‘ආශීර්වාද ලැබෙන්නේ ධර්මිෂ්ඨයන්ටය’
‘ආශීර්වාද ලැබෙන්නේ ධර්මිෂ්ඨයන්ටය’
“මම යෞවනව සිටියෙමි, දැන් මහලුව සිටිමි; එසේවී නුමුත් ධර්මිෂ්ඨයා අත්හරිනු ලැබූ බවවත්, ඔහුගේ වංශය කෑම සිඟන බවවත් නුදුටිමි” කියා ගීතිකාකාර දාවිත් තම මහලු වියේදී පැවසීය. (ගීතාවලිය 37:25) යෙහෝවා දෙවි ධර්මිෂ්ඨ අයට ප්‍රිය කරන අතර ඔවුන්ව ආදරයෙන් රැකබලා ගනියි. ඔහුගේ වචනය වන බයිබලය තුළ සැබෑ නමස්කාරකයන්ට ධර්මිෂ්ඨකම සොයන මෙන් දිරිගන්වා තිබේ.—ශෙපනියා 2:3.
ධර්මිෂ්ඨකම යනු හරි වැරැද්ද පිළිබඳ දෙවිගේ ප්‍රමිතිවලට අනුකූලව කටයුතු කිරීමය. දෙවිගේ කැමැත්ත කිරීමට දිරිගන්වනු වස්, හිතෝපදේශ 10වන පරිච්ඡේදයෙහි එසේ කරන්නන්ට ලැබෙන ආත්මික ආශීර්වාදයන් කැපීපෙනෙන්ට සලස්වා තිබේ. මෙම ආශීර්වාදයන්ගෙන් සමහරක් නම් ආත්මිකව පෝෂණය කරන ආහාර බහුලව සැපයීම, ප්‍රයෝජනදායක හා තෘප්තිමත් වැඩ මෙන්ම දෙවි සහ මනුෂ්‍යයන් සමඟ හොඳ සබඳතාවක් ඇති කරගැනීම වැනි දෑයි. අපි දැන් හිතෝපදේශ 10වන පරිච්ඡේදයේ 1 සිට 14 දක්වා ඡේද විග්‍රහ කර බලමු.
කදිම දිරිගැන්වීමක්
පරිච්ඡේදයේ ආරම්භක වදන්වලින් එය ලියූ ලේඛකයාව හඳුනාගත හැකියි. එහි පවසන්නේ “සාලමොන්ගේ හිතෝපදේශය” කියායි. හරි දේ කිරීමට දිරිගන්වමින් සාලමොන් රජ මෙසේ පවසයි. “ඥානවන්ත පුත්‍රයෙක් පියා ප්‍රීතිකරන්නේය; එහෙත් අඥාන පුත්‍රයෙක් තමාගේ මවුට ශෝකයක්ය.”—හිතෝපදේශ 10:1.
තම දරුවන් සැබෑ මෙන්ම ජීවමාන දෙවියන්ට කරන නමස්කාරය අත්හැර දමන විට දෙමාපියන්ට දැනෙන වේදනාව කියා නිම කළ නොහැකියි. ප්‍රඥාවන්ත රජ මවකගේ වේදනාව ගැන විශේෂයෙන්ම සඳහන් කරන්නේ සමහරවිට පියෙකුට වඩා මවක් වැඩියෙන් දුක් වෙන බව ඇඟවීමට විය හැකියි. ඩොරිස් සම්බන්ධයෙන් බලන විට මෙය සැබෑවක් බව පෙනේ. a ඇය මෙසේ පැවසුවාය. “අවුරුදු 21ක් වයසැති අපේ පුතා සත්‍යය අත්හැර යනකොට මගේ මහත්තයා, ෆ්‍රෑන්ක්ටයි මටයි දැනුණ දුක වචනයෙන් කියන්න බැහැ. ෆ්‍රෑන්ක්ට වඩා මගේ හිතට විශාල දුකක් දැනුණා. අවුරුදු දොළහක් ගත වෙලත් අපේ දුක තවම තුනී වෙලා නැහැ.”
