Skip to content

පටුනට යන්න

දීමෙන් ලැබෙන සතුට භුක්ති විඳින්න!

දීමෙන් ලැබෙන සතුට භුක්ති විඳින්න!

දීමෙන් ලැබෙන සතුට භුක්ති විඳින්න!

“ගැනීමට වඩා දීමෙන් වැඩි සතුටක් ලැබේ.”—ක්‍රියා 20:35, NW.

1. යෙහෝවා දීමෙන් සතුට ලබන්නේ කෙසේද?

 සත්‍යය දැන සිටීම හා එහි ප්‍රතිඵලයක් වශයෙන් අද්දකින ප්‍රයෝජන ඇත්තෙන්ම දෙවිගෙන් ලැබෙන අනගි ත්‍යාග වේ. යෙහෝවාව දැන හඳුනාගෙන සිටින අයට ප්‍රීතිවීමට තිබෙන හේතු අප්‍රමාණයි. ත්‍යාගයක් ලැබීමෙන් ප්‍රීතියක් ලබන්නාක් මෙන්, ත්‍යාගයක් දීමෙන්ද ප්‍රීතිය ලැබේ. “සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද” ලැබෙන්නේ “සන්තෝෂවත් දෙවි” වන යෙහෝවාගෙනි. (යාකොබ් 1:17; 1 තිමෝති 1:11NW) සවන් දීමට කැමති සියලුදෙනාටම ඔහු ප්‍රයෝජන ගෙන දෙන දේවල් උගන්වයි. තමන් සපයන ප්‍රේමනීය උපදෙස්වලට තම දරුවන් කීකරු වන විට දෙමාපියන් සතුටක් ලබන්නාක් මෙන්, තමන් උගන්වන දේවලට මිනිසුන් කීකරු වන විට යෙහෝවාද සතුටු වෙයි.—හිතෝපදේශ 27:11.

2. (අ) යේසුස් දීම සම්බන්ධයෙන් පැවසුවේ කුමක්ද? (ආ) බයිබලයෙහි සඳහන් සත්‍යය අනිත් අයට ඉගැන්වීමෙන් අප ලබන සතුටට හේතුව කුමක්ද?

2 ඒ හා සමානව, යේසුස් පොළොව මත සිටි කාලයේදී ජනයාට ඉගැන්වූ අතර, ඒ දේවලට ඔවුන් යහපත් ප්‍රතිචාරයක් දැක්වූ විට ඔහුද ප්‍රීති විය. යේසුස් පැවසූ වදන් ප්‍රේරිත පාවුල් මෙසේ උපුටා දැක්වුවේය. “ගැනීමට වඩා දීමෙන් වැඩි සතුටක් ලැබේ.” (ක්‍රියා 20:35NW) අප බයිබලයෙහි සඳහන් සත්‍යය අනිත් අයට ඉගැන්වීමෙන් ලබන සතුටට හේතුව වන්නේ හුදෙක් අපේ ආගමික විශ්වාසයන් සමඟ කෙනෙකු එකඟ වන විට ලබන තෘප්තිය නොවේ. ඊට වඩා අපේ ප්‍රීතියට හේතුව වන්නේ සදාකාලික ප්‍රයෝජන ගෙන දෙන වටිනා යමක් අප යමෙකුට ලබා දෙමින් සිටිනවා යන අවබෝධයයි. මෙලෙස ආත්මිකව ප්‍රයෝජන ගෙන දෙන දේවල් දීමෙන් දැනුත් සදාකාලයටත් ප්‍රයෝජන අත් කරගැනීම සඳහා ජනයාට උපකාර කරන්න අපට පුළුවන.—1 තිමෝති 4:8.

දීමෙන් ප්‍රීතිය ලැබේ

3. (අ) අනිත් අයට ආත්මිකව උපකාර කිරීමෙන් ප්‍රේරිත පාවුල් හා යොහන් ලැබූ ප්‍රීතිය ඔවුන් ප්‍රකාශ කළේ කෙසේද? (ආ) අපේ දරුවන්ට බයිබලයෙහි සඳහන් සත්‍යය පිළිබඳ දැනුම ලබා දීම ඔවුන්ට ප්‍රේමය පෙන්වීමක් වන්නේ මන්ද?

