ඥානාලෝකයේ අගනුවර තුළ ප්‍රදීපකයන් මෙන් බැබළීම
ඥානාලෝකයේ අගනුවර තුළ ප්‍රදීපකයන් මෙන් බැබළීම
“රළ පහරින් බැට කෑවත් කිසිදා නොගිලෙන්නේය, (ෆ්ලුක්ටුආට් නෙක් මෙර්ගිටුර්).” පැරිස් නුවරෙහි උද්යෝග පාඨය වන්නේ එයයි.
පසුගිය වසර 2,000 තුළ ගෙවී ගිය ඉතිහාසය දෙස බලද්දී, නැවක් හා සමානව පැරිසිය ගණන් කළ නොහැකි තරම් කුණාටු බඳු සතුරු ආක්රමණවලටද අභ්‍යන්තර ගැටුම්වලටද මුහුණ දී ඇත. නමුත් ඒ සියල්ල හමුවේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටින්නේය. අද ලෝකයේ වඩාත්ම දැකුම්කලු නගරවලින් එකක් සේ සැලකෙන පැරිසියේ තිබෙන තේජාන්විත ගොඩනැඟිලි, රුක් සෙවණෙන් අලංකාරවත් වූ මං මාවත් හා ලෝ ප්‍රකට කෞතුකාගාරවලට කොයි කාගෙත් සිත ඇදී යයි. පැරිස් නුවර කාව්‍ය රචකයන්ට, චිත්‍ර ශිල්පීන්ට මෙන්ම දාර්ශනිකයන්ට වෙන් වූ ලෝකයක් බව ඇතමෙකුගේ මතයයි. එහි දිව පිනවන ආහාර පානවලටද නවීනතම ඇඳුම් විලාසිතාවලටද තවත් සමහරෙක් ඇලුම් කරති.
ඉතිහාසය දෙස බලද්දී, කතෝලික ආගම පැරිස් නුවරේ වැසියන් කෙරෙහි ප්‍රබල බලපෑමක් කර තිබෙන බව පැවසිය හැකියි. වසර දෙසීයයකට පෙර යුරෝපයේ පැවති ඥානාලෝක ව්‍යාපාරයට විශේෂ ආකාරයකින් දායක වූ නිසා පැරිසිය ඥානාලෝකයේ අගනුවර වශයෙන් හඳුන්වා ඇත. අදදින එහි සිටින බොහෝදෙනෙකු දැනුවත්ව හෝ නොදැනුවත්ව එම වකවානුවේදී ප්‍රචලිත වූ දර්ශනවාදී අදහස්වල බලපෑමට නතු වී තිබේ. ඇත්තෙන්ම, ආගම ධර්මයට වඩා ජනයා කෙරෙහි බලපෑම් ඇති කරන්නේ මෙම දර්ශනවාදි අදහස්ය.
මිනිස් ප්‍රඥාව ජනතාවගේ ජීවිත ආලෝකවත් කර නොතිබීම කනගාටුවට කරුණකි. එබැවින් අදදින බොහෝදෙනෙක් වෙනත් මාර්ගවලින් තම ජීවිතවලට ඥානාලෝකය ලබාගැනීමට වෑයම් කරති. දැන් වසර 90ක් වැනි කාලයක් පුරා යෙහෝවාගේ සාක්ෂිකරුවෝ පැරිසියෙහි ‘ප්‍රදීපකයන් මෙන් බැබළෙති.’ (පිලිප්පි 2:15, NW) දක්ෂ යාත්‍රාකරුවන් විටින් විට වෙනස් වන දිය ප්‍රවාහවලට අනුව තම යාත්‍රා සකස් කරගන්නා සේම, ඔවුහුද ‘සියලු ජාතීන්ගෙන් පැමිණෙන ආශා වන දේ’ තමන්ගේ යාත්‍රාවට ඇදගැනීම සඳහා වත්මන් සිදුවීම්වලට අනුව ඔවුන් වෙත එළඹෙන ආකාරය සකස් කරගනිති.—හග්ගයි 2:7.
