Skip to content

පටුනට යන්න

ඔබේ ඇදහිල්ල බිඳ දැමීමට සැකයන්ට ඉඩ නොදෙන්න

ඔබේ ඇදහිල්ල බිඳ දැමීමට සැකයන්ට ඉඩ නොදෙන්න

ඔබේ ඇදහිල්ල බිඳ දැමීමට සැකයන්ට ඉඩ නොදෙන්න

ඔබේ සෞඛ්‍ය තත්වයේ කිසිදු දෝෂයක් නැතැයි යම් දවසක හැඟුණත්, ඊළඟ දිනයේදී ඔබට අසනීප ගතියක් දැනේ. මුළු ඇඟේම පණ නැති ගතියක් තිබේ. ඔබේ හිසෙහිත්, සිරුරෙහිත් ඔබට දැනෙන්නේ දැඩි වේදනාවකි. සිදු වී ඇත්තේ කුමක්ද? ඔබේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විෂබීජයන්ගේ ආක්‍රමණයකට ලක් වී, වැදගත් ඉන්ද්‍රියන්ට යම් ප්‍රහාරයන් එල්ල වීමයි. කිසිදු ප්‍රතිකාරයක් නොගතහොත්, මෙම විෂබීජ ඔබේ සෞඛ්‍යයට බරපතළ හානි සිදු කළ හැක. ඔබව මරුමුවට පවා පත් කළ හැක!

ඔබේ සෞඛ්‍ය තත්වය දුර්වලව පවතින විටෙක ඔබේ සිරුර යම් ආසාදනයකින් පහර ලැබුවොත්, ඔබව රෝගවලට ගොදුරු වීමේ ඉඩ කඩ තවත් වැඩි වේ. නිදසුනකට, මන්දපෝෂණය නිසා ඔබේ සිරුර දුර්වල වී ඇතැයි සිතමු. එවිට විෂබීජවලට විරුද්ධව නැඟී සිටීමට “ඔබේ සිරුරට ඇති හැකියාව කොතරම් අඩුද කිවහොත්, සුළු ආසාදනයකින් පවා ඔබ මරු වැලඳගත හැකියි” කියා වෛද්‍ය ක්ෂේත්‍රයේ ලේඛකයෙකු වන පීටර් වින්ගේට් පවසයි.

එමනිසා, හාමතෙන් පෙළීමට බොහෝදෙනෙකු මනාප නැත. බොහෝ විට, සෞඛ්‍යය රැකගැනීමේ අරමුණෙන් පෝෂ්‍යදායී ආහාර අනුභව කරන්න ඔබ උත්සාහ කරනවා විය හැක. එමෙන්ම වයිරස් හෝ බැක්ටීරියා ආසාදනවලින් ආරක්ෂා වී සිටීමටද හැකි සෑම පියවරක්ම ගන්නවා වන්නට පුළුවන. කෙසේවෙතත්, “ඇදහිල්ලෙහි නිරෝගීව” සිටීමටත් ඔබ ඒ හා සමාන පියවර ගන්නවාද? (තීතස් 2:2NW) නිදසුනකට, සූක්ෂ්ම ආකාරයකින් අපගේ ඇදහිල්ල බිඳ දැමිය හැකි සැකයන් සම්බන්ධයෙන් ඔබ අවදියෙන් සිටිනවාද? මෙවැනි සැකයන් විෂබීජ මෙන් ඔබගේ මනස සහ හදවත ආක්‍රමණය කොට, ඔබගේ ඇදහිල්ල සහ යෙහෝවා සමඟ ඇති ඔබේ සම්බන්ධතාව බිඳ දැමිය හැක. ඇතැම් අය මෙම අන්තරාව ගණන් නොගන්නා තරම්ය. නිසි ලෙස ආත්මිකව පෝෂණය නොවීම හේතුවෙන් ඔවුහු සැකයන්වලට පහසුවෙන්ම ගොදුරු වෙති. ඔබත් එවැනි දෙයකට ඉඩ දෙනවා විය හැකිද?

හැම සැකයක්ම හානිකරද?

