සොඳුරු මතකයන්වලට තුති පුදන්න වචන මදි!
ජීවිත කතාව
සොඳුරු මතකයන්වලට තුති පුදන්න වචන මදි!
පැවසුවේ ඩෲසිලා කේන්
මම 1933දී සනෝවා කේන් එක්ක විවාහ වුණා. එයත් එතකොට මං වගේම කෝල්පෝටවරයෙක්. එහෙම කිව්වේ පූර්ණ කාලීන එවැන්ජලිස්තවරයෙකුටයි. සනෝවා එක්ක එකට සේවයේ හවුල් වෙන්න මම සැලසුම් යෙදුවේ වචනවලින් විස්තර කරන්න බැරි තරම් සතුටකින්. ඒ වුණත්, සේවයේ යන්න සයිකලයක් ඕනෙ වුණා. ආර්ථික පරිහානියක් පැවති ඒ කාලයේදී ඒ වගේ දේකට සෑහෙන වියදමක් දරන්න මට හැකියාවක් තිබුණේ නැහැ. ඉතින් මම මොකක්ද කළේ?
මගේ අගහිඟකම් නිසා මම මූණ දීලා හිටිය තත්වය ගැන දැනගත්ත මගේ මස්සිනාලා මට සයිකලයක් හදලා දෙන්න උත්සාහ කළා. ඔවුන් පරණ බඩු ගොඩගහන තැන්වලට ගිහිල්ලා සයිකල් කෑලි හොයාගෙන ආවා. කොහොමහරි හොඳට පාවිච්චි කරන්න පුළුවන් සයිකලයක් හදලා දුන්නා! මම සයිකලය පදින්න ඉගෙනගත්ත ගමන්ම සනෝවා එක්ක සේවයේ යන්න පටන්ගත්තා. අපි දෙන්නා සයිකලයෙන් ගිහින් වූස්ටර් සහ හියර්ෆෝඩ් කියන ඉංග්‍රීසි ප්‍රාන්තවලදී අපට මුණගැසුණු හැමෝටම සාක්ෂි දැරුවා.
ඇදහිලිවන්තව මේ වගේ පුංචි පියවරක් ඉදිරියට තැබීමෙන් සුවදායක මතකයන්ගෙන් පිරුණු ජීවිතයකට මඟ පෑදෙයි කියලා මම පොඩ්ඩක්වත් හිතුවේ නැහැ. හැබැයි, මගේ ජීවිතයට ආත්මික පදනම දැම්මේ මගේ ආදරණීය දෙමාපියනුයි.
මහා යුධ සමයේ දුෂ්කරතා අභියස
මම උපන්නේ 1909 දෙසැම්බර්වලදීයි. ඊට ටික කාලෙකට පස්සේ මගේ අම්මා කාල වකවානු පිළිබඳ දිව්‍ය සැලසුම (ඉංග්‍රීසියෙන්) නම් පොතේ පිටපතක් ලබාගත්තා. වර්ෂ 1914දී මගේ දෙමාපියන් මාව ලැන්කැස්ටර්හි ඕල්ඩ්හැම්වල පෙන්වූ “මැවීම පිළිබඳ ඡායාරූප නාට්‍යය” බලන්න එක්කගෙන ගියා. (ඒ දෙකම සකස් කළේ දැන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් නමින් ප්‍රසිද්ධ අයයි.) මං එතකොට පුංචි වුණත්, ආපහු ගෙදර එද්දී ඒ නාට්‍යය බැලීමෙන් ඇති වෙච්ච ප්‍රීතිය නිසා උඩ පැන්න හැටි මට තාම හොඳට මතකයි! ඒ කාලෙදී, ෆ්‍රෑන්ක් හීලි අපි හිටපු රෝච්ඩේල් ප්‍රදේශයේ බයිබල් පාඩම් කණ්ඩායමක් පටන්ගත්තා. ඒකට සහභාගි වීමෙන් පවුලක් හැටියට ශුද්ධ ලියවිලි ගැන අවබෝධය වැඩි කරගන්න අපිට පුළුවන් වුණා.
ඒ අවුරුද්දේදීම මහා යුද්ධය, දැන් අපි හඳුන්වන විදිහට 1වෙනි ලෝක මහා යුද්ධය පටන්ගත්ත නිසා අපි අද්දැක්ක සාමකාමී තත්වය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. මගේ තාත්තව බලෙන් හමුදාවට බන්දගන්න වෑයම් කළත් ඔහු මධ්‍යස්ථව හිටියා. උසාවියේදී ඔහු ගැන විස්තර කළේ “ගුණ යහපත්” කෙනෙක් කියලයි. ඒ වගේම “මහත්මා ගති ඇති කෙනෙක් නිසා ඔහු යුද්ධයට සහභාගි වීම ප්‍රතික්ෂේප කළේ අවංකවම බව ඔවුන් විශ්වාස කරනවා” කියලා සඳහන් වුණ ලිපි කීපයක්ම එවා තිබුණ බවත් ප්‍රාදේශීය පුවත්පතක පළ වුණා.
