Skip to content

පටුනට යන්න

අපේ සිත් පාලනය කිරීමට ක්‍රිස්තුස්ගේ සමාදානයට හැක්කේ කෙසේද?

අපේ සිත් පාලනය කිරීමට ක්‍රිස්තුස්ගේ සමාදානයට හැක්කේ කෙසේද?

අපේ සිත් පාලනය කිරීමට ක්‍රිස්තුස්ගේ සමාදානයට හැක්කේ කෙසේද?

“[ක්‍රිස්තුස්ගේ] සමාදානය නුඹලාගේ සිත්වල ආණ්ඩුකෙරේවා. ඒ පිණිස නුඹලා එක ශරීරයක්ව සිටීමට කැඳවාගනු ලැබුවහුය.”—කොලොස්සි 3:15.

1, 2. ‘ක්‍රිස්තුස්ගේ සමාදානය’ ක්‍රිස්තියානියෙකුගේ සිත තුළ ආණ්ඩු කරන ආකාරය පැහැදිලි කරන්න.

 ආණ්ඩු කිරීම නොහොත් පාලනය කිරීම යන වචන සවනට වැටෙන විට, බොහෝදෙනෙකුට දැනෙන්නේ අමිහිරි බවකි. මෙයට හේතුව, බල කිරීම හෝ නම්මවාගැනීම යන අදහස ඔවුන්ගේ සිත්වල පහළ වන නිසාය. මේ නිසා “[ක්‍රිස්තුස්ගේ] සමාදානය නුඹලාගේ සිත්වල ආණ්ඩුකෙරේවා” කියා පාවුල් කොලොස්සියේ සිටි ක්‍රිස්තියානීන්ට පැවසූ වදන් සාධාරණ නැතැයි කියා යමෙකුට හැඟෙන්න පුළුවනි. (කොලොස්සි 3:15) අපට නිදහස් කැමැත්ත තිබෙනවා නොවේද? අපේ සිත් පාලනය කිරීමට කිසිවකට හෝ කිසිවෙකුට ඉඩහැරිය යුත්තේ මන්ද?

2 මෙහිදී පාවුල් කොලොස්සිවරුන්ට පවසමින් සිටියේ ඔවුන්ගේ නිදහස් කැමැත්තට බලපෑම් කිරීමට කිසිවෙකුට හෝ කිසිවකට ඉඩහරින්න කියා නොවේ. කොලොස්සි 3:15හි සඳහන් ‘ආණ්ඩු කිරීම’ ලෙස පරිවර්තනය කර තිබෙන ග්‍රීක් වචනය හා විනිසුරුවා නොහොත් තීරකයා යන වචනය අතර සම්බන්ධයක් තිබේ. ඒ කාලයේ පැවති ක්‍රීඩා තරඟවලදී ත්‍යාග ප්‍රදානය කරනු ලැබුවේ තරඟ තීරකයා විසිනි. තරඟකරුවන්ට යම් ප්‍රමාණයක නිදහසක් තිබූ නමුත්, එය අදාළ ක්‍රීඩාවේ නීති මගින් සීමා විය. නීතිවලට යටත්ව ජයග්‍රහණය කළේ කවුද කියා අවසානයේදී තීරණය කරනු ලැබුවේ තරඟ තීරකයා විසිනි. ඒ හා සමානව තීරණ ගැනීමේ නිදහස අපට තිබුණත්, සැමවිටම “තීරකයා” වීමට ඉඩ දිය යුත්තේ ක්‍රිස්තුස්ගේ සමාදානයටයි. එසේ නැතහොත් මෙය පරිවර්තක එඩ්ගර් ජේ. ගුඩ්ස්පීඩ් පරිවර්තනය කළ ආකාරයට, ක්‍රිස්තුස්ගේ සමාදානය අපේ සිත්වල බලපවත්වන ‘ප්‍රධානතම බලපෑම’ විය යුතුයි.

3. ‘ක්‍රිස්තුස්ගේ සමාදානය’ යනු කුමක්ද?

