Skip to content

පටුනට යන්න

‘සාමය සොයමින් එය ලුහුබඳින්න’

‘සාමය සොයමින් එය ලුහුබඳින්න’

‘සාමය සොයමින් එය ලුහුබඳින්න’

“පුළුවන් නම් නුඹලාගෙන් විය හැකි ප්‍රමාණයට, සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටින්න [සාමය ඇති කරගන්න, NW].”—රෝම 12:18.

1, 2. මිනිස් ප්‍රයත්නයන් තුළින් අත් කරගන්නා සාමය දිගු කල් නොපැවතීමට හේතු මොනවාද?

 අත්තිවාරම ශක්තිමත් නැති, මැදින් පහත් වී තිබෙන වහලයේ යට ලී දිරාපත් වී තිබෙන නිවසක් සිතින් මවාගන්න. මෙය ඔබේ නිවහන කරගැනීමට ඔබ කැමති වනු ඇද්ද? ඔබ කැමතියි කියා සිතිය නොහැක. මේ නිවසට අලුතින් තීන්ත ආලේප කර තිබෙන්න පුළුවනි. එහෙත් එසේ වූ පමණින් මෙම නිවස ශක්ති සම්පන්න නිවසක් වන්නේ නැත. කවදා හෝ දවසක මේ නිවස කඩා වැටීමට තිබෙන ඉඩ කඩ වැඩිය.

2 අද ලෝකය තුළ කිසියම් ආකාරයක සාමයක් ඇති වුවහොත්, එය අප කලින් සඳහන් කළ නිවස හා සමාන කළ හැක. එවන් සාමයක් ගොඩනැඟෙන්නේ දුර්වල අත්තිවාරමක් බඳු, “පිහිටවිය නොහැකි” මිනිසුන්ගේ පොරොන්දු හා සැලසුම් මතය. (ගීතාවලිය 146:3) විවිධ ජාතීන්, ජන පිරිස් හා ගෝත්‍ර අතර පැවති නිමක් නැති සටන්වලින් ඉතිහාසයේ පිටු පිරී තිබේ. ඇතැම් වකවානුවල කෙටි කලකට හෝ සාමය පැවති බව සත්‍යයකි. එහෙත් ඒ කුමන ආකාරයේ සාමයක්ද? ජාතීන් දෙකක් යුධ වැද සිටින අවස්ථාවක, එක් ජාතියක් පරාජය වීම නිසා හෝ තවදුරටත් සටන් කිරීමෙන් ඵලක් නැතැයි දෙපිරිසම තේරුම්ගැනීම නිසා අවි බිම තබා සාම ගිවිසුමකට ඔවුන් අත්සන් කළ හැක. එහෙත් ඒ කුමන ආකාරයේ සාමයක්ද? යුද්ධය අවුළවන වෛරය, සැකය හා ඊර්ෂ්‍යාව එලෙසම පවතී. පිටතින් පෙනෙන්න තිබෙන සාමය කල්පවතින සාමයක් නොවේ. එය නිකම්ම සාමයේ සායමක් වැනිය. එදිරිවාදිකම් වසා දමන එවන් සාමයක් ගරාවැටුණු බිත්තියකට සායම් ගෑම හා සමාන කළ හැක.—එසකියෙල් 13:10.

3. දෙවිගේ සෙනඟ අතර පවතින සාමය මිනිස් ප්‍රයත්නවල ප්‍රතිඵලයක් වශයෙන් බිහි වන සාමයට වඩා වෙනස් වන්නේ මන්ද?

3 කෙසේවෙතත්, යුද්ධයෙන් දෙදරා ගොස් ඇති මේ ලෝකයේ සැබෑ සාමය සොයාගත හැක. ඒ කොහේද? යේසුස්ගේ අඩි පාරේ ගමන් කරන අව්‍යාජ ක්‍රිස්තියානීන් අතර එය දැකිය හැක. යේසුස්ගේ වදන්වලට අවනත වෙමින් ඔහුව අනුකරණය කිරීමට ඔවුන් දරන්නේ මහත් වෑයමකි. (1 කොරින්ති 11:1; 1 පේතෘස් 2:21) විවිධ වාර්ගික, සමාජීය හා ජාතික පසුබිම්වලින් පැමිණෙන සැබෑ ක්‍රිස්තියානීන් අතර පවතින්නේ අව්‍යාජ සාමයකි. මෙයට හේතුව දෙවි සමඟ ඔවුන් ඇති කරගෙන තිබෙන සාමදායී සබඳතාවයි. මෙවන් සබඳතාවකට පදනම වී තිබෙන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාව කෙරෙහි ඔවුන් තබා ඇති ඇදහිල්ලයි. ඔවුන් අතර පවතින සාමය දෙවිගෙන් ලැබී තිබෙන ත්‍යාගයක් මිස, මිනිස් ප්‍රයත්නවල ප්‍රතිඵලයක් වශයෙන් ඇති වූවක් නොවේ. (රෝම 15:33; එපීස 6:23, 24) එම සාමය “සමාදානයේ කුමාරයා” වන යේසුස් ක්‍රිස්තුස්ට සිය කැමැත්තෙන්ම යටත් වීමේ හා “ප්‍රේමයේ හා සමාදානයේ [දෙවි]” වන යෙහෝවාට නමස්කාර කිරීමේ ප්‍රතිඵලයකි.—යෙසායා 9:6; 2 කොරින්ති 13:11.

