Skip to content

පටුනට යන්න

තුරුණු වියේ සාර්ථකත්වයට අත්වැලක්

තුරුණු වියේ සාර්ථකත්වයට අත්වැලක්

තුරුණු වියේ සාර්ථකත්වයට අත්වැලක්

රූප සොබාව, ධනසම්පත් හෝ තාරුණ්‍යය යන දේවල් තුනෙන් වඩාත් කැමති කොයි එක ලබාගැනීමටද කියා යුරෝපියානු රටක වැසියන්ගෙන් අසනු ලැබුවා. වැඩිම මනාපය ලැබුණේ තාරුණ්‍යයටයි. ඔව්, සෑම වයසකම සිටින අය නහඹර විය හා 20 ගණන්වල මුල්භාගය ජීවිතයේ විශේෂ කාලයක් හැටියටයි සලකන්නේ. එමෙන්ම ළමා වියෙන් වැඩිහිටි වියට සාර්ථකව පා තැබීමට සෑමදෙනෙකුටම අවශ්‍යයි. නමුත් කොහොමද එසේ කරන්නේ?

උපකාර කරන්න බයිබලයට පුළුවන් වේවිද? ඇත්තෙන්ම ඔව්. වෙන ඕනෑම වයසක සිටින අයට වඩා යෞවනයන්ට විශේෂ උපකාරයක් විය හැකි දෙවිගේ වචනයෙහි සඳහන් පැති දෙකක් අපි සලකා බලමු.

අන්‍යයන් සමඟ පෑහී සිටීම

යූගන්ට් 2000 (දෙදාහේ යෞවනයෝ) යනු ජර්මනියේ යෞවනයන් 5,000කට වැඩිදෙනෙකුගේ ආකල්ප, සාරධර්ම හා හැසිරීම පිළිබඳ කළ පුළුල් සමීක්ෂණයක් සම්බන්ධයෙන් වාර්තාවක්. එම සමීක්ෂණයෙන් හෙළි වන්නේ, යෞවනයන් විවේක කාලය ගත කරන විට සංගීතයට සවන් දීම, ක්‍රීඩාවල නිරත වීම හෝ නිකරුණේ කාලය ගත කිරීම වැනි දේවල යෙදෙමින් සැමවිටම පාහේ අන් අය සමඟ ගැවසෙන බවයි. වෙනත් සෑම වයස් කාණ්ඩයකටම වඩා යෞවනයන් සම වයස්කරුවන් සමඟ සිටීමට ප්‍රිය කරනවා. එසේනම් නිසැකවම තුරුණු වියේ සාර්ථකත්වයට එක් රහසක් වන්නේ අන්‍යයන් සමඟ පෑහී සිටීමයි.

එහෙත් අන්‍යයන් සමඟ පෑහී සිටීම සැමවිටම පහසු දෙයක් නොවේ. ඇත්තෙන්ම, තමන් බොහෝවිට ගැටලු අද්දකින්නේ අන් අය සමඟ සබඳතා පවත්වන විටයි කියා යෞවන යෞවනියන් කියා සිටිනවා. මේ සම්බන්ධයෙන් මනා උපකාරයක් පිරිනැමීමට බයිබලයට හැකියි. සමබර සබඳතා ගොඩනඟාගැනීම සඳහා දෙවිගේ වචනයෙහි යෞවනයන්ට මඟ පෙන්වීමක් දී තිබෙනවා. බයිබලයේ පවසා තිබෙන්නේ කුමක්ද?