දරුවන් ගන්නා යම් ක්‍රියාමාර්ග සමහරවිට පියෙකුගේ ප්‍රීතියට දායක විය හැකි අතර මවකගේ හෘද වේදනාවට හේතු විය හැකියි. එමනිසා, අප ප්‍රඥාවන්තව කටයුතු කරමින් අපගේ දෙමාපියන්ට ප්‍රීතිය ගෙන දෙමු. ඊටත් වඩා වැදගත්ම දෙය වන්නේ එමගින් අපේ ස්වර්ගික පියා වන යෙහෝවා දෙවිගේ හෘදය සතුටු කිරීමයි.
‘ධර්මිෂ්ඨයා කුසගින්නේ සිටින්නේ නැත’
“දුෂ්ටකමේ වස්තුවලින් උපකාරයක් නොලැබේ; එහෙත් ධර්මිෂ්ඨකම මරණයෙන් ගළවයි” කියා රජතෙම තවදුරටත් පවසයි. (හිතෝපදේශ 10:2) අන්තිම දවස්වල ජීවත් වන සැබෑ ක්‍රිස්තියානීන්ට මෙම වචන ඇත්තෙන්ම අනර්ඝයි. (දානියෙල් 12:4) මන්ද අභක්තික ලෝකය මත පැමිණෙන විනාශය තිබෙන්නේ පෙනෙන මායිමේයි. මනුෂ්‍යයා විසින් ආරක්ෂාව සපයාගැනීමට සොයන ද්‍රව්‍යමය දේවල්, මිල මුදල් හෝ හමුදා බල ශක්තිය, පැමිණෙන ‘මහත් පීඩාවෙදී’ අපට ආරක්ෂාවක් සපයන්නේ නැත. (එළිදරව් 7:9, 10, 13, 14) ‘දේශයෙහි වාසය කරන්න යන්නේ අවංක අයවල් සහ නිර්දෝෂ අයවල්’ පමණයි. (හිතෝපදේශ 2:21) එම නිසා, අපි ‘පළමුකොට [දෙවිගේ] රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද සොයමු.’—මතෙව් 6:33.
දෙවිගේ ආශීර්වාද භුක්ති විඳීමට, පොරොන්දු කර ඇති නව ලොව එන තෙක් බලා සිටීමට යෙහෝවාගේ සේවකයන්ට අවශ්‍ය නැත. එයට හේතුව නම් ‘ධර්මිෂ්ඨයා හාමත් වෙන්ට නාරින්නේය. එහෙත් දුෂ්ටයන්ගේ අභිලාෂය ඔහු නිෂ්ඵල කරන්නේය’ කියා යෙහෝවා පොරොන්දු කර ඇති නිසාය. (හිතෝපදේශ 10:3) ඔව්, “විශ්වාසවූ නුවණ ඇති” දාසයා මාර්ගයෙන් යෙහෝවා බහුල ලෙස ආත්මික ආහාර සපයා දී තිබේ. (මතෙව් 24:45) එබැවින් ධර්මිෂ්ඨ අයට ‘සිතේ ප්‍රීතිය නිසා ගී’ කියන්න ඕනෑ තරම් හේතු ඇත. (යෙසායා 65:14) දැනුම ලබාගැනීම ධර්මිෂ්ඨයාගේ ආත්මයට ප්‍රියයි. ආත්මික නිධන් සෙවීම ඔහුගේ ආශාවයි. නමුත් දුෂ්ටයාට මෙවන් දේ ප්‍රිය නැත.
