Skip to content

පටුනට යන්න

ආබ්‍රහම්ට සමාන ඇදහිල්ලක් ඔබටත්!

ආබ්‍රහම්ට සමාන ඇදහිල්ලක් ඔබටත්!

ආබ්‍රහම්ට සමාන ඇදහිල්ලක් ඔබටත්!

“ඇදහිල්ලෙහි පිහිටෙන්නෝම ආබ්‍රහම්ගේ පුත්‍රයන් බව දැනගන්න.”—ගලාති 3:7.

1. ආබ්‍රම් කානාන්හිදී අලුත් පරීක්ෂණයකට මුහුණ දුන්නේ කෙසේද?

 ආබ්‍රම් යෙහෝවාගේ අණට කීකරු වෙමින් ඌර් නගරයේ සැපපහසු ජීවිතයක් භුක්ති විඳින්න තිබූ අවස්ථාව අත්හැර තිබිණ. එම නගරය අත්හැර පිටත්ව යෑමෙන් පසු ගත වූ අවුරුදු කිහිපය තුළ ඔහු විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන් අතර, ඒ සියල්ල ඔහු මිසරයේදී මුහුණ දීමට තිබූ ඇදහිල්ල පිළිබඳ පරීක්ෂණය සඳහා පෙර සූදානමක් මෙන් විය. “දේශයෙහි සාගතයක් විය” කියා බයිබල් වාර්තාවෙහි සඳහන් වේ. තමා සිටි තත්වය ගැන ආබ්‍රම්ට කොතරම් පහසුවෙන් කලකිරෙන්න තිබුණාද! එහෙත් ඔහු එවන් හැඟීම්වලින් යටපත් නොවී, තමාගේ පවුලේ අයගේ ද්‍රව්‍යමය අවශ්‍යතා සැපයීම සඳහා ප්‍රායෝගික පියවර ගත්තේය. “ඒ දේශයෙහි . . . සාගතය අති උග්‍ර වූ බැවින්, ආබ්‍රම් තාවකාලික පදිංචියට මිසරයට ගියේ ය. [න. අ.]” විශාල පිරිසක් වූ ආබ්‍රම්ගේ ගෙවැසියන් මිසරයට පැමිණි කල, ඔවුන් කාගෙත් අවධානයට ලක් විය. තමන් පොරොන්දු ඉටු කරන්නෙකු බව පෙන්වමින් යෙහෝවා එහිදී ආබ්‍රම්ව ආරක්ෂා කළාද?—උත්පත්ති 12:10; නික්මයාම 16:2, 3.

2, 3. (අ) ආබ්‍රම් තම භාර්යාවගේ අනන්‍යතාව වසං කළේ ඇයි? (ආ) මේ අවස්ථාවේදී ආබ්‍රම් ඔහුගේ භාර්යාව සමඟ කටයුතු කළේ කෙසේද?

2 උත්පත්ති 12:11-13 අපට මෙසේ කියවීමට තිබේ. “ඔහු මිසර දේශයට ඇතුල්වෙන්ට ළංවූ කල තම භාර්යාවවූ සාරයිට කථාකොට: බලව, නුඹ ශෝභන පෙනීම ඇති ස්ත්‍රියක් බව දනිමි. මිසරවරුන් නුඹ දුටු විට—මෑ ඔහුගේ භාර්යාවය කියා මා මරා නුඹ ඉතුරු කරනවා ඇත. ඉතින් නුඹ නිසා මට යහපත සිද්ධවෙන පිණිසද නුඹ කරණකොටගෙන මාගේ ප්‍රාණය ගැළවෙන පිණිසද නුඹ මාගේ සහෝදරීයයි කියන ලෙස [කරුණාවෙන්, NW] ඉල්ලමියි කීය.” සාරයි අවුරුදු 65කටත් වඩා වයස වුවත්, ඈ මනබන්ධනීය රූප සෝභාවකින් හෙබි ස්ත්‍රියක් වූවාය. මෙය ආබ්‍රම්ගේ ජීවිතය අවදානමට ලක් කළේය. a (උත්පත්ති 12:4, 5; 17:17) මේ නිසා, යෙහෝවාගේ අරමුණ හා බැඳි කාරණා අවිනිශ්චිත තත්වයක පැවති බව සැලකිල්ලට ගන්න. මන්දයත් ආබ්‍රම්ගේ වංශය කරණකොටගෙන පොළොවේ සියලු ජාතීන් ආශීර්වාද ලබන බවට යෙහෝවා කලින් පවසා තිබූ බැවිනි. (උත්පත්ති 12:2, 3, 7) ඒ වන විටත් ආබ්‍රම්ට දරුවන් සිටියේ නැති නිසා, ඔහු ජීවතුන් අතර සිටීම අතිවැදගත් කාරණයක් විය.

