ඔබේ විශ්වාසයන් පදනම් වන්නේ කුමක් මතද?
ඔබේ විශ්වාසයන් පදනම් වන්නේ කුමක් මතද?
විශ්වාස කිරීම යන්නෙන් අදහස් වන්නේ යමක් “සත්‍යය හෝ සැබෑ හෝ අව්‍යාජ බව පිළිගැනීමයි.” සෑම පුද්ගලයෙකුම සතු “සිතීමේ නිදහස, හෘදය සාක්ෂියට එකඟව කටයුතු කිරීමේ නිදහස හා ආගමික නිදහස භුක්ති විඳීමේ අයිතිය” එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සම්පාදනය කර තිබෙන මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය මගින් සුරැකේ. යමෙකුට “තම ආගම හෝ විශ්වාසය වෙනස් කරන්න” අවශ්‍යයි කියා හැඟුණොත්, එසේ කිරීමේ නිදහසද එම අයිතියට ඇතුළත් වේ.
“මම එදා ඉඳන් විශ්වාස කරන දේවලින් සෑහීමට පත් වෙලයි ඉන්නේ. ඒවා වෙනස් කරන්න මම කැමති නැහැ.” අද බොහෝදෙනෙකු තම විශ්වාසයන් ගැන පළ කරන්නේ එවන් අදහස්ය. එමනිසා, ආගම හෝ විශ්වාසයන් වෙනස් කළ යුත්තේ ඇයිද යන්න ප්රශ්නයක්ව පවතී. තම විශ්වාසයන් වැරදි වැටහීම් මත පදනම් වුවත් ඒවායින් කාටවත් හානියක් වෙන්නේ නැහැ කියා බොහෝදෙනෙක් සිතති. උදාහරණයක් හැටියට, පෘථිවිය පැතිලියි කියා කෙනෙකු විශ්වාස කරනවා යයි සිතමු. ඔහුගේ එම විශ්වාසය මගින් ඔහුටවත් වෙන කිසිවෙකුටවත් හානියක් සිදු නොවේ. “අනිත් අය අපිට වඩා වෙනස් මත දැරුවාට කමක් නැහැ” කියා සමහරු සිතති. එහෙත් මෙසේ සිතීම සැමවිටම නැණවත් දෙයක්ද? මෘතදේහ පරීක්ෂා කිරීමෙන් පසු කෙළින්ම වාට්ටුවේ සිටින රෝගීන්ව පරීක්ෂා කරන්න ගියාට කමක් නැහැ කියා යම් වෛද්‍යවරයෙකු සිතුවොත් අනිත් වෛද්‍යවරුන් එයට එකඟ වෙයිද?
වැරදි වැටහීම් මත පදනම් විශ්වාසයන් නිසා අතීතයේදී මොනතරම් මහත් හානියක් සිදු වී තිබේද කියා ආගම නමැති ක්ෂේත්රය සලකා බලන විට පෙනී යයි. ආගමික නායකයන් ශුද්ධයයි සැලකූ කුරුස යුද්ධවලදී “ඉතා දරුණු මැරකම් කිරීමට ක්‍රිස්තියානි උන්මත්තකයන්ව පොලඹවනු ලැබූ කාලයේ” සිදු වූ බිහිසුණු දේවල් ගැන සිතා බලද්දී මෙය හොඳින් පැහැදිලි වේ. එසේ නැතහොත් මෑතක සිදු වූ යුද්ධයක අවි අතට ගෙන සටන් කළ “ක්‍රිස්තියානීන්” ක්‍රියා කළ ආකාරය ගැන සිතා බලන්න. “කඩු මිටෙහි ශුද්ධවන්තයන්ගේ නම් කොටා තිබූ” කඩු ගෙන සටන් කළ මධ්‍යතන යුගයේ සිටි සටන්කාමීන් හා සමානව අවි අතට ගත් වත්මන් ක්‍රිස්තියානීන්ද “ඔවුන්ගේ තුවක්කුවල බඳෙහි කන්‍ය මරියාගේ පින්තූර අලවාගෙන” තිබිණ. උමතුවෙන් මෙන් ක්‍රියා කළ මෙම ක්‍රිස්තියානීන් විශ්වාස කළේ ඔවුන් හරියි කියාය. එහෙත් මෙවැනි ආගමික යුද්ධවලදී එයට සම්බන්ධ පාර්ශ්වයන් අතින් යම් බරපතළ වරදක් සිදු වී තිබූ බව පැහැදිලිය.