‘උත්සාහය කෙනෙකුව පොහොසත් කරයි’
ධර්මිෂ්ඨයා තවත් ආකාරයකින් ආශීර්වාද ලබයි. “අලස අතකින් ක්‍රියාකරන්නා දිළිඳුවන්නේය; එහෙත් උත්සාහ ඇත්තාගේ හස්තය ධනය උපදවන්නේය. ග්‍රීෂ්ම කාලයෙහි රැස්කරගන්නා ඥානවන්ත පුත්‍රයෙක්ය; ගොයම් කපන කාලයෙහි නිදන්නා ලජ්ජා ඇතිකරවන පුත්‍රයෙක්ය.”—හිතෝපදේශ 10:4, 5.
විශේෂයෙන්ම අස්වනු නෙළන කාලයෙහි වැඩ කරන අයට රජුගේ එම වදන්වලින් යමක් කියාපායි. අස්වනු නෙළන කාලය, නිකම් ඔහේ බලා සිටින්න කාලයක් නොවෙයි. එය වෙහෙස නොබලා වැඩ කළ යුතු කාලයකි. ඇත්තෙන්ම එය හදිසිතාවයේ හැඟීමකින් සිටිය යුතු කාලයකි.
ආත්මික ආකාරයෙන් අස්වනු නෙළීම මනසේ තබාගෙන යේසුස් මනුෂ්‍යයන්ව ධාන්‍යවලට සමාන කරමින් මෙසේ පැවසීය. “ගොයම නම් බොහෝය, නුමුත් ගොවියෝ ස්වල්ප දෙනෙක්ය. එබැවින් තමන් ගොයම් කැපීමට ගොවියන් එවන ලෙස ගොයමේ ස්වාමියාට [යෙහෝවා දෙවිට] යාච්ඤා කරන්න.” (මතෙව් 9:35-38) වසර 2000දී යේසුස්ගේ මරණය සිහි කිරීමේ උත්සවයට මිලියන 14කට වඩා වැඩි පිරිසක් සහභාගී විය. එය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වඩා වැඩියි. එසේ නම්, ‘ගොයම් කැපීමට කුඹුරු තවම පැහී නැත’ කියා පවසන්නේ කවුද? (යොහන් 4:35) සැබෑ නමස්කාරකයෝ තම යාච්ඤාවලට එකඟව ගෝලයන් සාදන වැඩයේ වෙහෙස මහන්සි නොබලා වැඩ කරන අතර ගොයමේ ස්වාමියාගෙන් තව වැඩකරුවන් එවන ලෙස ඉල්ලති. (මතෙව් 28:19, 20) එමෙන්ම යෙහෝවා ඔවුන්ගේ වෑයමට බොහෝ ආශීර්වාද කර තිබේ. වර්ෂ 2000 සේවා වසරේදී නවකයන් 2,80,000ක් බව්තීස්ම විය. මෙම නවක ගෝලයෝද දෙවිගේ වචනය උගන්වන ගුරුවරු වීමට වෙහෙසෙති. අපිත් ගෝලයන් සැදීමේ වැඩයෙහි ඵලදායී ලෙස නිරත වීමෙන් අස්වනු නෙළන කාලයේදී ලැබෙන ප්‍රීතිය සහ තෘප්තිමත්භාවය අද්දකිමු.
‘ඔහුගේ හිසට ආශීර්වාද ලැබේ’
“ධර්මිෂ්ඨයාගේ හිස පිට ආශීර්වාද තිබේ; එහෙත් බලාත්කාරය දුෂ්ටයාගේ මුඛය වසන්නේය [දුදනන්ගේ වචනවල සැහැසිකම සැඟවෙයි, නව අනුවාදය]” කියා සාලමොන් පවසයි.—හිතෝපදේශ 10:6.
නිර්මල හදවතක් ඇති ධර්මිෂ්ඨ කෙනෙකු තමන් තුළ ඇති යහගුණය අන් අයට දැකගැනීමට සලස්වයි. ඔහුගේ කතාව කරුණික සහ ගොඩනංවනසුලුයි. ඔහුගේ ක්‍රියාකලාපය ඵලදායක මෙන්ම ත්‍යාගශීලීයි. අන්‍යයන් ඔහුගේ ඇසුර ප්‍රිය කරයි. එවන් පුද්ගලයෙකු ගැන අන් අය ප්‍රශංසා මුඛයෙන් කතා කරන අතර ඔහුට ආශීර්වාදද කරයි.