අභියෝග රැසක්
වර්ෂ 1850දී පැරිසියේ ජනගහනය 6,00,000ක් විය. අදදින එය මිලියන නවයකටත් වඩා ඉහළ ගොස් ඇත. පැරිස් නුවරෙහි ජනගහනය පුළුල්ව පැතිරී ඇති බැවින් ප්‍රංශයේ අන් සෑම නුවරකටම වඩා එහි විවිධත්වයක් දක්නට ඇත. ලෝකයේ පැරණිතම විශ්ව විද්‍යාලයකට හිමිකම් පාන එය උසස් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් වශයෙන්ද සැලකේ. පැරිසියෙහි සිසු සිසුවියෝ 2,50,000ට ආසන්න සංඛ්‍යාවක් උසස් අධ්‍යාපනය ලබමින් සිටිති. කෙසේවෙතත්, පැරිසියේ අඳුරු පැත්තක්ද තිබේ. එහි නගරාසන්න ප්‍රදේශවල පිහිටි උස් නිවාස සංකීර්ණවල වෙසෙන බහුතරයක් විරැකියාවෙන් පෙළෙති. සදාචාරමය අතින්ද එය පහළ බැස ඇත. මින් පැහැදිලි වන්නේ පැරිස් නුවරෙහි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට “සියලු ආකාර ජනයා” වෙත ශුභාරංචිය ගෙන යෑම සුළු පටු කාර්යයක් නොවන බවයි. එසේ කරද්දී, දක්ෂ ලෙස අවස්ථාවන්ට අනුව සකස් වීමට ඔවුන්ට සිදු වී තිබේ.—1 තිමෝති 4:10, NW.
සෑම වසරකදීම පැරිසිය වෙත සංචාරකයෝ මිලියන 20කට අධික සංඛ්‍යාවක් ඇදී එති. මෙම සංචාරකයන් කල් ගෙවන්නේ අයිෆල් කුලුන මුදුනට යමින්, සියෙන් ගඟ අද්දර සක්මන් කරමින් හෝ මඟ අසල අවන්හල්වල සිට පැරිසියේ සිරි නරඹමිනි. ඒත් පැරිසියේ
සාමාන්‍ය ජනතාවගේ ජීවිත නම් මීට වඩා සංකීර්ණයි. පූර්ණ කාලීන සේවකයෙකු වන ක්රිස්ටියැන් පවසන්නේ “මිනිස්සු හැම තිස්සේම එහෙ මෙහෙ දුවනවා. එයාලා වැඩ ඇරිලා ගෙදරට එන්නේ හරිම මහන්සියෙන්” කියායි. මෙම කාර්යබහුල මිනිසුන් සමඟ කතාබහ කිරීම පහසු කාර්යයක් නොවන බව මින් පැහැදිලි වේ.පැරිසියෙහි යෙහෝවාගේ සාක්ෂිකරුවන් අද්දකින ප්‍රධානතම අභියෝගයක් වන්නේ ගෙයින් ගෙට සේවයේදී ජනයාව මුණගැසීමට නොහැකි වීමයි. ඇතැම් ගොඩනැඟිලිවල ගේට්ටුවේ දුරකථන සවි කර තිබුණත්, අපරාධ එන්න එන්නම වැඩි වන නිසා සමහර ගොඩනැඟිලිවලට පිට අයට ඇතුල් වීමට නොහැකි වන සේ ඇතුල් වන ස්ථානයේ විද්‍යුත් ආරක්ෂක පද්ධති සවි කර ඇත. එසේ නම්, මිනිසුන් 1,400දෙනෙකුට සාක්ෂිකරුවන් එක්කෙනෙකු පමණක් සිටින ප්‍රදේශ තිබීම පුදුමයට කාරණයක් නොවේ. මෙම අභියෝග ජයගැනීමට දැන් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ දුරකථනය මාර්ගයෙන් සාක්ෂි දැරීමට සහ අවිධිමත් ලෙස සාක්ෂි දැරීමට විශේෂ ප්රයත්නයක් දරති. අවිධිමත් ක්‍රම යොදාගැනීමෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් තම ‘ආලෝකය බැබළවීමට’ සමත් වී ඇද්ද?—මතෙව් 5:16.
අවිධිමත් ලෙස සාක්ෂි දැරීමට ප්‍රස්තා බොහොමයක් තිබේ. උදාහරණයකට, බස් නැවතුම් පොළක් අසල සිටි මාර්තැන් නම් සහෝදරියට ඉතා දුකින් සිටි කාන්තාවක් මුණගැසුණාය. එම කාන්තාව පැවසුවේ ඇගේ එකම දියණිය මෑතකදී මිය ගිය බවයි. මාර්තැන් ඇයට නැවත නැඟිටීම පිළිබඳ බයිබලයේ සඳහන් සැනසිලිදායක පොරොන්දුව ගැන විස්තර ඇතුළත් විවරණිකාවක් දුන්නාය. මාස කිහිපයකට පසුව මාර්තැන්ට මෙම කාන්තාව නැවත මුණගැසුණි. ඇය බයිබල් පාඩමක් ආරම්භ කළ අතර පුරුෂයාගේ දැඩි විරුද්ධවාදිකම් මධ්‍යයෙහි පවා බව්තීස්ම ලත් සාක්ෂිකාරියක් බවට පත් වූවාය.
