Skip to content

පටුනට යන්න

අත්නෑර අස්වැන්න නෙළීමෙහි හවුල් වන්න

අත්නෑර අස්වැන්න නෙළීමෙහි හවුල් වන්න

අත්නෑර අස්වැන්න නෙළීමෙහි හවුල් වන්න

“කඳුළු සහිතව වපුරන්නෝ ප්‍රීතියෙන් කපන්නෝය.”—ගීතාවලිය 126:5.

1. “ගොවියන් එවන ලෙස ගොයමේ ස්වාමියාට [යාච්ඤා කිරීම]” අදදිනත් අවශ්‍ය වන්නේ මන්ද?

 යේසුස් ගලීලයේ සිදු කළ තුන්වන දේශනා සංචාරයෙන් පසු සිය ගෝලයන්ට මෙසේ පැවසුවේය. “ගොයම නම් බොහෝය, නුමුත් ගොවියෝ ස්වල්ප දෙනෙක්ය.” (මතෙව් 9:37) යුදයේ පැවතියේද එවන් තත්වයකි. (ලූක් 10:2) එම දේශවල මෙවන් තත්වයක් පැවතියේ මීට අවුරුදු 2,000කට ආසන්න කාලයකට ඉහතදීය. එහෙත් අද තත්වය ගැන කුමක් කිව හැකිද? ලොව පුරා වෙසෙන 6,00,00,00,000ක් අතරේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් 60,00,000කට වැඩි පිරිසක්, පසුගිය සේවා වසරේදී අත්නෑර සංකේතමය අර්ථයකින් අස්වැන්න නෙළීමේ වැඩයේ හවුල් වූහ. ලෝක ජනගහනයෙන් වැඩි පිරිසක් සිටින්නේ “එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර [ගොසිනි].” මේ නිසා “[තමන්ගේ] ගොයම් කැපීමට ගොවියන් එවන ලෙස ගොයමේ ස්වාමියාට යාච්ඤාකරන්න” කියා යේසුස් කළ ඉල්ලීම එදා මෙන් අදත් කිරීමේ අවශ්‍යතාවක් තිබේ.—මතෙව් 9:36, 38.

2. අප ජනයාගේ අවධානයට ලක්වීමට හේතුව කුමක්ද?

2 තවත් ගොවියන් එවන්න කියා කරන ආයාචනයට ගොයමේ ස්වාමියා වන යෙහෝවා දෙවි උත්තර දී තිබේ. දෙවිගේ මඟ පෙන්වීම යටතේ සිදු වන අස්වැන්න නෙළීමේ වැඩයේ හවුල් වෙන්න ලැබීම මොනතරම් ප්‍රීතියක්ද! ලෝක ජනගහනය සමඟ සසඳන කල අප සංඛ්‍යාවෙන් සුළු පිරිසක් වුවත්, අප ජ්වලිතව හවුල් වී සිටින රාජ්‍යය දේශනා කිරීමේ හා ගෝලයන් සෑදීමේ වැඩය නිසා අප බොහෝදෙනෙකුගේ අවධානයට ලක් වී ඇත. රටවල් බොහොමයක නිතරම වාගේ අප ගැන ජන මාධ්‍යවල කතාබහට ලක් වේ. ඇතැම්විට රූපවාහිනියේ පෙන්වන ජවනිකාවක නිවසේ සීනුව නාද කරන අවස්ථාවකදී, ‘ඔන්න යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඇවිල්ලා’ වැනි ප්‍රකාශයන් ගෙවැසියන් පවසනවා දැකගත හැක. ආත්මික අර්ථයකින් අස්වැන්න නෙළන්නන් වශයෙන් අප හවුල් වී සිටින දේශනා කිරීමේ හා ඉගැන්වීමේ වැඩය නිසා මේ 21වන සියවසේ අපි ප්‍රසිද්ධ වී සිටින්නෙමු.

3. (අ) මුල් සියවසේද රාජ්‍යය දේශනා කිරීම ලෝකයාගේ අවධානයට යොමු වූ බව අප දන්නේ කෙසේද? (ආ) දේවසේවයේ නිරත වන විට දේවදූතයන් අපට සහය වෙනවා කියා පැවසිය හැක්කේ මන්ද?