නමුත් දුෂ්ටයෙකුගේ සිත පිළිකුල් සහගතයි. ඔහුගේ එකම අභිප්‍රාය අන් අයට නපුරක් කිරීමයි. ඔහුගේ කතාව කනට මිහිරි විය හැකියි. නමුත් ඔහුගේ සිතේ ‘සැහැසිකකම සැඟවී තිබෙන’ නිසා කෙසේ හෝ අවසානයේදී ඔහු ශාරීරිකව හෝ වාචිකව පහර දෙයි. (මතෙව් 12:34, 35) මේ නිසා, ‘බලාත්කාරය ඔහුගේ මුඛය වසන්නේය.’ මෙයින් අදහස් කරන්නේ දුෂ්ටයෙකු අන් අයට කළ නපුරුකම්වලට ඔහු ප්‍රතිඵල විඳින බවයි. එවිට ඔහුගේ කට වැසී යයි. ඇත්තෙන්ම දුෂ්ටයෙකුට අන් අයගෙන් ගෞරවයක් හෝ ප්‍රශංසාවක් බලාපොරොත්තු විය හැකිද?
“ධර්මිෂ්ඨයා සිහිකිරීම වාසනාවන්තය; එහෙත් දුෂ්ටයන්ගේ නම දිරායන්නේය” කියා ඉශ්‍රායෙලයේ හිතෝපදේශ 10:7) ධර්මිෂ්ඨ කෙනෙකුව අන් අය විසින් ඉතා ආදරයෙන් සිහිපත් කරයි. එහෙත්, වැදගත් දෙය වන්නේ යෙහෝවා විසින් ඔහුව සිහි කරනු ලැබීමයි. යේසුස් තම මරණය දක්වා විශ්වාසවන්තව සිටි නිසා දේවදූතයන්ට වඩා “උත්කෘෂ්ට නාමයක්” ඔහු උරුම කරගත්තේය. (හෙබ්‍රෙව් 1:3, 4) අදදින සිටින සැබෑ ක්‍රිස්තියානීන් අතීතයේ සිටි විශ්වාසවන්ත ක්‍රිස්තියානි ස්ත්‍රීන්ව සහ පුරුෂයන්ව සිහිපත් කරන්නේ අනුකරණය කරන්න වටින අය ලෙසයි. (හෙබ්‍රෙව් 12:1, 2) පිළිකුලට පාත්‍ර වෙන දුෂ්ටයෙකුගේ නාමයට වඩා මෙය කොතරම් වෙනස්ද! ඔව්, “බොහෝ ධනයට වඩා හොඳ නමක්ද රන්රීදීවලට වඩා කරුණාවද අගනේය.” (හිතෝපදේශ 22:1) එමනිසා, අපි අපගේ දෙවි යෙහෝවා සමඟත් අපගේ සෙසු සාමාජිකයන් සමඟත් හොඳ නමක් ගොඩනඟාගනිමු.
රජු පවසයි. (“අවංක ව හැසිරෙන්නා සුව සේ වසයි”
ප්‍රඥාවන්තයාව සහ අඥානයාව සන්සන්දනය කරමින් සාලමොන් මෙසේ පවසයි. “ප්‍රඥාවත් සිතක් ඇත්තා ආඥා පිළිගනියි; එහෙත් දොඩවන මෝඩයා හෙළාදමනු ලැබේ.” (හිතෝපදේශ 10:8) “ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැති” බව ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙකු දනී. (යෙරෙමියා 10:23) ඔහු යෙහෝවාගෙන් මඟ පෙන්වීම ලබාගැනීමේ අවශ්‍යතාවය තේරුම්ගන්නා අතර ඉක්මනින්ම දෙවිගේ ආඥා පිළිගනියි. නමුත් මෝඩයෙකු මෙම මුලික සත්‍යය පිළි නොගනියි. ඔහුගේ වාචාලකම ඔහුව විනාශයට ඇද දමයි.