අවිධිමත් ලෙස සාක්ෂි දැරීම ඵලදායකයි
පැරිසියෙහි ප්‍රවාහන සේවය කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලයි. එහි මෙට්‍රෝ උමං දුම්රිය මං ඔස්සේ දිනකට මඟීහු 50,00,000ක් පමණ ගමන් කරති. පැරිසියෙහි ප්‍රධාන උමං දුම්රිය ස්ථානය වන ෂාත්ලේ ලෙසාල් ලෝකයේ විශාලතම මෙන්ම වඩාත්ම කාර්යබහුල දුම්රිය නැවතුම් පොළ වශයෙන් සැලකේ. මෙහිදී ජනයාව මුණගැසී කතා කිරීමට ලැබෙන අවස්ථා එමටය. උදාහරණයකට, ඇලෙක්සැන්ඩ්රා දිනපතාම රැකියා ස්ථානයට ගමන් කරන්නේ මෙට්‍රෝ උමං දුම්රියෙනි. එක් අවස්ථාවකදී ඇයට ලියුකේමියාවෙන් පෙළුණු තරුණ පුරුෂයෙකුව මුණගැසුණි. ඇය ඔහුට පාරාදීසය පිළිබඳ බලාපොරොත්තුව ඇතුළත් පත්‍රිකාවක් ලබා දුන්නාය. එදා පටන් සෑම දවසකදීම එම වේලාවට එම ස්ථානයේදී හමු වූ ඔවුහු දෙදෙනා සති හයක් පුරා බයිබලය පිළිබඳව සාකච්ඡා කළෝය. ඒත් එක් දවසක් මෙම පුද්ගලයා පැමිණියේ නැත. මෙසේ දවස් කිහිපයක් ගත වූ පසු ඔහුගේ බිරිඳ ඇලෙක්සැන්ඩ්‍රාට දුරකථනයෙන් ඇමතුවාය. ඇගේ පුරුෂයා රෝහල්ගත වී සිටින බවත් ඔහුගේ තත්වය අසාධ්‍ය බවත් පැහැදිලි කළ ඇය ඇලෙක්සැන්ඩ්රාගෙන් රෝහලට පැමිණෙන මෙන් ඉල්ලා සිටියාය. නමුත් ඇලෙක්සැන්ඩ්රා රෝහලට යද්දී ඔහු මිය ගොසිනි. මින් ටික කාලයකට පසු, මෙම මනුෂ්‍යයාගේ බිරිඳ නිරිතදිග ප්‍රංශයේ පිහිටි බොර්ඩෝ නම් ප්‍රදේශයට පදිංචිය මාරු කළාය. එහිදී ඇයට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව මුණගැසුණි. අවුරුද්දකට පසු, මෙම වැන්දඹු කාන්තාව ඇගේ පුරුෂයාව නැවත නැඟිටීමේදී හමු වන බවට බලාපොරොත්තුවෙන් සිටින බව්තීස්ම ලත් යෙහෝවාගේ සාක්ෂිකාරියක් වී ඇති බව දැනගත් විට ඇලෙක්සැන්ඩ්‍රාට මොනතරම් ප්‍රීතියක් දැනෙන්න ඇද්ද කියා සිතා බලන්න!—යොහන් 5:28, 29.