3 ‘ක්‍රිස්තුස්ගේ සමාදානය’ යනු කුමක්ද? මෙය අභ්‍යන්තරයෙහි අද්දකින සන්සුන් හා නිසල ගතියයි. අප මෙවන් තත්වයක් අද්දකින්නේ යේසුස්ගේ ගෝලයෙකු බවට පත්වීමෙන් අනතුරුව, යෙහෝවා දෙවි සහ ඔහුගේ පුත්‍රයා අපට ප්‍රේම කරන බවත් අපව අනුමත කරන බවත් අපට දැනෙන විටයි. යේසුස් සිය ගෝලයන්ගෙන් සමුගැනීමට ආසන්නව සිටියදී ඔවුන්ට මෙසේ පැවසුවේය. “මාගේ සමාදානය නුඹලාට දෙමි. . . . නුඹලාගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙන්න.” (යොහන් 14:27) ක්‍රිස්තුස්ගේ ශරීරයට අයත් විශ්වාසවන්ත ආලේප ලත් සාමාජිකයෝ අවුරුදු 2,000කට ආසන්න කාලයක සිට එම සමාදානය භුක්ති විඳිමින් සිටිති. අද සිටින ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන් වන “වෙනත් බැටළුවෝ” ඔවුන් සමඟ එම සමාදානය භුක්ති විඳිති. (යොහන් 10:16) අපේ සිත්වල ආණ්ඩු කිරීමට ඉඩ දිය යුත්තේ එම සමාදානයටයි. අප දරුණු පීඩාවලට මුහුණ දෙන විට ඇති වන බිය නිසා සේවය නතර නොකිරීමට හා දුෂ්කරතාවලදී මානසිකව නොවැටී සිටීමට එම සමාදානය අපට උපකාර කරයි. අපට අයුක්තියක් සිදු වන විට හෝ අප කාංසාවෙන් යටපත් වී සිටින විට හෝ තමන් නොවටිනා කෙනෙකු බව හැඟෙන විට, එම සමාදානය අපට උපකාරවත් වන ආකාරය දැන් අපි සලකා බලමු.

අපට අයුක්තියක් සිදු වන විට

4. (අ) යේසුස් අයුක්තිය අද්දැක්කේ කෙසේද? (ආ) අයුක්තියට ලක් වන විට ක්‍රිස්තියානීන් කටයුතු කර තිබෙන්නේ කෙසේද?

4 ‘මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ආණ්ඩු කර තිබේ’ කියා සාලමොන් රජ පැවසුවේය. (දේශනාකාරයා 8:9) එම වදන්වල සත්‍යතාව යේසුස් හොඳින් දැන සිටියේය. මිනිසුන් අතර සිදු වන අයුක්තිය යේසුස් ස්වර්ගයේ සිටි කාලයේදී දුටුවේය. ඔහු පොළොවේ සිටි කාලයේදී අයුක්තියට මුහුණ දුන් අතර, එය මෙතෙක් මිනිසෙකු මුහුණ දී තිබෙන දරුණුතම අයුක්තිය කියා කිව හැකියි. දෙවිට අපහාස කරන්නෙකු කියා බොරු චෝදනා එල්ල කර කිසිම පාපයක් නොකළ ඔහුව අපරාධකරුවෙකු ලෙස සලකමින් මරා දමන ලදි. (මතෙව් 26:63-66; මාර්ක් 15:27) අද ලොව අස්සක් මුල්ලක් නෑර අයුක්තිය රජයන අතර, ‘සියලු ජාතීන්ගේ වෛරයට ලක් වී සිටින’ සැබෑ ක්‍රිස්තියානීන්ට සිදු වන අයුක්තිය කියා නිම කළ නොහැක. (මතෙව් 24:9) කොයි මොහොතේ හෝ මරා දැමිය හැකි නාට්සි ගාල් කඳවුරුවල හා සිරකරුවන්ගෙන් බර වැඩ ගන්න සෝවියට් සිර කඳවුරුවල ඔවුන් විඳි වේදනා සිතාගත නොහැකි තරම් දරුණුයි. කලහකාරි පිරිස් එල්ල කරන ප්‍රහාර, බොරු චෝදනා හා මඩ ගැසීම් යනාදියට ඔවුන් මුහුණ දී තිබේ. මේ සියල්ල හමුවෙහි පසුබට නොවී ස්ථිරව සිටීමට ඔවුන්ට හැකි වූයේ ක්‍රිස්තුස්ගේ සමාදානය නිසාය. ඔවුන් අනුකරණය කළේ යේසුස්වයි. ඔහු ගැන අපට මෙසේ කියවීමට තිබේ. ‘ඔහුට නින්දා කරනු ලැබූ කල නින්දා නොකළේය; වධ වින්ද කල තර්ජන නොකර, ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරන තැනැත්තාට කාරණය භාර දුන්නේය.’ —1 පේතෘස් 2:23.

5. පෙනෙන විදිහට සභාව තුළ යම් අයුක්තියක් සිදු වෙනවා කියා අපට දැනගන්න ලැබුණොත් මුලින්ම අප සැලකිල්ලට ගත යුත්තේ කුමක්ද?