ධර්මිෂ්ඨ කෙනෙකු සුරක්ෂිතභාවයක් භුක්ති විඳින අතර දුෂ්ටයෙකුට එවැන්නක් අත් විඳිය නොහැකියි. “ඇද නැතුව හැසිරෙන්නා සුවසේ සිටියි; එහෙත් තමාගේ මාර්ග ඇදකරගන්න අය අසුවනු ලබන්නේය. [අවංක ව හැසිරෙන්නා සුව සේ වසයි; වංක මගෙහි යන්නාගේ ක්‍රියා එළි වෙයි, න.අ.] ඇසින් ඉඟිකරන්නා දුක් උපදවයි; එහෙත් දොඩවන මෝඩයාද හෙළාදමනු ලැබේ.”—හිතෝපදේශ 10:9, 10.
අවංක මනුෂ්‍යයෙක් සෑම කටයුත්තකදීම විශ්වාසවන්තව ක්‍රියා කරයි. ඔහු අන් අයගේ ගෞරවය සහ විශ්වාසය දිනාගනියි. අවංක පුද්ගලයෙකු ඇත්තෙන්ම අගනා සේවකයෙක් කියා පැවසිය හැක. ඔහුට ඕනෑම වගකීමක් විශ්වාසයකින් යුතුව භාර දිය හැකි අතර අවංකකම සම්බන්ධයෙන් ඔහු දිනා සිටින නම නිසා රැකියා හිඟ අවස්ථාවලදී පවා ඔහුට රැකියාවක් සොයාගැනීම අපහසු නැත. තවත් වැදගත් දෙයක් වන්නේ, ඔහුගේ අවංකකම නිසා ප්‍රසන්න හා සාමකාමී වාතාවරණයක් පවුල තුළ ඇතිවීමයි. (ගීතාවලිය 34:13, 14) ඔහුගේ පවුලේ අය සමඟ කටයුතු කිරීමේදී ඔහුට සුරක්ෂිතභාවයක් දැනේ. අවංකකමේ ප්‍රතිඵලය සුරක්ෂිතභාවයයි.
ආත්මාර්ථකාමී අභිප්‍රායන් ඇතුව වංකකමින් කටයුතු කරන පුද්ගලයෙකුගේ තත්වය ඉහත සඳහන් තත්වයට වඩා හාත්පසින්ම වෙනස්ය. වංචාකාරයෙකු, තමා පවසන දේ මගින් හෝ තම ඉරියව්වලින් කරන ඇඟවීම්වලින් තමාගේ අවිශ්වාසවන්තකම සැඟවීමට උත්සාහ කරයි. (හිතෝපදේශ 6:12-14) ඔහු ද්වේශ සහගතව සහ වංචනිකව කරන ඉඟි නිසා ඔහුගේ උපායන්ට හසු වුණ අයට දැනෙන මානසික වේදනාව තව තවත් දරුණු විය හැකියි. නමුත්, ඉක්මනින්ම හෝ පසු කාලයකදී හෝ එවන් පුද්ගලයෙකුගේ බොරුව හෙළි වේ. ප්‍රේරිත පාවුල් ඒ පිළිබඳව මෙසේ ලියා තිබේ. “සමහර මනුෂ්‍යයන්ගේ පාප ඉතා පැහැදිලිය, විනිශ්චයට පළමුවෙන් ඒවා ප්‍රකාශය; සමහරුන්ගේ පාප පසුව එළිදරව්වන්නේය. එසේම පැහැදිලිව ප්‍රකාශවන්නාවූ යහපත් ක්‍රියාද ඇත; එසේ නොවන ඒවාත් සැඟවී තිබෙන්ට බැරිය.” (1 තිමෝති 5:24, 25) වංචනික වූයේ දෙමාපියන්ට, මිතුරෙකුට, විවාහ සහකරුවෙකුට හෝ අඳුනන කෙනෙකුට වුවත් වංකකම හෙළි වන බව නම් නිසැකයි. වංචනිකයෙකු කියා නමක් ඇති කරගෙන සිටින කෙනෙකුව විශ්වාස කරන්නේ කවුද?
