Skip to content

පටුනට යන්න

අපව පොහොසත් කරවන යෙහෝවාගේ ආශීර්වාද

අපව පොහොසත් කරවන යෙහෝවාගේ ආශීර්වාද

අපව පොහොසත් කරවන යෙහෝවාගේ ආශීර්වාද

‘යෙහෝවාගේ ආශීර්වාදය පොහොසත්කම ලබා දෙන්නේය. ඔහු ඊට දුක එකතු නොකරන්නේය.’—හිතෝපදේශ 10:22.

1, 2. සතුට ද්‍රව්‍යමය වස්තුව සමඟ අත්වැල් බැඳ නොගන්නේ මන්ද?

ද්‍රව්‍යවාදය අද බොහෝදෙනෙකුගේ ජීවිත කෙරෙහි ඇති කරන්නේ ප්‍රබල බලපෑමක්. ඒත්, ඔවුන්ව සතුටින් තබන්න ද්‍රව්‍යමය දේවලට හැකි වී තිබෙනවාද? “තමන් අද්දකින දේවල් ගැන මිනිසුන් අද වගේ දුකින් ඉන්න කාලයක් [මට] මතක නැහැ” කියා ඕස්ට්‍රේලියාවේ සතිපතා පළ වන සඟරාවක (The Australian Women’s Weekly) සඳහන් වුණා. “මිනිස්සු අද්දකින්නේ බලාපොරොත්තු වන දෙයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. ඕස්ට්‍රේලියාව සතුටින් ජීවත් වෙන්න පුළුවන් බොහොම ධනවත් රටක් කියලයි අපිට කියන්නේ. . . . ඒත්, හැම කෙනෙක් තුළම වගේ තිබෙන්නේ සර්ව අශුභවාදී අදහස්. තමන්ට යම් දෙයක් අහිමි වී තිබෙනවා කියා ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම හැඟෙනවා. ඒත්, ඒ මොකක්ද කියල ඔවුන්ට හරියටම විස්තර කරන්න බැහැ” කියා එහි තවදුරටත් පැවසෙනවා. ජීවිතය හා සතුට, අප සතු ද්‍රව්‍යමය දේවල ප්‍රතිඵලයක් වශයෙන් භුක්ති විඳින දේවල් නොවේ කියා ශුද්ධ ලියවිල්ල පෙන්වා දෙනවා. එය මොනතරම් සත්‍යයක්ද!—දේශනාකාරයා 5:10; ලූක් 12:15.

2 ලබන්න පුළුවන් උතුම්ම සතුට, භුක්ති විඳිය හැකි වන්නේ දෙවිගේ ආශීර්වාද ලැබීමේ ප්‍රතිඵලයක් හැටියට කියායි බයිබලය අපට උගන්වන්නේ. මේ ගැන හිතෝපදේශ 10:22හි මෙසේ සඳහන් වෙනවා. ‘යෙහෝවාගේ ආශීර්වාදය පොහොසත්කම ලබා දෙන්නේය. ඔහු ඊට දුක එකතු නොකරන්නේය.’ බොහෝ අවස්ථාවලදී මිනිසුන් දුක් වේදනා විඳීමට හේතුව, ඔවුන් ගිජු ලෙස ද්‍රව්‍යමය සැප සම්පත් අත් කරගන්ට යෑමයි. මේ ගැන ප්‍රේරිත පාවුල් උචිත ලෙස මෙසේ අනතුරු ඇඟෙව්වා. “ධනවත්වන්ට ආශා ඇත්තෝ පරීක්ෂාවකද මලපතකද මනුෂ්‍යයන් නාස්තියෙත් විනාශයෙත් ගිල්වන්නාවූ, අඥානවූ, අන්තරාය සහිත බොහෝ තෘෂ්ණාවලද වැටෙන්නෝය. මක්නිසාද වස්තු තෘෂ්ණාව සියලු ආකාර නපුරේ මුලක්ය. සමහරු ඊට ආලයවී ඇදහිල්ලෙන් මුළාව ගොස්, බොහෝ වේදනාවලින් තුමූම ඇනගත්තෝය.”—1 තිමෝති 6:9, 10.

3. දෙවිගේ සේවකයන් පීඩා අද්දකින්නේ මන්ද?