අද ලෝකය ආරවුල්වලින් පිරි වියවුල්සහගත තත්වයක පවතින්නේ මන්ද? මෙයට පිළිතුර වශයෙන් බයිබලය පවසන්නේ සාතන් නමැති යක්ෂයා ‘මුළු ලෝකය රවටමින්’ සිටින බවය. (එළිදරව් 12:9; 2 කොරින්ති 4:4; 11:3) භක්තිමත් මිනිසුන් බොහෝදෙනෙකු පවා “විනාශයට නියම වූ අය” වන බවට ප්‍රේරිත පාවුල් අනතුරු ඇඟවීය. ඔවුන්ට එවන් ඉරණමක් අත්වීමට හේතුව මුළා කිරීමේ අරමුණින් “ප්රාතිහාර්යන් ද අරුමපුදුම දේ ද” කරන සාතන් විසින් ඔවුන්ව රවටා තිබීමයි. මෙවැනි පුද්ගලයන් ‘ගැළවීම අත් කර දෙන සත්‍යය, ප්‍රේමයෙන් පිළි නොගැනීමට ඔවුන්ගේ මනස්වලට අගුළු දමා තිබෙන’ නිසා ‘මුළා වී අසත්‍ය දේ විශ්වාස කරන’ බව පාවුල් පැවසුවේය. (2 තෙසලෝනික 2:9-12, නව අනුවාදය) අසත්‍ය දෙයක් විශ්වාස කිරීමේ මුළාවට ඔබ පවා හසුවීමට ඉඩ තිබේ. එහෙත් මුළාවීමෙන් වැළකී සිටීමට ඔබට හැක්කේ කෙසේද? ඇත්තෙන්ම ඔබ දැන් විශ්වාස කරමින් සිටින දේවල් විශ්වාස කිරීමට තිබෙන පදනම කුමක්ද?
විශ්වාසයට හේතුව පරම්පරාවද?
ඔබේ විශ්වාසයන් කුඩා කාලයේදීම ඔබේ දෙමාපියන් විසින් ඔබ තුළ ඇති කර තිබිය හැක. එය යහපත් දෙයකි. දෙමාපියන් තම දරුවන්ට උගන්වනවා දකින්න දෙවි කැමතිය. (ද්විතීය කථාව 6:4-9; 11:18-21) උදාහරණයක් හැටියට, බාල වියේ පසු වූ තිමෝති තම මව හා ආච්චි ඉගැන්වූ දේවලට සවන් දීමෙන් මහත් ප්‍රයෝජන ලැබුවේය. (2 තිමෝති 1:5; 3:14, 15) දෙමාපියන් විශ්වාස කරන දේවලට ගරු කරන්න කියා ශුද්ධ ලියවිල්ල දරුවන්ව දිරිගන්වයි. (හිතෝපදේශ 1:8; එපීස 6:1) එනමුත් ඔබේ මැවුම්කරු අරමුණු කළේ හුදෙක් දෙමාපියන් යමක් විශ්වාස කරන නිසාම ඒ දෙය ඔබත් විශ්වාස කිරීමද? කලින් සිටි පරම්පරාවන් විශ්වාස කළ දේවල් අන්ධ ලෙස විශ්වාස කිරීම අනතුරුදායක විය හැක. මෙය සත්‍යයක් බව ඉතිහාසය තහවුරු කරයි.—ගීතාවලිය 78:8; ආමොස් 2:4.