‘ඔහුගේ මුඛය ජීවන උල්පතක්ය’
“ධර්මිෂ්ඨයාගේ මුඛය ජීවන උල්පතක්ය; එහෙත් බලාත්කාරය දුෂ්ටයාගේ මුඛය වසයි.” (හිතෝපදේශ 10:11) මුඛයෙන් පිට වෙන වචනවලට සුවය ගෙන දීමට හෝ රිදවීමට පුළුවන. එය පුද්ගලයෙකුව ප්‍රබෝධවත් කිරීමට හෝ අධෛර්යය කරවීමට පුළුවන.
ඉහත සඳහන් වදන්වල අදහස තවදුරටත් විග්‍රහ කරමින් ඉශ්‍රායෙල් රජ මෙසේ පවසයි. “වෛරය ඩබර උපදවයි; එහෙත් ප්‍රේමය සියලු වැරදි වසයි.” (හිතෝපදේශ 10:12) වෛරය නිසා මිනිස් සමාජයේ ආරවුල් ඇති වේ. නමුත් යෙහෝවාට ප්‍රේමකරන්නෝ තම ජීවිත තුළින් වෛරය අහක් කර ඒ වෙනුවට ප්‍රේමය විදහාපෙන්වති. “ප්‍රේමය පව් රාශියක් [වසයි].” (1 පේතෘස් 4:8) ප්‍රේමය “සියල්ල දරාගන්නේය.” (1 කොරින්ති 13:7) දෙවි ප්‍රේමනීය නිසා අසම්පූර්ණ මනුෂ්‍යයන්ගෙන් සම්පූර්ණත්වය අපේක්ෂා කරන්නේ නැත. එවැනි ප්‍රේමයක් අපට තිබේ නම් දරුණු පාපයක් හැරෙන්නට යම් කෙනෙකුගේ සුළු සුළු වැරදි අප අන් අයට පවසන්නනේ නැත. එමෙන්ම ප්‍රේමය තිබේ නම්, ක්ෂේත්‍ර සේවයේදී, රැකියා ස්ථානයේදී හෝ පාසැලේදී මුහුණ දීමට සිදු වන අසාධාරණයන් විඳදරාගැනීමට අපට හැකියාවක් ලැබේ.
ප්‍රඥාවන්ත රජ මෙසේ පවසයි. “නුවණ ඇත්තාගේ තොල්වල ප්‍රඥාව සම්බවේ. එහෙත් තේරුම්නැත්තාගේ පිටට ඉපලක් ඇත්තේය.” (හිතෝපදේශ 10:13) තේරුම්ගැනීමේ හැකියාව ඇති පුද්ගලයෙකු තුළ තිබෙන ප්‍රඥාව ඔහුට මඟ පෙන්වීම ලබා දෙන අතර ඔහුගේ තොල්වලින් පවසන ගොඩනංවනසුලු වචන අන් අයටද ධර්මිෂ්ඨ මාර්ගයේ ගමන් කිරීමට උපකාරයක් වෙයි. ඔහුටවත් ඔහුට ඇහුම්කන් දෙන අයටවත් නිවැරදි මාර්ගයේ යන්න කියා බල කළ යුතු නැත.
“ඥානවන්තයෝ දැනගැන්ම රැස්කරගනිති”
වාචාල බස් දොඩනවා වෙනුවට ‘ප්‍රඥාවන්ත වදන් නික්මවෙන නොසිඳෙන උල්පතක්’ මෙන් වීමට නම් අප කුමක් කළ යුතුද? (හිතෝපදේශ 18:4, න.අ.) සාලමොන් එයට මෙසේ පිළිතුරු දෙයි. “ඥානවන්තයෝ දැනගැන්ම රැස්කරගනිති; එහෙත් මෝඩයාගේ මුඛය ළඟම විනාශය ඇත්තේය.” —හිතෝපදේශ 10:14.