4. ක්‍රිස්තියානියෙකු සාමය ‘ලුහුබඳින්නේ’ කෙසේද?

4 සාමය කියන්නේ අසම්පූර්ණ මිනිසුන් අතර නිරායාසයෙන්ම ඇති වන දෙයක් නොවේ. එමනිසා සෑම ක්‍රිස්තියානියෙකුම ‘සාමය සොයමින් එය ලුහුබැඳිය’ [NW] යුතුයි කියා පේතෘස් පැවසුවේය. (1 පේතෘස් 3:11) අපට එය කළ හැක්කේ කෙසේද? මෙයට උත්තරය පැරණි අනාවැකියක සඳහන් වේ. යෙසායා මාර්ගයෙන් යෙහෝවා මෙසේ පැවසුවේය. “නුඹේ සියලුම දරුවෝද [යෙහෝවා] විසින් උගන්වනු ලබන්නෝ වෙති; නුඹේ දරුවන්ගේ සමාදානයද මහත් වන්නේය.” (යෙසායා 54:13; පිලිප්පි 4:9) ඔව්, යෙහෝවාගේ ඉගැන්වීම්වලට සවන් දෙන අයට සැබෑ සාමය භුක්ති විඳිය හැක. එමෙන්ම “ප්‍රේමය, ප්‍රීතිය, . . . [බොහෝ, NW] ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම [ඇදහිල්ල, NW], මෘදුකම, පමණ දැන ක්‍රියාකිරීම [ආත්ම-දමනය, NW]” යනාදිය සමඟ ලැයිස්තුගත කර තිබෙන සාමය දෙවිගේ ශුද්ධාත්මයේ ඵලයක් වේ. (ගලාති 5:22, 23) ප්‍රේමය හා ප්‍රීතිය නොමැති, ඉවසීම නැති, අකරුණාවන්ත, නපුරු, අවිශ්වාසවන්ත, රළු හා ආත්ම දමනය නොමැති කෙනෙකුට සාමය භුක්ති විඳිය නොහැක.

‘සියලු මනුෂ්‍යයන් සමඟ සාමය ඇති කරගන්න’

5, 6. (අ) ශුද්ධ ලියවිල්ලට අනුව සාමකාමීව සිටීම හා සාමය ඇති කිරීම අතර තිබෙන වෙනස කුමක්ද? (ආ) ක්‍රිස්තියානීන් දැඩි වෑයමක් දරන්නේ කවුරුන් සමඟ සාමය ඇති කරගැනීමටද?

5 සාමය යන වදනෙහි ශාන්තබව හා සන්සුන්බව ගැබ්ව තිබේ. ආරවුල්වලින් තොර විවිධ තත්වයන් රැසක් එම වදනින් කියවේ. මිය ගොස් සිටින පුද්ගලයෙකු සිටින තත්වය විස්තර කිරීමටද සමාදානය යන වචනය යොදාගැනේ. කෙසේවෙතත්, සැබෑ සාමය භුක්ති විඳීමට නම්, සාමකාමීව සිටීමට වඩා වැඩි යමක් කළ යුතුය. යේසුස් සිය කන්ද උඩ දේශනාවේදී මෙසේ පැවසීය. “සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු [දෙවිගේ] පුත්‍රයෝ ය යි කියනු ලබන්නෝ ය.” (මතෙව් 5:9, නව අනුවාදය) මෙහිදී යේසුස් කතා කරමින් සිටියේ පසු කලෙක දෙවිගේ ආත්මික පුත්‍රයන් බවට පත් වී, ස්වර්ගයේ අමරණීය ජීවිතයක් භුක්ති විඳීමේ අපේක්ෂාව තිබූ පුද්ගලයන්ටය. (යොහන් 1:12; රෝම 8:14-17) ස්වර්ගික ජීවිතයක් පිළිබඳව බලාපොරොත්තුවක් නොමැති ඇදහිලිවන්ත මිනිසුන් සියලුදෙනාම අනාගතයේ යම් දවසක “[දෙවිගේ] දරුවන්ගේ මහිමයේ නිදහස්කම” භුක්ති විඳිනු ඇත. (රෝම 8:21) මෙවන් බලාපොරොත්තුවක් ඇතුව සිටිය හැක්කේ සාමය ඇති කරන්නන්ට පමණි. සාමකාමීව සිටීම හා සාමය ඇති කිරීම අතර ඇතැම් අවස්ථාවලදී වෙනසක් දක්නට තිබේ. ශුද්ධ ලියවිල්ලට අනුව සාමය ඇති කිරීම යන්නෙන් අදහස් වන්නේ සාමය වෙනුවෙන් යම් ක්‍රියාමාර්ග ගැනීමයි. එමෙන්ම ඇතැම් අවස්ථාවලදී එහි ඌනතාවක් තිබෙන විට සාමය ඇති කිරීමද එයින් අදහස් කෙරේ.

