Skip to content

පටුනට යන්න

ඔබට අමරණීය ආත්මයක් ඇද්ද?

ඔබට අමරණීය ආත්මයක් ඇද්ද?

ඔබට අමරණීය ආත්මයක් ඇද්ද?

‘දෙවිගේ මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ’ කියා ප්‍රේරිත පාවුල් ලීවේය. (2 තිමෝති 3:16) ඔව්, බයිබලය යනු සැබෑ දෙවි වන යෙහෝවාගෙන් ලැබී ඇති සත්‍යය අඩංගු පොතකි.—ගීතාවලිය 83:17.

මනුෂ්‍යයන් ඇතුළු අන් සෑම දෙයකම මැවුම්කරු යෙහෝවා නිසා, මරණයේදී සිදු වන දේ ඔහු හොඳ හැටි දන්නා බවට සැකයක් නැත. (හෙබ්‍රෙව් 3:4; එළිදරව් 4:11) තවද දේවානුභාවයෙන් ලියන ලද ඔහුගේ වචනය වන බයිබලයෙන් මතු ජීවිතය පිළිබඳව සත්‍යවාදී මෙන්ම සෑහීම ගෙන දෙන පිළිතුරු අපට ලබාගත හැක.

ආත්මය යනු කුමක්ද?

බයිබලයෙහි “ආත්මය” ලෙස පරිවර්තනය කර ඇති වචනවල මූලික අර්ථය “හුස්ම” වේ. ඒ කෙසේවෙතත්, නිකම්ම හුස්ම ගැනීමේ ක්‍රියාවලියට වඩා වැඩි යමක් මීට ඇතුළත් වේ. නිදසුනකට බයිබල් ලේඛක යාකොබ් පැවසූ දේ සලකා බලන්න. ඔහු පැවසුවේ, ‘ආත්මය නැති ශරීරය මැරී තිබෙන’ බවය. (යාකොබ් 2:26) එසේ නම්, සිරුරට ජීවයක් ලබා දෙන්නේ ආත්මයයි.

සිරුරට මෙසේ ජීවයක් ලබා දෙන “ආත්මය” නැතහොත් බලය නිකම්ම හුස්ම නොහොත් පෙණහලු තුළ ගමන් කරන වාතය නොවේ. එසේ පවසන්නේ මන්ද? හුස්ම ගැනීමේ ක්‍රියාවලිය නතර වූවායින් පසුව පවා, සිරුරේ සෛල තුළ ජීවය ටික වේලාවකට පවතින නිසාය. ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා නමැති ප්‍රකාශනයට අනුව ඒ ජීවය සිරුර තුළ “විනාඩි කිහිපයක් රැඳී” පවතී. මේ හේතුවෙන් කෘත්‍රිම ශ්වසනයක් වහාම දීමෙන් කෙනෙකුව නැවත ජීවත් කරවිය හැකිය. එනමුත්, ජීවය නමැති දැල්ල සිරුරේ සෛලවලින් නිවී ගියායින් පසු, ජීවය ආපසු ලබා දීමට දරන වෑයමෙන් ඵලක් නොවේ. කෘත්‍රිම ශ්වසනය කොතරම් ලබා දුන්නද, එක සෛලයක්වත් යළි පණගැන්විය නොහැක. මේ අනුව ආත්මය යනු, සෛල හා පුද්ගලයාව ජීවත් කරවීමට උපකාරවත් වන අතිවැදගත් ‘පුලිඟුවක්’ මෙන් පණ දෙන අදෘශ්‍යමාන ජීව බලය වේ. මෙම ජීව බලය දිගටම පවත්වාගනු ලබන්නේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය තුළිනි.—යෝබ් 34:14, 15.