දිනක් යේසුස් ක්‍රිස්තුස්ට සමරිතානු ස්ත්‍රියක්ව මුණගැසිණ. ඇය ඇති දැඩි වූ පවුල් පසුබිම නිසා ඇය විශ්වාස කළේ සමාරිය ආගමයි. (යොහන් 4:20) විශ්වාස කිරීම සඳහා යමක් තෝරාගැනීමේදී ඒ සඳහා ඇයට තිබූ අයිතියට යේසුස් ගරු කළේය. එනමුත් ඔහු ඇයට මෙසේ පැවසුවේය. “නුඹලා නමස්කාරකරන්නේ නොදන්නා දේටය.” ඇත්තෙන්ම, ඇගේ ආගමික විශ්වාසයන් බොහොමයක් පදනම් වී තිබුණේ වැරදි වැටහීම් මතය. දෙවි පිළිගන්නේ “ආත්මයෙන්ද සැබෑකමෙන්ද” පිරිනමන නමස්කාරය බවත්, ඇයටත් එසේ දෙවිට නමස්කාර කරන්න වුවමනා නම්, ඇගේ විශ්වාසයන්වල යම් වෙනස්කම් කිරීමට සිදු වන බවත් යේසුස් ඇයට පෙන්වා දුන්නේය. ඇයත් ඇය හා සමාන තත්වයක සිටිය අයත් තමන් මහත් භක්තියෙන් විශ්වාස කළ දේවලට ඇලී නොසිට, කාලයත් සමඟම, යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් අනාවරණය කර තිබෙන “ඇදහිල්ලට කීකරු” විය යුතුව තිබිණ.—යොහන් 4:21-24, 39-41; ක්‍රියා 6:7.
විශ්වාසයට හේතුව ඉගෙනගත් දේවල්ද?
විවිධ විෂයන් පිළිබඳව විශේෂ දැනුමක් තිබෙන ගුරුවරුන් හා විද්වතුන් ගෞරවය ලැබීමට වටී. එහෙත් සමහර සුප්‍රසිද්ධ ගුරුවරුන් පවා සම්පූර්ණයෙන්ම වැරදි දේවල් උගන්වා තිබේ. මේ සම්බන්ධයෙන් සැබෑ උදාහරණ ඉතිහාසයෙන් ඕනෑතරම් සොයාගත හැක. උදාහරණයක් හැටියට ග්‍රීක දාර්ශනිකයෙකු වූ ඇරිස්ටෝටල් විසින් ලියන ලද විද්‍යාත්මක කරුණු ඇතුළත් පොත් දෙකක් ගැන ඉතිහාසඥ බර්ට්‍රන්ඩ් රසල් මෙසේ සඳහන් කරයි. “නවීන විද්‍යාත්මක සොයාගැනීම්වලට අනුව සත්‍යයයි කියා පිළිගත හැකි එක වාක්‍යයක්වත් එම පොත් දෙකින් එකකවත් සොයාගත නොහැක.” අද සිටින විද්වතුන් පවා වැරදි නිගමනවලට එළඹෙන අවස්ථා බොහෝය. “වායුවට වඩා බරින් වැඩි පියාසර යන්ත්‍රයක් නිපදවිය නොහැකියි” කියා බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥයෙකු වූ ශ්‍රීමත් කෙල්වින් 1895දී දැඩි විශ්වාසයකින් යුතුව ප්‍රකාශ කළේය. නමුත් නැණවත් පුද්ගලයා මහත් දැනුම් සම්භාරයක් තිබෙන විද්වතුන් පවසන නිසාම යම් දේවල් අන්ධ ලෙස විශ්වාස නොකරයි.—ගීතාවලිය 146:3.
