Skip to content

පටුනට යන්න

යහපත කිරීම අත් නොහරින්න

යහපත කිරීම අත් නොහරින්න

යහපත කිරීම අත් නොහරින්න

“යහපත කිරීම අත් නොහරිමු. මන්ද අපි වෙහෙසට පත් නොවෙමු නම් නියමිත කාලයේදී නෙළාගන්නෙමු.”—ගලාති 6:9, NW.

1, 2. (අ) දෙවිට සේවය කිරීමේදී විඳදරාගැනීම අවශ්‍ය වන්නේ මන්ද? (ආ) ආබ්‍රහම් විඳදරාගත්තේ කෙසේද? එසේ කරන්න ඔහුට උපකාරවත් වූයේ කුමක්ද?

 යෙහෝවාග් සාක්ෂිකරුවන් වශයෙන් දෙවිගේ කැමැත්ත කිරීමෙන් අප ලබන්නේ ඉමහත් සතුටකි. ගෝලයෙකු වීමේ “වියගහ” කරට ගැනීමෙන් අපි සහනයක්ද ලබන්නෙමු. (මතෙව් 11:29) කෙසේවෙතත්, ක්‍රිස්තුස් සමඟ එක්ව යෙහෝවාට සේවය කිරීම සැම විටම ලෙහෙසි පහසු දෙයක් නොවේ. ප්‍රේරිත පාවුල් එය පැහැදිලිව සඳහන් කරමින් සෙසු ක්‍රිස්තියානීන්ව මෙසේ දිරිමත් කළේය. “[දෙවිගේ] කැමැත්ත කළ පසු පොරොන්දුව ලබන පිණිස නුඹලාට ඉවසිල්ල [විඳදරාගැනීම, NW] ඕනෑය.” (හෙබ්‍රෙව් 10:36) දෙවිට සේවය කිරීම අභියෝගයක් විය හැකි නිසා විඳදරාගැනීම අවශ්‍ය වේ.

2 මෙය සත්‍යයක් බව ආබ්‍රහම්ගේ ජීවිතයෙන් පැහැදිලිව දැකගත හැක. බොහෝ අවස්ථාවලදී ඔහුට අසීරු තේරීම් කිරීමට සිදු වූ අතර, පීඩාකාරි තත්වයන්ටද ඔහු මුහුණ දුන්නේය. ඌර් නගරයේ ගත කරමින් සිටි සැපපහසු ජීවිතය අත්හැර වෙනත් දේශයකට යන්න කියා ලැබූ නියෝගය ඔහු මුහුණ දුන් අසීරු අද්දැකීම්වල ආරම්භය වූවා පමණි. වැඩි කල් යන්න කලින් සාගතයකට මුහුණ දීමට ඔහුට සිදු වූ අතර, අසල්වාසීහුද ඔහුට එදිරි වූහ. තම භාර්යාව අහිමි වීමේ අවදානමට ඔහු ලක් වූ අතර, ඇතැම් ඥාතීන්ගේ විරුද්ධවාදිකම්වලටද ඔහු මුහුණ දුන්නේය. එපමණක්ද නොව දරුණු සටන්වලට මුහුණ දීමටද ඔහුට සිදු විය. පසු කාලයේදී ඊටත් වඩා මහත් දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වූවත් ආබ්‍රහම් යහපත කිරීම කවදාවත් අත්හැරියේ නැත. මෙසේ ආබ්‍රහම් විශිෂ්ට ඇදහිල්ලක් විදහාපෙන්වූයේ අපට මෙන් සම්පූර්ණ බයිබලයම ඔහුට නොතිබූ අවධියක බව අමතක නොකරමු. කෙසේවෙතත් ඔහු බයිබලයේ සඳහන් මුල්ම අනාවැකිය දැන සිටි බවට සැකයක් නැත. එම අනාවැකියේ මෙසේ සඳහන් වේ. “මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි.” (උත්පත්ති 3:15) ස්ත්‍රියගේ වංශය ආබ්‍රහම්ගෙන් පැවත ඒමට නියමිතව තිබූ නිසා ආබ්‍රහම් සාතන්ගේ ප්‍රධාන සතුරෙකු වීම ගැන පුදුම විය යුතු නැත. එය මැනවින් තේරුම්ගැනීම, විවිධ පීඩා ප්‍රීතියෙන් විඳදරාගැනීමට ආබ්‍රහම්ට මහත් උපකාරයක් වූ බව නිසැකයි.

3. (අ) අදදින සිටින යෙහෝවාගේ සේවකයන් පීඩා අපේක්ෂා කළ යුත්තේ මන්ද? (ආ) ගලාති 6:9හි අපට සපයන දිරිගැන්වීම කුමක්ද?

