Skip to content

පටුනට යන්න

යෙහෝවා සපයන දැනුම ගැන ප්‍රීති වන්න

යෙහෝවා සපයන දැනුම ගැන ප්‍රීති වන්න

යෙහෝවා සපයන දැනුම ගැන ප්‍රීති වන්න

‘දෙවිගේ වචනය අසා එය පවත්වන්නෝ වාසනාවන්තයෝය [සන්තෝෂවත්ය, NW].’—ලූක් 11:28.

1. යෙහෝවා මිනිසුන්ට උපදෙස් හා දැනුම ලබා දීමට පටන්ගත්තේ කවදාද?

 මිනිසුන්ට ප්‍රේමනීය ලෙස සලකන යෙහෝවා දෙවි ඔවුන්ගේ යහපත ගැන ඉමහත් සැලකිල්ලක් දක්වයි. මේ නිසා ඔවුන්ට අවශ්‍ය කරන දැනුම හා මඟ පෙන්වීම් ලබා දීමට ඔහු නිතර සූදානමින් සිටියි. මෙසේ මිනිසුන්ට අවශ්‍ය කරන දැනුම ලබා දීම ආරම්භ වූයේ ඒදන් උයනේදීයි. ආදම්ට සහ ඒවට “දිවාභාගයේ සිසිල් වේලේ” එක් අවස්ථාවක ‘යෙහෝවාගේ හඬ ඇසුණු’ බව උත්පත්ති 3:8හි සඳහන් වේ. මේ ගැන අදහස් දක්වමින් සමහරුන් පවසන්නේ යෙහෝවා සෑම දවසකම දිවා භාගයේදී ආදම් සමඟ කතා කිරීමට පුරුදුව සිටි බවයි. තත්වය කුමක් වුවත්, බයිබලයේ සඳහන් දෙයින් එක දෙයක් පැහැදිලිය. එය නම්, දෙවි මුල් මිනිසාට උපදෙස් දීමට පමණක් නොව ඔහුට පැවරී තිබූ වගකීම් ඉටු කිරීම සඳහා අවශ්‍ය දැනුම ලබා දීමටද කාලය ගත් බවයි.—උත්පත්ති 1:28-30.

2. යෙහෝවා සපයන මඟ පෙන්වීම්වලින් ප්‍රයෝජන ගැනීමේ ප්‍රස්තාව මුල් මිනිස් යුවළ අහිමි කරගත්තේ කෙසේද? එහි ප්‍රතිඵලය වූයේ කුමක්ද?

2 යෙහෝවා ආදම් සහ ඒවට ජීවිතය දානය කළා පමණක් නොව, සතුන්ව මෙන්ම පොළොව මත තිබෙන දේවල් පාලනය කිරීමේ බලයද දුන්නේය. නමුත් ඔවුන් එක නියෝගයකට යටත් විය යුතුව තිබිණ. එනම්, යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් අනුභව කිරීමෙන් ඔවුන් වැළකී සිටිය යුතු විය. එහෙත් සාතන්ගේ බලපෑමට හසු වූ ආදම් සහ ඒව දෙවිට අකීකරු වූහ. (උත්පත්ති 2:16, 17; 3:1-6) හරි දෙය සහ වැරදි දෙය කුමක්ද කියා තමන් විසින්ම තීරණය කිරීමට යෑමෙන්, ඔවුහු දෙදෙනා දෙවිගෙන් ස්වාධීනව ක්‍රියා කිරීමට තෝරාගත්හ. මෙසේ ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, ඔවුහු තම ප්‍රේමනීය මැවුම්කරු සපයන මඟ පෙන්වීම්වලින් ප්‍රයෝජන ගැනීමේ ප්‍රස්තාව අනුවණ ලෙස අහිමි කරගත්හ. මෙහි විනාශකාරි ප්‍රතිවිපාක ඔවුන්ට පමණක් නොව, ඔවුන්ගෙන් පැවතෙන්නන්ටද බලපෑවේය. අවසානයේදී, ආදම් සහ ඒව මහලු වී නැවත නැඟිටීමේ බලාපොරොත්තුව නොමැතිව මිය ගියහ. ඔවුන්ගෙන් පැවතෙන්නන්ටද පාපය උරුම වූ අතර, එහි ප්‍රතිවිපාකය වන මරණයට යටත් වීමටද සිදු විය.—රෝම 5:12.