3 ‘දිගටම යෙහෝවාගේ හඬට සවන් දෙන’ සෑම කෙනෙක් වෙතම දුකෙන් තොර ආශීර්වාද පැමිණෙනවා. (ද්විතීය කථාව 28:2) ඒත් යමෙක් මෙසේ අසන්න පුළුවන්. ‘යෙහෝවා ලබා දෙන ආශීර්වාදවලට කිසිම වේදනාවක් අයත් වෙන්නේ නැත්නම්, දෙවිගේ සේවකයන් හුඟදෙනෙක් දුක් වේදනා විඳින්නේ ඇයි?’ අපි අද්දකින පීඩා දුෂ්කරතාවලට දෙවි ඉඩහැර තිබුණත්, ඇත්තෙන්ම ඒවා ඇති කරන්නේ සාතන් විසින් සහ ඔහුගේ පාලනය යටතේ පවතින දුෂ්ට ක්‍රමය මගිනුයි. එමෙන්ම අපේම අසම්පූර්ණ ස්වභාවයද එයට හේතු වන බව බයිබලය පෙන්වා දෙනවා. (උත්පත්ති 6:5; ද්විතීය කථාව 32:4, 5; යොහන් 15:19; යාකොබ් 1:14, 15) ‘සෑම යහපත් දීමේද [ත්‍යාගවලද, NW] සෑම සම්පූර්ණ දීමනාවලද’ උල්පත යෙහෝවායි. (යාකොබ් 1:17) එනිසා ඔහුගේ ආශීර්වාදවලින් කවදාවත් දුකක් ඇති වෙන්නේ නැහැ. මේ නිසා දෙවිගෙන් පැමිණෙන සම්පූර්ණ දීමනා සමහරක් ගැන දැන් අපි සලකා බලමු.

දෙවිගේ වචනය අමිල ත්‍යාගයකි

4. මේ ‘අන්තිම කාලයේදී’ යෙහෝවාගේ සෙනඟ භුක්ති විඳින ආශීර්වාදය හා අමිල ත්‍යාගය කුමක්ද?

4 “අන්තිම කාලය” ගැන දානියෙල්ගේ අනාවැකියේ මෙසේ සඳහන් වෙනවා. ඒ කාලයේදී ‘[සැබෑ, NW] දැනගැන්ම වැඩි වන්නේය.’ කෙසේවෙතත් එම වදන් අදාළ වන්නේ කාට පමණක්ද කියා මෙම වදන්වලින් පැහැදිලියි. “දුෂ්ටයන්ගෙන් කිසිවෙක් තේරුම් නොගන්නෝය. නුමුත් නුවණ ඇත්තෝ තේරුම්ගනිති.” (දානියෙල් 12:4, 10) ඒ ගැන ටිකක් සිතා බලන්න! දේවවචනය තුළ විශේෂයෙන්ම, එහි අඩංගු අනාවැකිවල දෙවිගේ ප්‍රඥාව ඇතුළත් වී තිබෙන්නේ, එහි සැබෑ අර්ථය යෙහෝවාගේ සේවකයන්ට පමණක් තේරුම්ගත හැකි වන ලෙසයි. දුෂ්ටයන්ට එය තේරුම්ගත නොහැකියි. ඒ නිසයි දෙවිගේ පුත්‍රයා මෙසේ යාච්ඤා කළේ. “ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීවූ පියාණෙනි, [ඔබ] ප්‍රඥාවන්තයන්ටත් නුවණ ඇත්තන්ටත් මේ කාරණා සඟවා බාලයන්ට එළිදරව්කළ බැවින් ඔබට ස්තුතිකරමි.” (ලූක් 10:21) අමිල ත්‍යාගයක් වන දෙවිගේ ලිඛිත වචනය වන බයිබලය අපට ලැබී තිබීමත්, යෙහෝවා ආත්මික කාරණා පිළිබඳ අවබෝධය ලබා දී තිබෙන අය අතර සිටින්න ලැබීමත් මහත් ආශීර්වාදයක් නොවේද!—1 කොරින්ති 1:21, 27, 28; 2:14, 15.

5. ප්‍රඥාව යනු කුමක්ද? අපට එය අත් කරගත හැක්කේ කෙසේද?

5 “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” අපිට ලැබෙන්නේ නැත්නම් කවදාවත් ආත්මික කාරණා පිළිබඳ තීක්ෂ්ණ බුද්ධියක් අපිට ලබාගන්න බැහැ. (යාකොබ් 3:17) ප්‍රඥාව කියන්නේ දැනුම හා අවබෝධය යොදාගනිමින් ගැටලු විසඳීමට, අනතුරු වැළැක්වීමට හෝ මඟහැරීමට, ඉලක්ක අත් කරගැනීමට හා නිවැරදි උපදෙස් සැපයීමට තිබෙන හැකියාවයි. දිව්‍ය ප්‍රඥාව අපට ලබාගන්න පුළුවන් කොහොමද? මේ ගැන හිතෝපදේශ 2:6හි මෙසේ සඳහන් වෙනවා. ‘මක්නිසාද ප්‍රඥාව දෙන්නේ යෙහෝවාය. ඔහුගේ මුඛයෙන් දැනගැන්මද ඥානයද පැමිණෙන්නේය.’ අපි ප්‍රඥාව ඉල්ලමින් අත්නෑර යාච්ඤා කරනවා නම්, යෙහෝවා සාලමොන්ට “ප්‍රඥාවන්ත නුවණැති සිතක්” ලබා දුන්නා වගේ අපටත් ප්‍රඥාව දීමෙන් ආශීර්වාද කරයි. (1 රාජාවලිය 3:11, 12; යාකොබ් 1:5-8) ප්‍රඥාව ලබාගැනීමට නම් නිතිපතා දෙවිගේ වචනය අධ්‍යයනය කරමින් හා අදාළ කරගනිමින් දිගටම ඔහුට සවන් දිය යුතුයි.

