Skip to content

පටුනට යන්න

ප්‍රීතියෙන් අස්වැන්න නෙළන ගොවීන් අතර ඔබත් සිටිනවාද?

ප්‍රීතියෙන් අස්වැන්න නෙළන ගොවීන් අතර ඔබත් සිටිනවාද?

ප්‍රීතියෙන් අස්වැන්න නෙළන ගොවීන් අතර ඔබත් සිටිනවාද?

“ගොයම නම් බොහෝය, නුමුත් ගොවියෝ ස්වල්ප දෙනෙක්ය. එබැවින් [තමන්ගේ] ගොයම් කැපීමට ගොවියන් එවන ලෙස ගොයමේ ස්වාමියාට යාච්ඤාකරන්න.”—මතෙව් 9:37, 38.

1. අත්නෑර දිගටම දෙවිගේ කැමැත්ත කිරීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද?

 යෙහෝවාගේ සේවකයන් වශයෙන් අප බව්තීස්ම වූයේ මෑතකදී හෝ වේවා, බොහෝ කලකට පෙර හෝ වේවා, ඒ දවස අප මතකයට නඟන විට, එය අද ඊයේ සිදු වූවාක් මෙන් අපට හැඟෙන්න පුළුවනි. යෙහෝවාට අපේ ජීවිත කැප කළ දා සිට අපේ ප්‍රධානතම කාර්යය ලෙස අප සැලකුවේ ඔහුව පැසසුමට ලක් කිරීමය. රාජ්‍ය පණිවිඩයට සවන් දීමට හා එය පිළිගැනීමට මිනිසුන්ට අවස්ථාව සලසා දීම සඳහා අපි කාලය මිල දී ගත්තෙමු. එසේ කිරීමෙන් අප පෙන්නුවේ යෙහෝවාට ප්‍රීතියෙන් සේවය කිරීම අපේ ජීවිතයේ ප්‍රධානතම දෙය බවය. (එපීස 5:15, 16, NW) අප කාර්ය බහුලව සිටින විට, විශේෂයෙන්ම ‘ස්වාමීන්ගේ මෙහෙයෙහි වඩ වඩා පවතින’ විට, කාලය ඉගිලී යන බව අපට හැඟෙයි. (1 කොරින්ති 15:58) මෙසේ, යෙහෝවාගේ කැමැත්ත කිරීමෙන් අපි මහත් ප්‍රීතියක් ලබන්නෙමු. විවිධ ගැටලුවලට මුහුණ දුන්නත් ඔහුගේ කැමැත්ත දිගටම කරගෙන යෑමට එම ප්‍රීතිය අපට මහත් ශක්තියක් සපයයි.—නෙහෙමියා 8:10.

2. සංකේතමය අර්ථයකින් යුත් අස්වැන්න නෙළීමේ වැඩයේ නිරත වීමේදී ප්‍රීතිය ලැබීමට ඉවහල් වන්නේ කුමක්ද?

2 උපමාලංකාර භාෂාවෙන් කතා කරන විට, ක්‍රිස්තියානීන් වශයෙන් අප කරන සේවය ගොයම් කැපීමට සමාන කළ හැක. සදාකාල ජීවනය සඳහා ජනයාව එක්රැස් කිරීම, යේසුස් ක්‍රිස්තුස් ගොයම් කැපීමට සමාන කළේය. (යොහන් 4:35-38) අද අප නිරත වී සිටින්නේද එවන් ගොයම් කැපීමේ වැඩක නිසා ගොවියන් ලෙස කටයුතු කළ මුල් ක්‍රිස්තියානීන් ලැබූ ප්‍රීතිය ගැන සලකා බැලීමෙන් අපට දිරිගැන්වීමක් ලබාගත හැකි බව නිසැකය. ඔවුන් ලැබූ එම ප්‍රීතිය ගැන සලකා බැලීමෙන් අනතුරුව, මේ කාලයේ සිදු වන ගොයම් කැපීමේ වැඩයේ නිරත වීමේදී ප්‍රීතිය ලැබීමට ඉවහල් වන සාධක තුනක් ගැන අපි සලකා බලන්නෙමු. එම සාධක තුන වන්නේ, (1) බලාපොරොත්තු ජනිත කරවන අපේ පණිවිඩය, (2) අප හවුල් වී සිටින සෙවීමේ කාර්යයෙන් ලබන සාර්ථකත්වය හා (3) ගොවියන් වශයෙන් සාමකාමී ආකල්පයක් ඇතුව සිටීම වේ.

අතීතයේදී ගොවියන් එවීම

3. යේසුස්ගේ මුල් අනුගාමිකයන් ප්‍රීතිය අද්දැකීමට හේතු වූයේ කුමක්ද?

