා කියලා මානසික රෝහලකට ඇතුල් කළා. ඇත්තටම මාමාට කිසිම ඔලුවේ අමාරුවක් තිබුණේ නැහැ. මෙහෙම කරන්න හේතුව එයාගේ ආගමයි! අන්තිමේදී වෛද්‍යවරු එයාව පරීක්ෂා කළාට පස්සේ ඔවුන් ඉක්මනින්ම තේරුම්ගත්තා එයාට කිසිම අමාරුවක් නැහැ කියලා. ඊට පස්සේ එයාගෙන් සමාව ඉල්ලලා එයාව රෝහලෙන් නිදහස් කෙරුවා.

බෙන් මාමා බොස්ටන්වල ජාත්‍යන්තර බයිබල් ශිෂ්‍යයන්ගේ රැස්වීම්වලට මාව ඉඳලා හිටලා එක්කං ගියා. ඒ රැස්වීම්වලට ආරාධිත කථිකයෙක් ආපු දවස්වලට, එහෙමත් නැත්නම් විශේෂ රැස්වීමක් තිබුණ දවස්වලට එයා මාව අනිවාර්යයෙන්ම අරං යනවා. එක දවසක් ආරාධිත කථිකයා හැටියට ආවේ චාල්ස් ටේස් රසල්. එයා තමයි ඒ කාලයේ දේශනා කටයුතු මෙහෙයෙව්වේ. තවත් විශේෂ අවස්ථාවක් තමයි “මැවීම පිළිබඳ ඡායාරූප නාට්‍යය.” ඒක අපිට පෙන්නුවේ 1915දීයි. ඒත්, මට තාම මතකයි ආබ්‍රහම් ඊසාක්ව පූජා කරන්න කන්දට එක්කගෙන යන ආකාරය පෙන්නපු ඡායාරූපය. (උත්පත්ති 22වන පරිච්ඡේදය) ආබ්‍රහම් සම්පූර්ණයෙන්ම යෙහෝවා මත විශ්වාසය තියලා දර මිටියකුත් කරේ තියාගෙන ඊසාක් එක්ක කන්ද නඟින හැටි මට තවමත් මැවිලා පේනවා. මම තාත්තා නැති ළමයෙක් නිසා ඒ දේට මගේ හිත ඇදිලා ගියා.

පස්සේ බෙන් මාමා සහ එයාගේ භාර්යාව මේන් නගරයේ පදිංචියට ගිය අතර අම්මා ආයෙත් විවාහ වුණ නිසා අපි නියූ ජ’සිවල පදිංචියට ගියා. ඒ නිසා මාමාව කාලයකට දකින්න ලැබුණේ නැහැ. නියූ ජ’සිවල ඉන්දැද්දී දරුවෝ අට දෙනෙක් ඉන්න රෙපරමාදු පවුලකට අයිති මැරියන් නෙෆ්ව මට මුණගැසුණා. මම ඒ ගෙදරට නිතර නිතර ගියා. ගොඩක් වෙලාවට ඉරිදා සන්ධ්‍යා වරුවල ඒ පවුල එක්කත් ඒ අයගේ පල්ලියේ තරුණ අය එක්කත් මම කාලය ගත කළා. අන්තිමේදී මමත් රෙපරමාදු භක්තිකයෙක් වුණා. ඒත් ඒ වෙනකොටත් බයිබල් ශිෂ්‍යයන්ගේ රැස්වීම්වල ඉගෙනගත් දේවල් මගේ මතකයේ තිබුණා. මැරියනුයි මමයි 1928දී අතිනත ගත් අතර අපිට 1935දී සහ 1938දී ඩොරිස් සහ ලුවීස් කියලා පුංචි දුවලා දෙන්නෙක් ලැබුණා. අපේ පුංචි කැදැල්ලට එකතු වුණ අලුත් සාමාජිකයන් නිසා පවුල ආත්මිකව ගොඩනැඟීමේ අවශ්‍යතාව අපි දෙන්නටම තේරුම්ගියා.