3 අද සිටින යෙහෝවාගේ සේවකයන්ද පීඩා අපේක්ෂා කළ යුතුය. (1 පේතෘස් 1:6, 7) සාතන් ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ ඉතිරි කොටසට අයත් වන අය සමඟ ‘යුද්ධ කරන’ බවට එළිදරව් 12:16 අවසානයෙහි අපට අනතුරු අඟවා තිබේ. ‘වෙනත් බැටළුවන්’ ආලේප ලත් අය සමඟ කිට්ටු ඇසුරක් පවත්වන නිසා ඔවුහුද සාතන්ගේ උදහසට ගොදුරු වී සිටිති. (යොහන් 10:16) දේවසේවයේදී විරුද්ධවාදිකම්වලට පමණක් නොව, තමන්ගේ පෞද්ගලික ජීවිතයේදීද නොයෙකුත් පීඩාකාරි තත්වයන්ට මුහුණ දීමට ක්‍රිස්තියානීන්ට සිදු වේ. මේ සම්බන්ධයෙන් පාවුල් අපට මෙසේ උපදෙස් දෙයි. “යහපත කිරීම අත් නොහරිමු. මන්ද අපි වෙහෙසට පත් නොවෙමු නම් නියමිත කාලයේදී නෙළාගන්නෙමු.” (ගලාති 6:9NW) ඔව්, අපේ ඇදහිල්ල බිඳදැමීමට සාතන් කොපමණ වෑයම් කළත්, ඔහුට විරුද්ධව අපේ ස්ථාවරය රැකගනිමින් අප ඇදහිල්ලෙහි ස්ථිරව සිටිය යුතුය. (1 පේතෘස් 5:8, 9) මෙසේ විශ්වාසවන්තව සිටීමෙන් අප අද්දකින විපාකය කුමක්ද? මේ ගැන යාකොබ් 1:2, 3 මෙසේ පැහැදිලි කරයි. “මාගේ සහෝදරයෙනි, නුඹලාගේ ඇදහිල්ල සෝදිසිකිරීමෙන් ක්ෂාන්තිගුණය [විඳදරාගැනීම, NW] උපදින බව දැන, අනේකාකාර පරීක්ෂාවලට වැටෙන කල, ඒ සියල්ල ප්‍රීතියක්යයි සිතන්න.”

ඍජු ප්‍රහාරයක්

4. දෙවිගේ සේවකයන්ගේ අඛණ්ඩ ස්ථාවරය බිඳ හෙළීම සඳහා සාතන් ඍජු ප්‍රහාර යොදාගෙන තිබෙන්නේ කෙසේද?

4 අදදින සිටින ක්‍රිස්තියානියෙකු මුහුණ දිය හැකි “අනේකාකාර පරීක්ෂා” මොනවාද කියා ආබ්‍රහම් මුහුණ දුන් දේවල් සෝදිසි කර බැලීමෙන් දැකගත හැක. නිදසුනක් වශයෙන් ෂිනාර් දේශයෙන් පැමිණි ආක්‍රමණිකයන්ගේ ප්‍රහාරයට මුහුණ දීමට ඔහුට සිදු විය. (උත්පත්ති 14:11-14) සාතන් හිංසා පීඩාවලින් දෙවිගේ සේවකයන්ට දිගටම ඍජු ප්‍රහාර එල්ල කිරීම ගැන පුදුම විය යුතු නැත. දෙවන ලෝක මහ යුද්ධය අවසන් වූ දා සිට රටවල් ගණනාවක් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ අධ්‍යාපනික සේවය තහනම් කර තිබේ. ඇන්ගෝලාවේ සිටින ක්‍රිස්තියානීන් සතුරන්ගේ දරුණු පීඩා හමුවෙහි විඳදරාගත් ආකාරය ගැන 2001 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොතෙහි (සිංහලෙන් නැත) සඳහන් වේ. එවන් රටවල වෙසෙන අපේ සහෝදරයෝ යෙහෝවා මත රඳා සිටිමින් තමන්ගේ ස්ථාවරය දිගටම රැකගෙන සිටිති. සතුරු ප්‍රහාරවලට මුහුණ දුන්නත් ඔවුහු කිසිවිටකත් ප්‍රචණ්ඩකාරි ක්‍රියාවල හවුල් වීමෙන් හෝ කැරලිගැසීමෙන් ඒවාට ප්‍රතිචාරය නොදක්වති. එසේ කරනවා වෙනුවට ඔවුහු විචාර බුද්ධිය පාවිච්චි කරමින් අඛණ්ඩව දේශනා සේවය කරගෙන යති.—මතෙව් 24:14.

5. පාසැලේදී ක්‍රිස්තියානි දරුවන් හිංසා පීඩාවල ගොදුරක් විය හැක්කේ කෙසේද?