6 එම පැහැදිලි කිරීම මනසෙහි තබාගනිමින්, ප්‍රේරිත පාවුල් රෝමවරුන්ට දුන් මෙම උපදේශය සැලකිල්ලට ගන්න. “පුළුවන් නම් නුඹලාගෙන් විය හැකි ප්‍රමාණයට, සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටින්න [සාමය ඇති කරගන්න, NW].” (රෝම 12:18) මෙහිදී පාවුල් රෝමවරුන්ට පවසමින් සිටියේ සන්සුන් පුද්ගලයන් මෙන් සිටීමට පමණක්ම නොවේ. ඔහු ඔවුන්ව දිරිමත් කරමින් සිටියේ සාමය ඇති කරන්නන් වීමටයි. කා සමඟද සාමය ඇති කරගන්නේ? ‘සියලු මනුෂ්‍යයන් සමඟය.’ මෙයට පවුල් සාමාජිකයන්, සෙසු ක්‍රිස්තියානීන් හා තමන්ගේ ඇදහිල්ලට අයිති නැති අය පවා ඇතුළත් වේ. පාවුල් රෝමවරුන්ව දිරිමත් කළේ ‘ඔවුන්ගෙන් විය හැකි ප්‍රමාණයට’ අන් අය සමඟ සාමය ඇති කරගන්න කියාය. සාමය උදෙසා ඔවුන් සිය විශ්වාසයන් පාවා දිය යුතුයි කියා ඔහු මෙහිදී අදහස් කළා නොවේ. ඔවුන් අනවශ්‍ය ලෙස අනිත් අය සමඟ එදිරිවාදිකම් ඇති කර නොගෙන, සාමදායී චේතනාවෙන් අන් අය සමඟ කටයුතු කළ යුතුව තිබිණ. සභාවේ සිටින අය සමඟ මෙන්ම සභාවෙන් පිට සිටින අය සමඟද ක්‍රිස්තියානීන් එසේ කටයුතු කළ යුතුව තිබිණ. (ගලාති 6:10) මේ කාරණයට එකඟව පාවුල් මෙසේ ලීවේය. ‘එකිනෙකාටත් සියල්ලන්ටත් නිතරම යහපත් වූ දේ කරන්න.’—1 තෙසලෝනික 5:15.

7, 8. ක්‍රිස්තියානීන් තමන්ගේ ඇදහිල්ලට අයිති නැති අය සමඟ සාමය ඇති කරගන්නේ කෙසේද? ඒ මන්ද?

7 අපේ විශ්වාසයන් පිළි නොගන්න හා ඒවාට විරෝධය පළ කරන්නන් සමඟ සාමය ඇති කරගන්න අපට හැක්කේ කෙසේද? මෙය කළ හැකි එක් මාර්ගයක් වන්නේ අප හිස උදුම්මාගත් පුද්ගලයන් බවට හැඟීමක් අන් අය තුළ ඇති කිරීමෙන් වැළකී සිටීමයි. නිදසුනක් වශයෙන් ඇතැම් පුද්ගලයන් ගැන කතා කරද්දී ඔවුන්ව පහත් කොට සලකන වචන යොදාගන්නවා නම්, ඔවුන් සමඟ සාමය ඇති කරගත නොහැක. ඇතැම් සංවිධාන හා කණ්ඩායම්වලට එරෙහිව යෙහෝවා සිය විනිශ්චයන් ප්‍රකාශ කර තිබේ. එහෙත් යෙහෝවා දැනටමත් හෙළා දැක තිබෙනවායයි සලකමින් කිසිම පුද්ගලයෙකුට විරුද්ධව කතා කරන්න අපට අයිතියක් නැත. ඇත්තෙන්ම අප කිසිවෙකුව, අපේ විරුද්ධවාදීන්ව පවා විනිශ්චය කරන්නේ නැත. ක්‍රීතයේ සිටි ක්‍රිස්තියානීන්ට එහි සිටි ලෞකික බලධාරීන් සමඟ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් සපයන්න කියා තීතස්ට පැවසීමෙන් අනතුරුව, ඔවුන්ට මෙයද මතක් කර දෙන්න කියා පාවුල් සඳහන් කළේය. ‘කිසිවෙකු ගැන අගුණ නොකියන්න. ඩබරකාරයන් නොවී ඉවසිලිවන්තව සිට, සියලුම මනුෂ්‍යයන්ට සියලු ආකාර මොළොක්ගුණය පෙන්වන්න.’—තීතස් 3:1, 2.

