Skip to content

පටුනට යන්න

ආබ්‍රහම්ගේ ආදර්ශවත් ඇදහිල්ල

ආබ්‍රහම්ගේ ආදර්ශවත් ඇදහිල්ල

ආබ්‍රහම්ගේ ආදර්ශවත් ඇදහිල්ල

“[ආබ්‍රහම්] අදහන්නාවූ සියල්ලන්ගේ පියා [විය].”—රෝම 4:11.

1, 2. (අ) ආබ්‍රහම් ගැන කතා කරන විට අදදින සැබෑ ක්‍රිස්තියානීන්ගේ මතකයට නැඟෙන්නේ කුමක්ද? (ආ) ආබ්‍රහම්ව “අදහන්නාවූ සියල්ලන්ගේ පියා” ලෙස හඳුන්වන්නේ මන්ද?

 ඔහු බලවත් ජාතියක මුතුන්මිත්තෙක් විය. එපමණක්ද නොව, ඔහු අනාගතවක්තෘවරයෙක්ද ව්‍යාපාරිකයෙක්ද නායකයෙක්ද විය. එහෙත් මොහු ගැන පවසන විට, අදදින සිටින ක්‍රිස්තියානීන්ට නිතැතින්ම මතක් වන්නේ ඔහු තුළ තිබූ නොසැලෙන ඇදහිල්ලයි. දෙවි ඔහුව තමාගේ මිතුරෙකු ලෙස සැලකීමට හේතු වූයේද ඔහුගේ එම ඇදහිල්ලයි. (යෙසායා 41:8; යාකොබ් 2:23) අප මේ කතා කරන්නේ ආබ්‍රහම් ගැනය. “අදහන්නාවූ සියල්ලන්ගේ පියා” වශයෙන් බයිබලයෙහි ඔහුව හඳුන්වා තිබේ.—රෝම 4:11.

2 ආබ්‍රහම්ට කලින් විසූ ආබෙල්, ඒනොක්, නෝවා වැනි අය ඇදහිලිවන්ත පුරුෂයන් නොවේද? ඔවුන් ඇදහිලිවන්තයන් බව අවිවාදයෙන් පිළිගත හැක. එනමුත් පොළොවේ සියලු ජාතීන් ආශීර්වාද ලබන ගිවිසුම ඇති කරගනු ලැබුවේ ආබ්‍රහම් සමඟය. (උත්පත්ති 22:18) මෙසේ ඔහු සංකේතමය වශයෙන්, පොරොන්දු වංශය කෙරෙහි ඇදහිල්ල තබන සියලුදෙනාගේම පියා බවට පත් විය. (ගලාති 3:8, 9) ආබ්‍රහම්ගේ ඇදහිල්ල අපට ආදර්ශයක් වන නිසාත් ඔහුව අපේ පියා ලෙස සැලකිය හැක. විවිධ පරීක්ෂණ හා පීඩාවලින් පිරි ජීවිතයක් ගත කළ ආබ්‍රහම් මුළු ජීවිත කාලය පුරාම ඔහුගේ ඇදහිල්ල ක්‍රියාවලින් පෙන්නුවේය. ආබ්‍රහම් මුහුණ දුන් ඇදහිල්ල පිළිබඳ ප්‍රබලතම පරීක්ෂණය වූයේ ඔහුගේ පුත් ඊසාක්ව පූජා කිරීමට ඔහුට ලැබුණු නියෝගයයි. මේ පරීක්ෂණයට මුහුණ දීමට බොහෝ කලකට පෙර, ඔහු විවිධාකාර පරීක්ෂණ රැසකට මුහුණ දී තමාගේ ඇදහිල්ල අව්‍යාජ එකක් බව ඔප්පු කළේය. (උත්පත්ති 22:1, 2) ආබ්‍රහම් මුලදී මුහුණ දුන් ඇදහිල්ල පිළිබඳ පරීක්ෂණ කිහිපයක් සලකා බලා, එම පරීක්ෂණවලින් අදදින සිටින අපට ඉගෙනගත හැකි පාඩම් මොනවාද කියා බලමු.

ඌර් දේශයෙන් පිට වී යෑමට නියෝගයක්

3. ආබ්‍රම්ගේ පසුබිම ගැන බයිබලයේ සඳහන් වන්නේ මොනවාද?

3 බයිබලයෙහි ආබ්‍රම් (පසු කාලයේදී ඔහු ආබ්‍රහම් නමින් ප්‍රසිද්ධ විය) ගැන මුලින්ම සඳහන් වන්නේ උත්පත්ති 11:26හිය. එහි අපට මෙසේ කියවීමට තිබේ. “තේරා හැත්තෑ අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව ආබ්‍රම්ද නාහොර්ද හාරාන්ද උපන්නෝය.” ආබ්‍රම් දේවබියැති ෂෙම්ගෙන් පැවතෙන්නෙකි. (උත්පත්ති 11:10-24) ආබ්‍රම් ඔහුගේ පවුලේ අය සමඟ සමෘද්ධිමත් නගරයක් වූ ‘ඌර් නම් වූ කල්දිවරුන්ගේ නුවර’ වාසය කළ බව උත්පත්ති 11:31හි සඳහන් වේ. කලක් මෙම නගරය පිහිටා තිබුණේ යුප්‍රටීස් ගඟට නැඟෙනහිර දෙසිනි. a ඔහු නුවරක වාසය කිරීමෙන් පැහැදිලි වන්නේ ඔහු තැනින් තැන යමින් කූඩාරම්වල වාසය කරන්නෙකු ලෙස නොව, සැප පහසුකම්වලින් යුත් ස්ථිර නිවහනක ඇති දැඩි වූ කෙනෙකු බවයි. ආනයනය කරන ලද භාණ්ඩ ඌර් නගරයේ තිබූ කඩ වීදියෙන් මිල දී ගත හැකි විය. ඔහු වාසය කළ නිවස හොඳට ඉඩ කඩ තිබෙන කාමර 14කින් සමන්විත වූ අතර, වීදිවල සවි කර තිබූ ජල නළවලින් නිවසට අවශ්‍ය ජලය සපයන ලදි.