3 පළමු සියවසේ රාජ්‍යය දේශනා කිරීමේ කාර්යයේ නිරත වී සිටි ශුභාරංචිය ප්‍රකාශකරන්නන්ද ලෝකයාගේ අවධානයට ලක් විය. එපමණක්ද නොව, ඔවුන්ට ලෝකයෙන් පැමිණි වධ හිංසාවලටද මුහුණ දීමට සිදු විය. මේ ගැන ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය. ‘ප්‍රේරිතයන් වන අප මරණයට නියම කරනු ලැබූවන් මෙන් අන්තිමයන් කොට දෙවි තබා තිබේ කියා සිතමි. මක්නිසාද, අපි [ප්‍රේරිතයන්] ලෝකයටත් දේවදූතයන්ටත් මනුෂ්‍යයන්ටත් ප්‍රදර්ශනයක් කරනු ලබමුව.’ (1 කොරින්ති 4:9) ප්‍රේරිතයන් හා සමානව රාජ්‍ය ප්‍රකාශකයන් වශයෙන් අපත් හිංසා පීඩා මැද අත්නෑර අස්වැන්න නෙළීමෙහි නිරත වන විට, අප ලෝකයාගේ අවධානයට ලක් වේ. එමෙන්ම අප අත්නෑර කරන සේවය දෙස දේවදූතයෝද බලා සිටිති. මේ ගැන ප්‍රේරිත යොහන් ලියූ වදන් එළිදරව් 14:6හි මෙසේ සඳහන් වේ. “පොළොවේ වසන්නන්ටත් සියලු ජාතීන්ටත් ගෝත්‍රයන්ටත් භාෂාවන්ටත් සෙනගටත් ප්‍රකාශකරන පිණිස, සදාකාල ශුභාරංචියක් ඇතුව සිටින තවත් දේවදූතයෙක් අහස මැද පියාසරකරනවා දුටිමි.” ඔව්, අප දේවසේවයේ නිරත වන විට, උපමාලංකාර භාෂාවෙන් පවසනවා නම් අස්වැන්න නෙළීමේ හවුල් වන විට, දේවදූතයන්ගේ සහය අපට ලැබේ.—හෙබ්‍රෙව් 1:13, 14.

‘වෛරයට පාත්‍ර වී’

4, 5. (අ) යේසුස් ඔහුගේ ගෝලයන්ට දුන් අනතුරු ඇඟවීම කුමක්ද? (ආ) මේ කාලයේ සිටින දෙවිගේ සේවකයන් ‘වෛරයට පාත්‍ර වී’ සිටින්නේ මන්ද?

4 අස්වැන්න නෙළන්නන් වශයෙන් යේසුස් සිය ප්‍රේරිතයන්ව පිටත් කර හැරිය අවස්ථාවේදී ඔවුන්ට මෙසේ උපදෙස් දුන්නේය. “සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න. නුමුත් මනුෂ්‍යයන්ගෙන් ප්‍රවේසම්වෙන්න. මක්නිසාද ඔවුන් නුඹලා මන්ත්‍රණසභාවලට පාවාදී, ඔවුන්ගේ සිනගෝගවලදී නුඹලාට තළනවා ඇත; ඔවුන්ටද අන්‍ය ජාතීන්ටද සාක්ෂියක් පිණිස නුඹලා මා නිසා ආණ්ඩුකාරයන්ද රජුන්ද ඉදිරියට ගෙනයනු ලබනවා ඇත. . . . නුඹලා මාගේ නාමය නිසා සියල්ලන් විසින් වෛරකරනු ලබන්නහුය. නුමුත් අන්තිම දක්වා ස්ථිරව [විඳදරාගෙන, NW] සිටින්නාම ගැළවෙන්නේය.”—මතෙව් 10:16-22.

5 අප ‘වෛරයට පාත්‍ර වී’ සිටින්නේ “මුළු ලෝකයා නපුරා තුළ” සිටින නිසාය. නපුරා වන සාතන් නමැති යක්ෂයා දෙවිගේ හා ඔහුගේ සෙනඟගේ ප්‍රධාන සතුරාය. (1 යොහන් 5:19) අපේ සතුරෝ අප භුක්ති විඳින ආත්මික සමෘද්ධිය දැක්කත්, එය යෙහෝවාගේ අනුබලය අපට තිබෙන බවට සාක්ෂියක් ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කරති. අප ප්‍රීතියෙන් අස්වැන්න නෙළීමේ වැඩයේ හවුල් වෙද්දී, අපේ මුහුණුවලින් දිස් වන සිනහව හා සතුට අපේ විරුද්ධවාදීන් දකියි. අපේ සමඟිය ගැන ඔවුහු මවිතයට පත් වෙති. ඔවුන් වෙනත් රටවල සංචාරය කරන විට, ඒ රටවල සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ද තමන්ගේ මව් රටේ සිටින සාක්ෂිකරුවන් කරන වැඩයම කරනවා දකිද්දී, අප අතර තිබෙන සමඟිය අකමැත්තෙන් හෝ පිළිගැනීමට ඔවුන්ට සිදු විය හැක. අපේ සමඟියේ උල්පත හා අපට අනුබලය සපයන තැනැත්තා යෙහෝවා බව නියමිත කාලයේදී අපේ සතුරන්ට දැනගන්න ලැබෙන බව අපි දනිමු.—එසකියෙල් 38:10-12, 23.

6. අස්වැන්න නෙළීමේ නිරත වෙද්දී අපට තිබෙන නිසැකකම කුමක්ද? එහෙත් මෙහිදී මතු වන ප්‍රශ්නය කුමක්ද?

6 ගොයමේ නොහොත් අස්වැන්නේ ස්වාමියා සිය පුත් යේසුස් ක්‍රිස්තුස්ට “ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය” දී තිබේ. (මතෙව් 28:18) මෙසේ යෙහෝවා අස්වැන්න නෙළීමේ වැඩය අධීක්ෂණය කිරීම සඳහා යේසුස්ව යොදවාගනියි. දේවදූතයෝ හා පොළොව මත සිටින “විශ්වාසවූ නුවණ ඇති දාසයා” එයට සහය වෙති. (මතෙව් 24:45-47; එළිදරව් 14:6, 7) එහෙත් සතුරන්ගෙන් එල්ල වන විරුද්ධවාදිකම්වලට සාර්ථකව මුහුණ දීමටත්, අත්නෑර අස්වැන්න නෙළීමේ වැඩයේ නිරත වෙමින් අපේ ප්‍රීතිය දිගටම පවත්වාගැනීමටත් අපට හැක්කේ කෙසේද?