පැරිසියේ සිට මධ්‍යම ප්‍රංශයේ පිහිටි ලිමෝජේ දක්වා දුම්රියෙන් ගමන් කරමින් සිටි රෙනාටාව වයසක සහෝදරියකට මුණගැසුණි. රෙනාටා පෝලන්ත ජාතිකයෙකි. ඇය පෝලන්තයේදී හෙබ්‍රෙව්, ග්‍රීක් හා දේවධර්මවාදය පිළිබඳව අධ්‍යයනය කර තිබුණි. ඒත් ආගම ධර්මය කෙරෙහි තිබූ ඇගේ විශ්වාසය බිඳී ගොස් තිබුණු බවත් ඇය මාස තුනක පටන් දෙවිට යාච්ඤා නොකළ බවත් ඇය මෙම සහෝදරියට පැවසුවාය. රෙනාටා වයසක සහෝදරිය පැවසූ දේවලට වැඩි අවධානයක් නොදුන්නත් තම දුරකථන අංකය ඇයට ලබා දුන්නාය. ඇත්තෙන්ම ඇය සිතුවේ නැහැ මෙම සහෝදරියව නැවතත් ඇයට හමු වේවිය කියා. කෙසේවෙතත්, අපේ සහෝදරිය රෙනාටාව ලෙහෙසියෙන් අත්හැරියේ නැත. ඇය හැකි ඉක්මනින් රෙනාටාගේ නිවසට සාක්ෂිකරුවන්ව යැව්වාය. සාක්ෂිකරුවන් වූ විවාහක යුවළක් ඇගේ නිවසට පැමිණි විට රෙනාටා සිතින් සිතුවේ “මේගොල්ලන් මොකක්ද මට උගන්වන්න යන්නේ” කියාය. දේවධර්මය පිළිබඳව ඉගෙනුම ලබා තිබුණත් බයිබල් සත්‍යයන් කෙරෙහි සිත ඇදී ගිය නිසා රෙනාටා ඉතා නිහතමානී ලෙස ඔවුන්ට සවන් දුන්නාය. “මට එකපාරටම වැටහුණා මං ඉගෙනගනිමින් සිටි දේවල් සත්‍යයයි කියලා” යනුවෙන් ඇය පැවසුවාය. දැන් රෙනාටා වෙනත් අයට බයිබල් සත්‍යයන් කියා දීමෙන් ඉමහත් සතුටක් භුක්ති විඳින්නීය.
මිෂෙල් රිය පුහුණු පාඨමාලාවක් අධ්‍යයනය කරමින් සිටියාය. දිනක් ඇගේ පංතියේ ශිෂ්‍යාවෝ විවාහයට පෙර පවත්වන ලිංගික සම්බන්ධකම් ගැන කතා කරමින් සිටියෝය. මිෂෙල් ඒ පිළිබඳව ඍජුවම තම අප්‍රසාදය පළ කළාය. සතියකට පසුව, ඔවුන්ව පුහුණු කළ ගුරුවරිය වූ සිල්වී ඇගෙන් මෙසේ ඇසුවාය. “ඔයා යෙහෝවාගේ සාක්ෂිකරුවෙක්ද?” මිෂෙල් බයිබලය මත තම අදහස් පදනම් කරගෙන තිබීම ගැන අගය ප්‍රකාශ කළ සිල්වී, බයිබලය පාඩම් කිරීමට පටන්ගත් අතර අවුරුද්දකට පසුව බව්තීස්ම ලත් සාක්ෂිකාරියක් බවට පත් වූවාය.
පැරිසියෙහි දක්නට ලැබෙන මනහර උයන්වල හා මල් වතුවල විවේක ගනිමින් සිටින ජනයා සමඟ කතා කිරීම ප්‍රීතිමත් අද්දැකීමකි. ජොසෙට් ඇගේ විවේක කාලය ගත කිරීමට ළඟපාත උද්‍යානයකට යෑමට තීරණය කළාය. එහිදී ඇයට ඇලීන් නම් වූ වයසක කාන්තාවක් මුණගැසුණි. ජොසෙට් ඇයට බයිබලයේ ඇතුළත් අනර්ඝ බලාපොරොත්තුව ගැන විස්තර කළාය. ඇලීන් බයිබලය පාඩම් කිරීමට කැමැත්ත ප්‍රකාශ කළා පමණක් නොව,
වැඩි කල් යන්න කලින් බව්තීස්මය කරා දියුණුව ලැබුවාය. ඇලීන්ට දැන් වයස අවුරුදු 74ක් වුවත් ඇය ඉතා ඵලදායී සේවයක් කරන ස්ථාවර පුරෝගාමියෙකි. අන්‍යයන්ට බයිබල් සත්‍යයන් කියා දීම ඇය සලකන්නේ මහත් ප්‍රීතියක් ලෙසය.සියලු ජාතීන්ට ආලෝකයක්
විවිධ සංස්කෘතීන් ගැන අවබෝධයක් ලබාගැනීම සඳහා පැරිසියෙහි සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට වෙනත් රටවලට ගමන් කරන්න අවශ්‍ය නැත. පැරිසියෙහි ජනගහනයෙන් සියයට 20ක් පමණ විදේශිකයන් වේ. එහි භාෂා 25කින් පමණ රැස්වීම් පවත්වන ක්‍රිස්තියානි සභා හා කණ්ඩායම් කිහිපයක්ම සොයාගත හැක.