ආත්මය නොහොත් ජීව බලය තිබෙන්නේ මිනිසුන්ට පමණක්ද? මේ සම්බන්ධයෙන් පැහැදිලි නිගමනයකට එළඹෙන්න බයිබලය අපට උපකාරවත් වේ. ‘මනුෂ්‍යයන්ට සහ තිරිසනුන්ට ඇත්තේ එක ආත්මයක්’ [NW] බව පිළිගත් ප්‍රඥාවන්ත සාලමොන් රජ මෙසේ ඇසීය. “මනුෂ්‍ය පුත්‍රයන්ගේ පණ ඉහළට නැගී යනවාද කියාවත් තිරිසනාගේ පණ පොළොව යටට බසිනවාද කියාවත් දන්නේ කවුද?” (දේශනාකාරයා 3:19-21) මේ අනුව පණ නොහොත් ආත්මයක් මිනිසාට පමණක් නොව, සතුන්ටද තිබේ. ඒ කෙසේද?

ආත්මය නොහොත් ජීව බලය, යම් යන්ත්‍රයක් හෝ උපකරණයක් ක්‍රියාත්මක කරවීමට ගලායන විදුලි ධාරාවක් හා සැසඳිය හැක. ඇසට නොපෙනෙන මෙම විදුලි බලය අදාළ උපකරණයට අනුව, විවිධ කාර්යයන් කිරීමට යොදාගත හැක. නිදසුනකට, විදුලි උදුනක් තාපය නිපදවයි. පරිගණකයක් තොරතුරු ක්‍රමලේඛනය කිරීමට යොදාගැනේ. රූපවාහිනියක් තුළින් රූප සහ ශබ්ද නිපදවේ. මේ සියල්ල කළ හැක්කේ විදුලි බලයේ ක්‍රියාකාරිත්වය නිසාය. එනමුත්, විදුලිය එම උපකරණ බවට පත් වන්නේ නැත. එය දිගටම බලයක් ලෙස ක්‍රියා කරයි. ඒ හා සමානව, ජීව බලය ජීවියාව පණගැන්වුවද, එය ජීවියෙකු බවට පත් වන්නේ නැත. ඊට පෞද්ගලිකත්වයක් හෝ කල්පනා ශක්තියක් හෝ නැත. මිනිසාටත් සත්වයාටත් “ඇත්තේ එක හුස්මය” නැතහොත් එක සමාන ආත්මයකි. (දේශනාකාරයා 3:19) මේ අනුව, පුද්ගලයෙක් මියයන විට, ඔහුගේ ආත්මය තවත් භවයක් ලබමින් දිගටම ජීවත් වන්නේ නැත.

එසේ නම්, මළවුන්ගේ තත්වය කුමක්ද? පුද්ගලයෙකු මියයන විට ආත්මයට සිදු වන්නේ කුමක්ද?

‘නුඹ දූවිල්ලට හැරී යන්නෙහිය’

මුල් මිනිසා වූ ආදම් හිතාමතාම දෙවිගේ ආඥාවට අකීකරු වූ විට, යෙහෝවා ඔහුට මෙසේ පැවසීය. “නුඹ භූමියෙන් ගන්නාලද බැවින් එයට හැරී යනතෙක් නුඹේ මුහුණේ ඩහදියෙන් යුක්තව කෑම කන්නෙහිය; මක්නිසාද නුඹ දූවිලිය, දූවිල්ලට හැරී යන්නෙහිය.” (උත්පත්ති 3:19) යෙහෝවා ආදම්ව දූවිල්ලෙන් සාදන්නට කලින් ඔහු සිටියේ කොහේද? ඔහු කොතැනකවත් සිටියේ නැත. එසේ නම් ආදම් ‘භූමියට හැරී යන’ බව දෙවි පැවසූ විට, ඔහු ඉන් අදහස් කළේ ආදම් මරණයට පත් වී භූමියේ දූවිල්ල බවට පත් වන බවයි. ආදම් ආත්ම විෂයකට මාරු වී වෙන භවයක් ලැබුවේ නැත. ඔහුගේ මරණයේදී ආදම් සිහි නැති තත්වයකට පත් වූයේය. ඔහුගේ දඬුවම මරණය විය. මරණය යනු ජීවිතය අහිමි වීමයි. මේ අනුව ඔහු වෙනත් ස්ථානයකට ගියා කියා පැවසිය නොහැක.—රෝම 6:23.