4. (අ) සැබෑ දෙවිට නමස්කාර කළ අයට ඌර් නගරයේ ජීවත් වීම අභියෝගයක් වූයේ මන්ද? (ආ) ආබ්‍රම් යෙහෝවා කෙරෙහි ඇදහිල්ල ගොඩනඟා ගත්තේ කෙසේද?

4 ඌර් නගරයේ සැප පහසු ජීවිතයක් ගත කළ හැකි වුවත්, සැබෑ දෙවිට සේවය කරන්න වුවමනාවක් තිබූ ඕනෑම කෙනෙකුට එම නගරයේ ජීවත් වීම මහත් අභියෝගයක් විය. එය පිළිම වන්දනාවෙන් හා මිථ්‍යා මතවලින් පිරි නගරයක් විය. එහි ප්‍රධාන ඉදි කිරීම වූයේ නාන් නමැති සඳු දෙවියාට ගරු කිරීමක් වශයෙන් ඉදි කළ දැවැන්ත කොතයි. දෙවි පිළිකුල් කළ මෙම නමස්කාරය මගින් ආබ්‍රම්ට මහත් පීඩනයක් එල්ල වූ බව නිසැකය. ඇතැම්විට එම බලපෑම ඔහුට එල්ල වූයේ ඔහුගේම ඥාතීන්ගෙන් විය හැක. ආබ්‍රම්ගේ පියා වූ තේරා පිළිම සාදන්නෙකු බව ඇතැම් යුදෙව් චාරිත්‍ර වාරිත්‍ර ගැන විස්තර ඇතුළත් පොත් පත්වල සඳහන් වේ. (යෝෂුවා 24:2, 14, 15) ඔහුට එල්ල වූ බලපෑම කුමක් වුවත් ආබ්‍රම් බොරු නමස්කාරය හා බැඳි කිසිම දෙයකට හවුල් නොවීය. ආබ්‍රම් ඌර් නගරයේ වාසය කළ කාලයේදී ඔහුගේ මුතුන්මිත්තෙකු වූ ෂෙම්ද එහි වාසය කරමින් සිටියේය. ෂෙම් සැබෑ දෙවි ගැන ආබ්‍රම්ට කියා දුන් බවට කිසිම සැකයක් නැත. ඔහුට ලැබුණු මේ දැනුම නිසා ආබ්‍රම් ඇදහිල්ල තැබුවේ නාන් කෙරෙහි නොව යෙහෝවා කෙරෙහිය.—ගලාති 3:6.

ඇදහිල්ල පරීක්ෂණයට ලක් වෙයි

5. ආබ්‍රම් ඌර් නගරයේ වාසය කරමින් සිටි කාලයේදී දෙවි ඔහුට දුන් නියෝගය හා පොරොන්දුව කුමක්ද?

5 දෙවි ආබ්‍රම් ඉදිරියේ පෙනී සිට මෙසේ අණ කළ අවස්ථාවේදී ඔහුගේ ඇදහිල්ල පරීක්ෂණයට ලක් විය. “නුඹේ දේශයෙන්ද නුඹේ නෑයන් කෙරෙන්ද නුඹේ පියාගේ ගෙදරින්ද පිටත්ව මා විසින් නුඹට පෙන්වන දේශයට යන්න. මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි; නුඹට ආශීර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි; නුඹද ආශීර්වාදයක් වෙන්න. තවද නුඹට ආශීර්වාද කරන්නන්ට මම ආශීර්වාදකරන්නෙමි, නුඹට ශාපකරන්නාට මම ශාපකරන්නෙමි. පොළොවේ සියලු පවුල් නුඹ කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝය.” —උත්පත්ති 12:1-3; ක්‍රියා 7:2, 3.

6. ඌර් දේශය අත්හැර යෑමට ආබ්‍රම්ට සැබෑ ඇදහිල්ලක් අවශ්‍ය වූයේ මන්ද?