5 කෙසේවෙතත්, හිංසා පීඩාවලට අයත් වන්නේ ප්‍රචණ්ඩකාරි ක්‍රියා පමණක්ම නොවේ. කලකට පසු ආබ්‍රහම්ට දරුවන් දෙදෙනෙකු ලැබුණේය. ඉෂ්මායෙල් හා ඊසාක් යන මේ පුතුන් දෙදෙනා ආබ්‍රහම්ට ලැබුණු ආශීර්වාදයක් විය. එක්තරා අවස්ථාවකදී ඉෂ්මායෙල් ඊසාක්ට ‘සරදම් කරමින්’ සිටි බව උත්පත්ති 21:8-12හි අපට පවසයි. පාවුල් ගලාතිවරුන්ට ලියූ ලිපියේදී ඉෂ්මායෙල් ගැන සඳහන් කරන්නේ ඊසාක්ට හිංසා පීඩා කළ කෙනෙකු ලෙසයි. (ගලාති 4:29) මන්ද උත්පත්ති 21:9හි සඳහන් සරදම් කිරීම, ළමුන් අතර සාමාන්‍යයෙන් සිදු වන විනෝදයට කරන දෙයකට වඩා වැඩි යමක් වූ බැවිනි. මෙය සැලකිල්ලට ගැනීමේදී පාසැලේ සිටින අයගෙන් එල්ල වන සරදම් හා විරුද්ධවාදීන් එල්ල කරන වාචික ප්‍රහාර, හිංසා පීඩා ලෙස හැඳින්විය හැක. තම පන්තියේ සිටි සිසුන් තමන්ට දුන් වධ ගැන නව යොවුන් වියේ පසු වන ක්‍රිස්තියානියෙකු වන රයින් මෙසේ සිහිපත් කරයි. “මම ඉස්කෝලේ ගියේ බස් එකෙන්. යන්නයි එන්නයි මට ගත වුණේ පැය කාලයි. හැබැයි මට ඒක දැනුණේ පැය ගණනාවක් වගෙයි. මොකද බස් එකේ ඉන්න අනිත් ළමයි මට එක එක දේවල් කිව්වා. එයාලා ලයිටරයකින් කඩදාසි අමුණන කටු රත් කරලා මාව පිච්චුවා.” මේ ළමයාට මේ වගේ වධ දෙන්න හේතුව කුමක්ද? මේ ගැන රයින් මෙසේ පැවසුවේය. “දෙවිගේ සංවිධානයෙන් මට ලැබුණු පුහුණුව, ඉස්කෝලේ ඉන්න අනිත් ළමයින්ට වඩා මම වෙනස් බව පෙනෙන්න සැලැස්වුවා .” කෙසේවෙතත්, දෙමාපියන්ගේ උපකාරය ඇතුව මේ තත්වය විඳදරාගැනීමට රයින්ට හැකි විය. දරුවෙනි, පාසැලේ සිටින ළමුන්ගේ සරදම්වලට ලක් වන විට, ඔබට යම් කලකිරීමේ හැඟීමක් දැනෙනවාද? යහපත කිරීම අත්හරින්න එපා! විශ්වාසවන්තව විඳදරාගැනීමෙන් යේසුස්ගේ මෙම වදන්වල සත්‍යතාව ඔබට අද්දැකිය හැක. “මනුෂ්‍යයන් මා නිසා නුඹලාට නින්දා පීඩාකොට නුඹලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශීර්වාදලද්දෝය [සන්තෝෂවත්ය, NW].”—මතෙව් 5:11.

දිනපතා මුහුණ දෙන කාංසාවන්

6. ක්‍රිස්තියානීන් අතර පවතින මිත්‍රත්වය බිඳ හෙළීමට හේතු විය හැකි දේවල් මොනවාද?

6 අද අප මුහුණ දෙන පරීක්ෂණවලින් බොහොමයක් එදිනෙදා මුහුණ දෙන කාංසාවන් හා බැඳී පවතී. තම සහෝදරයාගේ පුතාගේ එඬේරුන් හා තමාගේ එඬේරුන් අතර ආරවුලක් ඇති වූ අවස්ථාවේදී ආබ්‍රහම් විඳදරාගැනීමෙන් යුක්තව කටයුතු කළේය. (උත්පත්ති 13:5-7) ඒ හා සමානව අදදිනත් පුද්ගලයන් අතර පවතින එකඟ නොවීම් හා සුළු වශයෙන් මතු වන ඊර්ෂ්‍යා සහගත හැඟීම් නිසා මිත්‍රත්වයන් පලුදු විය හැක. එපමණක්ද නොව එවන් තත්වයක් සභාවේ පවතින සාමයටද තර්ජනයක් වීමට පුළුවන. “ඊර්ෂ්‍යාවත් පක්ෂවාදිකමත් ඇති තැන, අවුල්කමත් සියලු නපුරු ක්‍රියාවලුත් ඇත්තේය.” (යාකොබ් 3:16) ආබ්‍රහම් කළාක් මෙන් අන් අයගේ යහපත ගැන සැලකිලිමත් වෙමින් අප අතර පවතින සාමය විනාශ කර දමන්න උඩඟුකමට ඉඩ නොහැරීම මොනතරම් වැදගත්ද!—1 කොරින්ති 13:5; යාකොබ් 3:17.