3 මේ ගැන උපායක් යෙදීමට ආබ්‍රහම් තමාගේ භාර්යාව සමඟ කතා කරගත්තේය. සාරයි තමාගේ සහෝදරිය කියා පැවසීම නුවණට හුරුයි කියා ඔවුහු දෙදෙනා කලින්ම තීරණය කළහ. ආබ්‍රම් පවුලේ මූලිකයා වුවත්, ඔහුගේ බලතල රළු ලෙස හිතුමතේට භාවිත නොකර, තම භාර්යාවගේද අදහස් සැලකිල්ලට ගනිමින් ඇගේ සහයෝගය ලබාගැනීමට ඔහු වෑයම් කළේය. (උත්පත්ති 12:11-13; 20:13) මෙහිදී ආබ්‍රම් ප්‍රේමනීය ලෙස මූලිකත්වය මෙහෙයවීම සම්බන්ධයෙන් ස්වාමිපුරුෂයන්ට කදිම ආදර්ශයක් තැබීය. එමෙන්ම තම ස්වාමිපුරුෂයන්ට යටත්කම පෙන්වීම සම්බන්ධයෙන් සාරයි අද සිටින භාර්යාවන්ට ආදර්ශයකි.—එපීස 5:23-28; කොලොස්සි 4:6.

4. අදදින සිටින දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් තම ආත්මික සහෝදරයන්ගේ ජීවිත අනතුරේ තිබෙන අවස්ථාවක කටයුතු කළ යුත්තේ කෙසේද?

4 සාරයි ආබ්‍රම්ගේ අර්ධ සහෝදරිය වූ නිසා ඇත්තටම තමා ඔහුගේ සහෝදරිය කියා පැවසීමට ඇයට හැකි විය. (උත්පත්ති 20:12) එමෙන්ම දැනගැනීමට අයිතියක් නැති පුද්ගලයන්ට තොරතුරු ලබා දීමට ආබ්‍රම් බැඳී සිටියේ නැත. (මතෙව් 7:6) මේ කාලයේ සිටින දෙවිගේ විශ්වාසවන්ත සේවකයෝ අවංක වන්න කියා බයිබලයේ සඳහන් ආඥාවට කීකරු වෙති. (හෙබ්‍රෙව් 13:18) උදාහරණයක් හැටියට ඔවුහු අධිකරණයක් හමුවෙහි දිවුරුම් ප්‍රකාශයක් කරන විට කිසිවිටකත් බොරු නොකියති. කෙසේවෙතත්, හිංසා පීඩා පවතින කාලවලදී හෝ රටේ සිවිල් අරගල පවතින අවස්ථාවලදී ශාරීරිකව හෝ ආත්මිකව තමන්ගේ සහෝදරයන්ගේ ජීවිත අනතුරේ තිබෙන විට, “සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න” කියා යේසුස් දුන් උපදේශයට එකඟව ඔවුහු කටයුතු කරති.—මතෙව් 10:16; 1996 නොවැම්බර් 1 මුරටැඹ සඟරාවේ 18වන පිටුවේ 19වන ඡේදය බලන්න.

5. ආබ්‍රම්ගේ ඉල්ලීමට කීකරුව යටත් වෙන්න සාරයි කැමති වූයේ මන්ද?

5 සාරයි ආබ්‍රම්ගේ ඉල්ලීමට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? ඇය වැනි ස්ත්‍රීන්ව ප්‍රේරිත පේතෘස් විස්තර කරන්නේ ‘දෙවි කෙරෙහි බලාපොරොත්තු තැබූ’ ස්ත්‍රීන් ලෙසයි. මේ අනුව තමන් මුහුණ දෙමින් සිටි තත්වය හා බැඳි ආත්මික කාරණා තේරුම්ගැනීමට සාරයිට හැකි විය. එපමණක්ද නොව, ඇය තම ස්වාමිපුරුෂයාට ප්‍රේම කරමින් ගෞරව කළාය. මේ නිසා, සාරයි ‘තම ස්වාමිපුරුෂයාට යටත් වෙමින්’ තමා විවාහක ස්ත්‍රියක් බව වසං කළාය. (1 පේතෘස් 3:5) ඇත්තෙන්ම, එසේ කිරීම නිසා ඇගේ ජීවිතයට අනතුරක් එල්ල විය. “ආබ්‍රම් මිසරයට පැමිණි කල ඒ ස්ත්‍රිය ඉතා ශෝභන බව මිසරවරු දුටුවෝය. ඵාරාවෝගේ ඇමතිවරු ඈ දැක ඵාරාවෝ ඉදිරියෙහි ඈ වර්ණනාකළෝය. එවිට ඒ ස්ත්‍රී ඵාරාවෝගේ ගෙට ගෙනයනලද්දීය.”—උත්පත්ති 12:14, 15.

යෙහෝවා ගළවයි

6, 7. ආබ්‍රම් සහ සාරයි දැඩි මානසික පීඩනයකට ලක් වූයේ කිනම් තත්වය නිසාද? යෙහෝවා සාරයිව ගළවාගත්තේ කෙසේද?

