Skip to content

පටුනට යන්න

බයිබලය අධ්‍යයනය කළ යුතුමද?

බයිබලය අධ්‍යයනය කළ යුතුමද?

බයිබලය අධ්‍යයනය කළ යුතුමද?

බිල් හොඳ අධ්‍යාපනයක් ලැබූ, පිරිපුන් ශරීරයකින් හෙබි, මුදල් අතින් කිසිදු අඩුපාඩුවක් නැති යෞවනයෙක් විය. ඒත් ඔහු තම ජීවිතය ගැන සෑහීමකට පත් වූයේ නැත. ඔහුගේ ජීවිතයට කිසිම අරමුණක් නොතිබූ බැවින් ඔහු අන්තයටම කලකිරුණේය. ඔහු ජීවිතයේ අරමුණ සොයමින් විවිධ ආගම් පිළිබඳව අධ්‍යයනය කළේය. එම ආගම්වලින් ඉගෙනගත් කිසිම දෙයකින් ඔහු සෑහීමකට පත් නොවීය. ඔහු තම ප්‍රශ්නවලට පිළිතුරු සොයමින් සිටියදී, ඔහුට 1991දී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව මුණගැසුණේය. ඔවුහු ජීවිතයේ අරමුණ පිළිබඳව බයිබලයේ සඳහන් දේ අඩංගු ප්‍රකාශනයක් බිල්ට දුන්නා පමණක් නොව, ඔහුගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම සඳහා බයිබල් පාඩමක් ආරම්භ කිරීමටද සැලසුම් කළෝය.

තමා බයිබලය පාඩම් කළ මුල්ම දවස බිල් මෙසේ මතකයට නඟයි. “මං බයිබලය පාඩම් කළ මුල්ම දවස මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. අපි බයිබලයෙන්ම තමයි හැම ප්‍රශ්නයකටම පිළිතුරු හෙව්වේ. ලැබුණ උත්තරවලින් මං ලබපු ප්‍රීතිය කියා නිම කරන්න බැහැ! ඒ වේලාවේ මට හිතුණේ මං කාලයක් තිස්සේ හොයපු දේ මට ලැබුණා කියලයි. මම පාඩම ඉවර වුණාට පස්සේ මගේ ට්‍රක් රථයට නැඟලා අපේ ගෙවල් ළඟ තියෙන කඳු යායකට ගියා. මං ට්‍රක් එකෙන් එළියට පැනලා මගේ හිතට දැනුණ සන්තෝෂය නිසා හයියෙන් කෑ ගැහුවා! කාලයක් තිස්සේ මං උත්තර හොයපු ප්‍රශ්නවලට එදා මට පිළිතුරු ලැබුණා.”

බයිබල් සත්‍යයන් ඉගෙනගන්නා සියලුදෙනාම ප්‍රීති ඝෝෂා නඟන්නේ නැති බව ඇත්තයි. ඒත් බොහෝදෙනෙකුට ජීවිතයේ වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීම ඉතා ප්‍රීතිමත් අද්දැකීමකි. කෙතක සඟවා තිබූ වස්තුවක් පිළිබඳව යේසුස් දුන් උපමාවේ සඳහන් මනුෂ්‍යයාට හැඟුණ ආකාරයටමයි ඔවුන්ටත් හැඟෙන්නේ. එම මනුෂ්‍යයා තමා සොයාගත් වස්තුව “ගැන සන්තෝෂයෙන් ගොස්, තමා සන්තක සියල්ල විකුණා ඒ කෙත මිලදී” ගත් බව යේසුස් පැවසුවේය.—මතෙව් 13:44.

අරුත්බර දිවියකට රහස

බිල් කල්පනා කරමින් සිටි ප්‍රශ්නය බොහෝදෙනෙකු කල්පනා කරන එකකි. දාර්ශනිකයන්, දේවධර්මාධරයන්, ඉතිහාසඥයන් සහ විද්‍යාඥයන් ශතවර්ෂ ගණනාවක් පුරා එම ප්‍රශ්නයට පිළිතුරක් සොයා තිබේ. එයට පිළිතුරු සැපයීමේ අදහසින් ලියා ඇති පොත්පත් අනන්තයි අප්‍රමාණයි. එහෙත් මේ සෑම වෑයමක්ම නිෂ්ඵල වී ඇති අතර, එම ප්‍රශ්නයට පිළිතුරක් නැති බව බොහෝදෙනෙකුගේ නිගමනය වී තිබේ. ඔවුන් එසේ නිගමනය කළත් මෙම ප්‍රශ්නයට පිළිතුරක් ඇත. එම පිළිතුර ගැඹුරු එකක් වුවත් තේරුම්ගැනීමට අපහසු නැත. එය සොයාගත හැක්කේ බයිබලයෙනි. අර්ථවත් මෙන්ම සන්තෝෂවත් ජීවිතයකට රහස වන්නේ අපේ ස්වර්ගීය පියා වන මැවුම්කරු සමඟ හොඳ සබඳතාවක් පවත්වාගැනීමය. එහෙත් අප මෙවැනි සබඳතාවක් වර්ධනය කරගන්නේ කෙසේද?

