Skip to content

පටුනට යන්න

බාධක හමුවේ නොසැලී සිටින්නෝ

බාධක හමුවේ නොසැලී සිටින්නෝ

බාධක හමුවේ නොසැලී සිටින්නෝ

අපි නිවසක් තැනීමට පෙර ඒ සඳහා සුදුසු ස්ථානයක් ගැන බොහෝවර සිතන්නෙමු. අපගෙන් කිසිවෙකු බෑවුම් සහිත ප්‍රදේශයක්, විශේෂයෙන්ම කඳු බෑවුම් සහිත ප්‍රදේශයක් ඒ සඳහා තෝරා නොගන්න බව නම් ස්ථිරයි. එවන් ප්‍රදේශයක් තෝරාගැනීම ප්‍රඥාගෝචර දෙයක් නොවුණත් සමහර ඇල්පයින් ශාක විශේෂ, කඳු බෑවුම්වල මුල් ඇද පිහිටා සිටින්නේ ගාම්භීර ලීලාවෙනි. සීත ඍතුවේ හිම මිදෙන සීතලත් ගිම්හානයේ දැඩි වියළි බවත් හමුවේ ඇල්පයින් ශාක නොසැලී සිටින්නේ තමන්ට මේ කිසිවක් නොදැනෙන්නාක් මෙනි.

සාමාන්‍යයෙන් ශක්තියෙන් පිරිපුන් මෙම ශාකයට පහත් බිම්වල වැවෙන තම පවුලට අයත් අනෙකුත් ශාක විශේෂයන්ට මෙන් ප්‍රතාපවත් පෙනුමක් නැත. මෙය ඉතා කුරු ශාකයකි. ගැට සහිත රළු පෙනුමක් ඇති එහි කඳ ඇඹරී ගොස් ඇත. රළු දේශගුණයකට සරිලන සේ හැඩගැසෙමින් එතරම් වැලි ගතියක් නොමැති ගල් පසක වුවත් වැවෙන නිසා සමහරක් ඒවා පෙනෙන්නේ ස්වභාවයෙන්ම නිර්මාණය වී ඇති බොන්සෝයි ශාකයක් මෙනි.

මෙම ශාක ශක්තිමත්ව වැඩෙන්නේ පෘථිවිය මතුපිට අකාරුණිකම දේශගුණයක් ඇති ප්‍රදේශ තුළයි. ඒ නිසා එම ශාකයන්ට ඇත්තේ කෙටි ආයු කාලයක් කියා ඔබ සිතිය හැක. ඔබට එසේ හැඟීම සාධාරණයි. නමුත් කැලිෆෝනියාවේ වයිට් කඳු වැටියේ අඩි 10,000ක් පමණ උස් බිමක වැවී ඇති මෙතුසලා බ්‍රිස්ට්ල්කොන් නම් පයින් ශාකය අවුරුදු 4,700ක් පමණ පැරණි බව සමහරෙකු කියා සිටියි. මෙම ශාකය දැනට තිබෙන ලොව පැරණිතම ශාකය ලෙස 1997දී ගීනස් පොතෙහි වාර්තා විය. මෙම පැරණි ශාකය පිළිබඳව අධ්‍යයනයක් කළ එඩ්මන් ෂුල්මන් මෙසේ පවසයි. “මෙම බ්‍රිස්ට්ල්කොන් පයින් ශාකය ඉතා කටුක දේශගුණයකට ප්‍රිය කරන බව පෙනෙන්න තිබෙනවා. වයිට් කඳු වැටියේ ඇති සියලුම පෞරාණික පයින් ගස් සොයාගත හැක්කේ, අඩි 10,000ක් පමණ උස නිසරු මෙන්ම බොරළු පසක් ඇති වනාන්තර ප්‍රදේශවලයි.” වෙනත් පයින් විශේෂවලට අයිති පෞරාණික ගස් පවා වැඩෙන්නේ රළු දේශගුණයක බව ෂුල්මන් විසින් සොයාගන්නා ලදි.

සියලු බාධක හමුවේ නොසැලී ශක්තිමත්ව සිටීම සඳහා මෙම ශාක තමන් සතු වාසිදායක තත්වයන් දෙකක් ප්‍රයෝජනයට ගනී. පළමු එක නම්, ඒවායේ හුදෙකලා පිහිටීමය. එලෙස හුදකලාව පිහිටා තිබීම නිසා පැරණි ශාකවලට නිරන්තර තර්ජනයක් වන ලැව් ගිනි ආදියෙන් ඒවා ආරක්ෂා වේ. දෙවෙනි එක නම් එහි මුල් මගින් ශාකය කඳු බෑවුමේ තදින් රඳා සිටින නිසා භූමිකම්පාවකට මිස අන් කිසි දෙයකට එය සෙලවිය නොහැකි වීමය.

