Skip to content

පටුනට යන්න

යක්ෂයා යනු මිථ්‍යා විශ්වාසයක්ද?

යක්ෂයා යනු මිථ්‍යා විශ්වාසයක්ද?

යක්ෂයා යනු මිථ්‍යා විශ්වාසයක්ද?

“එක් පැත්තක දෙවිගේ බලවේගයන් හා යහපතත්, අනික් පැත්තෙන් සාතන්ගේ මෙහෙයුම යටතේ සිදු වන නපුරත් අතර විශාල ගැටුමක් ඇති වන බව නව තෙස්තමේන්තුව පුරාම දක්නට තිබේ. මෙය ලේඛකයන් එක්කෙනෙකුගේ හෝ දෙදෙනෙකුගේ සංකල්පයක් නොව කාටත් පොදු සංකල්පයකි. . . .එසේ නම් නව තෙස්තමේන්තුවේ තිබෙන සාක්ෂිය පැහැදිලියි. සාතන් යනු දෙවිට හා දෙවිගේ සෙනඟට නිරන්තරයෙන්ම එදිරිව සිටින සැබෑ දුෂ්ට තැනැත්තෙකි.”—“නව බයිබල් ශබ්දකෝෂය” (ඉංග්‍රීසියෙන්).

එසේ නම්, ක්‍රිස්තියානීන්යයි කියා සිටින හා බයිබලය විශ්වාස කරන බව කියා සිටින බොහෝදෙනෙකු සැබෑ දෙවිකෙනෙකු පවතිනවාය යන අදහස ප්‍රතික්ෂේප කරන්නේ මන්ද? ඔවුන් එසේ කරන්නේ බයිබලය දෙවිගේ වචනය හැටියට පිළි නොගන්නා නිසාය. (යෙරෙමියා 8:9) ඔවුන් පවසන්නේ බයිබල් ලේඛකයන් දෙවිගෙන් ලද සත්‍යය නිවැරදිව ලියනවා වෙනුවට තමන් අවට සිටින ජාතීන්ගේ දර්ශනයන් ඉදිරිපත් කළ බවය. උදාහරණයක් වශයෙන්, කතෝලික දේවධර්මාධරයෙකු වූ හාන්ස් කූන්ග් මෙසේ ලියයි: “යක්ෂයන් මහත් සංඛ්‍යාවක් හා සම්බන්ධ කොට ඇති සාතන් පිළිබඳ මිථ්‍යා අදහස් . . . බබිලෝනීය මිථ්‍යා ඉගැන්වීම්වලින් මුල් යුදෙව් ධර්මයටත්, එතැනින් නව තෙස්තමේන්තුවටත් ඇතුල් වී තිබේ.”—ක්‍රිස්තියානියෙකු වී සිටීම.

එහෙත් බයිබලය නිකම්ම මිනිසුන්ගේ අදහස් තිබෙන පොතක් නොවේ. එය සැබවින්ම දෙවිගේ ආනුභාවයෙන් ලියන ලද්දකි. එබැවින්, එහි යක්ෂයා සම්බන්ධයෙන් පවසන්නේ කුමක්ද කියා බැරෑරුම් ලෙස සලකා බැලීම නැණවත් දෙයකි.—2 තිමෝති 3:14-16; 2 පේතෘස් 1:19, 21.

යේසුස්ගේ අදහස කුමක් වීද?