7. අප විරුද්ධවාදිකම්වලට හා හිංසා පීඩාවලට ලක් වන විට වෑයම් කළ යුත්තේ කිනම් ආකල්පයක් ඇතුව සිටීමටද?

7 විරුද්ධවාදිකම්වලට හෝ හිංසා පීඩාවලට මුහුණ දීමට සිදු වන විට අපි සැමවිටම දෙවිගේ උපකාරය පතමින් පාවුල්ට තිබූ ආකල්පයට සමාන ආකල්පයක් ඇතුව සිටිමු. ඔහු මෙසේ ලීවේය. “නින්දා ලබන කල අපි ආශීර්වාදකරමුව; පීඩා ලබන කල අපි ඉවසමුව; අපකීර්තිය ලබන කල අපි අවවාද දෙමුව [අයදින්නෙමු, NW].” (1 කොරින්ති 4:12, 13) මෙවන් ආකල්පයක් විදහාපෙන්වීමෙන් හා දේවසේවයේදී උපායශීලී වීමෙන් ඇතැම් අවස්ථාවලදී අපට විරුද්ධවාදිකම් එල්ල කරන අයගේ ආකල්ප වෙනස් කළ හැක.

8. මතෙව් 10:28හි සඳහන් යේසුස්ගේ වදන් අපේ බිය සැක දුරු කරන්නේ කෙසේද?

8 අස්වැන්න නෙළන්නන් වශයෙන් අපගේ ජ්වලිතය නිවා දමන්න මරණ තර්ජනවලට පවා නොහැක. අපි හැකි සෑම අවස්ථාවකදීම රාජ්‍ය පණිවිඩය ප්‍රසිද්ධියේ නිර්භීතව ප්‍රකාශ කරන්නෙමු. යේසුස් පැවසූ බිය සැක දුරු කරන මෙම වදන් අපට මහත් දිරියක් වේ. “ශරීරය නසන නුමුත් ආත්මය නසන්ට නුපුළුවන්වූ අයවලුන්ට භය නොවෙන්න. එහෙත් ආත්මයද ශරීරයද නිරයෙහි විනාශකරන්ට පුළුවන් [තැනැත්තාටම] භයවෙන්න.” (මතෙව් 10:28) ජීවිතයේ උල්පත අපේ ස්වර්ගික පියා බව අපි දනිමු. ඔහුට අඛණ්ඩව සේවය කරමින් අත්නෑර අස්වැන්න නෙළීමේ වැඩයෙහි විශ්වාසවන්තව හවුල් වන අයට ඔහු මහඟු විපාක දෙනු ඇත.

දිවි ගළවන පණිවිඩයක්

9. සමහරුන් එසකියෙල් පැවසූ දේවලට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? අදදිනත් ඒ හා සමාන දෙයක් සිදු වෙමින් පවතින්නේ කෙසේද?

9 අනාගතවක්තෘ එසකියෙල් යෙහෝවාගෙන් ලැබුණු පණිවිඩ ‘කැරලිකාර ජාතීන්ට,’ එනම් ඉශ්‍රායෙල් හා යූදා රාජ්‍යවල විසූවන්ට නිර්භීතව ප්‍රකාශ කළ කාලයේදී, ඔහු පවසන්නේ කුමක්ද කියා දැනගැනීමට සමහරු කැමති වූහ. (එසකියෙල් 2:3) මේ ගැන යෙහෝවා මෙසේ පැවසුවේය. “නුඹ වනාහි මිහිරි හඬක් ඇත්තාවූ හොඳට ගායනා කරන කෙනෙකුගේ ප්‍රේම ගීයක් මෙන් ඔවුන්ට සිටියි.” (එසකියෙල් 33:32) එසකියෙල් පැවසූ දේවලට සවන් දීමට කැමති වුවත්, ඒවා තම ජීවිතවලට අදාළ කරගැනීමට ඔවුහු අසමත් වූහ. අපගේ කාලයේදී සිදු වන්නේ කුමක්ද? ආලේප ලත් අයගේ ඉතිරි කොටස සහ ඔවුන්ගේ වැඩකටයුතුවලට අත හිත දෙන්නන් ධෛර්යය සම්පන්නව යෙහෝවාගේ පණිවිඩ ප්‍රකාශ කරන විට, දෙවිගේ රාජ්‍යයෙන් ලැබෙන ආශීර්වාද ගැන පවසන දේට සවන් දීමට ඇතමුන් කැමති වුවත්, අගය කිරීමෙන් යුක්තව පණිවිඩය පිළිගනිමින් ගෝලයන් වී අප සමඟ අස්වැන්න නෙළීමේ වැඩයට හවුල් වීමට ඔවුන් කැමති නැත.

10, 11. අප ජනයා වෙත රැගෙන යන දිවි ගළවන පණිවිඩය ප්‍රසිද්ධ කිරීම සඳහා විසිවන සියවසේ මුල්භාගයේදී යොදාගත් ක්‍රම මොනවාද? එයින් ලැබූ ප්‍රතිඵල මොනවාද?