මිනිස් සබඳතා සම්බන්ධයෙන් දී තිබෙන උතුම්ම ප්‍රතිපත්තිවලින් එකක් සලකා බලමු. එය හඳුන්වන්නේ රන් අණ කියාය. එහි පවසන්නේ, “අන්‍යයන් ඔබට සලකනවාට ඔබ කැමති ආකාරයටම ඔබත් සැමවිටම අන්‍යයන්ට සලකන්න” කියායි. අන්‍යයන්ට ගෞරවයෙන් හා කරුණාවන්ත ලෙස සැලකීමෙන් ඔබටත් එසේ සැලකීමට ඔවුන්ව දිරිගැන්වෙයි. ගැටුමකට හා මානසික පීඩනයකට තුඩු දෙන තත්වයක් හොඳ අතට හැරවීමට කරුණාවන්ත හැසිරීමට හැකියි. ඔබ අන්‍යයන්ට සැලකිල්ලක් දක්වන පුද්ගලයෙකු හැටියට ප්‍රසිද්ධ වුවහොත් ඔබ වෙත ඔවුන්ගේ අවධානය යොමුවීමට හා ඔවුන් ඔබව පිළිගැනීමට ඉඩ තිබෙනවා. අන්‍යයන් ඔබව පිළිගන්නා විට ඔබ තුළ සතුටක් ඇති වන්නේ නැද්ද?—මතෙව් 7:12, ඉංග්‍රීසි ප්‍රතිසංස්කෘත බයිබලය.

‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න’ කියා බයිබලයෙහි ඔබට අවවාද කර තිබෙනවා. ඔබ ඔබ ගැනම සැලකිලිමත් වෙමින් ඔබට ප්‍රේම කළ යුතු අතර වැඩියෙන් හෝ අඩුවෙන් නොව නියමිත ප්‍රමාණයට ආත්ම-ගෞරවයද ඇතුව සිටිය යුතුයි. එය උපකාරයක් වන්නේ මන්ද? ඇත්තෙන්ම, ඔබ තුළ ඔබ ගැනම හොඳ හැඟීමක් නැත්නම් අන්‍යයන් සමඟ යහපත් සබඳතා ඇති කරගන්න බැරි වන තරමටම ඔබ අන්‍යයන්ව විවේචනයට ලක් කිරීමට ඉඩ තිබෙනවා. එනමුත් යම් දුරකට ආත්ම-අභිමානයක් ඇතුව සිටීම ශක්තිමත් මිත්‍රත්වයන් ගොඩනඟාගැනීමට හැකි කරවන අඩිතාලමක් වෙයි.—මතෙව් 22:39.

මිත්‍රත්වයක් ගොඩනැඟෙන විට එය ශක්තිමත් කරගැනීමට දෙපැත්තේම වෑයම අවශ්‍යයි. ‘ගැනීමට වඩා දීමෙන් වැඩි සතුටක් ලැබෙන’ බැවින් මිත්‍රත්වයක් වෙනුවෙන් කැප කරන කාලය ඔබ තුළ ප්‍රීතිය ඇති කරවන්නක් විය යුතුයි. සුළු අත්වැරදි නොසලකාහරිමින්, අන්‍යයන්ගෙන් සම්පූර්ණත්වය බලාපොරොත්තු නොවෙමින් සමාව දීම එක්තරා ආකාරයකින් දීමක් වෙයි. බයිබලය අපට මෙසේ පවසයි. “ඔබේ සාධාරණකම සියලු මනුෂ්‍යයන්ට දැනගන්ට ලැබේවා.” ඇත්තෙන්ම, “නුඹලාගෙන් විය හැකි ප්‍රමාණයට, සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටින්න.” මිත්‍රයෙක් ඔබේ දුර්වලකමක් පෙන්වා දුන්නයි කියමුකෝ. ඔබ ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද? බයිබලයේ දී ඇති මෙම ප්‍රායෝගික උපදෙස සලකා බලන්න. ‘ප්‍රේමනීය මිත්‍රයෙක් කරන තුවාල විශ්වාසවන්ත ඒවා’ වන බැවින් “කෝපවීමට නුඹේ සිතින් ඉක්මන් නොවෙන්න.” ඔබේ සිතුවිලි, කතාව හා හැසිරීම වෙනස් කිරීමට මිතුරන්ට හැකි බව සැබෑවක් නොවේද? මෙබැවින්, බයිබලය මෙසේ අනතුරු අඟවයි. “නපුරු සමාගමෙන් හොඳ චරිත නරක්වන්නේය.” අනික් අතට, “ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්තවන්නේය.”—ක්‍රියා 20:35NW; පිලිප්පි 4:5NW; රෝම 12:17, 18; හිතෝපදේශ 13:20; 27:6; දේශනාකාරයා 7:9; 1 කොරින්ති 15:33.