එසේ නම්, මියගොස් ඇති අනික් අය ගැන කීමට තිබෙන්නේ කුමක්ද? මළවුන්ගේ තත්වය ගැන දේශනාකාරයා 9:5, 10හි මෙසේ පැහැදිලි කර ඇත. “මළාහු කිසිවක් නොදනිති . . . මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.” මින් පැහැදිලි වන්නේ මරණය යනු කිසිදු දෙයක් අද්දැකිය නොහැකි අප්‍රාණික තත්වයක් බවයි. පුද්ගලයෙකු මියයන විට “ඔහුගේ හුස්ම [ආත්මය, NW] නික්ම යයි, ඔහු ස්වකීය භූමියට හැරී යයි; එදාම ඔහුගේ කල්පනා නැතිවේ” කියා ගීතිකාකරු ලීවේය.—ගීතාවලිය 146:4.

මළවුන් ජීවත් නොවන බව තවත් පැහැදිලි කළ යුතුද? ඔවුන් කිසිවක් දන්නේ නැත. දැකීමටවත්, ඇසීමටවත්, කතා කිරීමටවත් ඔවුන්ට නොහැකිය. ඔබට පිහිට වන්න ඔවුන්ට බැරිය. ඔවුන් ඔබට හිරිහැර කරන්නේද නැත. මේ නිසා මළවුන් කෙරෙහි බියක් ඇති කරගැනීමට අවශ්‍ය නැත. එසේ නම්, මරණයේදී කෙනෙකුගේ ‘හුස්ම’ නැතහොත් ආත්මය ‘නික්ම යනවා’ කීමෙන් අදහස් වන්නේ කුමක්ද?

සැබෑ ‘දෙවි වෙතට හැරී යන’ ආත්මය

පුද්ගලයෙකු මියයන විට, ‘ආත්මය ඒක දුන් සැබෑ දෙවි වෙතට හැරී’ යන බව බයිබලයෙහි පැවසේ. (දේශනාකාරයා 12:7) මින් අදහස් කරන්නේ, කෙනෙකු මියයන විට ආත්මය නිදහස් වී, අභ්‍යවකාශය තුළින් දෙවි වෙතට යන බවද? කිසි සේත් නැත. මෙහිදී, ‘හැරී යනවා’ යන යෙදුම බයිබලයෙහි භාවිත කර ඇති ආකාරය සලකා බැලීම උචිතය. යමක් එක් තැනක සිට තවත් තැනක් දක්වා ගමන් කිරීමම මින් අදහස් නොවේ. නිදසුනක් සලකා බලන්න. නොඇදහිලිකාර ඉශ්‍රායෙල් ජාතිකයන්ට මෙසේ පවසා තිබිණ. ‘මා වෙතට හැරී එන්න, මමත් නුඹලා වෙතට හැරී එන්නෙමියි සේනාවල යෙහෝවා කියන්නේය.’ (මලාකී 3:7) මෙහිදී “හැරී එන්න” යන යෙදුමෙහි තේරුම වූයේ, ඉශ්‍රායෙලිතයන් තමන් ගත් වැරදි ක්‍රියාමාර්ගයෙන් ඉවත් වී දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව යළිත් තමුන්ගේ ජීවිත හැඩගස්වා ගැනීමයි. යෙහෝවා ඉශ්‍රායෙලිතයන් වෙතට ‘හැරී ඒමෙන්’ අදහස් කළේ යළිත් තම අවධානය ඔවුන් වෙතට සතුටින් යොමු කිරීමයි. මෙම අවස්ථා දෙකේදීම, ‘හැරී ඒම’ සම්බන්ධ වූයේ ආකල්පවලටයි. පොළොවේ එක් තැනක සිට තවත් තැනක් දක්වා ගමන් කිරීම ඊට සම්බන්ධ වූයේ නැත.