ඒ වුණත්, සම්පූර්ණ නිදහසක් දෙනවා වෙනුවට “යුද්ධයට සහභාගි වීමෙන් පමණක් වැළකී සිටිය හැකි” නිදහසක් ලැබෙන කෙනෙක් හැටියට තාත්තව ලියාපදිංචි කළා. මේ නිසා නොයෙක් දෙනා ඔහුට සරදම් කරන්න පටන්ගත්තා. තාත්තට විතරක් නෙවෙයි අම්මටත්, මටත් සරදම් කළා. ඊට ටික කලකට පස්සේ, ඔහුගේ සේවය සම්බන්ධයෙන් නැවතත් සලකා බලා ඔහුට කෘෂිකාර්මික සේවා පැවරුමක් දුන්නා. ඒත් සමහර ගොවියන් අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජන ගනිමින් ඔහුට ගෙව්වේ සුළු මුදලක් විතරයි. එහෙමත් නැත්තම් ගෙවන්නෙම නැතුව හිටියා. පවුල නඩත්තු කරන්න ඕන නිසා අම්මා පෞද්ගලික හිමිකරුවෙකුගේ ලොන්ඩරියක වැඩ කළා. බර වැඩ කළත් ඇයට ලැබුණේ සුළු පඩියක්. බාල කාලේදීම ඒ වගේ කටුක කාල පරිච්ඡේදයක් ගෙවන්න සිද්ධ වුණ එකෙන් මොනතරම් ශක්තියක් ලැබුණද කියන එක දැන් මට හොඳටම වැටහෙනවා. වඩා වැදගත් ආත්මික දේවල් අගය කරන්න ඒක මට උපකාරයක් වුණා.
සුළු ආරම්භයක්
ඩැනියෙල් හ්‍යූස් උද්‍යෝගිමත් බයිබල් ශිෂ්‍යයෙක්. ඔහුව අපිට නැතුවම බැරි කෙනෙක් වුණා. ඔහු පතල් කම්කරුවෙක්. ඕස්වෙස්ට්‍රි නගරයෙන් කිලෝමීටර් 20ක් විතර ඈත තියෙන ගම්මානයක් වන රූබන්හි ගල්අඟුරු ආකරයකයි ඔහු වැඩ කළේ. අපිත් පදිංචි වෙලා හිටියේ ඒ පළාතෙමයි. මම ඔහුට කිව්වේ ඩෑන් අංකල් කියලයි. අපේ පවුල එක්ක කිට්ටු සම්බන්ධයක් පවත්වපු ඔහු අපිව බලන්න ආපූ හැම වෙලාවකම කතා කළේ ශුද්ධ ලියවිල්ලේ තියෙන දේවල් ගැනයි. ඔහු කවදාවත් වැදගැම්මකට නැති දේවල් කතා කළේ නැහැ. වර්ෂ 1920දී ඕස්වෙස්ට්‍රිවල බයිබල් පාඩම් පංතියක් පටන්ගත්තා. ඩෑන් අංකල් 1921දී මට දෙවිගේ වීණාව (ඉංග්‍රීසියෙන්) කියන පොතේ පිටපතක් දුන්නා. ඒක බයිබල් ඉගැන්වීම් පහසුවෙන් තේරුම්ගන්න උපකාර කළ නිසා ඒක වටිනා වස්තුවක් හැටියටයි මම සැලකුවේ.
ප්‍රයිස් හ්‍යූසුත් a අපේ හොඳ යාළුවෙක් වුණා. ඔහු පස්සේ කාලෙක යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලන්ඩන් ශාඛා කාර්යාලයේ ශාඛා අවේක්ෂක බවට පත් වුණා. ඔහු ඔහුගේ පවුලේ අය එක්ක පදිංචි වෙලා හිටියේ වේල්සය මායිමේ පිහිටි බ්‍රෝනිගාර්ත් අසලයි. ඔහුගේ අක්කා, සිසී මගේ අම්මගේ කිට්ටු මිතුරියක් බවට පත් වුණා.
