Skip to content

පටුනට යන්න

ආත්මික ප්‍රගතියට එල්ල වන බාධකවලින් ජයගනිමු!

ආත්මික ප්‍රගතියට එල්ල වන බාධකවලින් ජයගනිමු!

ආත්මික ප්‍රගතියට එල්ල වන බාධකවලින් ජයගනිමු!

ඔබ ගමනක් යන්න සූදානම් වන බව සිතන්න. වාහනයේ එන්ජිම පණගන්වා ගියර් මාරු කළත් ඔබේ වාහනය ඉදිරියට ඇදෙන්නේ නැහැ. ඔබ කොතරම් වෑයම් කළත් වැඩක් වෙන්නේ නැහැ. වාහනයේ මොකක් හරි දෝෂයක්වත්ද? නැහැ. එහි ටයරයක් ලොකු ගලක හිර වෙලා! ගල අයින් කළ ගමන්ම බාධාවකින් තොරව ඔබට ගමන ආරම්භ කරන්න පුළුවන්.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කරන සමහර අය මේ හා සමාන තත්වයකට මුහුණ දෙනවා. ඔවුන්ගේ ආත්මික ගමනට විවිධ බාධා තිබෙන්න පුළුවන්. උදාහරණයකට, ‘ලෝකය ගැන වෙහෙසීමෙන් හා වස්තුවේ රැවටිලිකාරකමෙන් [සත්‍යයේ] වචනය යට වී’ ආත්මික ප්‍රගතිය ඇනහිටිය හැකියි කියා යේසුස් අනතුරු ඇඟෙව්වා.—මතෙව් 13:22.

පෞද්ගලිකත්වයේ තිබෙන යම් දුර්වලතා නැත්නම් අත්හැරිය නොහැකි නරක පුරුදුද ආත්මික ප්‍රගතියට බාධාවක් විය හැකියි. උදාහරණයකට, බයිබලයේ පණිවිඩයට ප්‍රිය කළ ජපන් ජාතික යුටාකාගේ අද්දැකීම සලකා බලන්න. ඔහු සූදුවට ඇබ්බැහි වී සිටියා. මේ පුරුද්ද අත්හැරීමට ඔහු කිහිප වතාවක්ම වෑයම් කර තිබුණත් ඉන් කිසිම ඵලක් වුණේ නැහැ. නිතර නිතර ණය ගෙවීමට සිදු වූ ඔහුට විශාල මුදල් කන්දරාවක් මෙන්ම ඔහු සතු ගෙවල් තුනක්ද අහිමි වුණා. අන්තිමට ඔහුගේ පවුලේ අය ඔහුව කොහෙත්ම ගණන් ගන්නේ නැතුව ගියා. මේ සියල්ල ඔහුගේ ආත්ම ගෞරවයට ලොකු පහරක් එල්ල කළා. යුටාකා මෙම බාධකයෙන් ජයගත්තාද?

තවත් උදාහරණයක් සලකා බලන්න. බයිබලය අධ්‍යයනය කරද්දී කේයිකෝට පුළුවන් වුණා රූප වන්දනාව, ලිංගික දුරාචාරය හා ශාස්ත්‍ර බැලීම වැනි පුරුදු ක්‍රමක්‍රමයෙන් අත්හරින්න. ඒත් ඇයට අත්හරින්නම බැරි පුරුද්දක් තිබුණා. “මගේ ලොකුම බාධකය වුණේ දුම්පානයයි. මං කොච්චර සැරයක් ඒක නතර කරන්න හැදුවද!” කියා කේයිකෝ මතකයට නඟනවා.

කවදාවත් ජයගත නොහැකි මෙන් පෙනෙන බාධකයක් ඔබටත් තිබෙනවාද? එසේ නම්, අධෛර්යයට පත් වෙන්න එපා. ඔබේ බාධකය කුමක් හෝ වේවා දෙවිගේ උපකාරය ඇතුව එය ජයගත හැකියි!