යේසුස් ක්‍රිස්තුස් යක්ෂයා සැබෑ පුද්ගලයෙකු බව විශ්වාස කළේය. යේසුස්ව පරීක්ෂාවට ලක් කළේ ඔහු තුළම වූ යම් නපුරක් නොවේ. ඔහු ලක් වූයේ සැබෑ පුද්ගලයෙකුගේ ප්‍රහාරයකටය. පසුව ඔහු ඒ තැනැත්තාව හැඳින්වූයේ “ලෝකයේ අධිපතියා” කියාය. (යොහන් 14:30; මතෙව් 4:1-11) සාතන්ගේ දුෂ්ට උපායන්වලට වෙනත් ආත්ම මැවිලිත් සහයෝගය දුන් බව ඔහු විශ්වාස කළේය. එමෙන්ම ඔහු “යක්ෂාවේශවූ” අයවද සුව කළේය. (මතෙව් 12:22-28) අදේවවාදී අදහස් අඩංගු බුද්ධිවාදී විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) නම් ප්‍රකාශනයේ පවා මෙහි වැදගත්කම ගෙනහැර පෑවේ මෙසේය. “සුවිශේෂයන්හි සඳහන් යේසුස් යක්ෂයන් පිළිබඳ විශ්වාසය පිළිගත් ආකාරය සම්බන්ධයෙන් විශාල ගැටලුවකට මූණ දීමට දේවධර්මාධරයන්ට සිදු විය.” යේසුස් යක්ෂයා හා ඔහුගේ භූතයන් ගැන කතා කළ විට, ඔහු කළේ බබිලෝනියානු මිථ්‍යා කථාවලින් ඇති කරගත් මිථ්‍යා විශ්වාසයන් යළිත් සඳහන් කිරීමක් නොවේය. ඔවුන් ඇත්තෙන්ම පවතින බව ඔහු දැන සිටියේය.

යේසුස් ඔහුගේ දවස්වල සිටි ආගමික ගුරුවරුන්ට පැවසූ වදන් අප සලකා බලන විට අපට යක්ෂයා පිළිබඳව බොහෝ දේ උගත හැක. “නුඹලා නුඹලාගේ පියවූ යක්ෂයාගෙන්ය, නුඹලා නුඹලාගේ පියාගේ තෘෂ්ණාවන් ඉෂ්ටකරන්ට කැමතිය. ඔහු පටන්ගැන්මේ සිට මිනීමරන්නෙක්ය, ඔහු තුළ සැබෑකම නැති හෙයින් ඔහු සැබෑවෙහි නොපැවතුණේය. ඔහු බොරුවක් කියන කල තමාගේම දේ කියයි. මක්නිසාද ඔහු බොරුකාරයෙක්ය, බොරුවේ පියාය.”—යොහන් 8:44.

මේ අනුව, “නින්දාකරන්නා” යන අර්ථය ඇති යක්ෂයා “බොරුකාරයෙක්ය, බොරුවේ පියාය.” දෙවි ගැන බොරු කියූ මුල්ම ප්‍රාණියා ඔහුය. එදා ඔහු එසේ කළේ ඒදන් උයනේදීය. අපේ මුල් දෙමාපියන් යහපත හා නපුර දැනගැනීමේ ගසෙන් කෑවොත් ඔවුන් ‘ඒකාන්තයෙන් නසින්නේය’ කියා යෙහෝවා පවසා තිබිණ. එම වචනවල සත්‍යතාවක් නැති බව සාතන් පැවසුවේ සර්පයෙකුගේ මුඛය උපයෝගි කරගෙනය. (උත්පත්ති 2:17; 3:4) මේ නිසා, “සාතන්යයි කියනලද මහා සර්පයා නමැති ඒ පුරාණ සර්පයා” කියා ඔහුව හැඳින්වීම උචිතය.—එළිදරව් 12:9.