3 මුල්ම ගොවියන්ට, විශේෂයෙන්ම යේසුස්ගේ විශ්වාසවන්ත ප්‍රේරිතවරුන් 11දෙනාට නැවත නැඟිටුවන ලද යේසුස්ව පො.යු. 33 එක් දවසකදී ගලීලයේ කන්දක් අසල හමුවීම, ඔවුන්ගේ ජීවිතවල මහත් වෙනසක් සිදුවීමට හේතු විය. (මතෙව් 28:16) ඒ අවස්ථාවේදී “පන්සියයකට වඩා සහෝදරයන්” පිරිසක් රැස්ව සිටි බව වාර්තා වේ. (1 කොරින්ති 15:6) යේසුස් එම මොහොතේදී ඔවුන්ට දුන් බලපැවරුම ඔවුන්ගේ දෙසවන්වල රැව් පිළිරැව් දෙන්නට විය. ඔහු ඔවුන්ට මෙසේ පැවසුවේය. ‘නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න. පියාගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයට ඔවුන් බව්තීස්ම කරන්න. මා විසින් නුඹලාට අණ කළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න.’ (මතෙව් 28:19, 20) දරුණු හිංසා පීඩාවලට මුහුණ දීමට සිදු වුවත්, එම පැවරුම ඉටු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්ගෙන් සමන්විත සභාවන් බොහෝ ප්‍රදේශවල බිහි වෙනවා දැකීමෙන් ඔවුන් මහත් ප්‍රීතියක් ලැබීය. කලක් ගතවීමෙන් පසු, ‘ශුභාරංචිය අහසින් යට මුළු මැවිල්ලෙහි ප්‍රකාශ වුණේය.’—කොලොස්සි 1:23; ක්‍රියා 1:8; 16:5.

4. ක්‍රිස්තුස් සිය ගෝලයන්ව පිටත් කර හැරිය අවස්ථාවේදී ජනයා සිටියේ කිනම් තත්වයකද?

4 යේසුස් ගලීලයේ සේවය කළ මුල් කාලයේදී ප්‍රේරිතයන් 12දෙනාව කැඳවා, “ස්වර්ගරාජ්‍යය ළංවී තිබේ” කියා ජනයාට දැනුම් දීම සඳහා ඔවුන්ව පිටත් කර හැරියේය. (මතෙව් 10:1-7) යේසුස් පවා “ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනාකරමින්ද සියලු ආකාර ලෙඩ හා සියලු ආකාර රෝග සුවකරමින්ද [ගලීලයේ] සියලු නුවරවලද ගම්වලද [ඇවිද්දේය].” ජනයා “එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය බැවින්” ඔවුන් කෙරෙහි අනුකම්පාවක් ඔහුට දැනිණ. (මතෙව් 9:35, 36) ඒ අවස්ථාවේදී අනුකම්පාවෙන් පෙලඹුණු ඔහු සිය ගෝලයන්ට මෙසේ පැවසුවේය. “ගොයම නම් බොහෝය, නුමුත් ගොවියෝ ස්වල්ප දෙනෙක්ය. එබැවින් [තමන්ගේ] ගොයම් කැපීමට ගොවියන් එවන ලෙස ගොයමේ ස්වාමියාට [යෙහෝවා දෙවිට] යාච්ඤාකරන්න.” (මතෙව් 9:37, 38) සිය භූමික දේවසේවය අවසන් වීමට මාස හයක් තිබියදී, යුදයේ දේශනා කරමින් සිටි ඔහු දුටුවේ ගොවියන් සඳහා අවශ්‍යතාවක් එහිද තිබෙන බවය. (ලූක් 10:2) මේ අවස්ථා දෙකේදීම ඔහු සිය අනුගාමිකයන්ව ගොවියන් ලෙස පිටත් කර හැරියේය.—මතෙව් 10:5; ලූක් 10:3.

බලාපොරොත්තු ජනිත කරවන අප සතු පණිවිඩය

5. අප මිනිසුන්ට පවසන්නේ කුමන ආකාරයේ පණිවිඩයක්ද?

5 ගොවියන් ලෙස වැඩ කිරීමට හවුල් වන්න කියා කර තිබෙන ඇරයුම මේ කාලයේ සිටින යෙහෝවාගේ සේවකයන් වශයෙන් අපි ප්‍රීතියෙන් පිළිගන්නෙමු. අප රැගෙන යන්නේ ජීවිතයේ ගැටලු ප්‍රශ්නවලින් මිරිකී සිටින හා අසහනයෙන් පෙළෙන ජනයා තුළ බලාපොරොත්තු ජනිත කරවන පණිවිඩයකි. එය අපගේ ප්‍රීතියට මහත් සේ දායක වේ. මුල් සියවසේ සිටි යේසුස්ගේ ගෝලයන් කළාක් මෙන්, “එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් [සිටින]” අයට බලාපොරොත්තු ජනිත කරවන පණිවිඩයක් වන ශුභාරංචිය දේශනා කිරීමෙහි හවුල් වෙන්න ලැබීම මොනතරම් උතුම් වරප්‍රසාදයක්ද!

6. පළමු සියවසේදී ප්‍රේරිතවරුන් නිරත වී සිටියේ කිනම් වැඩකද?