6 මේ අවස්ථාවේදී ආබ්‍රම් හා සාරයි මොනතරම් මානසික පීඩනයකින් පෙළෙන්න ඇද්ද! සාරයිව දූෂණය කරනු ලැබීමට බොහෝ සේ ඉඩ තිබිණ. සාරයි විවාහක ස්ත්‍රියක් බව නොදැන සිටි ඵාරාවෝ ආබ්‍රම්ට බොහෝ තෑගි දුන්නේය. මේ නිසා “බැටළුවෝද ගවයෝද කොටළුවෝද දාසයෝද දාසියෝද කොටළුදෙන්නුද ඔටුවෝද ඔහුට ලැබුණාහ.” b (උත්පත්ති 12:16) මේ තෑගි ගැන ආබ්‍රම්ට මොනතරම් පිළිකුලක් දැනෙන්න ඇද්ද! තත්වය මොනතරම් භයානක ලෙස පෙනෙන්න තිබුණත්, යෙහෝවා ආබ්‍රම්ව අත්හැර තිබුණේ නැත.

7 “[යෙහෝවා] ආබ්‍රම්ගේ භාර්යාවවූ සාරායි නිසා ඵාරාවෝටද ඔහුගේ ගෙයි වැසියන්ටද මහත්වූ පීඩාවලින් [පීඩා කළේය].” (උත්පත්ති 12:17) මේ ‘පීඩාවලට’ සැබෑ හේතුව කුමක්ද කියා ඵාරාවෝට දැනගන්න හැකි විය. නමුත් ඔහු මෙය දැනගත්තේ කෙසේද කියා හෙළි කර නැත. තමාට හෙළි වූ කාරණය සම්බන්ධයෙන් ඔහු මෙසේ විගස ප්‍රතිචාරය දැක්වුවේය. “එවිට ඵාරාවෝ ආබ්‍රම් කැඳවා: නුඹ මට මේ කළේ මොකද? ඈ නුඹේ භාර්යාව බව කුමක් නිසා මට නොකීවෙහිද? ඈ නුඹේ සහෝදරීයයි මට කීවේ මක්නිසාද? එබැවින් ඇය මාගේ භාර්යාව කොට ගතිමි. මෙන්න නුඹේ භාර්යාව, ඇය රැගෙන පලයන්නැයි ඔහුට කීය. ඵාරාවෝ ඔහු ගැන මිනිසුන්ට අණදුන්නේය. ඔව්හු ඔහු සහ ඔහුගේ භාර්යාවද ඔහු සන්තක සියල්ලද මගට ගෙනැත් ඇරලුවෝය.” —උත්පත්ති 12:18-20; ගීතාවලිය 105:14, 15.

8. යෙහෝවා අදදින සිටින ක්‍රිස්තියානීන්ට පොරොන්දු වන්නේ කුමන ආකාරයේ ආරක්ෂාවක් සපයන බවටද?

8 මරණය, අපරාධ, සාගින්න හෝ ස්වාභාවික විපත්වලින් අපව ආරක්ෂා කරන බවට යෙහෝවා අද අපට සහතික වන්නේ නැත. කෙසේවෙතත්, අපේ ආත්මිකත්වය අනතුරට ලක් වන අවස්ථාවලදී, සැම විටම ඒවායින් අපව ආරක්ෂා කරන බවට යෙහෝවා පොරොන්දු වී තිබේ. (ගීතාවලිය 91:1-4) ඔහු මූලිකවම එම ආරක්ෂාව සපයන්නේ, ඔහුගේ වචනය හා “විශ්වාසවූ නුවණ ඇති දාසයා” මාර්ගයෙන් නියමිත වේලාවට අනතුරු ඇඟවීම් සැපයීම මගිනි. (මතෙව් 24:45) හිංසා පීඩාවලදී එල්ල වන මරණ තර්ජන ගැන කුමක් කිව හැකිද? ඇතැම් අවස්ථාවලදී පුද්ගලයන්ට මරණය අද්දැකීමට ඉඩහැරියත් දෙවි ඔහුගේ සෙනඟව කණ්ඩායමක් හැටියට සමූලඝාතනය කිරීමට කවදාවත් ඉඩහරින්නේ නැත. (ගීතාවලිය 116:15) සමහර ඇදහිලිවන්තයන් මරණයට ගොදුරු වුවත්, ඔවුන් නැවත නැඟිටින බව අපට නිසැකයි.—යොහන් 5:28, 29.

සාමය උදෙසා කැප කිරීම්

9. ආබ්‍රම් කානාන් දේශය ඔහුගේ ස්ථිර පදිංචිය කර නොගත් බව ඇඟවෙන්නේ කුමකින්ද?

