Skip to content

පටුනට යන්න

බයිබලය තේරුම්ගැනීමට අත්වැලක්

බයිබලය තේරුම්ගැනීමට අත්වැලක්

බයිබලය තේරුම්ගැනීමට අත්වැලක්

බයිබලය හා සමාන වෙනත් කිසිදු ග්‍රන්ථයක් නොමැත. එහි ලේඛකයන් පවසන්නේ තමන් සෑම දෙයක්ම දේවානුභාවයෙන් ලියූ බවය. ඇත්තෙන්ම, ඔවුන් පවසන දේ බයිබලයෙහි අඩංගු තොරතුරු මගින් සනාථ වේ. (2 තිමෝති 3:16) බයිබලයෙහි කරුණු රැසක් ඇති අතර අප පැමිණියේ කොහෙන්ද, අප මෙලොවට බිහි වූයේ මන්ද හා අප යන්නේ කොතැනටද වැනි වැදගත් ප්‍රශ්නවලටද එහි පිළිතුරු සොයාගත හැක. එසේ නම්, එය අප සෝදිසි කර බැලිය යුතු ග්‍රන්ථයක් නොවේද?

ඇතැම්විට, ඔබ බයිබලය කියවීමට වෑයමක් දරා ඇතත් එය තේරුම්ගැනීමට අපහසු වූ නිසා දැන් එය පසෙක දමා තිබෙනවා විය හැක. බයිබලය කියවද්දී ඔබේ සිතෙහි පැනනඟින ප්‍රශ්නවලට පිළිතුරු සොයාගත හැක්කේ කෙසේද කියාත් ඔබ නොදන්නවා විය හැක. තත්වය එය නම්, අධෛර්යයට පත් වෙන්න එපා. ඔබේ තත්වය පළමුවන ශතවර්ෂයේ විසූ ඉතියෝපීය ආණ්ඩු නිලධාරියෙකුගේ තත්වය හා සමානය. ඔහු යෙරුසලමේ සිට තම මව්බිම වන ඉතියෝපියාව දක්වා අශ්ව රථයක ගමන් කරන අතරතුරේදී, අවුරුදු හත්සියයකටත් වඩා කලින් ලියැවුණු යෙසායාගේ අනාගතවාක්‍යය ශබ්ද නඟා කියවමින් සිටියේය.

එවිට, පිලිප් නම් වූ යේසුස්ගේ ගෝලයෙක් රථය වෙතට දුව ගොස්, ඉතියෝපීය මනුෂ්‍යයාගෙන් මෙසේ ඇසුවේය. “නුඹ කියවන දේ [ඇත්තෙන්ම, NW] නුඹට තේරෙනවාද?” එවිට ඉතියෝපියයා මෙසේ පිළිතුරු දුන්නේය. “යමෙක් මගපෙන්නුවොත් මිස නැත්නම් මට තේරුම්ගන්ට පුළුවන් කොහොමද?” පසුව, තම රථයට නඟින මෙන් ඔහු පිලිප්ට ආරාධනා කළේය. පිලිප්ද, ඔහු කියවමින් සිටි ශුද්ධ ලියවිලි කොටසෙහි අරුත පැහැදිලි කර දෙමින් ‘යේසුස් ගැන ඔහුට දේශනා කළේය.’—ක්‍රියා 8:30-35.

වසර ගණනාවකට පෙර, පිලිප් එම ඉතියෝපීය මනුෂ්‍යයාට දේවවචනය තේරුම් කර දුන්නාක් මෙන්, අදදින යෙහෝවාගේ සාක්ෂිකරුවෝද බයිබලය තේරුම්ගන්න මනුෂ්‍යයන්ට උපකාර කරති. ඔවුහු ඔබටත් උපකාර කිරීමට කැමැත්තක් දක්වති. සාමාන්‍යයෙන් බයිබලය අධ්‍යයනය කරද්දී එය යම් පිළිවෙළක් අනුව කිරීම නුවණට හුරුයි. ප්‍රථමයෙන් මූලික බයිබල් ඉගැන්වීම් තේරුම්ගැනීමට වෑයම් කළ යුතුයි. (හෙබ්‍රෙව් 6:1, 2) පසුව ඔබේ දැනුම වර්ධනය වෙත්ම, ප්‍රේරිත පාවුල් “දැඩි ආහාර” වශයෙන් හැඳින්වූ වඩාත් ගැඹුරු සත්‍යයන් වටහාගැනීමට ඔබට හැකි වේ. (හෙබ්‍රෙව් 5:14) ඔබ මූලිකවම අධ්‍යයනය කරන්නේ බයිබලය වුවත්, විවිධ විෂයන්ට අදාළ බයිබල් පාඨ සොයාගැනීමටත්, ඒවා වටහාගැනීමටත් බයිබලය මත පදනම් වෙනත් පොත් පත්ද ඔබට මහෝපකාරි විය හැක.

ඔබට සුදුසු වේලාවකදී සහ ඔබ කැමති ස්ථානයකදී මෙම පාඩම පැවැත්විය හැක. ඇතැම් අය දුරකථනයෙන් පවා මෙම පාඨමාලාව හදාරති. මෙය පංති කාමරයක හදාරන පාඨමාලාවක් මෙන් නොව, ඔබේ පෞද්ගලික තත්වයට, අධ්‍යාපනික මට්ටමට හා පසුබිමට ගැළපෙන ආකාරයට සකස් කරන ලද පාඨමාලාවකි. තවද ඒ සඳහා කිසිදු මුදලක් අය කරන්නේද නැත. (මතෙව් 10:8) ඔබේ දැනුම මැන බැලීමට පරීක්ෂණ පවත්වන්නේ නැති අතර ඔබව කිසිවිටෙක අපහසුතාවට හෝ ලැජ්ජාවට පත් නොකරයි. ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන අතර දෙවිට ළං වන්නේ කෙසේද කියාත් ඔබ ඉගෙනගනු ඇත. කෙසේවෙතත්, මම බයිබලය පාඩම් කළ යුත්තේ ඇයි කියා ඔබ සිතිය හැක. බයිබලය අධ්‍යයනය කිරීමෙන් ඔබේ දිවියට සතුටක් එක් කරගත හැකි ආකාරය ගැන මීළඟ ලිපියේදී සාකච්ඡා කෙරේ.