දෙවිට ළං වෙන්න නම් ඔහුට ප්‍රේම කරනවා වගේම අප ඔහුට භය විය යුතුයි. මෙය එකිනෙකට පරස්පර විරෝධී අදහසක් මෙන් පෙනෙන්න තිබුණත් එය එසේ නොවේ. මෙම කාරණය පැහැදිලි කර දෙන ශුද්ධ ලියවිලි පාඨ දෙකක් අපි දැන් සලකා බලමු. වසර ගණනාවකට පෙර ප්‍රඥාවන්ත රජෙක් වූ සාලමොන්, මිනිස්වර්ගයා පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් කළේය. ඔහු එම අධ්‍යයනයෙන් රැස් කරගත් තොරතුරු බයිබලයේ දේශනාකාරයා පොතෙහි වාර්තා කළේය. ඔහුගේ අන්තිම නිගමනය පැහැදිලි කර දෙමින් ඔහු මෙසේ ලීවේය. “සියල්ල අසනලදී, මුළු කාරණයේ තීන්දුව නම් මේය: [දෙවිට] භයව [ඔහුගේ] ආඥා පවත්වන්න; මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය.” (දේශනාකාරයා 12:13, අකුරු ඇල කළේ අපය.) සාලමොන් එම වදන් ලියා ශතවර්ෂ ගණනාවක් ගත වූ පසු යේසුස්ගෙන් වැදගත් ප්‍රශ්නයක් අසන ලදි. එම ප්‍රශ්නය නම්, මෝසෙස්ට දුන් ව්‍යවස්ථාවේ උතුම්ම ආඥාව කුමක්ද යන්නයි. ‘ඔබේ මුළු හෘදයෙන්ද ඔබේ මුළු ආත්මයෙන්ද ඔබේ මුළු බුද්ධියෙන්ද ඔබේ දෙවි වූ යෙහෝවාට ප්‍රේම කරන්න’ කියා ඔහු පිළිතුරු දුන්නේය. (මතෙව් 22:37, අකුරු ඇල කළේ අපය.) අප දෙවිට භය විය යුතුයි, එමෙන්ම ඔහුට ප්‍රේම කළ යුතුයි යන කාරණය තේරුම්ගැනීම අපහසුද? දෙවිට භයවීම හා ඔහුට ප්‍රේම කිරීම කොතරම් වැදගත්ද කියාත්, එසේ කිරීම දෙවි සමඟ සතුටුදායක සබඳතාවකට දායක වන්නේ කෙසේද කියාත් අපි දැන් සලකා බලමු.

දෙවිට භයවීම යන්නෙහි අරුත

දෙවිගේ අනුමැතිය ලබාගැනීමට නම් අප ඔහු කෙරෙහි ගෞරවය මුසු වූ බියක් ඇති කරගත යුතුමයි. බයිබලය අපට කියන්නේ ‘යෙහෝවා කෙරෙහි භයවීම ප්‍රඥාවේ පටන්ගැන්මය’ කියාය. (ගීතාවලිය 111:10) එමෙන්ම ප්‍රේරිත පාවුල් මෙසේ පැවසුවේය. “ගෞරවයෙන්ද දේවභයින්ද [දෙවිට] ප්‍රසන්නවන ලෙස සේවයකරන පිණිස, අනුග්‍රහය ඇතුව සිටිමු.” (හෙබ්‍රෙව් 12:28) ප්‍රේරිත යොහන් දුටු දර්ශනයේ අහස මැද පියාසර කරමින් සිටි දේවදූතයා ඒ හා සමාන අදහසක් ඉදිරිපත් කළේය. ඔහුගේ ශුභාරංචියේ මුල්ම වදන් වූයේ ‘දෙවිට භය වී ඔහුට ගෞරවය දෙන්න’ යන්නයි.—එළිදරව් 14:6, 7.