පොත් පිංචවලින් සත්‍යය සෙවීම

මැරියනුයි මමයි පල්ලියකට බැඳුණා. හැම ඉරිදාවකම මාරුවෙන් මාරුවට දෙන්නගෙන් එක්කෙනෙක් ළමයි බලාගනිද්දි අනෙක් කෙනාට පල්ලියට යන්න පුළුවන් වෙන විදිහට අපි සැලසුම් යෙදුවා. මැරියන්ට බබාලාව බලාගන්න තිබුණ දවසකදී මම කිව්වා, ඔයා පල්ලියට යන්න මම බබාලාව බලාගන්නම් කියලා. මම එහෙම කිව්වේ මට ස්ටැක්හවුස් මහත්මිය දුන් රැකවරණය නමැති පොත් පිංචය බලන්න ඕන වුණ නිසයි. මම කියවන්න පටන්ගත්තට පස්සේ මට පොත බිම තියන්න හිතුනේම නැහැ! පල්ලියකින් ලබාගන්න බැරි දෙයක් මට ලැබුණා කියලා මට වැටහුණා. ඊළඟ සතියෙත් මම බබාලාව බලාගන්න ගෙදර නැවතුණා. ඒ ඉන්න ගමන් හෙළි කිරීම නමැති දෙවෙනි පොත් පිංචයත් කියෙව්වා. මම කියවමින් හිටිය දේවල් මට අහලා පුරුදුයි වගේ දැනුණා. මේක නේද බෙන් මාමා විශ්වාස කළේ? එයාගේ ආගම පිස්සු ආගමක් විදිහට තමයි අපේ පවුලේ අය නම් හිතුවේ. මැරියන් මේ ගැන මොනවා කියයිද කියලා මම කල්පනා කළා. ඒත්, මම ඒ පොත් පිංච කියවලා දවස් කිහිපයක් ගියාට පස්සේ, දවසක්, වැඩ ඉවර වෙලා ගෙදර ආවාම පුදුම හිතෙන දෙයක් මැරියන් කිව්වා. “ඔයා ගෙනාව පොත් පිංච ටික මම කියෙව්වා. ඒවා කියවන්න හරි ආසයි” කියා ඇය කියපු ඒ වචන ටිකෙන් මට ලොකු සහනයක් දැනුණා!

ඒ පොත් පිංච පිටිපස්සේ ළඟකදී නිකුත් කරලා තිබුණ බොරු ආගම් ගැන හෙළි කරමින් ලියවුණ සතුරෝ කියන පොත ගැනත් සඳහන් කරලා තිබුණා. අපි තීරණය කළා එම පොත ලබාගන්න. හැබැයි අපි කූපනය තැපැල් කරන්න කලින් සාක්ෂිකරුවෙක් අපේ දොරට තට්ටු කරලා ඒ පොතම ඉදිරිපත් කළා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් වෙන්න අපිට උපකාරවත් වුණේ ඒ පොතයි. අපි පල්ලි යෑම නවත්වලා නියූ ජ’සි කැම්ඩන්වල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන්න පටන්ගත්තා. මාස කිහිපයකට පස්සේ, 1938 ජූලි 31වෙනි ඉරිදා, 50දෙනෙක් විතර මම කේක් විකුණන්න ගිය ගෙදර, ඒ කියන්නේ සහෝදරී ස්ටැක්හවුස්ගේ ගෙදර මිදුලේ එක්රැස් වුණා. ඊළඟට සහෝදර රදෆඩ්ගේ පටිගත කළ බව්තීස්ම කතාවට ඇහුම්කන් දුන්නට පස්සේ බව්තීස්මය ලබන්න හිටපු 19දෙනා ඇඳුම් මාරු කරලා ළඟපාත තිබුණ කුඩා ගඟක බව්තීස්ම වුණා.

පුරෝගාමියෙක් වීමට අදිටන් කරමින්

මම බව්තීස්ම වෙලා ටික කාලයක් ගියාට පස්සේ මගේ සභාවේ සහෝදරියක් මට පුරෝගාමීන් ගැන කිව්වා. ඒ අය එගොල්ලන්ගේ ජීවිතයේ මුල් තැනට තබලා තියෙන්නේ ප්‍රසිද්ධ දේශනා සේවයයි. ඒ සේවය ගැන මට කුතුහලයක් ඇති වුණා. පස්සේ පුරෝගාමි සේවයේ යෙදෙන පවුලක් මට අඳුනගන්න ලැබුණා. ඒ තමයි කොනිග් පවුල. සහෝදර කොනිග් සහ එයාගේ භාර්යාවයි, දුවලා දෙන්නයි ළඟ තිබුණ සභාවක පුරෝගාමීන් හැටියට සේවය කරමින් සිටියා. දරුවෝ ඉන්න පියෙක් හැටියට මටත් කොනිග් පවුල දේශනා සේවයෙන් ලබමින් සිටිය ප්‍රීතිය අද්දකින්න ආසාවක් ඇති වුණා. සමහර දවස්වල මම කේක් විකුණන්න යද්දී, මගේ ට්‍රක් රථය පැත්තක නවත්වලා ඒ පවුලත් එක්ක ගෙයින් ගෙට සේවයේ හවුල් වුණා. ටික කාලයක් යද්දී මටත් පුරෝගාමියෙක් වෙන්න ආස හිතුණා. ඒත් කොහොමද ඒක කරන්නේ? මැරියන්ටයි මටයි පොඩි දරුවෝ දෙන්නෙක් හිටිය නිසා රස්සාවක් නොකර ඉන්න බැහැ. ඒ වගේම දෙවන ලෝක මහ යුද්ධය යුරෝපයේ ආරම්භ වෙලා තිබුණ නිසා තරුණ අය පුළුවන් තරමක් හමුදාවට බැඳුණා. ඒ නිසා රැකියාවේ නිරත වෙලා හිටිය අපිට වැඩ රාජකාරීන් වැඩි වුණා. ඉතිං මම වෙළඳාම් කරමින් හිටිය ප්‍රදේශයට අමතරව තවත් ප්‍රදේශවලට යන්න කියලා මට කිව්ව නිසා මං කරන රස්සාවත් එක්ක කවදාවත් පුරෝගාමි සේවය කරන්න බැහැ කියලා මට තේරුණා.