10 අනිත් අතට, තවත් බොහෝදෙනෙක් අස්වැන්න නෙළීමේ වැඩයට හොඳ ප්‍රතිචාරයක් දක්වා, දෙවිගේ පණිවිඩ ප්‍රකාශ කිරීමෙහි හවුල් වීමට පියවර ගෙන ඇත. වර්ෂ 1922 සිට 1928 දක්වා පවත්වන ලද සමුළුවලදී, සාතන්ගේ දුෂ්ට ක්‍රමය මත පැමිණෙන විනිශ්චය ගැන පැහැදිලිව ප්‍රකාශ කරන ලදි. එම සමුළුවලදී සාතන්ගේ දුෂ්ට ක්‍රමය ගැන කරන ලද හෙළා දැකීම් ගුවන් විදුලි මධ්‍යස්ථාන මගින් විකාශනය කරනු ලැබීය. පසුව දෙවිගේ සෙනඟ විසින් එම හෙළා දැකීම් ඇතුළත් පත්‍රිකා දශලක්ෂ ගණනක් බෙදාහරින ලදි.

11 සාක්ෂි දැරීමේ තවත් ක්‍රමයක් 1930 ගණන්වල අගභාගයේදී හඳුන්වා දෙන ලදි. එම ක්‍රමය වූයේ විශේෂ පණිවිඩ හා නිවේදන ඇතුළත් පුවරු එල්ලාගෙන වීදිවල ගමන් කිරීමයි. මුලින්ම යෙහෝවාගේ සෙනඟ කළේ ප්‍රසිද්ධ කථා මහජනයාට නිවේදනය කරන කුඩා දැන්වීම් පුවරු බෙල්ලේ හෝ පිටේ එල්ලාගෙන පාරවල්වල සිටීමයි. කලකට පසු ඔවුහු “ආගම මලපතකි, ප්‍රයෝගයකි” සහ “දෙවිට හා රජු වන ක්‍රිස්තුස්ට සේවය කරන්න” යන පාඨ ලියා තිබූ පුවරු එල්ලාගෙන වීදිවල ගමන් කළහ. එසේ ඔවුන් වීදිවල ගමන් කරන විට, එම පාඨ ඒ අසලින් ගමන් කරන්නන්ගේ අවධානයට යොමු විය. ‘යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව මහජනයාගේ අවධානයට වැඩි වැඩියෙන් යොමුවීමට එම ක්‍රමය හේතු වුණා. ඒ වගේම එයින් ඔවුන් තුළ නිර්භීතකමද වර්ධනය වුණා’ කියා ලන්ඩනයේ කාර්ය බහුල වීදියක මෙම සේවයේ නිතිපතා හවුල් වූ සහෝදරයෙක් පැවසුවේය.

12. දෙවිගේ විනිශ්චය පණිවිඩවලට අමතරව, අප දේවසේවයේදී ජනයාගේ අවධානයට ලක් කරවන්නේ වෙන කුමක්ද? මේ කාලයේ ශුභාරංචිය දේශනා කිරීමේදී එක්සත්ව සේවය කරන්නේ කවුද?

12 අපි දෙවිගේ විනිශ්චය පණිවිඩය ප්‍රකාශ කරන අතරතුර රාජ්‍යයේ ආශීර්වාදද ජනයාගේ අවධානයට යොමු කරවන්නෙමු. නිර්භීතව සාක්ෂි දැරීමෙන් සුදුස්සන්ව සෙවීම දිගටම කරගෙන යෑමට අපට හැක. (මතෙව් 10:11) ආලේප ලත් කණ්ඩායමේ අවසන් සාමාජිකයන් බොහෝදෙනෙක් 1920 ගණන්වලදී හා 1930 ගණන්වලදී අස්වැන්න නෙළීමෙහි හවුල් වන්න කියා කළ පැහැදිලි ඇරයුමට හොඳ ප්‍රතිචාරයක් ලැබිණ. පසුව 1935දී පවත්වන ලද සමුළුවකදී, පාරාදීස පොළොවක ජීවත් වීමේ අපේක්ෂාව තිබෙන ‘වෙනත් බැටළුවන්ගෙන්’ සමන්විත “මහත් සමූහයක්” සඳහා ඇති සන්තෝෂවත් අනාගතයක් පිළිබඳ අපූර්ව පණිවිඩයක් ප්‍රකාශ කරන ලදි. (යොහන් 10:16; එළිදරව් 7:9) ඔවුහුද දෙවිගේ විනිශ්චය පණිවිඩවලට යහපත් ප්‍රතිචාරයක් දක්වා දිවි ගළවන ශුභාරංචිය දේශනා කිරීමේදී ආලේප ලත් අය සමඟ එක්සත්ව සේවය කරති.

13, 14. (අ) ගීතාවලිය 126:5, 6හි සඳහන් වදන්වලින් ලබාගත හැක්කේ කිනම් ආකාරයේ සැනසිල්ලක්ද? (ආ) අප දිගටම බීජ වපුරමින් වතුර දමනවා නම්, එහි ප්‍රතිඵලය කුමක් වනු ඇද්ද?