හැම සැකයක්ම හානිකරයි කියා පැවසිය නොහැක. ඇතැම් අවස්ථාවලදී යමක් පිළිගැනීමට කලින් ඊට අදාළ සෑම කාරණයක්ම නිවැරදිද කියා සහතික කරගත යුතුය. ඇතැම් ආගම්වල උගන්වන්නේ කිසිම දෙයක් සැක නොකොට නිකම්ම විශ්වාස කරන්න කියාය. මෙය අනතුරුදායක, මුළා කරවනසුලු මඟ පෙන්වීමකි. අනික් අතට, ප්‍රේමය “සියල්ල විශ්වාසකරන්නේය” කියා බයිබලය පවසයි. (1 කොරින්ති 13:7) ඔව්, ක්‍රිස්තියානියෙකු ප්‍රේමය නමැති පදනම මත සියල්ල විශ්වාස කරන බව ඇත්තයි. එනමුත් ඔහු විශ්වාස කරන්නේ අතීතයේදී තමන්ගේ විශ්වාසවන්ත බව ඔප්පු කර ඇති අයව පමණි. කෙසේවෙතත්, ‘හැම වචනයක්ම විශ්වාස කිරීමට’ එරෙහිව දෙවිගේ වචනය අනතුරු අඟවයි. (හිතෝපදේශ 14:15) සමහර අවස්ථාවලදී, අතීතයේ සිදු වී ඇති දේවල් නිසා පුද්ගලයෙකුව සැක කිරීමට පදනමක් තිබිය හැක. “මිතුරු වචන කීවත් [කපටියාගේ චාටු බස්] විශ්වාස නොකරන්න” කියා බයිබලය අනතුරු අඟවන්නේ එමනිසාය.—හිතෝපදේශ 26:24, 25, නව අනුවාදය.

ප්‍රේරිත යොහන්ද එවැනි අන්ධ විශ්වාසයන් ඇති කරගැනීමට එරෙහිව අනතුරු අඟවයි. ‘යම් ආනුභාවයකින් පැමිණෙන සියලුම ප්‍රකාශයන් විශ්වාස නොකොට ඒ ප්‍රකාශයන් දෙවිගෙන්දැයි පරීක්ෂා කර බලන්න’ යන්න ඔහුගේ අවවාදය වේ. (1 යොහන් 4:1NW) මෙවැනි “ප්‍රකාශයක්” එනම් යම් ඉගැන්වීමක් නැතහොත් මතයක්, දෙවිගෙන් නික්මෙන්නාක් මෙන් පෙනී යා හැක. එනමුත් එය ඔහුගෙන් ලැබුණු බව ඇත්තටම පැවසිය හැකිද? යමක් විශ්වාස කිරීමට පෙර යම් සෝදිසියක් කිරීමෙන් හෝ සැකයෙන් යුතුව ඒ දෙස බැලීමෙන් යම් ආරක්ෂාවක් සලසාගත හැක. මන්ද එසේ කළ යුත්තේ ප්‍රේරිත යොහන් පවසන්නාක් මෙන් ‘බොහෝ රැවටිලිකාරයන් ලෝකයට පැමිණ සිටින’ බැවිනි.—2 යොහන් 7.

පදනමක් නොමැති සැකයන්

යම් කාරණයක් සත්‍යයද යන්න සහතික කරගැනීම සඳහා අදාළ සියලුම කාරණා අවංකව සහ නිහතමානීව පරීක්ෂා කර බැලිය යුතු වේ. කෙසේවෙතත්, කිසිදු පදනමක් නොමැති, හානිකර සැකයන් අපගේ මනස සහ හදවත තුළ වර්ධනය වීමට ඉඩ දීම මාරාන්තිකය. මෙවැනි සැකයන් නිසා අප කාලයක් තිස්සේ විශ්වාස කළ දේවල් සහ ආශ්‍රය කළ අය කෙරෙහි තිබෙන විශ්වාසය බිඳ වැටිය හැක. මෙවන් සැකයක් “යම් විශ්වාසයක් හෝ මතයක් සම්බන්ධයෙන් ඇති වන අවිනිශ්චිත හැඟීමක් ලෙස විස්තර කළ හැක. මෙම හැඟීම බොහෝදුරට අප සතු තීරණ ගැනීමේ හැකියාවට බාධාවක් වේ.” සාතන් යෙහෝවා සම්බන්ධයෙන් ඒවගේ මනස තුළ සැකයේ බීජ වැපිරූ අන්දම ඔබට මතකද? ඔහු “ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපාය කියා [දෙවි] කීවාදැයි” ඇසීය. (උත්පත්ති 3:1) ඉතා අහිංසක ස්වරූපයකින් ඇසූ ප්‍රශ්නයකින් ජනිත කළ සැකය, ඇගේ තීරණ ගැනීමේ හැකියාවට බලපෑම් කළේය. ඇත්තටම එය සාතන්ගේ උපක්‍රමවල ප්‍රධාන ලක්ෂණයකි. මෙය බොහෝ දුරට නිර්නාමික ලියුම් ලියන කෙනෙකු තුළ තිබෙන දුෂ්ට අභිප්‍රායට සමානය. එවන් ලිපි ලියන්නෙක්, වක්‍රාකාරව දූෂ්‍ය අදහස්, සම්පූර්ණයෙන්ම සැබෑ නොවන දේවල් සහ බොරු යොදාගෙන කෙනෙකුගේ චරිතය ඝාතනය කිරීමට මාන බලයි. සාතන් මෙයාකාරයෙන් රෝපණය කරන සැකයන් නිසා, කාලයක් පුරා ගොඩනඟාගෙන ඇති විශ්වාසයෙන් පිරි, ශක්තිමත් හා යහපත් සම්බන්ධතා රාශියක් බිඳ වැටී ඇත.—ගලාති 5:7-9.