මම සහෝදර කොනිග්ට මගේ ආශාව ගැන පැවසුවාම, එයා මෙහෙම කිව්වා. “යෙහෝවාගේ සේවයේ උපරිමය කරන ගමන්ම යාච්ඤාවෙන් ඔබේ ඉලක්කය ගැන යෙහෝවාට කියන්න. ඔහු ඔයාට උදව් කරාවි.” අවුරුද්දක් විතර මම ඒ විදිහටම කළා. යෙහෝවා අපි යමක් ඉල්ලන්න පළමුවෙන් දන්නවා කියා පවසන මතෙව් 6:8 වැනි බයිබල් පද මම නිතර මෙනෙහි කෙරුවා. ඒ වගේම මම මතෙව් 6:33හි සඳහන් පළමුකොට දෙවිගේ රාජ්‍යයත් ඔහුගේ ධර්මිෂ්ඨකමත් සොයන්න යන උපදේශයත් අනුගමනය කළා. දැන් චාරිකා අවේක්ෂකයන් ලෙස හඳුන්වන කලාපීය සේවකයෙක් වන මෙල්වින් වින්චෙස්ටර් නමැති සහෝදරයාත් මාව නිතරම දිරිගැන්නුවා.

මම මගේ ඉලක්කය ගැන මැරියන් එක්කත් කතා කළා. යෙහෝවා අපිට ආශීර්වාද කරන්නේ නැද්ද කියා ඔහුව පරීක්ෂා කර බලන්න කියා මලාකී 3:10හි සඳහන් දිරිගන්වන සුළු වදන් ගැනත් අපි කතා කළා. ඊට පස්සේ මැරියන් මෙහෙම කිව්වා. “ඔයාට පුරෝගාමි සේවය කරන්න ඕනේ නම් කරන්න. මම නිසා ඒක නොකර ඉන්න එපා. මම දුවලා දෙන්නව බලාගන්නම්. ඒ වගේම අපිට එච්චර වියදමක් යන්නෙත් නෑනේ.” මම ඒ වචන ටිකෙන් ලොකු දිරිගැන්වීමක් ලැබුවා. විවාහ වෙලා අවුරුදු 12ක් ගත වෙලා තිබුණ නිසා මැරියන් හොඳ අරපිරිමැස්මෙන් වැඩ කරන භාර්යාවක් කියලා මම දැනගෙන හිටියා. ගත වුණ අවුරුදු කිහිපය පුරාම එයා මගේ පුරෝගාමි සහකාරිය ලෙස කටයුතු කළ අතර අපිට අවුරුදු 60ක විතර කාලයක් සාර්ථකව පූර්ණ කාලීන සේවය කරන්නත් පුළුවන් වුණා. අපිට තිබුණේ ස්වල්පයක් වුණත් ඒක සන්තෝෂයෙන් පිරිමහගන්න මැරියන්ට පුළුවන් වුණා. ඒක තමයි අපේ පුරෝගාමි සේවයේ රහස.

මාස ගණනක් පුරා යාච්ඤාපූර්වකව සැලසුම් කරලා 1941දී මැරියනුයි මමයි සල්ලි ටිකක් එකතු කරගෙන අපේ පවුලට ජීවත් වෙන්න අඩි 18ක් දිග ට්‍රේලරයක් මිල දී ගත්තා. මම රැකියාවෙන් අයින් වෙලා 1941 ජූලි මාසයේ ස්ථාවර පුරෝගාමි සේවය කරන්න පටන්ගත් අතර එදා සිට මම පූර්ණ කාලීන සේවයේ දිගටම නිරත වුණා. මගේ පළවෙනි පැවරුම වුණේ, නියූ ජ’සි සහ මිසුරි සෙන්ට් ලුවි නගර අතර තිබූ බස් නැවතුම් ස්ථාන 10ක් ඇතුළත් ප්‍රදේශය සම්පූර්ණ කිරීමයි. එහි සිටි සහෝදරයන්ගේ ලිපිනයන් මට ලැබුණ අතර මම ඒ සහෝදරයන්ව හමු වන දිනය ඔවුන්ට දන්වා යැව්වා. අගෝස්තුවේ මුල අපේ සමුළුව පැවැත්වීමට නියමිතව තිබුණෙත් මිසුරි සෙන්ට් ලුවිවලයි. අපි සමුළුවට ගියාම මට පුරෝගාමි අංශයට ගිහිල්ලා වෙනත් පැවරුමක් ලබාගන්න කියලා දැනුම් දීලා තිබුණා.