6 පළමු සියවසේ මැදභාගය වන විට, ප්‍රේරිත පාවුල් ශුභාරංචිය දේශනා කිරීමෙහි කාර්ය බහුලව සිටියේය. මෙසේ අස්වැන්න නෙළීමෙන් ඔහු සාර්ථක ප්‍රතිඵල අත් කරගත් බව, පො.යු. 55දී පමණ කොරින්තියේ විසූ ක්‍රිස්තියානීන්ට ඔහු ලියූ මෙම වදන්වලින් පැහැදිලි වේ. “සහෝදරයෙනි, මම නුඹලාට දේශනාකළාවූ, නුඹලා පිළිගත්තාවූ, නුඹලා පිහිටා සිටින්නාවූ, . . . ශුභාරංචිය නුඹලාට දන්වමි.” (1 කොරින්ති 15:1, 2අ) ප්‍රේරිතවරුන් ඇතුළු පළමු සියවසේ සිටි ක්‍රිස්තියානීන් ක්‍රියාශීලීව හා උද්‍යෝගයෙන් අස්වැන්න නෙළීමේ වැඩයෙහි හවුල් විය. පොදු යුගයේ 70දී යෙරුසලමේ සිදු වූ දරුණු විනාශයෙන් ප්‍රේරිතවරුන් කීදෙනෙකු බේරී ජීවත් වූවාද කියා බයිබලයේ නිශ්චිතව සඳහන් වී නොමැත. එහෙත් ප්‍රේරිත යොහන් එම විනාශයෙන් පසුව අවුරුදු 25ක පමණ කාලයක් පුරා දේශනා කළ බව අපි දනිමු.—එළිදරව් 1:9.

7, 8. වෙන කවරදාටත් වඩා මේ කාලයේදී යෙහෝවාගේ සේවකයන් හදිසිතාවේ හැඟීමකින් යුතුව ප්‍රකාශ කරන පණිවිඩය කුමක්ද?

7 පළමු සියවසෙන් පසු ගත වූ සියවස් ගණනාවක් පුරා පැවතියේ ඇදහිල්ල අත්හැර ගිය “පාපයේ මනුෂ්‍යයා” වන ක්‍රිස්තියානි ලෝකයේ පූජකයන්ගේ පාලනයයි. (2 තෙසලෝනික 2:3) කෙසේවෙතත්, 19වන සියවස අගභාගයේදී මුල් ක්‍රිස්තියානි සභාවේ ඉගැන්වීම්වලට අනුකූලව ජීවත් වීමට දැඩි වෑයමක් දැරූ අය බලාපොරොත්තු ජනිත කරවන රාජ්‍යයේ පණිවිඩය නැවතත් ප්‍රකාශ කරන්න පටන්ගත්හ. මෙම සඟරාවේ මුල්ම කලාපයේ (1879 ජූලි) සිට පළ වූ සඟරාවල, “ක්‍රිස්තුස්ගේ පැමිණ සිටීමේ කාලය දැනුම් දෙමු,” “ක්‍රිස්තුස්ගේ රාජ්‍යය ගැන දැනුම් දෙමු” හා “යෙහෝවාගේ රාජ්‍යය ප්‍රචාරය කරයි” නමැති වාක්‍ය ඛණ්ඩ දැකගත හැකි විය.

8 යේසුස් ක්‍රිස්තුස් රජු වන දෙවිගේ ස්වර්ගික රාජ්‍යය පිහිටුවනු ලැබුවේ 1914දීය. අපි දැන් වෙන කවරදාටත් වඩා හදිසිතාවයේ හැඟීමකින් යුතුව බලාපොරොත්තු ජනිත කරවන පණිවිඩය ප්‍රකාශ කරන්නෙමු. අප එවන් හැඟීමකින් කටයුතු කරන්නේ මන්ද? දෙවිගේ රාජ්‍යය මගින් සිදු කරන යහපත් දේවලින් එකක් වන වත්මන් දුෂ්ට ක්‍රමය නැති කර දැමීම ඉතා ආසන්න නිසාය. (දානියෙල් 2:44, 45ආ) මීටත් වඩා යහපත් ආරංචියක් තිබිය හැකිද? “මහත් පීඩාව” පැමිණීමට කලින් රාජ්‍යය ප්‍රචාරය කිරීමේ වැඩයට හවුල් වීමෙන් ලබන ප්‍රීතිය වෙන කිසිම දෙයකින් ලැබිය හැකිද?—මතෙව් 24:21; මාර්ක් 13:10.

ඵලදායක සෙවීමක්

9. යේසුස් ඔහුගේ ගෝලයන්ට දුන් උපදේශය කුමක්ද? ජනයා රාජ්‍ය පණිවිඩයට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

9 අස්වැන්න නෙළන්නන් වශයෙන් අප භුක්ති විඳින ප්‍රීතියට තවත් හේතුවක් වන්නේ, ගෝලයන් බවට පත් වී අස්වැන්න නෙළීමෙහි අප හා එක්වීමට නැඹුරුවාක් දක්වන අයව සෙවීමේදී අප සාර්ථකත්වයක් ලබමින් සිටීමයි. යේසුස් පො.යු. 31-32 අතර කාලයේදී ඔහුගේ ගෝලයන්ට මෙසේ උපදෙස් දුන්නේය. ‘නුඹලා කොයි නුවරකට නුමුත් ගමකට නුමුත් ඇතුල් වූ කල එහි සුදුස්සා කවුදැයි විභාග කරන්න [සොයන්න, NW].” (මතෙව් 10:11) සෑම කෙනෙකුම සුදුස්සන් නොවූ බව ජනයා රාජ්‍ය පණිවිඩයට දැක්වූ ප්‍රතිචාරයෙන් පැහැදිලි විය. කෙසේවෙතත්, යේසුස්ගේ ගෝලයෝ තමන්ට ජනයාව හමු වූ ඕනෑම තැනකදී ඔවුන් සමඟ ශුභාරංචිය ගැන ජ්වලිතව කතා කළෝය.