මේ සම්බන්ධයෙන් යේසුස් පැවසූ දෙයක් අපට ප්‍රයෝජනවත් විය හැකියි. එක් අවස්ථාවකදී ඔහුගේ ගෝලයන් මීමැස්මොරෙන් පෙළුණු යක්ෂාවේශ වූ මනුෂ්‍යයෙක්ව සුව කිරීමට අසමත් වුණා. යේසුස් එම මනුෂ්‍යයාව සුව කර තම ගෝලයන්ට මෙසේ කිව්වා. “අබ ඇටයක් පමණ ඇදහිල්ල නුඹලාට ඇත්නම්, මේ කන්දට කථාකොට: මෙතැනින් අහක්ව, එතැනට යවයි කීවත් ඒක යන්නේය; කිසිවක් නුඹලාට බැරි නොවන්නේය.” (මතෙව් 17:14-21; මාර්ක් 9:17-29) ඔව්, ඔබට කන්දක් මෙන් පෙනිය හැකි බාධාවක් තිබෙන්න පුළුවන්. ඒත්, අපේ සර්වබලධාරි මැවුම්කරුට හැකියි ඒක ක්ෂණයකින් සමතලා කර දමන්න.—උත්පත්ති 18:14; මාර්ක් 10:27.

බාධක හඳුනාගනිමු

ඔබේ ආත්මික ප්‍රගතියට එල්ල වන බාධක ජයගන්න කලින් ඒ බාධක මොනවාද කියා හඳුනාගත යුතුයි. එය කරන්නේ කෙසේද? සමහරවිට ඔබේ සභාවේ සෙසු සහෝදරයෙක් හෝ සහෝදරියක්, නැත්නම් වැඩිමහල්ලෙක් හෝ ඔබේ බයිබල් පාඩම මෙහෙයවන තැනැත්තා යම් කාරණයක් ඔබේ අවධානයට ලක් කරන්න පුළුවන්. ඔවුන් ප්‍රේමනීයව දෙන එවැනි උපදෙස් ප්‍රතික්ෂේප කරනවා වෙනුවට නිහතමානීව ඔවුන්ට ඇහුම්කන් දෙන්න. “ඉගැන්වීම එපා නොකොට, එය අසා නැණවත් වෙන්න.” (හිතෝපදේශ 8:33) සමහරවිට ඔබ බයිබලය පෞද්ගලිකව අධ්‍යයනය කරන විට ඔබේ දුර්වලතාවන් මොනවාද කියා ඔබටම හඳුනාගත හැකි වෙයි. “[දෙවිගේ] වචනය ජීවමානය, බලවත්ය” කියා පවසන්නේ ඒ නිසයි. (හෙබ්‍රෙව් 4:12) බයිබලය හා බයිබලය මත පදනම් ප්‍රකාශන කියවද්දී ඔබේ අභ්‍යන්තර සිතුවිලි, හැඟීම් හා චේතනා මොනවාද කියා ඔබටම වටහාගත හැකි වෙයි. එතකොට ඔබේ ආත්මික වර්ධනයට බාධා කරන දේවල් හඳුනාගැනීමටත්, ඔබේ පෞද්ගලිකත්වය මැන බලා යෙහෝවාගේ උසස් ප්‍රමිති අනුව අවශ්‍ය සකස් කිරීම් කරගැනීමටත් ඔබට පුළුවන් වෙයි.—යාකොබ් 1:23-25.

නිදසුනක් වශයෙන් බයිබලය අධ්‍යයනය කරමින් සිටින කෙනෙකුට දුරාචාරමය දේවල් සිතින් මවාගැනීමේ පුරුද්ද තියෙනවායයි සිතන්න. තමා එම දේවල් ක්‍රියාවට නංවන්නේ නැති හින්දා එසේ කිරීමේ කිසි හානියක් නැහැයි කියා ඔහු සිතින් තර්ක කරන්න පුළුවන්. කෙසේවෙතත්, ඔහුට කල් යද්දී යාකොබ් 1:14, 15හි වදන් කියවන්න ලැබෙනවා. “එක එක මනුෂ්‍යයා තම තමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හිද පොලඹවනු ලබන කල්හිද පරීක්ෂාකරනු ලබයි. එවිට තෘෂ්ණාව පිළිසිඳගත් කල්හි පාපය [වදන්නීය]. පාපයද සම්පූර්ණවූ කල්හි මරණය උපදවයි” කියා ඔහු එම බයිබල් පදයෙන් අවබෝධ කරගන්නවා. මෙම පුරුද්ද අත්හැරියේ නැත්නම් ඔහුගේ ආත්මිකත්වයට ලොකු තර්ජනයක් එල්ල විය හැකියි කියා ඔහු ඉක්මනටම වටහාගනියි. ඒත් කොහොමද මේ බාධකයෙන් ඔහු ජයගන්නේ?—මාර්ක් 7:21-23.