7. (අ) සෙසු ක්‍රිස්තියානියෙකු තමන්ගේ සිත රිදවා තිබෙන බව යමෙකුට හැඟෙනවා නම්, ඔහු හෝ ඇය කළ යුත්තේ කුමක්ද? (ආ) අන් අය සමඟ යහපත් සබඳතාවක් පවත්වාගැනීම සම්බන්ධයෙන් ආබ්‍රහම් කදිම ආදර්ශයක් තැබුවේ කෙසේද?

7 ආත්මික සහෝදරයෙකු හෝ සහෝදරියක අපට අයුක්ති සහගත ලෙස සලකනවා කියා හැඟෙන අවස්ථාවලදී සාමය රැකගැනීම අභියෝගයක් විය හැක. හිතෝපදේශ 12:18 මෙසේ සඳහන් වේ. “කඩුවෙන් අනින්නාක්මෙන් රළු බස් කීමක් [නොසැලකිලිමත් ලෙස පවසන වදන්, NW] තිබේ.” අහිංසක ලෙස පැවසුවත්, නොසැලකිලිමත් ලෙස පවසන වදන් නිසා මහත් වේදනාවක් ඇති විය හැක. අපහාසාත්මක ලෙස අප ගැන කතා කර තිබෙන බව හෝ හානිකර ඕපාදූප පතුරුවා තිබෙන බව දැනගත් විට ඊටත් වඩා මහත් වේදනාවක් දැනෙන්න පුළුවනි. (ගීතාවලිය 6:6, 7) එනමුත් යහපත කිරීම අත්හැර දැමීමට, ක්‍රිස්තියානියෙකු එම වේදනාකාරි හැඟීම් හේතුවක් කර නොගත යුතුය. ඔබ මෙවන් තත්වයකට මුහුණ පා සිටී නම්, මුල් පියවර ගනිමින් වරද කළ තැනැත්තා සමඟ කාරුණිකව කතා කරමින් කාරණා හරිගස්සාගැනීමට උත්සාහ කරන්න. (මතෙව් 5:23, 24; එපීස 4:26) එම තැනැත්තාට සමාව දීමට වෑයම් කරන්න. (කොලොස්සි 3:13) අමනාපය පැසවීමට ඉඩ නොහැරීමෙන් තුවාල වී තිබෙන අපේ චිත්තවේගයන් සුව කරගැනීමටත්, අපේ සහෝදරයා සමඟ තිබෙන යහපත් සබඳතාව රැකගැනීමටත් පුළුවනි. ලොත් කළ තේරීම ගැන ආබ්‍රහම් ඔහු සමඟ අමනාපයක් ඇති කරගත්තේ නැත. ලොත් සහ ඔහුගේ පවුලේ අය අනතුරකට ලක් වී සිටි බව දැනගත් විගස ඔහු ඔවුන් බේරාගැනීමට පියවර ගැනීමෙන් ඒ බව ඔප්පු වෙයි.—උත්පත්ති 14:12-16.

තමන් විසින්ම ඇති කරගන්න පීඩා

8. (අ) ක්‍රිස්තියානීන් ‘බොහෝ වේදනාවලින් තමුන්ටම ඇනගත’ හැක්කේ කෙසේද? (ආ) ද්‍රව්‍යමය දේවල් කෙරෙහි සමබර ආකල්පයක් ඇතුව සිටීමට ආබ්‍රහම්ට හැකි වූයේ මන්ද?

8 ඇතැම් පීඩාවලට හේතුව අපම බව පිළිගත යුතුයි. මෙයට නිදසුනක් යේසුස් පැවසූ මෙම වදන්වල සොයාගත හැක. “පොළොවෙහි නුඹලාට වස්තු රැස්කර නොතබන්න; එහිදී කාවෝද මළකඩද ඒවා නාස්තිකරති, සොරුද උමංකැන සොරාගනිති.” (මතෙව් 6:19) සමහර සහෝදරයන් රාජ්‍යය හා සම්බන්ධ කාරණාවලට වඩා ද්‍රව්‍යමය දේවලට මුල් තැන දීම නිසා ‘බොහෝ වේදනාවලින් තමුන්ටම ඇනගෙන තිබේ.’ (1 තිමෝති 6:9, 10) දෙවිව සතුටු කිරීමට ප්‍රමුඛත්වය දෙමින් ආබ්‍රහම් සැප සම්පත් භුක්ති විඳීමට තිබූ අවස්ථාව අත්හැරීමට කැමති වූයේය. “ඇදහිල්ලෙන්, ඔහු අන් දේශයක මෙන් පොරොන්දුවේ දේශයෙහි පොරොත්තුවී, එම පොරොන්දුවට උරුමක්කාරයන් වූ ඊසාක් සහ යාකොබ් සමඟ කූඩාරම්වල වාසයකළේය. මක්නිසාද අත්තිවාරම් ඇත්තාවූ, [දෙවි] විසින් යෝජනාකර සෑදුවාවූ නුවර ගැන ඔහු බලාසිටියේය.” (හෙබ්‍රෙව් 11:9, 10) අනාගතයේ පිහිටුවීමට නියමිතව තිබූ “නුවර” නොහොත් දෙවිගේ ආණ්ඩුව කෙරෙහි ආබ්‍රහම් ඇදහිල්ල තැබුවේය. ද්‍රව්‍යමය වස්තු මත විශ්වාසය නොතැබීමට එම ඇදහිල්ල ඔහුට උපකාරවත් විය. අපත් ආබ්‍රහම් කළ දෙයම කිරීම නැණවත් දෙයක් නොවේද?