3 යෙහෝවා හා යේසුස් ආත්මික දැනුම තෑගි ලෙස දීමෙන් ප්‍රීති වන්නාක් මෙන් ක්‍රිස්තියානීන්ද එසේ කිරීමෙන් ප්‍රීතියක් ලබයි. දේවවචනයෙහි අඩංගු සත්‍යය ඉගෙනගැනීමට අන් අයට උපකාර කිරීමෙන් ප්‍රේරිත පාවුල් ප්‍රීතිය අද්දැක්කේය. තෙසලෝනිකයේ පිහිටි සභාවට ඔහු ලියූ මෙම වදන්වලින් ඒ බව පැහැදිලි වේ. ‘අපගේ බලාපොරොත්තුවත් ප්‍රීතියත් පාරට්ටුවේ ඔටුන්නත් කිමෙක්ද? අපගේ ස්වාමි වූ යේසුස්ගේ ඊමේදී [යේසුස් පැමිණ සිටින කාලයේදී, NW] ඔහු ඉදිරියෙහි නුඹලාම නොවේද? එසේය, නුඹලා අපේ ගෞරවයත් අපේ ප්‍රීතියත්ය.’ (1 තෙසලෝනික 2:19, 20) මේ හා සමානව ප්‍රේරිත යොහන්ද ඔහුගේ ආත්මික දරුවන්ට මෙසේ ලීවේය. “මාගේ දරුවන් සත්‍යතාවෙහි හැසිරෙන බව ඇසීමට වඩා මහත් ප්‍රීතියක් මට නැත.” (3 යොහන් 4) අපේ මාංසික දරුවන්ට අපේ ආත්මික දරුවන් වීමට උපකාර කිරීමෙන් ලැබෙන ප්‍රීතිය ගැනද සිතා බලන්න. “යෙහෝවාගේ හික්මවීමෙන් හා මානසික ශික්ෂණයෙන්” දරුවන්ව ඇති දැඩි කිරීම, දෙමාපියන් දරුවන්ට ප්‍රේමය පෙන්වන එක් මාර්ගයකි. (එපීස 6:4NW) මෙසේ කිරීමෙන් දෙමාපියන් පෙන්වන්නේ තම දරුවන්ගේ සදාකාලික ශුභසිද්ධිය ගැන තමන් මහත් සැලකිල්ලක් දක්වන බවයි. දරුවන් තමන්ගේ උපදෙස් හා හික්මවීම පිළිගන්න විට දෙමාපියෝ මහත් ප්‍රීතියක් අද්දකිති.

4. ආත්මිකව දීමෙන් ප්‍රීතිය ලැබෙන බව අද්දැකීමක් ඇසුරෙන් විස්තර කරන්න.

4 පූර්ණ කාලීන සේවයේ නිරත වන දරුවන් පස්දෙනෙකුගේ මවක් වන ඩෙල් මෙසේ පවසයි. “ප්‍රේරිත යොහන්ගේ වචනවල සත්‍යතාව මට හොඳින් තේරුම්ගන්න පුළුවන්. මොකද මගේ දරුවන් හතරදෙනෙක් ‘සත්‍යයෙහි හැසිරෙනවා’ දැකීමෙන් මම මහත් ප්‍රීතියක් ලබනවා. පවුලක් වශයෙන් එක්සත්ව සැබෑ නමස්කාරයෙහි හවුල් වෙද්දි යෙහෝවාට ගෞරවයක් හා ප්‍රශංසාවක් ගෙනෙනවා කියා මම දන්නවා. මගේ දරුවන්ව සත්‍යයෙහි ඇති දැඩි කිරීම සඳහා මම ගත් උත්සාහයන්ට යෙහෝවා ආශීර්වාද කර තිබෙනවා දකිද්දී මට ලොකු සතුටක් දැනෙනවා. මගේ පවුලේ අයත් එක්ක පාරාදීසයේ සදාකල් ජීවත් වීමේ අපූරු බලාපොරොත්තුව, දුෂ්කරතා හා බාධක මැද විඳදරාගන්න මට ලොකු ශක්තියක් වෙලා තියෙනවා.” ඩෙල්ගේ එක් දියණියක් ක්‍රිස්තියානීන්ට නුසුදුසු ජීවන රටාවක් ගත කිරීම නිසා සභා ඇසුරෙන් කපාහැර තිබීම කනගාටුවට කරුණකි. එහෙත් ඩෙල් නිතරම ඒකාන්ත ලෙස දේවල් දෙස බැලීමට දැඩි වෑයමක් දරයි. “කවදා හරි දවසක මගේ දුව නිහතමානි ලෙස එයා කළ වැරදි ගැන පසුතැවිලි වෙලා යෙහෝවා වෙතට ආපසු එයි කියල මම බලාපොරොත්තු වෙනවා. මොනව වුණත්, මගේ අනිත් දරුවෝ ටික යෙහෝවාට විශ්වාසවන්තව සේවය කරන එක ගැන මම ඔහුට ස්තුතිවන්ත වෙනවා. මට දැනෙන ප්‍රීතිය, විඳදරාගන්න මට ලොකු ශක්තියක්” කියා ඇය පවසයි.—නෙහෙමියා 8:10.

සදාකාලික මිතුරන් ඇති කරගැනීම

5. අප ගෝලයන් සෑදීමේ කාර්යයෙහි හවුල් වන විට, එයින් තෘප්තියක් ලැබීමට හේතු වන්නේ කුමන දේවල් දැන සිටීමද?