10. පාවුල් සුදුස්සන්ව සෙවීමේ කාර්යයේ නිරත වූයේ කෙසේද?

10 යේසුස්ගේ මරණින් හා නැවත නැඟිටීමෙන් පසු සුදුස්සන්ව සෙවීම දිගටම සිදු කෙරිණ. පාවුල් සිනගෝගයේදී යුදෙව්වන් සමඟද ඇතන්ස් නගරයේ පිහිටි වෙළඳපොළේ සිටි ජනයා සමඟද ශුද්ධ ලියවිලි යොදාගනිමින් තර්කානුකූලව කතා කළේය. ඇතන්ස් නගරයේ පිහිටි අධිකරණයක් වූ ඇරියෝපගයේ සිට ඔහු සාක්ෂි දැරූ අවස්ථාවේදී, “සමහර මනුෂ්‍යයෝ ඔහුට එකතුවී අදහාගත්තෝය. ඔවුන් අතරෙහි [ඇරියෝපගිය අධිකරණයේ විනිසුරුවෙකු වූ] දියොනිසියස්ද දමරිස් නම් ස්ත්‍රියෙක්ද ඔවුන් සමඟ වෙනත් අයද වූවෝය.” පාවුල් සැමට ආදර්ශයක් වෙමින් ගිය සෑම තැනකම ‘ප්‍රසිද්ධියේද ගෙයින් ගෙටද’ දේශනා කළේය.— ක්‍රියා 17:17, 34; 20:20.

11. මීට අවුරුදු ගණනාවකට කලින් දේශනා සේවයේදී යොදාගත් ක්‍රම මොනවාද?

11 දහනවවන සියවසේ අවසාන දශක කිහිපය තුළ ආලේප ලත් ක්‍රිස්තියානීන් සුදුස්සන්ව සෙවීමේ කාර්යයේ නිර්භීතව හවුල් විය. වර්ෂ 1881 සයන්ස් වොච් ටවර් සඟරාවේ ජූලි/අගෝස්තු කලාපයේ පළ වූ “ආලේප කර තිබෙන්නේ දේශනා කිරීමටය” නමැති ලිපියේ මෙසේ සඳහන් විය. “සවන් දීමට කැමති ‘මොළොක් ගුණැති’ අයට ශුභාරංචිය දේශනා කිරීම දිගටම කෙරීගෙන යයි. මෙමගින්, සවන් දෙන මොළොක් ගුණැති අයට ක්‍රිස්තුස්ගේ හවුල් පාලකයන් වීමේ වරප්‍රසාදය භුක්ති විඳීමට හැකි වේ.” පල්ලියේ පවත්වන පූජාවට සහභාගි වීමෙන් පසු නිවෙස් බලා යන ජනයාට දෙවිගේ සේවකයෝ නොහොත් අස්වැන්න එකතු කරන්නෝ ශුද්ධ ලියවිලි මත පදනම් පණිවිඩ ඇතුළත් පත්‍රිකා බෙදා දුන්හ. එම පත්‍රිකා විශේෂයෙන්ම පිළියෙළ කර තිබුණේ සුදුස්සන්ගේ උනන්දුව පුබුදුවාලීම සඳහාය. එම ක්‍රමය යොදාගනිමින් සාක්ෂි දැරීමේදී ලැබූ සාර්ථකත්වය සැලකිල්ලට ගැනීමෙන් පසු, “ඉරිදා උදෑසන ගෙයින් ගෙට ගොස්” පත්‍රිකා බෙදා දීමට අස්වැන්න නෙළන්නන්ව දිරිමත් කළ ලිපියක් 1903 මැයි 15 මුරටැඹ කලාපයේ පළ විය.

12. අප දේශනා සේවයේ සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන තිබෙන්නේ කෙසේද? පැහැදිලි කරන්න.