බොහෝ යෞවන යෞවනියන් වෙනුවෙන් මාකෝ පවසන්නේ මෙයයි. “අනිත් අය එක්ක පෑහිලා ඉන්න බයිබල් ප්‍රතිපත්ති ලොකු උපකාරයක්. මම දන්න සමහරු ගත කරන්නේ ආත්මාර්ථකාමී ජීවිතයක්. ඒගොල්ලෝ බලන්නේ කොහොමහරි මඩිය තර කරගන්නයි. අපි ගැන ඕනෑවට වඩා නොසිතා අනිත් අය ගැන හිතන්න බයිබලය අපට උගන්වනවා. මට තේරෙන විදිහට, මිනිස්සු එක්ක හොඳ සම්බන්ධතාවයක් තියාගන්න නම් ඒක තමයි හොඳම ක්‍රමය.”

මාකෝ වැනි යෞවනයන් බයිබලයෙන් ඉගෙනගන්න දේවල්, ඔවුන්ගේ යොවුන් දිවියට පමණක් නොව නමුත් ඉදිරි දිවියටත් පිටුවහලක් වෙයි. ඔවුන්ගේ ඉදිරි අනාගතය ගැන සලකා බලන කල, තරුණ පරම්පරාවට බයිබලය විශේෂයෙන්ම උපකාරවත් විය හැකි තවත් මාර්ගයක් අපට සොයාගත හැකියි.

අනාගතය ගැන කාන්සාවෙන්

බොහෝ තරුණයන් සිටින්නේ කුතුහලයෙන්. සමහරවිට වෙනත් ඕනෑම වයස් කාණ්ඩයක සිටින අයට වඩා, තමන් අවට සිදු වන දේ මෙන්ම එසේ වන්නේ මන්ද කියා දැනගැනීමට ඔවුන්ට වුවමනායි. අනිත් හැම පොතකටම වඩා, ලෝක තත්වයන් පිළිබඳව හේතු පැහැදිලි කරන්නේ සහ අනාගතයේදී කුමක් බලාපොරොත්තු විය යුතුද කියා අපට පවසන්නේ බයිබලයයි. තරුණ පරම්පරාවට දැනගන්න වුවමනා වී තිබෙන්නෙත් මේ දේමයි. කොහොමද අපි ස්ථිරයෙන්ම එහෙම කියන්නේ?

ඇත්තෙන්ම, යෞවනයන් හෙටක් ගැන නොසිතා ජීවත් වෙනවා යන විශ්වාසය පැතිර තිබුණත් සමහර සමීක්ෂණවලින් පෙන්වන්නේ ඊට වඩා පුංචි වෙනසක් ඇති පින්තූරයක්. යෞවනයන් තමන් අවට සිදු වෙමින් පවතින දේ ගැන බොහෝ අවස්ථාවලදී සැලකිලිමත් වන බවත්, ඉදිරියේදී ජීවිතය මොන අතට හැරෙයිද කියා තමන් විසින්ම නිගමනයන්වලට එළඹෙන බවත් ඒවා පෙන්වයි. තරුණ තරුණියන්ගෙන් 4න් 3ක් “බොහෝවිට” හෝ “සැමවිටම පාහේ” අනාගතය ගැන සිතන බව ඉන් ඔප්පු වෙනවා. යෞවනයන් සාමාන්‍යයෙන් සර්වශුභවාදී අය වුවත්, යෞවනයන්ගෙන් වැඩිදෙනෙක් අනාගතය දෙස බලන්නේ යම් කනස්සල්ලකිනුයි.