මෙවැනි ආකාරයේ සැකයන් කොතරම් හානිකරද කියා ශ්‍රාවක යාකොබ් හොඳ හැටි තේරුම්ගත්තේය. පීඩාවන් ඇති අවස්ථාවන්හිදී උපකාරය සඳහා දෙවි වෙතට බියක් සැකක් නොමැතිව එළඹීමට අපට ලැබී ඇති උතුම් වරප්‍රසාදය ගැන ඔහු සඳහන් කරයි. එනමුත් දෙවිට යාච්ඤා කරන විට, “අනුමාන නොකරම ඇදහිල්ලෙන් ඉල්ලාවා” කියා ඔහු අවවාද කරයි. දෙවි සමඟ සම්බන්ධතාවක් වර්ධනය කරගන්නා අපට සැකයන් ඇත්නම්, අප “සුළඟින් ගෙනයන්නාවූ, සෙලවෙන්නාවූ මුහුදේ රැළට” සමාන වේ. එමෙන්ම, අපි ‘තමාගේ සියලු මාර්ගවලදී අස්ථිරව සිටින, දෙසිත් ඇති මනුෂ්‍යයෙකු’ හා සමාන වන්නෙමු. (යාකොබ් 1:6, 8) යම් සැකයක් ඇතිවීම නිසා, විශ්වාසයන් සම්බන්ධයෙන් වැනෙනසුලු තත්වයකට අපි පත් වන්නෙමු. ඉන්පසුව ඒවට සිදු වූ දෙය අපටද සිදු විය හැක. භූත ඉගැන්වීම් සහ දර්ශනවාදි මතයන් රැසකට අප පහසුවෙන්ම ගොදුරු විය හැක.

ආත්මිකව හොඳ සෞඛ්‍ය තත්වයක් පවත්වාගැනීම

එසේ නම්, හානිකර විය හැකි සැකයන්වලින් අප ආරක්ෂා වන්නේ කෙසේද? ඇත්තෙන්ම මීට පිළිතුර ඉතා සරලය. අප සාතන් සහ ඔහුගේ ඉත්තන් පතළ කරන බොරු සහමුලින්ම ප්‍රතික්ෂේප කළ යුතුය. තවද, “ඇදහිල්ලෙහි ස්ථිරව” සිටීමට දෙවි සපයා ඇති දේවල්වලින් පූර්ණ ප්‍රයෝජනද ගත යුතුය.—1 පේතෘස් 5:8-10.