9, 10. (අ) ප්‍රධාන තැනක් ලබාගැනීමට තිබෙන ආශාවක් පරීක්ෂාවක් බවට පත් විය හැක්කේ කෙසේද? (ආ) තමාව ‘කුඩා කෙනෙකු’ ලෙස සලකමින් කටයුතු කිරීමට සහෝදරයෙකුට හැක්කේ කෙසේද?

9 මේ හා සම්බන්ධ තවත් පැත්තක් සලකා බලන්න. අපේ හැසිරීම කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරන මෙම මඟ පෙන්වීම බයිබලය සපයයි. “මක්නිසාද කිසිත් නොවන කෙනෙක් තමා වැදගත් කෙනෙක්යයි සිතන්නේ නම්, ඔහු තමාම රවටාගනියි.” (ගලාති 6:3) තවදුරටත් බයිබලය අපව දිරිමත් කරන්නේ “පක්ෂවාදිකමෙන්වත් නිෂ්ඵල පාරට්ටුකාරකමෙන්වත් කිසි දෙයක් නොකොට, එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුමැයි යටහත්කමින් [සිතන්න]” කියාය. (පිලිප්පි 2:3) එම උපදෙස් පිළිපැදීමට අසමත් වීමෙන් ඇතමුන් තමන්වම පරීක්ෂාවට ඇද දමා තිබේ. “යහපත් වැඩක” යෙදීමේ නොව ප්‍රධාන තැනක් ලබාගැනීමේ ආශාවෙන් පෙලඹෙන මොවුහු සභාවේ වරප්‍රසාද නොලැබෙන විට කලකිරෙති. එමෙන්ම අන් අය සමඟ අමනාපද වෙති.—1 තිමෝති 3:1.

10 ‘සුදුසු තරමට වඩා තමන් ගැන නොසිතීම’ සම්බන්ධයෙන් ආබ්‍රහම් කදිම ආදර්ශයක් තැබුවේය. (රෝම 12:3) ආබ්‍රහම්ට මෙල්කිසදෙක්ව හමු වූ අවස්ථාවේදී, දෙවිගේ ප්‍රසාදය තමන්ට හිමි වී තිබෙන නිසා තමන් උතුම් කෙනෙකු කියා සිතමින් ආබ්‍රහම් කටයුතු කළේ නැත. පූජකයෙකු වූ මෙල්කිසදෙක්ට දසයෙන් කොටස ගෙවීමෙන් ඔහු තමන්ට වඩා උතුම් කෙනෙකු බව ආබ්‍රහම් පිළිගත්තේය. (හෙබ්‍රෙව් 7:4-7) ඒ හා සමානව අද සිටින ක්‍රිස්තියානීන්ද ප්‍රධාන තැනක් ලබාගැනීමට තැත් නොකර, තමන්ව ‘කුඩා අය’ මෙන් සලකමින් කටයුතු කිරීමට කැමති විය යුතුය. (ලූක් 9:48) සභාවේ පෙරමුණ ගෙන කටයුතු කරන අවේක්ෂකයන් ඔබට යම් වරප්‍රසාදයක් නොදී සිටිනවා කියා හැඟෙනවා නම්, ඔබේ පෞද්ගලිකත්වයේ හා ඔබ කාරණා හසුරුවන ආකාරයේ දියුණු විය යුතු පැති මොනවාද කියා නිශ්චය කරගැනීමට අවංක ආත්ම සෝදිසියක් කරන්න. ඔබට නොලැබී තිබෙන වරප්‍රසාද ගැන මැසිවිලි නඟන්නේ නැතුව දැනටමත් ඔබ භුක්ති විඳිමින් සිටින වරප්‍රසාදය වන යෙහෝවා ගැන දැනගැනීමට අන් අයට උපකාර කිරීම සඳහා ඔබට කළ හැකි උපරිමය කරන්න. ‘දෙවි සුදුසු කාලයේදී ඔබව උසස් කරන පිණිස ඔහුගේ බලවත් හස්තයට යටත් වන්න.’—1 පේතෘස් 5:6.

නොදකින දේවල් කෙරෙහි ඇදහිල්ල

11, 12. (අ) සභාවේ සිටින සමහර අය ඔවුන් තුළ තිබූ හදිසිතාවේ හැඟීම නැති කරගෙන තිබෙනවා විය හැක්කේ මන්ද? (ආ) තමාගේ ජීවිතය දෙවිගේ පොරොන්දු කෙරෙහි තැබූ ඇදහිල්ල මත ගොඩනඟා ගැනීම සම්බන්ධයෙන් ආබ්‍රහම් කදිම ආදර්ශයක් සැපයුවේ කෙසේද?