6 මහලු වියේ පසු වූ ආබ්‍රම්ට දරුවන් සිටියේ නැත. එනිසා ඔහු “මහත් ජාතියක්” බවට පත් වන්නේ කෙසේද? ඔහුට පිටත්ව යන්න කියා නියෝග කළ දේශය කුමක්ද? දෙවි ඒ අවස්ථාවේදී ඔහුට ඒ ගැන කිසිවක් පැවසුවේ නැත. මේ නිසා තමන් වාසය කරමින් සිටි සමෘද්ධිමත් ඌර් දේශය සහ එහි සැප පහසු ජීවිතය අත්හැර දමා වෙනත් දේශයකට යන්න ආබ්‍රම්ට අව්‍යාජ ඇදහිල්ලක් තිබිය යුතු විය. ඉපැරණි යුගයේ පැවති පවුල් සම්ප්‍රදායන් ගැන එක් පොතක [Family, Love and the Bible] මෙසේ සඳහන් වේ. “පවුලක සාමාජිකයෙකු යම් බරපතළ අපරාධයකට වරදකරු වූවා නම් ඔහුට දිය හැකි දඬුවම්වලින් දරුණුතම දඬුවම වූයේ ඔහුව පවුලෙන් පන්නා දැමීමයි. එමෙන්ම ඔහුව තවදුරටත් පවුලේ ‘සාමාජිකයෙකු’ ලෙස නොසලකන ලදි. . . . තමන් වාසය කරමින් සිටි දේශය පමණක් නොව, තමන්ගේ ඥාතීන්වද අත්හැර යන්න කියා දෙවි නියෝග කළ විට, ආබ්‍රහම් කිසිදු අදිමදි කිරීමකින් තොරව කීකරු වෙමින් දෙවි කෙරෙහි දැඩි විශ්වාසයක් තැබීම අසාමාන්‍ය දෙයක් ලෙස සලකන්නේ ඒ නිසයි.”

7. ආබ්‍රම් මුහුණ දුන්නා හා සමාන පරීක්ෂණවලට අද සිටින ක්‍රිස්තියානීන් මුහුණ දෙන්නේ කෙසේද?

7 අදදින සිටින ක්‍රිස්තියානීහුද ආබ්‍රම් මුහුණ දුන්නා හා සමාන පරීක්ෂණවලට මුහුණ දෙති. ආත්මික කාරණාවලට වඩා ද්‍රව්‍යමය දේවලට මුල් තැන දීමට ඇති වන බලපෑම්වලට අප ලක් වී සිටින බව ආබ්‍රම්ට මෙන් අපටත් හැඟී යෑමට පුළුවන. (1 යොහන් 2:16) ඇදහිල්ලේ නොසිටින පවුලේ සාමාජිකයන්ගෙන් අපට විරුද්ධවාදිකම් එල්ල විය හැක. සූක්ෂ්ම ආකාරවලින් අපව නරක ඇසුරට ඇදගැනීම සඳහා වෑයම් කරන සභා ඇසුරෙන් කපාහැර සිටින අපේ ඥාතීන්ගෙන්ද පීඩන එල්ල වීමට පුළුවන. (මතෙව් 10:34-36; 1 කොරින්ති 5:11-13; 15:33) මෙහිදී ආබ්‍රම් අපට කදිම ආදර්ශයක් තැබුවේය. ඔහු සෑම දෙයකටම වඩා, පවුල් බැඳීම්වලට පවා වැඩියෙන් අනර්ඝ කොට සැලකුවේ යෙහෝවා සමඟ තිබෙන ඔහුගේ මිත්‍රත්වයයි. දෙවි තමන්ට දුන් පොරොන්දු ඉටු වන්නේ කෙසේද, කවදාද හෝ කොතැනකදීද කියා ආබ්‍රම් හරිහැටි දැන සිටියේ නැත. එහෙත් ඔහු එම පොරොන්දු කෙරෙහි දැඩි විශ්වාසයක් තබමින් තම ජීවිතය පවා පරදුවට තබන්න කැමැත්තෙන් සිටියේය. අපේ ජීවිතවල ප්‍රධාන තැන දෙවිගේ රාජ්‍යයට දීම සඳහා එය මොනතරම් කදිම දිරිගැන්වීමක්ද! —මතෙව් 6:33.

8. ආබ්‍රම්ගේ ඇදහිල්ල ඔහුගේ පවුලේ කිට්ටුම සාමාජිකයන්ට බලපෑවේ කෙසේද? මෙයින් ක්‍රිස්තියානීන්ට කුමක් ඉගෙනගත හැකිද?

8 ආබ්‍රම්ගේ පවුලේ කිට්ටුම සාමාජිකයන් ගැන කුමක් කිව හැකිද? ආබ්‍රම්ගේ භාර්යාව වූ සාරයි හා දෙමාපියන් අහිමි වී සිටි ඔහුගේ සහෝදරයාගේ පුත්‍රයා වූ ලොත් දෙවිගේ ආඥාවට කීකරු වෙමින් ඌර් නගරයෙන් පිට වී යෑමෙන් පැහැදිලි වන්නේ ආබ්‍රම්ගේ ඇදහිල්ල ඔවුන්ගේ ජීවිත කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කළ බවයි. පසු කාලයේදී ආබ්‍රම්ගේ සහෝදරයා වූ නාහොර් සහ ඔහුගේ දූ දරුවන්ගෙන් සමහරදෙනෙක් ඌර් නගරයෙන් පිටත්ව හාරාන්හි පදිංචි වී යෙහෝවාට නමස්කාර කළහ. (උත්පත්ති 24:1-4, 10, 31; 27:43; 29:4, 5) ඔවුන් පමණක් නොවෙයි, ආබ්‍රම්ගේ පියා වූ තේරාත් තමාගේ පුත්‍රයා සමඟ යෑමට කැමති වූයේය. නමුත් තේරා පවුල් මූලිකයා නිසා, කානාන් දේශය බලා පිටත්ව යෑමේදී තේරා පෙරමුණ ගෙන කටයුතු කළ බව බයිබලයේ සඳහන් කර ඇත. (උත්පත්ති 11:31) උපායශීලී ලෙස අපේ ඥාතීන්ට සාක්ෂි දැරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත් කරගන්න විට අපටත් මහත් සතුටක් දැනෙන්නේ නැද්ද?