විවිධ තත්වයන්ට ගැළපෙන අලුත් ක්‍රම අත්හදා බැලීමෙන් හා දක්ෂ ලෙස පණිවිඩය ඉදිරිපත් කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල නෙළාගත හැකිය. එක් පිලිපීන ජාතික සාක්ෂිකාරියක් අලුත් ක්‍රමයක් අත්හදා බැලීමට තීරණය කළාය. කඩ සාප්පුවලට යද්දී වෙනත් පිලිපීන ජාතිකයන් සමඟ කතාවට වැටෙන ඇය ඒ අතරතුර ඔවුන්ට බයිබලයේ සඳහන් පණිවිඩය කියා දෙන්නීය. මේ ආකාරයට කිහිපදෙනෙකු සමඟම බයිබල් පාඩම් ආරම්භ කිරීමට ඇය සමත් වී තිබේ.
පුද්ගලයන් සමඟ කතා කිරීමට මුලපිරීමෙන්ද හොඳ ප්‍රතිඵල නෙළාගත හැකිය. උදාහරණයකට, 1996 දෙසැම්බර් මාසයේදී පැරිසියට ලෝ ප්‍රසිද්ධ සර්කස් කණ්ඩායමක් පැමිණෙන බව දැනගත් විදේශ භාෂාවක් කතා කරන සභාවක සිටින සාක්ෂිකරුවෝ සංදර්ශනයේ රඟ දක්වන්නන්ව මුණගැසීමට තීරණය කළෝය. එක් සැඳෑ යාමයක සංදර්ශනය අවසන් වූ පසු, රඟ දක්වන්නන් තම හෝටලය වෙත ගමන් කිරීමට සූදානම් වෙද්දී සාක්ෂිකරුවන්ට ඔවුන් සමඟ කතා කිරීමට ප්‍රස්තාවක් ලැබුණි. මේ උත්සාහය නිසා බයිබල් 28ක්, පොත් 59ක්, විවරණිකා 131ක් හා සඟරා 290ක් දීමට හැකි විය. සති තුනකට පසුව එක් රඟ දක්වන්නෙක් මෙසේ ඇසුවේය. “යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වෙන්න නම් මං මොනවද කරන්න ඕනේ?” තවත් කෙනෙක් පැවසුවේ, “මං ගෙදර ගියාම මගේ රටේ අයටත් දේශනා කරනවා” කියාය!
සැඟවුණු නිධාන
පැරිස් නුවර බැලූ බැලූ තැන දකින්න තිබෙන්නේ ආදි කාලයේ අලංකාර ලෙස නිර්මාණය කර ඇති තේජාන්විත ගොඩනැඟිලිය. කොහොම නමුත්, මෙම පුරා වස්තූන්වලට වඩා අනර්ඝ දේවල් පැරිසියෙහි සොයාගත හැක. උදාහරණයකට, රාජ්යදූතයෙකු වන තම මාමා සමඟ ප්‍රංශයට පැමිණි අනීසා නිතරම බයිබලය කියවූ කෙනෙකි. දිනක් ඇය ගෙදරින් පිටත් වන විට ඇයට පුරෝගාමී සහෝදරියකගෙන් ඔබට බයිබලය විශ්වාස කළ හැකි හේතු යන පත්‍රිකාව ලැබුණි. එම සහෝදරිය ඊළඟ සතියේ ඇයව නැවත හමුවීමට සැලසුම් කළාය. අනීසා බයිබලය පාඩම් කරන්න පටන්ගත් අතර ඇගේ පවුලේ අයගේ දැඩි විරුද්ධවාදීකම්වලට මුහුණ දෙන්න ඇයට සිදු විය. ඒත් ඇය නොසැලී පාඩම කරගෙන ගිය අතර අවසානයේදී බව්තීස්මය කරා දියුණු වූවාය. අන්‍යයන් සමඟ සත්‍යය බෙදාගැනීමට තිබෙන වරප්‍රසාදය ගැන ඇය දරන ආකල්පය කුමක්ද? අනීසා ඊට මෙසේ පිළිතුරු දෙන්නීය. “මුලදී මට දේශනා සේවයේ යන එක ලොකු ප්‍රශ්නයක් වුණා. මොකද මං වැඩිය ඉස්සරහට යන්න කැමති නැති කෙනෙක්. ඒත් බයිබලය කියවීම මට ලොකු දිරිගැන්වීමක් වුණා. දැන් මට හිතෙනවා මට නිකම්ම ගෙදරට වෙලා ඉන්න බැහැයි කියලා. අනිත් අය එක්ක සත්‍යය ගැන මං කතා කරන්නම ඕනේ කියලා මට හැඟෙනවා.” පැරිසියේ සිටින බොහෝ සාක්ෂිකරුවන්ගේ ආකල්පය වී තිබෙන්නේ එයයි. ඔවුන්ට ‘ස්වාමින්ගේ මෙහෙයෙහි බොහෝ දෑ’ කිරීමට තිබේ.—1 කොරින්ති 15:58, NW.