වර්ෂ 1922දී ‘රජ සහ ඔහුගේ රාජ්‍යය ප්‍රචාරය කරන්න’ කියල ප්‍රකාශ කරපු අවස්ථාවේදී ඇති වුණ ප්‍රීතිය මට තාම මතකයි. ඒ කාලයේදී, මම පාසැල් ශිෂ්‍යාවක් වුණත් උනන්දුවෙන් විශේෂ පත්‍රිකා බෙදන්න හවුල් වුණා. විශේෂයෙන්ම 1924දී, එක්ලිසිඇස්ටික්ස් ඉන්ඩයිටඩ් යන පත්‍රිකාව බෙදන්න හවුල් වුණා. ඒ අවුරුදු දහය ඇතුළත ඇදහිලිවන්ත සහෝදර සහෝදරියන් හුඟදෙනෙක්ව ඇසුරු කරන්න ලැබුණ එක මොනතරම් අගනා වරප්‍රසාදයක්ද! මෝඩ් ක්ලාක් b සහ ඇගේ සහයිකාව මේරි ග්‍රාන්ට්, c එඩ්ගා ක්ලේ, d රොබට් හැඩ්ලිංටන්, කේටි රොබට්ස්, එඩ්වින් ස්කින e සහ කැනඩාවේ සේවයට උපකාර කරන්න ගිය පර්සි චැප්මන් මෙන්ම ජැක් නේතන් f ඒ අයගෙන් කීපදෙනෙක්.
ඒ කාලයේදී, “දැන් ජීවත් වන මිලියන සංඛ්‍යාතය කවදාවත් නොමියනු ඇත” කියලා, දුන්නු බයිබල් දේශනය අපේ විශාල බලප්‍රදේශයටම ගැළපෙන සාක්ෂියක් වුණා. වර්ෂ 1922 මැයි 14වෙනිදා ලිවර්පූල්වලින් ප්‍රයිස් හ්‍යූස්ගේ නෑයෙක් වූ ස්ටැන්ලි රොජර්ස් ආවා චර්ක්හි කතාවක් දෙන්න. මේ ගම තියෙන්නේ අපේ නගරයට උතුරෙනුයි. එදාම හවස ඕස්වෙස්ට්‍රිවල චිත්‍රපට ශාලාවේදීත් ඒ කතාව දුන්නා. ඒ අවස්ථාව සඳහා විශේෂයෙන්ම මුද්‍රණය කළ අත්පත්‍රිකාවක් මා ළඟ තාම තියෙනවා. මේ මුළු කාලයේදීම සංචාරක අවේක්ෂකයන් තුන්දෙනෙකුගේ බැහැදැකීම්වලින් අපේ පුංචි කණ්ඩායම නොකඩවාම ශක්තිමත් වුණා. අපි ඒගොල්ලන්ට කිව්වේ වන්දනාකරුවන් කියලයි. ඒ තුන්දෙනා තමයි හ’බර්ට් සීනිය, ඇල්බට් ලොයිඩ් සහ ජොන් බ්ලේනි.
තීරණයක් ගත යුතු අවස්ථාවක්
වර්ෂ 1929දී මම බව්තීස්ම වෙන්න තීරණය කළා. මට එතකොට වයස අවුරුදු 19යි. ඒ කාලයේදී මම මගේ මුල්ම සැබෑ පරීක්ෂණයට මූණ දුන්නා. මට තරුණයෙක් මුණගැසුණා. එයාගේ තාත්තා දේශපාලනඥයෙක්. අපි දෙන්නා හුඟක් කිට්ටු වුණා. ඔහු විවාහ යෝජනාවක් ගෙනාවා. ඊට කලින් අවුරුද්දේ ආණ්ඩුව (ඉංග්‍රීසියෙන්) කියලා පොතක් නිකුත් කළා. ඉතින් මම ඒකෙන් පිටපතක් ඔහුටත් දුන්නා. ඒත් ඒ පොතේ තේමාවෙන් ඇඟවුණ ස්වර්ගික ආණ්ඩුව ගැන ඔහු උනන්දුවක් නොදක්වන බව ඉක්මනින්ම ද්විතීය කථාව 7:3; 2 කොරින්ති 6:14.