12 නිවෙස්වලදී හැර වෙනත් ස්ථානවලදී හමු වන ජනයාටද සාක්ෂි දැරීමෙන් පසුගිය කාලයේදී අපේ සේවය අපි පුළුල් කර ඇත්තෙමු. අප සාමාන්‍යයෙන් යන වේලාවන්වලදී ජනයාව ඔවුන්ගේ නිවෙස්වලදී හමු විය නොහැකි ප්‍රදේශවල එම ක්‍රමය ඵලදායක වී තිබේ. රටේ පවතින ආර්ථික තත්වය හේතුවෙන් සති අන්තවල පවා රැකියාව කිරීමට සිදු වන නිසා හෝ විවේක ගැනීම සඳහා නිවසින් බැහැරව ගොස් සිටීම නිසා අපට නිවෙස්වලදී ඔවුන්ව හමු නොවිය හැක. මුහුදු වෙරළේ විවේකය ගත කිරීම සඳහා ජනයා නිතිපතා බස්වලින් පැමිණෙන බව එංගලන්තයේ සිටින සාක්ෂිකාරියන් දෙදෙනෙකුගේ අවධානයට ලක් විය. ඔවුහු දෙදෙනා ධෛර්යය උපදවාගෙන එම බස් රථවලට ඇතුල් වී, එහි සිටින අයට මුරටැඹ සහ පිබිදෙව්! සඟරා ඉදිරිපත් කළහ. එක මාසයකදී සඟරා 229ක් බෙදාහැරීමට ඔවුන්ට හැකි විය. තම අද්දැකීම ගැන ඔවුන් මෙසේ සඳහන් කරයි. “මුහුදු වෙරළේ හෝ ව්‍යාපාරික ස්ථානවල හෝ වෙනත් ඕනෑම තැනක සාක්ෂි දරන්න අපට බයක් දැනෙන්නේ නැහැ. මොකද අපි දන්නවා යෙහෝවා නිතරම අපිත් එක්ක ඉන්නවා කියලා.” සඟරා මාර්ගයක් ඇති කරගෙන, බයිබල් පාඩමක් පටන්ගැනීමට ඔවුන්ට හැකි වූ අතර, දෙදෙනාම උපකාරික පුරෝගාමි සේවය කරන්න පටන්ගත්හ.

13. ඇතැම් ප්‍රදේශවල දේවසේවයේ හවුල් වන විට කිනම් වෙනස්කම් කිරීමට සිදු වී තිබේද?

13 සුදුස්සන්ව සෙවීමේ කාර්යය අඛණ්ඩව සිදු වෙමින් පවතින නිසා ඇතැම් ප්‍රදේශවල අප සේවයේ හවුල් වීමේදී එම ප්‍රදේශවල පවතින තත්වයන් ගැන අප සැලකිලිමත් විය යුතුය. ඇතැම් සාක්ෂිකරුවන් ඉරිදා උදෑසනින්ම ගෙයින් ගෙට සේවයේ නිරත වීමට පුරුදු වී සිටියි. එහෙත්, එසේ ඉරිදා උදෑසනින්ම ඇතැම් ප්‍රදේශවල ජනයාව හමුවීම සඳහා නිවෙස්වලට යෑමෙන් එතරම් සාර්ථක ප්‍රතිඵල ලැබී නැත. එයට හේතුව වන්නේ සාමාන්‍යයෙන් නිවැසියන් ඉරිදා උදෑසන ප්‍රමාද වී අවදි වීමය. මේ නිසා සාක්ෂිකරුවන් බොහෝදෙනෙකු සේවයේ නිරත වන වේලාවන් වෙනස් කරගෙන, රැස්වීම්වලින් පසු දහවල් කාලයේදී සුදුස්සන්ව සොයා යෑමට කටයුතු පිළියෙළ කරගෙන ඇත. මේ වේලාවේදී සුදුස්සන්ව සෙවීම ඵලදායක වී තිබේ. පසුගිය වසරේදී රාජ්‍ය ප්‍රචාරකයන්ගේ ගණන සියයට 2.3කින් වැඩි විය. මෙම වර්ධනයෙන් ගොයමේ ස්වාමියාව ගෞරවයට පත් වන අතර, අපිද එයින් මහත් ප්‍රීතියක් භුක්ති විඳින්නෙමු.

අස්වැන්න නෙළීමේදී සාමය පවත්වාගැනීම

14. අපේ පණිවිඩය ඉදිරිපත් කිරීමේදී අප තුළ තිබිය යුත්තේ කිනම් ආකල්පයක්ද? එයට හේතුව කුමක්ද?

14 අපේ ප්‍රීතියට තවත් හේතුවක් වන්නේ ගොයම් කැපීමේදී අප විදහාපෙන්වන සාමකාමී ආකල්පයයි. මේ වැඩයේ නියැලෙන විට අපට තිබිය යුතු ආකල්පය සම්බන්ධයෙන් යේසුස් මෙසේ පැවසුවේය. “ගෙදරට ඇතුල්වන විට ඊට ආචාරකරන්න. ගෙයි වැසියන් සුදුසු නම්, නුඹලාගේ සමාදානය ඒ පිටට පැමිණේවා.” (මතෙව් 10:12, 13) ඒ කාලයේදී අන් අයට ආචාර කිරීම සඳහා යොදාගත් හෙබ්‍රෙව් යෙදුමෙන් හා බයිබලයේ සඳහන් ඒ හා සමාන අර්ථයක් දෙන ග්‍රීක් යෙදුමෙන් ‘ඔබට සාමය ලැබේවා!’ යන්න අදහස් වේ. අප ජනයා ළඟට ශුභාරංචිය රැගෙන යන විට ඔවුන් වෙතට අප එළඹිය යුතු ආකාරය සම්බන්ධයෙන් යම් මඟ පෙන්වීමක් එයින් අපට ලබාගත හැක. ජනයා රාජ්‍ය පණිවිඩයට යහපත් ප්‍රතිචාරයක් දක්වයි කියා අපි බලාපොරොත්තු වන්නෙමු. එසේ යහපත් ප්‍රතිචාරයක් දක්වන අයට දෙවි සමඟ සමඟි වී සාමකාමී සබඳතාවක් භුක්ති විඳිය හැක. මේ සඳහා, ඔවුන් තමන්ගේ පාප ගැන පසුතැවිලි වී වැරදි මාර්ගවලින් හැරී ඔහුගේ කැමැත්ත කළ යුතුය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් දෙවි සමඟ සාමකාමී සබඳතාවක් භුක්ති විඳීමට ඔවුන්ට හැකි වන අතර, එය සදාකාල ජීවනයට මඟ පාදයි.—යොහන් 17:3; ක්‍රියා 3:19; 13:38, 48; 2 කොරින්ති 5:18-20.

