Skip to content

පටුනට යන්න

ඔරිගන් ඔහුගේ ඉගැන්වීම් සභාවට බලපෑවේ කෙලෙසද?

ඔරිගන් ඔහුගේ ඉගැන්වීම් සභාවට බලපෑවේ කෙලෙසද?

ඔරිගන් ඔහුගේ ඉගැන්වීම් සභාවට බලපෑවේ කෙලෙසද?

ලතින් වල්ගේට් බයිබලයේ පරිවර්තක ජෙරෝම්, තුන්වන සියවසේ විසූ දේවධර්මධර ඔරිගන්ව පැසසුමට ලක් කළේ “ප්‍රේරිතයන්ගෙන් පසු සභාවට දායාදයක් වූ ශ්‍රේෂ්ඨතම පඬිවරයා” ලෙසිනි. කෙසේවෙතත්, සෑම කෙනෙකුම ඔරිගන්ව පැසසුමට ලක් කළේ නැත. සමහරුන් ඔහුව සැලකුවේ මිථ්‍යා දෘෂ්ටික මතයන්ට මුල් වූ විසක් ලෙසය. ඔරිගන්ගේ විරුද්ධවාදීන් තුළ වූ දැඩි ආකල්පය 17වන සියවසේ ලේඛකයෙකුගේ මෙම වදන්වලින් පැහැදිලි වේ. “ලොවට හඳුන්වා දුන් ඔහුගේ ඉගැන්වීම් විකාරයකි. සැමටම හානිකරය. සර්ප විසක් බඳුය.” මේ අනුව, ඔහුගේ මරණින් සියවස් තුනකට පමණ පසු ඔරිගන්ව මිථ්‍යා දෘෂ්ටිකයෙකු ලෙස නම් කරන ලදි.

ඔරිගන් එක් පැත්තකින් පැසසුමටත්, අනික් පැත්තෙන් නිග්‍රහයටත් ලක් වූයේ මන්ද? සභාවේ ඉගැන්වීම්වල ප්‍රවර්ධනයට ඔහුගේ මතයන් බලපෑවේ කෙසේද?

සභාවට ලැදි වූවෙක්

ඔරිගන් මෙලොව එළිය දුටුවේ පො.යු. 185දී, ඊජිප්තු නගරයක් වන ඇලෙක්සැන්ඩ්‍රියාවේදීය. ග්‍රීක් සාහිත්‍යය සම්බන්ධයෙන් පුළුල් අධ්‍යාපනයක් ලැබුවත්, බයිබලය සම්බන්ධයෙන්ද ඊට සමාන අධ්‍යාපනයක් ලැබීමට ඔහුගේ පියා වූ ලියෝනිඩිස් ඔහුට බල කළේය. ඔරිගන්ට වයස 17ක් වූ විට, එවකට පාලනය කරමින් සිටි රෝම අධිරාජ්‍යයා ආගම වෙනස් කිරීම බරපතළ පාපයක් බව ප්‍රකාශ කළ නියෝගයක් නිකුත් කළේය. ඔරිගන්ගේ පියා ක්‍රිස්තියානි භක්තිකයෙකු බවට පත් වූ නිසා, ඔහුව සිර අඩස්සියට දමන ලදි. තුරුණු උද්‍යෝගයෙන් දැවුණු ඔරිගන්, තම පියා සමඟ සිර අඩස්සියට පමණක් නොව මරණ මංචකයට වුණත් යෑමට ඇති තම අදිටන ප්‍රකාශ කර සිටියේය. මෙය දුටු ඔහුගේ මව, නිවස හැර යෑමෙන් ඔහුව වැළැක්වීමට ඔහුගේ ඇඳුම් සැඟවීය. තම පියාට හසුනක් ලියමින් ඔරිගන් මෙසේ අයැද සිටියේය. “අප නිසා ඔබගේ අදිටන වෙනස් නොකිරීමට වගබලාගන්න.” ලියෝනිඩිස් සිය ස්ථාවරයෙහිම රැඳී සිටි අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුව ඝාතනය ලක් කළේ, ඔහුගේ පවුල අනාථ කරමින්ය. එනමුත් තම මව සහ බාල සහෝදරයන් සයදෙනා නඩත්තු කිරීමට තරම් අධ්‍යාපනයක් ඔරිගන් ලබා සිටි හෙයින්, ග්‍රීක් සාහිත්‍යය උගන්වා ඔහු ඔවුන්ගේ අවශ්‍යතා සැපයීය.