පැහැදිලි වුණා. පුරාණ ඉශ්‍රායෙල්වරුන්ට නොඇදහිලිකාරයන් එක්ක විවාහ වීමෙන් වැළකීමට අණ කරලා තියෙන බවත්, ඒ ප්‍රතිපත්තිය ක්‍රිස්තියානීන්ටත් අදාළ වෙන බවත් මගේ පාඩම්වලින් මම දැනගෙන හිටියා. ඒ නිසා, අමාරුවෙන් වුණත් මම ඔහුගේ යෝජනාව ප්‍රතික්ෂේප කළා.—මම ප්‍රේරිත පාවුල්ගේ වචනවලින් ශක්තිය ලබාගත්තා. “යහපත්කම්කිරීමට මැළිනොවෙමු; මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම්, නියම කාලයේදී කපාගන්නෙමුව.” (ගලාති 6:9) දයාබර ඩෑන් අංකලුත් මාව ලිපිමාර්ගයෙන් ශක්තිමත් කළා. “පරීක්ෂාව පුංචි වුණත්, ලොකු වුණත්, ඒ හැම පරීක්ෂාවකදීම රෝම 8:28වෙනි පදය අදාළ කරගන්න.” ඒකෙ කියන්නේ මෙහෙමයි. ‘දෙවිට ප්‍රේමකරන්නන්ට, එනම් ඔහුගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියාකරන බව අපි දනිමුව.’ ලේසි වුණේ නැතත් මම ගත්තේ හරි තීරණයක් බව මම දැනගෙන හිටියා. ඒ අවුරුද්දේදීම මම කෝල්පෝටවරියක් වුණා.
අභියෝගයට මූණ දීම
අපිට 1931දී යෙහෝවාගේ සාක්ෂිකරුවන් කියන අලුත් නම ලැබුණා. ඒ අවුරුද්දේ අපි රාජ්‍යය ලෝකයේ බලාපොරොත්තුවයි යන පොත්පිංචය සියලුදෙනාටම බෙදාහැරීමට උනන්දුවෙන් හවුල් වුණා. හැම දේශපාලනඥයෙකුටම, හැම පූජකයෙකුටම හා හැම ව්‍යාපාරිකයෙකුටම පිටපතක් දුන්නා. මගේ බලප්‍රදේශය ඕස්වෙස්ට්‍රිවල ඉඳලා උතුරට රෙක්සම් දක්වා කිලෝමීටර් 25ක් විතර දුරකට යනකම් විශාල වුණා. ඒ මුළු ප්‍රදේශයේම සේවය කරලා ඉවර කරන එක මට අභියෝගයක් වුණා.
ඊළඟ අවුරුද්දේ බර්මිංහැම්වල පැවැත්වූ සමුළුවකදී ස්වේච්ඡා සේවකයන් 24දෙනෙක් අවශ්‍ය බව පැවසුවා. මොන වගේ සේවයක්ද කරන්න තියෙන්නේ කියලා දන්නේ නැති වුණත්, අපි 24දෙනෙක් ජ්වලිතයෙන් අපේ නම් භාර දුන්නා. අපි කලින් ඉදිරිපත් කළ රාජ්‍යය ලෝකයේ බලාපොරොත්තුවයි කියන පොත්පිංචයම දෙන්නා දෙන්නා බැගින් ගිහින් නැවතත් ඉදිරිපත් කරන්න පැවරුමක් ලැබුණහම අපිට මොනතරම් පුදුමයක් ඇති වෙන්න ඇද්ද කියලා හිතලා බලන්න. හැබැයි මෙදා පාර ඒවා බෙදාහරින්න තිබුණේ රාජ්‍යය පිළිබඳව ප්‍රචාරය කරන විශාල පුවරු එල්ලගෙනයි.
මහා පල්ලියට අයිති ප්‍රදේශ සීමාවේ වැඩ කරනකොට මට ලජ්ජාවක් ඇති වුණත්, මේ නගරයේ කවුරුත් මාව දන්නේ නැති නිසා කමක් නැහැයි කියලා මම මාවම සනසගත්තා. ඒත් ඉස්සෙල්ලම මා ළඟට ඇවිල්ලා මට කතා කළේ මගේ පාසැලේ හිටිය මිතුරියක්. ඈ පුදුමෙන් වගේ මගේ දිහා බලලා මෙහෙම කිව්වා. “මේ මොකද මේ, බෝඩ් කරේ එල්ලගෙන?” ඒ අද්දැකීමෙන් පස්සේ මිනිස්සුන්ට මා තුළ තිබුණ භය නැතුව ගියා!