9. ආබ්‍රම් ඔහුගේ ගමන සඳහා සූදානම් කරගත යුතුව තිබුණේ මොනවාද? සූදානම් වීමේදී යම් දේවල් පරිත්‍යාග කරන්න සිදු වන්න ඇත්තේ මන්ද?

9 ඌර් නගරයෙන් පිටත්ව යෑමට කලින් ආබ්‍රම්ට කරන්න බොහොමයක් දේවල් තිබිණ. තම දේපොළ විකුණා කූඩාරම්, ඔටුවන්, ආහාර හා අවශ්‍ය වෙනත් ද්‍රව්‍ය මිල දී ගන්න ඔහුට සිදු විය. මෙසේ ගමනට කඩිනමින් සූදානම් වීම සඳහා තම දේපොළ ඉක්මනින්ම විකිණීම හේතුවෙන් ආබ්‍රම්ට මූල්‍යමය වශයෙන් යම් පාඩු විඳින්න සිදු වූවා විය හැක. නමුත් යෙහෝවාට කීකරු වීමෙන් ඔහු මහත් සතුටක් ලැබීය. ගමන සඳහා සියල්ලම සූදානම්ව, බඩු පැටවූ ඔටුවන් නගරයේ පවුර අසල පෙළ ගැසී සිටිනවා දකින විට එය මොනතරම් හැඟීම්බර, කිසිදා අමතක නොවන දවසක් වන්න ඇද්ද! ආබ්‍රම් ඇතුළු පිරිස යුප්‍රටීස් ගං ඉවුර දිගේ වයඹ දෙසට ගමන් කළෝය. සති ගණනාවක් තිස්සේ කිලෝ මීටර් 1,000ක් පමණ ගමන් කිරීමෙන් පසු, ඔවුහු මෙසපොතේමියාවට උතුරු දෙසින් පිහිටි හාරාන් කියා හැඳින්වූ නගරයට පැමිණියහ. මෙය සතුන් පිට බඩු පටවාගෙන යන මිනිසුන් නතර වන ප්‍රධාන නගරයක් විය.

10, 11. (අ) පෙනෙන විදිහට ආබ්‍රම් ටික කාලයක් හාරාන්හි නතර වී සිටියේ මන්ද? (ආ) මහලු වියේ පසු වන තම දෙමාපියන්ව රැකබලා ගැනීම සඳහා ක්‍රිස්තියානීන්ට මෙයින් ලැබෙන දිරිගැන්වීම කුමක්ද?

10 ඇතැම්විට ආබ්‍රම් හාරාන්හි පදිංචි වූයේ මහලු වියේ පසු වූ සිය පියාගේ තත්වය සැලකිල්ලට ගෙන විය හැක. (ලෙවී කථාව 19:32) ඒ හා සමානව අදදින සිටින ක්‍රිස්තියානීන් බොහෝදෙනෙකුටද අසනීප වී සිටින හෝ මහලු වියේ පසු වන තම දෙමාපියන්ව රැකබලා ගැනීමේ වගකීම පැවරී තිබේ. සමහරුන්ට තම දෙමාපියන්ව රැකබලා ගැනීම සඳහා යම් සකස් කිරීම් පවා කිරීමට සිදු වේ. මෙහිදී තමන් ප්‍රේමනීය ලෙස කරන කැප කිරීම් ‘දෙවි ඉදිරියෙහි ප්‍රසන්න’ යමක් බව ඔවුන්ට නිසැක විය හැක.—1 තිමෝති 5:4.

11 කලක් ගත විය. “තේරාගේ දවස් දෙසිය පස් අවුරුද්දක්ය; තේරා හාරාන්හිදී මළේය.” තම පියාගේ මරණය ගැන ආබ්‍රම් ශෝක වූ බවට සැකයක් නැත. එනමුත් ශෝකවීමේ කාලය අවසන් වූ විගසම ඔහු හාරාන් දේශයෙන් පිටත්ව ගියේය. “ආබ්‍රම් හාරානෙන් පිටත්වූ කල ඔහුට සැත්තෑ පස් අවුරුද්දක් වයස් විය. ආබ්‍රම් තමාගේ භාර්යාවවූ සාරයිද තම සහෝදරයාගේ පුත්‍රවූ ලොත්ද ඔවුන් රැස්කරගන තිබුණු තමන්ගේ සියලු සම්පත්ද හාරාන්හිදී ඔවුන් ලබාගෙන සිටි මිනිසුන්ද රැගෙන කානාන් දේශයට යන පිණිස පිටත්වුණේය; ඔව්හු කානාන් දේශයට පැමිණියෝය.”—උත්පත්ති 11:32; 12:4, 5.

12. හාරාන්හි වාසය කරමින් සිටි කාලයේදී ආබ්‍රම් කළේ කුමක්ද?