අධිරාජ්‍යයාගේ අභිප්‍රාය වූයේ ක්‍රිස්තියානි ධර්මයේ පැතිරීම අත්හිටුවීමය. ඔහුගේ නියෝගය ශිෂ්‍යයන්ට පමණක් නොව ගුරුවරුන්ටද බලපෑ නිසා, ක්‍රිස්තු ධර්මය ඉගැන්වූ සියලුම ගුරුවරු ඇලෙක්සැන්ඩ්‍රියාවෙන් පලා ගියෝය. ශුද්ධ ලියවිලි පිළිබඳව අධ්‍යාපනයක් ලබා දෙන්නයයි ක්‍රිස්තියානි නොවූවන් ඔරිගන්ගෙන් ඉල්ලා සිටි විට, ඔරිගන් ඔවුන්ට උපකාර කළේ එය දෙවියන්ගෙන් ලැබූ පැවරුමක් ලෙස සලකමිනි. ඔහුගේ සිසුන් බොහෝදෙනෙකු දිවි පිදූ අතර, සමහරෙක් තම අධ්‍යාපන කටයුතු නිම කිරීමටත් මත්තෙන් එම ඉරණමට ගොදුරු වූහ. තම ජීවිතය පවා පරදුවට තබමින්, ඔරිගන් තම සිසුන්ව එළිපිටම දිරිගැන්වූයේ විනිසුරුවෙකු ඉදිරිපිට හෝ සිර අඩස්සියේ සිටීමට සිදු වුවද, එසේ නැතහොත් මරණය අබියසට පැමිණියද තම ස්ථාවරයේ රැඳී සිටීමටය. සිව්වන සියවසේ විසූ ඉතිහාසඥ යූසීබියස් පවසන පරිදි, ඔරිගන්ගේ සිසුන්ව ඝාතනය කිරීමට ඇදගෙන යන විට, ඔරිගන් “අභීතව, සිපගැනීමෙන් ඔවුන්ට ආචාර කොට, ඔවුන්ගෙන් සමුගත්තේය.”

ඔරිගන්ගේ ඉගැන්වීම් හේතුවෙන්, බොහෝදෙනෙක් ක්‍රිස්තියානි ධර්මය වැලඳගෙන මරු දුටුවෝය. එමනිසා, තම මිතුරන් අහිමි වූ ක්‍රිස්තියානි නොවූවන් බොහෝදෙනෙක් ඔහුට වෛර කළෝය. ඔරිගන් කලහකාරි පිරිස්වලින් සහ දරුණු මරණයක් අද්දැකීමෙන් පවා බේරුණු අවස්ථා එමටය. මැරවරයන්ගේ අතින් බේරීමට ඔහුට එක් තැනකින් තව තැනකට පලා යෑමට සිදු වුවත්, ඔහු තම ඉගැන්වීම් කටයුතු අත්හැරියේ නැත. ඔරිගන් තුළ තිබූ එම නිර්භීතකම සහ කැපවීම දුටු ඇලෙක්සැන්ඩ්‍රියාවේ බිෂොප් තැන වූ දිමිත්‍රියස් ඔහුව ඇලෙක්සැන්ඩ්‍රියාවේ ධර්මායතනයෙහි ප්‍රධානියා ලෙස පත් කළේය. ඔරිගන්ට එම පත්වීම ලැබුණේ වයස අවුරුදු 18දීය!

