Skip to content

පටුනට යන්න

යෞවනයන් වැඩිදෙනෙක් කියවීමට අකමැති පොතක්

යෞවනයන් වැඩිදෙනෙක් කියවීමට අකමැති පොතක්

යෞවනයන් වැඩිදෙනෙක් කියවීමට අකමැති පොතක්

“බයිබලය ඇත්තෙන්ම දෙවිගේ වචනයද කියලා මම හරියටම දැනගන්නේ කොහොමද? ඒක කියවන්න මට කිසිම ආසාවක් නැහැ” කියා යෞවනියක් වූ බීටා පැවසුවා.

බීටා වෙසෙන ජර්මනියේ යෞවනයන්ගෙන් වැඩිදෙනෙකුට හැඟෙන්නෙත් ඇයට හැඟෙන ආකාරයටමයි. ඒ නිසා ඔවුන් බයිබලය කියවන්න වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ. දළ වශයෙන් ගත්තොත්, යෞවනයන්ගෙන් සියයට එකක් නිතිපතා බයිබලය කියවන බවත්, සියයට දෙකක් නිතර හා සියයට 19ක් ඉඳහිට කියවන බවත්, සියයට 80ක් පමණ කොහොමටවත්ම බයිබලය නොකියවන බවත් එම රටේ මෑතකදී කළ සමීක්ෂණයකින් හෙළි වුණා. වෙනත් රටවල හෝ සමහරවිට ඔබේම රටේ තිබෙන්නේද එවැනිම සංඛ්‍යා ලේඛනයක් විය හැකියි. යෞවනයන්ගෙන් වැඩිදෙනෙක් බයිබලය කියවීමට වැඩි කැමැත්තක් නොදක්වන බව එයින් පැහැදිලියි.

එසේනම්, ලොව පුරා සිටින තරුණ පරම්පරාව අතර බයිබල් දැනුම නොතිබීම අරුමයක් නොවෙයි! වර්ෂ 2000 මුල්භාගයේදී පැවැත්වූ සමීක්ෂණයකින් දස පනත දන්නා මෙන්ම මඟ පෙන්වීමක් ලෙස එය තමන්ට අදාළ කරගෙන තිබෙන සංඛ්‍යාව හෙළි කළ බව ලෝසිට්සර් රුන්ට්ෂෝ නම් පුවත්පත වාර්තා කළා. වයස අවුරුදු 60ට ඉහළ අයගෙන් සියයට 67ක් පනත් දැන සිටි අතර ඒවායින් මඟ පෙන්වීමක් ලබාගෙන තිබුණා. අවුරුදු 30න් පහළ අයගේ ප්‍රතිශතය වුණේ සියයට 28ක් පමණයි. ඇත්තෙන්ම, බොහෝ යෞවනයන්ට දෙවිගේ වචනය නුහුරු නුපුරුදු දෙයක්.

සමහරුන්ට තිබෙන්නේ වෙනස් දෘෂ්ටියක්

අනික් අතට, දෙවිගේ වචනය ඉතා අනර්ඝ බව සොයාගෙන තිබෙන යෞවනයන් මිලියන සංඛ්‍යාතයක්ද ලොව පුරා සිටිනවා. උදාහරණයකට, 19 හැවිරිදි ආලෙක්සාන්ඩ සෑම දිනකම උදෑසන රැකියාවට යෑමට පෙර බයිබලය කියවනවා. “දවස අරඹන්න මීට වඩා වෙන හොඳ ක්‍රමයක් ගැන නම් මට හිතාගන්නවත් බැහැ” කියා ඔහු පවසනවා. සෑම සැන්දෑවකම බයිබලයෙන් කොටසක් කියවීමට සැන්ඩ්‍රා කාලය වෙන් කරගෙන තිබෙනවා. ඇය පැහැදිලි කරන්නේ “ඒක මගේ දිනචර්යාවේ කොටසක් වෙලා” කියලයි. එමෙන්ම, 13 හැවිරිදි ජූලියා නින්දට යන්න කලින් අඩුම තරමින් එක් බයිබල් පරිච්ඡේදයක් හෝ කියවීමේ පුරුද්ද ඇති කරගෙන තිබෙනවා. “ඇත්තෙන්ම මම ඒක කියවන්නේ ආසාවකින්. මට ඕනෙ මේ පුරුද්ද දිගටම තියාගන්නයි.”

නිවැරදි හා නැණවත් වන්නේ කුමන දෘෂ්ටියද? බයිබලය කියවීමෙන් ඵලක් තිබේවිද? තරුණ පරම්පරාව සඳහා එය වටිනා, වැදගත්කමකින් යුත් පොතක්ද? ඔබ හිතන්නේ මොකක්ද?