13 ගීතාවලිය 126:5, 6හි මෙසේ සඳහන් වේ. “කඳුළු සහිතව වපුරන්නෝ ප්‍රීතියෙන් කපන්නෝය. ඔහු බීජ මල්ල රැගෙන හඬමින් පිටත්ව යන්නේ නුමුත්, තමාගේ ගොයම් මිටි රැගෙන ප්‍රීතියෙන් එන්නේය.” එම වදන් දෙවිගේ අස්වැන්න නෙළන්නන්ට, විශේෂයෙන්ම හිංසා පීඩා මැද සිටින දෙවිගේ සේවකයන්ට මහත් සහනයකි. බීජ වැපිරීම හා අස්වැන්න නෙළීම ගැන සඳහන් ගීතිකාකරුගේ එම විචිත්‍රවත් වදන්වලින් පැහැදිලි කෙරෙන්නේ, බබිලෝනියේ වහල්භාවයෙන් නිදහස ලබා ආපසු සිය මව් බිමට පැමිණි අය කෙරෙහි යෙහෝවා දක්වන සැලකිල්ල හා ඔහු ඔවුන්ට ලබා දෙන ආශීර්වාද ගැනය. නිදහස ලැබූ අවස්ථාවේදී ඔවුන්ට ඉමහත් ප්‍රීතියක් දැනුණත්, වසර 70ක් විදේශීය රටක වහල්භාවයේ සිටි කාලයේදී පාළුවට ගොස් තිබූ තම මව් බිමේ නැවත වගා කරද්දී මුහුණ පෑමට සිදු වූ දුෂ්කරතා නිසා ඔවුන්ගේ දෙනෙත්වලින් කඳුළු ගලා එන්නට ඇත. කෙසේවෙතත්, දුෂ්කරතා මැද අත්නෑර වගා කළ අය හා නොයෙක් ඉදි කිරීම් කටයුතුවල හවුල් වූ අය කලකට පසු තමන්ගේ මහන්සියේ ප්‍රතිඵල දකින විට, මහත් සතුටක් ලැබූහ.

14 සමහරවිට අප හෝ අපේ සෙසු සහෝදර සහෝදරියන් පීඩාවලට මුහුණ දෙන විට හා ධර්මිෂ්ඨකම නිසා දුක් විඳින විට අපේ දෙනෙත්වලින් කඳුළු ගලා ආ හැක. (1 පේතෘස් 3:14) අප අස්වැන්න නෙළීමේ හවුල් වූ මුල් කාලයේදී දේවසේවය සඳහා දැරූ වෑයම්වලට සරිලන ප්‍රතිඵල නොලැබීම නිසා, සමහරවිට ඒ කාලය දුෂ්කර කාලයක් මෙන් අපට දැනුණා විය හැක. එහෙත් අප දිගටම බීජ වපුරමින් වතුර දමනවා නම්, දෙවි වර්ධනය දේ. බොහෝ අවස්ථාවලදී අප අපේක්ෂා කළාටත් වඩා මහත් වර්ධනයක් ඔහු ලබා දෙන්නේය. (1 කොරින්ති 3:6) බයිබල් සහ එය මත පදනම් ප්‍රකාශන බෙදාහැරීමෙන් අප ලබා තිබෙන ප්‍රතිඵලවලින් ඒ බව මනාව පැහැදිලි වේ.

15. අස්වැන්න නෙළීමේ වැඩයේදී ක්‍රිස්තියානි ප්‍රකාශන භාවිත කිරීමෙන් යහපත් ප්‍රතිඵල අත් වන බවට උදාහරණයක් සපයන්න.

15 ජිම්ගේ අද්දැකීම සලකා බලන්න. ඔහුගේ මව මිය යෑමෙන් දවස් කිහිපයකට පසු, ඇය සතුව තිබූ දේවල් අතරින් පොතක් සොයාගැනීමට ඔහුට හැකි විය. එම පොතේ නම වූයේ ජීවය—පැමිණියේ කෙසේද? පරිණාමයෙන්ද නැතහොත් මැවීමෙන්ද? යන්නයි. a ඔහු මහත් ආශාවෙන් එය කියෙව්වේය. පසු අවස්ථාවක, වීදියේදී සාක්ෂිකාරියක් ඔහු ළඟට පැමිණ ඔහුට සාක්ෂි දැරූ අතර, ඇය සමඟ ටික වේලාවක් සාකච්ඡා කිරීමෙන් පසු, නැවත බැලීමකට ඔහු එකඟ විය. පසුව බයිබල් පාඩමක් පටන්ගන්නා ලදි. ජිම් ඉක්මනින් ආත්මිකව වර්ධනය වී යෙහෝවාට තම ජීවිතය කැප කිරීම බව්තීස්මයෙන් සංකේතවත් කළේය. තමා ඉගෙනගත් දේවල් ගැන ඔහු පවුලේ සාමාජිකයන්ටද පැවසුවේය. මෙහි ප්‍රතිඵලයක් හැටියට, ඔහුගේ වැඩිමල් සොහොයුරිය හා සොහොයුරාද යෙහෝවාගේ සාක්ෂිකරුවන් වූහ. පසු කාලයේදී ජිම්ට පූර්ණ කාලීන සේවකයෙකු වශයෙන් ලන්ඩනයේ පිහිටි බෙතෙල් නිවසේ සේවය කිරීමේ වරප්‍රසාදය භුක්ති විඳීමට හැකි විය.