15. අප දේශනා සේවයේදී හිතකර නොවන ප්‍රතිචාරයන්ට මුහුණ දෙන විට අප සතු සාමය දිගටම පවත්වාගත හැක්කේ කෙසේද?

15 ඇතැම් අය අපේ පණිවිඩයට යහපත් ප්‍රතිචාරයක් නොදක්වන විට, අප සතු සමාදානය දිගටම පවත්වාගන්න අපට හැක්කේ කෙසේද? මෙහිදී යේසුස් දුන් මෙම උපදේශය සැලකිල්ලට ගන්න. “[ගෙවැසියා] නුසුදුසු නම් නුඹලාගේ සමාදානය නැවත නුඹලා කරා පැමිණේවා.” (මතෙව් 10:13) ගෝලයන් 70දෙනාව පිටත් කර හැරීමේදී යේසුස් පැවසූ වදන් ලූක්ගේ වාර්තාවේ මෙසේ සඳහන් වේ. “සමාදානයේ පුත්‍රයෙක් එහි සිටී නම් නුඹලාගේ සමාදානය ඔහු කෙරෙහි රඳන්නේය. නැතහොත් එය නුඹලා කරා පැමිණෙන්නේය.” (ලූක් 10:6) ශුභාරංචිය රැගෙන මිනිසුන් ළඟට යන විට, අප වෑයම් කළ යුත්තේ අප ගැන හොඳ හැඟීමක් ඔවුන් තුළ ඇති වන ආකාරයෙන් එළඹීමට හා සාමකාමී වාතාවරණයක් ඇති කරගැනීමටයි. ගෙවැසියා උදාසීන ප්‍රතිචාරයක් දක්වනවා නම් හෝ චෝදනා කරනවා නම් හෝ බැණ වදිනවා නම්, එයින් අදහස් කරන්නේ එවන් අවස්ථාවකදී අප රැගෙන ගිය සාමකාමී පණිවිඩය ‘නැවත අප කරා’ පැමිණෙන බවයි. එහෙත් දෙවිගේ ශුද්ධාත්මයේ ඵලයක් වන අප සතු සමාදානය සොරාගැනීමට එවන් ප්‍රතිචාරවලට ඉඩ නොදිය යුතුය.—ගලාති 5:22, 23.

ගොවියන් සඳහා කදිම ඉලක්කයක්

16, 17. (අ) නැවත බැලීම් කිරීමේදී අපේ ඉලක්කය විය යුත්තේ කුමක්ද? (ආ) බයිබලය ගැන ප්‍රශ්න නඟන අයට අපට උපකාර කළ හැක්කේ කෙසේද?

16 සදාකාල ජීවනය සඳහා ජනයාව එක්රැස් කිරීමේදී ගොවියන් වශයෙන් අපට යම් වැඩ කොටසක් තිබීම ගැන අපි සතුටු වන්නෙමු. අප දේශනා කරන විට පුද්ගලයෙක් හොඳින් සවන් දෙමින් හා තවත් දේවල් දැනගැනීම සඳහා කැමැත්ත පළ කරමින් තමන් “සමාදානයේ පුත්‍රයෙක්” බව පෙන්වන විට අපට ඇති වන ප්‍රීතිය මොනතරම්ද! සමහරවිට ඔහු බයිබලය ගැන බොහෝ ප්‍රශ්න නඟන්න පුළුවන. එහෙත් එක හමුවීමකදී ප්‍රශ්න සියල්ලටම උත්තර දිය නොහැකි බව අපි දනිමු. මුල් හමුවීමේදී බොහෝ වේලාවක් සාකච්ඡා කිරීම යෝග්‍ය නොවිය හැක. එසේනම් කුමක් කළ හැකිද? මීට අවුරුදු 60කට පමණ කලින් තබාගැනීමට නිර්දේශ කළ ඉලක්කය හා සමාන ඉලක්කයක් අපට තබාගත හැක.