11 තවත් පරීක්ෂණයක් විය හැක්කේ වත්මන් දුෂ්ට ක්‍රමයේ අවසානය තව ප්‍රමාදයි කියා පෙනෙන්න තිබීමයි. දෙවන පේතෘස් 3:11හි සඳහන් වන පරිදි ක්‍රිස්තියානීන් ‘දෙවිගේ දවස පැමිණෙන තෙක් බලා සිටිය’ යුතුය. කෙසේවෙතත්, බොහෝදෙනෙක් වසර ගණනාවක සිට මේ “දවස” පැමිණෙන තෙක් බලා සිටිති. මෙසේ දිගු කාලයක් බලා සිටීම නිසා සමහරුන් කලකිරී කලක් ඔවුන් තුළ තිබූ හදිසිතාවේ හැඟීම නැති කරගෙන තිබේ.

12 නැවත වතාවක් ආබ්‍රහම්ගේ ආදර්ශය සැලකිල්ලට ගන්න. දෙවිගේ පොරොන්දු සියල්ලම ඔහුගේ ජීවිත කාලය තුළ ඉටුවීමට ඉඩක් නොතිබුණත්, ආබ්‍රහම් ඔහුගේ මුළු ජීවිතයම ගොඩනඟා ගෙන තිබුණේ එම පොරොන්දු කෙරෙහි තබා තිබූ ඇදහිල්ල මතය. ආබ්‍රහම් ඔහුගේ පුත් ඊසාක් තරුණයෙකු ලෙස වැඩෙනවා දකින්න තරම් දිගු කාලයක් ජීවත් වූ බව සැබෑවකි. එහෙත් ඔහුගෙන් පැවතෙන්නන් “අහසේ තාරකා” හා “මුහුදු වෙරළේ වැලි” මෙන් වැඩි වූයේ සියවස් ගණනාවක් ගත වූවාට පසුවයි. (උත්පත්ති 22:17) කෙසේවෙතත්, ආබ්‍රහම් අධෛර්යයට පත් වූයේ නැත. මේ නිසා ආබ්‍රහම් ඇතුළු වෙනත් කුලදෙටුවන් ගැන මෙසේ පැවසීමට ප්‍රේරිත පාවුල්ට හැකි විය. “මොවුන් සියල්ලෝ පොරොන්දු නොලැබ, දුරදී ඒවා දැක ප්‍රසන්නවී, පොළොවෙහි තමන් විදේශීන්ද ආගන්තුකයන්ද බව කියාදී, ඇදහිල්ල ඇතුව මැරුණෝය.”—හෙබ්‍රෙව් 11:13.

13. (අ) අද සිටින ක්‍රිස්තියානීන් “විදේශීන්” හා සමාන වන්නේ කෙසේද? (ආ) යෙහෝවා වත්මන් ක්‍රමය අවසානයකට ගෙන එන්නේ මන්ද?

13 “දුර” අනාගතයේ ඉටුවීමට තිබූ පොරොන්දු මත තම ජීවිතය ගොඩනඟා ගැනීමට ආබ්‍රහම්ට හැකි වූවා නම්, ඉටුවීමේ කාලය ඉතාමත් ආසන්නයට පැමිණ තිබෙන එම පොරොන්දු කෙරෙහි ඇදහිල්ල තබමින් ඒ මත අපේ ජීවිත ගොඩනඟා ගැනීමට අපටත් හැකියාවක් තිබිය යුතු නොවේද! අපත් ආබ්‍රහම් මෙන් අපව සැලකිය යුත්තේ, සාතන්ගේ පාලනය යටතේ තිබෙන වත්මන් ක්‍රමයේ වෙසෙන “විදේශීන්” ලෙසය. මෙසේ ජීවත් වීමේදී අපේ ආශාවන් පිනවාගැනීමට මුල් තැන දෙන ජීවන රටාවකට අනුව හැඩගැසීම අපි ප්‍රතික්ෂේප කරන්නෙමු. අප වඩා කැමති “අන්තිමය” හෙට නොව අද පැමිණෙනවා දකින්නයි. (1 පේතෘස් 4:7) ඇතැම්විට අප සුව කළ නොහැකි අසනීප නිසා වේදනා විඳිනවා විය හැකියි. නැත්නම් ආර්ථික ප්‍රශ්නවලින් මිරිකී සිටිනවා වෙන්න පුළුවනි. කෙසේවෙතත්, අපි මේ කාරණය මතක තබාගත යුත්තෙමු. එනම් යෙහෝවා අවසානය ගෙනෙන්නේ දුක් කම්කටොලුවලින් අපව මුදවාගැනීමට පමණක් නොව, ඔහුගේ නාමය විශුද්ධවත් කිරීමටයි. (එසකියෙල් 36:23; මතෙව් 6:9, 10) අන්තිමය පැමිණෙන්නේ සුදුසුයි කියා අපට හැඟෙන කාලයක නොව, නමුත් යෙහෝවාගේ අරමුණු ඉටුවීමට ඉවහල් වන සුදුසුම කාලයේදීයි.