හුඟක් ඈතට යමින්
වර්ෂ 1933දී මම මට වඩා අවුරුදු 25ක් වැඩිමල් වැන්දඹු පුරුෂයෙක් වූ සනෝවා එක්ක විවාහ වුණා. එයාගේ ඉස්සෙල්ලා නෝනත් ජ්වලිත බයිබල් ශිෂ්‍යාවක්. ඇය මියගිය පසුවත් සනෝවා විශ්වාසවන්තව දිගටම සේවය කරලා තියෙනවා. වැඩි කල් යන්න ඉස්සෙල්ලා අපි එංගලන්තයේ ඉඳලා කිලෝමීටර් 150ක් විතර දුරින් තියෙන උතුරු වේල්ස්වල අපේ අලුත් බලප්‍රදේශයට ගියා. එහෙ යද්දී, අවදානම් වුණත් බඩු පෙට්ටි, සූට් කේස් සහ වෙනත් වටිනා දේවල් අපේ සයිකල්වල අත්පොලු මැද හිර කරලා තියාගෙන, සයිකලය පිටිපස්සේ හයි කරලා තියෙන කූඩවලත් බඩු අහුරගෙන තමයි ගියේ. ඒත් කොහොම හරි අපි පරෙස්සමින් ගියා. එහෙ සේවය කරන්න අපිට අනිවාර්යයෙන්ම සයිකලයක් අවශ්‍ය වුණා. වේල්ස්වල තියෙන මීටර් 900ක් විතර උස කාඩර් අයිඩ්‍රිස් කන්දේ මුදුනටම වගේ අපි සයිකල්වලින් ගියා. එහෙදී ‘රාජ්‍යයේ මේ ශුභාරංචියට’ සවන් දෙන්න ආශාවක් දැක්වුව ජනයාව අපිට හමු වෙන්න ලැබුණු එක මහඟු ආශීර්වාදයක් වුණා.—මතෙව් 24:14.
අපි එහෙ ගිය අලුතම වගේ මිනිස්සු අපිට කිව්වා ටොම් ප්‍රයිස් කියලා කෙනෙක් ඇවිත් අපි වගේම ඒගොල්ලන්ට දේශනා කළා කියලා. අන්තිමේදී
කොහොමහරි වේල්ශ්පූල්හි කඳුවැටියක පදිංචි වෙලා හිටිය ටොම්ව අපිට හොයාගන්න පුළුවන් වුණා. හරිම පුදුමයි! මම සාක්ෂි දරන්න පටන්ගත්ත මුල්ම දවස්වලදී බයිබල් පාඩම්වලට යොදාගත්ත රෙකන්සිලිඒෂන් කියන පොත ඔහුට දීලා තියෙන්නේ මමයි. ඔහු තනියම ඒක පාඩම් කරලා තවත් පොත් එවන්න කියලා ලන්ඩන්වලට ලියලා තිබුණා. ඒ විතරක් නෙවෙයි, එදා ඉඳලම ඔහු අලුත ලැබුණ විශ්වාසයන් ගැන ජ්වලිතව අනිත් අයට කියලා තිබුණා. අපි තුන්දෙනා හුඟක් වෙලාවට එකට පාඩම් කරලා එකිනෙකාව දිරිගන්වගත්තා. මේ විදිහට අපි ප්‍රීතියෙන් එකට කාලය ගත කළා.ව්‍යසනයක් ආශීර්වාදවලට මඟ සලසයි
වර්ෂ 1934දී උතුරු වේල්සය කිට්ටුව හිටිය හැම කෝල්පෝටවරයෙකුටම ධර්මිෂ්ඨ පාලකයා යන පොත්පිංචය බෙදීමේ හවුල් වීමට රෙක්සම් නගරයට යන්න එන්න කියලා ආරාධනයක් ලැබුණා. මේ විශේෂ සේවය පටන්ගත්ත දාට කලින් දා ලොකු විපත්තියක් සිද්ධ වුණා. රෙක්සම්වලට උතුරෙන් කිලෝමීටර් තුනක් දුරින් පිහිටි ග්‍රෙස්ෆර්ඩ් ගල් අඟුරු ආකරයේ සිද්ධ වුණ විශාල පිපිරීමකින් පතල් කම්කරුවන් 266දෙනෙක් මරණයට පත් වුණා. දරුවන් 200කට වැඩිදෙනෙකුට පියවරුන් අහිමි වුණා වගේම කාන්තාවන් 160දෙනෙක් වැන්දඹුවන් බවට පත් වුණා.
වියෝ දුකෙන් පෙළුණ අයගේ නම් ලැයිස්තුවක් හදලා, ඔවුන් එක් එක්කෙනාව බලන්න ගිහින් පොත්පිංචයක් දෙන්න අපි සැලසුම් යෙදුවා. මට දීපු නම් ලැයිස්තුවේ චැඩ්වික් මහත්මිය කියලා නමක් තිබුණා. ඇගේ 19-හැවිරිදි පුතා මියගිහින්. මම ඇයව බලන්න ගියහම ඇගේ වැඩිමල් පුතා, ජැක් අම්මව සනසන්න ඇවිත් හිටියා. මේ තරුණයා මාව අඳුරගත්තත් ඒ බව කිව්වේ නැහැ. පස්සේ, ඔහු ඒ පොත්පිංචය කියවලා, මම ඊට අවුරුදු කීපයකට ඉස්සෙල්ලා දීලා තිබුණ අවසාන යුද්ධය (ඉංග්‍රීසියෙන්) නමැති පොත්පිංචයත් හොයාගෙන කියවලා තිබුණා.