3. යෙහෝවා කායින්ට උපදෙස් දුන්නේ මන්ද? කායින් එයට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

3 මුල් මිනිස් යුවළ තමන්ට විරුද්ධව කැරලි ගැසුවත්, යෙහෝවා මිනිසුන්ට දැනුම හා මඟ පෙන්වීම් සැපයීම නතර කළේ නැත. ආදම් සහ ඒවගේ කුලුඳුල් පුත්‍රයා වූ කායින් පාපයේ බලපෑමට හසුවීමේ අනතුරෙහි සිටියේය. කායින් මහත් විනාශයක් අබියස සිටින බවට අනතුරු අඟවමින් ‘යහපත කරන්න’ කියා යෙහෝවා ඔහුට උපදෙස් දුන්නේය. යෙහෝවා ප්‍රේමනීය ලෙස දුන් එම උපදෙස කායින් ප්‍රතික්ෂේප කර ඔහුගේ සහෝදරයාව මරා දැමුවේය. (උත්පත්ති 4:3-8) මෙසේ පොළොව මත සිටි මුල් මිනිසුන් තිදෙනාම ඔවුන්ට ජීවිතය දුන් හා ප්‍රයෝජන ලබාගැනීම සඳහා තම සෙනඟට උපදෙස් සපයන තැනැත්තාගේ පැහැදිලි මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කළහ. (යෙසායා 48:17) තමා මිනිසුන්ගෙන් බලාපොරොත්තු වූ දෙය මුල් මිනිසුන් තිදෙනාම ඉටු නොකළ විට යෙහෝවාට මොනතරම් වේදනාවක් දැනෙන්න ඇද්ද!

යෙහෝවා පුරාණ ඇදහිලිවන්තයන්ට ඔහු පිළිබඳ දැනුම සපයයි

4. ආදම්ගෙන් පැවතෙන්නන් ගැන යෙහෝවාට තිබූ දැඩි විශ්වාසය කුමක්ද? එම විශ්වාසය නිසා ඔහු ප්‍රකාශ කළ බලාපොරොත්තු ජනිත කරවන පණිවිඩය කුමක්ද?

4 තවදුරටත් මිනිසුන්ට අවශ්‍ය මඟ පෙන්වීම් හා දැනුම සැපයීමෙන් වැළකී සිටීමට යෙහෝවාට හොඳ හේතු තිබුණත්, ඔහු එසේ කළේ නැත. ආදම්ගෙන් පැවතෙන අයගෙන් ටිකදෙනෙකු හෝ නැණවත් ලෙස තමන්ගේ මඟ පෙන්වීම්වලට අවනත වන බවට විශ්වාසයක් යෙහෝවාට තිබුණේය. ආදම් සහ ඒව කළ වරදට දඬුවම් නියම කළ අවස්ථාවේදී, ‘වංශයක්’ ගැන යෙහෝවා කළ පුරෝකථනයෙන් ඒ බව පැහැදිලි වේ. එම වංශය සර්පයාගෙන් නියෝජනය වන සාතන් නමැති යක්ෂයාට විරුද්ධව නැඟී සිටිනු ඇත. කල් යෑමේදී සර්පයාගේ හිස පොඩි කර දමනු ඇත. එනම් සාතන්ව විනාශ කර දමනු ඇත. (උත්පත්ති 3:15) මෙම අනාවැකිය ‘දෙවිගේ වචනය අසා එය පවත්වන අයට’ බලාපොරොත්තු ජනිත කළ ප්‍රීතිමත් පණිවිඩයක් විය.—ලූක් 11:28.

5, 6. පොදු යුගයේ පළමු සියවසට කලින් යෙහෝවා ඔහුගේ සෙනඟට අවශ්‍ය දැනුම හා මඟ පෙන්වීම් සපයනු ලැබුවේ කිනම් ආකාරවලින්ද? එය ඔවුන්ට ප්‍රයෝජනවත් වූයේ කෙසේද?