14. දෙවිගේ ඉවසීම අද සිටින ක්‍රිස්තියානීන්ට ප්‍රයෝජනවත් වී තිබෙන්නේ කෙසේද?

14 මෙයද මතක තබාගන්න. “ප්‍රමාදයයි සමහරුන් සලකන හැටියට [යෙහෝවා] තමන්ගේ පොරොන්දුව ගැන ප්‍රමාද [නොවන්නේය]; නුමුත් සියල්ලන්ම පසුතැවිලිවෙනවාට මිස කිසිවෙක් විනාශවෙනවාට [ඔහු] නොකැමැතිව, නුඹලා කෙරෙහි බොහෝ කල් [ඉවසන්නේය].” (2 පේතෘස් 3:9) දෙවි ‘නුඹලා කෙරෙහි ඉවසන්නේය’ යන ප්‍රකාශය සැලකිල්ලට ගන්න. මෙහි නුඹලා යනුවෙන් අදහස් කරන්නේ ක්‍රිස්තියානි සභාවේ සිටින අයයි. “[දෙවි] ඉදිරියෙහි කැලැල් රහිතව, නිදොස්ව, සමාදානයෙන් යුක්තව දකිනු ලබන පිණිස” අපගෙන් සමහරදෙනෙකු ඔවුන්ගේ ජීවිතවල යම් වෙනස්කම් කරගත යුතු බව පෙනෙන්න තිබිය හැකියි. (2 පේතෘස් 3:14) එනිසා දෙවි ඉවසමින් සිටීම ගැන අප ඔහුට ස්තුතිවන්ත විය යුතු නැද්ද?

බාධා මැද ප්‍රීතිය—කෙසේද?

15. පරීක්ෂණ හමුවෙහි දිගටම ප්‍රීතියෙන් සිටීමට යේසුස්ට හැකි වූයේ කෙසේද? ඔහුව අනුකරණය කිරීමෙන් අද සිටින ක්‍රිස්තියානීන්ට ප්‍රයෝජන අත් කරගත හැක්කේ කෙසේද?

15 අදදින සිටින ක්‍රිස්තියානීන්ට ආබ්‍රහම්ගෙන් ඉගෙනගත හැකි පාඩම් බොහෝය. ඔහු ඇදහිල්ල පමණක් නොව, ඉවසීම, දුර දක්නා නුවණ හා පරාර්ථකාමී ප්‍රේමයද විදහාපෙන්නුවේය. එමෙන්ම ඔහු උපායශීලී හා එඩිතර පුද්ගලයෙකුද විය. ඔහුගේ ජීවිතයේ මුල් තැන හිමි වූයේ යෙහෝවාගේ නමස්කාරයටයි. කෙසේවෙතත්, කිසිවෙකුට නොදෙවෙනි ලෙස අප සියලුදෙනාටම විශිෂ්ටතම ආදර්ශය තැබුවේ යේසුස් ක්‍රිස්තුස් බව අමතක නොකරන්න. ඔහුද විවිධ පීඩා හා පරීක්ෂණවලට මුහුණ දුන් නමුත් කෙදිනකවත් සිය ප්‍රීතිය අහිමි කරගත්තේ නැත. එයට හේතුව වූයේ කුමක්ද? තමා ඉදිරියෙහි තිබූ බලාපොරොත්තුව ඔහු සිය මනසෙහි ප්‍රමුඛව තබාගෙන සිටීමයි. (හෙබ්‍රෙව් 12:2, 3) එමනිසා පාවුල් මෙසේ යාච්ඤා කළේය. “විඳදරාගැනීම හා සැනසිල්ල සපයන දෙවි, ක්‍රිස්තුස් යේසුස් තුළ තිබූ මානසික ආකල්පයම ඔබ සියලුදෙනාටම ලබා දෙත්වා!” (රෝම 15:5NW) හරි මානසික ආකල්පයක් තිබේ නම්, සාතන් අප හමුවට ගෙන ආ හැකි බාධා මැද අපට දිගටම ප්‍රීතියෙන් සිටීමට පුළුවන.

16. ගැටලු ප්‍රශ්නවලින් මිරිකී සිටින බව හැඟෙන විට අපට කළ හැක්කේ කුමක්ද?