5 ක්‍රිස්තියානි සභාව තුළ යමෙකු අසාධාරණයකට ලක් වී සිටිනවා කියා අප සිතන්න පුළුවනි. මෙවන් අවස්ථාවක පාවුල්ට හැඟුණාක් මෙන් අපටත් හැඟිය හැකියි. මේ ගැන ඔහු මෙසේ පැවසුවේය. “යමෙක් පැකිලීමට පමුණුවනු ලබන්නේනම් මම නොදැවෙම්ද?” (2 කොරින්ති 11:29) මෙහිදී අපට කුමක් කළ හැකිද? අප අපෙන්ම මෙසේ අසාගත යුතුයි. ‘ඇත්තටම අයුක්තියක් සිදු වෙලා තියෙනවාද?’ බොහෝ අවස්ථාවලදී අප කාරණයට අදාළ සෑම තොරතුරක්ම දන්නේ නැත. යම් කෙනෙකු පැවසූ දෙයකට සවන් දීමෙන් පසු අප සෑහෙන්න කලබල විය හැකියි. තමා මේ බව දැනගත්තේ විශ්වාසවන්ත මාධ්‍යයකින් බව ඒ තැනැත්තා කිව හැකියි. එහෙත් “නුවණ නැත්තා හැම වචනම විශ්වාස කරයි” කියා බයිබලයේ සඳහන් වන්නේ හොඳ හේතු ඇතිව බව මතක තබාගනිමු. (හිතෝපදේශ 14:15) එනිසා අප සිහි බුද්ධියෙන් කටයුතු කිරීම අවශ්‍යයි.

6. සභාව තුළ අපට යම් අයුක්තියක් සිදු වනවා කියා සිතෙන විට, අප කටයුතු කළ යුත්තේ කෙසේද?

6 අපට යම් අයුක්තියක් සිදු වී තිබෙනවා කියා අපට හැඟෙනවායයි සිතමු. මෙවන් අවස්ථාවක ක්‍රිස්තුස්ගේ සමාදානය තමාගේ සිත තුළ තිබෙන කෙනෙකු කටයුතු කරන්නේ කෙසේද? අපට අයුක්තියක් කළායයි අප සිතන තැනැත්තා සමඟ ඒ ගැන කතා කරන්න අප තීරණය කළ හැකියි. අප ඒ පුද්ගලයා සමඟ කාරණය ගැන කතා කළාට පසුව කළ යුත්තේ කුමක්ද? වෙනත් අයට ඒ ගැන කියන්නේ නැතිව, යෙහෝවාට කාරණය බාර දී සුදුසු කාලයේදී ඔහු යුක්තිය ඉටු කරයි කියා විශ්වාසයෙන් සිටීම කළ හැකි හොඳම දෙය නොවේද? (ගීතාවලිය 9:10; හිතෝපදේශ 3:5) මෙසේ එම කාරණය අපේ සිත තුළ නිරාකරණය කරගැනීමෙන් හා “නිහඬව සිටීමෙන්” අපගේ ප්‍රීතිය රැකගැනීමට අපට පුළුවනි. (ගීතාවලිය 4:4NW) මෙවැනි සිද්ධීන් බොහොමයකට පාවුල්ගේ මෙම උපදේශය අදාළ වේ. “එකිනෙකා ගැන ඉවසමින්, යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමාවෙන්න; [යෙහෝවා] නුඹලාට කමාවුණාක්මෙන් නුඹලාත් කරන්න.”—කොලොස්සි 3:13.

7. අප සෙසු සහෝදරයන් සමඟ කටයුතු කරන විට සැමවිටම මතක තබාගත යුත්තේ කුමක්ද?

7 මෙහිදී අප ගන්න ක්‍රියාමාර්ගය කුමක් වුවත්, මෙය මතක තබාගැනීම වැදගත්ය. එනම්, සිදු වී තිබෙන දෙය පාලනය කිරීමට අපට නොහැකි වුවත්, මෙහිදී අප ප්‍රතික්‍රියා කරන ආකාරය පාලනය කරන්න අපට පුළුවනි. අයුක්තියක් කියා අපට සිතෙන දෙයක් හමුවෙහි කලබල වී කටයුතු කරනවා නම් එයින් ඇති වන හානිය එම අයුක්තියෙන් ඇති වන හානියට වඩා වැඩිවීමට ඉඩ තිබේ. (හිතෝපදේශ 18:14) සමහරවිට අප පැකිලීමට පත් වී, යුක්තිය ඉටු වන තෙක් සභාව සමඟ ඇසුරු කරන්නේ නැහැ කියා තීරණය කළ හැකියි. යෙහෝවාගේ ව්‍යවස්ථාවට ප්‍රේම කරන්නන්ට “පැකිලීමට කිසිවක්” නැති බව ගීතිකාකරු ලීවේය. (ගීතාවලිය 119:165) කලින් කලට අපි සෑම කෙනෙක්ම අයුක්තියට මුහුණ දෙන්නෙමු. යථාර්ථය එයයි. ඔබ යෙහෝවාට කරන සේවය අඩපණ කිරීමට එවන් කනගාටුදායක අද්දැකීම්වලට කවදාවත් ඉඩ නොදෙන්න. එවන් අවස්ථාවලදී ඔබේ සිත තුළ ආණ්ඩු කිරීමට ක්‍රිස්තුස්ගේ සමාදානයට ඉඩ දෙන්න.