5 ගෝලයන් සාදමින් ඔවුන්ට යෙහෝවා ගැනත් ඔහු අපේක්ෂා කරන දේවල් ගැනත් උගන්වන්න කියා පවසමින් යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට පැවරුමක් දුන්නේය. (මතෙව් 28:19, 20) යෙහෝවා හා යේසුස් යන දෙදෙනාම සත්‍යය මාර්ගය ගැන ඉගෙනගැනීමට මිනිසුන්ට නොමසුරුව උපකාර කර තිබේ. ගෝලයන් සෑදීමේ කාර්යයෙහි හවුල් වීමෙන් මුල් ක්‍රිස්තියානීන් මෙන් අපත් යෙහෝවාගේ සහ යේසුස්ගේ ආදර්ශය අනුකරණය කරමින් සිටින බව දැන සිටින නිසා අපට තෘප්තියක් දැනෙයි. (1 කොරින්ති 11:1) මෙසේ අප සර්වපරාක්‍රම දෙවි සහ ඔහුගේ ප්‍රේමනීය පුත්‍රයා සමඟ ගෝලයන් සෑදීමේ කාර්යයෙහි සහයෝගයෙන් කටයුතු කරන විට අපේ ජීවිතවලට අර්ථවත් බවක් එක් වේ. දෙවිගේ ‘හවුල් වැඩකරුවන්’ ලෙස සලකනු ලැබීමෙන් අප ලබන ප්‍රීතිය මොනතරම්ද! (1 කොරින්ති 3:9) ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයේදී දේවදූතයන්ද යම් වැඩ කොටසක් කරන බව දැන සිටීම අපේ ප්‍රීතිය තවත් වැඩිවීමට හේතුවක් නොවේද?—එළිදරව් 14:6, 7.

6. අප ආත්මිකව ප්‍රයෝජන ගෙන දෙන දේවල් අනිත් අයත් සමඟ බෙදාගන්න විට අප මිත්‍රත්වයක් ඇති කරගන්නේ කා සමඟද?

6 ආත්මිකව ප්‍රයෝජන ගෙන දෙන දේවල් අනිත් අය සමඟ බෙදාගැනීමෙන් අපට දෙවිගේ හවුල් සේවකයන් වීමට පමණක් නොව, ඔහු සමඟ සදාකාලික මිත්‍රත්වයක් ඇති කරගැනීමටද පුළුවන. ආබ්‍රහම් විදහාපෙන්වූ ඇදහිල්ල නිසා ඔහුව දෙවිගේ මිත්‍රයා ලෙස හඳුන්වනු ලැබීය. (යාකොබ් 2:23) දැඩි වෑයමක් දරමින් දෙවිගේ කැමැත්ත කිරීමෙන් අපටත් ඔහුගේ මෙන්ම යේසුස්ගේද මිතුරන් වීමට පුළුවන. යේසුස් සිය ගෝලයන්ට මෙසේ පැවසුවේය. “මාගේ [පියාගෙන්] මා ඇසූ සියල්ල නුඹලාට දැන්වූ බැවින් නුඹලා මිත්‍රයෝයයි කීමි.” (යොහන් 15:15) බලතල තිබෙන උසස් පුද්ගලයන් සමඟ මිත්‍රත්වයක් ඇති කරගන්න හැකි වුණොත්, බොහෝදෙනෙකු එය සලකන්නේ මහත් ප්‍රීතියක් ලෙසය. එසේ නම් මුළු විශ්වයේම සිටින ශ්‍රේෂ්ඨතම පුද්ගලයන් දෙදෙනා සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමෙන් ලැබිය හැකි ප්‍රීතිය මොනතරම්ද!

7. (අ) එක් ස්ත්‍රියක් සැබෑ මිතුරියක් සොයාගත්තේ කෙසේද? (ආ) ඔබටත් එවන් අද්දැකීම් තිබෙනවාද?

7 එපමණක්ද නොව, දෙවිව දැන හඳුනාගැනීමට අප මිනිසුන්ට උපකාර කරන විට, ඔවුන්ද අපේ මිතුරන් බවට පත් වේ. එයින්ද අපට ප්‍රීතියක් ලැබේ. අමෙරිකා එක්සත් ජනපදයේ සිටින ජෝන්, තෙල්මා නම් ස්ත්‍රිය සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත්තාය. පවුලේ අයගේ විරුද්ධවාදිකම්වලට මුහුණ දීමට සිදු වුවත්, තෙල්මා අත්නෑර දිගටම බයිබලය පාඩම් කළ අතර, අවුරුද්දකට පසු බව්තීස්ම වූවාය. තෙල්මා සමඟ බයිබලය පාඩම් කිරීම ගැන ජෝන් මෙසේ පැවසුවාය. “අපේ ඇසුර ටික කලකට සීමා වුණේ නැහැ. මේ වන විට අවුරුදු 35ක් ගෙවී ගොස් තිබුණත් අපේ මිත්‍රත්වය දිගටම තිබෙනවා. අපි දේවසේවයේ ගියේ එකටයි. සමුළුවලට ගියේ එකටයි. කලකට පස්සේ මම කිලෝමීටර් 800ක් ඈත ප්‍රදේශයක පදිංචියට ගියා. ඒත්, තෙල්මා මට තවමත් ලියුම් ලියනවා. ඇගේ ලියුම් කියවීමෙන් මම මහත් ප්‍රීතියක් ලබනවා. ඇය මහත් ආදරයෙන් මාව සිහිපත් කරනවා කියාත්, මා ඇගේ මිතුරියක් වීම ගැනත් මම ඇයට බයිබලයේ සඳහන් සත්‍යය ඉගැන්වීම ගැනත් මට ස්තුතිවන්ත වෙනවා කියාත් ඇය ඒ ලිපිවල සඳහන් කරනවා. ඒ වගේ කිට්ටු හා ප්‍රේමනීය මිතුරියක් සිටීම, යෙහෝවා ගැන ඉගෙනගන්න ඇයට උපකාර කරන්න මම දැරූ වෑයමට ලැබුණු අපූරු තෑග්ගක්.”