බාධක ජයගැනීමට උපකාර

මේරු ක්‍රිස්තියානියෙකුගේ උපකාරය ඇතුව, මුරටැඹ ප්‍රකාශන සූචිය (ඉංග්‍රීසියෙන්, dx) a නමැති ප්‍රකාශනය භාවිත කරමින් ඔහුට එම විෂය පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරන්න පුළුවන්. උදාහරණයකට සූචියේ “සිතුවිලි” (thoughts) යන මාතෘකාව යටතේ බැලුවොත්, හානිකර සිතුවිලිවලින් ජයගත හැකි ආකාරය පිළිබඳව ලියා ඇති ලිපි ගණනාවක් සොයාගත හැකි වෙයි. එම ලිපිවල ප්‍රයෝජනවත් බයිබල් පද රැසක් සඳහන් වී තිබෙනවා. පිලිප්පි 4:8 මීට නිදසුනක් වෙයි. “යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරුකටයුතුද, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහිකරන්න” යනුවෙන් එහි පවසයි. මේ අනුව, දුරාචාරමය සිතුවිලි මනසෙන් ඉවත් කිරීමට නම් පිරිසිදු, ගොඩනංවනසුලු දේවල් පිළිබඳව මෙනෙහි කරන්න අවශ්‍යයි කියා ශිෂ්‍යයාට පැහැදිලි වෙයි.

තවද ඒ සම්බන්ධයෙන් දිගටම ගවේෂණය කරද්දී, තත්වය තවත් උග්‍ර කරවන දේවලින් වැළකී සිටිය හැකි ආකාරය පිළිබඳව මඟ පෙන්වන තවත් බයිබල් ප්‍රතිපත්ති ශිෂ්‍යයාට සොයාගත හැකි වෙයි. නිදසුනකට, හිතෝපදේශ 6:27 සහ මතෙව් 5:28හි කාමුක හැඟීම් අවුස්සන දේවල් මත එල්බගෙන සිටීමේ අන්තරාව පැහැදිලි කරයි. එමෙන්ම ‘නිෂ්ඵල දේ බැලීමෙන් තමාගේ ඇස් හරවන’ මෙන් ගීතිකාකරු දෙවිගෙන් ඉල්ලා සිටියා. (ගීතාවලිය 119:37) මෙම බයිබල් පද කියෙවූ පමණින් ප්‍රශ්නය විසඳෙන්නේ නැති බව අමුතුවෙන් කිව යුතු නැහැ. ‘ධර්මිෂ්ඨයාගේ සිත විමසා බැලිය [මෙනෙහි කළ, NW]’ යුතුයි කියා ප්‍රඥාවන්ත රජ පැවසුවා. (හිතෝපදේශ 15:28) ඔව්, තමා කියවන දේ පිළිබඳව ශිෂ්‍යයා ගැඹුරින් සිතා බලන්න අවශ්‍යයි. දෙවි අපෙන් ඉල්ලා සිටින්නේ කුමක්ද යන්න පිළිබඳව පමණක් නොව, ඔහු අපෙන් එවැනි දෙයක් ඉල්ලා සිටින්නේ ඇයි කියාද ඔහු කල්පනා කර බැලිය යුතුයි. එතකොට යෙහෝවාගේ මාර්ග කොතරම් ප්‍රඥාවන්තද කියාත් ඒවා කොතරම් සාධාරණද කියාත් ඔහුට වඩාත් පැහැදිලිව තේරුම්ගත හැකි වෙයි.