මීට සමානව, මරණයේදී ආත්මය දෙවි වෙතට ‘හැරී යනවා’ කීමෙන් අදහස් කරන්නේ, යම්කිසි දෙයක් පොළොවේ සිට අදෘශ්‍යමාන ස්වර්ගය දක්වා ගමන් කරන බව නොවේ. ජීව බලය පුද්ගලයෙකුගෙන් බැහැර වූ විට, එය නැවත ලබා දිය හැක්කේ දෙවිට පමණි. එසේ නම්, ආත්මය ‘සැබෑ දෙවි වෙතට හැරී යනවා’ කීමෙන් අදහස් කරන්නේ, එම පුද්ගලයාව නැවත ජීවත් කරවීම දෙවිගේ හස්තයෙහි තිබෙන බවයි.

නිදසුනකට, යේසුස් ක්‍රිස්තුස්ගේ මරණය ගැන ශුද්ධ ලියවිල්ලෙහි පවසා ඇති දෙය සලකා බලන්න. සුවිශේෂ ලේඛක ලූක් මෙසේ විස්තර කරයි. ‘යේසුස් මහත් ශබ්දයකින් මොරගසා: පියාණෙනි, ඔබගේ අතට මාගේ ආත්මය භාර දෙමියි කීවේය. මෙසේ කියා ඔහු ආත්මය හළේය [නැසී ගියේය, NW].’ (ලූක් 23:46) යේසුස්ගේ ආත්මය නික්ම ගිය විට, ඔහු ස්වර්ගයට ගියේ නැත. යේසුස්ව මළවුන්ගෙන් නැඟිටුවනු ලැබුවේ දවස් තුනකට පසුවය. තවද ඔහු ස්වර්ගයට ගියේ ඉන් තවත් දවස් 40ක් ගත වූවායින් අනතුරුවයි. (ක්‍රියා 1:3, 9) යේසුස් මියයද්දී, තම පියා කෙරෙහි පූර්ණ විශ්වාසයක් තබමින් තම ආත්මය ඔහුට භාර කළේය. තමාව නැවත ජීවත් කරවන්න යෙහෝවාට ඇති හැකියාව සම්බන්ධයෙන් ඔහුට කිසිදු සැකයක් තිබුණේ නැත.

මියගිය පුද්ගලයෙකුව නැවත ජීවත් කරවිය හැක්කේ දෙවිටය. (ගීතාවලිය 104:30) මෙය මොනතරම් කදිම බලාපොරොත්තුවක්ද!

ස්ථිර බලාපොරොත්තුවක්

බයිබලයෙහි මෙසේ පැවසේ. “[සිහි කිරීම පිණිස තැනූ, NW] සොහොන්ගෙවල්හි සිටින සියල්ලන්ට [යේසුස්ගේ] හඬ ඇසෙන පැය පැමිණ . . . [ඔවුහු] පිටත්ව එන්නෝය.” (යොහන් 5:28, 29) මියගොස් ඇති අය අතුරින් යෙහෝවාගේ මතකයේ සිටින, එනම් ඔහු සිහි කරන සියලුදෙනාවම නැවත නැඟිටුවනු ලබන බවට, එනම් යළි ජීවත් කරවනු ලබන බවට යේසුස් ක්‍රිස්තුස් මෙහිදී පොරොන්දු වූයේය. මොවුන් අතර යෙහෝවාගේ සේවකයන් ලෙස ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කළ අය සිටිනවාට සැකයක් නැත. එනමුත්, දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව තමන් ජීවත් වන්න කැමති බව පෙන්වීමට නොහැකිව මිලියන ගණන් මනුෂ්‍යයන් මියගොස් ඇත. සමහර විට ඔවුන් යෙහෝවාගේ ආඥා නොදැන මියගියා විය හැක. එසේ නැතහොත්, අවශ්‍ය වෙනස්කම් කිරීමට ඔවුන්ට ප්‍රමාණවත් කාලයක් නොතිබෙන්නට ඇත. දෙවි එවැනි මනුෂ්‍යයන්වත් සිහි කරන අතර, ඔවුන්ටද නැවත නැඟිටීමක් ලැබේ. බයිබලය එය මෙසේ සනාථ කරයි. “ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත-නැගිටීමක් වන්නේය.”—ක්‍රියා 24:15.

