Skip to content

පටුනට යන්න

ෆෙඩරල් ආණ්ඩුක්‍රම අධිකරණයේදී ලද ජයග්‍රහණය

ෆෙඩරල් ආණ්ඩුක්‍රම අධිකරණයේදී ලද ජයග්‍රහණය

ෆෙඩරල් ආණ්ඩුක්‍රම අධිකරණයේදී ලද ජයග්‍රහණය

ජර්මනියේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවෝ කාල්ස්රූහහි ෆෙඩරල් ආණ්ඩුක්‍රම අධිකරණයේදී ඓතිහාසික ජයග්‍රහණයක් ලැබූහ. මෙසේ ඔවුහු තම නීතික පිළිගැනීම අරභයා වැදගත් පියවරක් තැබූහ.

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ අවුරුදු 100කට වඩා වැඩි කාලයක සිට ජර්මනිය පුරා ක්‍රියාශීලී ලෙස කටයුතු කරමින් සිටිති. විසිවන සියවසේ ක්‍රියාත්මක වූ ජාතික සමාජවාදය සහ කොමියුනිස්ට්වාදය යන යකඩ හස්තයන්ගේ කුරිරු හිංසා පීඩාවලින් ඔවුහු ගැළවුණෝය. වර්ෂ 1990 සිට, සාක්ෂිකරුවෝ තමන්ව නීතියෙන් පිළිගත් සංස්ථාවක් හැටියට ස්ථාපිත කරගැනීම සඳහා වෙහෙසුණහ. වාසිදායක අධිකරණ තීන්දු දෙකක් සහ අවාසිදායක තීන්දුවක් ලැබීමෙන් පසු, සාක්ෂිකරුවන් නැවත වරක් ෆෙඩරල් ආණ්ඩුක්‍රම අධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කළ අතර, අධිකරණය වර්ෂ 2000 දෙසැම්බර් 19වැනිදා එහි තීන්දුව දුන්නේය.

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ලද ඒකමතික තීන්දුව

අධිකරණ විනිශ්චකරුවෝ සත්දෙනාම සාක්ෂිකරුවන්ට වාසිදායක ලෙස තීන්දුව දුන්හ. වර්ෂ 1997දී ෆෙඩරල් පරිපාලන උසාවිය මගින් දුන් තීන්දුවක් ඔවුන් අවලංගු කළ අතර, සාක්ෂිකරුවන්ගේ ඉල්ලීම නැවත වරක් සලකා බලන ලෙස ඔවුහු එම උසාවියට අණ කළෝය.

ආණ්ඩුව සහ ආගමික කණ්ඩායම් අතර තිබෙන මූලික සම්බන්ධය ගැන කතා කිරීමට ෆෙඩරල් ආණ්ඩුක්‍රම අධිකරණය මේ අවස්ථාව යොදාගත්තේය. කෙටියෙන් කිවහොත්, ආගමක කීර්ති නාමය “තීරණය වන්නේ එහි විශ්වාසයන් මත නොව, එහි සාමාජිකයන්ගේ හැසිරීම් රටාව මතය.”

සාක්ෂිකරුවන් “ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය” රකිනු ලැබුවත් ඔවුන් “ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිවලට එරෙහි නොවන” බවත්, “ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට වෙනත් ආණ්ඩුවක් පත් කරගැනීමට උත්සාහ නොකරන” බවත් අධිකරණය පැවසීය. එබැවින්, දේශපාලනික ඡන්ද කටයුතුවලට හවුල් නොවීම, නීතික පිළිගැනීම අත් කරගැනීම අරභයා සාක්ෂිකරුවන් දරන වෑයමට බලපෑමක් නොවිය යුතුය.—යොහන් 18:36; රෝම 13:1.

කෙනෙකු සාක්ෂිකරුවෙකු වුවත් නැතත්, ආණ්ඩුවේ විධානයන් ඔහුගේ ආගමික විශ්වාසයන් හා ගැටෙන ඇතැම් අවස්ථා තිබිය හැකි බවද අධිකරණය සඳහන් කළේය. ඔහු තම හෘදය සාක්ෂියට එකඟව “නීතිය වෙනුවට තම ආගමික විශ්වාසයන්ට මුල් තැන දීමට” තීරණය කළොත්, නීතිය මගින් ලබා දී තිබෙන ආගමික නිදහස නමැති රාමුව තුළ ආණ්ඩුව මගින් ඔහුට සාධාරණය ඉටු කරනු ඇත.—ක්‍රියා 5:29.

අධිකරණයේ තීන්දුව පුවත්පත් ශීර්ෂ පාඨවල පළ විය. මෙම නඩුව පිළිබඳ වාර්තාවක් පළ නොවූ පුවත්පතක් ජර්මනියේ නොතිබුණු තරම්ය. සෑම ප්‍රධාන රූපවාහිනි සහ ගුවන් විදුලි මධ්‍යස්ථානයක් මගින්ම එහි වාර්තා හෝ සම්මුඛ සාකච්ඡා විකාශනය කරනු ලැබුණි. මීට පෙර කිසිමදාක යෙහෝවාගේ නාමයට මෙවන් පුළුල් ප්‍රචාරයක් ජර්මනිය තුළ ලැබී තිබුණේ නැත!

[8වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

AP Photo/​Daniel Maurer