8. දේවසේවය දිගටම ප්‍රීතියෙන් කරගෙන යෑමට උපකාරවත් වන්නේ කිනම් ආකල්පයක් ඇතුව සිටීමද?

8 අපට හමු වන අයගෙන් බොහෝදෙනෙකු යෙහෝවාගේ වචනය ඇසීමට එතරම් උනන්දුවක් දක්වන්නේ නැත. නැත්නම් කොහෙත්ම පණිවිඩය අසන්න කැමති නැත. බහුතරයක් එවන් ප්‍රතිචාරයක් දැක්වුවත්, සත්‍යය ගැන ඉගෙනගන්න ආශාවක් තිබෙන කෙනෙකුව කවදා හෝ අපට හමු වෙයි යන බලාපොරොත්තුව, සේවය තුළ විඳදරාගැනීමට අපට උපකාරවත් වේ. ජනයා දක්වන උදාසීන ප්‍රතිචාරය අපේ ඇදහිල්ලට හා විඳදරාගැනීමට අභියෝගයක් විය හැක. එහෙත් ඒකාන්ත ආකල්පයක් ඇතුව සිටීම අපට මහත් උපකාරයක් වේ. ගෞතමාලාවේ වෙසෙන ෆවුස්ටෝ මෙසේ පැවසුවේය. “යම් කෙනෙකුට සාක්ෂි දරද්දී මට හිතෙනවා ඒ කෙනා අපේ ආත්මික සහෝදරයෙක් හෝ සහෝදරියක් වෙනවා නම් කොච්චර හොඳද කියල. මම කතා කරන අයගෙන් එක්කෙනෙක් හරි දෙවිගේ වචනයේ සත්‍යය පිළිගනියි කියලත් මම හිතනවා. එහෙම හිතන එක, දිගටම සාක්ෂි දැරීම කරගෙන යන්නත් ප්‍රීතියෙන් සිටින්නත් මට උපකාරවත් වෙලා තියෙනවා.”

ස්වර්ගයෙහි වස්තු රැස් කිරීම

9. ස්වර්ගයෙහි වස්තු රැස් කිරීම ගැන යේසුස් පැවසුවේ කුමක්ද? අපට එයින් ඉගෙනගත හැක්කේ කුමක්ද?

9 අපේම දරුවන්ව හෝ වේවා වෙනත් අයව හෝ වේවා ගෝලයන් කිරීම සැමවිටම ලෙහෙසි පහසු දෙයක් නොවේ. එයට කාලය, විඳදරාගැනීම හා අඛණ්ඩ උත්සාහය අවශ්‍යයි. අද බොහෝදෙනෙකු දැඩි වෙහෙසක් දරන්නේ ද්‍රව්‍යමය වස්තු රැස් කිරීමටයි. එහෙත් වැඩි කල් නොපවතින එවන් වස්තුවලින් ප්‍රීතිය නොලැබෙන බව මතක තබාගන්න. ආත්මික වස්තු රැස් කරගැනීමට දරන වෑයම් අපතේ නොයන බව, යේසුස් සිය ශ්‍රාවකයන්ට මෙසේ පවසමින් පෙන්වා දුන්නේය. “පොළොවෙහි නුඹලාට වස්තු රැස්කර නොතබන්න; එහිදී කාවෝද මළකඩද ඒවා නාස්තිකරති, සොරුද උමංකැන සොරාගනිති. නුමුත් ස්වර්ගයෙහි නුඹලාට වස්තු රැස්කර තබා ගන්න; එහිදී කාවෝවත් මලකඩවත් ඒවා නාස්ති නොකරති, සොරු උමංකැන සොරා නොගනිති.” (මතෙව් 6:19, 20) ගෝලයන් සෑදීමේ වැදගත් කාර්යයේ හවුල් වීම ඇතුළු ආත්මික ඉලක්ක අත් කරගැනීමට වෑයම් කිරීමෙන් සැබෑ තෘප්තියක් අපට අද්දැකිය හැක. මන්ද එසේ කිරීමෙන් අප දෙවිගේ කැමැත්ත කරමින් සිටින බවත් ඔහු අපට ආශීර්වාද කරන බවත් අප දන්නා බැවිනි. ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය. ‘නුඹලාගේ වැඩයද දෙවිගේ නාමයට පෙන්නූ ප්‍රේමයද මතක නැති කරන්ට ඔහු අධර්මිෂ්ඨ නැත.’—හෙබ්‍රෙව් 6:10.