අර්ථවත් ජීවිතයකට අත්‍යවශ්‍ය වන මෙම බිය, තැතිගන්වනසුලු භීතියක් නොවේ. අපට දරුණු අපරාධකරුවෙකු තර්ජනය කළොත් එවැනි භීතියක් දැනෙන්න පුළුවන. එහෙත් දේවභය මීට වඩා වෙනස්ය. මැවුම්කරුගේ අතිමහත් බලය දැක විස්මයට පත්වීමෙන් ඇති වන ගැඹුරු ගෞරවය ඊට ඇතුළත් වේ. දේවභයැති ජනයා දෙවිව අප්‍රසන්න කිරීමට කිසිසේත් කැමති නැත. මෙවැනි අය, ශ්‍රේෂ්ඨතම විනිශ්චයකරු හා මහෝත්තම තැනැත්තා වශයෙන් දෙවිට ඇති බලය හා අධිකාරය මෙන්ම අකීකරු ජනයාට දඬුවම් කිරීමට ඔහුට ඇති අයිතිය වටහාගනිමින් ඔහු කෙරෙහි හිතකර බියක් වර්ධනය කරගනිති.

බිය මුසු වූ ප්‍රේමයක්

කෙසේවෙතත්, යෙහෝවාට වුවමනා වන්නේ, ඔහුට බියෙන් සේවය කරන සෙනඟක් නොවේ. දෙවිගේ ශ්‍රේෂ්ඨතම ගුණාංගය වන්නේ ප්‍රේමයයි. ප්‍රේරිත යොහන් ‘දෙවි ප්‍රේමයය’ කියා ලිවීමට පෙලඹුණේ එනිසාය. (1 යොහන් 4:8) යෙහෝවා දෙවි මිනිස්වර්ගයා සමඟ ඉතා ප්‍රේමාන්විත ලෙස කටයුතු කර ඇති නිසා, ඔහුට වුවමනා වන්නේ තම සෙනඟත් ආදරයෙන් පිරි හදවත්වලින් තමාට සේවය කරනවා දකින්නයි. එහෙත් ගරුබිය දනවන පුද්ගලයෙකු කෙරෙහි ප්‍රේමයක් වර්ධනය කරගන්නේ කෙසේද? ඇත්තෙන්ම දේවභය හා ප්‍රේමය අතර අන්‍යොන්‍ය සම්බන්ධයක් තිබේ. ගීතිකාකරු එය පැහැදිලි කළේ මේ ආකාරයටයි. “යෙහෝවා සමඟ කුලුපගව සිටින්නේ ඔහු කෙරෙහි භය ඇත්තන්ය.”—ගීතාවලිය 25:14NW.

ශක්ති සම්පන්න පෙනුමක් ඇති බුද්ධිමත් පියෙකු ගැන දරුවෙකුට හැඟෙන ආකාරය ගැන මොහොතකට සිතා බලන්න. ඔහු තම පියා දෙස බලන්නේ බිය මුසු වූ ගෞරවයකින් නොවේද? ඒ කෙසේවෙතත්, පියා ඔහු සමඟ ප්‍රේමයෙන් කටයුතු කරන විට ඔහුත් එම ප්‍රේමයට ප්‍රතිචාරය දක්වන්නේ නැද්ද? එපමණක්ද නොව, තම පියා කෙරෙහි විශ්වාසයක්ද ඔහු තුළ ඇති වනු ඇත. පියා දෙන උපදෙස් කිසිදා නොවරදින බව දැන සිටින ඔහු, මඟ පෙන්වීම අවශ්‍ය වූ විට තම පියාගේ උපකාරය පතයි. මීට සමානව, අප යෙහෝවා දෙවි කෙරෙහි බිය මුසු වූ ප්‍රේමයක් වර්ධනය කරගන්නවා නම්, ඔහු දෙන මඟ පෙන්වීමට අප අවනත වන අතර එහි ප්‍රයෝජනද අද්දකිනු ඇත. යෙහෝවා ඉශ්‍රායෙලිතයන් ගැන මෙසේ පැවසුවේය. ‘මට ගරුබිය දැක්වීමටත්, ඔවුන්ටත්, ඔවුන්ගේ පෙළපත්වලටත් සදහටම ශුභසිද්ධිය සලසන පිණිස මාගේ අණ පණත් නිරතුරු පිළිපැදීමටත් තුඩු දෙන සිතක් ඔවුන් තුළ ඇත්නම් කොතරම් යහපත්ද!’—ද්විතීය කථාව 5:29, නව අනුවාදය.