8 අපේ ඇදහිල්ලට අයිති නැති අය සමඟ සාමය ඇති කරගැනීමෙන් යම් දවසක ඔවුන්ට සත්‍යයට පැමිණීම සඳහා හොඳ පසුබිමක් සකස් කළ හැක. මෙහිදී අප ‘හොඳ චරිත නරක් වන’ ආකාරයේ මිත්‍රත්වයක් ඇති කරගන්නේ නැති බව අමුතුවෙන් කිව යුතු නැත. (1 කොරින්ති 15:33) කෙසේවෙතත්, ආචාරශීලී වීමට අපට පුළුවනි. එමෙන්ම අප සෑම කෙනෙකුවම ගෞරවයෙන් හා මානව දයාවෙන් සැලකිය යුතුයි. මේ සම්බන්ධයෙන් පේතෘස් මෙසේ ලීවේය. “නුඹලා නපුරකරන්නෝයයි අන්‍යජාතීන් නුඹලාට විරුද්ධව කථාකරන නුමුත්, ඔවුන් නුඹලාගේ යහපත් ක්‍රියා දැක, විභාගකිරීමේ දවසේදී [දෙවිට] ගෞරවකරන පිණිස, ඔවුන් අතරේ නුඹලාගේ හැසිරීම ඔබිනලෙස පවත්වන්න.” —1 පේතෘස් 2:12.

දේවසේවයේදී සාමය ඇති කරගැනීම

9, 10. නොඇදහිලිවන්තයන් සමඟ සාමය ඇති කරගන්න අයුරින් කටයුතු කිරීම ගැන ප්‍රේරිත පාවුල් තැබූ ආදර්ශය කුමක්ද?

9 පළමු සියවසේ සිටි ක්‍රිස්තියානීන් නිර්භීත පිරිසක් බව එදා සිටි සැවොම දැන සිටියහ. විරුද්ධවාදිකම්වලට බියෙන් තමන් දේශනා කළ පණිවිඩය බාල කිරීමට ඔවුන් වෑයම් කළේ නැත. විරුද්ධවාදිකම්වලට මුහුණ දීමට සිදු වූ විට, මිනිසුන්ට නොව පාලකයා වශයෙන් දෙවිට කීකරු වීමට ඔවුහු අදිටන් කරගත්හ. (ක්‍රියා 4:29; 5:29NW) කෙසේවෙතත් ඔවුහු නිර්භීත වීම හා පරුෂ වීම අතර වෙනස හොඳින් හඳුනාගෙන සිටියහ. පාවුල් දෙවන හෙරොද් අග්‍රිපා රජ ඉදිරියෙහි තම ඇදහිල්ලට පක්ෂව කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී, රජ වෙත එළඹුණු ආකාරය සලකා බලන්න. හෙරොද් අග්‍රිපා සිය බාල සොහොයුරිය වූ බර්නීකි සමඟ ව්‍යභිචාරයේ යෙදෙමින් සිටියේය. කෙසේවෙතත්, පාවුල් අග්‍රිපාට සදාචාරය පිළිබඳව දේශනයක් දෙන්න පටන්ගත්තේ නැත. එසේ කරනවා වෙනුවට, යුදෙව් චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව අග්‍රිපාට තිබූ හසළ දැනුම හා අනාගතවක්තෘවරුන්ව විශ්වාස කිරීම ගැන ඔහුව පැසසුමට ලක් කරමින් තමාත් ඔහුත් එකඟ වූ කාරණා පාවුල් අවධාරණය කළේය.—ක්‍රියා 26:2, 3, 27.

10 මෙහිදී පාවුල් කූට ලෙස නිදහස ලබාගැනීමේ අරමුණින් අග්‍රිපාට චාටු බස් දොඩමින් සිටියාද? නැත. පාවුල් ඔහුව පැසසුමට ලක් කිරීමෙන් අනතුරුව, තමන් දුන් උපදේශයට එකඟව කටයුතු කරමින් සත්‍යය කතා කළේය. ඔහු හෙරොද් අග්‍රිපා ඉදිරියෙහි අසත්‍ය වූ කිසිවක් පැවසුවේ නැත. (එපීස 4:15) පාවුල් සාමය ඇති කරන්නෙක් වූ අතර, ‘සියල්ලන්ට සියල්ල වෙන්න’ දැන සිටියේය. (1 කොරින්ති 9:22) ඔහුගේ පරමාර්ථය වූයේ යේසුස් ගැන දේශනා කිරීමට ඔහුට තිබූ අයිතිය තහවුරු කිරීමයි. දක්ෂ ගුරුවරයෙකු වශයෙන් ඔහු සිය කතාව ආරම්භ කළේ අග්‍රිපා හා තමා එකඟ වන දෙයක් ගැන සඳහන් කිරීමෙනි. මෙසේ පාවුල් සදාචාරයට පටහැනි ක්‍රියාවක් කරමින් සිටි රජුට ක්‍රිස්තියානි ධර්මය පිළිබඳව හිතකර හැඟීමක් ඇති කරගැනීමට උපකාර කළේය.—ක්‍රියා 26:28-31.