මෙය ආගමික කාරණා ඉගෙනගැනීම සම්බන්ධයෙන්ද සැබෑවක් වේ. ආගම ගැන ඉගෙනගැනීමේදී කාරණා පරෙස්සමින් සෝදිසි කර බැලිය යුතුය. ප්‍රේරිත පාවුල් දැන උගත් ආගමික ගුරුවරුන්ගෙන් හොඳ අධ්‍යාපනයක් ලැබූ අතර, ඔහුගේ “පියවරුන්ගේ පරම්පරාගත නියෝග ගැන අතිශයින් ජ්වලිතව” සිටියේය. කෙසේවෙතත්, ඔහුගේ මුතුන්මිත්තන්ගේ ආගමික විශ්වාසයන් ගැන ඔහු තුළ තිබූ ජ්වලිතය නිසා ගැටලුවලට මුහුණ පෑමටද ඔහුට සිදු විය. එම ජ්වලිතය නිසා ඔහු ‘දෙවිගේ සභාවට අප්‍රමාණ ලෙස පීඩා කරමින් එය නාස්ති කළේය.’ (ගලාති 1:13, 14; යොහන් 16:2, 3) පාවුල් දිගු කාලයක් ‘කෙවිටට පයින් ගසමින් සිටි’ නිසා, එනම් යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි විශ්වාසයක් ඔහු තුළ ඇති කිරීම සඳහා කරන බලපෑම්වලට එරෙහි වීම නිසා, ඔහු සිටියේ අනතුරුදායක තත්වයකයි. පාවුල්ගේ වැරදි විශ්වාසයන් නිවැරදි කරගැනීමට ඔහු තුළ පෙලඹවීමක් ඇති කිරීම සඳහා යේසුස්ට ආශ්චර්යවත් ආකාරයකින් මැදිහත් වීමට සිදු විය.—ක්‍රියා 9:1-6; 26:14.
ජන මාධ්‍යය බලපා තිබේද?
ඇතැම්විට ඔබ විශ්වාස කරන දේවල්වලට ජන මාධ්‍යය මගින් මහත් බලපෑමක් කර තිබෙන්න පුළුවන. තමන්ට ප්‍රයෝජනවත් තොරතුරු ලබා දෙන මාධ්‍යය මගින් අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහස බොහෝදෙනා අගය කරති. කෙසේවෙතත්, තම කූට අභිමතාර්ථයන් ඉටු කරගැනීම සඳහා මාධ්‍යය යොදාගන්න ප්‍රබල පිරිස්ද සිටිති. බොහෝ අවස්ථාවලදී
මාධ්‍යය මගින් ප්‍රචාරය කෙරෙන්නේ ඔබේ චින්තනයට හානිකර ලෙස බලපෑ හැකි අගතිශීලී අදහස්ය.එපමණක්ද නොව, විශාල පිරිසක්ව ඇදගැනීමේ අරමුණින් ඉමහත් ආන්දෝලනයක් ඇති කරවන අසාමාන්‍ය දේවලට මහත් ප්‍රසිද්ධියක් ලබා දීමද ජන මාධ්‍යය මගින් සිදු කෙරේ. මීට අවුරුදු කිහිපයකට පෙර මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයන් මගින් ප්‍රචාරය කිරීමට ඉඩ නොදුන් දේවල් අද ඕනෑතරම් මාධ්‍යවලින් ප්‍රචාරය වේ. මෙවන් දේවල් නිසා හැසිරීම පිළිබඳ පිළිගත් ප්‍රමිති සෝදාපාළුවට ලක් වන බව නිසැකයි. ප්‍රතිඵලයක් වශයෙන් මිනිසුන් තුළ විකෘති සිතුවිලි හටගනිමින් පවතී. ‘නපුර යහපත කියාද යහපත නපුර කියාද’ විශ්වාස කරන්න ඔවුන් පටන්ගෙන තිබේ.—යෙසායා 5:20; 1 කොරින්ති 6:9, 10.
විශ්වාසය සඳහා නිවැරදි පදනමක් සොයාගැනීම
මිනිසුන්ගේ අදහස් හා දර්ශන මත තම විශ්වාසයන් ගොඩනඟා ගැනීම, දිගු කල් නොපවතින වැලි මත සාදා තිබෙන නිවසක් හා සමානය. (මතෙව් 7:26; 1 කොරින්ති 1:19, 20) කිසිම සැකයකින් තොරව, ඔබේ විශ්වාසයන් සඳහා නිවැරදි පදනම කරගත හැක්කේ කුමක්ද? ඔබ අවට තිබෙන පරිසරය ගැන අධ්‍යයනය කිරීමේ හා ආගමික කාරණා සම්බන්ධයෙන් යම් ප්‍රශ්න නැඟීමේ බුද්ධිමය හැකියාව දෙවි ඔබට දී තිබේ. එසේනම්, ඔබට තිබෙන ඕනෑම ප්‍රශ්නයකට නිවැරදි පිළිතුරු දැනගැනීම සඳහා ඔහු යම් මාධ්‍යයක් සපයයි කියා සිතිය නොහැකිද? (1 යොහන් 5:20) ඇත්තෙන්ම ඔහු සත්‍යය දැනගැනීම සඳහා අපට යම් මාධ්‍යයක් සලසන බව නිසැකයි! එහෙත්, නමස්කාරය හා සම්බන්ධ සත්‍යය කුමක්ද කියා කිසිම සැකයකින් තොරව ඔබට සහතික කරගත හැක්කේ කෙසේද? මේ සඳහා ඇති එකම පදනම දෙවිගේ වචනය වන බයිබලය බව අපට නිසැකව පැවසිය හැක.—යොහන් 17:17, 18අ; 2 තිමෝති 3:16.