5 යෙහෝවා ඇදහිලිවන්ත ආදිපීතෘවරුන් වූ නෝවා, ආබ්‍රහම්, ඊසාක්, යාකොබ් හා යෝබ් වැනි අයට ඔහුගේ කැමැත්ත ගැන දැනුම් දුන්නේය. (උත්පත්ති 6:13; නික්මයාම 33:1; යෝබ් 38:1-3) පසු කලෙක ඔහු මෝසෙස් මාර්ගයෙන් ඉශ්‍රායෙල් ජාතියට නීති හා ප්‍රතිපත්ති අඩංගු සම්පූර්ණ ව්‍යවස්ථාවක් දුන්නේය. මෝසෙස් මාර්ගයෙන් දුන් එම ව්‍යවස්ථාව ඔවුන්ට බොහෝ ආකාරවලින් ප්‍රයෝජනවත් විය. එය පැවැත්වීමෙන්, දෙවි විසින් තෝරාගත් විශේෂ සෙනඟක් වශයෙන් සෙසු ජාතීන්ගෙන් වෙන්ව සිටීමට ඔවුන්ට හැකි විය. ඔවුන් ව්‍යවස්ථාවේ සඳහන් අණ පනත්වලට කීකරු වූවා නම්, ද්‍රව්‍යමය වශයෙන් පමණක් නොව, ආත්මික වශයෙන්ද ආශීර්වාද කරන බවට දෙවි ඔවුන්ට සහතික වූයේය. පූජක රාජ්‍යයක් සහ ශුද්ධ ජාතියක් වීමේ වරප්‍රසාදයද ඔවුන්ට තිබිණ. ආහාර මෙන්ම සනීපාරක්ෂාව හා සම්බන්ධ යම් නියමයන් පවා ව්‍යවස්ථාවට ඇතුළත් වූ අතර, නිරෝගි සෞඛ්‍යයක් භුක්ති විඳීමට එම නියමයන් ඔවුන්ට උපකාරවත් විය. කෙසේවෙතත්, අකීකරු වූ විට ලබන දුක්ඛිත ප්‍රතිවිපාක සම්බන්ධයෙන්ද යෙහෝවා ඔවුන්ට අනතුරු ඇඟෙව්වේය.—නික්මයාම 19:5, 6; ද්විතීය කථාව 28:1-68.

6 කලක් ගතවීමත් සමඟම, දේවානුභාවයෙන් ලියන ලද තවත් පොත්ද බයිබලයට එක් කරන ලදි. යෙහෝවා මිනිසුන් සමඟ කටයුතු කළ ආකාරය ගැන බයිබලයේ අඩංගු ඓතිහාසික වාර්තාවල සඳහන් වේ. කාව්‍යමය භාෂාවෙන් ලියා තිබෙන පොත්වල අලංකාර ලෙස ඔහුගේ ගුණාංග විස්තර කර තිබේ. අනාගතයේදී යෙහෝවාගේ කැමැත්ත ඉටු වන ආකාරය අනාවැකිමය තොරතුරු අඩංගු පොත්වල පුරෝකථනය කර ඇත. පුරාණයේ විසූ ඇදහිලිවන්තයෝ දේවානුභාවයෙන් ලියන ලද එම පොත් මහත් ඕනෑකමින් අධ්‍යයනය කරමින් ඒවායේ සඳහන් වී තිබූ දේවලට අනුව ජීවත් වූහ. එම ඇදහිලිවන්තයන්ගෙන් එක්කෙනෙක් “ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය” කියා ලීවේය. (ගීතාවලිය 119:105) යෙහෝවා තමන්ට සවන් දීමට කැමති අයව දැනුවත් කරමින් කාරණා අවබෝධ කරගැනීමේ හැකියාව ඔවුන්ට ලබා දුන්නේය.

ආලෝකය වඩ වඩා බැබළෙයි

7. යේසුස් ප්‍රාතිහාර්යයන් කළත් ඔහු ප්‍රසිද්ධව සිටියේ කවරෙකු ලෙසද? එයට හේතු වූයේ කුමක්ද?

7 පළමු සියවස වන විට යුදෙව් ආගමට අයත් ඇතැම් පිරිස් විසින් දෙවි මෝසෙස් මාර්ගයෙන් දුන් ව්‍යවස්ථාවට මිනිස් සම්ප්‍රදායන් එක් කරන ලදි. මෙසේ, ව්‍යවස්ථාවේ නියමයන් වරදවා දක්වන ලදි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ව්‍යවස්ථාව මිනිසුන්ට දැනුම හා අවබෝධය සපයා දෙන උල්පතක් වෙනවා වෙනුවට, ඔවුන්ව මහත් පීඩනයකට ලක් කළ දෙයක් බවට පත් විය. මෙයට හේතුව වූයේ ඊට ඇතුළත් කරන ලද මිනිස් සම්ප්‍රදායන්ය. (මතෙව් 23:2-4) කෙසේවෙතත්, පො.යු. 29දී යේසුස් මෙසියස් වශයෙන් පෙනී සිටියේය. මනුෂ්‍යවර්ගයා වෙනුවෙන් තම ජීවිතය පූජා කිරීම පමණක් නොව, ‘සත්‍යයට සාක්ෂි දීමත්’ ඔහුගේ ප්‍රධාන කාර්යයට ඇතුළත් වූයේය. ප්‍රාතිහාර්යයන් කළත් ඔහු ප්‍රසිද්ධව සිටියේ ‘ගුරුවරයෙකු’ ලෙසය. ඔහු ඉගැන්වූ දේවල් ආත්මික අන්ධකාරයෙන් වැසී තිබූ මිනිසුන්ගේ මනස් මතට වැටුණු දීප්තිමත් ආලෝක ධාරාවක් මෙන් විය. යේසුස් යෝග්‍ය ලෙස තමා ගැන මෙසේ පැවසුවේය. “මම ලෝකයේ ආලෝකයය.”—යොහන් 8:12; 11:28, NW; 18:37.