පැරිසියෙහි නගරාසන්න ප්‍රදේශවල පවා සත්‍යයේ ආලෝකය බැබළේ. එහි දක්නට ලැබෙන නිවාස සංකීර්ණවල තවත් අනර්ඝ දේවල් බොහොමයක් සොයාගත හැකියි. එම ප්‍රදේශයෙහි වෙසෙන බෲස් තම මිතුරෙකුගේ නිවසට ගියේ ඔහුගෙන් යමක් ඉල්ලා ගැනීම පිණිසය. ඒ වන විට ඔහුගේ මිතුරා යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු වී වැඩි කල් ගොස් නොතිබුණි. මිතුරාගේ නිවසට පැමිණි බෲස්ට දකින්න ලැබුණේ ඔහු තම මිතුරන් කිහිපදෙනෙකු සමඟ බයිබලය ගැන කතා කරමින් සිටින බවයි. බෲස්ද එම සාකච්ඡාවට සවන් දුන් අතර පසුව බයිබල් පාඩමක් කිරීමට කැමති විය. ඒත් තමාට ගැටලුවක් තිබුණු බව පැහැදිලි කරමින් ඔහු මෙසේ විස්තර කියයි. “මාව ඒ ප්‍රදේශයේ මිනිස්සු හොඳට අඳුරනවා. මගේ අයියා හුඟක් කලහකාරි පුද්ගලයෙක්. මගේ ගෙදර නිතරම සාදයන් පැවැත්තුවා. ඒ සාදයන්වලදී අපි සංගීතය දාගෙන, හයියෙන් කෑ කෝ ගහමින් නැටුවා. මම තමයි ඒ සාදයන් සංවිධානය කළේ. ඉතිං මං සාක්ෂිකරුවෙක් වෙලා කියලා ආරංචි වුණාම මිනිස්සු මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා මට ටිකක් බය හිතුණා.” ඔහුගේ ආශ්‍රිතයන් සාදයන් සංවිධානය කරන්න කියා නිතරම ඔහුට කරදර කළත් බෲස් ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේය. මාසයකට පසුව ඔහු දේශනා සේවයේ යන්න පටන්ගත්තේය. මිනිසුන්ගෙන් ලද ප්‍රතිචාරය බෲස් විස්තර කරන්නේ මෙලෙසයි. “ප්‍රදේශයේ හැමෝටම වගේ දැනගන්න ඕන වෙලා තිබුණා ඇයි මං සාක්ෂිකරුවෙක් වුණේ කියලා.” වැඩි කල් යන්න ඉස්සෙල්ලා බෲස් බව්තීස්ම වූ අතර, පසුව දේවසේවා පුහුණු පාසැලට යෑමටත් ඔහුට අවස්ථාව ලැබුණි.
