Skip to content

පටුනට යන්න

ඔබේ පුරුදු ඔබේම යහපතට දායක වෙනවාද?

ඔබේ පුරුදු ඔබේම යහපතට දායක වෙනවාද?

ඔබේ පුරුදු ඔබේම යහපතට දායක වෙනවාද?

එක්තරා මිනිසෙක් අවුරුදු දොළහක් පුරා ඇතන්ස් නුවරට සමීප නගරයක ජීවත් විය. ඔහු සෑම දිනකම රැකියා ස්ථානයේ සිට නිවසට ගියේ එකම ගමන් මාර්ගයකින්ය. පසුව, ඔහු වෙනත් නගරයක පදිංචියට ගියේය. එක් දිනක් ඔහු සුපුරුදු පරිදි වැඩ නිම කොට නිවස බලා පිටත් විය. නමුත් පරණ පුරුද්දට ගොස් තිබෙන්නේ කලින් සිටි නිවසට බව ඔහු තේරුම්ගත්තේ පරණ අසල්වැසියන් දුටු විටය.

මෙම සිද්ධියෙන් එක් දෙයක් පැහැදිලි වේ. එනම් පුරුද්දට කරන ක්‍රියාවන් සිදු වන්නේ නිරායාසයෙන් බවය. නමුත් පුරුද්දට කරනු ලබන දේවල් මගින් අපේ ජීවිතයට විශාල බලපෑමක් ඇති විය හැකියි. මෙම හේතුව නිසා පුරුදු ගින්නකට සම කළ හැකියි. අන්ධකාරය බිඳ ආලෝකය ඇති කිරීමටත් අපගේ ශරීර උණුසුම් කරගැනීමටත් අපගේ ආහාර පාන පිසගැනීමටත් ගින්දර මහෝපකාරි වේ. අනෙක් අතට ගින්දර අපේ ජීවිතය සහ දේපළ විනාශ කළ හැකි රෞද්‍ර රකුසෙකු හා සමාන විය හැකියි. පුරුදු සම්බන්ධයෙන් ගත් කලද මෙය සැබෑවක් වෙයි. එනම් පුරුදු අපේ යහපතට මෙන්ම අයහපතටද දායක විය හැකියි.

ලිපිය ආරම්භයේදී සඳහන් කළ පුද්ගලයාට, තමා පුරුද්දට කළ ක්‍රියාව නිසා නගරයේ වාහන තදබදය මැද නිරපරාදේ කාලය නාස්ති කිරීමට සිදු වූවා මිසක එතරම් හානිදායක දෙයක් එයින් සිදු නොවිණි. නමුත් වඩාත් වැදගත් කාරණා සම්බන්ධයෙන් ගත් කල, සාර්ථකත්වය ළඟා කරවමින් අපට යහපත් ප්‍රතිඵල ගෙන දීමට හෝ අපව මහත් ව්‍යසනයකට ඇද දැමීමට පුරුදුවලට පුළුවන. දෙවිත් සමඟ ඇති අපගේ සබඳතාවයට සහ ඔහුට කරන සේවයට අපගේ පුරුදු උපකාරයක් හෝ බාධාවක් විය හැකි ආකාරය සලකා බැලීමට බයිබලයෙහි සඳහන් සැබෑ ජීවිත අද්දැකීම් කිහිපයක් පරීක්ෂා කර බලමු.

හොඳ සහ නරක පුරුදු සම්බන්ධයෙන් ඇති බයිබල් ආදර්ශ

දෙවි සමඟ කිට්ටු සම්බන්ධතාවයක් පවත්වාගැනීමෙන් නෝවා, යෝබ් සහ දානියෙල් යන අය ආශීර්වාද ලැබීය. බයිබලයේ ඔවුන් පිළිබඳව ගුණ වර්ණනාවන් කර තිබෙන්නේ ‘ඔවුන්ගේ ධර්මිෂ්ඨකම’ නිසාය. (එසකියෙල් 14:14) මෙහිදී සැලකිල්ලට භාජන කළ යුතු දෙයක් වන්නේ මෙම මනුෂ්‍යයන් තිදෙනාම යම් යහපත් පුරුදු වර්ධනය කර තිබූ බව ඔවුන්ගේ ජීවිත තුළින් පිළිබිඹු වීමය.