යහපත හා නපුර දැනගැනීමේ ගහ පිළිබඳව යක්ෂයා බොරු කීවේය. එම ගසෙන් කෑම තහනම් කිරීම අසාධාරණ දෙයක්, බලය අනිසි ලෙස පාවිච්චි කිරීමක් ලෙස ඔහු තර්ක කළේය. යහපත කුමක්ද, අයහපත කුමක්ද කියා තමන් විසින්ම තීරණය කරගැනීමෙන් ‘දෙවිට සමාන’ විය හැකියි කියා ඔහු ආදම් සහ ඒවට පැවසුවේය. නිදහස් කැමැත්ත ඇතුව සිටින්නන් වශයෙන් තනි තීරණයක් ගැනීමට ඔවුන්ට සම්පූර්ණ අයිතිය තිබිය යුතුයයි සාතන් ඇඟෙව්වේය. (උත්පත්ති 3:1-5) දෙවිගේ පාලනයේ නිවැරදිභාවයට මෙලෙස ප්‍රහාරයන් එල්ල වීමෙන් තීරණාත්මක ප්‍රශ්න පැනනැඟිණ. මේ හේතුවෙන් මෙම ප්‍රශ්න විසඳනු වස් යෙහෝවා කාලයක් ගතවීමට ඉඩහැර තිබේ. මින් අදහස් වන්නේ සාතන්ට යම් කාලෙකට ජීවත් වීමට ඉඩහැර තිබෙන බවය. ඔහුගේ සීමිත කාලය දැන් වේගයෙන් ගෙවී යමින් පවතී. (එළිදරව් 12:12) ඔහු බොරුවෙන් හා මුළාවෙන් මිනිසාව දෙවිගෙන් ඈත් කිරීමට තවමත් ක්‍රියා කරමින් සිටියි. ඔහු එසේ ඔහුගේ ඉගැන්වීම් පතළ කිරීමට වෑයම් කරන්නේ යේසුස්ගේ කාලයේ සිටි ලියන්නන් හා ඵරිසිවරුන් වැනි අයව යොදාගනිමිනි.—මතෙව් 23:13, 15.

එමෙන්ම යක්ෂයා “පටන්ගැන්මේ සිට මිනීමරන්නෙක්” බවද, “ඔහු සැබෑවෙහි නොපැවතුණ” බවද යේසුස් පැවසීය. යෙහෝවා යක්ෂයාව “මිනීමරන්නෙක්” ලෙස මැවූ බවක් මින් අදහස් නොවේ. එමෙන්ම ඔහු, දෙවිට විරුද්ධ වන ඕනෑම කෙනෙකුට දඬුවම් දීම සඳහා පිළියෙළ කර තිබෙන ගිනිමය හා වද දෙන ස්ථානයක් පාලනය කරන රකුසු පෙනුමක් ඇති අද්භූත පුද්ගලයෙකුද නොවේ. අනික් අතට බයිබලයේ සඳහන් ‘පාතාලය’ සාතන්ගේ නිවස නොව, එය මිනිසාගේ පොදු මිනීවළයි.—ක්‍රියා 2:25-27; එළිදරව් 20:13, 14.

යක්ෂයා මුලින්ම ‘සැබෑවෙහි පැවතිණ.’ ඔහු එක් කාලෙක යෙහෝවාගේ ස්වර්ගික පවුලේ කෙනෙකු ලෙස, එනම් දෙවිගේ පරිපූර්ණ ආත්ම පුත්‍රයෙකු වශයෙන් සිටියේය. එහෙත් ඔහු ‘සැබෑවෙහි පැවතුණේ’ නැත. ඔහු කැමති වුණේ ඔහුගේම බොරු ප්‍රතිපත්ති හා ඔහුගේම ක්‍රමවලට අනුව ක්‍රියා කිරීමටය. එසේ කිරීමට ‘ඔහු පටන්ගත්තේ’ දෙවිගේ දේවදූතයෙකු ලෙස ඔහුව මැවූ අවස්ථාවේදී නොව නමුත් ඔහු හිතාමතාම යෙහෝවාට විරුද්ධව කැරලිගසා, ආදම් සහ ඒවට බොරු කියූ අවස්ථාවේදීය. යක්ෂයා, මෝසෙස්ගේ කාලයේදී යෙහෝවාට විරුද්ධව කැරලිගැසූ මිනිසුන් හා සමාන විය. ඔවුන් සම්බන්ධයෙන් අපට මෙසේ කියවීමට තිබේ: “ඔව්හු [ඔහුට] විරුද්ධව දුෂ්ටකම් කළෝය, ඔව්හු [ඔහුගේ] දරුවෝ නොවෙති, ඔව්හු කැලල් ඇත්තෝය.” (ද්විතීය කථාව 32:5) සාතන් ගැනද එලෙසම පැවසිය හැක. කැරලිගැසූ විට “මිනීමරන්නෙක්’ බවට පත් වූ ඔහු, ආදම් සහ ඒවගේ මරණය ගැන පමණක් නොව මුළු මිනිස් සංහතියේම අභාවය ගැන වගකිවයුත්තා බවට පත් විය.—රෝම 5:12.