මෙවැනි වටිනා වස්තු සොයාගැනීමට සෑහෙන උත්සාහයක් දැරීමට සිදු වන බව ඇත්තයි. ඒත් එම උත්සාහය ඵල දරන විට දැනෙන්නේ කොතරම් ප්‍රීතියක්ද! තවත් උදාහරණයක් සලකා බලමු. ජැකි, බෲනෝ හා ඩේමේයෙන් වැඩ කළේ පැරිස් නුවරේ බේකරියකයි. “අපිට රෑ දවල් වැඩ කරන්න වුණ නිසා කොයි වෙලේවත් ගෙදර හිටියේ නෑ” කියා ජැකි පැවසීය. එක් ගොඩනැඟිල්ලක උඩම තට්ටුවේ කාමර කිහිපයක් තිබුණු බව ස්ථාවර පුරෝගාමියෙකු වන පට්රික් නිරීක්ෂණය කළේය. ඒ කාමරවලට ගිය විට කිසිවෙකුව මුණගැසුණේ නැතත් අඩුම තරමින් එක කාමරයකවත් කවුරුහරි ජීවත් වෙනවා ඇතැයි කියා ඔහුට වැටහුණි. ඒ අයව කෙසේ හෝ මුණගැසෙනවා කියා ඔහු අධිෂ්ඨාන කරගත්තේය. එක් දහවල් වරුවක
ඔහුගේ උත්සාහයට හොඳ ප්‍රතිඵල ලැබුණි. එම කාමරයේ තාවකාලිකව පදිංචිව සිටි ජැකිව එදින ඔහුට මුණගැසුණේය. එහි ප්‍රතිඵලය? ජැකි සහ ඔහුගේ අනිත් මිතුරන් දෙදෙනාද සාක්ෂිකරුවෝ බවට පත් වූහ. ඔවුන් තිදෙනා දැන් වෙනත් ජීවනෝපායන් සොයාගෙන ඇති අතර මේ නිසා දිව්‍යාණ්ඩු ක්‍රියාකාරකම්වල වඩාත් ක්‍රියාශීලීව හවුල් වීමට දැන් ඔවුන්ට හැකි වී තිබේ.කුණාටුව නිශ්චල කිරීම
මෑතකදී ජන මාධ්‍යය ඔස්සේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් භයානක ආගමික කල්ලියක් යන අදහස ප්‍රචලිත කර තිබේ. මීට ප්‍රතිචාරයක් වශයෙන් 1996දී යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ඉතා උද්යෝගයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන ඔබ දත යුතු දේ යන මැයෙන් යුත් ප්‍රංශ භාෂාවෙන් නිකුත් කළ විශේෂ විවරණිකාවක පිටපත් මිලියන නවයක් පමණ බෙදාහැරියෝය. එහි ප්‍රතිඵලය ඉතා සාර්ථකයි කියා පැවසිය හැකියි.
මෙම විවරණිකාව සියලුදෙනාගේම අතට පත් කිරීම සඳහා විශේෂ උත්සාහයක් දරන ලදි. බොහෝ නිලධාරීහු සාක්ෂිකරුවන්ව අගය කළහ. එක් නගර සභා නිලධාරියෙක් මෙසේ ලිවීය. “යෙහෝවාගේ සාක්ෂිකරුවන් මෙම විවරණිකාව බෙදාහැරිය එක හොඳ දෙයක්. එයාලා ගැන පතුරලා තියෙන හැම බොරුවක්ම ඒකෙන් හෙළි වෙනවා.” වෛද්‍යවරයෙක් මෙසේ අදහස් දැක්වූවේය. “මේ තොරතුරු මට ලැබෙනකම් මං ගොඩ කාලයක ඉඳන් බලං හිටියා.” පැරිස් නුවර සිට ලියමින් එක් මිනිසෙක් මෙසේ පැවසුවේය. “යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන ඔබ දත යුතු දේ කියන ප්රකාශනය මට කියවන්න ලැබුණේ අහම්බෙන් වගේ. මං ආසයි තව තොරතුරු දැනගන්න. එහි සඳහන් කර තිබුණ නොමිලේ පවත්වන බයිබල් පාඩමක් කරන්නත් මං කැමතියි.” තවත් කෙනෙක් මෙසේ ලීවාය. “ඔයාලාගේ අවංකකම මං හුඟක් අගය කරනවා.” ඒ වගේම, කතෝලික භක්තික ස්ත්‍රියක් සාක්ෂිකරුවන්ට කියා සිටියේ “ඇති යන්තම් ඔයගොල්ලන් දැන්වත් මේ බොරු කතා හෙළි කරපු එක” කියායි!