17 “යෙහෝවාගේ සාක්ෂිකරුවන් සියලුදෙනාම බයිබල් පාඩම් පැවැත්වීමට සූදානම් වී සිටිය යුතුය.” මෙම ප්‍රකාශය සඳහන් වූයේ 1937 සිට 1941 දක්වා කොටස් වශයෙන් ඉංග්‍රීසි බසින් ප්‍රකාශයට පත් කළ පාඩම් කිරීමට අත්වැලක් නමැති පොත් පිංචයේ තුන්වන කොටසෙහිය. එහි මෙසේද සඳහන් විය. “රාජ්‍ය පණිවිඩය ගැන දැනගැනීමට උනන්දුවක් දක්වන මොළොක් ගුණැති මනුෂ්‍යයන්ට ඒ සඳහා හැකි සෑම ආකාරයකින්ම උපකාර කිරීමට සෑම [රාජ්‍ය] ප්‍රචාරකයෙකුම අඛණ්ඩ වෑයමක් දැරිය යුතුය. මෙවැනි පුද්ගලයන්ව නැවත හමු වී, ඔවුන් නඟන ප්‍රශ්නවලට උත්තර දිය යුතු අතර, පසුව හැකි ඉක්මනින් පාඩම් කිරීමට අත්වැලක් නමැති පොත් පිංචය යොදාගනිමින් ඔවුන් සමඟ පාඩමක් පටන්ගත යුතුය.” ඔව්, නැවත බැලීම් කිරීමේදී අපේ ඉලක්කය විය යුත්තේ නිවාස බයිබල් පාඩමක් පටන්ගෙන, නිතිපතා එය කරගෙන යෑමයි. a උනන්දුව දක්වන අය කෙරෙහි ඇති ප්‍රේමනීය සැලකිල්ල හා මිත්‍රශීලී ආකල්පය, හොඳින් සූදානම් වී පාඩම බලපෑමෙන් යුක්තව කිරීමට අපට උපකාර කරයි.

18. නවකයන්ට යේසුස් ක්‍රිස්තුස්ගේ ගෝලයන් වීමට උපකාර කරන්න අපට හැක්කේ කෙසේද?

18 උනන්දුව දක්වන අයට ගෝලයන් බවට පත්වීමට උපකාර කරමින් බලපෑමෙන් යුක්තව නිවාස බයිබල් පාඩම් පැවැත්වීම සඳහා, සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති පොත හා දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? යන විවරණිකාව යොදාගත හැක. උතුම් ගුරුවරයා වන යේසුස් ක්‍රිස්තුස්ව අනුකරණය කිරීමට වෑයම් කිරීමේදී අප භුක්ති විඳින සාමය හා ප්‍රීතිය, අපේ අවංකකම, යෙහෝවාගේ ප්‍රමිති හා මඟ පෙන්වීම් සඳහා අප දක්වන ගෞරවය යනාදිය නිරීක්ෂණය කිරීමෙන් බයිබල් ශිෂ්‍යයන් ඉගෙනගනු ඇත. නවකයන් නඟන ප්‍රශ්නවලට උත්තර සැපයීමට අමතරව, යම් අය ඔවුන්ගෙන් ප්‍රශ්න අසද්දී, ඒවාට උත්තර දිය හැකි ආකාරය ගැනද ඔවුන්ට කියා දෙමු. (2 තිමෝති 2:1, 2; 1 පේතෘස් 2:21) පසුගිය සේවා වසරේදී පැවැත්වූ නිවාස බයිබල් පාඩම් ගණනෙහි සාමාන්‍යය 47,66,631කි. අපත් නිවාස බයිබල් පාඩම් පවත්වන අයගෙන් කෙනෙකු නම්, අස්වැන්න නෙළීමෙහි හවුල්වන්නන් වශයෙන් අපටත් ඒ ගැන විශේෂයෙන් ප්‍රීති විය හැක.

අස්වැන්න නෙළීමේදී ප්‍රීතිමත් වන්න

19. යේසුස් දේවසේවය කළ කාලයේදී හා ඉන් කෙටි කලකට පසු අස්වැන්න එකතු කිරීමේ වැඩයේ හවුල්වූවන්ට ඒ ගැන ප්‍රීතිවීමට හොඳ හේතු තිබුණා කියා පැවසිය හැක්කේ මන්ද?

19 යේසුස් දේවසේවය කළ කාලයේදීත් ඉන් කෙටි කලකට පසුවත් සිදු කළ අස්වැන්න එකතු කිරීමේ වැඩයේ හවුල්වූවන්ට ඒ ගැන ප්‍රීතිවීමට හොඳ හේතු තිබිණ. ඒ කාලයේ සිටි බොහෝදෙනෙක් ශුභාරංචියට යහපත් ප්‍රතිචාරයක් දැක්වූහ. පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවස, අස්වැන්න නෙළීමේ නිරත වී සිටි අයට ප්‍රීතිය ගෙන දුන් විශේෂ දවසක් විය. මන්ද, එදින පේතෘස්ගේ මඟ පෙන්වීම පිළිගත් 3,000දෙනෙකු පමණ යෙහෝවාගේ ශුද්ධාත්මය ලබමින් දෙවිගේ ආත්මික ඉශ්‍රායෙල්ට එක් වූ නිසාය. ඔවුන්ගේ ගණන දිනෙන් දින වැඩි වූ අතර, ‘යෙහෝවා ගැළවෙන්නාවූ අයව දවස්පතා ඔවුන්ට එක් කරද්දී’ ඔවුන් අද්දුටුවේ අතිමහත් ප්‍රීතියකි.—ක්‍රියා 2:37-41, 46, 47; ගලාති 6:16; 1 පේතෘස් 2:9.