හිංසා පීඩා මැද ප්‍රීතියෙන්

16. (අ) අස්වැන්න නෙළීමේ වැඩය සාර්ථක වීමට හේතුව කුමක්ද? (ආ) ශුභාරංචිය නිසා උද්ගත වන තත්වයන් ගැන යේසුස් දුන් අනතුරු ඇඟවීම කුමක්ද? එහෙත් අප ජනයා සමඟ ශුභාරංචිය ගැන කතා කිරීමේදී තිබිය යුත්තේ කිනම් ආකල්පයක්ද?

16 අස්වැන්න නෙළීමේ වැඩයෙහි එවන් සාර්ථකත්වයක් ලැබීමට හේතුව කුමක්ද? මෙයට හේතුව ආලේප ලත් ක්‍රිස්තියානීන් හා ඔවුන්ගේ සහයකයන් යේසුස්ගේ මෙම උපදේශය පිළිපැදීමයි. “මා විසින් නුඹලාට අඳුරේදී කියන දේ නුඹලා එළියේදී කියන්න. නුඹලාගේ කනට රහසේ ඇසෙන දේ ගෙවල් උඩදී ප්‍රකාශකරන්න.” (මතෙව් 10:27) කෙසේවෙතත්, යේසුස් කළ අනතුරු ඇඟවීමෙන් පැහැදිලි වන්නාක් මෙන් එය කිරීමේදී දුෂ්කරතාවලට මුහුණ දීමට අපට සිදු වේ. ඔහු මෙසේ කීවේය. “තවද සහෝදරයා සහෝදරයාද පියා තමාගේ දරුවාද මරණයට පාවාදෙන්නෝය. දරුවෝද මවුපියන්ට විරුද්ධව නැගිට ඔවුන් මරණයට පත්කරවන්නෝය. පොළොවෙහි සමාදානය දෙන්ට මම ආවෙමියි නොසිතන්න. සමාදානය නොව කඩුවක් දෙන්ට ආවෙමි.” (මතෙව් 10:21, 34) යේසුස් හිතාමතාම පවුල් භේද කරවීමට කිසිවිටකත් සිතුවේ නැත. එහෙත් ඇතැම් අවස්ථාවලදී ශුභාරංචිය නිසා එවන් බෙදීම් ඇති වී තිබේ. අදදින සිටින දෙවිගේ සේවකයෝද යේසුස් පැවසූ එම වදන්වල සත්‍යතාව අද්දකිති. අප පවුලක් සමඟ සත්‍යය ගැන කතා කරන විට, අපේ අරමුණ වන්නේ එම පවුලේ සාමාජිකයන් අතර භේද ඇති කරවීම නොවේ. අපේ ආශාව පවුලේ සියලුදෙනාම ශුභාරංචිය සතුටින් පිළිගන්නවා දැකීමයි. එමනිසා, අපි කාරුණික හා මිත්‍රශීලී ලෙස පවුලේ සෑම සාමාජිකයෙකු සමඟම ශුභාරංචිය ගැන කතා කිරීමට වෙර දරන්නෙමු. එසේ කරන විට “සදාකාල ජීවනයට නිසි නැඹුරුවාවක් දක්වන” අයට අපේ පණිවිඩය සිත්ගන්නාසුලු එකක් වනු ඇත.—ක්‍රියා 13:48NW.

17. දෙවිගේ පරමාධිපත්‍යය පිළිගන්න අය වෙනස් සෙනඟක් වන්නේ කෙසේද? මෙයට උදාහරණයක් සපයන්න.

17 දෙවිගේ පරමාධිපත්‍යය පිළිගන්න අයව රාජ්‍ය පණිවිඩය මගින් වෙනස් සෙනඟක් ලෙස වෙන් කර දක්වයි. උදාහරණයක් හැටියට, ජර්මනියේ සමාජවාදී පාලනයක් පැවති කාලයේදී අපේ සෙසු ඇදහිලිවන්තයන් ‘කායිසර්ගේ දේ කායිසර්ටත් දෙවිගේ දේ දෙවිටත් දීම’ නිසා ඔවුන් වෙනස් සෙනඟක් බව පැහැදිලිව දැකගත හැකි විය. (ලූක් 20:25) ක්‍රිස්තියානි ලෝකයේ ආගම්වලට අයත් ආගමික නායකයන් හා නාමික ක්‍රිස්තියානීන් ක්‍රියා කළ ආකාරයට වෙනස්ව, යෙහෝවාගේ සේවකයෝ බයිබල් ප්‍රතිපත්ති කඩ කිරීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළහ. ඔවුන්ගේ ස්ථාවරය කිසිවෙකුට බිඳහෙළිය නොහැකි විය. (යෙසායා 2:4; මතෙව් 4:10; යොහන් 17:16) නාට්සි රජය සහ අලුත් ආගම් නමැති පොතේ කර්තෘවරිය වන මහාචාර්ය ක්‍රිස්ටීන් කිං මෙසේ අදහස් පළ කළාය. “[නාට්සි] ආණ්ඩුවට නැවැත්වීමට නොහැකි එකම ආගමික කණ්ඩායම සාක්ෂිකරුවන් පමණි. දහස් ගණනින් ඔවුන්ව මරා දැමුවත් ඔවුන්ගේ සේවය දිගටම සිදු වූ අතර, 1945 මැයි මාසයේදී ජාතික සමාජවාදී ආණ්ඩුව සම්පූර්ණයෙන්ම බිඳ වැටුණත්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු අඛණ්ඩව ඒ වන විටත් ඉදිරියටම ඇදී යමින් තිබිණ.”