පැරිස් නුවරෙහි තරුණ සාක්ෂිකරුවන්ට විශේෂයෙන්ම ප්‍රීතිමත් අද්දැකීමක් වූයේ 1997දී ජාත්‍යන්තර කතෝලික යොවුන් දින පැවැත්වූ අවස්ථාවයි. එම දවස් කිහිපය තුළ සෙන්ටිග්‍රේඩ් අංශක 35කට වැඩි අධික උෂ්ණත්වයක් පැවතුණත් සාක්ෂිකරුවන් 2,500දෙනෙකු විසින් සෙසු ජනයාට සාක්ෂි දැරීමට විශේෂ ප්රයත්නයක් දරන ලදි. දවස් කිහිපයක් ඇතුළත ඔවුහු සියලුම ජනයා සඳහා පොතක් යන විවරණිකාවේ පිටපත් 18,000ක් සිව් දිගින් පැමිණි යෞවන යෞවනියන්ට බෙදාහැරියහ. යෙහෝවාගේ නාමයට හොඳ සාක්ෂියක් දැරීමටත් සත්‍යයේ බීජ වැපිරීමටත් අමතරව මෙම විශේෂ ප්රයත්නයෙන් තරුණ සාක්ෂිකරුවන්ට මහත් දිරිගැන්වීමක් ලැබුණි. එක් යෞවනියක් මෙම විශේෂ දින දෙකට ඇගේ පූර්ණ සහයෝගය දැක්වීම සඳහා ඇය ගත කරමින් සිටි නිවාඩුව පරිත්‍යාග කළාය. ඇය ලීවේ මෙසේය. “යෙහෝවාට මේ පොළොවේ සන්තෝෂවත් සෙනඟක් සිටිනවා. ඔවුන් තම කාලය, ශ්‍රමය යොදාගෙන යෙහෝවාගේ නාමයට ප්‍රශංසා කරනවා. නිවාඩු දින දහසකටත් වඩා මම මේ ගත කළ ඵලදායී දින දෙක කොච්චර වටිනවාද! (ගීතාවලිය 84:10)”
ජර්මනිය පුරා සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව තහනම් කිරීමට මඟ පෑදූ හිට්ලර් විසින් කරන ලද නියෝගයක 65වන සංවත්සරය පැවැත්වූයේ 1998 පෙබරවාරි 28වන දාය. ප්‍රංශයේ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ එම දිනයේදී ශාලා කිහිපයක් කුලියට ගෙන මහජනයාට යෙහෝවාගේ සාක්ෂිකරුවන් නාට්සි හිංසා හමුවෙහි ස්ථිරව යන විඩියෝ පටය පෙන්වූහ. එම විඩියෝ පටය තුළින් යෙහෝවාගේ සාක්ෂිකරුවන් එම වකවානුවේදී අද්දුටු කෲරකම් විස්තරාත්මකව දැකගත හැකි වේ. මේ සඳහා ආරාධනා පත් මිලියන හතකට වැඩි ප්‍රමාණයක් බෙදාහරිනු ලැබීය. එම අවස්ථාවේදී, ඉතිහාසඥයෝ මෙන්ම සාක්ෂිකරුවන් සමඟ සිරගත කරනු ලැබූ අය හද කම්පිත කරවන සාක්ෂි සැපයූහ. පැරිසියේ සිටින සාක්ෂිකරුවන් නොවන අය සෑහෙන දෙනෙක් ඇතුළු 5,000කට ආසන්න සංඛ්‍යාවක් පැමිණ සිටියහ.
පැරිසියෙහි ආත්මික ආලෝකය වෙතට ඇදී එන බොහෝදෙනෙක් ප්‍රදීපකයන් මෙන් බැබළෙමින් සිටින රාජ්‍ය ප්‍රකාශකයන් ගැන සතුටු වෙති. යේසුස් පැවසුවාක් මෙන්, එම නුවරෙහි “ගොයම නම් බොහෝය, නුමුත් ගොවියෝ ස්වල්පදෙනෙක්ය.” (මතෙව් 9:37) බාධක ගණනාවක් හමුවේ පවා පැරිසියෙහි යෙහෝවාගේ සාක්ෂිකරුවන් නොසැලෙන උත්සාහයකින් රාජ්‍යය දේශනා කරන නිසා යෙහෝවාගේ නාමය ප්‍රශංසාවට පත් කරමින් එම නුවර විශේෂ අර්ථයකින් ඥානාලෝකයේ නුවරක් බවට පත් වී තිබේ.
[9වන පිටුවේ පින්තූරය]
නගර ශාලාව
[9වන පිටුවේ පින්තූරය]
ලූව්ර කෞතුකාගාරය
[9වන පිටුවේ පින්තූරය]
ඔපෙරා ගාර්න්යෑ
[10වන පිටුවේ පින්තූර]
කාර්ය බහුල මිනිසුන් කොහේ සිටියත් ඔවුන්ට බයිබලයේ පණිවිඩය කියා දෙනු ලැබේ