මම යෙහෝවාව ‘සෝදිසි කර බැලීමට’ ගත් තීරණය

අපේ පුංචි ට්‍රේලරයට පොත් පත් පටවගෙන සහෝදරයන්ගෙන් සමුගැනීමට අපි කැම්ඩන්වල අපේ අන්තිම රැස්වීමට ගියා. කුඩා දරු දෙන්නෙකුත් එක්ක සමුළුවෙන් පස්සේ කොහෙට යන්න වෙයිද කියා දන්නෙවත් නැති නිසා අපේ සැලසුම් අසාර්ථක වෙයි කියලා සමහර සහෝදරයෝ හිතන්න ඇති. එම සහෝදරයන්ගෙන් සමහරක් අය මෙහෙම කිව්වා. “ඉක්මනටම ඔයාලා ආපහු එන එක නම් ස්ථිරයි.” එතකොට මම කියපු දේ මට මතකයි. “ඒ වගේ දෙයක් වෙන්නේ නැහැමයි කියනවා නෙමෙයි. ඒත් යෙහෝවා කියලා තියෙනවනේ අපිව රැකගන්නවා කියලා. ඒ නිසා මම ඒ දේ ඇත්තද කියලා සෝදිසි කරලා බලනවා.”

මැසචුසෙට්ස් සිට මිසිසිපි දක්වා නගර 20ක අවුරුදු 60ක් පුරා කළ සේවයේදී යෙහෝවා ඔහුගේ පොරොන්දුව ඒ විදිහටම ඉටු කළා කියලා අපිට කියන්න පුළුවන්. ඔහු මැරියන්ටයි, මටයි, අපේ දුවලා දෙන්නටයි දීලා තියෙන ආශීර්වාද දිහා බැලුවහම ඒ වගේ දෙයක් මම 1941දී කොහෙත්ම බලාපොරොත්තු වුණේ නැහැ. අපේ දුවලා දෙන්නා ළඟ සභාවක විශ්වාසවන්තව පුරෝගාමීන් හැටියට සේවය කිරීමත් එක්සත් ජනපදයේ නැඟෙනහිර වෙරළ ප්‍රදේශවල ආත්මික දූවරු සහ පුත්තු සියයකට වැඩි ගණනක් සිටීමත් අපි ලබපු ආශීර්වාද කියලා කියන්න පුළුවන්. යෙහෝවා දෙවිට ජීවිතය කැප කළ පුද්ගලයන් පනස්දෙදෙනෙක් එක්ක මම පාඩම් පැවැත්වූ අතර මැරියන් 48දෙනෙකු සමඟ බයිබල් පාඩම් පැවැත්වුවා.

වර්ෂ 1941 අගෝස්තුවල අපි සෙන්ට් ලුවි නගරයට ගිය අතර එහිදී බෙතෙල් නිවසේ සහෝදරයෙක් වන ටි. ජේ. සලිවන්ව අපිට මුණගැහුණා. මාව පුරෝගාමියෙක් හැටියට පත් කළ ලියුම එයා ළඟ තිබුණා. යුද්ධය දරුණු අතට හැරෙමින් තිබුණ නිසාත් හමුදා සේවය අනිවාර්යය කළ නිසාත් ඒ වගේ ලිපියක් මට අවශ්‍යම වුණා. මම සහෝදර සලිවන්ට කිව්වා මගේ භාර්යාවත් මං ගත කරන කාලය වගේම කාලයක් සේවයේ වැය කරනවා, ඒ වගේම එයත් මාත් එක්ක පුරෝගාමි සේවය කරන්න කැමතියි කියලා. ඒ වන විටත් සමුළුවේ පුරෝගාමි අංශය සූදානම් කරලා තිබුණේ නැතත් සහෝදර සලිවන් ඒ මොහොතේදීම මැරියන්වත් පුරෝගාමියක ලෙස පත් කරලා මෙහෙම ඇහුවා. “සමුළුවෙන් පස්සේ ඔයාලා පුරෝගාමි සේවය කරන්න යන්නේ කොහෙද?” ඒ ප්‍රශ්නයට උත්තරයක් අපි ළඟ තිබුණේ නැහැ. එතකොටම එයා, “ඒ ගැන කරදර වෙන්න එපා. පුරෝගාමීන් අවශ්‍ය කරන ප්‍රදේශයකින් කවුරුහරි ඔයාට මුණගැහේවි. ඊට පස්සේ ඔයා ඉන්න තැන අපිට දන්වන්න. එතකොට අපි පුරෝගාමි පැවරුමේ ලිපිය ඔයාට එවන්නම්” කියලා කිව්වා. දේවල් ඒ විදිහටම සිදු වුණා. කලින් චාරිකා අවේක්ෂකයෙක් ලෙස කටයුතු කළ ජැක් ඩිවිට් අපට මුණගැහුණ අතර එයා නියූ මාර්කට් නගරයේ පුරෝගාමි නිවසක සිටි සහෝදරයන් කිහිපදෙනෙක්ව දැනගෙන සිටියා. එම ප්‍රදේශයට තවත් පුරෝගාමීන් කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවයක් තියෙනවා කියලා ඔහු අපිට කිව්වා. ඒ නිසා සමුළුවෙන් පස්සේ අපි නියූ මාර්කට් නගරය බලා යන්න තීරණය කළා.