9 කානාන්හි පැවති සාගතය අවසන් වූ පසු, “ආබ්‍රම් තම භාර්යාව සහ තමා සන්තක සියල්ල රැගෙන ලොත්ද කැටුව මිසරයෙන් නික්ම දකුණු දෙසට [යූදා කඳුකරයට දකුණින් පිහිටි දැඩි වියළි ප්‍රදේශයක් වූ නේගෙබ් දේශයට] ගියේය. ආබ්‍රම් සිව්පාවුන්ගෙන්ද රන්රිදීයෙන්ද ඉතා පොහොසත්ව සිටියේය.” (උත්පත්ති 13:1, 2) මේ නිසා ඒ ප්‍රදේශයේ සිටි මිනිසුන් ඔහුව සලකන්න ඇත්තේ සමූහයක් පාලනය කරන බලවත් අධිපතියෙකු ලෙස විය හැක. (උත්පත්ති 23:6) කානාන් දේශය තමන්ගේ ස්ථිර පදිංචිය කරගෙන එහි දේශපාලනික කටයුතුවලට සම්බන්ධ වී කටයුතු කරන්න ආබ්‍රම්ට කිසිදු ආශාවක් නොතිබිණ. එසේ කරනවා වෙනුවට “ඔහු දකුණු දිශාවේ සිට බෙතෙල් දක්වා ගමන්කරමින් බෙතෙල් සිට ආයි අතරෙහි පළමුවෙන් තමාගේ කූඩාරම . . . තිබුණාවූ ස්ථානයට පැමුණුණේය.” කොහේ ගියත් ආබ්‍රම් සැමවිටම කළේ යෙහෝවාගේ නමස්කාරයට මුල් තැන දීමයි.—උත්පත්ති 13:3, 4.

10. ආබ්‍රම්ගේ හා ලොත්ගේ එඬේරුන් අතර මතු වූ ගැටලුව කුමක්ද? මෙයට ඉක්මනින්ම විසඳුම් සෙවීම වැදගත් වූයේ මන්ද?

10 “ආබ්‍රම් සමඟ ගියාවූ ලොත්ටද බැටළු රැළවල්ද ගවයෝද සිටියෝය, කූඩාරම්ද තිබුණේය. ඔවුන්ට සම්පත් බොහෝ නිසා එක්ව විසීමට දේශය ඉඩ මදිවුණේය; එබැවින් එක්ව විසීම ඔවුන්ට නුපුළුවන්විය. ආබ්‍රම්ගේ ගවයන්ගේ එඬේරුන් සහ ලොත්ගේ ගවයන්ගේ එඬේරුන් අතරේ ඩබරයක් විය. එකල්හි කානානිවරුද පෙරිස්සිවරුද දේශයෙහි වාසයකළෝය.” (උත්පත්ති 13:5-7) ආබ්‍රම්ගේ හා ලොත්ගේ සතුන්ට අවශ්‍ය ජලය හා ආහාර ප්‍රමාණවත්ව ලබාගත නොහැකි තත්වයක් දේශයේ උද්ගත විය. දෙපාර්ශ්වයේ එඬේරුන් අතර යම් නොසන්සුන් තත්වයන් හා අමනාපකම් වර්ධනය විය. මෙවන් තත්වයක් සැබෑ දෙවිගේ නමස්කාරකයන් අතර නොතිබිය යුතු දෙයකි. මෙවැනි සුළු අමනාපකම් වර්ධනය වෙන්න ඉඩහැරියොත්, එකිනෙකා අතර තිබෙන මිත්‍ර සබඳතා බිඳ වැටිය හැක. ආබ්‍රම් මෙම ගැටලුව විසඳුවේ කෙසේද? ලොත්ගේ පියාගේ මරණින් පසු ආබ්‍රම් ඔහුව හදා වඩා ගත්තේ තමාගේම පවුලේ කෙනෙකු ලෙසය. දෙදෙනාගෙන් වැඩිමල් තැනැත්තා වූයේ ආබ්‍රම් නිසා යම් තේරීමක් කිරීමේදී ප්‍රමුඛත්වය හිමි විය යුතුව තිබුණේ ඔහුට නොවේද?

11, 12. ආබ්‍රම් ත්‍යාගශීලී ලෙස ලොත් ඉදිරියෙහි තැබූ තේරීම කුමක්ද? ලොත්ගේ තේරීම අනුවණ තේරීමක් වූයේ මන්ද?

11 එනමුත් “ආබ්‍රම් ලොත්ට කථාකොට: මා සහ නුඹ අතරෙහිද මාගේ එඬේරුන් සහ නුඹේ එඬේරුන් අතරෙහිද ඩබරයක් නොවේවා; මක්නිසාද අපි සහෝදරයෝය. මුළු දේශය නුඹ ඉදිරියෙහි තිබෙනවා නොවේද? මා කෙරෙන් වෙන්ව යනලෙස නුඹෙන් ඉල්ලමි. නුඹ වම් දෙසට යන්නෙහි නම් මම දකුණු දෙසට යන්නෙමි; නුඹ දකුණු දෙසට යන්නෙහි නම් මම වම් දෙසට යන්නෙමියි කීවේය.” මුළු පලස්තීන දේශයම හොඳින් දැකබලා ගත හැකි උස් ස්ථානයක් බෙතෙල් අසල තිබේ. ඇතැම්විට මේ ස්ථානයේ සිට “ලොත් ඇස් ඔසවා බලා යොර්දානේ මුළු සමභූමිය හැම තැනම ජල සම්පන්නව තිබෙන බව දුටුවේය. [යෙහෝවා] සොදොම සහ ගොමොරා විනාශකරන්නට පළමුවෙන් ඒක ශොවර් දෙසට [යෙහෝවාගේ] උයන මෙන්ද මිසර දේශය මෙන්ද වූයේය.”—උත්පත්ති 13:8-10.