20. අස්වැන්න නෙළීමේදී අපේ ප්‍රීතිය වැඩිවීමට බලපාන හේතුව කුමක්ද?

20 ඒ කාලයේදී යෙසායාගේ මෙම අනාවැකිමය වදන් ඉටු වෙමින් තිබූ බවට පැහැදිලි සාක්ෂි තිබිණ. ‘ඔබ [යෙහෝවා] ජාතිය වැඩි කළේය. ඔබ ඔවුන්ගේ ප්‍රීතිය වර්ධනය කළේය. ගොයම් කපන කාලයෙහි සන්තෝෂ වන්නාක් මෙන්ද, මනුෂ්‍යයන් කොල්ලය බෙදාගන්න කළ ප්‍රීති වන්නාක් මෙන්ද, ඔවුහු ඔබ ඉදිරියෙහි ප්‍රීති වෙති.’ (යෙසායා 9:3) ආලේප ලත් අයගෙන් සමන්විත ‘වර්ධනය වෙමින් සිටින ජාතිය’ දැන් බොහෝ දුරට සම්පූර්ණ වී තිබුණත්, වසරක් වසරක් පාසා ගොවීන්ගේ ගණන වැඩි වෙනවා දකින විට අපේ ප්‍රීතිය තව තවත් වැඩි වේ.—ගීතාවලිය 4:7; සෙකරියා 8:23; යොහන් 10:16.

21. ඊළඟ ලිපියේදී සාකච්ඡා කරන්නේ මොනවාද?

21 අස්වැන්න නෙළීමෙහි නියැලී සිටින අපට දිගින් දිගටම ප්‍රීතිවීමට ඕනෑතරම් හේතු තිබේ. බලාපොරොත්තු ජනිත කරවන අප සතු පණිවිඩය, සුදුස්සන්ව සෙවීමේදී අප ලබන සාර්ථකත්වය හා අප සතු සාමකාමී ආකල්පය ගොවියන් වශයෙන් අප ලබන ප්‍රීතියට දායක වේ. එහෙත් අප භුක්ති විඳින ප්‍රීතිය හා ඊට ඉවහල් වන දේවල් බොහෝදෙනෙකුට රුස්සන්නේ නැත. ප්‍රේරිත යොහන්ටද මෙවන් අද්දැකීමකට මුහුණ දීමට සිදු විය. ‘දෙවිගේ වචනයද, යේසුස්ගේ සාක්ෂියද නිසා’ ඔහුව පත්මොස් දූපතේ සිරගත කරන ලදි. (එළිදරව් 1:9) අප හිංසා පීඩාවලට හා විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන විට අපේ ප්‍රීතිය දිගටම පවත්වාගත හැක්කේ කෙසේද? අප දේශනා කරන බොහෝදෙනෙකුට තිබෙන දැඩි ආකල්ප මැද අත්නෑර සේවය කිරීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද? අපේ ඊළඟ ලිපිය මෙම ප්‍රශ්නවලට ශුද්ධ ලියවිලි මත පදනම් උත්තර සපයනු ඇත.

[පාදසටහන]

a පාඩම් පැවැත්වීම මුලින්ම සංවිධානය කළේ උනන්දුව දක්වන පුද්ගලයන් කණ්ඩායමක් එක්රැස් කරගත හැකි ස්ථානයකය. කෙසේවෙතත්, වැඩි කල් යන්න කලින් තනි පුද්ගලයන් හා පවුල් සමඟ පාඩම් පැවැත්වීම පටන්ගන්නා ලදි.—යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන දේවරාජ්‍යය ප්‍රචාරය කරන යෙහෝවාගේ සාක්ෂිකරුවෝ (jv, සිංහලෙන් ලබාගත නොහැක) නමැති පොතේ 574වන පිටුව බලන්න.

ඔබ උත්තර දෙන්නේ කෙසේද?

• උපමාලංකාර භාෂාවට අනුව අස්වැන්න නෙළීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

• අප ප්‍රකාශ කරන්නේ කුමන ආකාරයේ පණිවිඩයක්ද?

• ගෝලයන් සෙවීමේ කාර්යයේ අප සාර්ථක වීමට හේතු මොනවාද?

• අස්වැන්න නෙළීමේ වැඩයේ නිරත වන විට සාමය පවත්වාගත හැක්කේ කෙසේද?

• අස්වැන්න ගැන අප දිගින් දිගටම ප්‍රීති වන්නේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[12, 13වන පිටුවේ පින්තූර]

පළමුවන හා විසිවන සියවස්වල දේශනා කිරීම

[13වන පිටුවේ පින්තූර]

පාවුල් මෙන් මේ කාලයේ සිටින ගොවීන්ද සෑම තැනකම සිටින ජනයාව හමුවීමට වෑයම් කරයි

[13වන පිටුවේ පින්තූරය]

ප්‍රියමනාප ස්වභාවයක් විදහාපෙන්වමින් ශුභාරංචිය ප්‍රකාශ කරන්න