එලෙස ප්‍රයෝජන ගැනීමට නම්, අප පෞද්ගලිකව දෙවි සපයා ඇති ආත්මික දේවලින් පෝෂණය ලබාගත යුතුය. මෙම ලිපියෙහි කලින් සඳහන් වූ වින්ගේට් මහතා මෙසේ පැහැදිලි කරයි. “අප වෙහෙස නිවාගන්නා විටදී පවා, සිරුරට නිරන්තරයෙන් ශක්තිය සැපයිය යුතුය. මන්ද විවිධ රසායනික ක්‍රියාවලීන් සහ සිරුරේ අතිවැදගත් ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වය සඳහා ශක්තිය වැය වන නිසාය. තවද බොහෝ පටකයන් නිතරම අලුත්වැඩියා කළ යුතුය.” අපගේ ආත්මික සෞඛ්‍යය සම්බන්ධයෙන්ද එවන් දෙයක් පැවසිය හැක. අප නිරන්තරයෙන් ආත්මිකව පෝෂණය වන්නේ නැත්නම්, එය නිසි පෝෂණයක් නැති සිරුරකට සමානය. එවිට අපගේ ඇදහිල්ල ක්‍රමානුකූලව හානියට ලක් වී, යථා කාලයේදී මිය යා හැක. යේසුස් ක්‍රිස්තුස් මෙසේ පවසමින් එය අවධාරණය කළේය. “මනුෂ්‍යයා [යෙහෝවාගේ] මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත්වෙනවා මිස, රොටි පමණකින් ජීවත් නොවන්නේය.”—මතෙව් 4:4.

අපි මේ ගැන මදක් කල්පනා කර බලමුද? මුලදී අප ශක්තිමත් ඇදහිල්ලක් ගොඩනඟාගත්තේ කෙසේද? ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය. “ඇදහිල්ල ඇති වන්නේ පණිවුඩය ඇසීමෙනි.” (රෝම 10:17, න. අ.) පාවුල් අදහස් කළේ සත්‍යයට සවන් දීමේදී, දෙවිගේ වචනයෙන් අප ලබාගත් පෝෂණය මාර්ගයෙන්, යෙහෝවා, ඔහුගේ පොරොන්දු සහ සංවිධානය කෙරෙහි අප තුළ ඇදහිල්ලත් සහ විශ්වාසයත් ගොඩනැඟුණු බවය. ඉන් අදහස් කරන්නේ අප ඇසූ පණිවිඩය කිසිදු වග විභාගයකින් තොරව විශ්වාස කළ බව නොවේ. බෙරීය නගරයේ විසූ ජනතාවගේ ආදර්ශය අපි අනුකරණය කළෙමු. ‘මේ කාරණා මෙසේදැයි දැනගන්නා පිණිස ලියවිලි පරෙස්සමින් සොයා’ බැලුවෙමු. (ක්‍රියා 17:11) ‘දෙවිගේ කැමැත්ත එනම් යහපත් වූ පිළිගත යුතු වූ සම්පූර්ණ වූ දෙය කුමක්ද කියා’ අපි සහතික කරගත්තෙමු. (රෝම 12:2; 1 තෙසලෝනික 5:21) ඒ මුල් අවස්ථාවේ පටන් අපගේ ඇදහිල්ල තව තවත් ශක්තිමත් වී ඇත්තේ දෙවිගේ වචනයවත්, පොරොන්දුවත් ඉටු නොවී පවතින්නේ නැති බව නැවත නැවත දැකීම හේතුවෙනි.—යෝෂුවා 23:14; යෙසායා 55:10, 11.

හාමතෙන් නොසිටින්න

දැන් අපට තිබෙන අභියෝගය නම් අපගේ ඇදහිල්ල රැකගැනීමයි. මේ සඳහා අපගේ විශ්වාසයන් සම්බන්ධයෙන් යම් සැකයන් වර්ධනය වීමට ඉඩ නොදිය යුතුය. මන්ද යෙහෝවා සහ ඔහුගේ සංවිධානය කෙරෙහි අපට තිබෙන නිසැකකම දුර්වල කිරීමට එම සැකයන් හේතු විය හැකි නිසාය. එම නිසා අප දිගටම ශුද්ධ ලියවිලි පරීක්ෂා කර බැලීම අවශ්‍යය. “පසු කාලවලදී [මුලින් ශක්තිමත් ඇදහිල්ලක් ඇතුව සිටි] සමහරු මුළාකරවන ආත්මයන්ද යක්ෂයන්ගේ ගුරුකම්ද සලකා ඇදහිල්ලෙන් අහක්ව යන” බවට ප්‍රේරිත පාවුල් අනතුරු අඟවයි. (1 තිමෝති 4:1) මෙවැනි මුළා කරවන දේවල් සහ ඉගැන්වීම් ඇතැම් අයගේ මනස් තුළ සැකයේ බීජයන් වපුරා ඔවුන්ව දෙවිගෙන් අහක් වීමට සලස්වයි. මෙයින් ආරක්ෂා වීමට අපට හැක්කේ කෙසේද? ‘ඇදහිල්ලේද මේ දක්වා අප අනුගමනය කළ යහපත් ගුරුකමේද වචනවලින් පෝෂ්‍ය’ වීමය. අප නිතරම එසේ කිරීමට වගබලා ගත යුතුය.—1 තිමෝති 4:6.

