Skip to content

පටුනට යන්න

විශ්වාස කිරීමට ඔබ සතු අයිතිය

විශ්වාස කිරීමට ඔබ සතු අයිතිය

විශ්වාස කිරීමට ඔබ සතු අයිතිය

විශ්වාස කිරීමට ඔබ කැමති දෙය කුමක් වුවත්, ඒ සඳහා ඔබ සතු අයිතිය ඉතා අනර්ඝ දෙයක් ලෙස ඔබ සැලකීමට පුළුවන. විශ්වාස කිරීමට යමෙකු සතු අයිතිය අන් අය සලකන්නේද ඔබ එය සලකනවා හා සමානව විය හැක. බිලියන හයක් වන ලෝ වැසියන් විශ්වාස කරන දේවල විස්මිත විවිධත්වයක් දක්නට තිබෙන්නේ මිනිසා සතු මෙම අයිතිය නිසාය. අප අවට තිබෙන මැවිල්ල තුළින් දිස්වන වර්ණ, හැඩ තල, ව්‍යූහයන්, රසයන්, සුවඳ හා ශබ්ද යනාදියෙහි පවතින විවිධත්වය අපේ දිවියට ප්‍රබෝධයක් එක් කරන්නාක් මෙන්, මිනිසුන්ගේ විශ්වාසයන් අතර පවතින විවිධත්වය මගින්ද ජීවිතයට ප්‍රබෝධයක් හා ප්‍රීතියක් එක් කරයි. ඇත්තෙන්ම, එවන් විවිධත්වයක් තිබීමෙන් ජීවිතය තවත් සුන්දර වෙයි.—ගීතාවලිය 104:24.

නමුත් මෙහිදී පරෙස්සම් වීමද අවශ්‍යයි. ඇතැම් විශ්වාසයන් වෙනත් විශ්වාසවලින් වෙනස් වනවා පමණක් නොව, ඒවා අනතුරුදායකද විය හැක. උදාහරණයක් හැටියට, යුදෙව්වන් හා ෆ්‍රීමේසන්ස්වරුන් (17වන සියවසේදී පමණ ආරම්භ වූ රහස් සංවිධානයක සාමාජිකයන්) එක් වී “ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය විනාශ කර දමා ලෝක පාලනය තම අතට ගැනීමට” සැලසුම් කර තිබූ බව 20වන සියවසේ මුල්භාගයේ විසූ සමහරු විශ්වාස කළහ. මෙවන් විශ්වාසයක් මිනිසුන් අතර ප්‍රචලිත වීමට එක් හේතුවක් වූයේ සියොන්හි උගත් වැඩිමහල්ලන්ගේ කෙටුම්පත් නමැති යුදෙව් විරෝධී පත්‍රිකාවයි. ‘විජාතීන්ගේ ධනය විගස විනාශ කර දැමීමේ’ අරමුණින් අධික ලෙස බදු අය කිරීම, අවි නිෂ්පාදනය හා ව්‍යාපාර ලෝකයේ ඒකාධිපතීන් බිහි කිරීම වැනි දේවලට අනුබලය දීම එම සැලසුම්වලට අයත් වනවායයි එම පත්‍රිකාවේ සඳහන් විය. එපමණක්ද නොව, ‘විජාතීන්ව සිතීමේ හැකියාව නොමැති තිරිසනුන් බවට පත් කිරීමේ’ අරමුණින් අධ්‍යාපන ක්‍රමය සකස් කිරීමටත්, යුදෙව් වැඩිමහල්ලන්ට ‘විරුද්ධවාදීන්ව නැති කර දැමීමට’ හැකි වන පරිදි උමං දුම්රිය මාර්ග ඉදි කර අගනුවරවල් එකිනෙකට සම්බන්ධ කිරීමටත් සැලසුම් කර තිබෙන බවද එම පත්‍රිකාවේ සඳහන් විය.