ජැකුයි, එයාගේ බිරිඳ, මේයි තවත් පොත් පත් ගෙනියන්න මාව හොයාගෙන ආවා. වර්ෂ 1936දී රෙක්සම්වල තිබුණ ඔවුන්ගේ නිවසේ රැස්වීම් පවත්වන්න ඔවුන් එකඟ වුණා. ඇල්බට් ලොයිඩ් ඇවිත් මාස හයක් ගියාට පස්සේ, ජැක් චැඩ්වික් මුලසුන භාර අවේක්ෂක හැටියට කටයුතු කරමින් සභාවක් පිහිටෙව්වා. දැන් රෙක්සම්වල සභා තුනක් තියෙනවා.
කැරවෑනයක් තුළ ජීවිතය
අපි ප්‍රදේශයෙන් ප්‍රදේශයට මාරු වෙද්දී ලැබුණ ඕනෑම තැනක නවාතැන් ගත්තත් කාලයක් යනකොට එක තැනකින් තවත් තැනකට ගෙන යා හැකි අපේම නිවසක් තිබුණොත් හොඳයි කියලා සනෝවා තීරණය කළා. පරණ තාලේ කැරවෑන් හදන්න මගේ මහත්තයාට දක්ෂකමක් තිබුණ නිසා එයා අපිට කැරවෑනයක් හැදුවා. අපි ඒකට එලිසබෙත් කියලා නම දැම්මා. ඒක “බහුලත්වයේ දෙවි” යන අර්ථය ඇති බයිබල් නමක්.
අපි නැවතුණ එක තැනක් මට විශේෂයෙන්ම මතකයි. ඒක දොළ පාරක් ගලාගෙන ගිය පලතුරු වත්තක්. මට නම් ඒක ඇත්තෙන්ම පාරාදීසයක්! එච්චර පහසුකම් නොතිබුණත් කැරවෑනයේ අපි ගත කළ අවුරුදු ගණන තුළදී ලබපු සතුටට බාධා කරන්න වෙන කිසිම දේකට ඉඩක් ලැබුණේ නැහැ. ශීත කාලෙදී හුඟක් වෙලාවට ඇඳ ඇතිරිලි අයිස්වලින් මිදුණ හින්දා ඒවා කැරවෑනයේ බිත්තිවලට ඇලෙනවා. ඒ වගේම, කැරවෑනයෙන් තෙතමනය මතුවීමේ ගැටලුව දිගටම තිබුණා. සමහර වෙලාවට වතුර ගේන්න සෑහෙන ඈතකට යන්න සිද්ධ වුණා. ඒත් අපි දෙන්නා එකතු වෙලා මේ බාධාවන් ජයගත්තා.
එක ශීත ඍතුවකදී මං අසනීප වුණා. අපි ළඟ කෑම බීම තිබුණේ පොඩ්ඩයි. මුදල් තිබුණෙත් නැහැ. සනෝවා ඇඳෙන් වාඩි වෙලා මගේ අත අරගෙන මට ඇහෙන්න ගීතාවලිය 37:25 කියෙව්වා: “මම යෞවනව සිටියෙමි, දැන් මහලුව සිටිමි; එසේවී නුමුත් ධර්මිෂ්ඨයා අත්හරිනු ලැබූ බවවත්, ඔහුගේ වංශය කෑම සිඟන බවවත් නුදුටිමි.” ඊට පස්සේ, මා දිහා බලලා මෙහෙම කිව්වා. “ඉක්මනින්ම මොකක්හරි වුණේ නැත්නං අපිට හිඟමනේ යන්නයි වෙන්නේ. ඒත් මං හිතන්නෑ දෙවි ඒ වගේ දෙයක් වෙන්න ඉඩඅරියි කියලා!” එහෙම කියලා එයා අපේ අසල්වැසියන්ට සාක්ෂි දරන්න ගියා.
මට බොන්න මොනවා හරි හදලා දෙන්න කියලා හිතාගෙන සනෝවා දවල් ආපහු එනකොට එයාට ලියුමක් ඇවිල්ලා තිබුණා. එයාගේ තාත්තා එව්ව ඒ ලියුමේ ඩොලර් 75ක් තිබුණා. අවුරුදු කීපයකට කලින් සනෝවාට මුදල් වංචාවක් සම්බන්ධයෙන් බොරු චෝදනාවක් කරලා තිබුණත් එයා නිර්දෝෂ බව ඔප්පු වුණා. මේ අවස්ථාවෙදිම තමයි මුදලුත් අවශ්‍ය වෙලා තිබුණේ. මේ තෑග්ග එයාට එවලා තියෙන්නේ වන්දි මුදලක් වශයෙනුයි. ඒක ලැබුණේ නියම වෙලාවටයි!