8. පොදු යුගයේ මුල් සියවසේදී දේවානුභාවයෙන් ලියූ පොත් මොනවාද? මුල් ක්‍රිස්තියානීන්ට ඒවා ප්‍රයෝජනවත් වූයේ කෙසේද?

8 පසු කාලයේදී, යේසුස්ගේ ජීවිත කතාව ඇතුළත් සුවිශේෂ වාර්තා හතරක් හා ඔහුගේ මරණින් පසු ක්‍රිස්තියානි ධර්මය ව්‍යාප්ත වූ ආකාරය පිළිබඳ වාර්තාව ඇතුළත් ක්‍රියා පොතද බයිබලයට එක් විය. යේසුස්ගේ ගෝලයන් විසින් දේවානුභාවයෙන් ලියන ලද ලිපි හා එළිදරව් කියා හඳුන්වන අනාවැකිමය පොතද එයට ඇතුළත් විය. මෙම ලියවිලිත් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිත් එක්ව ගත් කල සම්පූර්ණ බයිබලය සෑදෙයි. කුඩා පුස්තකාලයක් බඳු දේවානුභාවයෙන් ලියන ලද මෙම පොත්වල උපකාරය ඇතුව සත්‍යයේ “පළල, දිග, උස, ගැඹුර කිමෙක්ද කියා තේරුම්ගන්ට” ක්‍රිස්තියානීන්ට හැකි විය. (එපීස 3:14-19) එමෙන්ම ‘ක්‍රිස්තුස්ගේ මනස’ ඇතුව සිටීමටද ඔවුන්ට හැකි විය. (1 කොරින්ති 2:16NW) කෙසේවෙතත්, යෙහෝවාගේ අරමුණුවලට අයත් සෑම කාරණයක්ම සම්පූර්ණයෙන් තේරුම්ගන්න මුල් ක්‍රිස්තියානීන්ට හැකි වූයේ නැත. ප්‍රේරිත පාවුල් සෙසු ඇදහිලිවන්තයන්ට මෙසේ ලීවේය. “දැන් අපට කැඩපතකින් අඳුරුලෙස පෙනෙන්නේය.” (1 කොරින්ති 13:12) දේවවචනයෙහි සඳහන් කාරණා වඩාත් පැහැදිලිව අවබෝධ වීමට නියමිතව තිබුණේ පසු කාලයේදී නිසා එවන් කැඩපතකින් සම්පූර්ණයෙන්ම පැහැදිලි රූපයක් දැකගත නොහැකි විය.

9. “අන්තිම දවස්වලදී” අවබෝධ කරගෙන තිබෙන දේවල් මොනවාද?

9 අද අප ජීවත් වන්නේ “අන්තිම දවස්” කියා හඳුන්වන ‘කටයුතු කිරීමට අසීරු අර්බුදකාරි කාලයකයි.’ (2 තිමෝති 3:1NW) මේ කාලයේදී ‘[සැබෑ, NW] දැනගැන්ම වැඩි වන්නේය’ කියා අනාගතවක්තෘ දානියෙල් පුරෝකථනය කළේය. (දානියෙල් 12:4) මීට එකඟව ශ්‍රේෂ්ඨ ගුරුවරයා හැටියට යෙහෝවා අවංක හදවත් ඇති අයට ඔහුගේ වචනයේ සඳහන් දේවල අර්ථය තේරුම්ගැනීමට උපකාර කර තිබේ. යේසුස් ක්‍රිස්තුස් 1914දී ස්වර්ගයේ සිංහාසනාරූඪ වූ බව අද බොහෝදෙනෙක් තේරුම්ගෙන සිටිති. පොළොව මත පවතින සියලු දුෂ්ටකම් නැති කර මුළු පොළොවම පාරාදීසයක් බවට පත් කරන දවස වැඩි ඈතක නොවන බවද ඔවුහු දනිති. රාජ්‍යයේ ශුභාරංචියට අයත් මෙම වැදගත් අංගය ගැන දැන් ලොව පුරා දේශනා කරමින් තිබේ.—මතෙව් 24:14.

10. ගත වූ සියවස් ගණනාව පුරා මිනිසුන් යෙහෝවාගේ උපදෙස්වලට ප්‍රතිචාරය දක්වා තිබෙන්නේ කෙසේද?