11. දේවසේවයේදී අපට සාමය ඇති කරන්නන් විය හැක්කේ කෙසේද?

11 දේවසේවයේ හවුල් වන විට අපට සාමය ඇති කරන්නන් වශයෙන් කටයුතු කළ හැක්කේ කෙසේද? පාවුල් මෙන් අපද වාද විවාදවලින් වැළකී සිටිය යුතුයි. සමහර අවස්ථාවලදී අපේ ඇදහිල්ලට පක්ෂව “[දෙවිගේ] වචනය භය නැතුව කියාදෙන්ට” අවශ්‍ය බව ඇත්තයි. (පිලිප්පි 1:14) එනමුත් බොහෝ අවස්ථාවලදී අපේ පරමාර්ථය වන්නේ ශුභාරංචිය දේශනා කිරීමයි. (මතෙව් 24:14) යම් පුද්ගලයෙකු දෙවිගේ අරමුණුවල තිබෙන සත්‍යතාව තේරුම්ගත් පසු බොරු ආගමික අදහස්වලින් හා තමන්ව අපවිත්‍ර කරවන පුරුදුවලින් ඉවත් වීමට ඔහු පටන්ගන්න පුළුවනි. එමනිසා හැකි සෑම අවස්ථාවකදීම කළ හැකි හොඳම දෙය වන්නේ, අපේ සවන්දෙන්නන් එකඟ වන පොදු කාරණයක් ගැන කතා කිරීමට පටන්ගෙන, ඔවුන්ගේ සිත්ගන්න කරුණු අවධාරණය කිරීමයි. අපට විරුද්ධ වන පුද්ගලයෙකු වෙත උපායශීලී ලෙස එළඹෙන්නේ නම්, බලාපොරොත්තු නොවූ විදිහට ඔහු අපේ පණිවිඩයට සවන් දීමට ඉඩ තිබේ.—2 කොරින්ති 6:3.

පවුල තුළ සාමය ඇති කරන්නෝ

12. පවුල තුළ සාමය ඇති කරන්නන් වීමට අපට හැක්කේ කිනම් ආකාරවලින්ද?

12 විවාහකයන්ට ‘මාංසයෙහි දුක් ඇති වන’ බව පාවුල් පැවසුවේය. (1 කොරින්ති 7:28) විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට ඔවුන්ට සිදු වේ. ඉඳ හිට ඇතැම් විවාහක යුවළයන් අතර ඇති වන එකඟ නොවීම් එවන් දුෂ්කරතාවලට එක් උදාහරණයකි. මේවා නිරාකරණය කරගත යුත්තේ කෙසේද? සාමය ඇති කිරීමට ඉවහල් වන ආකාරයෙනි. සුළු ගැටලු මහත් ආරවුලක් දක්වා වර්ධනය වීම වැළැක්වීමට සාමය ඇති කරන්නෙක් උත්සාහ කරනු ඇත. මෙය කරන්නේ කෙසේද? මුලින්ම දිව පාලනය කරගැනීමෙනි. ඇනුම්පද කීමට හෝ නින්දාසහගත දේවල් කීමට මෙම කුඩා ඉන්ද්‍රිය යොදාගන්නේ නම්, ඇත්තෙන්ම එය “මරණීය විෂයෙන් පූර්ණවූ, නපුරු දෙයක්” විය හැක. (යාකොබ් 3:8) සාමය ඇති කරන්නෙකු ඔහුගේ දිව පාවිච්චි කරන්නේ අන් අයව අගය කිරීමට මිස හෙළා දැකීමට නොවේ. —හිතෝපදේශ 12:18.

13, 14. අපේ මුවින් සැර පරුෂ වචන පිට වන විට හෝ ආවේගශීලී හැඟීම් උත්සන්න වන විට සාමය රැකගැනීම සඳහා අපට කළ හැක්කේ කුමක්ද?

13 අසම්පූර්ණකම නිසා ඇතැම් අවස්ථාවලදී අපි සෑම කෙනෙක්ම පවසන සමහර දේවල් ගැන පසුව කනගාටු වන්නෙමු. මෙවන් අවස්ථාවලදී කාරණා හරිගස්සාගනිමින් සාමය ඇති කරගැනීමට විගස පියවර ගන්න. (හිතෝපදේශ 19:11; කොලොස්සි 3:13) ‘වචන ගැන වාද විවාද කිරීමෙන් හා සුළු සුළු දේවල් ගැන දරුණු මතභේද ඇති කරගැනීමෙන්’ වළකින්න. (1 තිමෝති 6:4, 5NW) ඔබේ කලත්‍රයාගේ හැඟීම් දෙස මතුපිටින් නොබලා ඒවා තේරුම්ගැනීමට වෑයම් කරන්න. ඔබට සැරෙන් කතා කළොත්, එකට එක කිරීමෙන් වළකින්න. ‘මෘදු උත්තරයකින් කෝපය පහ වෙන’ බව මතක තබාගන්න.—හිතෝපදේශ 15:1.