කාලයාගේ ඇවෑමෙන් ඔරිගන් සුප්‍රසිද්ධ පඬිවරයෙකු සහ ප්‍රවීණ ගත් කතුවරයෙකු බවට පත් විය. ඔහු පොත් 6,000ක් ලියූ බව ඇතමුන් පැවසුවත්, මෙය අතිශයෝක්තියක් විය හැක. ඔහුගේ උසස්ම කෘතිය වන්නේ හෙබ්‍රෙව් ලියවිල්ල හා සම්බන්ධව පළ කළ වෙළුම් 50කින් යුත් දැවැන්ත හෙක්සාප්ලා නමැති කෘතියයි. ඔරිගන් හෙක්සාප්ලා යන කෘතිය සකස් කළේ පිටුවක තීරු හයක් දිස් වන ආකාරයෙන්ය. එම තීරු මෙලෙස විස්තර කළ හැක. (1) හෙබ්‍රෙව් සහ ඇරමයික පාඨය, (2) එම පාඨයන්හි අක්ෂර ග්‍රීක් බසින් දැක්වීම, (3) ඇක්විලාගේ ග්‍රීක් අනුවාදය, (4) සිමැකස්ගේ ග්‍රීක් අනුවාදය, (5) හෙබ්‍රෙව් පාඨය වඩාත් නිවැරදි ලෙස දැක්වීම සඳහා ඔරිගන් විසින්ම සංස්කරණය කරන ලද ග්‍රීක් සෙප්ටූඅජින්ට් පරිවර්තනය සහ (6) තියෝඩිෂියන්ගේ ග්‍රීක් අනුවාදය. බයිබල් විශාරද ජොන් හෝට්, ඔරිගන්ගේ අභිප්‍රාය මෙසේ විස්තර කරයි. “පාඨයන් කිහිපයක්ම මෙලෙස දැක්වීමේ ඔරිගන්ගේ පරමාර්ථය වූයේ, සෙප්ටූඅජින්ට් පරිවර්තනය පමණක් කියවීමෙන් ග්‍රීක් පාඨකයෙකු ව්‍යාකූලත්වයට පත් විය හැකි හෝ නොමඟ යා හැකි වගන්ති රැසක් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා දීමය.”

‘ලියා තිබෙන දේ ඉක්මවා යෑම’

කෙසේවෙතත්, තුන්වන සියවසේ ආගමික මූලධර්ම සම්බන්ධයෙන් පැවතියේ අවුල්සහගත වාතාවරණයකි. මෙම වාතාවරණය, ඔරිගන් බයිබලය සම්බන්ධයෙන් ඉගැන්වූ දෙයට බෙහෙවින් බලපෑම් කළ බවට සැකයක් නොමැත. ක්‍රිස්තියානි ධර්මය එහි මුල් අවධියෙහි පැවතියද, ශුද්ධ ලියවිල්ලට විරුද්ධ විශ්වාසයන්ගෙන් එය කැළැල්ව තිබූ අතර, තැනින් තැන විසිර තිබුණු සභාවන්වල උගන්වන ලද්දේ විවිධාකාර මතයන්ය.

ශුද්ධ ලියවිල්ලට පටහැනි වූ මෙම ඉගැන්වීම් සමහරක් පිළිගත් ඔරිගන්, ඒවා හැඳින්වූයේ ප්‍රේරිතයන්ගේ ඉගැන්වීම් ලෙසටය. ඔහු වෙනත් ප්‍රශ්න සම්බන්ධයෙන් තමාගේම උපකල්පනයන් ඉදිරිපත් කිරීමටද මැළි වූයේ නැත. ඔහුගේ සිසුන් බොහෝදෙනෙක් එවකට පැවති දාර්ශනික මත සමඟද පොරබදිමින් සිටියෝය. ඔරිගන් ඔවුන්ට උපකාර කිරීමේ අරමුණින්, තම තරුණ සිසුන්ගේ මනස්වලට ගැඹුරින් බලපෑ විවිධ දාර්ශනික ක්ෂේත්‍රයන් ඉතා සියුම් අධ්‍යයනයකට ලක් කළේය. එසේ කළේ ඔවුන් තුළ ඉස්මතු වූ දාර්ශනික ප්‍රශ්නවලට සෑහීම ගෙන දෙන උත්තර ලබා දීමේ අරමුණෙනි.