6. දෙවිගේ නීති හා ප්‍රතිපත්ති අපේ ජීවිතවලට අදාළ කරගැනීම නැණවත් දෙයක් වන්නේ මන්ද?

6 බයිබලයේ සඳහන් නීති හා ප්‍රතිපත්තිවලින් දිව්‍ය ප්‍රඥාව දැකගන්න පුළුවන්. එම නීති හා ප්‍රතිපත්ති අපට ශාරීරිකව, මානසිකව, චිත්තවේගීයව හා ආත්මිකව බොහෝ ප්‍රයෝජන ගෙන දෙයි. ගීතිකාකරු යෝග්‍ය ලෙස මෙසේ ගායනා කළා. “[යෙහෝවාගේ] ව්‍යවස්ථාව සම්පූර්ණය, ආත්මය ප්‍රාණවත්කරන්නේය. [යෙහෝවාගේ] සාක්ෂිය සත්‍යය, නුවණ නැත්තන් ඥානවත්කරන්නේය. [යෙහෝවාගේ] පනත් සාධාරණය, සිත ප්‍රීතිකරවන්නේය. [යෙහෝවාගේ] ආඥාව පවිත්‍රය, ඇස් එළියකරන්නේය. [යෙහෝවා] කෙරෙහි භය පිරිසිදුය, සදාකල් පවතින්නේය. [යෙහෝවාගේ] විනිශ්චයෝ සැබෑය, සම්පූර්ණයෙන්ම ධර්මිෂ්ඨය. ස්වර්ණයටත්, එසේය අනර්ඝ ස්වර්ණ රාශියකටත් වඩා ඊට ආශාවිය යුතුය.”—ගීතාවලිය 19:7-10; 119:72.

7. දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති නොසලකා හැරීමේ ප්‍රතිවිපාක මොනවාද?

7 දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති නොසලකා හරින අය සොයන සතුට හා නිදහස ඔවුන්ට ලැබී නැහැ. තමා වපුරන දෙය කපාගන්න තමාට සිදු වන නිසා, දෙවිට සරදම් කරන්න කාටවත් නොහැකි බව ඔවුන් කවදා හෝ දවසක තේරුම්ගනියි. (ගලාති 6:7) බයිබල් ප්‍රතිපත්ති නොසලකා හරින බොහෝදෙනෙකු නෙළාගන්නේ අනවශ්‍ය ගැබ්ගැනීම්, සමාජයේ පිළිකුලට ලක් වන රෝග හා සෞඛ්‍යය දුර්වල කරවන ඇබ්බැහි වීම් වැනි ඛේදජනක ප්‍රතිවිපාකයි. ඔවුන් පසුතැවිලි වී තමන්ගේ ජීවිත වෙනස් කර නොගන්නේ නම්, අවසානයේදී ඔවුන්ට අත් වන්නේ මරණයයි. නැත්නම් දෙවි ගෙනෙන විනාශයට ගොදුරු වීමයි.—මතෙව් 7:13, 14.

8. දෙවිගේ වචනයට ඇලුම් කරන්නන් සන්තෝෂයෙන් සිටින්නේ මන්ද?

8 දෙවිගේ වචනයට ඇලුම් කරමින් එහි කියා තිබෙන දේවල් අනුව ජීවත් වෙන අය කරා දැනුත් අනාගතයේදීත් මහත් ආශීර්වාද ගලා එනවා. දෙවිගේ නීති හා ප්‍රතිපත්ති නිසා තමන් නිදහසක් ලබා තිබෙන බව ඔවුන්ට දැනෙනවා. එමෙන්ම සැබෑ ප්‍රීතිය භුක්ති විඳින ඔවුන් පාපයේ හා මරණයේ අමිහිරි වේදනාවලින් නිදහස් වන දවස එනතුරු මහත් උනන්දුවෙන් බලා සිටිනවා. (රෝම 8:20, 21; යාකොබ් 1:25) මේ බලාපොරොත්තුව රඳා පවතින්නේ දෙවි මිනිසුන්ට ලබා දී තිබෙන ඉතාමත් ප්‍රේමනීය ත්‍යාගය වන ඔහුගේ ඒකජාතක පුත් යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාව මතයි. ඒ නිසා, එම බලාපොරොත්තුවේ ඉටුවීම ගැන කිසිම සැකයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. (මතෙව් 20:28; යොහන් 3:16; රෝම 6:23) එවැනි උතුම් ත්‍යාගයකින් පැහැදිලි වන්නේ දෙවි මිනිසුන්ට ඉමහත් ප්‍රේමයක් දක්වන බවයි. ඒ වගේම යෙහෝවාට දිගටම සවන් දෙන අයට නිමක් නැති ආශීර්වාද ලැබෙන බවට නිසැකකමක්ද එම උතුම් ත්‍යාගය මගින් ඇති කරවයි. —රෝම 8:32.