කනස්සලු වන්නේ මන්ද? අනාගතයේදී වැඩිහිටියන් වීමට සිටින පරම්පරාවේ බොහෝදෙනෙක් දැනටමත් අපරාධ, සැහැසියාව මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය හා සම්බන්ධ ගැටලුවලට පැටලී තිබෙනවා. තරඟකාරිත්වයෙන් පිරි සමාජයක ස්ථිර රැකියාවක් ලබාගන්නේ කොහොමද කියා කල්පනා කරමින් යෞවනයන් ලත වෙනවා. ඔවුන්ට හැඟෙන්නේ පාසැලේදී ඔවුන් වැඩිම ලකුණු ලබාගත යුතු බවයි. එහෙමත් නැත්නම් රැකියාවක් කරන විට සාර්ථකත්වයේ හිණිපෙත්තටම නැඟිය යුතු බවයි. දාහත් හැවිරිදි යෞවනියක් මෙසේ සොවින් පැවසුවා. “අපි ජීවත් වෙන්නේ බෙලි කපන සමාජයකයි. හැමෝම බලන්නේ තමන්ට ඕන ඕන විදිහට දේවල් කරන්නයි. ඒ නිසා මට මේ මේ දේවල් කරන්න පුළුවන් කියලා ඔප්පු කරන්න හැම තිස්සෙම සිද්ධ වෙනවා. ඒක තමයි එපාම කරපු දේ.” විසිදෙහැවිරිදි යෞවනයෙකුත් මෙහෙම කිව්වා. “ඉහළට යන අය තමයි සාර්ථක, සැපපහසු ජීවිතයක් ගත කරන්නේ. මොනවාහරි හේතුවක් නිසා දුක්ඛිත තත්වයකට වැටිලා ඉන්න අය, ගොඩ එන්න බැරි තරමටම මඩේ එරිලයි ඉන්නේ.” ඇයි මේ තරම් තරඟකාරිත්වයක්? ජීවිතය හැමදාම මේ වගේද තිබෙන්න යන්නේ?

යථාර්ථවාදී පැහැදිලි කිරීමක්

යෞවනයන් භයෙන් හා තැතිගැන්මෙන් සමාජය දෙස බලන විට, දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔවුන් එකඟ වන්නේ බයිබලය සමඟයි. දෙවිගේ වචනයේ පෙන්වන්නේ, අදදින පවතින “බෙලි කපන සමාජය” මෙම කාලයේ ලකුණක් බවයි. ප්‍රේරිත පාවුල් අපේ කාලය ගැන යෞවන තිමෝතිට ලියා යැව්වේ මෙලෙසයි. ‘කටයුතු කිරීමට අසීරු අන්තරා සහිත කාලවල් පැමිණෙනවා ඇත.’ අපේ කාලය අසීරු මෙන්ම අන්තරා සහිත වන්නේ මන්ද? පාවුල් තවදුරටත් පැවසූ පරිදි, ජනයා “තමුන්ටම ප්‍රේමකරන්නෝව, මුදලට ප්‍රේමකරන්නෝව, පාරට්ටුකරගන්නෝව, උදාරම්කාරයෝව, . . . ස්තුතිවන්ත නොවන්නෝව, අභක්තිකයෝව, . . . කෲරයෝව” සිටින්න යන නිසාය. අදදින බොහෝදෙනා හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් එය නිවැරදි විස්තරයක් නොවේද?—2 තිමෝති 3:1, NW, 2, 3.