ඔරිගන්ගේ උත්සාහය වූයේ බයිබලයෙහි අදහස් දාර්ශනික පදනමක් යොදාගෙන තේරුම් කර දීමටය. මෙහිදී ශුද්ධ ලියවිලිමය පාඨ තෝරා දීමට ඔහු යොදාගත් ක්‍රමය වූයේ, එහි සැඟවුණු නොහොත් ගුප්ත අරුතක් ඇති බව ඇඟවීමේ ක්‍රමයයි. ශුද්ධ ලියවිල්ලට යම් ගුප්ත අරුතක් අනිවාර්යයෙන් ඇති බවත්, පදගතාර්ථ අරුතක් අනිවාර්යයෙන්ම තිබීම අවශ්‍ය නැති බවත් ඔහු උපකල්පනය කළේය. එක් විශාරදයෙකුගේ අදහසට අනුව, මෙසේ ඔරිගන් “තමාගේ දේවධර්මීය පිළිවෙතට එකඟව දිව ගිය, එනමුත් බයිබලයට පටහැනි වූ ඕනෑම මතයක් බයිබලයෙහි ඇති බව පෙන්නුම් කිරීමට අඩිතාලම දැමීය. මේ අතරවාරයේදී තමා බයිබලයෙහි අදහස් උද්‍යෝගයෙන් සහ විශ්වාසවන්තව තෝරා දෙනවායයි ඔහු (අවංකවම) සිතූ බවට සැකයක් නැත.”

ඔරිගන් සිය සිසුවෙකුට ලියූ ලිපියකින් ඔහුගේ චින්තනය ගැන වඩාත් පැහැදිලි අදහසක් ලබාගත හැක. යෙහෝවාගේ දේවමාළිගාවෙහි තිබූ රන් භාජන මිසරයේ රනින් තැනූ බව ඔරිගන් පෙන්වා දුන්නේය. ක්‍රිස්තියානි ධර්මය ඉගැන්වීමට ග්‍රීක් දර්ශනය යොදාගැනීමට තමා ගත් ස්ථාවරයට අනුබල දීම සඳහා එම උදාහරණයේ යම් ගුප්ත අරුතක් ඇති බව ඔහු කියා සිටියේය. ඔහු ලීවේ මෙසේය. “මිසරවරුන් නිසි ලෙස භාවිතයට නොගත් දේවල් ඉශ්‍රායෙල් දරුවන්ට මොනතරම් ප්‍රයෝජනවත් වීද! දෙවියන්ගේ ප්‍රඥාවෙන් මඟ පෙන්වනු ලැබූ ඔවුහු ඒවා දේවසේවය සඳහා යොදාගත්තෝය.” එමනිසා, “ක්‍රිස්තියානි ධර්මය හැදෑරීමට ආධාරකයක් වශයෙන් ග්‍රීක් දර්ශනයෙන් ප්‍රයෝජනවත් විය හැකි ඕනෑම දෙයක් යොදාගැනීමට” ඔරිගන් සිය සිසුන්ව දිරිමත් කළේය.

බයිබලයෙහි අරුත තෝරා දීමේදී ඔහු යොදාගත් එළඹීම සීමාන්තික එකක් වූ නිසා, ක්‍රිස්තියානි ඉගැන්වීම් සහ ග්‍රීක් දර්ශනය අතර පවතින පැහැදිලි වෙනස බොඳ විය. නිදසුනකට, මූලධර්ම පිළිබඳව යන මැයින් යුත් තම පොතෙහි ඔරිගන් යේසුස්ව උපතක් අද්දුටු ‘ඒකජාතක පුත්‍රයා’ ලෙස විස්තර කළද, ‘ඔහුට ආරම්භයක් නැති බව’ සඳහන් කළේය. ඔහු තවදුරටත් මෙසේ පැවසීය. ‘ඔහුගේ උපත යම්කිසි මොහොතක සිදු වූවක් නොවේ. ඔහු පුත්‍රයෙකු බවට පත් වූයේ ජීවන හුස්ම ලැබීමෙන්වත්, යම් මැවීමේ ක්‍රියාවකින්වත් නොවේ. ක්‍රිස්තුස් දෙවියන්ගේ ස්වභාවයෙහිම කොටසක්ය. ඔහුද සදාකාලිකය.’

යෙහෝවාගේ ඒකජාතක පුත්‍රයා “මුළු මැවිල්ලේ කුළුඳුලා” බවත් ‘දෙවිගේ මැවිල්ලේ මුල’ බවත් ශුද්ධ ලියවිල්ලෙහි උගන්වා ඇති බැවින්, ඔරිගන් තම අදහස බයිබලයෙන් සොයාගත්තේ නැති බව පැහැදිලිය. (කොලොස්සි 1:15; එළිදරව් 3:14) ආගමික ඉතිහාසඥ ඔගස්ටස් නියැන්ඩර්ට අනුව, ඔරිගන් ක්‍රිස්තුස්ගේ “සදාතනික පැවැත්ම” පිළිබඳ සංකල්පය ඇති කළේ “ප්ලේටෝගේ දාර්ශනික මතයන් හැදෑරීමෙන්” අනතුරුවය. මෙසේ බලන කල, ‘ලියා තිබෙන දේ ඉක්මවා නොයන්න’ යන මූලික ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්තිය ඔරිගන් උල්ලංගනය කළ බව පැහැදිලිය.—1 කොරින්ති 4:6.