ශුද්ධාත්මය නමැති ත්‍යාගය අගය කරමු

9, 10. ශුද්ධාත්මය නමැති යෙහෝවාගේ ත්‍යාගය අපට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද? මෙයට උදාහරණයක් සපයන්න.

9 අපි අගය කළ යුතු දෙවිගේ තවත් ප්‍රේමනීය දීමනාවක් නම් ඔහුගේ ශුද්ධාත්මයයි. ප්‍රේරිත පේතෘස් පො.යු. 33 පෙන්තකොස්ත දවසේදී යෙරුසලමෙහි එක්රැස් වී සිටිය විශාල පිරිසගෙන් මෙසේ ඕනෑකමින් ඉල්ලා සිටියා. ‘නුඹලා සියල්ලෝම පසුතැවිලිව, පව් කමාව පිණිස යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් බව්තීස්ම වන්න. එවිට ශුද්ධාත්ම දීමනාව නුඹලා ලබන්නහුය.’ (ක්‍රියා 2:38) අදදින තමන්ට කැප වී සේවය කරන සිය සේවකයන්ට යෙහෝවා ශුද්ධාත්මය ලබා දෙනවා. ශුද්ධාත්මය ඉල්ලමින් යාච්ඤා කරන ඔවුන්ට යෙහෝවාගේ කැමැත්ත කිරීමට තිබෙන්නේ සැබෑ වුවමනාවක්. (ලූක් 11:9-13) විශ්වයේ තිබෙන ප්‍රබලතම බලය වන දෙවිගේ ශුද්ධාත්මය නොහොත් ක්‍රියාකාරි බලය නිසා, මුල් ක්‍රිස්තියානීන් ඇතුළු පුරාණයේ විසූ ඇදහිලිවන්ත පුරුෂයන්ට හා ස්ත්‍රීන්ට ඉමහත් ශක්තියක් ලැබුණා. (සෙකරියා 4:6; ක්‍රියා 4:31) අපව තැතිගන්වන බාධකවලට හා අභියෝගවලට මුහුණ දීමට අපටත් සිදු වෙනවා. ඒ වුණත්, එදා වගේම අදත් ශුද්ධාත්මය අපව ශක්තිමත් කරනවා.—යෝවෙල් 2:28, 29.

10 ලෝරල්ගේ අද්දැකීම සලකා බලන්න. පෝලියෝ වැළඳී සිටි ඇය අවුරුදු 37ක්ම ජීවත් වුණේ කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයක් ඇතුලෙයි. * ඇය ඉතාමත් අමාරු තත්වයක සිටියත් මිය යන තෙක්ම ජ්වලිතව දෙවිට සේවය කළා. ලෝරල් ජීවත්ව සිටි කාලය පුරාම යෙහෝවාගේ මහත් ආශීර්වාද අද්දැක්කා. දවසේ පැය 24 පුරාම ශ්වසන යන්ත්‍රයක් ඇතුලේ දිවි ගෙවන්න සිදු වුණත්, බයිබල් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමට 17දෙනෙකුට උපකාර කරන්න ඇයට හැකි වුණා! ඇගේ තත්වය ගැන සිතා බලද්දී ප්‍රේරිත පාවුල්ගේ මෙම වදන් සිහිපත් වෙනවා. “මම දුර්වලව සිටින කලම ශක්තිමත්ව සිටිමි.” (2 කොරින්ති 12:10) ශුභාරංචිය දේශනා කිරීමේදී අපි යම් සාර්ථකත්වයක් ලබන්න පුළුවන්. ඒත් එයට ප්‍රධානතම හේතුව අපේම හැකියාව හෝ දක්ෂකම නොව, දෙවිගේ හඬට දිගටම සවන් දෙන අයට දෙවි සපයන ශුද්ධාත්මයයි.—යෙසායා 40:29-31.

11. දෙවිගේ ආත්මය මගින් “අලුත් පෞද්ගලිකත්වය” පැළඳගන්න අය තුළ ඇති කරන්නේ කිනම් ගුණාංගද?

11 දෙවිට සවන් දෙමින් ඔහු කියන දේවල් අපි කරනවා නම්, ඔහුගේ ආත්මය අප තුළ ක්‍රියා කරනවා. එහි ප්‍රතිඵලයක් හැටියට ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, ඇදහිල්ල, මෘදුකම හා ආත්ම දමනය යන ගුණාංග අප තුළ ඇති වෙයි. (ගලාති 5:22, 23) මෙම ‘ආත්මයේ ඵල’ ක්‍රිස්තියානීන් පැළඳගන්නා ‘අලුත් පෞද්ගලිකත්වයේ [NW]’ කොටසක්. එහි ප්‍රතිඵලයක් ලෙස කලින් තමන් තුළ තිබූ තිරිසන් ගතිපැවතුම් ඔවුන් සම්පූර්ණයෙන්ම තම ජීවිතවලින් ඉවත් කරගෙන සිටියි. (එපීස 4:20-24; යෙසායා 11:6-9) එම ඵලවලින් ඉතා වැදගත්ම ඵලය වන්නේ “එක්සත්කමේ පරිපූර්ණ බන්ධනයක්” වන ප්‍රේමයයි.—කොලොස්සි 3:14NW.