12 ආබ්‍රම් හාරාන්හි විසූ කාලයේදී ‘සම්පත් එක්රැස් කරගැනීම,’ උනන්දුව දනවනසුලු කරුණකි. ඌර් නගරයෙන් පිටත්ව යද්දී ඔහු ද්‍රව්‍යමය දේවල් භුක්ති විඳින්න තිබූ අවස්ථාව අත්හැරියේය. එහෙත් ඔහු හාරාන්වලින් පිටත්ව ගියේ ධනවතෙකු ලෙසයි. ඔහු ධනවත් වීමට හේතුව දෙවිගෙන් ලැබූ ආශීර්වාදයි. (දේශනාකාරයා 5:19) අදදින සිටින තමාගේ සියලුම සේවකයන්ට ධනය ලබා දෙන බවට දෙවි පොරොන්දු වී නැතත්, ‘ශුභාරංචිය නිසා ගෙය හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ අත්හරින’ අයගේ අවශ්‍යතාවන් සපුරාලන බවට වී තිබෙන පොරොන්දුව ඔහු විශ්වාසවන්තව ඉටු කරයි. (මාර්ක් 10:29, 30) ආබ්‍රම්ට තමන්ට සේවය කරන “මිනිසුන්” බොහෝදෙනෙකුද සිටියේය. ආබ්‍රම් ‘වෙනත් අයව තමාගේ ඇදහිල්ලට හරවාගනු ලැබුවා’ කියා යෙරුසලම් ටාර්ගුම්හි හා කල්දිවරුන්ගේ භාෂාවෙන් ලියා තිබෙන අනුවාදයක සඳහන් වේ. (උත්පත්ති 18:19) ඔබේ අසල්වාසීන්ට, රැකියා ස්ථානයේ හා පාසැලේ සිටින අයට කතා කරන්න ඔබේ ඇදහිල්ල ඔබව පොලඹවනවාද? දෙවිගේ නියෝගය අමතක කර දමා හාරාන් තමන්ගේ ස්ථිර පදිංචිය කරගන්නේ නැතුව, ආබ්‍රම් එහි සිටි කාලය ඵලදායක ලෙස පාවිච්චියට ගත්තේය. හාරාන්වලින් පිටත්ව යෑම සඳහා කාලය එළඹිණ. එවිට “ආබ්‍රම් [යෙහෝවා] තමාට කී ලෙස ගියේය.”—උත්පත්ති 12:4.

යුප්‍රටීස් ගඟින් එගොඩ වීම

13. ආබ්‍රම් යුප්‍රටීස් ගඟෙන් එගොඩ වූයේ කවදාද? මෙහි තිබෙන වැදගත්කම කුමක්ද?

13 ආබ්‍රම්ට නැවත වතාවක් තම ගමන ආරම්භ කිරීමට කාලය පැමිණියේය. හාරාන්වලින් සමුගත් ආබ්‍රම් ඇතුළු පිරිස බඩු පටවාගත් සතුන් සමඟ බටහිර දෙසට කිලෝ මීටර් 90ක් පමණ දුර ගමන් කළහ. ආබ්‍රම් යුප්‍රටීස් ගඟෙන් එගොඩ වීම සඳහා පුරාණයේ වෙළඳ මධ්‍යස්ථානයක් වූ කර්කෙමිෂ්හි නතර වූවා විය හැක. මෙය ඒ කාලයේ සතුන් පිට බඩු පටවාගෙන ගිය මිනිසුන් ගඟෙන් එගොඩ වූ ප්‍රධාන තොටුපළක් විය. b ආබ්‍රම් ඇතුළු පිරිස මෙම ගඟින් එගොඩ වූයේ කවදාද? මෙය සිදු වූයේ පො.යු.පෙ. 1513 නීසාන් මස 14වනදා යුදෙව්වරුන් මිසරයෙන් නික්ම යෑමට අවුරුදු 430කට ඉහතදීය. මේ ගැන නික්මයාම 12:41හි මෙසේ සඳහන් වේ. “තවද හාරසිය තිස් අවුරුද්ද කෙළවරවූ දවසේදීම [යෙහෝවාගේ] සියලු සේනාවෝ මිසර දේශයෙන් පිටත්ව ගියෝය.” (අකුරු ඇල කළේ අපය.) මේ අනුව ආබ්‍රහම්ගේ ගිවිසුම පිහිටුවනු ලැබුවේ ආබ්‍රම් දෙවිට කීකරුව යුප්‍රටීස් ගඟෙන් එතරව ගිය පො.යු.පෙ. 1943 නීසාන් මස 14වනදා කියා නිගමනය කළ හැක.

14. (අ) ඇදහිල්ල නමැති ඇස්වලින් ආබ්‍රම්ට දැකගත හැකි වූයේ කුමක්ද? (ආ) අදදින සිටින දෙවිගේ සෙනඟ ආබ්‍රම්ට වඩා ආශීර්වාද ලත් තත්වයක සිටිනවා කියා පැවසිය හැක්කේ කිනම් අර්ථයෙන්ද?