10. (අ) යේසුස් ආත්මිකව ධනවත්ව සිටීමට හේතුව කුමක්ද? (ආ) යේසුස් අනිත් අය වෙනුවෙන් තමාවම දුන්නේ කෙසේද? එයින් මිනිසුන්ට ලැබෙන මහත් ප්‍රයෝජනය කුමක්ද?

10 අප මහත් උනන්දුවෙන් ගෝලයන් සෑදීමේ වැඩයෙහි හවුල් වෙනවා නම්, යේසුස් පැවසූ ‘ස්වර්ගයෙහි වස්තු’ අපටත් රැස් කරගත හැක. එවිට දීමෙන් ලැබෙන ප්‍රීතිය අපට ලැබේ. පරාර්ථකාමී ලෙස දෙනවා නම්, මහත් ආත්මික ධනයක් අපි රැස් කරගන්නෙමු. යේසුස් අවුරුදු සියකෝටි ගණනක් යෙහෝවාට විශ්වාසවන්තව සේවය කර තිබේ. ඔහු ස්වර්ගයෙහි රැස් කරගත් වස්තුව කොපමණද කියා සිතා බලන්න! යේසුස් කිසිවිටෙකත් ඔහුගේම ශුභසිද්ධිය ගැන සෙව්වේ නැත. ප්‍රේරිත පාවුල් ඔහු ගැන මෙසේ ලීවේය. ‘ඔහු දැන් තිබෙන නපුරු ලෝකයෙන් අප ගළවන පිණිස අපගේ පිය වූ දෙවිගේ කැමැත්ත ලෙස අපේ පව් නිසා තමන්වම දුන්නේය.’ (ගලාති 1:4, අකුරු ඇල කළේ අපය.) යේසුස් ඔහුගේ කාලය හා ශ්‍රමය මුළුමනින්ම දේවසේවය සඳහා වැය කළා පමණක් නොව, මිදීමේ මිලයක් වශයෙන් ඔහුගේ ජීවිතය පවා දුන්නේය. එනිසා අනිත් අයටත් ස්වර්ගයෙහි වස්තු රැස් කිරීමට මඟ විවෘත විය.

11. ද්‍රව්‍යමය තෑගිවලට වඩා ආත්මික තෑගි වටින්නේ මන්ද?

11 දෙවි ගැන ජනයාට ඉගැන්වීමෙන්, සදාකල් පවතින ආත්මික වස්තු රැස් කරන්නේ කෙසේද කියා දැනගැනීමට අපි ඔවුන්ට උපකාර කරන්නෙමු. ඔබට යමෙකුට දිය හැකි වටිනාම ත්‍යාගය කුමක් විය හැකිද? ඔබ මිතුරෙකුට වටිනා ඔරලෝසුවක් හෝ මෝටර් රථයක් හෝ නිවසක් ලබා දුන්නොත්, ඔහු ඒ ගැන බොහෝ සන්තෝෂ වී ඔබට ස්තුති කළ හැක. එමෙන්ම දීමෙන් ලැබෙන ප්‍රීතිය භුක්ති විඳින්න ඔබට එමගින් පුළුවන. නමුත් අවුරුදු 20කට, 200කට, 2000කට පසුව එම ත්‍යාගයට කුමක් සිදු විය හැකිද? එහෙත් යෙහෝවාට සේවය කිරීමට කෙනෙකුට උපකාර කිරීම සඳහා ඔබ ඔබේ කාලය හා ශ්‍රමය වැය කරනවා නම්, ත්‍යාගයක් බඳු එයින් ඔහුට හෝ ඇයට සදාකාලික ප්‍රයෝජන අත් කරගත හැක.

සත්‍යයට පිපාසාවක් තිබෙන අයව සෙවීම

12. අන් අයට ආත්මිකව උපකාර කිරීම සඳහා බොහෝදෙනෙකු දීම නමැති ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවා තිබෙන්නේ කෙසේද?