කාංසාවෙන් යටපත් වී සිටින විට

8. කාංසාවට බලපාන හේතු සමහරක් මොනවාද? කාංසාවේ ප්‍රතිඵලය කුමක් විය හැකිද?

8 මේ “අන්තිම දවස්වලදී” අපේ ජීවිතය හා බැඳී පවතින දෙයකි කාංසාව. (2 තිමෝති 3:1) “කුමක් කමුද කියා ජීවිතය ගැනවත්—කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කනස්සලු නොවෙන්න” කියා යේසුස් පැවසූ බව සත්‍යයකි. (ලූක් 12:22) නමුත් කාංසාවට එකම හේතුව ද්‍රව්‍යමය දේවල් පමණක් නොවේ. සොදොමෙහි පැවති දූෂිත තත්වය නිසා ලොත් “මානසිකව දැඩි වේදනාවක්” අද්දැක්කේය. (2 පේතෘස් 2:7, NW) එමෙන්ම පාවුල්ට “සියලු සභාවන් ගැන සිතේ බරක්” තිබිණ. (2 කොරින්ති 11:28) සිය මරණයට පෙර රාත්‍රියේදී යේසුස් මොනතරම් වේදනාවක් අද්දැක්කාද කියනවා නම්, “[ඔහුගේ] ඩාදියද මහත් ලේ බින්දු මෙන් බිම වැටුණේය.” (ලූක් 22:44) මෙයින් පැහැදිලි වන්නේ විවිධාකාර කාංසාවන් දුර්වල ඇදහිල්ලක ලක්ෂණයක් නොවන බවයි. කෙසේවෙතත් කාංසාවට හේතුව කුමක් වුවත්, එය දරුණු අතට හැරෙයි නම් හෝ දිගු කාලයක් පුරා පවතී නම්, අප භුක්ති විඳිමින් සිටින සාමය නැති වී යා හැකියි. යෙහෝවාට කරන සේවය හා බැඳි ඇතැම් වගකීම් තවදුරටත් උසුලන්න තමන්ට නොහැකියි කියා හැඟෙන තරමට ඇතැමුන් කාංසාවෙන් යටපත් වී තිබේ. කාංසාව ගැන සඳහන් කරමින් බයිබලයෙහි මෙසේ පවසා තිබේ. “මනුෂ්‍යයෙකුගේ සිතේ නලංගුව [කාංසාව, NW] නිසා එය නැමීයයි.” (හිතෝපදේශ 12:25) කාංසාව නිසා අපි චිත්ත පීඩාවෙන් පෙළෙන්නෙමු නම්, අපට කළ හැක්කේ කුමක්ද?

9. කාංසාවෙන් මිදීම සඳහා කළ හැකි ප්‍රායෝගික දේවල් මොනවාද? නමුත් කාංසාවට බලපාන පහ කළ නොහැකි තත්වයන් මොනවාද?