14 ඇතැම් අවස්ථාවලදී හිතෝපදේශ 17:14හි සඳහන් මෙම උපදේශය ඔබ සැලකිල්ලට ගැනීම අවශ්‍ය විය හැක. “තරඟය ඇවිස්සෙන්ට පළමුවෙන් එය අත්හරින්න.” කෝපය ඇවිළිය හැකි අවස්ථාව මඟහැර යන්න. ආවේගශීලී හැඟීම් පහව ගිය පසු ගැටලුව සමාදානයෙන් නිරාකරණය කරගැනීමට ඔබට හැකි වේවි. සමහර අවස්ථාවලදී උපකාරය සඳහා මේරූ අවේක්ෂකයෙකුව කැඳවීම නැණවත් දෙයක් විය හැක. විවාහ ජීවිතයේ සාමයට තර්ජනයක් එල්ල වී තිබෙන අවස්ථාවක එවන් අද්දැකීම් ලත් අනුකම්පාව දක්වන පුරුෂයන්ගෙන් මහත් සහනයක් ලබාගත හැක.—යෙසායා 32:1, 2.

සභාව තුළ සාමය ඇති කරන්නෝ

15. යාකොබ් සඳහන් කරන පරිදි ඇතැම් ක්‍රිස්තියානීන් අතර වර්ධනය වූ නරක ගතිලක්ෂණය කුමක්ද? එම ගතිලක්ෂණය ‘භූමිකය,’ ‘මෘගාකාරය’ හා ‘යක්ෂාකාරය’ කියා හඳුන්වන්නේ මන්ද?

15 පළමු සියවසේ සිටි ඇතැම් ක්‍රිස්තියානීන් අතර ඊර්ෂ්‍යාසහගත හා වාද විවාද ඇති කරවන ස්වභාවයක් දක්නට තිබිණ. මෙය සාමයට මහත් තර්ජනයක් විය. මේ ගැන යාකොබ් මෙසේ පැවසුවේය. “ඒ ප්‍රඥාව ඉහළින් පැමිණෙන එකක් නොව භූමිකව මාංසිකව [මෘගාකාරව, NW] යක්ෂාකාරව තිබේ. මක්නිසාද ඊර්ෂ්‍යාවත් පක්ෂවාදිකමත් [කලහකාරිත්වයත්, NW] ඇති තැන, අවුල්කමත් සියලු නපුරු ක්‍රියාවලුත් ඇත්තේය.” (යාකොබ් 3:14-16) “කලහකාරි” යනුවෙන් පරිවර්තනය කර තිබෙන ග්‍රීක් වචනයෙහි ආත්මාර්ථකාමී අභිලාෂයන් ඇතුව සිටීම හා උසස් තැනක් ලබාගැනීමට කූට ලෙස සැලසුම් කිරීම යනාදි අදහස් ගැබ්ව තිබේ. යාකොබ් මෙවන් තත්වයක් ‘භූමිකව, මෘගාකාරව හා යක්ෂාකාරව’ තිබෙනවා කියා පවසන්නේ හොඳ හේතු ඇතිවයි. ඉතිහාසය පුරා සිටි ලෝක පාලකයන් කටයුතු කර තිබෙන්නේ කලහකාරි ලෙසය. හරියට වන සතුන් එකිනෙකා සමඟ පොරකනවා හා සමානයි. ඇත්තෙන්ම, කලහකාරිත්වය ‘භූමිකය,’ ‘මෘගාකාරය.’ එමෙන්ම ‘යක්ෂාකාරය.’ මෙම කූට විනාශකාරි ගතිලක්ෂණය මුලින්ම දිස් වූයේ බල තණ්හාවෙන් පිරි දේවදූතයෙකු තුළය. යෙහෝවා දෙවිට විරුද්ධ වීම නිසා සාතන් බවට පත් වූ මොහු භූතයන්ගේ පාලකයා වේ.

16. පළමු සියවසේ සිටි ඇතැම් ක්‍රිස්තියානීන් සාතන් තුළ තිබෙන ස්වභාවය විදහාපෙන්නුවේ කෙසේද?

