Skip to content

පටුනට යන්න

මරණින් පසු ජීවිතයක් ඇද්ද?

මරණින් පසු ජීවිතයක් ඇද්ද?

මරණින් පසු ජීවිතයක් ඇද්ද?

වසර 3,500කට පමණ පෙර සිටි කුලදෙටුවෙකු වූ යෝබ් “මනුෂ්‍යයෙක් මැරුණාම ඔහු නැවත ජීවත්වේද” යන ප්‍රශ්නය ඇසීය. (යෝබ් 14:14) සහස්‍ර ගණනාවක් පුරා මෙම ප්‍රශ්නය මිනිසාගේ කුතුහලයට හේතුවක් වී තිබේ. යුග ගණන් පුරා, සෑම සමාජයකම ජීවත් වී ඇති ජනයා මෙම විෂය ගැන ගැඹුරින් කල්පනා කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් විවිධ මතයන් ඉදිරිපත් කර තිබේ.

ක්‍රිස්තියානීන්යයි නමට කියාගන්නා අය ස්වර්ගයක් සහ නිරයක් තිබෙන බවට විශ්වාස කරති. අනික් අතට හින්දු භක්තිකයන් විශ්වාස කරන්නේ පුනර්භවයක් ඇති බවයි. මුස්ලිම්වරුන් දරන මතය පිළිබඳව ඉස්ලාම් ධර්මයේ ආගමික මධ්‍යස්ථානයක නිලධාරියෙක් වන එමීර් මූවාවියා මෙසේ අදහස් දක්වයි. “මරණින් පසු විනිශ්චයට දවසක් නියම කර ඇති බව අපි විශ්වාස කරන්නෙමු. එදාට අපි, අධිකරණයකදී මෙන් දෙවි, එනම් අල්ලා ඉදිරියෙහි පෙනී සිටින්නෙමු.” ඉස්ලාම් ධර්මයේ විශ්වාසයට අනුව, එම අවස්ථාවේදී සෑම කෙනෙකුගේම ජීවිතය විභාග කර බලන අල්ලා, ඔවුන්ව පාරාදීසයට (ජන්නත්) නැතහොත් නිරාගින්නට (දෝසක්) නියම කරයි.

ශ්‍රී ලංකාවේ පවුලක මරණයක් සිදු වන විට බෞද්ධ හා කතෝලික දෙපිරිසම නිවසේ සියලු දොරවල් සහ ජනෙල් විවෘත කර තබති. අනතුරුව පහනක්ද පත්තු කරනු ලැබේ. මිනීපෙට්ටිය තබන්නේ මියගිය තැනැත්තාගේ පාද ප්‍රධාන දොරටුව දෙසට සිටින්නටය. ඔවුන් මෙම චාරිත්‍ර වාරිත්‍රවලට අනුව කටයුතු කරන්නේ මියගිය තැනැත්තාගේ ආත්මයට ඉවත්ව යෑම සඳහා පහසු ගමන් මඟක් සලසා දීමටයි.

බටහිර ඕස්ට්‍රේලියා සරසවියේ සේවය කරන රොනල්ඩ් එම්. බර්න්ට් පවසන පරිදි, ඕස්ට්‍රේලියාවේ මුල් වැසියෝ “මිනිස් ආත්ම විනාශ කළ නොහැකි” බව විශ්වාස කරති. ඇතැම් අප්‍රිකානු ගෝත්‍රිකයන් විශ්වාස කරන්නේ සාමාන්‍ය මිනිසෙකු මිය ගියායින් පසු අවතාරයක් බවට පත් වන බවය. අනික් අතට ප්‍රසිද්ධ මිනිසෙකු මිය යන විට, එම පුද්ගලයා ශ්‍රේෂ්ඨ ආත්මයක් බවට පත් වන බව ඔවුහු විශ්වාස කරති. ගෝත්‍රයේ අදෘශ්‍යමාන නායකයන් ලෙස ක්‍රියා කරන මෙම මුතුන්මිත්තන්ට ගරුබුහුමන් කළ යුතු අතර, ඔවුන්ගෙන් පිහිටද පැතිය යුතු බව විශ්වාස කෙරේ.

ඇතැම් රටවල මළවුන් සම්බන්ධයෙන් යම් විශ්වාසයන් ගොඩ නැඟී ඇත්තේ, දේශීය සම්ප්‍රදායන්වල සහ නාමමාත්‍ර ක්‍රිස්තියානි ධර්මයේ සංකලනයක ප්‍රතිඵලයක් වශයෙනි. නිදසුනකට බටහිර අප්‍රිකාවේ වෙසෙන බොහෝ කතෝලික සහ රෙපරමාදු භක්තිකයන් තම පවුලේ කෙනෙකු මියගිය විට, සිරිතක් වශයෙන් සියලුම කැඩපත් නොහොත් කණ්ණාඩි රෙදිකඩකින් ආවරණය කරනු ලබයි. එසේ කරන්නේ යමෙකු ඒවා දෙස බැලීමෙන් මියගිය තැනැත්තාගේ ආත්මය දැකීම වළක්වන පිණිසය.

එසේ නම්, ‘අප මියයන විට සිදු වන්නේ කුමක්ද’ යන ප්‍රශ්නයට විවිධාකාර පිළිතුරු ලැබීම බලාපොරොත්තු විය හැක. එනමුත්, මේ පිළිතුරු සියල්ලෙන් පොදු වූ එක් මූලික කාරණයක් මතු වේ. එය නම් මරණින් පසු පුද්ගලයෙකුගේ සිරුරෙන් බැහැර වන යම්කිසි අමරණීය දෙයක් දිගටම පවතින බවය. සමහරුන් එය හඳුන්වන්නේ ආත්මය හැටියටය. ලොව පුරා වෙසෙන ජනයාගෙන් බහුතරයක් විශ්වාස කරන්නේ පුද්ගලයෙකුගේ මරණයෙන් පසු ඔහුගේ ආත්මය දිගටම පවතින බවය. එය අමරණීය බව ඔවුහු විශ්වාස කරති.

ජීවමාන පුද්ගලයෙකු තුළ එවැනි ආත්මයක් පවතීද? මරණින් පසු ආත්මයක් ඇත්තටම සිරුරෙන් බැහැර වේද? එවන් දෙයක් සිදු වේ නම්, ආත්මයට සිදු වන්නේ කුමක්ද? මළවුන්ට ඇත්තේ කවර බලාපොරොත්තුවක්ද? මෙවැනි ප්‍රශ්නවලට සෑහීම ගෙන දෙන පිළිතුරු සෙවිය යුතුමය. කුමන සංස්කෘතික හෝ ආගමික පසුබිමකට අයත් වුවත්, මරණය යනු සෑමදෙනෙකුටම මුහුණ දීමට සිදු වන යථාර්ථයකි. එමනිසා ඔබටත් පෞද්ගලිකව බලපාන මේ ප්‍රශ්නවලට තිබෙන පිළිතුරු සෝදිසි කර බැලීමට ඔබට දිරිගන්වන්න කැමැත්තෙමු.