ක්‍රිස්තියානි ප්‍රේමය අගය කළ යුතු ත්‍යාගයකි

12. තබීතා ඇතුළු පළමු සියවසේ සිටි ක්‍රිස්තියානීන් ප්‍රේමය පෙන්නුවේ කෙසේද?

12 අපට යෙහෝවාගෙන් ලැබී තිබෙන තවත් අනගි ත්‍යාගයක් වන්නේ ක්‍රිස්තියානි ප්‍රේමයයි. අපි බෙහෙවින් අගය කරන මෙය රැකගැනීමට නිතරම වෑයම් කරමු. එම ප්‍රේමය ප්‍රතිපත්ති මගින් පාලනය වුවත්, නෑදෑයන් හිත මිතුරන් සමඟ තිබෙන සබඳතාවලට වඩා කිට්ටු බැඳීමක් ඇදහිලිවන්තයන් අතර ඇති කිරීමට තරම් එය ප්‍රබලයි. (යොහන් 15:12, 13; 1 පේතෘස් 1:22) උදාහරණයක් හැටියට, පළමු සියවසේ සිටි යහපත් ක්‍රිස්තියානි ස්ත්‍රියක් වූ තබීතා ගැන සලකා බලන්න. ඇය සභාවේ සිටි වැන්දඹුවන්ට ‘බොහෝ යහපත් ක්‍රියා කරමින් හා දයාව පෙන්වමින්’ සිටියා. (ක්‍රියා 9:36NW) මේ වැන්දඹු ස්ත්‍රීන්ට නෑදෑයන් සිටින්න ඇති. ඒත් ඔවුන්ට උපකාර කිරීමටත් ඔවුන්ව දිරිමත් කිරීමටත් තමාට කරන්න පුළුවන් දේවල් තබීතා කළා. (1 යොහන් 3:18) තබීතා තැබුවේ මොනතරම් කදිම ආදර්ශයක්ද! පාවුල් වෙනුවෙන් “තමුන්ගේ බෙල්ල [දෙන්න]” ප්‍රිස්කාව හා අකිලාව පෙලඹුවේ සහෝදර ප්‍රේමයයි. පාවුල් රෝමයේ සිරගතව සිටියදී ඔහුට උපකාර කරන්න එපප්‍රස්, ලූක්, ඔනේසිපොරස් හා තවත් අය පෙලඹුණෙත් එම ප්‍රේමය නිසයි. (රෝම 16:3, 4; 2 තිමෝති 1:16; 4:11; පිලෙමොන් 23, 24) අද සිටින ක්‍රිස්තියානීන්ද එලෙසම ‘එකිනෙකාට ප්‍රේම කරයි.’ මෙසේ යේසුස්ගේ සැබෑ ගෝලයන් හැටියට ඔවුන්ව හඳුනාගත හැකි වන්නේ දෙවිගෙන් ලැබී තිබෙන ත්‍යාගයක් වන එම ප්‍රේමය මගිනුයි.—යොහන් 13:34, 35.

13. අපගේ ක්‍රිස්තියානි සහෝදරත්වය අපි අගය කොට සලකන බව පෙන්විය හැක්කේ කෙසේද?

13 ක්‍රිස්තියානි සභාවේ තිබෙන ප්‍රේමය ඔබ ඉතා අගය කොට සලකනවාද? ලොව පුරා ව්‍යාප්ත වී ඇති ක්‍රිස්තියානි සහෝදරත්වයක් අපට තිබීම ගැන ඔබ ස්තුතිවන්ත වෙනවාද? මෙයත් අපේ ප්‍රීතියට හේතු වන දෙවිගෙන් ලැබෙන අනගි ත්‍යාගයක්. අපි මෙය අගය කරන බව පෙන්වන්නේ කෙසේද? දෙවිට පරිශුද්ධ සේවය පිරිනැමීමෙන්ද, ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වීමෙන්ද, ප්‍රේමය ඇතුළු දෙවිගේ ආත්මයේ සෙසු ඵල විදහාපෙන්වීමෙන්ද අප එය අගය කරන බව පෙන්වන්න පුළුවන්.—පිලිප්පි 1:11; හෙබ්‍රෙව් 10:24, 25.

“තෑගි වශයෙන් මනුෂ්‍යයන්”

14. වැඩිමහල්ලෙකු හෝ සභා සේවකයෙකු වශයෙන් සේවය කිරීම සඳහා සහෝදරයෙකු සපුරාලිය යුතු සුදුසුකම් මොනවාද?