අවසාන වශයෙන්, තම ආත්මික ප්‍රගතියට ඇති බාධක ජයගැනීමට නම් ශිෂ්‍යයා යෙහෝවාගේ උපකාරය නොඅඩුව පැතිය යුතුයි. යෙහෝවා අප සමඟ කටයුතු කරන්නේ අපේ අසම්පූර්ණ ස්වභාවය සැලකිල්ලට ගනිමින් කියා මතක තබාගනිමින් දිගටම යෙහෝවාට කන්නලව් කළ යුතුයි. (ගීතාවලිය 103:14) යෙහෝවාගේ උපකාරය පතන අතරතුර දුරාචාරමය සිතුවිලි මනසෙන් ඉවත් කිරීමට දැඩි වෑයමක් දරනවා නම් අවසානයේදී ඔහු හොඳ ප්‍රතිඵල නෙළාගන්න බවට නිසැකයි. ඔව්, දොස් නොකියන පිරිසිදු හෘදය සාක්ෂියක් ඇතුව ඔහුට දෙවි ඉදිරියේ සිටින්න පුළුවන්.—හෙබ්‍රෙව් 9:14.

වෑයම අත් නොහරින්න

ඔබ ජයගැනීමට වෑයම් කරන බාධකය කුමක් වුවත් විටින් විට පසුබැසීම් සිදු වෙන්න පුළුවන් බව මතක තබාගන්න. එසේ සිදු වුණොත් ඔබට ලොකු දුකක් දැනෙන්න පුළුවන්. ඔබ කලකිරෙන්න පවා ඉඩ තිබෙනවා. ඒත්, අධෛර්යයට පත් නොවී ගලාති 6:9හි මෙම වදන් මතක තබාගන්න. “යහපත්කම්කිරීමට මැළිනොවෙමු; මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම්, නියම කාලයේදී කපාගන්නෙමු.” දාවිත්, පේතෘස් වැනි දෙවිගේ භක්තිවන්ත සේවකයන් පවා විටින් විට නින්දාසහගත ලෙස යෙහෝවාගේ ප්‍රමිති කඩ කළා. ඒ කෙසේවෙතත් ඔවුන් තම වෑයම අත්හැරියේ නැහැ. නිහතමානීව ලැබූ උපදෙස් පිළිගනිමින් අවශ්‍ය සකස් කිරීම් කරගත් නිසයි ඔවුන් අවසානයේදී යෙහෝවාගේ කැපීපෙනෙන සේවකයන් බවට පත් වුණේ. (හිතෝපදේශ 24:16) දාවිත් කොතරම් වැරදි කළත් යෙහෝවා ඔහුව සැලකුවේ ‘ඔහුගේ මුළු කැමැත්ත ඉටු කරන ඔහුගේ සිතට එකඟ මනුෂ්‍යයෙක්’ හැටියටයි. (ක්‍රියා 13:22) ඒ වගේම, පේතෘස්ට කොතරම් දුර්වලතා තිබුණත් ඔහු ඒවා බාධාවක් කරගත්තේ නැහැ. අවසානයේදී ක්‍රිස්තියානි සභාවේ වර්ධනය උදෙසා යෙහෝවා ඔහුව ඉතා විශිෂ්ට ආකාරයකින් පාවිච්චි කළා.

අදදිනත්, කඳු වැනි බාධක ජයගැනීමට සමත් වූ බොහෝදෙනෙක් අප අතර සිටිනවා. මෙම ලිපියේ කලින් සඳහන් කළ යුටාකා බයිබලය අධ්‍යයනය කිරීමට පටන්ගෙන ඔහු ඉදිරියේ තිබුණ බාධකය ඉවත් කිරීමට පියවර ගත්තා. ඒ පිළිබඳව ඔහු මෙසේ පවසනවා. “සූදුවෙන් ජයගැනීමට ගත්ත හැම පියවරකදීම යෙහෝවා මං ළඟින්ම ඉඳලා මට උදව් කරනවා කියලා මට තේරුණා. ඒ හැම වෑයමකටම යෙහෝවා මට ආශීර්වාද කළා කියලත් මට දැනුණා. ඇදහිල්ලෙන් ‘කඳු’ වැනි බාධක ජයගන්න පුළුවන් කියලා යේසුස් කියපු එක ඇත්තයි. මං ඒක අද්දැකීමෙන්ම ඉගෙනගත්තා. මං දැන් ඉන්නේ කොච්චර සතුටින්ද!” යුටාකා දැන් සභා සේවකයෙක් වශයෙන් සේවය කරනවා.

