Skip to content

පටුනට යන්න

කෘතගුණ දැක්වීමෙන් ලබන ප්‍රීතිය

කෘතගුණ දැක්වීමෙන් ලබන ප්‍රීතිය

කෘතගුණ දැක්වීමෙන් ලබන ප්‍රීතිය

“සාමාන්‍යයෙන් මිනිසුන් තුළ කෘතගුණ දැක්වීමට ආශාවක් තිබෙනවා” කියා කැල්ගරි හෙරල්ඩ් නමැති කැනේඩියානු පුවත්පතේ සඳහන් විය. ප්‍රාථමික පංතියේ ඉගෙනුම ලබන නව හැවිරිදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිපදෙනෙකු තමන් වැඩියෙන්ම අගය කරන දේවල් පිළිබඳව ලියූ රචනාවල පවසා තිබූ දේවල් කිහිපයක්ද එම පුවත්පතේ උපුටා දක්වා තිබිණ. ‘තමාව හොඳින් බලාගත්ත’ පවුලේ අයව තමන් හුඟක් අගය කරන බව එක් දරුවෙක් ලීවේය. තවත් දැරියක් එම අදහසට එකඟ වෙමින් ඇගේ දෙමව්පියන් ගැන මෙසේ විස්තර කළාය. “ඒගොල්ලන් මාව ආරක්ෂා කරනවා. ලෙඩ වුණාම මාව සනීප කරනවා. ඒගොල්ලෝ මට හොඳට කන්න බොන්න දීලා මාව බලාගන්නවා. මගේ අම්මයි තාත්තයි මට හුඟක් ආදරෙයි. ඒගොල්ලෝ හින්දා තමයි මං මේ ලෝකේ ඉන්නේ.”

ඇත්තෙන්ම කෘතගුණ දැක්වීමට මැළි වන අය අන්ත කලකිරීමට පත් විය හැක. දේවධර්මාචාර්ය ජේ. අයි. පැකර් පැවසුවේ, “අපට දෙවියන් නැතුව ජීවත් වෙන්න බැහැ. මිනිසුන් නැතුවත් ජීවත් වෙන්න බැහැ. අපිව මවලා තියෙන්නේ ඒ ආකාරයටයි” කියාය. සියවස් ගණනාවකට පෙර ලියූ බයිබලයේ සඳහන් මෙම උපදෙස අපේ මතකයට නැඟේ. ‘ස්තුතිවන්තව සිටින්න.’ (කොලොස්සි 3:15) අනුන් අපට පිරිනමා ඇති උදව් උපකාර වෙනුවෙන් මුළු හදින්ම ස්තුතිය ප්‍රකාශ කිරීමෙන් ඔවුන් සමඟ හොඳ මිත්‍රත්වයන් ගොඩනඟා ගැනීමට අපට හැකි වේ.

ඊට අමතරව, අප අන්‍යයන්ව අගය කිරීමෙන් පෙන්වන්නේ අප දෙවිටත් කෘතගුණ දක්වනවා යන්නයි. ඇත්තෙන්ම දෙවි මේ සෑම ක්‍රියාවක්ම දකින බව බයිබලයේ පැවසේ. ‘යෙහෝවා කෙරෙහි සම්පූර්ණ සිත් ඇත්තන්ට පිහිට වෙන පිණිස ඔහුගේ බලය පාමින්, ඔහුගේ ඇස් පොළොව මුළුල්ලෙහි ඔබමොබ දුවන්නේය.’ (2 ලේකම් 16:9) තවද, මිනිසුන් තමාගේ නාමයට දක්වන ප්‍රේමය තමන් අමතක නොකරන බවටත් එය හුඟක් අගය කොට සලකන බවටත් දෙවි සහතික කරයි. (හෙබ්‍රෙව් 6:10) කෘතගුණ දැක්වීමෙන් යෙහෝවාව සතුටට පත් කිරීමට හැකි වෙනවා පමණක් නොවෙයි, එය අපේ සතුටටද දායක වේ. ඔව්, හිතෝපදේශ 15:13 පවසන්නාක් මෙන්, “තුෂ්ටිමත් සිත මුහුණ පැහැපත්කරයි.” එසේ නම් යෙහෝවාට මෙන්ම අන්‍යයන්ටද දිනපතාම කෘතගුණ දැක්වීමට පුරුදු වෙමු!