Skip to content

පටුනට යන්න

අපේ සහෝදරත්වය සැබෑවක් බව තහවුරු කරන සමුළු

අපේ සහෝදරත්වය සැබෑවක් බව තහවුරු කරන සමුළු

සම්පූර්ණවද, ස්ථිර විශ්වාසයෙන්ද සිටින්න

අපේ සහෝදරත්වය සැබෑවක් බව තහවුරු කරන සමුළු

පනස්වන වියේ පසු වන සහෝදර ජෝසෆ් එෆ්. රදෆඩ්, වසරක පමණ කාලයක් තිස්සේ අයුක්තිසහගත සිරදඬුවමක් විඳ තිබූ හෙයින් ඔහුගේ සෞඛ්‍ය තත්වය එතරම් යහපත්ව නොතිබුණි. එසේ වුවත්, ඔහු සෙසු ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ගේ ගමන්මලු ඔසවාගෙන යමින් හෝටල් කාමර තුළට යෑමට ඔවුන්ට උපකාර කළේ හද පිරි සතුටෙනි. ඔහුගේ මිතුරන් වූ බයිබල් ශිෂ්‍යයන් දෙදෙනෙක්ද තම නවාතැන් බලා යෑමට සිටි විශාල පිරිසට උදව් කළෝය. මධ්‍යම රාත්‍රිය ඉක්මවන තුරුත් කිරීමට බොහෝ දේ තිබූ අතර එම අවස්ථාවේ පැවති උද්‍යෝගයේ උණුසුම, සෑම කෙනෙකුවම නිදිවර්ජිත කරවීය. ඇත්තෙන්ම මෙම අවස්ථාව කුමක්ද කියා දැනගැනීමට යමෙකු තුළ කුතුහලයක් ඇති වන බව නිසැකයි.

මෙය සිදු වූයේ වර්ෂ 1919දීය. එවකට බයිබල් ශිෂ්‍යයන් ලෙස හැඳින්වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට යම් කාලයක් පුරා විඳි කුරිරු වධ හිංසාවලින් සහනයක් ලැබුණේ මේ වර්ෂයේදීය. නැවතත් ඔවුන්ගේ සහෝදරත්වයට නව ජීවයක් ලබා දීමට 1919 සැප්තැම්බර් 1වනදා සිට 8වනදා දක්වා අමෙරිකාවේ ඔහයෝ නගරයේ සීඩා පොයින්ට්හි සමුළුවක් පැවැත්වීමට කටයුතු සැලසුම් කළේය. සමුළුවේ අවසන් දිනයේදී, සාවධානව සිටි සමුළු ශ්‍රාවකයන් 7,000දෙනාව සහෝදර රදෆඩ් දිරිගැන්වූයේ මෙසේය. “ඔබ දෙවිගේ තේජාන්විත ආණ්ඩුව පිළිබඳ පණිවිඩය ජනයාට ප්‍රකාශ කිරීමට පත් කර සිටින රජවරුන්ගේ රජුගේද ස්වාමිවරුන්ගේ ස්වාමින්ගේද තානාපතීන්ය.”

යෙහෝවාගේ සෙනඟ විසින් සමුළු පැවැත්වීම අද ඊයේ ආරම්භ කළ දෙයක් නොව එය පුරාණ ඉශ්‍රායෙල් කාලය දක්වා දිව යන්නක්. (නික්මයාම 23:14-17; ලූක් 2:41-43) එවැනි එක්රැස්වීම් ඉතාමත් ප්‍රීතිජනක අවස්ථාවන් වූ අතර පැමිණ සිටි සියල්ලන්ටම දෙවිගේ වචනයෙහි තිබෙන කාරණා මෙනෙහි කිරීමට එම අවස්ථාවන් අත්වැලක් වුණි. එයාකාරයෙන්ම වත්මන් දින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සමුළු තුළදීත් මුල් තැන හිමි වන්නේ ආත්මික කාරණාවලටය. මෙම ප්‍රීතිමත් එක්රැස්වීම්වලදී සාක්ෂිකරුවන් නොබිඳෙන ක්‍රිස්තියානි සහෝදරත්වයකින් බැඳී සිටින බව අවංක නිරීක්ෂකයෙකුට දැකගත හැකියි.