14 ආබ්‍රම් සමෘද්ධිමත් නගරයක වාසය කිරීමට තිබූ අවස්ථාව අත්හැර දැමුවේය. එනමුත් ‘සැබෑ අත්තිවාරම් ඇත්තාවූ නුවර’ නොහොත් මානව සංහතිය පාලනය කරනු ලබන ධර්මිෂ්ඨ ආණ්ඩුව මනසින් දැකීමට ඔහුට හැකි විය. (හෙබ්‍රෙව් 11:10) ආබ්‍රම්ට දැකගත හැකි වූයේ මිය යන මානව සංහතිය මරණයෙන් මුදාගැනීම සඳහා වූ දෙවිගේ අරමුණ හා සම්බන්ධ තොරතුරුවලින් අල්පමාත්‍රයක් පමණි. ආබ්‍රම්ට වඩා දෙවිගේ අරමුණු ගැන පුළුල් අවබෝධයක් ලබාගැනීමට අපට හැකිවීම අප ලබා තිබෙන ආශීර්වාදයකි. (හිතෝපදේශ 4:18) ආබ්‍රම් බලාපොරොත්තුවෙන් සිටි “නුවර” නොහොත් 1914දී ස්වර්ගයේ පිහිටුවන ලද රාජ්‍යය දැන් යථාර්ථයක් වී තිබේ. මේ නිසා යෙහෝවා කෙරෙහි තිබෙන අපේ ඇදහිල්ල ක්‍රියාවලින් පෙන්වීමට අප තුළ පෙලඹීමක් ඇති විය යුතු නොවේද?

කලකට පොරොන්දු දේශයේ පදිංචි වෙයි

15, 16. (අ) යෙහෝවාට පූජාසනයක් ගොඩනැඟීම සඳහා ආබ්‍රම්ට ධෛර්යය අවශ්‍ය වූයේ මන්ද? (ආ) අදදින සිටින ක්‍රිස්තියානීන්ට ආබ්‍රම් මෙන් නිර්භීතකම විදහාපෙන්විය හැක්කේ කෙසේද?

15 උත්පත්ති 12:5, 6හි අපට මෙසේ කියවීමට තිබේ. “ඔව්හු කානාන් දේශයට පැමිණියෝය. ආබ්‍රම් ඒ දේශය මැදින් ෂෙඛෙම් නම් ස්ථානයෙහි මොරේගේ ආලොන් වෘක්ෂය දක්වා ගියේය. ඒ කාලයෙහි කානානිවරු දේශයෙහි සිටියෝය.” යෙරුසලමේ සිට කිලෝ මීටර් 50ක් උතුරින් පිහිටා තිබූ සාරවත් තැනිතලා භූමියක් වූ ෂෙඛෙම් විස්තර කර තිබෙන්නේ “ශුද්ධ දේශයේ පාරාදීසය” කියාය. එහෙත් එහි විසීම අනතුරුදායක දෙයක් විය. මන්ද “ඒ කාලයෙහි කානානිවරු දේශයෙහි සිටියෝය.” කානානිවරුන් දුෂ්චරිතයෙහි හැසුරුණු අය නිසා තම පවුලේ අයව ඔවුන්ගේ දූෂිත බලපෑම්වලින් ආරක්ෂා කරගැනීම සඳහා ආබ්‍රම්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු විය.—නික්මයාම 34:11-16.

16 දෙවන වතාවටත් “[යෙහෝවා] ආබ්‍රම්ට පෙනී: මේ දේශය නුඹේ වංශයට දෙන්නෙමි” කියා පැවසුවේය. මේ වදන් ඇසූ ආබ්‍රම් මොනතරම් ප්‍රීතියකින් ඉපිලී යන්න ඇද්ද! ඔව්, ඇත්තවශයෙන්ම, තම අනාගතික පරම්පරාව විසින් පමණක් භුක්ති විඳිනු ලබන දෙයක් ගැන ප්‍රීතිවීමට ආබ්‍රම්ට ඇදහිල්ල අවශ්‍ය වූ බව පැහැදිලිය. එසේ වුවද, දෙවි තමාට පැවසූ වදන්වලට ප්‍රතිචාරයක් වශයෙන් “ඔහු තමාට පෙනුණාවූ [යෙහෝවාට] පූජාසනයක් ගොඩනැගුවේය.” (උත්පත්ති 12:7) මේ ගැන එක් බයිබල් විශාරදයෙක් මෙසේ අදහස් පළ කරයි. “යම් දේශයක පූජාසනයක් සාදන්නේ, එම දේශය අත් පත් කරගැනීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහාත් තමාගේ ඇදහිල්ල ක්‍රියාවලින් පෙන්වීම සඳහාත්ය.” මෙවන් පූජාසනයක් සෑදීම නිර්භීත ක්‍රියාවක්ද විය. මෙම පූජාසනය, පසු කාලයේදී ව්‍යවස්ථාවේ සඳහන් වූ ආකාරයේ අතින් නොකපන ලද ගල් යොදාගනිමින් සාදන ලද පූජාසනයක් විය. (නික්මයාම 20:24, 25) මෙය කානානිවරුන් විසින් සාදන ලද පූජාසනවලට වඩා හාත්පසින්ම වෙනස් විය. මෙසේ පූජාසනයක් සෑදීමෙන් ආබ්‍රම් අවට සිටි ජනයාට දැනගන්න සැලැස්සුවේ තමා සැබෑ දෙවි වන යෙහෝවාට නමස්කාර කරන කෙනෙකු බවයි. මෙසේ කිරීම ජනයාගේ වෛරයට ලක්වීමට හා තමාගේ ජීවිතයට තර්ජනයක් වීමට හේතු වුවත් තමා යෙහෝවාගේ නමස්කාරකයෙකු බව ආබ්‍රම් එඩිතරව ප්‍රසිද්ධියේ දැනගන්න සැලැස්වීය. අදදින සිටින අප ගැන කුමක් කිව හැකිද? අප නමස්කාර කරන්නේ යෙහෝවාට බව අපේ අසල්වාසීන්ට හෝ පාසැලේ සිටින අයට දැනගන්න සැලැස්වීමෙන් අප, විශේෂයෙන් යෞවනයන් වැළකී සිටිනවාද? යෙහෝවාගේ සේවකයන් වීම උදාර වරප්‍රසාදයක් බව පෙන්වීමට ආබ්‍රම්ගේ නිර්භීත ආදර්ශය අප සියලුදෙනාටම දිරිගැන්වීමක් වේවා!

