Skip to content

පටුනට යන්න

යක්ෂයෙක් ඉන්නවාද?

යක්ෂයෙක් ඉන්නවාද?

යක්ෂයෙක් ඉන්නවාද?

“අදදින සුළුතරයක් ‘දෙවි’ කෙනෙකු විශ්වාස කරන්නාක් මෙන් අතීතයේදී ක්‍රිස්තියානි සභාවේ සුළුතරයක් විසින් යක්ෂයා, බෙල්සෙබුබ් හෝ සාතන් නැතහොත් නපුරේ රජා සැබෑ මෙන්ම බලවත් පුද්ගලයෙකු හැටියට සැලකූ කාලයක්ද තිබූ බව ඉතිහාසයේ දැක්වේ. යුදෙව්වෝ හා මුල් ක්‍රිස්තියානීහු තමන් අවට සිදු වූ නපුරු දේවලට හේතුව යක්ෂයා බව පෙන්වීම සඳහා ඔහුට අඩ-මිනිස් රුවක් හා අඩ-මෘග වෙසක් දී ඔහුව නිර්මාණය කළහ. ඔහු කිසිම සත්‍යතාවක් නැති අද්භූත මිථ්‍යාවක් බව පසු කලෙක වටහාගත් ක්‍රිස්තියානීහු හොර රහසේම ඔහු කෙරෙහි ඇති විශ්වාසය අත්හැර දැමුවෝය.”—ලුඩොවික් කෙනඩි විසින් ලියන ලද “මනඃකල්පිත දෙවියන්ට සමු දෙමු” (ඉංග්‍රීසියෙන්).

ලේඛක හා ප්‍රචාරක ලුඩොවික් කෙනඩි පවසන පරිදි, ක්‍රිස්තියානි ලෝකයේ කිසිවෙකු යක්ෂයාගේ පැවැත්ම ගැන සැක කළේ නැත. එනමුත් ක්‍රිස්තියානීන් “සාතන්ගේ හා ඔහුගේ භූතයන්ගේ බලය ගැන බියෙන් වෙළී සිටියා” කියා මහාචාර්ය නෝමන් කොන් පවසයි. (භූතයන්ට හසු වූ යුරෝපය [ඉංග්‍රීසියෙන්]) යක්ෂයා පිළිබඳ මෙම අන්තවාදී බිය නූගත් ජනයාට සීමා වූයේ නැත. නිදසුනකට, නපුරු මෙන්ම අසභ්‍ය වත්පිළිවෙත්වල පාලකයා වශයෙන් යක්ෂයා මෘගයෙක් ලෙස මූර්තිමත් වනවාය යන විශ්වාසය “පැවතුණේ නූගත් ජන සමාජයක් තුළ නොවේ. ඊට පටහැනිව, ලෝකයේ දෘෂ්ටියෙන් බුද්ධිමතුන්යයි සැලකෙන පිරිස තුළයි එම විශ්වාසය පැවතුණේ” කියා මහාචාර්ය කොන් පවසයි. උගත් පූජකයන් ඇතුළු මෙම බුද්ධිමත් පිරිස 15වන හා 17වන සියවස්වලදී යුරෝපය පුරා සිදු කළ ඝාතනයන්ට වගකිව යුතුයි. මීට හේතුව, ක්‍රිස්තියානි සභාව සහ සිවිල් අධිකාරීන් මිනිසුන් 50,000කට පමණ, ඔවුන් යක්ෂ බන්ධන ක්‍රියාවල යෙදුණු බවට චෝදනා නඟා, වධ හිංසා කර ඝාතනය කළ බවට පැවසෙන නිසාය.