10 ඔව්, මිනිස් ඉතිහාසය පුරාම යෙහෝවා පොළොව සම්බන්ධයෙන් ඔහුගේ කැමැත්ත හා අරමුණ ජනයාට හෙළි කර තිබේ. දෙවි සපයන ප්‍රඥාවට සවන් දී, ඊට අනුකූලව ජීවත් වීම නිසා ආශීර්වාද ලැබූ බොහෝදෙනෙකු ගැන බයිබලයේ සඳහන් වේ. ආදම් සහ ඒව ගත් විනාශකාරි ක්‍රියාමාර්ගය අනුගමනය කරමින් දෙවි ප්‍රේමනීය ලෙස දුන් උපදෙස් ප්‍රතික්ෂේප කළ අය ගැනත් එහි සඳහන් වේ. සංකේතමය පාරවල් දෙකක් ගැන කතා කළ අවස්ථාවේදී යේසුස් ඒ ගැන පැහැදිලි කළේය. එක් පාරක කෙළවර විනාශයයි. එම පාර පළල් නිසා බොහෝදෙනෙකු එහි ගමන් කරන අතර, ඔවුහු දෙවිගේ වචනය ප්‍රතික්ෂේප කරති. අනිත් පාරේ කෙළවර සදාකාල ජීවනයයි. එය පටු නිසා එහි ගමන් කරන්නේ ටිකදෙනෙකි. ඔවුහු බයිබලය දෙවිගේ වචනය බව පිළිගනිමින් එහි සඳහන් දේවලට එකඟව තමන්ගේ ජීවිත හැඩගස්වා ගනිති.—මතෙව් 7:13, 14.

අප සතු දෙය අගය කිරීම

11. බයිබලය පිළිබඳ අප සතු දැනුම හා විශ්වාසය කුමක සාක්ෂියක්ද?

11 ඔබත් ජීවනයට යන පාරේ ගමන් කිරීමට තෝරාගෙන තිබෙන අය අතර සිටින කෙනෙක්ද? එසේ නම්, ඔබේ ඉලක්කය එහි දිගටම ගමන් කිරීම බව නිසැකයි. එහි දිගටම ගමන් කරන්න ඔබට හැක්කේ කෙසේද? බයිබලයෙහි සඳහන් සත්‍යය දැනගැනීම නිසා ඔබ අද්දකින ආශීර්වාද ගැන අගය කිරීමෙන් යුතුව මෙනෙහි කරන්න. ඔබ විසින් ශුභාරංචිය පිළිගැනීමම, දෙවිගේ ආශීර්වාද ඔබට ලැබී තිබෙන බවට සාක්ෂියක් වේ. ශුභාරංචිය දැනගන්න ලැබීම දෙවිගෙන් ලැබෙන මහත් ආශීර්වාදයක් බව, යේසුස් ඔහුගේ පියාට කළ යාච්ඤාවකදී පැවසූ මේ වදන්වලින් පැහැදිලි වේ. “ස්වර්ගයටත් පොළොවටත් ස්වාමිවූ පියාණෙනි, [ඔබ] ප්‍රඥාවන්තයන්ගෙන්ද තේරුම් ඇත්තන්ගෙන්ද මේ කාරණා සඟවා ළදරුවන්ට එළිදරව්කළ බැවින් ඔබට ස්තුතිකරමි.” (මතෙව් 11:25) යේසුස් ඉගැන්වූ දේවල් වටහාගැනීමට ධීවරයන්ට හා අයබදු එකතු කරන්නන්ට හැකි වුවත්, උසස් අධ්‍යාපනයක් ලබා සිටි ආගමික නායකයන්ට ඒවා තේරුම්ගැනීමට නොහැකි විය. යේසුස් තවදුරටත් මෙසේ පැවසුවේය. “මා එවූ [පියා] විසින් අදිනු ලැබූ කෙනෙකුට මිස වෙන කිසිවෙකුට මා ළඟට එන්ට බැරිය.” (යොහන් 6:44) බයිබලයෙහි සඳහන් සත්‍යය ඉගෙනගනිමින් හා එහි ඉගැන්වීම් විශ්වාස කරමින් ඒවා අනුව ඔබ ජීවත් වෙනවා නම්, එයින් පැහැදිලි වන්නේ යෙහෝවා ඔබව සත්‍යයට ඇදගෙන තිබෙන බවයි. මෙය ප්‍රීතිවීමට හේතුවකි.

12. බයිබලය නිවැරදි අවබෝධය සපයන්නේ කිනම් ආකාරවලින්ද?