16 ගැටලු ප්‍රශ්නවලින් ඔබ මිරිකී සිටින බව ඔබට හැඟෙන විට මෙය මතක් කරගන්න. යෙහෝවා ආබ්‍රහම්ට ප්‍රේම කළාක් මෙන් ඔබටත් ප්‍රේම කරයි. ඔහු කැමති ඔබ ගැටලුවලට සාර්ථකව මුහුණ දෙනවා දකින්නයි. (පිලිප්පි 1:6) යෙහෝවා ‘ඔබේ පුළුවන්කමට වඩා ඔබව පරීක්ෂා කරනු ලබන්ට ඉඩ නොදී, ඔබට පරීක්ෂාව ඉවසිය හැකි වන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදා දෙන’ බවට නිසැකකමක් ඇතුව ඔහු කෙරෙහි ඔබේ පූර්ණ විශ්වාසය තබන්න. (1 කොරින්ති 10:13) දිනපතා දෙවිගේ වචනය කියවීම පුරුද්දක් කරගන්න. (ගීතාවලිය 1:2) විඳදරාගැනීමට ශක්තිය ඉල්ලමින් නොකඩවා යෙහෝවාට යාච්ඤා කරන්න. (පිලිප්පි 4:6) ඔහු ‘තමන්ගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මය’ ලබා දෙයි. (ලූක් 11:13) බයිබලය මත පදනම් අපේ ප්‍රකාශන ඇතුළුව, අපව ආත්මිකව පෝෂණය කිරීම සඳහා යෙහෝවා පිළියෙළ කර තිබෙන සැපයුම්වලින් ප්‍රයෝජන ගන්න. එමෙන්ම සෙසු සහෝදර සහෝදරියන්ගේ සහය පතන්න. (1 පේතෘස් 2:17) විඳදරාගැනීමට ඔබට අවශ්‍ය දිරිගැන්වීම ක්‍රිස්තියානි රැස්වීම්වලින් ලැබෙන නිසා නිතිපතා ඒවාට පැමිණෙන්න. (හෙබ්‍රෙව් 10:24, 25) විඳදරාගෙන සිටීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔබ දෙවි ඉදිරියෙහි අනුමැතිය ලත් පුද්ගලයෙකු වන බවට හා විශ්වාසවන්තකම රැකගැනීමෙන් ඔබ ඔහුගේ හදවත සතුටු කරන බවට ඔබ සතු නිසැකකම ගැන ප්‍රීති වන්න.—හිතෝපදේශ 27:11; රෝම 5:3-5NW.

17. ක්‍රිස්තියානීන් බලාපොරොත්තු අත්හැර නොදමන්නේ මන්ද?

17 සිය “මිත්‍රයා” වශයෙන් සැලකූ ආබ්‍රහම්ට දෙවි ප්‍රේම කළේය. (යාකොබ් 2:23) එසේවුවත්, ආබ්‍රහම් ගත කළේ පීඩා හා පරීක්ෂණවලින් පිරි ජීවිතයකි. එනිසා මේ “අන්තිම දවස්වල” ජීවත් වන ක්‍රිස්තියානීන්ට ඊට වඩා අඩු යමක් බලාපොරොත්තු විය නොහැක. “නපුරු මනුෂ්‍යයොත් රැවටිලිකාරයොත් රවටමින්ද රැවටෙමින්ද වඩ වඩා නරක්වන්නෝය” කියා බයිබලය අපට අනතුරු අඟවයි. (2 තිමෝති 3:1, 13) බලාපොරොත්තු අත්හැර දමනවා වෙනුවට, අප මත එල්ල වන පීඩන සාතන්ගේ දුෂ්ට ක්‍රමයේ අවසානය ආසන්න බවට සාක්ෂියක් බව තේරුම්ගන්න. එහෙත් ‘ගැළවෙන්නේ අවසානය දක්වාම විඳදරාගෙන සිටින්නා’ බව යේසුස් අපට සිහිගන්වයි. (මතෙව් 24:13NW) එනිසා ‘යහපත කිරීම අත් නොහරින්න!’ ආබ්‍රහම්ව අනුකරණය කරන්න. “ඇදහිල්ලද ඉවසිලිවන්තකමද කරණකොටගෙන පොරොන්දු උරුමකරගන සිටින්නන්” අතර සිටීමට වෑයම් කරන්න.—හෙබ්‍රෙව් 6:12.

ඔබේ අවධානයට යොමු වූවාද?

• අද සිටින යෙහෝවාගේ සේවකයන් පීඩා හා පරීක්ෂණ අපේක්ෂා කළ යුත්තේ මන්ද?

• සාතන් ඍජු ප්‍රහාර එල්ල කරන්නේ කිනම් ආකාරවලින්ද?

• ක්‍රිස්තියානීන් අතර ඇති වන පෞද්ගලික ගැටුම් නිරාකරණය කරගත හැක්කේ කෙසේද?

• උඩඟුකම සහ තමන් උතුම් කියා සිතීම පරීක්ෂණයක් විය හැක්කේ කෙසේද?

• දෙවිගේ පොරොන්දුවල ඉටුවීම බලා සිටීම සම්බන්ධයෙන් ආබ්‍රහම් කදිම ආදර්ශයක් තැබුවේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[26වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානි යෞවනයන් බොහෝදෙනෙක් තුල්‍යයන්ගෙන් එල්ල වන හිංසා පීඩාවලට හා සරදම්වලට ගොදුරු වෙති

[29වන පිටුවේ පින්තූරය]

දෙවිගේ පොරොන්දුවල ඉටුවීම සිදුවීමට නියමිතව තිබුණේ “දුර” අනාගතයේදී වුවත්, ආබ්‍රහම් එම පොරොන්දු මත තම ජීවිතය ගොඩනඟා ගත්තේය