නියූ මාර්කට් නගරයේදී ප්‍රීතිදායක දෙයක් සිදු වුණා. ඒ තමයි, අපිත් එක්ක පුරෝගාමි සේවයේ හවුල් වෙන්න ෆිලඩෙල්ෆියාවෙන් ආපු සහෝදරයා වුණේ මගේ මාමායි. අවුරුදු 25කටත් වැඩි කාලයකට ඉස්සර බොස්ටන් නගරයේ ඉන්දැද්දී මට සත්‍යය කියා දුන් කෙනා එක්ක ගෙයින් ගෙට සේවයේ හවුල් වෙන්න ලැබීම මොනතරම් සතුටක්ද! බෙන් මාමාට පවුලේ අයගෙන් කොයිතරම් විරුද්ධවාදීකම් එල්ල වුණත් එයා යෙහෝවාටත් එයාගේ සේවයටත් තිබුණ ප්‍රේමය නැති කරගත්තේ නැහැ.

මාස අටක් නියූ මාර්කට් නගරයේ පුරෝගාමි නිවසේ ඉඳලා කරන්න ලැබුණු සේවයෙන් අපි සතුටක් ලැබුවා. ඒ කාලයේදී අපි ගොඩක් දේවල් ඉගෙනගත්තා. ඒ ඉගෙනගත්තු දේවලින් එක දෙයක් තමයි පොත් පත්වලට කොහොමද කුකුල්ලු සහ බිත්තර මාරු කරගන්නේ කියන එක. ඊට පස්සේ බෙන් මාමාටයි, මැරියන්ටයි, මටයි, තවත් පුරෝගාමීන් තුන්දෙනෙකුටයි පෙන්සිල්වේනියාවේ හැන්ඔවර් නගරයේ විශේෂ පුරෝගාමීන් හැටියට සේවය කරන්න පැවරුමක් දුන්නා. මේක තමයි වර්ෂ 1942 සිට 1945 දක්වා පෙන්සිල්වේනියාවේ අපිට කරන්න ලැබුණ පැවරුම් හයෙන් පළවෙනි එක.

දෙවන ලෝක මහ යුධ සමයේ විශේෂ පුරෝගාමීන් ලෙස

අපේ මධ්‍යස්ථභාවය නිසා දෙවන ලෝක යුධ සමයේදී විරුද්ධවාදීකම්වලට මුහුණ දෙන්න අපට සිදු වුණා. ඒත් යෙහෝවා කවමදාකවත් අපිව අත්හැරියේ නැහැ. මැසචුසෙට්ස් නගරයේ ප්‍රෝවින්ස්ටවුන්වල ඉන්දැද්දී අපේ පරණ කාර් එක කැඩුණා. මේ නිසා දැඩි විරෝධතාවක් දැක්වූ කතෝලික මිනිස්සු හිටිය පැත්තකින් නැවත බැලීමක් කරන්න මට සැතපුම් දෙකක් විතර ඇවිදගෙන යන්න සිදු වුණා. මම රස්තියාදුකාරයෝ කිහිපදෙනෙක්ව පහු කරගෙන යනකොට මං යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් කියලා ඒගොල්ලන් දැනගෙන කෑගහන්න පටන්ගත්තා. එයාලා මට ගල් ගැහුවා. ඒවා මගේ කණ ළඟින්ම ගියා. කොහොමහරි කිසි අනතුරක් නැතුව උනන්දුවක් දැක්වූ පුද්ගලයාව හමු වෙන්න යන්න පුළුවන් වුණා. ඒ පුද්ගලයා විශ්‍රාම ගිය හමුදා නිලධාරියෙක්. ඒත් එයා මගෙන් සමාව ඉල්ලමින් මෙහෙම කිව්වා. “අද නම් ඔයත් එක්ක සාකච්ඡා කරන්න බැහැ. අපි චිත්‍රපටියක් බලන්න යනවයි කියලා ඔයාට කියන්න මට අමතක වුණා.” ඒ වෙලාවේ මගේ පපුව ගැහෙන්න පටන්ගත්තා. මොකද රස්තියාදුකාරයෝ ටික මං අයෙත් එනකොට අල්ලගන්න බලාගෙන ඉන්නවා ඇති කියලා මම හොඳටම දැනගෙන හිටියා. ඊට පස්සේ ගේහිමියා කිවූ දෙයින් මගේ හිත සැනසුනා. “ඔයත් අපි එක්කම එන්න. එතකොට යන අතර මඟදී අපිට කතා කර කර යන්න පුළුවන්නේ.” එයාට සාක්ෂියකුත් දරලා කරදරයක් නැතුව මට ගෙදර යන්න පුළුවන් වුණා.