සමහර අය ඉතා යහපත් ආත්මික පෝෂණයක් පහසුවෙන් ලබාගත හැකි විටක පවා, ‘ඇදහිල්ලේ වචනවලින් පෝෂණය’ නොවී සිටීම කනගාටුවට කරුණකි. හිතෝපදේශ පොත ලියූ එක් ලේඛකයෙකු කියන්නාක් මෙන්, හොඳ ආත්මික ආහාර තිබුණත්, ඇත්තෙන්ම ආත්මික මංගල්‍යයකට සහභාගි වුණත්, අප ආහාර නොගෙන සිටිය හැක.—හිතෝපදේශ 19:24; 26:15.

මෙය අන්තරා සහිතය. වින්ගේට් මහතා මෙසේ පවසයි. “ශරීරයේ තැන්පත් වී ඇති ප්‍රෝටීන වැය වීමට පටන්ගන්නා විට, ශරීර සෞඛ්‍යය වේගයෙන් දුර්වල වේ.” ඔබ ආහාර නොගෙන සිටියදී, ශරීරය පුරාම ගබඩා කර ඇති ශක්ති සංචිත වැය කිරීමට ඔබේ ශරීරය පටන්ගනියි. මෙම සංචිතයන් සම්පූර්ණයෙන්ම වැය වූවායින් පසු, අඛණ්ඩ වර්ධනයට හා ගෙවී ගිය සෛල අලුත්වැඩියාවට අත්‍යවශ්‍ය ප්‍රෝටීන වැය කිරීමට සිරුරට සිදු වේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් සිරුරේ ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය ඉන්ද්‍රියන් අඩපණ වී ඔබේ සෞඛ්‍ය තත්වය වේගයෙන් පිරිහෙන්නට පටන්ගනියි.

මුල් සියවසේ ක්‍රිස්තියානි සභාවේ සිටි ඇතැම් සාමාජිකයන්ට මෙය ආත්මික අර්ථයකින් මෙසේ සිදු විය. ඔවුන් උත්සාහ කළේ ඒ වන විටත් ගබඩා වී තිබුණු ආත්මික සංචිත මත යැපීමටයි. පෞද්ගලික පාඩම කිරීම ගැන නොසැලකිලිමත් වූ ඔවුහු, ආත්මික වශයෙන් දුර්වල වූහ. (හෙබ්‍රෙව් 5:12) මෙහි ඇති අන්තරාව ප්‍රේරිත පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට මෙසේ ලියමින් පැහැදිලි කළේය. “අසන්ට ලැබූ දේවලින් අප යම් අන්දමකින් අහක්ව නොයන පිණිස ඒවා වඩා ඕනෑකමින් අප විසින් සැලකිය යුතුය.” ඔව් අප “මෙපමණ මහත් ගැළවීම” “නොසලකා සිටියොත්” නරක පුරුදුවලට කොතරම් පහසුවෙන් ගසාගෙන යා හැකිද කියා ඔහු දැන සිටියේය.—හෙබ්‍රෙව් 2:1, 3.

සාමාන්‍යයෙන් මන්දපෝෂණයෙන් පෙළෙන කෙනෙකුට අනිවාර්යයෙන්ම මලානික හෝ කෙට්ටු පෙනුමක් තිබෙනවා කියා පැවසිය නොහැක. ඒ හා සමානව යමෙකු ආත්මික සාගින්නෙන් පෙළෙන බව ඔහුව දුටු විගස පැවසීම දුෂ්කර විය හැක. සමහරවිට, ඔබ හොඳ ආත්මික පෝෂණයක් නොලැබ සිටියත් හොඳ ආත්මිකත්වයක් ඇතුව සිටිනවා කියා පෙනෙන්නට පුළුවන. එනමුත් එය වැඩි කාලයකට නොවේ. කල් යද්දී, ඔබ දුර්වල වී, පදනමක් නැති සැකයන් ඔබ තුළ ජනිත විය හැක. ඇදහිල්ල උදෙසා උනන්දුවෙන් පොර අල්ලන්න ඔබ අසමත් විය හැක. (යූද් 3) වෙන කිසිවෙකු නොදැන සිටියත්, ආත්මික පෝෂණයක් ලැබීමට ඔබ ඇත්තටම දරන්නේ කෙබඳු ප්‍රයත්නයක්ද කියා ඔබේ සිත දනී.