දිගින් පාපන්දු පිට්ටනියක් තරම් වූත් උසින් තට්ටු පහක ගොඩනැඟිල්ලක් තරම් වූත් නැවක් තනන්න කියා දෙවි නෝවාට පැවසීය. පුරාණ කාලවල සිටි ඕනෑම නැව් තනන්නෙකුට එවන් විශාල ව්‍යාපෘතියක් අභියෝගයක් වන බව නිසැකය. එසේ නම්, නෝවා සහ ඔහුගේ පවුලේ සිටි සාමාජිකයන් සත්දෙනාට මෙම පැවරුම කොතරම් අභියෝගයක් වන්න ඇද්ද! මන්ද ඔවුන්ට නැව තනන්න සිදු වුණේ නවීන ආම්පන්න කිසිවක් නොමැතිවය. ඊට අමතරව නෝවා දිගටම ඔහුගේ සමකාලීනයන්ට දේශනා කළේය. එමෙන්ම ඔහු තම පවුලේ ආත්මික සහ ශාරීරික අවශ්‍යතා සැපයූ බවටද අපට විශ්වාසයක් තැබිය හැකියි. (2 පේතෘස් 2:5) මෙම වගකීම් සියල්ල ඉටු කිරීමට නම් අනිවාර්යයෙන්ම නෝවාට පිළිවෙළකට වැඩ කිරීමේ යහපත් පුරුද්ද තිබෙන්න ඇති. තවද නෝවාව බයිබල් ඉතිහාසය තුළ හඳුන්වන්නේ ‘දෙවි සමඟ හැසිරුණ සහ දෙවි අණ කළ සියල්ල අනුව කටයුතු කළ’ කෙනෙකු ලෙසය. (උත්පත්ති 6:9, 22; 7:5) තවද බයිබලයෙහි ඔහුව ආමන්ත්‍රණය කරන්නේ “නිදොස්” [නව අනුවාදය] කෙනෙකු ලෙස නිසා, ඔහු ජලගැල්මට පසුවත් දෙවි සමඟ විශ්වාසවන්තව කටයුතු කළ බවත් බාබෙල් කොත සම්බන්ධ සිද්ධියේදී පවා ඔහු යෙහෝවාට පක්ෂපාතව කටයුතු කළ බවත් නිගමනය කළ හැකියි. අවුරුදු 950ක් ආයු වැලඳුව නෝවා මරණය දක්වාම දෙවිට විශ්වාසවන්තව සිටියේය.—උත්පත්ති 9:29.

යෝබ්ගේ යහපත් පුරුදු ඔහුව ‘නිර්දෝෂ සහ අවංක මනුෂ්‍යයෙක්’ කරලීමට සමත් විය. (යෝබ් 1:1, 8; 2:3) තම දරුවන් මංගල්‍ය භෝජන පවත්වා අවසන් වූ පසු ඔහු පූජකයෙක් ලෙස කටයුතු කරමින් ඔවුන් ‘පව් කොට, තමුන්ගේ සිත්වලින් දෙවිට දොස් කීවා වන්ට පුළුවනැයි’ සිතා පුරුද්දක් ලෙස දරුවන් වෙනුවෙන් පූජා ඔප්පු කළේය. “යෝබ් සෑමවිටම මෙසේ කළේය.” (යෝබ් 1:5, අකුරු ඇල කළේ අපය.) යෙහෝවාගේ නමස්කාරය වටා කේන්ද්‍රගත වී තිබූ චාරිත්‍ර යෝබ්ගේ පවුල ඉතා වැදගත් කොට සැලකූ බවට කිසිම සැකයක් නැත.