ඔව්, දේවභය අපේ නිදහසට අකුල් හෙළනවා වෙනුවට සැබෑ නිදහසක් අත් කර දෙයි. අපව දුකට පත් කරනවා වෙනුවට සැබෑ ප්‍රීතියක් ගෙන දෙයි. මේ අනුව, ‘යෙහෝවා කෙරෙහි භයින් සිටීම ඔහුගේ ප්‍රීතිය වන්නේය’ යනුවෙන් යෙසායා යේසුස් ගැන පුරෝකථනය කළේ මන්ද කියා අපට පැහැදිලිය. (යෙසායා 11:3) එමෙන්ම ගීතිකාකරු මෙසේ ලීවේය. ‘යෙහෝවා කෙරෙහි භය වන්නාවූ ඔහුගේ ආඥාවලට ඉතා ප්‍රිය වන්නාවූ මනුෂ්‍යයා සන්තෝෂවත්ය.’—ගීතාවලිය 112:1.

අප දෙවිව නාඳුනනවා නම් ඔහුට ප්‍රේම කරන්නවත් ඔහු කෙරෙහි බියක් වර්ධනය කරන්නවත් නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත. බයිබලය අධ්‍යයනය කිරීම එතරම් වැදගත් වන්නේ එනිසාය. එවැනි අධ්‍යයනය කිරීමකින් දෙවිගේ ශ්‍රේෂ්ඨ ගුණාංග මෙන්ම ඔහුගේ මඟ පෙන්වීමට අවනත වීම කොතරම් ඥානවන්තදැයි තේරුම්ගැනීමටද හැකි වේ. අප දෙවිට වඩ වඩා ළං වෙත්ම ඔහුගේ කැමැත්ත කිරීමට අප තුළ පෙලඹීමක් ඇති වේ. එමෙන්ම ඔහු ආඥා පනවා ඇත්තේ අපේ ප්‍රයෝජනයට බව වටහාගනිමින් සැමවිටම එම ආඥා රක්ෂා කිරීමටද අප පෙලඹේ.—1 යොහන් 5:3.

අප තෝරාගෙන තිබෙන්නේ ජීවිතයේ හරි මඟ කියා දැනගැනීම ඇත්තෙන්ම සතුටට පත් කරවන කාරණයකි. මෙම ලිපියෙහි කලින් සඳහන් කළ බිල්ගේ අද්දැකීමද එයයි. ඔහු මෑතකදී මෙසේ අදහස් දැක්වීය. “මම බයිබලය පාඩම් කරන්න අරං දැන් අවුරුදු නවයක් විතර වෙනවා. ඒ කාලය අතරතුරේදී යෙහෝවායි මායි අතර තියෙන සම්බන්ධය වඩ වඩා ශක්තිමත් වෙලා තියෙනවා කියල මට කියන්න පුළුවන්. මගේ හදවත ප්‍රීතියෙන් ඉපිලී ගිය ඒ මුල් දවසේ ඉඳන් අද වෙන තුරු මම ඉතාමත් සතුටින් ජීවිතය ගත කරනවා. මම නිතරම ජීවිතය දිහා බලන්නේ ඒකාන්ත විදිහටයි. නිකරුණේ විනෝදය පස්සේ ගිහිල්ල කාලය අපතේ යවනවා වෙනුවට මම හැම දවසක්ම ගත කරන්නේ අර්ථවත් විදිහටයි. යෙහෝවා ඇත්තෙන්ම මට සැබෑ පුද්ගලයෙක් වෙලා තියෙනවා විතරක් නෙවේ, ඔහු මගේ යහපත ගැන නිතරම සැලකිල්ලෙන් ඉන්නවා කියන එක ගැනත් මට කිසිම සැකයක් නැහැ.”

යෙහෝවා ගැන දැනුමක් ලබාගැනීමෙන් හා එම දැනුම අදාළ කරගැනීමෙන් අද්දකින ප්‍රීතිය හා ඉන් අත් වන ප්‍රයෝජන පිළිබඳව අපි ඊළඟ ලිපියේ සාකච්ඡා කරමු.

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දෙවිට ළං වෙන්න නම් ඔහු කෙරෙහි බිය මුසු වූ ප්‍රේමයක් වර්ධනය කරගත යුතුයි

[6වන පිටුවේ පින්තූරය]

යෙහෝවා කෙරෙහි භයින් සිටීම යේසුස්ගේ ප්‍රීතිය විය