12 බයිබලයෙහි ලොත්ව “ධර්මිෂ්ඨ” පුද්ගලයෙකු වශයෙන් විස්තර කර තිබුණත්, මේ කාරණයේදී ඔහු යම් හේතුවක් නිසා තෝරාගැනීම සඳහා ආබ්‍රම්ට මුල් තැන දුන්නේ නැත. එමෙන්ම ඔහු තමන්ට වඩා වයසින් වැඩි ආබ්‍රම්ගේ උපදෙස් පැතුවේද නැත. (2 පේතෘස් 2:8) “ලොත් යොර්දානේ මුළු සමභූමිය තෝරාගෙන නැගෙනහිර දිසාවට ගමන්කෙළේය. මෙසේ ඔව්හු තම තමන් කෙරෙන් වෙන්වූවෝය. ආබ්‍රම් කානාන් දේශයෙහි වාසය කළේය, ලොත් සමභූමියෙහි නුවරවල වාසය කරමින් තමාගේ කූඩාරම සොදොම දක්වා ගෙනගියේය.” (උත්පත්ති 13:11, 12) සමෘද්ධිමත් නගරයක් වූ සොදොම්හි වාසය කිරීමෙන් බොහෝ ද්‍රව්‍යමය සැපසම්පත් භුක්ති විඳිය හැකි විය. (එසකියෙල් 16:49, 50) ලෞකික දෘෂ්ටියෙන් බලන කල ලොත්ගේ තේරීම නැණවත් එකක් බව පෙනෙන්න තිබුණත්, ආත්මික දෘෂ්ටියකින් බලන කල එය අනුවණ තේරීමක් විය. මන්ද “සොදොමේ මනුෂ්‍යයෝ වනාහි දුෂ්ටව [යෙහෝවාට] විරුද්ධව අතිශයින් පව්කාරව සිටි” බැවිනි. (උත්පත්ති 13:13) එහි වාසය කිරීමට ලොත් ගත් තීරණය නිසා, පසු කාලයේදී ඔහුගේ පවුලේ අයට මහත් සිත් වේදනාවලට මුහුණ දීමට සිදු විය.

13. මුදල් ගනුදෙනුවලදී යම් ආරවුලකට සම්බන්ධ වී සිටින ක්‍රිස්තියානීන්ට ආබ්‍රම්ගේ ආදර්ශය උපකාරවත් වන්නේ කෙසේද?

13 යම් කලකදී ඒ මුළු දේශයම ඔහුගේ වංශයට උරුම වන බවට යෙහෝවා දී තිබූ පොරොන්දුව කෙරෙහි තමන් ඇදහිල්ල තබා තිබූ බව පෙන්වූ ආබ්‍රම්, එහි කුඩා කොටසක් ලබාගැනීම සඳහා වාදයකට පැටලෙන්න තැත් කළේ නැත. ත්‍යාගශීලී ස්ප්‍රීතුවක් විදහාපෙන්වූ ආබ්‍රම් ක්‍රියා කළේ, 1 කොරින්ති 10:24හි සඳහන් මෙම ප්‍රතිපත්තියට එකඟවයි. “කිසිවෙක් තමාගේම කාරණා නොසොයා, එකිනෙකා තම තමාගේ අසල්වාසියාගේ යහපත සොයාවා.” සෙසු ඇදහිලිවන්තයන් සමඟ මුදල් ගනුදෙනු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මතභේදවල පටලැවී සිටින අයට එය හොඳ සිහිගැන්වීමකි. සමහරුන් මතෙව් 18:15-17හි සඳහන් උපදේශය පිළිපදිනවා වෙනුවට, තමන්ගේ සහෝදරයන්ට විරුද්ධව නඩු පවරා තිබේ. (1 කොරින්ති 6:1, 7) ආබ්‍රම්ගේ ආදර්ශයෙන් පැහැදිලි වන පරිදි මෙවන් තත්වයකදී ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය වන්නේ, යෙහෝවාගේ නාමය අගෞරවයට පත්වීමට හා ක්‍රිස්තියානි සභාවේ සාමය බිඳ වැටීමට ඉඩ නොහැර පාඩුව විඳගැනීමයි.—යාකොබ් 3:18.

14. ආබ්‍රම්ගේ ත්‍යාගශීලීකමට ආශීර්වාද ලැබුණේ කෙසේද?