17. තමන් දෙවිගේ නාමය ගැන දේශනා කළ කෙනෙකු බව ආබ්‍රම් පෙන්නුවේ කෙසේද? අදදින සිටින ක්‍රිස්තියානීන්ට එයින් මතක් කර දෙන්නේ කුමක්ද?

17 ආබ්‍රම් ගිය සෑම තැනකදීම නිතරම ප්‍රමුඛත්වය දුන්නේ යෙහෝවාගේ නමස්කාරයටයි. පසුව “ඔහු ඒ ස්ථානයෙන් ගොස් බෙතෙල්ට නැගෙනහිරින් පිහිටි කන්දට පැමිණ බස්නාහිරින් බෙතෙල්ද නැගෙනහිරින් ආයිද ඇතුව තමාගේ කූඩාරම පිහිටුවාගත්තේය. තවද ඔහු එතැන්හි [යෙහෝවාට] පූජාසනයක් ගොඩනගා [යෙහෝවාගේ] නාමය කියා යාච්ඤාකෙළේය [අඬගැසුවේය, NW].” (උත්පත්ති 12:8) මෙහි සඳහන් “අඬගැසුවේය” යනුවෙන් පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් වාක්‍ය ඛණ්ඩයෙන් “නාමය ප්‍රකාශ කිරීමද (දේශනා කිරීමද)” අදහස් වේ. ආබ්‍රම් තමා පදිංචි වී සිටි ප්‍රදේශයේ විසූ කානානිවරුන්ට යෙහෝවාගේ නාමය නිර්භීතව ප්‍රකාශ කළ බවට කිසිම සැකයක් නැත. (උත්පත්ති 14:22-24) අදදින අපට හැකි සෑම ආකාරයකින්ම ‘යෙහෝවාගේ නාමය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට’ තිබෙන වගකීම එයින් අපට මතක් කර දෙයි.—හෙබ්‍රෙව් 13:15NW; රෝම 10:10.

18. කානානීය වැසියන් සමඟ ආබ්‍රම් පැවැත්වූයේ කිනම් ආකාරයේ සබඳතාවක්ද?

18 ආබ්‍රම් කිසිම ස්ථානයක දිගු කාලයක් පදිංචි වූයේ නැත. “ඉන්පසු ඔහු එක තැනක නොරඳා අනුක්‍රමයෙන් ගොස් ‘නේගෙබ්’ ප්‍රදේශයට පැමිණියේ ය.” (උත්පත්ති 12:9, නව අනුවාදය) යූදා කඳුකරයට දකුණු දෙසින් පිහිටි එම ප්‍රදේශය අර්ධ-ශුෂ්ක ප්‍රදේශයක් විය. ආබ්‍රම් තැනින් තැනට ගමන් කරමින් ටික කලකට නතර වූ සෑම ප්‍රදේශයකදීම තමා යෙහෝවාගේ නමස්කාරකයෙකු බව පැහැදිලිව පෙන්නුවේය. ආබ්‍රම් හා ඔහුගේ පවුලේ අය “මිහිපිට තමන් විදේශීන් ද ආගන්තුකයන් ද බව ප්‍රකාශ කළහ.” (හෙබ්‍රෙව් 11:13, න. අ.) ඔවුහු තමන්ගේ ඇදහිල්ලට අයිති නොවූ අසල්වැසියන් සමඟ කිට්ටු සබඳතාවක් පැවැත්වීමෙන් සෑම අවස්ථාවකදීම වැළකී සිටියහ. ඒ හා සමානව අදදින සිටින ක්‍රිස්තියානීන්ද තමන් “ලෝකයේ කොටසක්” නොවන බව සැම විටම පෙන්විය යුතුය. (යොහන් 17:16, NW) අපේ අසල්වාසීන් හා රැකියා ස්ථානයේ සිටින මිතුරන් සමඟ අප කාරුණිකව හා ගෞරවාන්විතව කටයුතු කළත්, දෙවිගෙන් ඈත් වී සිටින මිනිසුන්ගෙන් සමන්විත ලෝකයේ ස්වභාවය පිළිබිඹු කරන ආකාරයෙන් නොහැසිරීමට අප පරෙස්සම් විය යුතුය.—එපීස 2:2, 3.