මිථ්‍යා දෘෂ්ටිකයෙකු ලෙස හංවඩු ගැසේ

ඔරිගන් ගුරුවරයෙකු ලෙස සේවය කළ මුල් අවධියේදී, ඇලෙක්සැන්ඩියානු දේවධර්මීය පාලක මණ්ඩලය ඔහුව පූජක ධුරයෙන් ඉවත් කළේය. මෙයට හේතුව ඔහුට වැඩි වැඩියෙන් ලැබුණු කීර්තියට දිමිත්‍රියස් බිෂොප් තැන ඊර්ෂ්‍යා කිරීම විය හැක. එමනිසා, ඔරිගන් පලස්තීනය බලා ගිය අතර, ක්‍රිස්තියානි ධර්මය විශ්වාසයෙන් රැකගන්නෙකු හැටියට ඔහු දිනාගත් කීර්තිය නොනිවී පැවතිණ. එහිදී ඔහු දිගටම පූජකයෙකු ලෙසද සේවය කළේය. නැඟෙනහිර ප්‍රදේශවල “මිථ්‍යා දෘෂ්ටික” නැඹුරුවාවන් ඉස්මතු වූ විට, නොමඟ ගිය බිෂොප්වරුන් මුල් ඉගැන්වීම් වෙත නැවත හැරීම සඳහා ඔහුගේ උපකාරය පතන ලදි. කෙසේවෙතත්, පො.යු. 254දී සිදු වූ ඔහුගේ මරණයෙන් පසු, ඔරිගන්ගේ කීර්තිය අපකීර්තියක් බවට පෙරළිණ. ඒ මන්ද?

නාමමාත්‍ර ක්‍රිස්තියානි ධර්මය පිළිගත් ආගමක් බවට පත් වූවායින් පසු, සභාව සම්මත ඉගැන්වීම් වශයෙන් අනුමත කළ දෙය නිර්වචනය කරන ලද්දේ වඩාත් සීමිත පරාසයක් තුළය. එමනිසා, පසු කාලීන දේවධර්මධරයන් ඔරිගන් ප්‍රබන්ධ කළ ඇතැම් අනුමාන සහිත, අපැහැදිලි දාර්ශනික මත රැසක් පිළිගත්තේ නැත. ඔහුගේ ඉගැන්වීම්, සභාව තුළ දැඩි මතභේදයට තුඩු දුන්නේය. මෙම මතභේද නිරාකරණය කිරීමේ හා සභාවේ සමඟිය රැකගැනීමේ පරමාර්ථයෙන්, එවකට පැවති සභාව ඔරිගන්ව මිථ්‍යා දෘෂ්ටිකයෙකු ලෙස නම් කළේය.

ඇත්තෙන්ම, සත්‍යයෙන් වැටී ගියේ ඔරිගන් පමණක් නොවේ. ක්‍රිස්තුස්ගේ නිර්මල ඉගැන්වීමෙන් සමස්ත වැටීයෑමක් සිදු වන බව බයිබලයෙහි පුරෝකථනය කර තිබිණ. මෙම ඇදහිල්ලෙන් වැටීයෑම විශේෂයෙන් ප්‍රවර්ධනය වූයේ මුල් සියවසේ නිමාවත් සමඟය. එනම්, යේසුස්ගේ ප්‍රේරිතයන්ගේ අභාවයත් සමඟින්ය. (2 තෙසලෝනික 2:6, 7) කාලයාගේ ඇවෑමෙන් ඇතැම් ක්‍රිස්තියානීහු තමන් “පිළිගත් ධර්මය” රකින්නන් බව ප්‍රකාශ කරමින්, අන් සියලුදෙනාවම “මිථ්‍යා දෘෂ්ටිකයන්” ලෙස හංවඩු ගැසූහ. කෙසේවෙතත්, සැබෑ තත්වය වූයේ, මුළු ක්‍රිස්තියානි ලෝකයම සැබෑ ක්‍රිස්තියානි ධර්මයෙන් වැටීයෑමය.