18. යෙහෝවාගේ සෙනඟ හිංසා පීඩා මැද විදහාපෙන්වන්නේ කිනම් ආකල්පයක්ද?

18 හිංසා පීඩා මැද යෙහෝවාගේ සෙනඟ විසින් විදහාපෙන්වනු ලබන ආකල්පය සැබවින්ම සුවිශේෂීය. ඇතැම් බලධාරීන් අපේ ඇදහිල්ල අගය කරමින් කතා කරන අතර, අපට හිංසා පීඩා කළ අයට අප වෛර නොකිරීම ගැන ඔවුහු පුදුම වෙති. උදාහරණයක් හැටියට, නාට්සි සමූලඝාතනයෙන් බේරී ජීවත් වූ සාක්ෂිකරුවන් ඔවුන්ගේ අතීත අද්දැකීම ගැන කතා කරන විට ඔවුන්ගේ මුහුණුවලින් දිස් වන්නේ ප්‍රීතියකි. යෙහෝවා ඔවුන්ට “සාමාන්‍යය ඉක්මවූ බලය” දුන් බව ඔවුහු දනිති. (2 කොරින්ති 4:7NW) එමෙන්ම තමන්ගේ “නාම ස්වර්ගයෙහි ලියා තිබෙන” බවට සහතිකයක්ද අප අතර සිටින ආලේප ලත් අයට තිබේ. (ලූක් 10:20) ඔවුන්ගේ විඳදරාගැනීම නිසා කිසිදා කඩ නොවන බලාපොරොත්තුවක් ඔවුන්ට තිබේ. විශ්වාසවන්තව අස්වැන්න නෙළීමේ වැඩයෙහි හවුල් වන පොළොව මත සදාකල් ජීවත් වීමේ අපේක්ෂාවෙන් සිටින අයටද තම බලාපොරොත්තුව කඩ නොවන බවට දැඩි විශ්වාසයක් තිබේ.—රෝම 5:4, 5.

අත්නෑර අස්වැන්න නෙළන්න

19. බලපෑමෙන් යුක්තව දේවසේවයේ නිරත වන ක්‍රම මොනවාද?

19 අස්වැන්න නෙළීමට යෙහෝවා අපට තව කොපමණ කාලයක් ඉඩහරියිද කියා අපට කිව නොහැක. අස්වැන්න නෙළීමේදී ගොවියන් විවිධ ක්‍රම යොදාගන්නාක් මෙන් අපද විවිධ ක්‍රම යොදාගනිමින් යෙහෝවා ඉඩ දෙන තාක් කල් අත්නෑර අස්වැන්න නෙළීමේ හවුල් විය යුතුය. දේශනා කිරීමේදී සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන තිබෙන එම ක්‍රම යොදාගැනීමෙන් හොඳ අස්වැන්නක් අපට නෙළාගත හැකි බව අපට සහතික විය හැක. පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ට මෙසේ පැවසුවේය. “මා ආදර්ශයට ගන්නන් වන ලෙස නුඹලාගෙන් ඉල්ලමි.” (1 කොරින්ති 4:16) තමන් ‘ප්‍රසිද්ධියේද ගෙයින් ගෙටද’ ඔවුන්ට ඉගැන්වීමෙන් වැළකී නොසිටි බව පාවුල් එපීසයේ මිලේතසයේදී වැඩිමහල්ලන් සමඟ රැස් වූ අවස්ථාවේදී මතක් කර දුන්නේය. (ක්‍රියා 20:20, 21) පාවුල්ගේ කිට්ටු ආශ්‍රිතයෙකු වූ තිමෝති ඔහුගේ ඉගැන්වීමේ ක්‍රම හොඳින් දැන සිටියේය. එමනිසා එම ක්‍රම ගැන කොරින්තිවරුන්ව දැනුවත් කිරීමට තිමෝතිට හැකි විය. (1 කොරින්ති 4:17) පාවුල්ගේ ඉගැන්වීමේ ක්‍රමවලට දෙවි ආශීර්වාද කළේය. එසේම අපත් ප්‍රසිද්ධියේ ගෙයින් ගෙට යද්දී, නැවත බැලීම් කරද්දී හා නිවාස බයිබල් පාඩම් පවත්වද්දී මෙන්ම ජනයා හමු වන වෙන ඕනෑම තැනකදී අත්නෑර දේශනා කරද්දී, දෙවි අපටත් ආශීර්වාද කරන බව නිසැකයි.—ක්‍රියා 17:17.

20. මහත් අස්වැන්නක් නෙළීමට තිබෙන බව යේසුස් පෙන්වා දුන්නේ කෙසේද? පසුගිය වසර කිහිපයේදී එය සැබෑවක් වී තිබෙන්නේ කෙසේද?