9 ඇතැම් අවස්ථාවලදී අපට ප්‍රායෝගිකව යම් දේවල් කිරීමට සිදු විය හැකියි. අප පෙළෙන කාංසාවට හේතුව සෞඛ්‍ය ගැටලුවක් නම්, ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ගැනීම නැණවත් දෙයකි. කෙසේවෙතත්, මෙය පෞද්ගලික තීරණයක් බව මතක තබාගන්න. a (මතෙව් 9:12) වගකීම් රැසක් ඉසිලීම නිසා අප වෙහෙසට පත් වී සිටින බවක් දැනෙයි නම්, අන් අයට ඇතැම් වගකීම් පැවරිය හැකියි. (නික්මයාම 18:13-23) එහෙත් අන් අයට පැවරිය නොහැකි බරපතළ වගකීම්වලට උර දෙන දෙමාපියන් හා ඒ හා සමාන වෙනත් අය ගැන කුමක් කිව හැකිද? සත්‍යයට විරුද්ධ කලත්‍රයෙකු සමඟ ජීවත් වන ක්‍රිස්තියානියෙකුගේ තත්වය කෙබඳුද? එමෙන්ම ආර්ථික ගැටලුවලින් මිරිකී සිටින හෝ යුද්ධයෙන් දෙදරා ගිය ප්‍රදේශයක ජීවත් වන පවුලක් ගැන කුමක් කිව හැකිද? අද පවතින ක්‍රමය තුළ කාංසාවට හේතු වන සෑම දෙයක්ම නැති කර දමන්න නොහැකි බව පැහැදිලියි. එහෙත් ක්‍රිස්තුස්ගේ සමාදානය අපේ සිත්වල දිගටම පැවතීමට ඉඩහරින්න අපට පුළුවනි. ඒ කෙසේද?

10. ක්‍රිස්තියානියෙකුට කාංසාවෙන් සහනයක් ලබාගත හැකි ආකාර දෙකක් නම් කරන්න.

10 මෙය කළ හැකි එක් ක්‍රමයක් නම් දෙවිගේ වචනයෙන් සහනය ලබාගැනීමයි. දාවිත් රජ මෙසේ ලීවේය. “මා තුළ කැලඹීමක් ඇති කළ සිතිවිලි අධික වූ කල, ඔබේම සැනසිල්ල මාගේ ආත්මයට පහසක් විය.” (ගීතාවලිය 94:19NW) යෙහෝවා සපයන “සැනසිල්ල” බයිබලයෙන් ලබාගත හැකියි. දෙවිගේ ආනුභාවයෙන් ලියවී තිබෙන බයිබලයේ සඳහන් මඟ පෙන්වීම් හා උපදෙස් නිතිපතා සොයා බලනවා නම්, ක්‍රිස්තුස්ගේ සමාදානය සැමදා අපේ සිත්වල පවතිනු ඇත. බයිබලයේ මෙසේද සඳහන් වේ. ‘නුඹේ බර යෙහෝවා පිට තබන්න. ඔහු නුඹ උසුලන්නේය. ඔහු කිසි කලෙකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙන්නේය.’ (ගීතාවලිය 55:22) පාවුල්ද මීට සමාන අදහසක් ඉදිරිපත් කළේය. “නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් [දෙවිට] දන්වන්න. එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ [දෙවිගේ] සමාදානය ක්‍රිස්තුස් [යේසුස්] තුළ නුඹලාගේ සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත.” (පිලිප්පි 4:6, 7) නිතිපතා මහත් උනන්දුවෙන් කරන යාච්ඤාව, අප භුක්ති විඳින සාමය රැකගැනීමට මහත් උපකාරයකි.

11. (අ) යාච්ඤාව සම්බන්ධයෙන් යේසුස් විශිෂ්ට ආදර්ශයක් තැබුවේ කෙසේද? (ආ) අප යාච්ඤාව සැලකිය යුත්තේ කෙසේද?

11 මේ කාරණයේදී යේසුස් තැබූ ආදර්ශය විශිෂ්ටයි. සමහර අවස්ථාවලදී යේසුස් ඔහුගේ ස්වර්ගික පියාට යාච්ඤා කරමින් ඔහු සමඟ පැය ගණන් කතා කළේය. (මතෙව් 14:23; ලූක් 6:12) ඉතාමත් දරුණු පීඩා හමුවෙහි විඳදරාගැනීමට ඔහුට හැකි වූයේ යාච්ඤාව නිසාය. ඔහු මිය යන්න කලින් දා රාත්‍රියේදී, ඔහු විඳිමින් සිටි චිත්ත පීඩාව එන්න එන්නම වැඩි විය. මේ අවස්ථාවේදී ඔහු කළේ කුමක්ද? ඔහු “වඩා ඕනෑකමින්” යාච්ඤා කළේය. (ලූක් 22:44) දෙවිගේ පරිපූර්ණ පුත්‍රයා යාච්ඤාපූර්වකව කටයුතු කළ මිනිසෙක් විය. එසේ නම්, ඔහුගේ අසම්පූර්ණ අනුගාමිකයන් වන අප ඔහුටත් වඩා කොපමණ වැඩියෙන් යාච්ඤා කිරීමේ පුරුද්ද වර්ධනය කරගත යුතුද! ‘නොමැළිව නිතර යාච්ඤා කරන්න’ කියා යේසුස් සිය ගෝලයන්ට ඉගැන්වූයේ එමනිසාය. (ලූක් 18:1) අප ගැන අප දන්නවාට වඩා හොඳින් දන්න තැනැත්තා සමඟ අපේ හැඟීම් ප්‍රකාශ කළ හැකි අතිවැදගත් මාර්ගයකි, යාච්ඤාව. (ගීතාවලිය 103:14) ක්‍රිස්තුස්ගේ සමාදානය අපේ සිත්වල දිගටම පැවතීමට නම්, අප “නොකඩව යාච්ඤා” කළ යුතුයි.—1 තෙසලෝනික 5:17.