යුදෙව් විරෝධී හැඟීම් ඇවිස්සීම සඳහා සකස් කර තිබූ එම පත්‍රිකාවේ විස්තර සත්‍යය ඒවා නොවීය. ‘ගොතන ලද එම බොරු ලොව දස දෙස ව්‍යාප්ත වූයේ රුසියාවෙනි’ කියා බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ සේවය කරන මාර්ක් ජෝන්ස් පවසයි. මුලින්ම මෙය පළ වූයේ වර්ෂ 1903දී රුසියාවේ පුවත්පතකයි. එම පුවත 1920 මැයි 8වනදා ලන්ඩනයේ ද ටයිම්ස් පුවත්පතේද පළ විය. එම පුවත අසත්‍යයක් බව අවුරුද්දකට පසු ද ටයිම්ස් පුවත්පතේ සඳහන් විය. මේ අතරතුර එම ආරංචිය නිසා සිදු වූයේ මහත් හානියකි. ‘මේ වගේ බොරු ආරංචි පැතිරීම වැළැක්වීම සෑහෙන දුෂ්කර කාර්යයක්’ කියා ජෝන්ස් පවසයි. ජනයා මෙම බොරු විශ්වාස කිරීමේ ප්‍රතිඵලය වන්නේ වෛරයෙන් හා මුළාවෙන් පිරි අනතුරුදායක මත බිහිවීමයි. විසිවන සියවස දෙස ආපසු හැරී බලන විට, මෙවැනි බොරු විශ්වාස කිරීමේ විනාශකාරි ප්‍රතිවිපාක හොඳින් දැකගත හැක.—හිතෝපදේශ 6:16-19.

විශ්වාසයට එරෙහිව සත්‍යය

වැරදි වැටහීම් මත පදනම් විශ්වාසයන් ව්‍යාප්ත වීමට හේතුව හිතාමතා ගොතන ලද බොරු පමණක් නොවේ. ඇතැම් අවස්ථාවලදී අපට සමහර දේවල් නිවැරදිව තේරුම්ගත නොහැකියි. හරියි කියා තමන් විශ්වාස කළ දේවල් කිරීම නිසා කීදෙනෙකු අකාලයේ මියගොස් තිබෙනවාද? අනික් අතට බොහෝ අවස්ථාවලදී අප යමක් විශ්වාස කරන්නේ, එය විශ්වාස කිරීමට අප තුළ දැඩි කැමැත්තක් තිබෙන නිසා විය හැකියි. විද්‍යාඥයන් පවා “බොහෝ අවස්ථාවලදී ඔවුන්ගේ මත හා කල්පිතයන් සලකන්නේ වෙන කිසිම දෙයකට වඩා අනර්ඝ දේවල් ලෙසය” කියා මහාචාර්යවරයෙක් පවසයි. ඔවුන් විශ්වාස කරන දේවලින් අන්ධව සිටීම නිසා සාධාරණ ලෙස කාරණා මැන බලන්න ඔවුන්ට නොහැකි විය හැක. එමෙන්ම, වරදවා වටහාගෙන සිටින තම විශ්වාසයන් තහවුරු කරගැනීම සඳහා ඔවුන් තම ජීවිත කාලයම නිෂ්ඵල ප්‍රයත්නයක යෙදවීමට පවා ඉඩ තිබේ.—යෙරෙමියා 17:9.

මේ හා සමාන දේවල් ආගමික විශ්වාසයන් සම්බන්ධයෙන්ද සිදු වී තිබේ. ඇත්තෙන්ම ආගමික විශ්වාසයන් අතර දැඩි පරස්පර විරෝධිබවක් දැකිය හැක. (1 තිමෝති 4:1; 2 තිමෝති 4:3, 4) කෙනෙකුට දෙවි කෙරෙහි මහත් ඇදහිල්ලක් තිබෙන්නට පුළුවන. එවන් ඇදහිල්ලක් ගොඩනැඟීමට කිසිදු පැහැදිලි සාක්ෂියක් නොමැති බව තවත් කෙනෙකු පැවසිය හැක. මරණින් පසු නොනැසී පවතින ආත්මයක් තිබෙන බව සමහරු විශ්වාස කරති. ඔබ මිය යන විට කිසිවක් නොනැසී නොපවතින බවත්, ඔබ සම්පූර්ණයෙන්ම පැවැත්මෙන් තොර වන බවත් විශ්වාස කරන පිරිසක්ද සිටිති. එකිනෙකට පටහැනි එවන් විශ්වාසයන් සෑම එකක්ම සත්‍යය විය නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත. එසේ නම් ඔබ විශ්වාස කරන දේවල් සැබවින්ම සත්‍යය බවටත්, ඔබ විශ්වාස කරන්නේ හුදෙක් ඔබට එය විශ්වාස කිරීමට ඕනෑකමක් තිබෙන නිසාම නොවන බවටත් ස්ථිර කරගැනීම නැණවත් දෙයක් නොවේද? (හිතෝපදේශ 1:6) ඔබට එය කළ හැක්කේ කෙසේද? ඊළඟ ලිපියේ මේ ගැන සලකා බලයි.

[3වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1921 පළ වූ ලිපියක් මගින් “සියොන්හි උගත් වැඩිමහල්ලන්ගේ කෙටුම්පත්” ව්‍යාජ ඒවා බව අනාවරණය කරන ලදි