14 වැඩිමහල්ලන් හෝ සභා සේවකයන් ලෙස කටයුතු කරමින් යෙහෝවාට නමස්කාර කරන්නන් වෙනුවෙන් සේවය කිරීමට ආශාවක් තිබෙන ක්‍රිස්තියානි පුරුෂයන්ට ඇත්තේ යහපත් ඉලක්කයක්. (1 තිමෝති 3:1, 8) මෙම සේවා වරප්‍රසාද අත් කරගැනීම සඳහා සුදුසුකම් ලබන්න නම්, සහෝදරයෙක් ආත්මික පුද්ගලයෙක් විය යුතුයි. ඒ වගේම ඔවුන්ට ශුද්ධ ලියවිලි ගැන හොඳ දැනුමක් තිබිය යුතු අතර, ක්ෂේත්‍ර සේවයේද ජ්වලිතව හවුල් විය යුතුයි. (ක්‍රියා 18:24; 1 තිමෝති 4:15; 2 තිමෝති 4:5) උඩඟු, හිතුවක්කාර හා අභිලාෂකාමී පුද්ගලයන් කරා දෙවිගේ ආශීර්වාද නොපැමිණෙන නිසා, එම සේවා වරප්‍රසාදය ලබන සහෝදරයා යටහත්කම, නිහතමානිකම හා ඉවසිල්ල යන ගුණාංග විදහාපෙන්විය යුතුයි. (හිතෝපදේශ 11:2; හෙබ්‍රෙව් 6:15; 3 යොහන් 9, 10) ඔහු විවාහකයෙක් නම්, තමාගේ පවුලේ අයව හොඳින් හසුරුවාගත හැකි පවුල් මූලිකයෙක් විය යුතුයි. (1 තිමෝති 3:4, 5, 12) ඔහු ආත්මික වස්තු අගය කරන නිසා යෙහෝවාගේ ආශීර්වාද නිතැතින්ම ඔහු කරා පැමිණෙයි. —මතෙව් 6:19-21.

15, 16. තමන් ‘තෑගි වශයෙන් දී තිබෙන මනුෂ්‍යයන්’ බව තම ක්‍රියාවලින් පෙන්වන්නේ කවුද? මෙයට උදාහරණ සපයන්න.

15 ශුභාරංචිය දේශනා කරන්නන්, එඬේරුන් හා ගුරුවරුන් ලෙස සේවය කරන්න මහත් පරිශ්‍රමයක් දැරීමෙන්, සභාවේ වැඩිමහල්ලන් ‘තෑගි වශයෙන් දී තිබෙන මනුෂ්‍යයන්’ ලෙස තමන්ව අගය කිරීමට අන් අයට හොඳ හේතු සැපයිය හැකියි. (එපීස 4:8, 11NW) ඔවුන්ගේ ප්‍රේමනීය සේවයෙන් ප්‍රයෝජන ලබන අය සැම විටම අගය ප්‍රකාශ නොකළත්, විශ්වාසවන්තව සේවය කරන වැඩිමහල්ලන් කරන සෑම දෙයක්ම යෙහෝවා දකිනවා. තමාගේ සෙනඟට සේවය කිරීමෙන් එවන් වැඩිමහල්ලන් තම නාමයට පෙන්වන ප්‍රේමය යෙහෝවා අමතක කරන්නේ නැහැ.—1 තිමෝති 5:17; හෙබ්‍රෙව් 6:10.

16 මොළයේ සැත්කමක් කිරීමට ආසන්නව සිටි ක්‍රිස්තියානි ගැහැනු ළමයෙකුව බලන්න ගිය වැඩිමහල්ලෙකු ගැන සලකා බලන්න. මොහු සභාවේ වෙහෙස මහන්සි වී වැඩ කරන වැඩිමහල්ලෙක්. ඒ ගැහැනු ළමයාගේ පවුලේ මිතුරියක් මෙසේ ලිව්වා. “ඔහු හරිම කරුණාවන්තයි; ඕනෑම වේලාවක උපකාර කරන්න සූදානම්; ඒ වගේම අනිත් අය ගැන හුඟාක් සැලකිලිමත් වෙන කෙනෙක්. අපිත් එක්ක එකතු වෙලා යාච්ඤාවක් කරන්නද කියා එයා අපෙන් ඇහැව්වා. එයා යාච්ඤා කරද්දී, තාත්තා [යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් නොවෙයි] ඉකි ගසමින් ඇඬුවා. ඇඳ ළඟ හිටිය හැම කෙනෙකුගේම ඇස්වලින් කඳුළු ගලා ආවා. ඒ වැඩිමහල්ලා කරපු යාච්ඤාවෙන් අපේ හදවත්වලට දැනුණු සහනය කියා නිම කරන්න බැහැ. අපි වේදනාවෙන් හිටිය වේලාවේ එයාව එවල යෙහෝවා පෙන්නුවේ මොනතරම් මහත් ප්‍රේමයක්ද!” රෝගීව සිටි තවත් සාක්ෂිකාරියක් ඇයව බලන්න ආ වැඩිමහල්ලන් ගැන මෙහෙම කිව්වා. “මම හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉන්නකොට එයාලා මාව බලන්න ආපු වේලාවේ, මට දැනුණේ පුදුම ශක්තියක්. මොන දේ වුණත් ඉවසගෙන ඉන්න පුළුවන් තරම් ශක්තියක් මා තුළ ඇති වුණා. මගේ හිතට ලොකු සහනයකුත් දැනුණා.” මේ වැඩිමහල්ලන් පෙන්වූ ප්‍රේමනීය සැලකිල්ල සල්ලිවලට ගන්න පුළුවන්ද? කවදාවත්ම බැහැ! ඒක යෙහෝවා ක්‍රිස්තියානි සභාව මාර්ගයෙන් ලබා දෙන තෑග්ගක්.—යෙසායා 32:1, 2.