පවුල් ජීවිතය සහ ක්ෂේත්‍ර සේවය සමබරව කිරීම

යුද්ධයෙන් පස්සේ වර්ජිනියාවේ පැවරුම් කිහිපයක් ලැබුණු අතර ශාලට්ස්විල්වල විශේෂ සහ ස්ථාවර පුරෝගාමීන් හැටියට අවුරුදු අටක් සේවය කළා. වර්ෂ 1956 වෙනකොට අපේ දූවරු දෙන්නම දීග ගිහිනුයි හිටියේ. ඉතිං මමයි මැරියනුයි වර්ජිනියාවල හැරිසන්බ’ග් නගරයේ පුරෝගාමීන් ලෙස සේවය කරන්න ගිය අතර පසුව ලින්කල්ටන් සහ උතුරු කැරලිනාවලත් විශේෂ පුරෝගාමීන් ලෙස සේවය කළා.

වර්ෂ 1966දී මට චාරිකා සේවය සඳහා පැවරුමක් ලැබුණා. හරියට 1930 ගණන්වල නියූ ජ’සිවලදී සහෝදර වින්චෙස්ටර් මාව දිරිගැන්නුවා වගේ සභාවෙන් සභාවට ගිහිල්ලා සහෝදරයන්ව දිරිගැන්වීම තමයි මගේ පැවරුම වෙලා තිබුණේ. මම අවුරුදු දෙකක් ටෙනසි නගරයේ සභාවල චාරිකා සේවයේ යෙදුණා. ඉන් පස්සේ අපි ආස කරන දේ වන විශේෂ පුරෝගාමි සේවය සඳහා මැරියන්ටයි මටයි නැවතත් ආරාධනයක් ලැබුණා. වර්ෂ 1968 සිට 1977 දක්වා කාලය තුළ, අමෙරිකාවේ දකුණ දිග පළාතේ, ඒ කියන්නේ ජොර්ජියාවේ සිට මිසිසිපි දක්වා ප්‍රදේශවල අපි සේවය කළා.

ජොර්ජියා ඊස්ට්මන්වලදී අවුරුදු ගණනාවක් චාරිකා අවේක්ෂකයෙකු ලෙස සේවය කර තිබූ වයසක සහෝදරයෙක් වූ පවල් කර්ක්ලන්ඩ් අසනීප තත්වයෙන් පෙළුණ නිසා එයාගේ පැවරුම (සභාවේ මුලසුනභාර අවේක්ෂක වීමේ වරප්‍රසාදය) මට ලැබුණා. එයා හරිම හිතවත් සහෝදරයෙක්. ඔහු මගේ සේවය අගය කළා විතරක් නෙවෙයි මට උදව් උපකාරත් පිරිනැමුවා. ඒ වෙන කොටත් සභාවේ යම් මත භේදයන් තිබුණ අතර වගකීම් දරන කිහිපදෙනෙක්ද ඒවාට හවුල් වී තිබුණා. ඒ හේතුව නිසා සහෝදර පවල්ගේ උපකාරය ඉතා අවශ්‍ය වුණා. මත භේදයන් උග්‍ර අතට හැරුණ අතර යෙහෝවාට මම පුළුවන් තරම් යාච්ඤා කළා. ‘නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්න. නුඹේ සියලු මාර්ගවලදී ඔහුව සලකන්න. එවිට ඔහු නුඹේ මාවත් සමතලා කරනවා ඇත’ යන හිතෝපදේශ 3:5, 6 වැනි බයිබල් පද මගේ මතකයට නැඟුණා. ප්‍රශ්න ගැන ඍජුව හා විවෘතව කතා කිරීමෙන් හැමෝටම යහපතක් වන විදිහට සභාව එක්සත්ව තබාගන්න අපිට පුළුවන් වුණා.

වර්ෂ 1977 වෙනකොට අපේ සෞඛ්‍ය තත්වය ටිකෙන් ටික දුර්වල වෙන්න පටන්ගත්ත නිසා අපේ දුවලා ඉන්න ප්‍රදේශයට එනම් ශාලට්ස්විල්ට අපි නැවතත් ගියා. අපි පහුගිය වසර 23දී සේවය කළේ මේ ප්‍රදේශයේයි. ඇත්තෙන්ම මෙම ප්‍රදේශයට අපි හුඟක් කැමතියි. වර්ජිනියාවේ රකර්ස්විල් සභාව ආරම්භ කරන්න දායක වෙන්න ලැබීම අපට ලොකු ප්‍රීතියක්. ඒ වගේම අපිත් එක්ක මුලින්ම බයිබලය පාඩම් කරපු අයගේ දරු මුනුබුරෝ උස් මහත් වෙලා සභා වැඩිමහල්ලෝ, පුරෝගාමීන් සහ බෙතෙල් සේවකයන් වෙනවා දැකීම සතුටක්. මැරියන්ටයි මටයි තවමත් හොඳ ක්ෂේත්‍ර සේවා කාල සටහනක් තියෙනවා. ඒ වගේම ශාලට්ස්විල්වල බටහිර සභාවේ වැඩිමහල්ලෙක් ලෙස සේවය කරන්න මට ප්‍රස්තාව ලැබිලා තිබෙනවා. මම පොත් පාඩමක්ද මෙහෙයවන අතර ප්‍රසිද්ධ කතා දීමෙන්ද ප්‍රීතියක් ලබනවා.