සහභාගි වීමට දරන වෑයම්

සමුළු ආත්මික කාරණා ඉගෙනගැනීම මගින් ප්‍රබෝධයක් අද්දැකීමටත් දෙවිගේ වචනයෙන් උපදෙස් ලබාගැනීමටත් ලැබෙන මහඟු අවස්ථාවක් බව වත්මන් ක්‍රිස්තියානීහු වටහාගෙන සිටිති. “සම්පූර්ණවද, දෙවිගේ මුළු කැමැත්ත කෙරෙහි ස්ථිර විශ්වාසයෙන්ද” සිටීමට නම් මෙම විශාල රැස්වීම් තිබිය යුතු අත්‍යවශ්‍යම අංගයක් ලෙස ඔවුහු සලකති. (කොලොස්සි 4:12NW) සාක්ෂිකරුවන් මෙම එක්රැස්වීම් සඳහා තම සහයෝගය දක්වන බව පෙන්වන්නේ එයට සහභාගි වීමට වෑයම් දැරීමෙනි.

සමුළුවලට සහභාගි වීම සඳහා සමහරෙකුට ශක්තිමත් ඇදහිල්ලකින් කටයුතු කිරීමටත් කඳු වැනි බාධක ජයගැනීමටත් සිදුව තිබේ. ඕස්ට්‍රියාවේ වැඩිහිටි සාක්ෂිකාරියකගේ අද්දැකීම සලකා බලන්න. දියවැඩියා රෝගයෙන් පෙළුණ නිසා ඇයට දිනපතා ඉන්සියුලින් එන්නත් කරගැනීමට සිදු වුණත් තම රටේ පවත්වන ලද දිස්ත්‍රික් සමුළුවේ දින සියල්ලටම ඇය සහභාගි වූවාය. ඉන්දියාවේ අගහිඟකම් මැද ජීවත් වුණ සාමාජිකයන් විශාල පිරිසකගෙන් යුත් සාක්ෂිකාර පවුලකට සමුළුවට සහභාගි වීම සිහිනයක් මෙන් පෙනුණි. නමුත් පවුලේ එක් සාමාජිකාවක් එම සිහිනය සැබෑ කරවීය. “අපි සමුළුව අතපසු කළේ නැහැ. මම මගේ කරාබු දෙක විකුණලා මඟ වියදම සොයාගත්තා. කරාබු විකුණලා හරි, යන එක පාඩු නැහැ. මොකද එහිදී අපට ලැබෙන සහෝදර ආශ්‍රයෙන් සහ අද්දැකීම්වලින් අපේ ඇදහිල්ල ශක්තිමත් වෙනවා.”

පැපුවා නිව්ගිනියාවේ බව්තීස්ම නොලත් ප්‍රචාරකයන් කණ්ඩායමක් නගරයේ පැවති දිස්ත්‍රික් සමුළුවට සහභාගි වීමට තීරණය කළෝය. ගමේ වාහන කුලියට දෙන පුද්ගලයෙකුව මුණගැසුණු ඔවුන් සමුළුවට යෑම සඳහා කොතරම් මුදලක් අය කරනවාද කියා ඔහුගෙන් විමසීය. එම මුදල ඔවුන් බලාපොරොත්තු වූ මුදලට වඩා වැඩි වූ හෙයින් එම මුදල පියවීම සඳහා වාහන හිමියාගේ නිවසේ මුළුතැන්ගෙය අලුත්වැඩියා කර දීමේ වගකීම ඔවුහු භාරගත්හ. එමගින් ඔවුන්ට සමුළුවට සහභාගි වීමට හැකියාව ලැබුණු අතර සම්පූර්ණ වැඩසටහනින් ප්‍රයෝජන ගැනීමටද හැකි විය.

සමුළුවලට සහභාගි වීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට බොහෝ දුර යෑමට සිදු වුවද ඔවුහු එය හිසරදයක් ලෙස නොසලකති. වර්ෂ 1978දී, ප්‍රංශයේ ලීල් නුවර පැවති සමුළුවට සහභාගි වීම සඳහා එක් තරුණ සාක්ෂිකරුවෙක් පෝලන්තයේ සිට දින හයක් පුරා කිලෝමීටර 1,200ක් පාපැදියකින් ගමන්ගත්තේය. වර්ෂ 1997දී, මොංගෝලියාවේ විවාහක යුවළකට රුසියාවේ ඊර්කුට්ස්ක් නගරයේ පැවති ක්‍රිස්තියානි එක්රැස්වීමකට සහභාගි වීම සඳහා කිලෝමීටර 1,200ක දුරක් ගෙවා යෑමට සිදු විය.