අකීකරු දේවදූතයෝ

වෙනත් දේවදූතයෝද සාතන්ගේ කැරැල්ලට හවුල් වූහ. (ලූක් 11:14, 15) මෙම දේවදූතයෝ ‘ස්වකීය වාසස්ථානය අත්හැර,’ නෝවාගේ දවස්වල සිටි “මනුෂ්‍යයන්ගේ දූවරුන්” සමඟ ලිංගික සබඳතා පැවැත්වීම සඳහා මිනිස් සිරුරුවලින් මූර්තිමත් වූහ. (යූද් 6; උත්පත්ති 6:1-4; 1 පේතෘස් 3:19, 20) එසේ කළේ “අහසේ තාරකාවන්ගෙන් තුනෙන් කොටසක්” නැතහොත් ආත්ම මැවිලිවලින් සුළු පිරිසක් පමණි.—එළිදරව් 12:4.

සංකේතාත්මක දේවල් රැසක් ඇති එළිදරව් පොතේ යක්ෂයාව දක්වා තිබෙන්නේ “මහත් රතු සර්පයෙක්” ලෙසිනි. (එළිදරව් 12:3) හේතුව? ඔහුට භයංකර පෙනුමක් ඇති සිරුරක් තිබෙන නිසා නොවේය. ඇත්තවශයෙන්ම, ආත්ම මැවිලිවලට කුමනාකාරයේ ශරීරයක්ද තිබෙන්නේ කියා අප දන්නේ නැති නමුත් අනිත් දේවදූත ආත්ම මැවිලිවලට වඩා සාතන් වෙනස් විය නොහැකි බව නම් සිතාගත හැක. කෙසේනමුදු, ඉතා ගිජු, භයංකර, බලවත් හා හානිකරනසුලු ස්වභාවයක් ඇති සාතන්ව විස්තර කිරීමට “මහත් රතු සර්පයෙක්” යන යෙදුම කදිමට ගැළපේ.

සාතන් හා භූතයන්ට දැන් දරුණු ලෙස වැට කොටු බැඳී ඇත. එක්තරා කාලෙක මූර්තිමත් වීමට තිබූ හැකියාව දැන් ඔවුනට නැත. වර්ෂ 1914දී ක්‍රිස්තුස්ගේ පාලනය යටතේ දේවරාජ්‍යය පිහිටුවා ටික කලකින් පසු ඔවුන්ව පොළොවට හෙළනු ලැබීය.—එළිදරව් 12:7-9.

යක්ෂයා භයානක සතුරෙකි

එසේවුවත්, යක්ෂයා භයානක සතුරෙකු ලෙස ක්‍රියා කරමින් සිටී. ඔහු “ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය.” (1 පේතෘස් 5:8) ඔහු අපේ අසම්පූර්ණ මාංසය තුළ පවතින නපුරු බලවේගයක් වැනි අවිනිශ්චිත යමක් නොවේ. අප අපේම පව්කාර නැඹුරුවාවන්ට එරෙහිව දිනපතා සටනක් කරන බව ඇත්තයි. (රෝම 7:18-20) එහෙත් සැබෑ සටන තිබෙන්නේ, “මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය.”—එපීස 6:12.

යක්ෂයාගේ බලපෑම කොතරම් දුරකට පැතිර තිබෙනවාද? “මුළු ලෝකයා නපුරා තුළ” සිටින බව ප්‍රේරිත යොහන් පවසයි. (1 යොහන් 5:19) ඇත්තවශයෙන්ම, යක්ෂයාගේ ක්‍රියාවලට බියෙන් වෙළී හෝ ඔහු පිළිබඳ මිථ්‍යා විශ්වාසයන්වලට භය වී අප අපවම අක්‍රිය කරගැනීමට අවශ්‍ය නැත. කෙසේවුවත්, සත්‍යය අපෙන් වසං කිරීමට හා දෙවි කෙරෙහි ඇති අපගේ අඛණ්ඩතාව බිඳහෙළීමට ඔහු දරන වෑයම් සම්බන්ධයෙන් අප අවදිව සිටීම නැණවත් දෙයකි.—යෝබ් 2:3-5; 2 කොරින්ති 4:3, 4.