සෑම කෙනෙකුටම වගේ අපිටත් ප්‍රශ්න ගැටලු තිබුණා. එකක් සඳහන් කරනවා නම් අපේ ඩොරිස් දුව තරුණ වයසේදී ආත්මිකව දුර්වල වුණා. ඒ විතරක් නෙමෙයි, වයස විස්සක් වෙන්නත් ඉස්සර සංවිධානයෙන් පිට කෙනෙකු සමඟ විවාහ වුණා. ඒත් යෙහෝවාට තිබුණු ඇගේ ප්‍රේමය සම්පූර්ණයෙන්ම නැති වුණේ නැහැ. එයාගේ පුතා බිල්, නියූ යෝක් වොල්කිල් බෙතෙල් නිවසේ අවුරුදු 15ක් පුරා සේවය කරමින් සිටිනවා. දැන් ඩොරිස් සහ ලුවීස් වැන්දඹුවන් වුණත් එයාලා ස්ථාවර පුරෝගාමීන් ලෙස සතුටින් සේවය කරමින් ඉන්නවා.

ගත වුණ අවුරුදුවලින් ඉගෙනගත් පාඩම්

යෙහෝවාගේ සේවයේ සාර්ථක වීමට මම සරල ප්‍රතිපත්ති කිහිපයක් අනුගමනය කරන්න ඉගෙනගත්තා. ඒ තමයි සරල ජීවිතයක් ගත කිරීම, පෞද්ගලික ජීවිතයේ කටයුතුවලදී වගේම අන් සෑම කාරණයකදීම ආදර්ශවත් වීම සහ සෑම දෙයකදීම ‘විශ්වාස වූ නුවණ ඇති දාසයාගේ’ උපදෙස් අනුගමනය කිරීම වගේ දේවල්.—මතෙව් 24:45.

දරුවන් ඇති දැඩි කරමින් පුරෝගාමි සේවයේ සාර්ථක වන්න අවශ්‍ය කරන කෙටි යෝජනා කිහිපයක් මැරියන් ඉදිරිපත් කරනවා. ප්‍රායෝගික කාල සටහනක් තියාගන්න. ඔබේ පුරෝගාමි පැවරුම නියම සේවයක් විදිහට සලකන්න. හොඳ සමබර ආහාර වේලක්, හොඳ විවේකයක් ගන්න. අනවශ්‍ය ලෙස විනෝදයට බර වෙන්න එපා. සත්‍යය වගේම ක්ෂේත්‍ර සේවයේ සෑම අංගයක්ම ඔබේ දරුවන්ගේ ජීවිත තුළ සතුට ගෙන දෙන්නක් බවට පත් කරන්න. හැමවිටම සේවය ප්‍රීතිමත් අද්දැකීමක් වීමට සලස්වන්න.

අපි දැන් ඉන්නේ අපේ 90 ගණන්වලයි. ඒ කියන්නේ ස්ටැක්හවුස් නිවසේ මිදුලේ ඉඳගෙන බව්තීස්ම කතාව අහලා අවුරුදු 62ක් ගත වෙලා. මේ කාලය තුළදී අපි අවුරුදු 60ක් පූර්ණ කාලීන සේවයේ නිරත වෙලා තියෙනවා. මටයි මැරියන්ටයි අවංකවම කියන්න පුළුවන් අපි අපේ ජීවන තත්වය ගැන සෑහීමට පත් වෙනවා කියලා. ආත්මික දේ පළමු තැන තබා ඒවා අත් කරගන්න කටයුතු සැලසුම් කිරීමට තරුණ පියෙකු වශයෙන් මට ලැබුණ දිරිගැන්වීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ ආදරණීය භාර්යාවගේ උපකාරයත්, පසුගිය අවුරුදු ගණනාව පුරා දුවලාගෙන් ලැබුණ උපකාරයත් මම අගය කරනවා. අපිට සල්ලි බාගේ වැඩිය තිබුණේ නැහැ. ඒත් මම දේශනාකාරයා 2:25හි වදන් නිතරම මතක් කරගන්නවා. “මක්නිසාද [ඔහුගෙන්] වෙන්ව අනුභවකරන්ටත් සැප භුක්තිවිඳින්ටත් කාට පුළුවන්ද?”