“ලෝකයේ හුඟාක් ආරවුල් ඇති කරලා තියෙන්නේ බයිබලය අතේ තියාගෙන ඉන්න අය නෙමේද” කියා කෙනෙකු ඇසිය හැකියි. ඔව්, තමන් බයිබලයේ සඳහන් දේවලට අනුව ජීවත් වෙනවායයි කියන ආගමික නායකයන් වියවුල් කරවන හා ආරවුල් ඇති කරන අදහස් දරන බව සත්‍යයකි. මෙයට ප්‍රධානතම හේතුව ඔවුන් විශ්වාස කරන දේවල් බයිබලය මත පදනම් වී නොතිබීමයි. ප්‍රේරිත පේතෘස් ඔවුන්ව හැඳින්වූයේ ‘විනාශකාරි ධර්ම [නිකායන්, NW]’ බිහි කරන “බොරු ප්‍රොපේතවරු” කියාය. ඔවුන් කරන දේවල් නිසා ‘සත්‍යතාවේ මාර්ගයට අපහාස පැමිණෙන’ බව පේතෘස් පවසයි. (2 පේතෘස් 2:1, 2) කෙසේවෙතත් පේතෘස් මෙසේද සඳහන් කරයි. “අනාවැකිමය වදන් නිවැරදි බවට අපට සහතික කර තිබේ. අඳුරු තැනක බබළන පහනක් මෙන් එයට අවධානය දෙනවා නම්, ඔබට එයින් යහපතක් වේ.”—2 පේතෘස් 1:18ආ, 20, NW; ගීතාවලිය 119:105.
අප විශ්වාස කරන දේවල් බයිබලයෙහි උගන්වන දේවලට එකඟද කියා සෝදිසි කර බැලීමට එය අපව දිරිමත් කරයි. (1 යොහන් 4:1) තමන් එසේ කිරීම නිසා තමන්ගේ ජීවිත අර්ථවත් වී තිබෙන බවට, මේ සඟරාව කියවන දශලක්ෂ ගණනක් දෙනාට සාක්ෂි දිය හැක. එමනිසා බුද්ධිමත් ලෙස කාරණා සෙවූ බෙරීයවරුන් හා සමාන වන්න. විශ්වාස කළ යුත්තේ කුමක්ද කියා තීරණය කරන්න කලින් ‘දවස්පතා ශුද්ධ ලියවිලි සෝදිසි කරන්න.’ (ක්‍රියා 17:11) මේ සඳහා ඔබට උපකාර කිරීමට යෙහෝවාගේ සාක්ෂිකරුවෝ සූදානමින් සිටිති. එනමුත්, ඔබ විශ්වාස කරන්නේ කුමක්ද කියා තීරණය කළ යුත්තේ ඔබමයි. කෙසේවෙතත්, මෙහිදී ඔබට ගත හැකි නැණවත් ක්‍රියාමාර්ගය වන්නේ, මිනිසුන්ගේ මතිමතාන්තර හා වුවමනාවන්වලට අනුව නොව දෙවි ලොවට සත්‍යය හෙළි කර තිබෙන ඔහුගේ වචනයට අනුව ඔබේ විශ්වාසයන් හැඩගැසීමට ඉඩ දීමයි.—1 තෙසලෝනික 2:13; 5:21.
[6වන පිටුවේ පින්තූර]
ඔබට කිසිම සැකයකින් තොරව බයිබලය ඔබේ විශ්වාසයන් සඳහා පදනම කරගත හැක