දේවසේවය ත්‍යාගයකි

17, 18. (අ) යෙහෝවා ඔහුගේ සියලුම සේවකයන්ට ලබා දී තිබෙන ත්‍යාගය කුමක්ද? (ආ) අපේ සේවය කරගෙන යෑම සඳහා දෙවි සපයා තිබෙන උපකාර මොනවාද?

17 මුළු විශ්වයේම මහෝත්තම තැනැත්තා වන යෙහෝවාට සේවය කරන එක තරම් උසස් ගෞරවයක් වෙන කිසිම දෙයකින් මිනිසුන්ට ලබන්න බැහැ. (යෙසායා 43:10; 2 කොරින්ති 4:7; 1 පේතෘස් 2:9) දෙවිට සේවය කරන්න අවංක ආශාවක් තිබෙන බාල මහලු, තරුණ, ස්ත්‍රී පුරුෂ සෑම කෙනෙකුටම දේවසේවයේ හවුල් වීමේ වරප්‍රසාදය විවෘතයි. මේ අනගි ත්‍යාගයෙන් ඔබ ප්‍රයෝජන ගන්නවාද? මේ සඳහා තමන්ට ප්‍රමාණවත් සුදුසුකම් නැහැයි කියා හිතෙන නිසා සමහරුන් දේවසේවයේ හවුල් වන්න මැළි වෙනවා. නමුත් මේ දෙය මතක තබාගන්න. යෙහෝවා ඔහුට සේවය කරන අයට ශුද්ධාත්මය ලබා දෙනවා. ඒ වගේම අප තුළ තිබිය හැකි ඕනෑම අඩුවක් පුරවන්න එයට පුළුවන්.—යෙරෙමියා 1:6-8; 20:11.

18 තම රාජ්‍යය ගැන දේශනා කිරීමේ කාර්යය යෙහෝවා විශ්වාසවන්තව බාර දී තිබෙන්නේ, ඔහුගේ යටහත් සේවකයන්ට මිසක්, තමන්ගේම හැකියාවන් මත රඳා සිටින උඩඟු පුද්ගලයන්ට නොවෙයි. (1 කොරින්ති 1:20, 26-29) තමන්ගේ සීමාවන් පිළිගන්න නිහතමානී යටහත් පහත් පුද්ගලයන් දේවසේවයේ හවුල් වන විට දෙවිගේ උපකාරය මත රඳා සිටිනවා. ‘විශ්වාස වූ ගබඩාකාරයා’ මගින් දෙවි සපයන ආත්මික උපකාරයද ඔවුන් හුඟාක් අගය කරනවා.—ලූක් 12:42-44; හිතෝපදේශ 22:4.

ප්‍රීතිමත් පවුල් ජීවිතය මාහැඟි ත්‍යාගයකි

19. දරුවන්ව හොඳින් හදාවඩා ගැනීම සඳහා කළ යුතු දේවල් මොනවාද?

19 විවාහය හා ප්‍රීතිමත් පවුල් ජීවිතය දෙවිගෙන් ලැබෙන ත්‍යාගයක්. (රූත් 1:9; එපීස 3:14, 15) දරුවන්ද ‘යෙහෝවා දෙන අනගි උරුමයක්.’ දෙවිව ප්‍රසන්න කරන ගුණාංග සාර්ථක ලෙස තම දරුවන් තුළ ඇති කරවන දෙමාපියන් ඒ තුළින් ලබන්නේ ඉමහත් ප්‍රීතියක්. (ගීතාවලිය 127:3) ඔබ දෙමාපියෙක් නම්, දෙවිගේ වචනයේ කියා තිබෙන විදිහට ඔබේ දරුවන්ව පුහුණු කරමින් ඔහුගේ හඬට සෑමදාම සවන් දෙන්න. එවැනි දෙමාපියන් යෙහෝවාගේ උපකාරය හා මහඟු ආශීර්වාද ලබන බව නිසැකයි.—හිතෝපදේශ 3:5, 6; 22:6; එපීස 6:1-4.

20. සත්‍යය නමස්කාරය අත්හැර දමා ගිය දරුවන් සිටින දෙමාපියන්ට සැනසිල්ලක් විය හැක්කේ කුමක්ද?