සැබෑ සහෝදරත්වයේ සාක්ෂි

සාක්ෂිකරුවන් ඔවුන්ගේ සමුළුවලදී විදහාපෙන්වන එක්සත්කම සහ සහෝදරත්වය සමුළුවලට පැමිණෙන ඕනෑම අවංක අයෙකුට දැකගත හැක. ශ්‍රාවකයන් සියලුදෙනා අතර තිබූ බැඳීමත් පළමු වතාවට මුණගැසෙන අයව පිළිගැනීමේදී පෙන්වූ උණුසුම් බවත් දුටු බොහෝදෙනෙක් පුදුමයට පත් වූහ.

මෑතකදී ඕස්ට්‍රේලියාවේ පවත්වන ලද ජාත්‍යන්තර සමුළුවකට සමුළු නියෝජිතයන් රැගෙන ආ මාර්ග උපදේශකයාට ඔවුන් සමඟ සිටීමට නියමිතව තිබුණේ සතියක කාලයක් පමණි. නමුත් ඔහු එම පිරිස සමඟ අමතර දින කිහිපයක් රැඳී සිටීමට සතුටු විය. එවිට ඔවුන් අතර තිබූ ප්‍රේමය සහ එක්සත්කමත් ජීවිතේ පළමු වතාවට මුණගැසුණ අය සමඟ පවා ඔවුන් සමාදානයෙන් කටයුතු කළ ආකාරයත් දුටු ඔහු මවිත විය. සමුගන්න මොහොත පැමිණි විට තම ස්තුතිය පිරිනැමීමේ වදන් පෙළගස්වන විටදී ඔහුට කීමට හැකි වූයේ, “සහෝදර සහෝදරයෙනි” යන වදන් පෙළ පමණි. ඉන් එහාට කිසිවක් කීමට නොහැකිව ඔහු කඳුළු සලන්නට පටන්ගත්තේ හැඟීම් සිර කරගැනීමට නොහැකිවයි.

වර්ෂ 1997දී ශ්‍රී ලංකාවේ පළමු වතාවට සුවිශාල ක්‍රීඩාංගණයක භාෂා තුනකින් සමුළුවක් පැවැත්වීය. මුළු වැඩසටහනම ඉංග්‍රීසි, සිංහල, දමිළ යන භාෂා තුනෙන්ම එකම අවස්ථාවේදී ඉදිරිපත් කෙරුණි. මුළු ලොවම ජාතිවාදයේ ගිනිදැල්වලින් දැවෙන විටකදී මෙලෙස එකමුතුව සිටින ජන කණ්ඩායමක් කාගෙ කාගෙත් අවධානයට ලක් නොවී තිබේද? කොහෙත්ම නැත. “මේ සමුළු පවත්වන්නේ සිංහල අයද දෙමළ අයද නැත්නම් ඉංග්‍රීසි අයද කියා” එක් පොලිස් නිලධාරියෙකු විසින් සහෝදරයෙකුගෙන් විමසනු ලැබීම මෙයට කදිම සාක්ෂියකි. “අපි හැමෝම එකතු වෙලා තමයි මේ සමුළුව පවත්වන්නේ” කියා සහෝදරයා පිළිතුරු දුන් විට පොලිස් නිලධාරියාට එය අදහාගත නොහැකි විය. භාෂා තුනටම අයත්වූවන් අවසන් යාච්ඤාවට හවුල් වී එක හඬින් “ආමෙන්” යැයි කී විට එම හඬ ක්‍රීඩාංගණය පුරා රැව් පිලි රැව් දුණි. සියලු සමුළු ශ්‍රාවකයන් අත්පොළසන් දුන්නේ කඳුළු පිරි දෑසින්ය. ඇත්තෙන්ම සමුළු තුළදී අපේ සහෝදරත්වය සැබෑවක් බව ඔප්පු වනවා කියා සිතෙන්නේ නැද්ද?—ගීතාවලිය 133:1. *

[පාදසටහන]

^ 14 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර ඇති දේවරාජ්‍යය ප්‍රචාරය කරන යෙහෝවාගේ සාක්ෂිකරුවෝ (සිංහලෙන් නොමැත) යන ප්‍රකාශනයෙහි පිටු 66-77 දක්වාත් 254-82 දක්වාත් බලන්න.