12 ආත්මිකව ප්‍රයෝජන ගෙන දෙන දේවල් දීමෙන් ලැබෙන ප්‍රීතිය අත් කරගැනීම සඳහා යෙහෝවාගේ සෙනඟ ලොව දස දෙසට ගමන් කර තිබේ. දහස් ගණනක් මිෂනාරිවරුන් ලෙස සේවය කිරීම සඳහා තමන්ගේ නිවෙස්වලින් හා පවුලේ සාමාජිකයන්ගෙන් ඈත්ව වෙනත් රටවලට ගොස් සිටිති. අලුත් භාෂා ඉගෙනගෙන විවිධ සංස්කෘතීන්ට අනුව හැඩගැසීමට ඔවුන්ට සිදු වී තිබේ. තවත් අය රාජ්‍ය ප්‍රචාරකයන් සඳහා මහත් අවශ්‍යතාවක් තිබෙන තමන්ගේම රටේ වෙනත් ප්‍රදේශවල පදිංචියට ගොස් සිටිති. තවත් සමහරුන් තමන්ගේ රටේ සිටින විදේශිකයන්ට දේශනා කිරීම සඳහා විදේශ භාෂාවක් ඉගෙනගෙන තිබේ. උදාහරණයක් හැටියට, අමෙරිකා එක්සත් ජනපදයේ නියූ ජ’සිහි වෙසෙන යුවළකගේ අද්දැකීම සලකා බලන්න. ඔවුන්ගේ දරුවන් දෙදෙනා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ සේවය කරති. මේ දරුවන් දෙදෙනාව ඇති දැඩි කිරීමේ වගකීමෙන් නිදහස්ව සිටින මෙම යුවළ දැන් පුරෝගාමී සේවයේ යෙදෙති. ඔවුහු දෙදෙනා චීන භාෂාව ඉගෙනගත්හ. එහි ප්‍රතිඵලයක් ලෙස, අවුරුදු තුනක් වැනි කාලයක් ඇතුළත, තමන් ජීවත් වන ප්‍රදේශයේ විදුහලක ඉගෙනුම ලැබූ චීන භාෂාව කතා කරන 74දෙනෙකු සමඟ බයිබල් පාඩම් පැවැත්වීමට ඔවුන්ට හැකි විය. ගෝලයන් සෑදීමේ කාර්යයෙහි නිරත වීමෙන් වැඩි ප්‍රීතියක් ලැබීම සඳහා ඔබේ සේවය පුළුල් කිරීමට ඔබට හැකිද?

13. දේවසේවයෙහි වඩාත් හොඳ ප්‍රතිඵල අත් කරගැනීම ඔබේ ආශාව නම්, ඔබට කුමක් කළ හැකිද?

13 සමහරවිට ඔබ බයිබල් පාඩමක් පවත්වන්න ආශාවෙන් සිටියත්, තවමත් එය කරන්න නොහැකි වී තිබෙන්න පුළුවන. සමහර රටවල උනන්දුව දක්වන කෙනෙකුව සොයාගැනීම එතරම් ලෙහෙසි දෙයක් නොවේ. ඔබට හමු වන අය බයිබලය ගැන උනන්දුවක් නොදක්වන අය විය හැකියි. එසේ නම්, ඔබේ ආශාව ගැන ඔබ කරන යාච්ඤාවලදී නිතර නිතර සඳහන් කරන්න. ගෝලයන් සෑදීමේ වැඩය ගැන මහත් සැලකිල්ලක් දක්වන යෙහෝවා හා යේසුස් බැටළුගුණැති කෙනෙකුව සොයාගැනීම සඳහා ඔබට මඟ පෙන්වීම සැපයිය හැකියි. සභාවේ සිටින දේවසේවයෙහි බොහෝ අද්දැකීම් තිබෙන හෝ සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන තිබෙන අයගේ යෝජනා අසා දැනගන්න. සභා රැස්වීම්වලින් සැපයෙන පුහුණුවෙන් හා යෝජනාවලින් ප්‍රයෝජන ගන්න. සංචාරක අවේක්ෂකයන්ගෙන් හා ඔවුන්ගේ භාර්යාවන්ගෙන් ලැබෙන උපදෙස් අදාළ කරගන්න. සියල්ලටම වඩා වැදගත් දෙය වන්නේ අත්නෑර දිගටම සේවයෙහි හවුල් වීමයි. ප්‍රඥාවන්ත මිනිසෙකු වූ සාලමොන් මෙසේ ලීවේය. “උදේ වරුවේ බීජ වපුරන්න, සවස් වරුවේත් වපුරන්න. ඉන් කොයි ඒවා සඵල වේ ද කියා වත්, දෙවගේ ම එක සේ සරු වේ ද කියා වත් ඔබ නොදන්නෙහි ය.” (දේශනාකාරයා 11:6, නව අනුවාදය) එමෙන්ම නෝවා, යෙරෙමියා වැනි විශ්වාසවන්ත පුරුෂයන්වද මතකයේ තබාගන්න. ඔවුන් දේශනා කළ පණිවිඩයට යහපත් ප්‍රතිචාරයක් දැක්වූයේ සුළු පිරිසක් වුවත් ඔවුන් දෙදෙනාගේම සේවය සාර්ථක විය. එයට හේතුව, වඩාත් වැදගත්ම දෙය වන යෙහෝවාව සතුටු කිරීමට ඔවුන්ට හැකිවීමයි.

ඔබට හැකි උපරිමය කරන්න

14. දිගු කාලයක් පුරා තමාට සේවය කළ මහලු අයව යෙහෝවා සලකන්නේ කෙසේද?