20 යේසුස් පො.යු. 30දී සිඛාර් නම් නුවරට කිට්ටුව පිහිටි ප්‍රදේශයකදී හමු වූ සමාරිතානු ස්ත්‍රියකට සාක්ෂි දැරීමෙන් පසු, ආත්මික අර්ථයකින් යුත් අස්වැන්න නෙළීමක් ගැන කතා කරමින් සිය ගෝලයන්ට මෙසේ පැවසුවේය. “නුඹලාගේ ඇස් ඔසවා කුඹුරු දෙසට යොමා, ගොයම් දැනටම කැපීමට පැහී තිබෙන බව බලන්න. වපුරන්නාත් කපන්නාත් එක්ව සන්තෝෂවන පිණිස, කපන්නා කුලී ලැබ සදාකාල ජීවනයට අස්වැන්න එකතුකරගන්නේය.” (යොහන් 4:34-36) සමාරිතානු ස්ත්‍රියට සාක්ෂි දැරීමේ ප්‍රතිඵලයක් වශයෙන් බොහෝදෙනෙක් යේසුස් කෙරෙහි ඇදහිල්ල ගොඩනඟාගනිමින් සිටියහ. මෙසේ තමන්ට අනපේක්ෂිත ලෙස හමු වූ ඒ ස්ත්‍රියට සාක්ෂි දැරීමේ ප්‍රතිඵල යේසුස් එම වදන් පවසන විටත් දැක තිබුණා විය හැක. (යොහන් 4:39) පසුගිය වසර කිහිපයේදී බොහෝ රටවල් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට පනවා තිබූ තහංචි ඉවත් කිරීම නිසා හෝ නීතිමය පිළිගැනීම සාක්ෂිකරුවන්ට ලැබීම නිසා අලුත් ප්‍රදේශවල අස්වැන්න නෙළීමට අලුත් ප්‍රස්තාවන් උදා වී තිබේ. මේ නිසා දැන් මහත් අස්වැන්නක් එකතු කෙරේ. අත්නෑර අස්වැන්න නෙළීමේ වැඩයේ ප්‍රීතියෙන් හවුල් වීම නිසා ලොව පුරා දෙවිගේ සෙනඟ මහත් ආශීර්වාද අද්දකිමින් සිටී.

21. ප්‍රීතිමත් ගොවියන් වශයෙන් අස්වැන්න නෙළීමෙහි දිගටම හවුල් වීමට තිබෙන හේතු මොනවාද?

21 ගොයම් හොඳින් පැසී තිබෙන විට ගොවියන් හදිසිතාවේ හැඟීමෙන් යුතුව, කල් නොදමා කඩිසරව කුඹුරුවල වැඩ කළ යුතුය. අප ජීවත් වෙමින් සිටින්නේ ‘අන්තිම කාලයේ’ නිසා හදිසිතාවේ හැඟීමෙන් යුතුව අපත් කඩිසරව වැඩ කළ යුතුය. (දානියෙල් 12:4) එසේ කරද්දී නොයෙකුත් හිංසා පීඩාවලට මුහුණ දීමට අපට සිදු වේ. එහෙත් අනාගතයේදී යෙහෝවාට නමස්කාර කිරීමට පැමිණෙන අයගෙන් සමන්විත මහත් අස්වැන්නක් නෙළීමට තිබේ. මෙයින් පැහැදිලි වන්නේ අප ජීවත් වන්නේ ප්‍රීතිමත් කාලයක බවයි. (යෙසායා 9:3) එසේනම්, ප්‍රීතිමත් ගොවියන් මෙන් අපි අත්නෑර අස්වැන්න නෙළීමෙහි හවුල් වෙමු.

[පාදසටහන]

a මෙම පොත ප්‍රකාශයට පත් කොට බෙදාහරිනු ලබන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසිනි. එය සිංහලෙන් නොමැත.

ඔබ උත්තර දෙන්නේ කෙසේද?

තවත් ගොවියන් එවන ලෙස කළ ආයාචනයට ගොයමේ ස්වාමියා ප්‍රතිචාරය දක්වා තිබෙන්නේ කෙසේද?

අප ‘වෛරයට පාත්‍ර’ වුවත් දිගටම විදහාපෙන්විය යුත්තේ කිනම් ආකල්පයක්ද?

හිංසා පීඩාවලට මුහුණ දුන්නත් අප ප්‍රීතියෙන් සිටින්නේ මන්ද?

හදිසිතාවේ හැඟීමෙන් යුතුව අප දිගටම අස්වැන්න නෙළීමෙහි අප හවුල් විය යුත්තේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[16, 17වන පිටුවේ පින්තූර]

ආත්මික අර්ථයෙන් යුත් අස්වැන්න නෙළීමෙහි හවුල් වන අයට දේවදූතයන්ගේ සහයෝගය ලැබේ

[18වන පිටුවේ පින්තූරය]

විශේෂ පණිවිඩ ඇතුළත් පුවරු එල්ලාගෙන වීදිවල ගමන් කිරීම නිසා බොහෝදෙනෙකුගේ අවධානය රාජ්‍ය පණිවිඩය කෙරෙහි යොමු විය

[18වන පිටුවේ පින්තූරය]

අපි සිටුවමින් වතුර වත් කරන්නෙමු. නමුත් වර්ධනය දෙන්නේ දෙවිය