දෙවිගේ කැමැත්ත කිරීමට කැමැත්තක් දක්වන අයට පහර දීමට යක්ෂයා සැමවිටම කෲර ක්‍රම යොදාගන්නේ නැත. සමහර අවස්ථාවලදී ඔහු “ආලෝකයේ දූතයෙකුගේ” වෙස්ගනියි. මේ අනතුර ගැන ක්‍රිස්තියානීන්ට අවවාද කරමින් ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය. “සර්පයා තමාගේ ප්‍රයෝගයෙන් ඒව රැවටුවාක්මෙන් [ක්‍රිස්තුස්] කෙරෙහි පවතින අවංකකමෙන්ද පිරිසිදුකමෙන්ද යම්විධියකින් නුඹලා වෙන්කොට නුඹලාගේ සිත් දුෂ්‍යකරනු ලැබේදෝ කියා භයවෙමි.”—2 කොරින්ති 11:3, 14.

එබැවින් අප ‘සිහි ඇතිව, අවදිව, ඇදහිල්ලෙහි ස්ථිරව සිට, යක්ෂයාට විරුද්ධ’ විය යුතුය. (1 පේතෘස් 5:8, 9; 2 කොරින්ති 2:10ආ, 11ආ) මොනයම් හෝ ගුප්ත ඇදහීමක් සමඟ යන්තම් හෝ සම්බන්ධ වීමෙන් සාතන්ගේ උගුලට හසුවීමෙන් වළකින්න. (ද්විතීය කථාව 18:10-12) යක්ෂයා තමන්ව පරීක්ෂා කළ අවස්ථාවේදී යේසුස් ක්‍රිස්තුස් නැවත නැවතත් දෙවිගේ වචනයට යොමු දැක්වුව බව මතක තබාගනිමින් දෙවිගේ වචනය හොඳින් අධ්‍යයනය කරන්නෙකු බවට පත් වන්න. (මතෙව් 4:4, 7, 10) දෙවිගේ ආත්මය ඉල්ලා යාච්ඤා කරන්න. සාතන් ප්‍රබල ලෙස වර්ධනය කරන මාංසයේ ක්‍රියාවලින් වැළකීමට ඔබට උපකාර කිරීමට ආත්මයේ ඵලවලට හැකිය. (ගලාති 5:16-24) එමෙන්ම, යක්ෂයාගෙන් හා ඔහුගේ භූතයන්ගෙන් යම් ආකාරයකින් බලපෑමක් ඇති වී තිබෙන බව ඔබට හැඟෙන විට ඉතා ඕනෑකමින් යාච්ඤා කරන්න.—පිලිප්පි 4:6, 7.

යක්ෂයාට භයෙන් වෙව්ලීම අනවශ්‍යය. සාතන්ගේ ඕනෑම ප්‍රහාරයකින් අපව ආරක්ෂා කරන බවට යෙහෝවා පොරොන්දු වේ. (ගීතාවලිය 91:1-4; හිතෝපදේශ 18:10; යාකොබ් 4:7, 8) ‘ඉතින් ස්වාමීන් තුළද ඔහුගේ ශක්තියේ බලවත්කමෙහිද බලවත් වෙන්න’ කියා ප්‍රේරිත පාවුල් පවසයි. එවිට ‘යක්ෂයාගේ උපායවලට විරුද්ධව සිටින්ට ඔබට හැකි වේ.’—එපීස 6:10, 11.

[5වන පිටුවේ පින්තූරය]

යක්ෂයා සැබෑ පුද්ගලයෙකු බව යේසුස් දැන සිටියේය

[6වන පිටුවේ පින්තූරය]

“මුළු ලෝකයා නපුරා තුළ”

[හිමිකම් විස්තර]

NASA photo

[7වන පිටුවේ පින්තූර]

නිතිපතා දෙවිගේ වචනය අධ්‍යයනය කිරීමෙන් හා යාච්ඤා කිරීමෙන් යක්ෂයාට විරුද්ධව සිටින්න