මෙම අන්තරා සහිත කාලවල් හටගන්නේ මුළු මිනිස් සමාජය පිට විශාල වෙනස් වීම් ඇතිවීමට පෙර “අන්තිම දවස්වලදී” කියා බයිබලයේ ප්‍රකාශ කරනවා. මෙම වෙනස් වීම් බාල මහලු කොයි කාටත් බලපාන ඒවායි. මොන වගේ වෙනස් වීම්ද? තව කෙටි කලකින් ස්වර්ගික ආණ්ඩුවක් පාලන බලය අතට ගන්නා අතර, එහි යටත් වැසියන් කොහේ සිටියත් ‘මහත් සමාදානයකින්’ සිටිනු ඇත. එමෙන්ම, “ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.” එවිට අංශු මාත්‍රයකවත් කනස්සලුභාවයක් හා තැතිගැන්මක් ඇති වන්නේ නැහැ.—ගීතාවලිය 37:11, 29.

අනාගතය සම්බන්ධයෙන් මනා අවබෝධයක් ලබා දෙන්නේ බයිබලය පමණයි. ඉදිරියේදී සිදු වන්නේ කුමක්ද කියා යෞවනයෙකු දැන සිටින විට, හටගන්න යන දේවලට මුහුණ දෙන්නත්, සුරක්ෂිත හැඟීමකින් යුතුව තමාගේ ජීවිතය වඩාත් හොඳින් ගත කරන්නත් ඔහුට සැදී පැහැදී සිටිය හැකියි. මේ හැඟීම නිසා මානසික පීඩනය සහ කනස්සලුභාවය අඩු වෙයි. මේ ආකාරයෙන් සමාජය තේරුම්ගැනීමටත්, අනාගතයේදී සිදු වන දේ දැන සිටීමටත් තරුණ පරම්පරාව තුළ තිබෙන විශේෂ අවශ්‍යතාව බයිබලය මගින් සපුරා තිබෙනවා.

තුරුණු වියේ සාර්ථකත්වය

යෞවනයන්ගේ සාර්ථකත්වය මනින්නේ කුමකින්ද? උසස් අධ්‍යාපනයකින්, ද්‍රව්‍යමය සැපසම්පත්වලින් සහ මිතුරන් ගණනාවක් සිටීමෙන්ද? බොහෝදෙනෙක් එසේ සිතිය හැකියි. නහඹර විය හා විසි ගණන්වල මුල් කාලය කෙනෙකුට ඔහුගේ ඉදිරි දිවිය සඳහා හොඳ ආරම්භයක් සැපයිය යුතුයි. වෙනත් අයුරකින් පවසනවා නම්, තුරුණු වියේ සාර්ථකත්වය, ඉදිරියේදී කුමක් සිදු වේවිදැයි ඉඟි කරන්නක් විය හැකියි.

අපි දුටු පරිදි, යෞවනයෙකුට සිය යොවුන් විය සාර්ථක කරගැනීමට උපකාර කරන්න බයිබලයට හැකියි. මෙය තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් සැබෑවක් වී ඇති බව බොහෝ යෞවනයන් දැනටමත් සොයාගෙන තිබෙනවා. ඔවුන් දිනපතා දෙවිගේ වචනය කියවන අතර ඉගෙනගන්නා දේ ජීවිතයට අදාළ කරගන්නවා. (6වන පිටුවේ තිබෙන “යෙහෝවාගේ යොවුන් සේවකයෙකුගෙන් යෝජනාවක්” යන කොටස බලන්න.) ඇත්තෙන්ම, අදදින සිටින යෞවනයන් සඳහා බයිබලය කදිම පොතක් වන්නේ ‘සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටීම’ සඳහා ඔවුන්ට උපකාර කරන්න එයට හැකි නිසයි.—2 තිමෝති 3:16.