වත්මන් ලොව වෛරයෙන්, භේදවලින්, සාහසිකකමින් සහ ලේ වැගිරීම්වලින් පිරී ඇති අතර, පරිසරයද දූෂණය වී තිබේ. ලෙඩ රෝග හාත්පස පැතිර පවතී. මෙවැනි තත්වයක් තිබියදී, මළවුන්ව යළි පොළොවෙහි ජීවත් කරවුවහොත්, ඔවුන්ගේ සන්තෝෂය කෙටි-කාලීන එකක් වනවාට සැකයක් නැත. ඒ නිසා, සාතන් නමැති යක්ෂයාගේ පාලනය යටතේ පවතින වත්මන් ලෝක සමාජය ඉවත් කරනු ලබන බවට අපගේ මැවුම්කරු පොරොන්දු වී ඇත. (හිතෝපදේශ 2:21, 22; දානියෙල් 2:44, 45ආ; 1 යොහන් 5:19) ඔව්, ‘අලුත් පොළොවක්,’ එනම් ධර්මිෂ්ඨ මිනිස් සමාජයක් බිහිවීම පිළිබඳ සිහිනය එවිට සැබෑ වනු ඇත.—2 පේතෘස් 3:13.

ඒ කාලයේදී “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය.” (යෙසායා 33:24) දෙවි ‘ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමන්නේය; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.’ (එළිදරව් 21:4) ඔව් මරණය නමැති සතුරාව පවා ඉවත් කර දමනු ලබනවා ඇත. ‘සිහි කිරීම පිණිස තැනූ සොහොන් ගෙවල්හි’ සිටින අයට එය මොනතරම් විශිෂ්ට බලාපොරොත්තුවක්ද!

යෙහෝවා දුෂ්ටකම පොළොවෙන් තුරන් කරන විට, ඔහු දුෂ්ටයන් සමඟ ධර්මිෂ්ඨයන්ව විනාශ කරන්නේ නැත. (ගීතාවලිය 37:10, 11; 145:20) ඇත්තෙන්ම දැන් පවතින මෙම දුෂ්ට ලෝකය පහ කර දමන්නාවූ ‘මහත් පීඩාවෙන්,’ “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත් කිසිවෙකුට ගණන්කළ නොහැකි මහත් සමූහයක්” බේරී ජීවත් වනු ඇත. (එළිදරව් 7:9-14) එමනිසා, මළවුන්ව යළි සාදරයෙන් පිළිගැනීම සඳහා විශාල ජන සමූහයක් සිටිනු ඇත.

ඔබෙන් වියෝ වී ඇති ප්‍රේමනීයයන්ව යළි දැකගැනීමට ඔබ ආශාවෙන් සිටිනවාද? පොළොව මත පාරාදීසයක සදාකල් ජීවත් වන්න ඔබ කැමතිද? කැමති නම් දෙවිගේ කැමැත්ත සහ ඔහුගේ අරමුණු පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගත යුතුය. (යොහන් 17:3NW) ඔව්, “සියලු මනුෂ්‍යයන් ගළවනු ලැබ සැබෑව දැනගැනීම” යෙහෝවාගේ කැමැත්තයි.—1 තිමෝති 2:3, 4.

[4වන පිටුවේ පින්තූරය]

“නුඹ දූවිලිය, දූවිල්ලට හැරී යන්නෙහිය”

[5වන පිටුවේ පින්තූරය]

ආත්මය විදුලි බලය හා සැසඳිය හැක

[7වන පිටුවේ පින්තූරය]

නැවත-නැඟිටීම කල්පවතින ප්‍රීතියට හේතුවක් වේ