14 ආබ්‍රම්ගේ ත්‍යාගශීලීකම දෙවිගේ අවධානයට ලක් නොවී නොතිබිණ. දෙවි ඔහුට මෙසේ පැවසුවේය. “නුඹේ වංශය පොළොවේ ධූලි මෙන් වැඩිකරන්නෙමි. එසේ හෙයින් මනුෂ්‍යයෙකුට පොළොවේ ධූලි ගණන්කරන්ට පුළුවන්නම් නුඹේ වංශයත් ගණන් කළ හැකි වන්නේය.” දරුවන් නොමැතිව සිටි ආබ්‍රම් එම වදන්වලින් මොනතරම් දිරිගැන්වීමක් ලබන්න ඇද්ද! අනතුරුව දෙවි ඔහුට මෙසේ අණ කළේය. “නැගිට දේශයෙහි දිගටත් හරහටත් යන්න; මක්නිසාද ඒක නුඹට දෙන්නෙමි.” (උත්පත්ති 13:16, 17) නගරයක සැපපහසු ජීවිතයක් ගත කරන්න ආබ්‍රම්ට අවස්ථාවක් නොලැබිණ. එමෙන්ම කානානිවරුන්ගෙන් වෙන්ව ජීවත් වීමට ඔහුට සිදු විය. ඒ හා සමානව අදදින සිටින ක්‍රිස්තියානීන්ද ලෝකයෙන් වෙන්ව සිටිය යුතුය. තමන් අනිත් අයට වඩා උතුම් කියා ඔවුන් සිතන්නේ නැත. එනමුත් ශුද්ධ ලියවිල්ලේ සඳහන් ප්‍රතිපත්තිවලට පටහැනි දේවල් කිරීමට ඔවුන්ව පොලඹවාගන්න ඉඩ තිබෙන අය සමඟ කිට්ටු ඇසුරක් පැවැත්වීමෙන් ඔවුහු වැළකී සිටිති.—1 පේතෘස් 4:3, 4.

15. (අ) ආබ්‍රම් දේශයෙහි තැනින් තැනට ගමන් කිරීමෙන් අදහස් කළේ කුමක් විය හැකිද? (ආ) අදදින සිටින ක්‍රිස්තියානි පවුල් සඳහා ආබ්‍රම් තැබූ ආදර්ශය කුමක්ද?

15 බයිබල් කාලවලදී යම් පුද්ගලයෙක් ප්‍රදේශයක් හිමි කරගැනීමට කලින්, එය හොඳින් පරීක්ෂා කර බැලීමට එම තැනැත්තාට අයිතියක් තිබිණ. තමන්ගෙන් පැවතෙන්නන්ට ඒ දේශය යම් දවසක උරුම වන බව එහි තැනින් තැනට ගමන් කරද්දී ආබ්‍රම්ට සිහිපත් වූවා විය හැක. දෙවිට කීකරු වෙමින් “ආබ්‍රම් තමාගේ කූඩාරම රැගෙන හෙබ්‍රොන්හි තිබෙන මම්රේගේ ආලොන් ගස් ළඟට ඇවිත් වාසයකොට එහි [යෙහෝවාට] පූජාසනයක් ගොඩනැගුවේය.” (උත්පත්ති 13:18) තමන් සැබෑ නමස්කාරයට මොනතරම් ප්‍රමුඛත්වයක් දී තිබෙනවාද කියා ආබ්‍රම් නැවත වතාවක් පෙන්නුවේය. ඔබේ පවුලේ ප්‍රමුඛතා අතර පවුලේ පාඩමට, පවුලක් වශයෙන් කරන යාච්ඤාවට හා රැස්වීම්වලට යෑමට මුල් තැන හිමි වී තිබෙනවාද?

සතුරු ප්‍රහාරය

16. (අ) උත්පත්ති 14:1හි සඳහන් ආරම්භක ප්‍රකාශයෙන් යම් විපතක් ගැන අඟවනවා කියා පවසන්නේ මන්ද? (ආ) නැඟෙනහිර දිසාවේ රජවරුන් හතරදෙනා කළ ආක්‍රමණයට හේතුව වූයේ කුමක්ද?