අපේ සීමා අභිභවමින් ජයගැනීම

12. යෙහෝවාට සේවය කරන්න තරම් තමන් සුදුසු තත්වයක නොසිටින බවට සමහරුන්ට හැඟෙන්නේ මන්ද?

12 යෙහෝවා ඔහුගේ එක් එක් සේවකයාව සලකන්නේ අනර්ඝ වස්තුවක් ලෙසය. (හග්ගයි 2:7, න. අ.) කෙසේවෙතත් මෙය සත්‍යයක් ලෙස පිළිගැනීම දුෂ්කර බව බොහෝදෙනෙකුට හැඟේ. වයසට යෑම, පවුලේ වගකීම් වැඩිවීම හෝ සෞඛ්‍යය දුර්වල වීම වැනි කාරණා නිසා සමහරුන් අධෛර්යයට පත් විය හැක. ළමා කාලයේදී කටුක අද්දැකීම්වලට මුහුණ දීම නිසා, තමන් සිටින්නේ අන් අයට වඩා පහත් තත්වයක කියා ඇතැමුන්ට හැඟෙන්න පුළුවනි. තමන් කළ වැරදිවලට යෙහෝවා සමාව දෙයිද කියා සිතමින් සමහරුන් මානසිකව බොහෝ වේදනා විඳිමින් සිටිනවා විය හැකියි. (ගීතාවලිය 51:3) එවන් වේදනාකාරි හැඟීම් සුවපත් කරගැනීමට කළ හැකි දේවල් මොනවාද?

13. තමන් නොවටිනා කෙනෙකු කියා හැඟෙන අයට ශුද්ධ ලියවිල්ල සැනසිල්ල සපයන්නේ කෙසේද?

13 ක්‍රිස්තුස්ගේ සමාදානය දෙවි අපට ප්‍රේම කරන බවට නිසැකකමක් අප තුළ ඇති කරවයි. මෙම සමාදානය නැති වුණොත්, එය අපට නැවත ලබාගත හැකියි. ඒ කෙසේද? අපව අගය කරනු ලබන්නේ අප කරන දේවල් අන් අය කරන දේවල් සමඟ සසඳා බැලීමෙන් අනතුරුවයි කියා යේසුස් කවදාවත් පැවසුවේ නැතැයි යන කාරණය ගැන ගැඹුරින් කල්පනා කර බැලීමෙනි. (මතෙව් 25:14, 15; මාර්ක් 12:41-44) වැදගත් දෙය ලෙස යේසුස් නිතර අවධාරණය කළේ පක්ෂපාතකමයි. ඔහු සිය ගෝලයන්ට මෙසේ පැවසුවේය. “අන්තිමය දක්වා ස්ථිරව [විඳදරාගෙන, NW] සිටින්නාම ගැළවෙන්නේය.” (මතෙව් 24:13) මිනිස්සු යේසුස්ව “සුළුකොට” සැලකූහ. එහෙත් තම පියා තමාට ප්‍රේම කරන බවට ඔහු තුළ කිසිදු සැකයක් නොතිබිණ. (යෙසායා 53:3; යොහන් 10:17) එමෙන්ම තමාත් තම පියාත් ඔවුන්ට හුඟාක් ප්‍රේම කරන බව යේසුස් සිය ගෝලයන්ට පැවසුවේය. (යොහන් 14:21) මෙය අවධාරණය කරමින් යේසුස් මෙසේ සඳහන් කළේය. “ගේකුරුල්ලන් දෙදෙනෙකු ශතයකට නොවිකුණද්ද? එහෙත් උන්ගෙන් එකෙක්වත් නුඹලාගේ [පියා] නොදැනුවත්ව බිම වැටෙන්නේ නැත. නුඹලාගේ සියලු හිසකේ පවා ගණන්කර තිබේ. එබැවින් භය නොවෙන්න; නුඹලා බොහෝ ගේකුරුල්ලන්ට වඩා වටින්නහුය.” (මතෙව් 10:29-31) මෙම වදන්වලින් යෙහෝවාගේ ප්‍රේමය ගැන අප තුළ ඇති වන්නේ මොනතරම් නිසැකකමක්ද!