16 කලහකාරි ස්වභාවයක් තිබීම සාමයට තර්ජනයක් වන නිසා එවන් ස්වභාවයක් තමන් තුළ ඇතිවීමට ඉඩ නොදෙන්න කියා යාකොබ් ක්‍රිස්තියානීන්ගෙන් මහත් ඕනෑකමින් ඉල්ලා සිටියේය. ඔහු තවදුරටත් මෙසේ පැවසුවේය. “නුඹලා අතරෙහි යුද්ධත් ඩබරත් කොයින්ද? ඒවා පැමිණෙන්නේ නුඹලාගේ අවයවයන් තුළෙහි යුද්ධකරන නුඹලාගේ තෘෂ්ණාවලින් [ඉඳුරන් පිනවීමට ඇති වන දැඩි ආශාව නිසා, NW] නොවේද?” (යාකොබ් 4:1) මෙහි සඳහන් “ඉඳුරන් පිනවීමට ඇති වන දැඩි ආශාව” යන්නෙන් අදහස් වන්නේ ද්‍රව්‍යමය දේවලට දක්වන දැඩි ආශාව හෝ මුල්තැන ගැනීමට, පාලනය කිරීමට හෝ බලය පෑමට තිබෙන ආශාව විය හැක. සිය සැබෑ අනුගාමිකයන් “කුඩා අය” මෙන් විය යුතු බව යේසුස් පැවසුවේය. එහෙත් සභාවේ සිටි සමහරු “කුඩා අය” මෙන් වෙනවා වෙනුවට සාතන්ගේ තෘෂ්ණාවන් ඉස්මතු කරමින් අන් අය ඉදිරියෙහි කැපීපෙනීමට තැත් කළහ. (ලූක් 9:48) එවන් ස්වභාවයක් නිසා සභාවේ සාමය නැති වී යා හැක.

17. සභාව තුළ සාමය ඇති කිරීමට අද සිටින ක්‍රිස්තියානීන්ට හැක්කේ කෙසේද?

17 අප ද්‍රව්‍යවාදය, ඊර්ෂ්‍යාව හා නිරර්ථක අභිලාෂයන් යනාදිය කෙරෙහි ඇති වන නැඹුරුවාවන්ට එරෙහිව සිටිය යුතුය. සභාවේ යම් කෙනෙක් යම් ක්‍රියාකාරකම්වලදී අපට වඩා දක්ෂ විය හැක. මෙවන් අවස්ථාවක අප අවංකව සාමය ඇති කරන්න වෑයම් කරනවා නම්, ඔහුගේ හැකියාවන් නිසා අපට සභාවේ තැනක් නැහැ කියා සිතන්නේ නැත. එමෙන්ම ඔවුන්ගේ චේතනා ගැන ප්‍රශ්න කරමින් අන් අය ඉදිරියෙහි අප ඔවුන්ව විවේචනය කරන්නේද නැත. අපට යම් විශේෂ හැකියාවක් තිබෙනවා නම්, අන් අය ඉදිරියෙහි කැපීපෙනීමට අපි එය භාවිත නොකරන්නෙමු. එමෙන්ම සභාවේ වර්ධනයට හේතුව අපේ දක්ෂකම හා හැකියාව බව වක්‍රාකාරව හෝ ඇඟවීමට තැත් කරන්නේ නැත. එවන් ස්වභාවයක් විදහාපෙන්වුවහොත් සාමය නොව, භේද ඇති විය හැක. සාමය ඇති කරන්නෝ උඩඟු ලෙස තමන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය නොකරති. එසේ කරනවා වෙනුවට, ඔවුහු නිහතමානි ලෙස තම සහෝදරයන්ට සේවය කිරීමටත් යෙහෝවාව ගෞරවයට පත් කිරීමටත් තම හැකියාවන් යොදාගනිති. වඩාත්ම වැදගත් දෙය වන්නේ හැකියාව නොව, සැබෑ ක්‍රිස්තියානියෙකුව හඳුනාගැනීමේ ප්‍රධාන ලක්ෂණය වන ප්‍රේමය බව ඔවුහු වටහාගනිති.—යොහන් 13:35; 1 කොරින්ති 13:1-3.

‘සාමය වඩවන අවේක්ෂකයන්’

18. වැඩිමහල්ලන් ඔවුනොවුන් අතර සාමයේ උන්නතිය තකා වැඩ කරන්නේ කෙසේද?