16 “එසමයෙහි ෂීනාර්හි රජ වූ අම්රාපෙල් ද, එල්ලාසාර්හි රජ වූ අරියොක්ද, එලාම්හි c රජ වූ කෙදොර්ලායොමෙර් ද, ගෝයිම්හි රජ වූ තිදාල් ද යන රජවරු වූ හ. මොවුහු . . . යුද්ධ කළහ [න. අ.].” මුල් හෙබ්‍රෙව් පිටපතෙහි මෙම වගන්තියේ සඳහන් ආරම්භක ප්‍රකාශය (එසමයෙහි) මගින් “ආශීර්වාද ලත් කාලයක් නිම වී පීඩා සහිත කාලපරිච්ඡේදයක් ආරම්භ වීමට” යොමු දක්වන අතර, එයින් යම් විපත්තියක්ද අඟවයි. (උත්පත්ති 14:1, 2NW, පාදසටහන) නැඟෙනහිර දිසාවේ සිටි එම රජවරුන් හතරදෙනා තමන්ගේ හමුදා සමඟ කානාන් දේශය ආක්‍රමණය කළ විට, පීඩා සහිත කාලය ආරම්භ විය. ඔවුන්ගේ එම ආක්‍රමණයේ අරමුණ වූයේ කුමක්ද? සොදොම, ගොමොරාව, අද්මා, ශෙබොයිම් හා බෙලා යන නගර පහේ විසූ වැසියන්ගේ කැරැල්ල මැඩලීමයි. එම නගර පහෙන් එල්ල වූ ප්‍රහාරවලට සාර්ථකව මුහුණ දෙමින් ඔවුහු “ලුණු මුහුද වූ සිද්දීම් මිටියාවතෙහි එකට රැස්වූවෝය.” ලොත් ඔහුගේ පවුලේ අය සමඟ ජීවත් වූයේ එම මිටියාවත අසලය.—උත්පත්ති 14:3-7.

17. ලොත්ව වහලෙකු ලෙස පිට දේශයකට ගෙන ගිය අවස්ථාවේ ආබ්‍රම්ගේ ඇදහිල්ල පරීක්ෂණයට ලක් වූයේ මන්ද?

17 කානානීය රජවරු සතුරු හමුදාවන්ට දැඩි ප්‍රහාර එල්ල කළත්, අවසානයේදී අන්ත පරාජයක් අද්දුටූහ. “ඔව්හු සොදොම සහ ගොමොරාහි සියලු සම්පත්ද ඔවුන්ගේ සියලු ආහාරද රැගෙන ගියෝය. ඔව්හු සොදොම්හි විසූ ආබ්‍රම්ගේ සහෝදරයාගේ පුත්වූ ලොත් සහ ඔහුගේ සම්පත්ද රැගෙන ගියෝය.” මේ විනාශකාරි සිද්ධිය ගැන ආබ්‍රම්ට වහාම දැනගන්න ලැබිණ. ‘එවිට ගැළවී ගිය කෙනෙක් ඇවිත් හෙබ්‍රෙව්වා වූ ආබ්‍රම්ට දැන්වීය. හෙතෙම වනාහි එෂ්කොල්ගේ සහෝදරයාද අනෙර්ගේ සහෝදරයා වූද අමෝරිය මම්රේගේ ආලොන් ගස් ළඟ වාසය කළේය. මොවුහු ආබ්‍රම් සමඟ ගිවිසුමක් කරගෙන සිටියෝය. තමාගේ සහෝදරයාව අල්ලාගෙන ගිය බව ආබ්‍රම්ට සැලවිය.’ (උත්පත්ති 14:8-14) දැන් මතු වී තිබෙන්නේ ඇදහිල්ල පිළිබඳ මොනතරම් මහත් පරීක්ෂණයක්ද! තමාගේ සහෝදරයාගේ පුතා දේශයේ හොඳම කොටස තෝරාගැනීම ගැන අමනාපයක් ආබ්‍රම් තුළ තිබේද? මේ ආක්‍රමණිකයන් පැමිණියේ ඔහුගේ මව් බිම වූ ෂීනාර් දේශයේ සිට බව අමතක නොකරන්න. මොවුන්ට විරුද්ධව සටන් කළොත් ආපසු තමන්ගේ මව් බිමට යන්න නොහැකි වීමට ඉඩ තිබිණ. ඊට අමතරව, කානාන්හි ඒකාබද්ධ හමුදාවකට ඔවුන්ව පරාජය කරන්න නොහැකි වුණා නම්, ඔවුන්ට විරුද්ධව නැඟී සිටින්න ආබ්‍රම්ට හැකිද?

18, 19. (අ) ලොත්ව බේරාගැනීමට ආබ්‍රම්ට හැකි වූයේ කෙසේද? (ආ) ආබ්‍රම්ගේ ජයග්‍රහණය සඳහා ප්‍රශංසාව හිමි විය යුත්තේ කාටද?