14. යෙහෝවා අප එක් එක්කෙනාව අගය කොට සලකන බවට අපට නිසැක විය හැක්කේ මන්ද?

14 යේසුස් මෙසේද පැවසුවේය. “මා එවූ [පියා] විසින් අදිනු ලැබූ කෙනෙකුට මිස වෙන කිසිවෙකුට මා ළඟට එන්ට බැරිය. මම අන්තිම දවසේදී ඔහු නැගුටුවන්නෙමි.” (යොහන් 6:44) යේසුස්ගේ අඩි පාරේ ගමන් කිරීමට අපව ඇදගෙන තිබෙන්නේ යෙහෝවායි. එනිසා අප සෑම කෙනෙකුම ගැළවීම ලබනවා දකින්න ඔහුට මහත් ආශාවක් තිබේ. යේසුස් සිය ගෝලයන්ට තවදුරටත් මෙසේ පැවසුවේය. “මේ බාලයන්ගෙන් එක්කෙනෙක්වත් විනාශවෙනවාට ස්වර්ගයෙහි සිටින [මගේ පියා] කැමති [නැත].” (මතෙව් 18:14) මේ නිසා ඔබ සම්පූර්ණ සිතකින් සේවය කරනවා නම්, ඔබ කරන යහපත් දේවලින් ඔබට ඉමහත් ප්‍රීතියක් ලැබිය හැකියි. (ගලාති 6:4) අවංකව පසුතැවිලි වන අයට යෙහෝවා “අතිශයින්” කමා වෙනවා කියා ශුද්ධ ලියවිල්ලේ සඳහන් වේ. එනිසා අතීතයේ ඔබ කළ වැරදි ඔබේ සිතට වද දෙයි නම්, එම ප්‍රකාශයෙන් ඔබේ බිය සැක දුරු කරගන්න. (යෙසායා 43:25; 55:7) වෙනත් හේතු නිසා ඔබ අධෛර්යයට පත්ව සිටිනවා නම්, මෙය මතක තබාගන්න. ‘යෙහෝවා බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටියි. තැළුණු ආත්ම ඇත්තන් ගළවයි.’—ගීතාවලිය 34:18.

15. (අ) අපේ සාමය අපෙන් සොරාගැනීමට සාතන් තැත් කරන්නේ කෙසේද? (ආ) අපට යෙහෝවා කෙරෙහි තබාගත හැකි නිසැකකම කුමක්ද?

15 ඔබ භුක්ති විඳින සාමය ඔබට නැති වී යනවා දකින්න සාතන්ට තිබෙන්නේ පුදුම ආශාවකි. අපට උරුම වී තිබෙන පාපයට වගකිව යුත්තේ ඔහුය. අප සෑම කෙනෙකුටම පාපය සමඟ දැඩි සටනක් කරන්න සිදු වී ඇත්තේ එමනිසාය. (රෝම 7:21-24) ඔබේ අසම්පූර්ණකම් තිබෙන තාක් කල් දෙවිට පිළිගත හැකි ආකාරයකින් සේවය කරන්න නොහැකියි කියා ඔබට හැඟෙනවා නම්, සාතන් ඒ ගැන සතුටු වනවා නිසැකයි. ඔබව අධෛර්යය කරවන්න සාතන්ට කවදාවත් ඉඩ දෙන්න එපා! ඔහුගේ කූට උපායන් ගැන සාවධානව සිටිමින් ඕනෑම තත්වයක් හමුවෙහි විඳදරාගැනීමට අදිටන් කරගන්න. (2 කොරින්ති 2:11; එපීස 6:11-13) “[දෙවි] අපේ සිතට වඩා උතුම්ව සියලු දේම දන්න” බව මතක තබාගන්න. (1 යොහන් 3:20) යෙහෝවා දකින්නේ අපේ අඩුපාඩුකම් පමණක්ම නොව, අපේ චේතනා හා අභිප්‍රායන්ද ඔහු දකියි. එබැවින් ගීතිකාකරුගේ මෙම වදන්වලින් සැනසිල්ල ලබාගන්න. ‘යෙහෝවා තමන් සෙනඟ ඉවත නොදමයි. තමන් උරුමයද අත් නොහරියි.’—ගීතාවලිය 94:14.

‘ක්‍රිස්තුස්ගේ සමාදානයෙන්’ එක්සත් වී

16. විඳදරාගැනීමට දැඩි පරිශ්‍රමයක් දරන අතරේදී අප තනි වී නැතැයි කියා පැවසිය හැක්කේ මන්ද?