14 ඔබ අද්දකින තත්වයන් නිසා ඔබ කැමති තරම් දේවසේවයෙහි හවුල් වීමට ඔබට නොහැකි විය හැක. උදාහරණයක් හැටියට, මහලු විය නිසා යෙහෝවාගේ සේවයෙහි ඔබට කළ හැකි දේවල් සීමිත විය හැක. එහෙත් ප්‍රඥාවන්ත මිනිසෙකු වූ සාලමොන් පැවසූ මෙම වදන් මතක තබාගන්න. “ධර්මිෂ්ඨකමේ මාර්ගයෙහි සොයාගනු ලබන විට, පැසුණු හිසකෙස් අලංකාරයේ ඔටුන්නක්ය.” (හිතෝපදේශ 16:31NW) තමාට සේවය කිරීම සඳහා කැප කරන ජීවිතයක් යෙහෝවා සලකන්නේ අනර්ඝ දෙයක් ලෙසය. මේ ගැන ශුද්ධ ලියවිල්ලෙහි තවදුරටත් මෙසේ සඳහන් වේ. “මහලු වයස දක්වාත් මම [යෙහෝවා] එසේමය, හිස පැසීම දක්වාත් මම නුඹලා උසුලන්නෙමි. මම සෑදීමි, මමම නුඹලා දරා ගෙන මමම උසුලාගන ගළවන්නෙමි.” (යෙසායා 46:4) ඔව්, තමාට පක්ෂපාතව සේවය කරන අයව රැකබලා ගන්න බවට අපේ ප්‍රේමනීය ස්වර්ගික පියා පොරොන්දු වෙයි.

15. යෙහෝවා ඔබේ තත්වයන් තේරුම්ගන්න බව ඔබ විශ්වාස කරනවාද? එයට හේතු සපයන්න.

15 ඇතැම්විට ඔබ අසනීපෙන් පෙළිය හැකියි. නැත්නම් නොඇදහිලිවන්ත කලත්‍රයෙකුගේ විරුද්ධවාදිකම්වලට මුහුණ දෙනවා විය හැකියි. ඉසිලීමට දුෂ්කර පවුල් වගකීම් හෝ වෙනත් අමාරු ගැටලු ඔබට තිබිය හැකියි. කෙසේවෙතත්, යෙහෝවා අපේ සීමාවන් හා තත්වයන් තේරුම්ගන්න අතර, ඔහුට සේවය කිරීමට අප දරන අවංක වෑයම් අගය කරයි. අප කරන දෙය අනිත් අය කරන දෙයට වඩා අඩු විය හැකි වුවත්, ඔහු අපට දක්වන ප්‍රේමයෙහි අඩුවක් නැත. (ගලාති 6:4) අප අසම්පූර්ණ අය බව දන්න යෙහෝවා අපෙන් බලාපොරොත්තු වන්නේ අපට කළ හැකි දෙයයි. (ගීතාවලිය 147:11) අපේ උපරිමය අප කරනවා නම්, යෙහෝවාගේ ඇස් හමුවෙහි අප අනර්ඝ බවත්, අපේ ඇදහිල්ල විදහාපෙන්වමින් අප කරන ක්‍රියාවන් ඔහු කවදාවත්ම අමතක නොකරන බවත් අපට නිසැකයි.—ලූක් 21:1-4.

16. ගෝලයෙකු සෑදීමේදී මුළු සභාවම එයට හවුල් වන්නේ කිනම් ආකාරවලින්ද?

16 ගෝලයන් සෑදීමේ කාර්යය කණ්ඩායමක් ලෙස කරන දෙයක් බව මතක තබාගන්න. එක ජල බිංදුවකින් පැළයක් වර්ධනය නොවන්නාක් මෙන් තනි පුද්ගලයෙකුට ගෝලයෙකු සෑදිය නොහැක. බොහෝවිට, උනන්දුව දක්වන කෙනෙකුව සොයාගෙන ඔහු හෝ ඇය සමඟ බයිබල් පාඩමක් පවත්වන්නේ එක් සාක්ෂිකරුවෙකු බව ඇත්තයි. එහෙත් නවකයන් රාජ්‍ය ශාලාවට එන විට සත්‍යය වඩාත් හොඳින් අවබෝධ කරගැනීමට මුළු සභාවම ඔවුන්ට උපකාර කරයි. දෙවිගේ ආත්මය සභාව තුළ ක්‍රියාත්මක වන බවට ප්‍රේමනීය සහෝදරත්වය සාක්ෂියක් වේ. (1 කොරින්ති 14:24, 25) සභා රැස්වීම්වලදී කුඩා දරුවෝ හා යෞවනයෝ දිරිගන්වනසුලු ලෙස අදහස් දක්වති. අපේ දරුවන් ලෝකයේ දරුවන්ට වඩා වෙනස් බව, එය දකින නවකයෝ තේරුම්ගනිති. සභාවේ සිටින අසනීපයෙන් පෙළෙන අය, ශාරීරිකව දුබල අය හා වයසක අය, විඳදරාගැනීමෙන් අදහස් වන්නේ කුමක්ද කියා තමන්ගේ ආදර්ශයෙන් නවකයන්ට උගන්වති. බයිබල් සත්‍යය ගැඹුරින් අගය කිරීමටත්, බව්තීස්මය දක්වා වර්ධනය වීමටත් නවකයන්ට උපකාර කිරීමේදී, කුමන වයස් මට්ටමක හෝ තත්වයක සිටියත් අප සියලුදෙනාගේම අතින් සිදු වන්නේ වැදගත් වැඩ කොටසකි. අප දේවසේවය සඳහා යොදවන සෑම පැයක්ම, අප කරන සෑම නැවත බැලීමක්ම හා රාජ්‍ය ශාලාවේදී උනන්දුව දක්වන අය සමඟ කතා කරන සෑම මොහොතක්ම කොතරම් වටිනවාද කියා සමහරවිට අපට නොදැනෙන්න පුළුවන. එහෙත් ඒ සෑම දෙයක්ම, යෙහෝවා ඉටු කරමින් සිටින අතිමහත් වැඩයට අයත් දේවල් වේ.