12 දේවවචනයෙහි අඩංගු සත්‍යය මිථ්‍යාවෙන් අපව නිදහස් කර, නිවැරදි අවබෝධයද සපයයි. බයිබලයෙහි සඳහන් දැනුමට අනුව ජීවත් වන අය, දශලක්ෂ ගණනක්දෙනාගේ ජීවිතවලට දැඩි බලපෑමක් ඇති කරන මිථ්‍යා විශ්වාස, බොරු ඉගැන්වීම් හා නොදැනුවත්කම යනාදියෙන් නිදහස්ය. උදාහරණයක් හැටියට, අපට හානි කිරීමට මළවුන්ට හැකි බවට තිබෙන බියෙන් හෝ අපේ මිය ගිය ප්‍රේමනීය අය දුක් වේදනා විඳින බවට වූ මිථ්‍යා විශ්වාසයෙන් නිදහස් වීමට අපට හැකි වී තිබෙන්නේ මළවුන්ගේ තත්වය පිළිබඳ සත්‍යය දැනගෙන සිටීම නිසාය. (එසකියෙල් 18:4) අදෘශ්‍යමාන දුෂ්ට දූතයන් පිළිබඳ සත්‍යය දැන සිටීම නිසා භූතවාදයේ අනතුරුවලින් වැළකී සිටීමට අපට හැකි වී තිබේ. තම ප්‍රේමනීයයන් අහිමි වී සිටින අයට නැවත නැඟිටීම පිළිබඳ ඉගැන්වීම මහත් සැනසිල්ලක් වී තිබේ. (යොහන් 11:25) අප ජීවත් වන්නේ කුමන කාලයේද කියා බයිබල් අනාවැකි මගින් පැහැදිලි කෙරෙන අතර, දෙවිගේ අනාගතික පොරොන්දුවල ඉටුවීම කෙරෙහි ඇති අපේ විශ්වාසයද එමගින් තවත් තහවුරු කෙරෙයි. එම අනාවැකි මගින් සදාකල් ජීවත් වීමේ අපේ බලාපොරොත්තුව තව තවත් ශක්තිමත් වේ.

13. දේවවචනයේ සඳහන් දේවල් පිළිපැදීම, අපේ ශාරීරික හා මානසික සුවයට දායක වන්නේ කෙසේද?

13 බයිබලයේ සඳහන් දේවප්‍රතිපත්ති අපේ ශාරීරික හා මානසික සුවයට දායක වේ. උදාහරණයක් හැටියට, දුම්කොළ හා මත් බෙහෙත් භාවිතය වැනි සිරුරට අහිතකර පුරුදුවලින්ද මත්පැන් අනිසි භාවිතයෙන්ද අපි වැළකී සිටින්නෙමු. (2 කොරින්ති 7:1) එමෙන්ම සදාචාරය සම්බන්ධයෙන් දෙවි දී තිබෙන නීති පිළිපැදීමෙන් ලිංගිකව බෝවෙන රෝගවලින් ආරක්ෂා විය හැක. (1 කොරින්ති 6:18) අද බොහෝදෙනෙකු ධනය පසුපස හඹා යෑමෙන් මනසේ සාමය නැති කරගෙන තිබේ. එහෙත් මුදල්වලට ප්‍රේම කිරීමෙන් වැළකී සිටින ලෙස දෙවි දී තිබෙන උපදේශය පිළිපැදීමෙන් අපි මනසේ සාමය භුක්ති විඳින්නෙමු. (1 තිමෝති 6:10) දේවවචනයට එකඟව ඔබේ ජීවිතය හැඩගස්වා ගෙන තිබීම නිසා ඔබ යහපත් සෞඛ්‍යයක් භුක්ති විඳින්නේ කිනම් ආකාරවලින්ද?

14. ශුද්ධාත්මය අපේ ජීවිත කෙරෙහි කිනම් බලපෑමක් ඇති කරයිද?

14 අප දේවවචනයේ පවසා තිබෙන දේවලට එකඟව ජීවත් වෙනවා නම්, යෙහෝවාගේ ශුද්ධාත්මය අපට ලැබෙයි. මෙහි ප්‍රතිඵලයක් හැටියට අපි කරුණාව හා දයාව වැනි සිත්ගන්නාසුලු ගුණාංගවලින් සමන්විත ක්‍රිස්තුස්ට සමාන පෞද්ගලිකත්වයක් ගොඩනඟා ගන්නෙමු. (එපීස 4:24, 32) දෙවිගේ ආත්මය එහි ඵල වන ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, ඇදහිල්ල, මෘදුකම හා ආත්ම දමනය වැනි ගුණාංගද වර්ධනය කරගැනීමට උපකාර කරයි. (ගලාති 5:22, 23) පවුලේ සාමාජිකයන් ඇතුළු අනිත් අය සමඟ සන්තෝෂවත් හා අර්ථවත් සබඳතාවක් ඇති කරගැනීමට ඉහත සඳහන් ගුණාංග දායක වේ. එමෙන්ම ධෛර්යසම්පන්නව දුෂ්කරතාවලට මුහුණ දීමට උපකාරවත් වන ඇතුළාන්ත ශක්තිය ශුද්ධාත්මය අපට සපයයි. ශුද්ධාත්මය ඔබේ ජීවිතය කෙරෙහි යහපත් බලපෑමක් ඇති කර තිබෙන ආකාරය ඔබ තේරුම්ගෙන තිබෙනවාද?