බයිබලයෙහි, දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ව ගස්වලට සමාන කර තිබේ. (ගීතාවලිය 1:1-3; යෙරෙමියා 17:7, 8) පීඩා, අසනීප, දුප්පත්කම වැනි විවිධ හේතූන් නිසා ඔවුහු කටුක අද්දැකීම්වලට මුහුණ දෙති. විශේෂයෙන්ම එවැනි දේවල් දිගින් දිගටම පවතින විට ඔවුන්ගේ ඇදහිල්ල පරික්ෂාවට ලක් වේ. කටුක පරිසරයකට හොඳින් ඔරොත්තු දෙන ආකාරයෙන් ගස් නිර්මාණය කළ මැවුම්කරු ඔහුගේ නමස්කාරකයින්ට කුමන තත්වයකට මුහුණ දෙන්න සිදු වුවත් අවශ්‍ය උපකාරය පිරිනමන බවට පොරොන්දු වී තිබේ. ස්ථිරව නොසැලී සිටින අයට බයිබලයෙහි මෙසේ සහතික කරයි. ‘ඔහු නුඹලා ස්ථිර කර, ශක්තිමත් කරයි.’—1 පේතෘස් 5:9, 10.

‘නොසැලී සිටීම, ස්ථිරව සිටීම හෝ අඛණ්ඩතාවය රැකීම’ යන අර්ථයන් ඇති ග්‍රීක් ක්‍රියා පදය බයිබලයෙහි බොහෝවිට පරිවර්තනය කර ඇත්තේ “විඳදරාගැනීම” ලෙසයි. ඇල්පයින් ශාකයේ ශක්තිමත් බව රඳා පවතින්නේ එහි මුල් මතය. එලෙසින්ම ක්‍රිස්තියානීන්ද නොසැලී ස්ථිරව සිටීමට නම් සඳහා යේසුස් ක්‍රිස්තුස් මත ශක්තිමත්ව රඳා සිටිය යුතුයි. “එබැවින් නුඹලා ස්වාමීවූ [ක්‍රිස්තුස් යේසුස්ව] පිළිගත් ලෙස, [ඔහු] තුළ මුල්ඇද ගොඩනගන ලදුව, නුඹලාට ඉගැන්නූ ලෙසම නුඹලාගේ ඇදහිල්ලෙහි පිහිටා, බොහෝසෙයින් ස්තුතිදෙමින් [ඔහු] තුළ හැසිරෙන්න” කියා පවුල් ලීවේය.—කොලොස්සි 2:6, 7.

පාවුල්ට ‘මාංසයේ උලක්’ තිබූ අතර ඔහු දේශනා සේවය කළ කාලය පුරාම ඔහුට දරුණු පීඩාවලටද මුහුණ දීමට සිදු විය. එමනිසා ආත්මික ආකාරයකින් ශක්තිමත් ලෙස මුල් ඇද සිටීමේ අවශ්‍යතාවය පාවුල් හොඳින් අවබෝධ කරගත්තේය. (2 කොරින්ති 11:23-27; 12:7) දෙවිගේ ශක්තියෙන් සියල්ල දරාගත හැකි බව වටහාගත් ඔහු ‘මා බලවත් කරන්නාවූ තැනැත්තා තුළ මට සියලු දේ කරන්ට පුළුවන’ කියා ප්‍රකාශ කළේය.—පිලිප්පි 4:13.

පාවුල්ගේ ආදර්ශයට අනුව නියම ක්‍රිස්තියානි විඳදරාගැනීම යනු හිතකර තත්වයන්වලදී පමණක් විඳදරාගැනීම නොවෙයි. ඇල්පයින් ශාක ශත වර්ෂ ගණනාවක් පුරා කුණාටු මැද ශක්තිමත්ව සිටින්නා සේ අපත් ක්‍රිස්තුස් මත ස්ථිරව පිහිටා සිටිමින් දෙවි දෙන ශක්තිය මත රඳා සිටිනවා නම් ඇදහිල්ලේ ස්ථිරව සිටීමටද හැකි වේ. ඊට අමතරව අපි අන්තිමය දක්වා විඳදරාගන්නවා නම් “මාගේ සෙනගගේ දවස් වෘක්ෂයක දවස් මෙන් වන්නේය” යන දිව්‍ය පොරොන්දුවේ ඉටුවීමද අපට දැක බලාගත හැකියි.—යෙසායා 65:22; මතෙව් 24:13.