දානියෙල් ඔහුගේ දිගු ජීවිත කාලය පුරාම යෙහෝවාට ‘නොකඩවා සේවය’ කළේය. (දානියෙල් 6:16, 20) දානියෙල්ට තිබුණේ කුමනාකාරයේ යහපත් ආත්මික පුරුදුද? එකක් නම් දිනපතා යෙහෝවාට යාච්ඤා කිරීමය. මෙම පුරුද්දට එරෙහිව රාජ නියෝගයක් පනවනු ලැබුවත් “තමා ඊට පළමු කළාක් මෙන් දවසට තුන්වරක් දණින් හිඳ තමාගේ [දෙවි] ඉදිරියෙහි යාච්ඤාකොට ස්තුතිකෙළේය.” (දානියෙල් 6:10, අකුරු ඇල කළේ අපය.) ඔහුගේ ජීවිතය අවදානමේ තිබුණත් දෙවිට යාච්ඤා කිරීමේ පුරුද්ද අත්හැරීමට ඔහුට බැරි විය. ජීවිත කාලය පුරාම දෙවි කෙරෙහි අද්විතීය අඛණ්ඩතාවයක් පැවැත්වීමට මෙම පුරුද්ද දානියෙල්ට උපකාරවත් වුණ බවට කිසිම සැකයක් නැත. එමෙන්ම දෙවිගේ හද දනවන පොරොන්දු අධ්‍යයනය කිරීමේ සහ ගැඹුරට සිතා බැලීමේ පුරුද්දක්ද ඔහුට තිබුණු බව පැහැදිලිය. (යෙරෙමියා 25:11, 12; දානියෙල් 9:2) අන්තිමය දක්වා විඳදරාගනිමින් ජීවනය නමැති ධාවන තරඟයේ අවසානය දක්වා රැඳී සිටීමට මෙම යහපත් පුරුදු ඇත්තෙන්ම ඔහුට උපකාරවත් විය.

මීට වෙනස්ව, දීනාට ඇගේ නරක පුරුද්ද නිසා කනගාටුදායක ප්‍රතිඵල විඳින්නට සිදු වූවාය. ඇය නිතරම යෙහෝවාට නමස්කාර නොකළ “දේශයෙහි දූවරුන් දකින්න යෑමට පුරුදුව සිටියාය.” (උත්පත්ති 34:1NW) එතරම් වරදක් නොපෙනෙන එම පුරුද්ද විනාශයකට මඟ පෑදුවේය. එම නරක පුරුද්ද නිසා සිදු වුණ පළමු විනාශය නම්, “තම පියාගේ ගෙදර සියල්ලන්ට වඩා ගරුතර” කෙනෙකු ලෙස සලකන ලද ෂෙඛෙම් නමැති තරුණයා අතින් ඇය දූෂණය වීමයි. මේ නිසා, වෛරයෙන් මුසපත් වුණු ඇගේ සහෝදරයන් දෙදෙනා මුළු නගරය තුළ සිටි පුරුෂයන්ව ඝාතනය කළෝය. මෙය මොනතරම් විනාශයක්ද!—උත්පත්ති 34:19, 25-29.

අප තුළ තිබෙන අපගේ පුරුදු යහපතට මිස අයහපතට හේතු නොවන බවට වග බලාගත හැක්කේ කෙසේද?

පුරුදු ක්‍රියාවට නැංවීම

“පුරුදු කියන්නේ අපේ ඉරණමයි” කියා එක් දාර්ශනිකයෙක් පැවසීය. අනිවාර්යයෙන්ම එය එසේ විය යුතු නැත. අපේ නරක පුරුදු වෙනස් කර ඒ වෙනුවට යහපත් පුරුදු ඇති කරගන්නවාද නැද්ද කියා අපට තේරීමක් කළ හැකි බව බයිබලයේ පැහැදිලිව පවසයි.

යහපත් පුරුදු තිබේ නම් ක්‍රිස්තියානි ජීවන රටාව සාර්ථක එකක් වන අතර එය දිගටම පවත්වාගෙන යාමටද පහසු වේ. “කාලසටහනකට අනුව දේවල් කිරීමේ පුරුද්ද නිසා මට මගේ වටිනා කාලය ඉතුරු කරගන්න පුළුවන් වුණා” කියා ග්‍රීසියේ ජීවත් වන ඇලෙක්ස් පැවසුවේය. තියෝෆිලස් නමැති වැඩිමහල්ලා පෙන්නුම් කළේ දේවල් සැලසුමක් අනුව කිරීමේ පුරුද්ද ඵලදායක වීමට ඔහුට උපකාර කළ බවයි. “දේවල් සැලසුම් කිරීමේ පුරුද්ද මට තිබුණේ නැත්නම් මගේ ක්‍රිස්තියානි වගකීම් ඉටු කරගන්න බැහැයි කියන එක මට හොඳටම විශ්වාසයි” කියා ඔහු පැවසුවේය.