එමනිසා, ඔබේ පෞද්ගලික පාඩම අතපසු කරන්න එපා. සැකයන්වලට එරෙහිව ප්‍රබල ලෙස ක්‍රියා කරන්න. අපගේ සිරුරේ සුළුයයි පෙනෙන අසනීප ගතියක් නොසලකා හැරීමෙන් බරපතළ ප්‍රතිවිපාක විඳීමට සිදු විය හැක. එලෙසම, නිතර නිතර මතු වන සැකයන් තුරන් කිරීමට කිසිදු පියවරක් නොගැනීම මාරාන්තික විය හැක (2 කොරින්ති 11:3) ‘අපි ඇත්තටම ජීවත් වෙන්නේ අන්තිම දවස්වලද? බයිබලයේ කියන හැම දෙයක්ම ඇත්තටම විශ්වාස කරන්න පුළුවන්ද? අපි ඇත්තටම ඉන්නේ යෙහෝවාගේ සංවිධානයේද’ යනාදී ප්‍රශ්න උපයෝගි කරගනිමින් ඔබේ මනස තුළ සැකයේ බීජයන් වැපිරීමට සාතන් ඉතා කැමැත්තෙන් සිටියි. ඔබේ ආත්මික පෝෂණය ගැන ඔබ නොසැලකිලිමත් වනවා නම් සාතන්ගේ ප්‍රයෝගකාරි ඉගැන්වීම්වලට ඔබ පහසුවෙන්ම ගොදුරු විය හැකිය. එවන් දෙයකට ඉඩ නොදෙන්න. (කොලොස්සි 2:4-7) මෙහිදී තිමෝතිට දුන් අවවාදය සැලකිල්ලට ගැනීම වටී. ‘ශුද්ධ ලියවිල්ලේ’ දක්ෂ ශිෂ්‍යයෙකු වන්න. එවිට ‘ඔබ ඉගෙනගත්, ඔබට සහතික වූ කාරණාවල පිහිටා සිටීමට’ ඔබ සමත් වනු ඇත.—2 තිමෝති 3:13-15.

මෙය කිරීමට උපකාර අවශ්‍ය විය හැක. කලින් සඳහන් කළ ලේඛක වින්ගේට් මහතා තවදුරටත් මෙසේ පවසයි. “අප දැඩි සාගින්නෙන් පෙළෙන විට, ජීරණ පද්ධතියට අවශ්‍ය විටමින් සහ වෙනත් දේ නොලැබී යෑම නිසා එය බරපතළ හානිවලට ලක් විය හැක. එවිට, සාමාන්‍ය ආහාරයකින් වුණත් පෝෂණය ලබන්න සිරුරට නොහැකි වෙයි. මෙවැනි තත්වයක පසු වන පුද්ගලයන්ට ටික කාලයකට දිය හැක්කේ පහසුවෙන් දිරවිය හැකි ආහාර පමණි.” මින් පැහැදිලි වන්නේ අප හාමතෙන් පෙළෙන විට, සිරුර යථා තත්වයට ගන්න විශේෂ සාත්තුවක් අවශ්‍ය වන බවය. මේ හා සමානව, බයිබලය මත පදනම් වූ තම පෞද්ගලික පාඩම බරපතළ ලෙස නොසලකා හැර ඇති කෙනෙකුට තම ආත්මික අභිරුචිය නැවත වඩවාගන්න සෑහෙන උපකාරයක් සහ දිරිගැන්වීමක් අවශ්‍ය විය හැක. ඔබ එවන් තත්වයකට ඇද වැටී ඇත්නම්, අවශ්‍ය උපකාර ඉල්ලා ගනිමින් හා ලබා දෙන ඕනෑම මඟ පෙන්වීමක් සතුටින් භාරගනිමින් ඔබේ ආත්මික සෞඛ්‍යය සහ ශක්තිය නැවත ගොඩනඟාගන්න. —යාකොබ් 5:14, 15.