20 දේවබියැති දෙමාපියන් තම යුතුකම් නොපිරිහෙළා ඉටු කළත්, සමහර දරුවන් ලොකු මහත් වුණාම සත්‍යය අත්හැර යන්න පුළුවන්. (උත්පත්ති 26:34, 35) ඒක දෙමාපියන්ට දරාගන්න බැරි තරම් වේදනාවක්. (හිතෝපදේශ 17:21, 25) මේ වගේ අවස්ථාවක බලාපොරොත්තු සියල්ලම අත්හැර දමන්නේ නැතුව, යේසුස් පැවසූ අකීකරු පුත්‍රයාගේ උපමාව මතක් කරගැනීමෙන් සහනයක් ලබන්න පුළුවන්. ඒ උපමාවේ සඳහන් පුත්‍රයා නිවස අතහැර දමා ගොස් හිතුවක්කාර ජීවිතයක් ගත කළත්, කාලයකට පස්සේ පියාගේ නිවසට ආපසු ආවා. පියා ඔහුව පිළිගත්තේ මහත් ප්‍රීතියකින් හා ප්‍රේමයකිනුයි. (ලූක් 15:11-32) මොනව වුණත්, යෙහෝවා තමන්ගේ තත්වය තේරුම්ගන්න බවටත්, ඔහුගේ ප්‍රේමනීය සැලකිල්ල හා ඔහු දිගටම සපයන උපකාරය තමන්ට ලැබෙන බවටත් නිසැක වන්න ඇදහිලිවන්ත ක්‍රිස්තියානි දෙමාපියන්ට හැකියි.—ගීතාවලිය 145:14.

21. අපි සවන් දිය යුත්තේ කාටද? ඒ ඇයි?

21 අපේ ජීවිතයේ ඇත්තටම වැදගත් දෙය වන්නේ කුමක්ද කියා අපි එක් එක්කෙනා තීරණය කළ යුතුයි. අපටත් අපේ පවුලේ අයටත් වේදනා ඇති කළ හැකි ද්‍රව්‍යමය දේවල් පසුපස අපි හඹා යමින් සිටිනවාද? එහෙම නැත්නම්, අපි ‘ආලෝකවල පියාණන් කෙරෙන් ඉහළින් බැස එන’ ‘යහපත් ත්‍යාග හා සම්පූර්ණ දීමනා’ පසුපස හඹා යනවාද? (යාකොබ් 1:17) “බොරුවේ පියා” වන සාතන් කැමති අපි ද්‍රව්‍යමය වස්තු පසුපස හඹා යමින් ජීවිතය හා සතුට යන දෙකම නැති කරගන්නවා දකින්නයි. (යොහන් 8:44; ලූක් 12:15) ඊට සම්පූර්ණයෙන්ම වෙනස්ව, අපේ ශුභසිද්ධිය ගැන අව්‍යාජ සැලකිල්ලක් දක්වන යෙහෝවාගේ අවංක ආශාව, අපි සතුටින් ජීවත් වෙනවා දකින්නයි. (යෙසායා 48:17, 18) එසේනම්, අපි සෑමදාම අපේ ප්‍රේමනීය ස්වර්ගික පියාට සවන් දෙමු. නිතරම ඔහු ‘කෙරෙහි ප්‍රීති වෙමු.’ (ගීතාවලිය 37:4) සෑම දවසකම අපි එසේ ජීවත් වෙනවා නම්, යෙහෝවාගේ අමිල ත්‍යාගවලින් හා දුක ගෑවිලාවත් නැති බහුල ආශීර්වාදවලින් අපි පොහොසත් වන්නෙමු.

[පාදසටහන]

^ 10 ඡේ. 1993 මැයි 8 පිබිදෙව්! සඟරාවේ 16-19 දක්වා පිටු බලන්න.

ඔබට මතකද?

• උතුම්ම සතුට සොයාගත හැක්කේ කොතැනින්ද?

• යෙහෝවා ඔහුගේ සේවකයන්ට ලබා දෙන ත්‍යාග සමහරක් මොනවාද?

• දේවසේවය ත්‍යාගයක් ලෙස සැලකිය හැක්කේ මන්ද?

• තම දරුවන්ව හදාවඩා ගැනීමේදී දෙවිගේ ආශීර්වාද ලබාගැනීම සඳහා දෙමාපියන්ට කුමක් කළ හැකිද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[16වන පිටුවේ පින්තූරය]

දෙවිගේ ත්‍යාගයක් වන ඔහුගේ ලිඛිත වචනය අගය කරන බව ඔබ පෙන්වනවාද?

[17වන පිටුවේ පින්තූරය]

දැඩි අසීරුතා මැද ලෝරල් නිස්බට් දෙවිට ජ්වලිතව සේවය කළා

[18වන පිටුවේ පින්තූර]

තබීතා හා සමානව අද සිටින ක්‍රිස්තියානීන්ද ප්‍රේමය පෙන්වීම ගැන ප්‍රසිද්ධව සිටිනවා

[19වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානි වැඩිමහල්ලන් සෙසු ඇදහිලිවන්තයන් කෙරෙහි ප්‍රේමනීය සැලකිල්ලක් දක්වනවා