‘දැනගැන්මයයි බොරුවෙන් කියන දැනගැන්ම’

ඔරිගන් තමාගේම උපකල්පන රැසක් ඉදිරිපත් කිරීමට මහත් රුචිකමක් දැක්වුවද, ඔහුගේ කෘතිවලින් ලබාගත හැකි ප්‍රයෝජනද තිබේ. නිදසුනකට, හෙක්සාප්ලා නමැති ලියවිල්ලෙහි වෙනසක් නොකොට දෙවිගේ නාමය හෙබ්‍රෙව් අක්ෂර සතරින්ම දක්වා තිබිණ. මුල් ක්‍රිස්තියානීන් දෙවිගේ පෞද්ගලික නාමය වන යෙහෝවා යන්න දැනගෙන සිටි බවටත්, එය භාවිත කළ බවටත් වැදගත් සාක්ෂියක් මෙයින් සැපයේ. කෙසේවෙතත්, පස්වන සියවසේ සභා නායකයෙකු වූ තියෝෆිලස් මෙම අවවාදය දුන්නේය. “ඔරිගන්ගේ කෘති නානාවිධ මල්වලින් යුත් උයනක් හා සැසඳිය හැක. අලංකාර මලක් දකින විට මා එය අතට ගත්තද, කටු සහිත එකක් නෙත ගැටුණොත් එය මඟහැරීමට පියවර ගනිමි.”

බයිබල් ඉගැන්වීම්වලට ග්‍රීක් දර්ශනය මිශ්‍ර කිරීම හේතුවෙන් ඔරිගන්ගේ දේවධර්මය දෝෂවලින් ගහන වූ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රිස්තියානි ලෝකය ආගමික ප්‍රපාතයකට ඇද වැටිණ. ඔරිගන්ගේ සීමාන්තික උපකල්පන රැසක් පසුව ප්‍රතික්ෂේප කළද, ක්‍රිස්තුස්ගේ “සදාතනික පැවැත්ම” හා සම්බන්ධ ඔහුගේ මතයන්, බයිබලයට පටහැනිව දිවයන ත්‍රිත්ව මූලධර්මයට අවශ්‍ය අඩිතාලම සැපයීය. මුල් සියවස් තුනේ සභාව (ඉංග්‍රීසියෙන්) යන පොතෙහි මෙම අදහස අපට දැකගත හැක. “[ඔරිගන් හඳුන්වා දුන්] දාර්ශනික මතවලට තිබූ නැඹුරුවාව නොනැසී පැවතිණ.” ප්‍රතිඵලය? “ක්‍රිස්තියානි ධර්මයේ සරලබව නැති වී ගිය අතර, සභාව තුළට දෝෂ රැසක් ගලා ආවේය.”

ඔරිගන් ප්‍රේරිත පාවුල්ගේ අවවාදය සැලකිල්ලට ගෙන තිබුණා නම්, මෙම ඇදහිල්ලෙන් වැටී යෑමට ඔහුට දායක නොවී සිටීමට ඉඩ තිබිණ. එනමුත්, “දැනගැන්මයයි බොරුවෙන් කියන දැනගැන්මේ අපහාසිකවූ හිස් දෙඩවිලිවලින්ද විරුද්ධකම්වලින්ද අහක්ව” නොසිටි ඔහු ඊට දායක විය. එවන් ‘දැනගැන්මක්’ මත තම ඉගැන්වීම්වලින් බහුතරයක් පදනම් කරගත් නිසා, ඔරිගන් ‘ඇදහිල්ලෙන් මුළාව ගියේය.’—1 තිමෝති 6:20, 21; කොලොස්සි 2:8.

[31වන පිටුවේ පින්තූරය]

ඔරිගන්ගේ “හෙක්සාප්ලා” නමැති කෘතිය, මුල් ග්‍රීක් බයිබල් අත්පිටපත්වල දෙවිගේ නාමය ඇතුළත් වී තිබූ බවට සාක්ෂියකි

[හිමිකම් විස්තර]

Syndics of Cambridge University Library, T-S 12.182හි අවසරය ඇතුවය

[29වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Culver Pictures