‘ඇදහිල්ල කිසිසේත් සෙලවීමට’ ඉඩ නොදෙන්න

කුලදෙටු ආබ්‍රහම්ට මුහුණ දීමට සිදු වූ තත්වයන් දෙස බලද්දී, සැකයෙන් සිටීමට ඕනෑ තරම් හොඳ හේතු ඔහුට තිබුණා කියා ඇතමෙකුට සිතෙන්න පුළුවන. දෙවි ඔහුට පොරොන්දුවක් දී තිබුණත්, ‘බොහෝ ජාතීන්ගේ පියා’ වීමේ බලාපොරොත්තුව ගැන සැක කිරීමට ඔහුට සාධාරණ හේතු තිබුණායයි පෙනී යා හැක. ඒ මන්ද? මිනිස් දෘෂ්ටිකෝණයකින් බැලුවොත්, ඒ බලාපොරොත්තුව ඉටුවීමට යෝග්‍ය තත්වයක් තිබුණේ නැත. බයිබල් වාර්තාව කියන්නේ “සිය පුරුෂ ශක්තියත් සාරාගේ පිළිසිඳ ගැනීමේ ශක්තියත් අප්‍රාණික ලෙස ඔහුට පෙනුණු” බවයි. එනමුත් දෙවි ගැනවත් දෙවිගේ පොරොන්දු ගැනවත් යම් සැකයක් ඔහුගේ මනසෙහි සහ හදවතෙහි පැලපදියම් වීමට ඔහු කිසිසේත් ඉඩ නුදුන්නේය. ප්‍රේරිත පාවුල් මෙසේ කියයි. “ඔහුගේ ඇදහිල්ල කිසි සේත් නොසෙල්විණි.” “පොරොන්දු වූ දෙය ඉෂ්ට කිරීමට [දෙවි] පොහොසත් බව [ආබ්‍රහම්] ඒකාන්තයෙන් ම විශ්වාස කෙළේ ය.” (රෝම 4:18-21, න. අ.) වසර ගණනාවක් පුරා ලැබූ අද්දැකීම් තුළින් යෙහෝවා සමඟ ශක්තිමත්, පෞද්ගලික, විශ්වාසයෙන් පිරි සබඳතාවක් ගොඩනඟාගැනීමට ඔහුට හැකි වී තිබිණ. ඒ සම්බන්ධතාව දුර්වල කළ හැකි ඕනෑම සැකයක් ඔහු එකහෙළාම ප්‍රතික්ෂේප කළේය.

ඔබ දිගටම “සාරවූ වචනවල ආදෘශය . . . අල්ලාගන සිටින්න” උත්සාහ කරනවා නම්, එනම් හොඳ ආත්මික පෝෂණයක් ලබනවා නම්, ඔබටද සැකයන් ප්‍රතික්ෂේප කිරීමට හැකි වේ. (2 තිමෝති 1:13) සැකය නමැති අන්තරාව සුළු කොට තකන්න එපා. එය බරපතළ දෙයකි. සාතන් අපගේ ආත්මිකත්වයට පහර දීම සඳහා නොයෙකුත් “විෂබීජ” යොදාගනී. බයිබලය පෞද්ගලිකව අධ්‍යයනය කිරීමෙන් සහ ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වීමෙන් ලබාගත හැකි පෝෂ්‍යදායී ආත්මික ආහාර ගැන ඔබ නොසැලකිලිමත් වෙනවා නම්, සාතන්ගේ මෙවැනි ප්‍රහාරයන්ට ඔබ පහසුවෙන්ම ගොදුරු විය හැක. එමනිසා “විශ්වාසවූ නුවණ ඇති දාසයා” කිසිදු හිඟයකින් තොරව සපයන කාලෝචිත ආත්මික ආහාරවලින් උපරිම ප්‍රයෝජන ලබන්න. (මතෙව් 24:45) “සාරවූ වචනවලට” දිගටම අවනත වෙමින් “ඇදහිල්ලෙහි නිරෝගීව” සිටීම ඔබගේ අදිටන කරගන්න. (1 තිමෝති 6:3; තීතස් 2:2NW) ඔබේ ඇදහිල්ල බිඳ දැමීමට සැකයන්ට කිසිදා ඉඩ නොදෙන්න.

[21වන පිටුවේ පින්තූර]

ආත්මිකව පෝෂණය වීමට ඔබ කොතරම් දුරකට උත්සාහ දරනවාද?