Skip to content

පටුනට යන්න

ඔහු “අන්තිමය දක්වා ස්ථිරව” සිටියේය

ඔහු “අන්තිමය දක්වා ස්ථිරව” සිටියේය

ඔහු “අන්තිමය දක්වා ස්ථිරව” සිටියේය

වර්ෂ 1993දී, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථානයේ කාර්ය මණ්ඩලයේ නව සාමාජිකයන්ට පෙන්වන ලද වීඩියෝ දර්ශනයක, ලයිමන් ඇලෙක්සැන්ඩ ස්වින්ගල් යෙහෝවාට සේවය කිරීම සම්බන්ධයෙන් සිය හැඟීම් පළ කළේ මෙසේය. “ශුභාරංචියේ වහන් පය ලාගෙනම මියැදෙන්න!” a

මේ ආකාරයෙන් සේවයේ නිරත වීමට අනුන්ව දිරිගැන්වූ අනූ-වියැති සහෝදර ස්වින්ගල්ද ජ්වලිතව සේවයේ නිරත විය. ඔහු “අන්තිමය දක්වා ස්ථිරව” සිටියේය. (මතෙව් 24:13) අසනීපව සිටියත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකුව සිටි ඔහු මාර්තු 7වන බදාදා පාලක මණ්ඩලය විසින් පවත්වන ලද රැස්වීමකට සහභාගි විය. ඊළඟ සතියේ අඟහරුවාදා ඔහුගේ තත්වය දරුණු වූ අතර, මාර්තු 14වනදා පෙ.ව. 4:26ට ඔහු මියගිය බව ඔහුගේ වෛද්‍යවරයා විසින් දැනුම් දෙනු ලැබීය.

ලයිමන් ස්වින්ගල් විසින් නියූ යෝක්හි බෘක්ලින්වල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ සේවය අරඹන ලද්දේ 1930 අප්‍රියෙල් 5වනදාය. ඔහු එහි වසර 71කට ආසන්න කාලයක් සේවය කළේය. මුලින්ම පොත් බැඳුම් අංශයෙත්, පසුව මුද්‍රණ කාමරයේත් සේවය කළ ඔහු මුද්‍රණ තීන්ත සෑදීමටද සහයෝගය දුන්නේය. ඇත්තවශයෙන්ම, සහෝදර ස්වින්ගල් මුද්‍රණ අංශයේ වසර 25ක් සේවය කළේය. ඔහු මූලස්ථානයේ ලේඛන අංශයේ සාමාජිකයෙකු වශයෙන්ද වසර 20ක පමණ කාලයක් සේවය කළේය. ඔහුගේ ජීවිතයේ අවසාන වසර 17දී ඔහු සේවය කළේ භාණ්ඩාගාරයේය.

සහෝදර ස්වින්ගල් දේවරාජ්‍යය ගැන නිර්භීතව සාක්ෂි දැරුවේය. ඔහු බෘක්ලින්වල සිටි මුල් කාලයේදී, ඔහුගේ කාමර මිතුරා වූ ආතර් වොස්ලි සමඟ බොහෝ සති අන්තයන් ගත කළේ, සාක්ෂිකරුවෙකුගේ බෝට්ටුවකින් හඩ්සන් ගඟ තරණය කරමින් ගඟ දෙපස වෙසෙන ජනයාට ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන රාජ්‍ය පණිවුඩය ප්‍රචාරය කරමින්ය.

සහෝදර ස්වින්ගල් 1910 නොවැම්බර් 6වනදා නෙබ්‍රාස්කාහි ලින්කන්වල උපත ලැබූ මුත්, ඉන් වැඩි කල් යෑමට පෙර ඔහුගේ දෙමාපියෝ ඌටාහි සෝල්ට් ලේක් නගරයේ පදිංචියට ගියහ. එහි සිටින අතරතුරේ 1913දී ඔහුගේ දෙමාපියෝ බයිබල් ශිෂ්‍යයන් බවට පත් වූහ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව එකල හැඳින්වූයේ එලෙසය. වසර ගණනාවක් පුරා, බෘක්ලින් මූලස්ථානයෙන් කතා දීමට පැමිණි කථිකයන් බොහෝදෙනෙකුට ස්වින්ගල්ගේ නිවසේ ආගන්තුක සත්කාරය ලබා දුන් හෙයින් ස්වින්ගල්ට ඔවුන්ගේ ඇසුර යහපත් බලපෑමක් විය. ඔහු 1923දී, බව්තීස්ම වෙමින් දෙවිට කැප වී සිටින බව සංකේතවත් කළේය. එවිට ඔහුගේ වයස අවුරුදු 12ක් විය.

තනිකඩයෙකු වශයෙන් බෘක්ලින්හි වසර 26කට වැඩි කලක් සේවය කිරීමෙන් පසු, 1956 ජූනි 8වන දින ක්‍රිස්ටල් සෂර් හා විවාහ වූ විට ඔහුගේ ජීවිතය මෙපමණකැයි කිව නොහැකි තරමට සැපවත් විය. වර්ෂ 1998දී ක්‍රිස්ටල් මියයන තෙක්ම නිතරම ඔවුන් දෙදෙනා එකට දේවසේවයේ හවුල් වූහ. ඊට වසර තුනකට පමණ පෙර ක්‍රිස්ටල්ට මොළයේ රුධිර කැටිගැසීමක් නිසා අංශභාග රෝගය හා සමාන ලක්ෂණ පහළ වූ නිසා ඇය ආබාධිත වූවාය. ස්වින්ගල් දිනපතාම ඇප කැප වී ඇයට සාත්තු කළ අතර ඔහුගේ මෙම ආදර්ශය මගින් සැමගේ සිත් තුළ හොඳ හැඟීමක් ඇති කරනු ලැබීය. වඩාත්ම එසේ පැහැදීමක් ඇති වූයේ, ක්‍රිස්ටල් තමා අසළින් ගමන්ගත්තවුන්ට මුරටැඹ හා පිබිදෙව්! සඟරා ඉදිරිපත් කරන විට ස්වින්ගල් ප්‍රේමනීයව ඇගේ රෝද පුටුව තල්ලු කරමින් යන අයුරු දුටුවන් තුළය.

අවංකව, උණුසුම් හැඟීමකින් ක්‍රියා කළ සහෝදර ස්වින්ගල්ව දැන හඳුනාගත් අය ඔහුට ඉමහත් ආදරයක් දැක්වීය. ඔහුගේ පියා සහ මව තුළ බයිබලය මත පදනම්, ස්වර්ග රාජ්‍යයෙහි යේසුස් ක්‍රිස්තුස් සමඟ ජීවත් වීම සඳහා තිබුණු බලාපොරොත්තුව ඔහු තුළත් තිබිණ. අදදින එම බලාපොරොත්තුව ඔහු තුළ ඉටු වී ඇති බව නිසැකය.—1 තෙසලෝනික 4:15-18; එළිදරව් 14:13.

[පාදසටහන]

a ඉන් අදහස් වූයේ කෙනෙකු සිය වැඩයේ ජ්වලිතව නිරත වෙමින් සිටියදීම මියයෑමය.

[31වන පිටුවේ පින්තූරය]

සහෝදර ස්වින්ගල් මුද්‍රණ අංශයේ වසර 25ක් පමණ සේවය කළේය

[31වන පිටුවේ පින්තූරය]

ස්වින්ගල් හා ක්‍රිස්ටල් දේවල් කළේ එකටමයි