18 ආබ්‍රම් නැවතත් කිසිදු චකිතයකින් තොරව යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසය තැබුවේය. තමාගේ සහෝදරයාගේ පුත්‍රයාව අල්ලාගෙන ගිය බවට ආරංචිය ලැබුණු විගස ආබ්‍රම් “තමාගේ ගෙයි උපන්නාවූ පුරුදුකරනු ලැබූ ස්වකීය මිනිසුන් තුන්සිය දසඅට දෙනෙකු රැගෙන දාන් දක්වා ලුහුබැඳ ගියේය. තවද ඔහුත් ඔහුගේ මෙහෙකරුවොත් රාත්‍රියෙහි ඔවුන්ට විරුද්ධව බෙදී, ඔවුන්ට පහරදී, දමස්කයට වම් පැත්තෙහි වූ හෝබා දක්වා ලුහුබැඳ ගොස් සියලු සම්පත් ආපසු ගෙනාවෝය. ඔහු තම සහෝදරවූ ලොත් සහ ඔහුගේ සම්පත්ද ස්ත්‍රීන්ද සෙනගද ආපසු ගෙනායේය.” (උත්පත්ති 14:14-16) යෙහෝවා කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් විදහාපෙන්වූ ආබ්‍රම්, තම හමුදාව ජයග්‍රහණය කරා මෙහෙයවා ලොත් ඇතුළු ඔහුගේ පවුලේ අයව බේරාගත්තේය. ආබ්‍රම් ආපසු හැරී එන විට සාලෙම්හි රජ මෙන්ම පූජකයාද වූ මෙල්කිසදෙක්ව හමු විය. “සාලෙම්හි රජ වූ මෙල්කිසදෙක් රොටි හා මුද්‍රිකපානය ගෙනායේය. හෙතෙම මහෝත්තම [දෙවිගේ] පූජකයා විය. ඔහු ආබ්‍රම්ට ආශීර්වාදකොට: අහසත් පොළොවත් හිමිවූ මහෝත්තම [දෙවිගෙන්] ආබ්‍රම්ට ආශීර්වාද වේවා; නුඹේ සතුරන් නුඹේ අතට පාවාදුන් මහෝත්තම [දෙවිට] ප්‍රශංසාවේවයි කීය. ආබ්‍රම්ද සියල්ලෙන් දසයෙන් කොටසක් ඔහුට දුන්නේය.”—උත්පත්ති 14:18-20.

19 ඔව්, ජයග්‍රහණය අයිති යෙහෝවාටයි. ආබ්‍රම්ට නැවත වතාවක් යෙහෝවා දෙන ගැළවීම ලබන්න හැකි වූයේ ඔහු තුළ තිබූ ඇදහිල්ල නිසාය. අදදින දෙවිගේ සෙනඟ සටන්වලට හවුල් නොවුණත්, පරීක්ෂණ හා අභියෝග රැසකට මුහුණ දෙයි. මේවාට සාර්ථකව මුහුණ දීම සඳහා ආබ්‍රම්ගේ ආදර්ශය අපට උපකාරවත් විය හැකි ආකාරය ඊළඟ ලිපියේදී සලකා බලමු.

[පාදසටහන්වල]

a “රූමත් ස්ත්‍රීන්ගේ ස්වාමිපුරුෂයන්ව මරා දමා, ඔවුන්ව අල්ලාගෙන එන්න කියා ඵාරාවෝ කෙනෙක් ඔහුගේ හමුදාවට අණ කර තිබූ බව ඉපැරණි පැපිරස් ලියවිල්ලක වාර්තා වේ” කියා ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය නමැති පොතේ සඳහන් වේ. (යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන එම පොත සිංහලෙන් නැත.) ආබ්‍රම් තුළ ඇති වූයේ හුඹස් බියක් නොවන බව එයින් පැහැදිලි වේ.

b පසු කාලයේදී ආබ්‍රම්ගේ උපභාර්යාව බවට පත් වූ හාගර් ආබ්‍රම්ට ලැබුණු දාසීන්ගෙන් කෙනෙකු විය හැක.—උත්පත්ති 16:1.

c එලාම් දේශය හා ෂීනාර් දේශය අතර කිසිදු සම්බන්ධයක් නොතිබූ බවත් කෙදොර්ලායොමෙර් මේ යුද්ධයට හවුල් වීම බොරුවක් බවත් විවේචකයෝ වරක් පැවසූහ. බයිබලයේ සඳහන් එම වාර්තාව සත්‍යය බව තහවුරු කරන පුරාවිද්‍යාත්මක සාක්ෂි පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා 1989 ජූලි 1 මුරටැඹ (ඉංග්‍රීසියෙන්) සඟරාවේ පිටු 4-7 බලන්න.

ඔබේ අවධානයට යොමු වූවාද?

• කානාන් දේශයෙහි පැවති සාගතය නිසා ආබ්‍රම්ගේ ඇදහිල්ල පරීක්ෂණයට ලක් වූයේ කෙසේද?

• ආබ්‍රම් හා සාරයි අදදින සිටින ස්වාමිපුරුෂයන්ට හා භාර්යාවන්ට කදිම ආදර්ශයක් සැපයුවේ කෙසේද?

• ආබ්‍රම් තමාගේ සේවකයන් සහ ලොත්ගේ සේවකයන් අතර ඇති වූ ආරවුල විසඳූ ආකාරයෙන් අපට උගත හැකි පාඩම කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[22වන පිටුවේ පින්තූරය]

තම අයිතිවාසිකම් රැකගැනීමට කටයුතු කරනවා වෙනුවට, ආබ්‍රම් ලොත්ගේ කැමැත්තට මුල් තැන දුන්නේය

[24වන පිටුවේ පින්තූරය]

තම සහෝදරයාගේ පුත්‍රයා වූ ලොත්ව බේරාගැනීමේදී ආබ්‍රම් යෙහෝවා මත රඳා සිටියේය