15. දෙවිගේ කැමැත්තට එකඟව අපේ ජීවිත හැඩගස්වා ගනිද්දී අප ප්‍රයෝජන ලබන්නේ කෙසේද?

15 අපේ ජීවිත යෙහෝවාගේ කැමැත්තට එකඟව හැඩගස්වා ගනිද්දී ඔහු සමඟ තිබෙන අපේ සබඳතාව තවත් ශක්තිමත් වෙයි. එමෙන්ම ඔහු අපව තේරුම්ගන්න බවත්, අපට ප්‍රේම කරන බවත්, වඩාත් හොඳින් වටහාගැනීමට අපට හැකි වේ. තවද දුෂ්කර අවස්ථාවලදී ඔහු අපට උපකාර කරන බව අද්දැකීමෙන් අපි ඉගෙනගන්නෙමු. (ගීතාවලිය 18:18) එපමණක්ද නොව, ඔහු අපේ යාච්ඤාවලට ඇත්තෙන්ම සවන් දෙන බව අපි පෞද්ගලිකව අද්දකින්නෙමු. (ගීතාවලිය 65:2) අපට ප්‍රයෝජන ලැබෙන බවට වූ නිසැකකමින් යුතුව අපි ඔහුගේ මඟ පෙන්වීම් මත රඳා සිටින්නෙමු. ඇත්තෙන්ම, දෙවි නිසි කාලයේදී ඔහුගේ ඇදහිලිවන්ත සේවකයන්ව පරිපූර්ණත්වයට ගෙනැවිත් සදාකාල ජීවනය නමැති ත්‍යාගය ලබා දෙන බවට වූ මවිතකර බලාපොරොත්තුව අපට තිබේ. (රෝම 6:23) ‘දෙවිට ළං වෙන්න, එවිට ඔහු නුඹලාට ළං වන්නේය’ කියා ශ්‍රාවක යාකොබ් ලීවේය. (යාකොබ් 4:8) යෙහෝවාට ළංව සිටීම නිසා ඔහු සමඟ ඇති ඔබේ සම්බන්ධතාව ශක්තිමත් වී තිබෙන බව ඔබට හැඟෙනවාද?

නිධානයකටත් වඩා වටියි

16. මුල් සියවසේ සිටි ඇතැම් ක්‍රිස්තියානීන් සිදු කළ වෙනස්කම් මොනවාද?

16 මුල් සියවසේ සිටි ආලේප ලත් ක්‍රිස්තියානීන්ගෙන් සමහරදෙනෙකු සත්‍යය දැනගැනීමට කලින් වේශ්‍යාකම්කරන්නන්, පරදාර සේවනයෙහි යෙදෙන්නන්, සමලිංගික සේවනයේ යෙදෙන්නන්, සොරුන්, ගිජු පුද්ගලයන්, බේබද්දන්, නින්දා කරන්නන් හා වංචාකාරයන්ව සිටි බව පාවුල් මතක් කර දුන්නේය. (1 කොරින්ති 6:9-11) එහෙත් බයිබලයේ සඳහන් සත්‍යය ඔවුන්ගේ ජීවිතවල මහත් පෙරළියක් කළේය. ඔවුන්ව ‘සෝදනු ලැබුවේය.’ නිදහස ලබා දෙන බයිබලයේ සඳහන් සත්‍යය ඔබ දැනගෙන නොසිටියා නම්, ඔබ කෙබඳු ආකාරයේ ජීවිතයක් ගත කරයිද කියා සිතා බලන්න. සත්‍යය නිධානයකටත් වඩා වටින බවට ඔබ එකඟ වෙනවාට සැකයක් නැත. යෙහෝවා අපට දැනුම සහ මඟ පෙන්වීම සැපයීම ගැන අප මොනතරම් සන්තෝෂ විය යුතුද!

17. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ක්‍රිස්තියානි රැස්වීම්වලදී ආත්මිකව පෝෂණය වී තිබෙන්නේ කෙසේද?