යක්ෂයා පිළිබඳ මිථ්‍යා විශ්වාසයන්, හැඟීම්වලට යටපත් වන විශ්වාසයන්යයි සලකා බොහෝදෙනෙකු ඒවා ප්‍රතික්ෂේප කර තිබීම පුදුමයක් නොවේ. යක්ෂයා කියන්නේ “වවුල් පියාපත්, අං, දෙපලු වූ යටිපතුල් හා දිග වලිගයකුත්, බෙදීගිය දිවක් මෙන්ම ඒ හා සමාන වෙනත් අංගලක්ෂණ ඇති” භයානක සතෙක් කියා මිනිසුන් තුළ තිබූ විශ්වාසය 1726දී පවා ඩැනියෙල් ඩෙෆොගේ උපහාසයට ලක් විණ. එවන් අදහස් “යක්ෂයන් බිහිකරන්නන්” විසින් ඉපදෙවූ “බොළඳ, මනඃකල්පිත, වැදගැන්මකට නැති ඒවා” කියා ඔහු පැවසීය. “ඔවුන්ගේම නිර්මාණයක් වූ යක්ෂයෙකු තුළින් ඔවුහු නූගත් ලෝකය මුළා කළෝය.”

ඔබේ දෘෂ්ටියත් එයමද? “ඇත්තෙන්ම කියනවා නම් යක්ෂයා කියන්නේ මිනිස්සු තමන්ගේ පව්වලට හේතුව වශයෙන් හදාගත්ත කෙනෙක්” බවට ඔබ එකඟ වෙනවාද? එම ප්‍රකාශය පළ වී තිබෙන්නේ ද සෝන්ඩර්වැන් පික්ටෝරියල් එන්සයික්ලෝපීඩියා ඔෆ් ද බයිබල් යන විශ්වකෝෂයෙහි වන අතර ක්‍රිස්තියානීන්යයි කියාගන්නාවූ බොහෝදෙනෙකු සිතන්නේද එලෙසමයි. ක්‍රිස්තියානි ලෝකයේ දේවධර්මාධරයන් “යක්ෂයා සහ භූතයෝ ඉතිහාසයට පමණක් සීමා වූ මිථ්‍යා පුද්ගලයෝය” කියා මුළුමනින්ම ඔවුන්ව ප්‍රතික්ෂේප කර ඇති බවට ජෙෆ්‍රි බර්ටන් රසල් පවසයි.

එහෙත්, සමහරුන්ට තාමත් යක්ෂයා සැබෑ පුද්ගලයෙකි. ඔවුන් හේතු දක්වන්නේ, ඉතිහාසය පුරා නොනැවතී සිදු කෙරුණ නපුරු දේවල් පිටුපස යම් ආකාරයක පාර භෞතික මිනිසෙක්, එනම් දුෂ්ට බලවේගයක් සිටිය යුතුයි කියාය. “යක්ෂයා කෙරෙහි තිබූ විශ්වාසය දිගු කලක් පුරා හීන වී ගොස් තිබුණත්, එම විශ්වාසය යළිත් ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින්නේ විසිවන සියවසේ භීෂණයන් නිසා” යැයි රසල් හේතු දක්වයි. ඩොන් ලූයිස් නම් කර්තෘවරයා පවසන පරිදි, තම “නූගත් මුතුන්මිත්තන්” තුළ තිබූ බිය හා මිථ්‍යා විශ්වාසයන් සම්බන්ධයෙන් “අවමන්සහගත ලෙස සරදම් කළ” නවීන දින උගත්තු බොහෝදෙනෙක් “යළිත් අද්භූත යක්ෂයෙකුට වසඟ වෙමින් සිටිති.”—යුගාන්තයන් මැදින් ආගමික මිථ්‍යා විශ්වාසයන් . . .

එසේ නම් මේ කාරණය පිළිබඳ නියම සත්‍යය කුමක්ද? යක්ෂයා යනු විකාර, මිථ්‍යා අදහසක්ද? නැතහොත් ඔහු 21වන සියවසේ පවා බැරෑරුම්ව සලකා බැලිය යුතු පුද්ගලයෙක්ද?

[4වන පිටුවේ පින්තූරය]

ගුස්ටේව් ඩෝරේ මෙම කැටයමෙන් දක්වන්නේ පුරාණ මිථ්‍යා විශ්වාසයන්ට අනුව යක්ෂයා අඩ-මිනිස් හා අඩ-මෘග රූපයක් බවය

[හිමිකම් විස්තර]

The Judecca​—Lucifer/​The Doré Illustrations For Dante’s Divine Comedy/​Dover Publications Inc.