වැඩදායක පාඩමක්
සමහර වෙලාවට අපි පාඩම් ඉගෙනගන්නේ අවුරුදු ගානක් ගියාට පස්සෙයි. උදාහරණයක් කියනවා නම්: මම 1927දී ඉස්කෝලෙන් අස්වෙන්න ඉස්සෙල්ලා මගේ පංතියේ හැම ළමයෙකුටමත්, එක ගුරුවරියක් ඇරෙන්න අනිත් හැම ගුරුවරියකටමත් සාක්ෂි දැරුවා. මං සාක්ෂි දැරුවේ නැති ගුරුවරියගේ නම ලැවිනියා ෆ්යෑක්ලෝ. මම කරන්න යන්නේ මොනවද කියලා කාටවත් දැනගන්න ඕනකමක් තිබුණේ නැති හින්දත්, ෆ්යෑක්ලෝ ගුරුවරියට මම ඒ තරම් කැමැත්තක් දැක්වුවේ නැති හින්දත් මං ඇයට දේශනා කරන්න ගියේ නැහැ. ඊට අවුරුදු 20කට විතර පස්සේ මේ ගුරුවරිය ඇගේ පරණ යාළුවන්වයි, ශිෂ්‍යයන්වයි බලන්න ඇවිල්ලා ඇය දැන් යෙහෝවාගේ සාක්ෂිකාරියක් කියලා මගේ අම්මට කියලා තිබුණා. අම්මා මට ඒක කිව්වහම මම පුදුම වුණා. ඒ වගේම මට ලොකු ප්‍රීතියකුත් ඇති වුණා.
ඇයව මුණගැහුණම කලින් මම මගේ ඇදහිල්ල ගැනවත්, කරන්න යන වෘත්තිය ගැනවත් ඇයට නොකිව්වේ ඇයි කියලා මම පැහැදිලි කළා. නිහඬව ඇහුම්කන් දීගෙන ඉඳලා ඊට පස්සේ ඇය මෙහෙම කිව්වා. “මම හිටියේ සත්‍යය හොය හොයයි. සත්‍යය දැනගන්නකම් මට ඉස්පාසුවක් තිබුණේ නැහැ!” මේ අද්දැකීම නිසා මට හම්බවෙන හැම කෙනෙකුටම සාක්ෂි දරන්නත්, කාවවත් කලින් විනිශ්චය නොකරන්නත් හොඳ පාඩමක් මම ඉගෙනගත්තා.
තවත් යුද්ධයක් සහ ඉන් පසුව
නැවතත් 1930 ගණන්වලදී යුධ ගිනි ඇවිලෙන්න පටන්ගත්තා. මට වඩා අවුරුදු දහයකට බාල මගේ ඩෙනිස් මල්ලිව බාහිර රැකියාවේ යෙදීමේ පදනම මත හමුදා සේවයෙන් නිදහස් කළා. ඔහු සත්‍යයට වැඩි උනන්දුවක් දක්වලා නොතිබුණ නිසා මගේ මහත්තයයි මමයි අපේ සභාවේ පුරෝගාමීන් වූ රූපට් බ්‍රැඩ්බරිට සහ ඔහුගේ මල්ලිට, ඒ කියන්නේ ඩේවිඩ්ට කිව්වා ඔහුව ගිහින් බලන්න කියලා. ඔවුන් ගිහින් ඔහුව මුණගැහිලා, ඔහු එක්ක බයිබලය පාඩම් කළා. ඩෙනිස් 1942දී බව්තීස්ම වෙලා, පස්සේ පුරෝගාමී සේවයට ඇතුල් වුණා. ඔහුව 1957දී සංචාරක අවේක්ෂකයෙක් හැටියට පත් කළා.
අපේ එලිසබෙත් දුව 1938දී ඉපදුණ නිසා පවුලේ අවශ්‍යතාවට අනුව සනෝවා අපේ කැරවෑන් එක තවත් විශාල කළා. ඊළඟට 1942දී යූනිස් දුව ඉපදුණාම ස්ථිර පදිංචියට ගෙයක් තියෙන එක ගොඩක් හොඳයි කියලා අපිට තේරුම් ගියා. මේ හේතුව නිසා සනෝවා අවුරුදු කීපයකට පුරෝගාමී සේවයෙන් අයින් වුණා. අපි රෙක්සම් කිට්ටුව පුංචි ගේක පදිංචි වුණා. ඊට පස්සේ, අපි චෙස්ටර් ප්‍රාන්තයට යාබදව පිහිටි මිඩ්ලිජ්වල පදිංචි වුණා. එහෙ ඉන්නකොට 1956දී මගේ දයාබර මහත්තයා මියගියා.