ක්‍රිස්තියානීන් වශයෙන් ‘අප යම් රටාවක් අනුගමනය කරනවා නම් එම රටාවට දිගටම ඇලී සිටිය’ යුතුයි කියා සිහිගන්වා තිබේ. (පිලිප්පි 3:16NW) යම් රටාවක් අනුව දේවල් කිරීම යන්නෙන් අදහස් කරන්නේ “කාලාන්තරයක් පුරා පුරුද්දක් වශයෙන් කළ යම් ක්‍රියාවලියක දිගටම නිරත වී සිටීමය.” යහපත් පුරුදු මගින් අප හොඳ රටාවක් පවත්වාගෙන යයි නම්, යම් යම් පියවර ගැනීමේදී දෙවරක් සිතා බැලීමට අවශ්‍ය නොවනු ඇත. කාලයක් පුරා පැවත ආ හොඳ පුරුදු බොහෝ විට නිරායාසයෙන් සිදු වන ක්‍රියාවන් බවට පත් වේ. එමනිසා එවැනි පුරුදු අපටම ප්‍රයෝජනදායක වෙයි. උදාහරණයකට, මාර්ගයේදී අනතුරකට ලක්වීමට යන අවස්ථාවක ආරක්ෂාකාරි රිය පැදවීමේ පුරුදු මගින් ජීවිත ගළවාගැනීම සඳහා ක්ෂණිකව තීරණගැනීමට හැකියාවක් ලැබෙන්නාක් මෙන් ක්‍රිස්තියානි ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමේදී ඊට අදාළ තීරණ ඉක්මනින් ගැනීමට යහපත් පුරුදු උපකාරවත් වෙයි.

ඉංග්‍රීසි ලේඛක ජෙරමි ටේලර් පැවසුවේ “පුරුදු කියන්නේ ක්‍රියාවක ප්‍රතිඵලය” කියායි. අපට යහපත් පුරුදු ඇත්නම් අපහසුවකින් තොරව හොඳ ක්‍රියා විදහාපෙන්විය හැකියි. ක්‍රිස්තියානි සේවකයන් වශයෙන් දේශනා සේවයෙහි නොකඩවා හවුල් වීමේ පුරුද්ද තිබේ නම් එහි පහසුවෙන් සහ ප්‍රීතියෙන් හවුල් වීමට අපට පුළුවන. ප්‍රේරිතවරු සම්බන්ධයෙන් මෙසේ කියවීමට තිබේ. ඔවුහු ‘දවස්පතාම දේවමාළිගාවේදීත් ගෙදරදීත් ඉගැන්වීමෙන්ද යේසුස් ක්‍රිස්තුස්යයි දේශනා කිරීමෙන්ද නොනැවතුණෝය.’ (ක්‍රියා 5:42; 17:2, අකුරු ඇල කළේ අපය.) අප දේශනා සේවයෙහි හවුල් වන්නේ ඉඳ හිට නම්, අපට බයාදු ගතියක් දැනීමට හෝ මෙම වැදගත් ක්‍රිස්තියානි ක්‍රියාකාරකමේ විශ්වාසයකින් යුතුව සහභාගී වීමට බොහෝ කාලයක් ගතවීමට පුළුවන.

යම් රටාවක් අනුව කළ යුතු අපගේ අනෙකුත් ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්ද මෙය සැබෑවක් වෙයි. උදාහරණයකට, නොකඩවා ‘දෙවිගේ වචනය දිවා රෑ කියවීමට’ හොඳ පුරුදු උපකාරයක් විය හැකියි. (යෝෂුවා 1:8; ගීතාවලිය 1:2) එක් ක්‍රිස්තියානියෙකුට සෑම රාත්‍රියකම නින්දට යාමට පෙර විනාඩි 20ක් හෝ 30ක් බයිබලය කියවීමේ පුරුද්ද තිබිණ. විඩාබර දිනයන්හි එසේ නොකියවා නින්දට ගිය විට ඔහුට සුවසේ නිදාගැනීමට නොහැකි විය. එවන් අවස්ථාවලදී නැඟිට බයිබලය කියවීමට ඔහු පෙලඹිණි. මෙම යහපත් පුරුද්ද නිසා කිහිප වතාවක්ම අවුරුද්දක් ඇතුළත මුළු බයිබලයම කියවීමට ඔහුට හැකි විය.