19. (අ) තැනින් තැනට ගමන් කරමින් වාසය කිරීම ආබ්‍රම්ට හා සාරයිට අභියෝගයක් වූයේ මන්ද? (ආ) ආබ්‍රම්ට මුහුණ දීමට තිබුණේ තවත් කුමන ආකාරයේ පරීක්ෂණයකටද?

19 තැනින් තැනට ගමන් කරමින් යම් තැනක කෙටි කාලයක් නතර වීමේ දුෂ්කර ජීවිතයකට හැඩගැසීම ආබ්‍රම්ට හා සාරයිට ලෙහෙසි පහසු දෙයක් නොවූ බව අපි අමතක නොකරමු. ඔවුන් ආහාරයට ගත්තේ ඌර් නගරයේ කඩවලින් මිල දී ගත් ආහාර වර්ග නොව, ඔවුන්ගේම සත්ව රැළෙන් ලබාගත් දේවල්ය. ඔවුන් ජීවත් වූයේ සැප පහසුකම්වලින් යුත් නිවසක නොව, කූඩාරම්වලය. (හෙබ්‍රෙව් 11:9) ආබ්‍රම් ගත කළේ ඉතාමත් කාර්යබහුල ජීවිතයකි. සතුන්ව බලාගැනීමේදී හා සේවකයන්ගේ වැඩකටයුතු බලාකියා ගැනීමේදී ඔහුට කරන්න තිබූ දේ බොහෝය. එදා පැවති සංස්කෘතියට අනුව ස්ත්‍රීන් විසින් සිදු කළ යුතුව තිබූ නිවසක වැඩකටයුතු සාරයි කළ බවට කිසිම සැකයක් නැත. රොටි සෑදීම, රෙදි විවීම හා ඇඳුම් මැසීම ඒ වැඩ අතර විය. (උත්පත්ති 18:6, 7; 2 රාජාවලිය 23:7; හිතෝපදේශ 31:19; එසකියෙල් 13:18) මින් පෙර මුහුණ නොදුන් පරීක්ෂණ ඔවුන් ඉදිරියෙහි තිබිණ. වැඩි කලක් යන්න කලින් ආබ්‍රම්ට හා ඔහුගේ ගෙවැසියන්ට ඔවුන්ගේ ජීවිත අවදානමකට ලක් කරන තත්වයකට මුහුණ දීමට සිදු විය. මේ අභියෝගය හමුවෙහි ආබ්‍රම්ගේ ඇදහිල්ල නොසැලී පැවතියාද?

[පාදසටහන්වල]

a වර්තමානයේ යුප්‍රටීස් ගඟ ගලන්නේ ඌර් නගරය කලින් පිහිටි ස්ථානයේ සිට කිලෝ මීටර් 16ක් පමණ ඈතට වෙන්න නැඟෙනහිර දෙසිනි. එහෙත් සාක්ෂිවලින් අනාවරණය වන්නේ ඒ කාලයේදී මෙම ගඟ ඌර් නගරයට බටහිර දෙසින් ගලා ගිය බවයි. මෙසේ පසු කාලයේදී ආබ්‍රම් ගැන සඳහන් කරන විට, ඔහු ‘ඒ ගංගාවට [යුප්‍රටීස් ගඟට] එතරින්’ පැමිණි කෙනෙකු වශයෙන් හැඳින්විය හැකි විය.—යෝෂුවා 24:3.

b සියවස් කිහිපයකට පසු, අෂූරියේ රජ වූ IIවන අෂුනාසිපාල්, කර්කෙමිෂ්හිදී යුප්‍රටීස් ගඟෙන් එගොඩ වීම සඳහා පාරු යොදාගත්තේය. ආබ්‍රම් ගඟෙන් එගොඩ වූයේ පාරු සාදාගෙනද නැත්නම් ඔහු ඇතුළු පිරිස වතුරට බැස එගොඩ වුණාද කියා බයිබලයේ සඳහන් නොවේ.

ඔබේ අවධානයට යොමු වූවාද?

• ආබ්‍රම්ව “අදහන්නාවූ සියල්ලන්ගේ පියා” වශයෙන් හඳුන්වන්නේ මන්ද?

• කල්දිවරුන්ගේ නගරයක් වූ ඌර් අත්හැර යෑම සඳහා ආබ්‍රම්ට ඇදහිල්ල අවශ්‍ය වූයේ මන්ද?

• තමා යෙහෝවාගේ නමස්කාරයට මුල් තැන දුන් බව ආබ්‍රම් පෙන්නුවේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[16වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

ආබ්‍රහම්ගේ ගමන

ඌර්

හාරාන්

කර්කෙමිෂ්

කානාන්

මධ්‍යධරණී මුහුද

[හිමිකම් විස්තර]

Based on a map copyrighted by Pictorial Archive (Near Eastern History) Est. and Survey of Israel

[15වන පිටුවේ පින්තූරය]

ඌර් නගරයේ භුක්ති විඳිමින් සිටි සැපපහසු ජීවිතය අත්හරින්න ආබ්‍රම්ට ඇදහිල්ල අවශ්‍ය විය

[18වන පිටුවේ පින්තූරය]

ආබ්‍රම් හා ඔහුගේ පවුලේ අය කූඩාරම්වල ජීවත් වීමෙන් “තමන් විදේශීන් ද ආගන්තුකයන් ද බව ප්‍රකාශ කළහ”