දුම්පානයට ඇබ්බැහි වූ කෙයිකෝව මතකද? ඇය සමඟ පාඩම කරමින් සිටි සහෝදරියගේ උපදෙස් පරිදි ඇය දුම්පානය පිළිබඳව පිබිදෙව්! සඟරාවේ පළ වූ විවිධ ලිපි කියවන්න පටන්ගත්තා. යෙහෝවාගේ ඇස් ඉදිරියේ පිරිසිදුකම රැකගැනීමේ වැදගත්කම දිනපතාම මතක් කරගැනීමේ අරමුණින් කෙයිකෝ 2 කොරින්ති 7:1හි වදන් ඇගේ වාහනයේ හොඳට පෙනෙන තැනක ලියා තැබුවා. ඒත් ඇයට දුම්පානය නතර කරන්න බැරි වුණා. “මං කොච්චර කලකිරුණාද කිව්වොත් මට සේවය කරන්න ඕනේ යෙහෝවාටද සාතන්ටද කියන එක ගැනත් මං දෙගිඩියාවෙන් හිටියා” කියා කෙයිකෝ පවසනවා. ඒත් අන්තිමේදී යෙහෝවාට සේවය කරන්න ඕනේ කියා තීරණය කරමින් ඇය හද පත්ලෙන්ම යෙහෝවාගෙන් උපකාරය පැතුවා. “පුදුමයෙන් පුදුමයට මට දුම්පානය නතර කරන්න ඒ තරම්ම අමාරු වුණේ නෑ. මං මීට කලින් නිශ්චිත පියවර ගත්තේ නැති එක ගැන තමයි මට කනගාටු” කියා ඇය තවදුරටත් පවසනවා.

ඔබේ ආත්මික ප්‍රගතියට බාධා කරන දේවලින් ජයගැනීමට ඔබටත් පුළුවන්. ඔබේ සිතුවිලි, අදහස්, කතාව හා හැසිරීම යෙහෝවාගේ ප්‍රමිතිවලට අනුව සකස් කරගන්නා තරමටම ඔබේ ආත්ම ගෞරවය මෙන්ම ආත්ම විශ්වාසයද වර්ධනය වන බවට නිසැකයි. ඒ වගේම ඔබ සමඟ ඇසුරු කරන ඔබේ ආත්මික සහෝදර සහෝදරියන් මෙන්ම ඔබේ පවුලේ සාමාජිකයන්ද ඔබේ වෙනස දැක ලොකු සතුටක් හා දිරිගැන්වීමක් ලබනවා නොඅනුමානයි. ඊටත් වඩා වැදගත් දේ වන්නේ යෙහෝවා දෙවි සමඟ වඩාත් කිට්ටු සම්බන්ධයක් වර්ධනය කරගැනීමට හැකිවීමයි. සාතන්ගේ ග්‍රහණයෙන් මිදීමට දරන වෑයමේදී ‘තම සෙනඟගේ මාර්ගය පැකිළවන’ සෑම බාධකයක්ම ඉවත් කරන බවට යෙහෝවා පොරොන්දු වෙයි. (යෙසායා 57:14) ඔබේ ආත්මික ප්‍රගතියට බාධා කරන සෑම ගැටලුවකින්ම ජයගැනීමට ඔබ උපරිම වෑයමක් දරනවා නම් යෙහෝවා ඔබටත් මහඟු ආශීර්වාද අත් කර දෙන බව නිසැකයි!

[පාදසටහන්වල]

a යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් භාෂා කිහිපයකින් ප්‍රකාශයට පත් කර ඇත.

[28වන පිටුවේ පින්තූරය]

ඇදහිල්ල ඇත්නම් කඳු වැනි බාධක ජයගත හැකි බවට යේසුස් සහතික කළා

[30වන පිටුවේ පින්තූරය]

ආත්මිකත්වය පලුදු කරවන දුර්වලතා ජයගැනීමට බයිබලය කියවීම ආධාරකයක් වෙයි