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

තුරුණු වියේ සාර්ථකත්වයට එක් රහසක් වන්නේ අන්‍යයන් සමඟ පෑහී සිටීමයි

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

සමහරවිට වෙනත් ඕනෑම වයස් කාණ්ඩයක සිටින අයට වඩා, තමන් අවට සිදු වන දේ මෙන්ම එසේ වන්නේ මන්ද කියා දැනගැනීමට යෞවනයන්ට වුවමනායි

[6, 7වන පිටුවේ කොටුව]

යෙහෝවාගේ යොවුන් සේවකයෙකුගෙන් යෝජනාවක්

ආලෙක්සාන්ඩගේ වයස අවුරුදු 19යි. ඔහු හැදී වැඩුණේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පවුලකයි. මුළු හදින්ම ඔහුගේ ආගමික විශ්වාසයන් පිළිපැදීමෙන් ඔහු ඉමහත් ප්‍රීතියක් ලබනවා. නමුත් මුල ඉඳලම මේ තත්වය තිබිලා නැහැ. ආලෙක්සාන්ඩ මෙහෙම කියනවා.

“මම බව්තීස්ම වෙන්න කලින් යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක අවුරුදු හතකට වැඩි කාලයක් ආශ්‍රය කරලා තියෙනවා කිව්වොත් ඕගොල්ලෝ පුදුම වෙයි. ඒ කාලෙදී මම කරන්නං වාලේ ඕනෑවට එපාවට තමයි දෙවිට නමස්කාර කළේ. අවංකවම මං ගැන කල්පනා කරලා බලන්න මට ධෛර්යයක් තිබුණේ නැහැ කියලයි මට හිතෙන්නේ.”

ඉන්පසු ආලෙක්සාන්ඩගේ ආකල්පය වෙනස් වුණා. ඔහු තවදුරටත් මෙහෙම කියනවා.

“යෙහෝවාව දැනගන්න මගේ දෙමව්පියන් සහ සභාවේ මිත්‍රයන් හැමදාම බයිබලය කියවන්න කියලා මට උනන්දු කළා. අන්තිමේදී මම හිතුවා උත්සාහ කරලා බලන්න ඕනෙ කියලා. රූපවාහිනිය බලන වෙලාව අඩු කරලා, හැමදාම පාන්දරින්ම බයිබලය කියවන්න පටන්ගත්තා. බයිබලය කියන්නේ මොකක්ද කියලා තේරෙන්න පටන්ගත්තේ එතකොටයි. මට උදව් කරන්න බයිබලයට පුළුවන් බව මට වැටහුණා. ඔක්කොටම වැඩියෙන්, මම යෙහෝවාව දැනගන්නවා නම් තමයි යෙහෝවා කැමති කියන එක මම තේරුම්ගත්තා. ඒක හොඳට හිතට ගත්තට පස්සේ, ඔහු එක්ක තිබුණ මගේ සම්බන්ධය වැඩි වුණා විතරක් නෙවෙයි සභාවේ ඉන්න අය එක්ක තිබුණ මිත්‍රත්වයත් වැඩි වුණා. බයිබලය නිසා මගේ ජීවිතය වෙනස් වුණේ පුදුම විදිහකටයි! යෙහෝවාගේ හැම යෞවන සේවකයෙකුටම මම නිර්දේශ කරන්නේ දිනපතාම බයිබලය කියවන්න කියලයි.”

යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ ඇසුරු කරන යෞවනයන් දසදහස් ගණනක් ලොව පුරා සිටිනවා. ඔබත් ඔවුන්ගෙන් කෙනෙක්ද? නිතිපතා බයිබලය කියවීමෙන් ප්‍රයෝජන ලැබීමට ඔබ කැමතිද? එසේනම්, ආලෙක්සාන්ඩගේ ආදර්ශය අනුගමනය කිරීමට උත්සාහ නොකරන්නේ මන්ද? එතරම් වැදගත්කමක් නැති දේවල් පසෙකලා බයිබලය කියවීම ඔබේ දෛනික ජීවිතයේ කොටසක් කරගන්න. එවිට එයින් ඔබ ප්‍රයෝජන ලබනවා නිසැකයි.