බයිබලයේ කාරණා සාකච්ඡා කරනු ලබන රැස්වීම්වලට සහභාගී වීමේ පුරුද්දක් අපගේ ආදර්ශකයා වන යේසුස් ක්‍රිස්තුස්ට තිබුණි. “තමන්ගේ පුරුද්ද ලෙස සබත් දවසෙහි සිනගෝගයට ඇතුල්ව, කියවන පිණිස [නැගුටුණේය].” (ලූක් 4:16) විශාල පවුලක් රැකබලා ගන්නා ජෝ වැඩිමහල්ලෙකි. රැස්වීම්වලට යෑමේ පුරුද්ද ඔහුට තිබූ නිසා වැඩි කාලයක් රැකියාවේ නිරත වීමට සිදු වුවත් රැස්වීම්වලට නොකඩවා සහභාගී වීමට පෙලඹීමක් ඔහු තුළ තිබේ. ඔහු මෙසේ තම අදහස් දක්වයි. “රැස්වීම්වලට යෑමේ පුරුද්ද ආත්මිකව ශක්තිමත්ව ඉන්න මට උපකාරවත් වෙනවා. ඒ නිසා මට අභියෝගයන්ට සහ ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය තියෙනවා.”—හෙබ්‍රෙව් 10:24, 25.

ජීවනය සඳහා මඟ පාදන ක්‍රිස්තියානි ධාවන තරඟයෙහි රැඳී සිටීමට මෙවන් පුරුදු තිබීම අත්‍යවශ්‍යයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට පීඩා එල්ල කර තිබෙන රටකින් ලැබුණු වාර්තාවක මෙසේ පවසා තිබුණි. “හොඳ ආත්මික පුරුදු සහ සත්‍යයට ගැඹුරු ප්‍රේමයක් ඇති අයට පීඩා පැමිණි විට ස්ථිරව සිටීම ඒ අයට එතරම් අපහසු දෙයක් නොවේ. නමුත් ‘හිතකර කාලයන්වල’ රැස්වීම් අතපසු කරන, කඩින් කඩ දේශනා සේවයෙහි සහභාගී වන කුඩා ගැටලුවකදී වුවද බාධාවට පත් වන අයට ‘ගිනිමය’ පීඩා මධ්‍යයෙහි ස්ථිරව සිටිය නොහැකියි.”—2 තිමෝති 4:2.

නරක පුරුදු අහක් කර හොඳ පුරුදුවලින් ප්‍රයෝජන ගන්න

‘යම් මනුෂ්‍යයෙක් යම් දේවල් පුරුද්දක් හැටියට කළ යුත්තේ තමන් එම පුරුද්දට යටත් වෙන්න කැමති නම් පමණයි’ කියා කියමනක් තිබේ. මන්ද නරක පුරුදු විනාශයකට තුඩු දිය හැකියි. නමුත් ඔබට උවමනාවක් තිබෙනවා නම් එම නරක පුරුදු වළක්වාගැනීම අපහසු කාර්යයක් නොවෙයි.

ස්ටෙලා රූපවාහිනිය නැරඹීමට ඇබ්බැහි වූ තැනැත්තියකි. “මගේ හැම නරක පුරුද්දකටම මොකක් හරි ‘නිදහසට කරුණක්’ තිබුණා” කියා ඇය පැවසුවාය. සීමාව ඉක්මවා රූපවාහිනිය නැරඹීමේ ඇගේ පුරුද්දට හේතු වූයේ එයයි. තමා රූපවාහිනිය නරඹන්නේ “විවේකයක් ගන්න” එසේ නැත්නම් “ඒකාකාරි බවෙන් මිදෙන්න” කියා ඇය ඇය තුළම තර්ක කරගත්තාය. නමුත් ඇගේ පුරුද්ද පාලනය කරගත නොහැකි තත්වයකට පත් වූ අතර රූපවාහිනිය ඉදිරිපිට බොහෝ පැය ගණනක් කා දැමුවාය. පසුව ඇය මෙසේ ප්‍රකාශ කළාය. “අන්තිමේදී මේ නරක පුරුද්ද මගේ ආත්මික වර්ධනය පමා කළා.” අධිෂ්ඨානපූර්වකව වෑයම් කළ නිසා අවසානයේදී ඇය රූපවාහිනිය නැරඹීමේ කාලය අඩු කර තෝරා බේරාගත් වැඩසටහන් පමණක් නැරඹීමට පෙලඹුණි. “මම හැම තිස්සේම මතකයට නඟාගන්නවා ඇයි මට මේ පුරුද්ද නවත්වන්න ඕන වුණේ කියලා. ඊට පස්සේ මගේ තීරණයට එකඟව කටයුතු කරන්න මම යෙහෝවාගෙන් ශක්තිය ඉල්ලනවා” කියා ඇය තවදුරටත් පැවසුවාය.