18 සභාව තුළ සාමය ඇති ඇති කරන්නන් වශයෙන් කටයුතු කිරීමේදී සභා වැඩිමහල්ලෝ මූලිකත්වය ගෙන කටයුතු කරති. යෙහෝවා සිය සෙනඟ ගැන මෙසේ පුරෝකථනය කළේය. “මම නුඹේ මුලාදෑනීන් [අවේක්ෂකයන්, NW] සමාදානයද නුඹේ ආණ්ඩුකාරයන් [වැඩ පවරන්නන්, NW] ධර්මිෂ්ඨකමද වෙන්ට සලස්වන්නෙමි.” (යෙසායා 60:17) මෙම අනාවැකිමය වදන්වලට එකඟව සභාවේ එඬේරු ලෙස සේවය කරන අය ඔවුනොවුන් අතරත් ඔවුන්ගේ භාරයේ සිටින රැළ අතරත් සාමය වඩවන්න වෑයම් කරති. ‘ඉහළින් පැමිණෙන ප්‍රඥාවේ’ ලක්ෂණ වන සමාදානය හා සාධාරණකම වැනි ගුණාංග විදහාපෙන්වීමෙන් ඔවුනොවුන් අතර සාමය පවත්වාගැනීමට වැඩිමහල්ලන්ට පුළුවන. (යාකොබ් 3:17) ඔවුන්ගේ පසුබිම් හා අද්දැකීම් එකිනෙකට වෙනස් වන නිසා ඇතැම් අවස්ථාවලදී එක් වැඩිමහල්ලෙකුගේ මතය තවත් වැඩිමහල්ලෙකුගේ මතයට වඩා වෙනස් විය හැක. එයින් අදහස් කරන්නේ ඔවුන් අතර සාමය නැති බවද? එවන් තත්වයක් නිසි ලෙස හසුරුවනු ලැබුවහොත්, සාමය රැකගත හැක. සාමය ඇති කරන්නෝ නිහතමානීව තම අදහස් ප්‍රකාශ කරන අතර, අන් අයගේ මතවලටද ගෞරවාන්විතව සවන් දෙති. තමාගේ අභිමතය ඉටු කරගැනීමට තැත් කරනවා වෙනුවට සාමය ඇති කරන්නෙක් යාච්ඤාපූර්වකව තම සහෝදරයන්ගේ අදහස්ද සැලකිල්ලට ගනියි. බයිබල් ප්‍රතිපත්ති කඩ නොවේ නම්, වෙනස් මත දැරීමට නිදහස තිබේ. අන් අය තමන්ගේ අදහස සමඟ එකඟ නොවන අවස්ථාවක සාමය ඇති කරන්නෙක් බහුතරයගේ තීරණය පිළිගනිමින් එය ඉටු කරගැනීමට සහයෝගය දෙයි. මෙසේ තමන් සාධාරණ පුද්ගලයෙකු බව ඔහු පෙන්වයි. (1 තිමෝති 3:2, 3) වඩා වැදගත් දෙය වන්නේ තමාගේ අභිමතය ඉටු කරගැනීම නොව, සාමය රැකගැනීම බව අද්දැකීම් ලත් අවේක්ෂකයෝ දනිති.

19. වැඩිමහල්ලන් සභාව තුළ සාමය ඇති කරන්නන් වශයෙන් කටයුතු කරන්නේ කෙසේද?

19 සභා සාමාජිකයන් දරන වෑයම් විවේචනය නොකර, ඒවාට සහයෝගය දීමෙන් වැඩිමහල්ලෝ සභාව තුළ තිබෙන සාමය තව තවත් වර්ධනය කිරීමට ක්‍රියා කරති. ඇතැම් අවස්ථාවලදී සමහර අයව නිවැරදි කිරීමට සිදු විය හැකි බව ඇත්තයි. (ගලාති 6:1) එනමුත් ක්‍රිස්තියානි අවේක්ෂකයෙකුගේ ප්‍රධානතම වගකීම වන්නේ අන් අයව හික්මවීම නොවේ. ඔහු නිතරම අන් අයව පැසසුමට ලක් කරයි. ප්‍රේමනීය වැඩිමහල්ලෝ අන් අයගේ යහපත් ගුණාංග දෙස බැලීමට වෑයම් කරති. සෙසු ක්‍රිස්තියානීන් වෙහෙස මහන්සි වී දරන වෑයම් අවේක්ෂකයන් අගය කරන අතර, සෙසු ඇදහිලිවන්තයන් ඔවුන්ගේ උපරිමය කරන බවට නිසැකකමක්ද ඔවුන්ට තිබේ.—2 කොරින්ති 2:3, 4.

20. සභාවේ සියලුදෙනාම සාමය ඇති කරන්නෝ නම්, එය සභාවට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?

20 මෙබැවින් පවුල තුළ, සභාව තුළ හා අපේ විශ්වාසයන් පිළි නොගන්න අය සමඟ කටයුතු කිරීමේදී සාමය ඇති කරගැනීමටත් එය දිගටම පවත්වාගැනීමටත් මහත් පරිශ්‍රමයක් දරමු. සාමය ඇති කිරීමට අපි උනන්දුවෙන් ක්‍රියා කරන්නෙමු නම්, සභාවේ ප්‍රීතියට දායක වීමට අපට පුළුවන. එමෙන්ම, එසේ කිරීමෙන් අපි බොහෝ ආකාරවලින් ආරක්ෂා වන්නෙමු. ශක්තිමත් වන්නෙමු. මේ ගැන ඊළඟ ලිපියේදී සලකා බලමු.

ඔබට මතකද?

• සාමය ඇති කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

• සාක්ෂිකරුවන් නොවන අය සමඟ කටයුතු කිරීමේදී අපට සාමය ඇති කළ හැක්කේ කෙසේද?

• පවුල තුළ සාමය ඇති කළ හැක්කේ කිනම් ආකාරවලින්ද?

• වැඩිමහල්ලන් සභාව තුළ සාමයේ උන්නතිය තකා වැඩ කරන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[9වන පිටුවේ පින්තූරය]

සාමය ඇති කරන්නෝ හිස උදුම්මාගෙන කටයුතු නොකරති

[10වන පිටුවේ පින්තූර]

ක්‍රිස්තියානීහු දේවසේවයේදී, නිවසේදී හා සභාවේදී සාමය ඇති කිරීමට වෑයම් කරති