අපේ දුවලා දෙන්නම පූර්ණ-කාලීන එවැන්ජලිස්තවරියන් වුණා. දැන් දෙන්නම විවාහ වෙලා සතුටෙන් කල් ගෙවනවා. යූනිස් සහ වැඩිමහල්ලෙක් වන ඇගේ මහත්තයා තවමත් ලන්ඩන්වල විශේෂ පුරෝගාමීන් හැටියට සේවය කරනවා. එලිසබෙත්ගේ මහත්තයත් සභා වැඩිමහල්ලෙක්. ඔවුනුත්, ඔවුන්ගේ දරුවනුත්, මගේ මී මුනුබුරු මිනිබිරියන් හතරදෙනාත් ලැන්කැස්ටර්වල ප්‍රෙස්ටන්හි මං ඉන්න කිට්ටුවකම ඉන්න එක මට ප්‍රීතියක්.
මගේ නවාතැනේ ඉඳලා පාරෙන් එහා පැත්තේ තියෙන රාජ්‍ය ශාලාවට මට ඇවිදගෙන යන්න පුළුවන් එක ගැන මම ඇත්තෙන්ම ස්තුතිපූර්වක වෙනවා. මෑතක ඉඳලා මට ගුජරාටි කතා කරන කණ්ඩායම එක්ක ආශ්‍රය කරන්න ලැබිලා තියෙනවා. ඔවුන්ගේ රැස්වීම් පවත්වන්නෙත් එතනයි. මට දැන් ටිකක් කන් ඇහෙන්නේ නැති හින්දා ඒ භාෂාව ඉගෙනගන්න එක ලේසි නැහැ. තරුණ අය වගේ ඉක්මනට වචන අල්ලගන්න අමාරුයි. ඒත් ඒක උත්සාහ කරන්න වටින අභියෝගයක්.
ගෙයින් ගෙට ගිහින් දේශනා කරන්නත්, මගේ ගෙදර ඉඳලා බයිබල් පාඩම් පවත්වන්නත් මට තාමත් පුළුවන්. යාළුවෝ මාව බලන්න ආවහම මගේ අතීත අද්දැකීම් ගැන කතා කරන්න ලැබෙන එක මට ලොකු සතුටක්. යෙහෝවාගේ සෙනඟ එක්ක අවුරුදු 90ක විතර කාලයක් තිස්සේ ආශ්‍රය කරන්න ලැබුණ එක කොච්චර දෙයක්ද! ලැබිලා තියෙන ආශීර්වාද ගැන හිතනකොට මගේ ස්තුතිය පුද කරන්න වචන මදි.
[පාදසටහන්වල]
a “විශ්වාසවන්ත සංවිධානය සමඟ පියවර මනිමින්” යන මාතෘකාව යටතේ ප්‍රයිස් හ්‍යූස්ගේ ජීවිත කතාව 1963 මුරටැඹ අප්‍රියෙල් 1 කලාපයේ (ඉංග්‍රීසියෙන්) පළ විය.
b යෙහෝවාගේ මෙම ඇදහිලිවන්ත සේවකයන්ගේ ජීවිත කතා මීට කලින් මුරටැඹ කලාපවල පළ වී ඇත.
c යෙහෝවාගේ මෙම ඇදහිලිවන්ත සේවකයන්ගේ ජීවිත කතා මීට කලින් මුරටැඹ කලාපවල පළ වී ඇත.
d යෙහෝවාගේ මෙම ඇදහිලිවන්ත සේවකයන්ගේ ජීවිත කතා මීට කලින් මුරටැඹ කලාපවල පළ වී ඇත.
e යෙහෝවාගේ මෙම ඇදහිලිවන්ත සේවකයන්ගේ ජීවිත කතා මීට කලින් මුරටැඹ කලාපවල පළ වී ඇත.
f යෙහෝවාගේ මෙම ඇදහිලිවන්ත සේවකයන්ගේ ජීවිත කතා මීට කලින් මුරටැඹ කලාපවල පළ වී ඇත.
[25වන පිටුවේ පින්තූරය]
මම 1922 මැයි 14වෙනිදා සවන් දුන් “දැන් ජීවත් වන මිලියන සංඛ්‍යාතය කවදාවත් නොමියනු ඇත” කියන බයිබල් දේශනය නිවේදනය කළ අත්පත්‍රිකාව
[26වන පිටුවේ පින්තූරය]
අපි විවාහ වෙලා ටික කලකට පස්සේ 1933දී සනෝවා එක්ක
[26වන පිටුවේ පින්තූරය]
මගේ සැමියා හැදුව “එලිසබෙත්” කැරවෑනය ළඟ හිටගෙන