අපි අපේ ජීවිතවලින් මලාකී 3:10හි තිබෙන යෙහෝවාගේ පොරොන්දුව හොඳින් අද්දැක්කා. ඔහු ඇත්තටම ‘ඇති තරම් ආශීර්වාද වැගිරෙව්වා!’

[29වන පිටුවේ කොටුව⁄පින්තූරය]

යුධ කාලයේ මතක සටහන්

යුද්ධය අවසන් වෙලා අවුරුදු 60ක් ගත වෙලා තිබුණත් අපේ පවුලේ හැමෝටම ඒ අවුරුදුවල නොමැකෙන මතක සටහන් තිබෙනවා.

ඩොරිස් මෙසේ තම මතකයන් අවදි කරනවා. “පෙන්සිල්වේනියාව හරිම සීතල පළාතක්. එක දවසක් රෑ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 30ටත් වඩා පහත බැහැලා තිබුණා.” “ඉතිං මමයි ඩොරිසුයි අපේ පරණ කාර් එකේ පිටිපස්ස අසුනට ගිහින් එක් එක්කෙනාගේ කකුල උඩ වාඩි වෙලා උණුසුම් වුණා” කියා ලුවීස් පවසනවා.

“ඒත් කවමදාකවත් දුප්පත් අපිට මුකුත් නැහැයි කියලා හිතුණේ නැහැ. වෙන අය වගේ නොවෙයි අපිට තැනින් තැනට මාරු වෙන්න සිද්ද වෙනවා. ඒත් අපිට හොඳ කෑම වගේම ඔහයෝවල අපිට වඩා ටිකක් ලොකු ළමයි හිටිය සමහර හිතවත් අයගෙන් ඇඳුම් අලුත් පිටම අපිට ලැබුණා.” කියා ඩොරිස් තවදුරටත් පවසනවා.

“අම්මයි තාත්තයි අපිට ගොඩක් ආදරය කළා. ඒක අපිට දැනුණා. අපි ගොඩක් වෙලාවට එයාලත් එක්ක දේශනා සේවයේ හවුල් වුණා. ඒක ගොඩක් අපිව අපේ දෙමාපියන්ට ළං කෙරුවා” කියා ලුවීස් පවසනවා.

“මට තිබුණේ 1936 ජනප්‍රිය වෙලා තිබුණු කාර් එකක්. ඒ කාර් වර්ගය, ඇක්සලය නිතරම කැඩී යාම සම්බන්ධයෙන් හරි ප්‍රසිද්ධයි. කාර් එකට වඩා එන්ජිම හුඟක් ප්‍රබල නිසා වෙන්න ඇති එහෙම වෙන්නේ. මේ දේ ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ මාසයේ සීතල දවස්වල රෑටයි. මගේ කාර් එකේ ඇක්සලය කැඩුනාම මම ගිහිල්ලා පැත්තකට දාලා තියෙන පරණ කාර්වලින් එකක් ගලවගෙන ඇවිල්ලා මගේ කාර් එකට දාගන්නවා. අන්තිමේදී මම ඒ වැඩේට හොඳ දක්ෂයෙක් වුණා” කියා පෝල් පවසනවා.

“ඇයි සලාක කාඩ් එක. හැම දෙයක්ම, ඒ කියන්නේ මස්, ඉන්ධන, කාර් එකට ටයර් වගේ දේවල් ගත්තේ සලාක කාඩ් එකට. අපිට අලුත් පැවරුමක් ලැබෙනකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා සලාක කාඩ් එකක් ඉල්ලුම් කරනවා. කාඩ් එකක් ලබාගන්න මාස කිහිපයක් ගත වෙනවා. ඒත් හැම අවස්ථාවකම කොහොමහරි කාඩ් එක ලැබෙනවා. ඒත් ලැබුණ ගමන්ම වගේ අපිව අලුත් පැවරුමකට යවනවා! එතකොට ආයෙත් අර විදිහටම කාඩ් එකක් ලබාගන්න කටයුතු කරනවා. යෙහෝවා අපිව කොහොමහරි රැකගත්තා” කියා මැරියන් අතීතය සිහිපත් කරමින් පවසනවා.

[පින්තූරය]

වර්ෂ 2000දී මැරියන් සහ මම ඩොරිස් (වමේ) සහ ලුවීස්

[25වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1918දී මගේ අම්මත් එක්ක, මට වයස අවුරුදු එකොළහේදී

[26වන පිටුවේ පින්තූරය]

ලුවීස්, මැරියන් සහ ඩොරිස් සමඟ වර්ෂ 1948 දුවලා බව්තීස්ම වෙද්දී ගත් පිංතූරයක්

[26වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1928දී ගත් අපේ මඟුල් පින්තුරය

[26වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1955දී යැංකී ක්‍රීඩාංගනයේදී මගේ දුවලා (වම් කෙළවරේ සහ දකුණු කෙළවරේ) සහ මම