16 අපේ සිත්වල ආණ්ඩු කිරීමට ක්‍රිස්තුස්ගේ සමාදානයට අප ඉඩ දිය යුතුයි. මන්ද ‘ඒ පිණිස එක ශරීරයක්ව සිටීමට අපව කැඳවා’ තිබෙන බව පාවුල් ලීවේය. පාවුල් එම වදන් මගින් ඇමතූ ආලේප ලත් ක්‍රිස්තියානීන්ව, ක්‍රිස්තුස්ගේ ශරීරයේ කොටසක් වීම සඳහා කැඳවා තිබිණ. අද සිටින ආලේප ලත් අයගේ ඉතිරි කොටසටද එම කැඳවීම ලැබී තිබේ. ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන් වන “වෙනත් බැටළුවෝ” “එක එඬේරෙක්” වන යේසුස් ක්‍රිස්තුස් යටතේ “එක රැළක්” ලෙස ඔවුන් හා එක්සත්ව සිටිති. (යොහන් 10:16) ලොව පුරා විසිරී සිටින දශලක්ෂ ගණනකින් සමන්විත එම “රැළ” තමන්ගේ සිත්වල ආණ්ඩු කිරීමට ක්‍රිස්තුස්ගේ සමාදානයට ඉඩ දෙමින් සිටිති. අප තනි වී නොසිටින බව දැන සිටීම විඳදරාගැනීමට අපට පිටිවහලක් වේ. මේ ගැන පේතෘස් මෙසේ ලීවේය. “ලෝකයෙහි සිටින නුඹලාගේ සහෝදරයන් කෙරෙහි එම දුක්ම පැමිණෙන බව දැන, නුඹලාගේ ඇදහිල්ලෙහි ස්ථිරව සිට, යක්ෂයාට විරුද්ධව සිටින්න.”—1 පේතෘස් 5:9.

17. අපේ සිත්වල ආණ්ඩු කිරීමට ක්‍රිස්තුස්ගේ සමාදානයට ඉඩ දෙන්න අපව පොලඹවන්නේ කුමක්ද?

17 එසේ නම්, අපි සියලුදෙනාම දෙවිගේ ශුද්ධාත්මයේ ඵලයක් වන සමාදානය ප්‍රවර්ධනය කිරීමට දිගටම වැඩ කරමු. (ගලාති 5:22, 23) කැළැල් රහිතයි, නිදොස්, සමාදානයෙන් සිටියි කියා යෙහෝවා සලකන අය, නුදුරු අනාගතයේදී ධර්මිෂ්ඨකම වාසය කරන පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමේ ආශීර්වාදය භුක්ති විඳිනු ඇත. (2 පේතෘස් 3:13, 14) අපේ සිත්වල ආණ්ඩු කිරීමට ක්‍රිස්තුස්ගේ සමාදානයට ඉඩ දෙන්න අපට හොඳ හේතු රැසක් තිබේ.

[පාදසටහන]

a ඇතැම් පුද්ගලයන් කාංසාවෙන් පෙළීමට හේතුව, වෛද්‍ය ප්‍රතිකාර ගත යුතු මානසික අවපීඩනය විය හැක.

ඔබට මතකද?

• ක්‍රිස්තුස්ගේ සමාදානය යනු කුමක්ද?

• අප අයුක්තියකට මුහුණ දෙන විට ක්‍රිස්තුස්ගේ සමාදානයට අපේ සිත්වල ආණ්ඩු කළ හැක්කේ කෙසේද?

• කාංසාවට මුහුණ දීම සඳහා ක්‍රිස්තුස්ගේ සමාදානය අපට උපකාරවත් වන්නේ කෙසේද?

• නොවටිනාබවේ හැඟීම් ඇති වන විට ක්‍රිස්තුස්ගේ සමාදානය අපට සැනසිල්ලක් වන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූරය]

මිනිසුන්ගෙන් චෝදනා එල්ල වුවත් යේසුස් යෙහෝවාට සියල්ල බාර කළේය

[16වන පිටුවේ පින්තූරය]

යෙහෝවා සපයන සැනසිල්ල ප්‍රේමනීය පියෙකුට තුරුලු වීමෙන් දරුවෙකු ලබන පහස වැනිය. එයින් අපේ කාංසාවන් සුවපත් කරගත හැකියි

[18වන පිටුවේ පින්තූරය]

යෙහෝවා අපේ විඳදරාගැනීම අනර්ඝ කොට සලකයි