17, 18. (අ) ගෝලයන් සෑදීමේ වැඩයෙහි හවුල් වෙනවාට අමතරව, දීමෙන් ලබන ප්‍රීතියට අපට පංගුකාරයන් විය හැක්කේ කෙසේද? (ආ) දීමෙන් ලබන ප්‍රීතියට පංගුකාරයන් වීමෙන් අප අනුකරණය කරන්නේ කාවද?

17 ගෝලයන් සෑදීමේ වැදගත් කාර්යයෙහි හවුල් වෙනවාට අමතරව, ක්‍රිස්තියානීන් වශයෙන් අපි වෙනත් ආකාරවලින් දීමෙන්ද ප්‍රීතිය භුක්ති විඳින්නෙමු. නිර්මල නමස්කාරයේ වර්ධනයට හා අවශ්‍යතාව ඇති අයට උපකාර කිරීම සඳහා අපට සම්මාදම් කළ හැක. (ලූක් 16:9; 1 කොරින්ති 16:1, 2) අන් අයට ආගන්තුක සත්කාරය පිරිනැමීමටද අපට පුළුවන. (රෝම 12:13) “සියල්ලන්ටම, ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට, යහපත්කම්” කිරීම සඳහා දැඩි වෑයමක් දැරීමට අපට හැක. (ගලාති 6:10) එමෙන්ම, කුඩා දේවල් ලෙස පෙනුණත්, වැදගත් ලෙස සැලකිය හැකි ආකාරවලින්, එනම් ලිපියක් යැවීමෙන්, දුරකථනයෙන් ඇමතීමෙන්, තෑග්ගක් දීමෙන්, අවශ්‍යතාව අනුව උදව්වක් කිරීමෙන් හා දිරිගැන්වීමේ වදන් කිහිපයක් පැවසීමෙන් අන් අයට උපකාර කරන්න අපට හැක.

18 දීමෙන් අප පෙන්වන්නේ අප අපේ ස්වර්ගික පියාව අනුකරණය කරන බවයි. එපමණක්ද නොව, අපි සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගැනීමේ ලකුණක් වන සහෝදර ප්‍රේමයද පෙන්වන්නෙමු. (යොහන් 13:35) මේ දේවල් මතක තබාගන්නවා නම්, දීමෙන් ලබන ප්‍රීතිය අපටත් භුක්ති විඳීමට පුළුවන.

ඔබට පැහැදිලි කළ හැකිද?

• ආත්මිකව ප්‍රයෝජන ගෙන දෙන දේවල් දීමෙන් යෙහෝවා හා යේසුස් ආදර්ශයක් තබා තිබෙන්නේ කෙසේද?

• අපට සදාකාලික මිතුරන් ඇති කරගත හැක්කේ කෙසේද?

• අපේ සේවය තවත් සාර්ථක කරගැනීම සඳහා අපට කළ හැකි දේවල් මොනවාද?

• සභාවේ සිටින සියලුදෙනාටම දීමෙන් ලබන ප්‍රීතියට පංගුකාරයන් විය හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[13වන පිටුවේ පින්තූර]

තමන් දෙන පුහුණුවට අනුව දරුවන් ඇති දැඩි වන විට දෙමාපියන්ට දැනෙන්නේ ඉමහත් ප්‍රීතියකි

[15වන පිටුවේ පින්තූරය]

ගෝලයන් සෑදීමෙන් අපට සැබෑ මිතුරන් ඇති කරගත හැක

[16වන පිටුවේ පින්තූරය]

යෙහෝවා අපව මහලු වයසේදීත් උසුලයි

[17වන පිටුවේ පින්තූර]

කුඩා දේවල් ලෙස පෙනුණත්, වැදගත් ලෙස සැලකිය හැකි ආකාරවලින් දීමෙන් අපට ප්‍රීතිය ලැබිය හැක