මේ සඳහා අවශ්‍ය පළමු දෙය නම්, අපේ මනස දෙවි පිළිබඳ ගොඩනංවනසුලු දැනුමෙන් පිරවීමයි. ඒ දැනුම ලබාගැනීම සඳහා ඇත්තේ එකම උල්පතයි. ඒ පිළිබඳව පාවුල් මෙසේ ලියයි. “[දෙවිගේ] මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ.” (2 තිමෝති 3:16) අප දැනුම රැස් කරගත යුතු අතර දෙවිගේ වචනය සැඟවුණු නිධානයක් සොයන්නාක් මෙන් සෙවිය යුතුයි. එසේ කිරීමෙන් මොනතරම් ප්‍රීතියක් මෙන්ම ප්‍රයෝජන ලැබෙනු ඇද්ද!
ප්‍රඥාව අපේ මුඛයෙහි සම්බ වීමට නම් ලියවිලි පිළිබඳ දැනුම අපේ හෘදයට යා යුතුයි. යේසුස් ඔහුගේ ශ්‍රාවකයන්ට මෙසේ පැවසීය. “යහපත් මනුෂ්‍යයා තමාගේ සිතෙහිවූ යහපත් සම්පතෙන් යහපත් දේද නපුරු මනුෂ්‍යයා නපුරු සම්පතෙන් නපුරුදේද පිටතට ගෙනෙන්නේය. මක්නිසාද මුඛය කථාකරන්නේ සිතේ පූර්ණකමෙන්ය.” (ලූක් 6:45) එමනිසා අප ඉගෙනගන්නා දේවල් මත මෙනෙහි කිරීම නිරන්තර පුරුද්දක් කරගත යුතුයි. අධ්‍යයනයට සහ මෙනෙහි කිරීමට වෑයම අවශ්‍ය බව ඇත්තයි. නමුත් එවැනි අධ්‍යයනයක් ආත්මිකව ධනවත් වීමට ඉවහල් වන බව අමතක නොකරන්න. නොසැලකිලිමත් වාචාලයෙකු මෙන් ක්‍රියා කිරීමට කිසිම කෙනෙකුට අවශ්‍යතාවයක් නැත.
ඔව්, ප්‍රඥාවන්ත පුද්ගලයෙකු දෙවිගේ ඇස් ඉදිරියෙහි නිවැරදි දේ කරමින් අන් අය කෙරෙහි හිතකර බලපෑමක් ඇති කරයි. බහුල ලෙස ලැබෙන්නාවූ ආත්මික ආහාර සහ ස්වාමීන්ගේ සේවය තුළ බොහෝ දේ කිරීමේ ප්‍රීතියද ඔහු භුක්ති විඳියි. (1 කොරින්ති 15:58) අවංක ලෙස කටයුතු කරන පුද්ගලයෙකු වශයෙන් ඔහුට දෙවිගේ අනුමැතියත් ආරක්ෂාවත් ලබාගත හැකියි. ඇත්තෙන්ම ධර්මිෂ්ඨ අය භුක්ති විඳින ආශීර්වාද බොහෝමයි. හරි වැරැද්ද පිළිබඳ දෙවිගේ ප්‍රමිතිවලට අනුව අපගේ ජීවිත හැඩගස්වාගනිමින් අපිත් ධර්මිෂ්ඨකම සොයමු.
[පාදසටහන්වල]
a නම වෙනස් කර ඇත.
[25වන පිටුවේ පින්තූරය]
අවංකකම ප්‍රීතිමත් පවුල් ජීවිතයකට දායක වෙයි
[26වන පිටුවේ පින්තූරය]
‘ප්‍රඥාවන්ත පුද්ගලයෙක් දැනුම රැස් කරගනියි’