17 විවිධ ජාතීන්ගෙන් සමන්විත ලෝක ව්‍යාප්ත සහෝදර සංගමයක සාමාජිකයෙකු වීමෙන් අප ලබන ප්‍රීතිය ගැනද සිතා බලන්න. “විශ්වාසවූ නුවණ ඇති දාසයා” බයිබල්, සඟරා හා වෙනත් ප්‍රකාශන භාෂා බොහොමයකින් ප්‍රකාශයට පත් කරමින් නියම වේලාවට ආත්මික ආහාර සපයයි. (මතෙව් 24:45-47) බොහෝ රටවල සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවෝ වසර 2000 තුළ පැවැත්වූ දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවලට අයත් පොත් අටක විශේෂාංග සලකා බැලූහ. මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල ක්‍රිස්තියානි ජීවිතය හා ගුණාංග පිළිබඳව පළ වූ ලිපි බොහොමයක සඳහන් කරුණු ගැන මෙනෙහි කිරීමටද ඔවුන්ට අවස්ථාව ලැබිණ. එමෙන්ම ඔවුන් එම වසරේදී මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා යන පොතෙන් හතරෙන් එකක් පමණ හා දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න! නමැති පොත සම්පූර්ණයෙන්ම වාගේ අධ්‍යයනය කළේය. තවද පසුගිය අවුරුද්දේදී මුරටැඹ සඟරාවේ පළ වූ පාඩම් ලිපි 52ට අමතරව, තවත් අතිරේක ලිපි 36ක්ම සලකා බලන ලදි. එපමණක්ද නොව, අපගේ රාජ්‍ය සේවාවේ කලාප 12කින් හා විවිධ බයිබල් විෂයන් ගැන සතිපතා ඉදිරිපත් කළ ප්‍රසිද්ධ කථාවලින්ද යෙහෝවාගේ සෙනඟ ආත්මිකව පෝෂණය වූහ. මෙය මොනතරම් මහත් ආත්මික දැනුම් සම්භාරයක්ද!

18. ක්‍රිස්තියානි සභාවෙන් අපට උපකාරය ලැබෙන්නේ කිනම් ආකාරවලින්ද?

18 ලොව පුරා සභාවන් 91,000කට වඩා වැඩි ප්‍රමාණයක් තිබේ. මෙම සභාවල පැවැත්වෙන රැස්වීම් හා ඒවායේදී භුක්ති විඳින ඇසුර මගින් මඟ පෙන්වීම් මෙන්ම දිරිගැන්වීම් ලැබේ. අපට ආත්මිකව උපකාර කිරීමට නිතර සූදානමින් සිටින මේරූ ක්‍රිස්තියානීන්ගේ සහයද අපට ලබාගත හැක. (එපීස 4:11-13) ඔව්, සත්‍යය පිළිබඳව දැනුමක් ලැබීමෙන් අප ලබා තිබෙන ප්‍රයෝජන අතිවිශාලයි. යෙහෝවාව දැන හඳුනාගෙන ඔහුට සේවය කරන්න ලැබීම ඇත්තෙන්ම මහත් ප්‍රීතියකි. “යෙහෝවාව තමන්ගේ දෙවි කරගත් සෙනඟ සන්තෝෂවත්ය” කියා ගීතිකාකරු ලියූ වදන් මොනතරම් සැබෑද!—ගීතාවලිය 144:15NW.

ඔබට මතකද?

• ක්‍රිස්තියානි යුගයට කලින් යෙහෝවා දැනුම හා මඟ පෙන්වීම් සැපයුවේ කාටද?

• මුල් සියවසේදී ආත්මික ආලෝකය වඩ වඩා දීප්තිමත් වූයේ කෙසේද? නවීන කාලවලදී එය තව තවත් දීප්තිමත් වෙමින් තිබෙන්නේ කෙසේද?

• යෙහෝවා සපයන දැනුමට එකඟව ජීවත් වීමෙන් ලැබෙන ආශීර්වාද මොනවාද?

• දෙවි පිළිබඳව අප ලබන දැනුම ගැන අප ප්‍රීති වන්නේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[8, 9වන පිටුවේ පින්තූර]

යෙහෝවා ඔහුගේ කැමැත්ත නෝවාට, ආබ්‍රහම්ට හා මෝසෙස්ට දැන්නුවේය

[9වන පිටුවේ පින්තූරය]

මේ කාලයේදීද යෙහෝවා ඔහුගේ වචනයේ සඳහන් දේවල් අපට තේරුම් කර දෙයි

[10වන පිටුවේ පින්තූර]

විවිධ ජාතීන්ගෙන් සමන්විත ලෝක ව්‍යාප්ත සහෝදර සංගමයක සාමාජිකයෙකු වීමෙන් අප ලබන ප්‍රීතිය ගැන සිතා බලන්න