ක්‍රිස්තියානියෙකු වූ කාරලාම්බස්ට ඔහුගේ ආත්මික දියුණුවට බාධා කළ නරක පුරුද්දක් තිබුණි. එම පුරුද්ද නම් අද කළ යුතු දේ හෙටට කල් දැමීමයි. “පස්සේ කරන්නම් කියලා දේවල් කල් දැමීමේ පුරුද්ද හොඳ දෙයක් නෙමෙයි කියලා මම තේරුම්ගත්තා. මම මගේ ජීවිතය වෙනස් කරන්න කටයුතු කළා. දැන් මම ඉලක්කයක් තිබ්බාම ඒ ඉලක්ක අත් කරගන්න සැලසුම් කරනවා. ඒ හොඳ පුරුද්ද තවමත් මට තියෙනවා.” නරක පුරුදු වළක්වාගන්න පුළුවන් හොඳම ක්‍රමය වන්නේ එම නරක පුරුදු වෙනුවට හොඳ පුරුදු ඇති කරගැනීමයි.

අප තුළ හොඳ පුරුදු හෝ නරක පුරුදු ඇතිවීමට අපේ ආශ්‍රිතයන් යම්දුරකට හේතු විය හැකියි. නරක පුරුදු අන් අය කෙරෙහි බලපෑම් ඇති කරන ආකාරයටම හොඳ පුරුදුද අන් අය කෙරෙහි බලපෑම් ඇති කරයි. ‘නරක ආශ්‍රයෙන් හොඳ චරිත වැනසෙන්නාක්’ මෙන්ම හොඳ ආශ්‍රයෙන් අනුගමනය කළ හැකි යහපත් පුරුදු අපට උකහා ගත හැකියි. (1 කොරින්ති 15:33, න. අ.) දෙවි සමඟ තිබෙන අපේ සම්බන්ධය ශක්තිමත් කිරීමට හෝ දුර්වල කිරීමට අපගේ පුරුදු දායක වන නිසා ඒවා කෙරෙහි වැඩි අවධානයක් දිය යුතුයි. කලින් සඳහන් කළ ස්ටෙලා මෙසේ අදහස් දක්වයි. “අපිට හොඳ පුරුදු තියෙනවා නම් දෙවිට සේවය කරන්න අපි දරන සටන පහසු වෙනවා. අපිට තියෙන්නේ නරක පුරුදු නම් අපේ වෑයම් අත් කරගන්න ඒවා බාධාවක් වෙනවා.”

එමනිසා හොඳ පුරුදු ඇති කරගෙන එම පුරුදුවලට ඔබව පාලනය කිරීමට ඉඩ දෙන්න. එසේ කළහොත් එම පුරුදු ඔබේ ජීවිතයට ප්‍රයෝජනදායක මෙන්ම යහපත් බලපෑමක් ඇති කරන බව නිසැකයි.

[19වන පිටුවේ පින්තූරය]

ගින්දර මෙන්, අපට තිබෙන පුරුදු අපේ යහපතට හෝ අයහපතට හේතු විය හැකියි

[21වන පිටුවේ පින්තූරය]

දෙවිගේ වචනය කියවීමට යේසුස් පුරුද්දක් ලෙස සබත් දවසේ සිනගෝගයට ගියේය

[22වන පිටුවේ පින්තූර]

හොඳ ආත්මික පුරුදු දෙවිත් සමඟ ඇති අපගේ සම්බන්ධය ශක්තිමත් කරයි