Skip to content

පටුනට යන්න

‘ඇද නැති මාර්ගයක’ ගමන් කරන්න

‘ඇද නැති මාර්ගයක’ ගමන් කරන්න

‘ඇද නැති මාර්ගයක’ ගමන් කරන්න

‘ධර්මිෂ්ඨයන්ට යහපත වන්නේය. මක්නිසාද ඔව්හු තමුන්ගේ ක්‍රියාවල ඵල භුක්ති විඳින්නෝය’ කියා ප්‍රොපේත යෙසායා ප්‍රකාශ කළේය. ඔහු තවදුරටත් පැවසුවේ “ධර්මිෂ්ඨයාගේ මාර්ගය ඇදනැති මාර්ගයක්ය” කියායි. (යෙසායා 3:10; 26:7) අපගේ ක්‍රියාකලාපයන් තුළින් යහපත් ප්‍රතිඵල නෙළාගැනීමට නම් අප දෙවිගේ ඇස් ඉදිරියෙහි නිවැරදි දේ කළ යුතුයි.

අප ධර්මිෂ්ඨ මාර්ගයක ගමන් කරන්නේ කෙසේද? එසේ ගමන් කිරීමේදී අපට බලාපොරොත්තු විය හැකි යහපත් දේවල් කවරේද? එමෙන්ම අප දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව කටයුතු කරන විට අන් අය ඉන් ප්‍රයෝජන ලබන්නේ කෙසේද? ධර්මිෂ්ඨකම සහ දුෂ්ටකම අතර ඇති වෙනස ගෙනහැර දක්වමින් පුරාණ ඉශ්‍රායෙලයේ සාලමොන් රජ හිතෝපදේශ පොතේ 10වන පරිච්ඡේදයෙන් මෙම ප්‍රශ්නවලට පිළිතුරු සපයයි. එසේ වෙනස ගෙනහැර දක්වද්දී ඔහු ‘ධර්මිෂ්ඨයා’ යන යෙදුම දහතුන් වතාවක් භාවිත කර ඇත. මෙයින් නව වතාවක් 15සිට 32ක දක්වා ඇති ඡේද තුළ දක්නට ලැබේ. හිතෝපදේශ 10වන පරිච්ඡේදයේ 15 සිට 32 දක්වා ඡේද සලකා බැලීමෙන් දිරිගැන්වීමක් ලැබෙන බව නොඅනුමානයි. *

හික්මවීම අල්ලාගන්න

ධර්මිෂ්ඨකමේ ඇති වැදගත්කම සාලමොන් හුවා දක්වන්නේ මෙසේයි. “ධනවතාගේ සම්පත ඔහුගේ බලකොටුවය; දුප්පතුන්ගේ විනාශය ඔවුන්ගේ දිළිඳුකමය. ධර්මිෂ්ඨයාගේ උත්සාහලාභය ජීවනය සඳහාය; දුෂ්ටයාගේ ලාභය ඔහු පාපය කරා පමුණුවයි.”හිතෝපදේශ 10:15, 16.

බලකොටුවලින් වට වුණ නුවරක වසන වැසියන්ට යම් තාක් දුරකට ආරක්ෂාවක් ලැබෙන්නා සේම ජීවිතයේ මුහුණ දීමට සිදු වන යම් තත්වයන්වලදී මුදලද ආරක්ෂාවක් සපයයි. ජීවිතයේ යම් අනපේක්ෂිත තත්වයකට මුහුණ දෙන විට දුගීකමෙන් පෙළෙන කෙනෙකු අන්ත අසරණභාවයට පත් විය හැකියි. (දේශනාකාරයා 7:12) ප්‍රඥාවන්ත රජ වත්පොහොසත්කමේත් දුගීකමේත් ඇති අන්තරාවන් ගැන යම් ඉඟියන් දෙයි. ධනවතෙක් ඔහුගේ වටිනා දේවල් ‘උස් වූ පවුරක්’ කියා සිතමින් තම විශ්වාසය වත්පොහොසත්කම් මත තැබිය හැකියි. (හිතෝපදේශ 18:11) ඒ වගේම දුගියෙක් තම නැති බැරිකම් නිසා අනාගතය ගැන තමාට කිසියම් බලාපොරොත්තුවක් තබාගත නොහැකියි කියා වැරදි අවබෝධයකින් කල් යැවිය හැක. මෙම තත්වයන් දෙකේදීම කෙනෙකු දෙවි සමඟ හොඳ නමක් ඇති කරගැනීමට අසමත් වේ.

නමුත් ධර්මිෂ්ඨ පුද්ගලයෙකුට ද්‍රව්‍යමය දේවල් වැඩියෙන් හෝ සුළුවෙන් තිබුණත් ඔහු ඇති දෙයින් සෑහීමට පත් වේ. එමනිසා ඔහුගේ අවංක ක්‍රියාකලාපයන් මඟ පාදන්නේ ජීවනයටයි. ඔහුගේ අතමිට සරු වුණත්, හිඟ වුණත් දෙවි සමඟ අනුමැතිය ලත් තත්වයක් ඇති කරගැනීමට එය තමාට බාධාවක් වීමට ඔහු ඉඩ නොදෙයි. ධනවත් වුණත්, දුප්පත් වුණත් ධර්මිෂ්ඨ මිනිසෙකුගේ ජීවන රටාව ඔහුට වර්තමාන ජීවිතයේදී සතුටත් අනාගතයේදී සදාකාල ජීවනය ගැන බලාපොරොත්තුවකුත් ලබා දෙයි. (යෝබ් 42:10-13) දුෂ්ටයෙකුට වස්තුව තිබුණත් ඉන් ප්‍රයෝජනයක් නැත. මිල මුදලින් ගත හැකි යහපත් ප්‍රයෝජන අගය කරන්නේවත් දෙවිගේ කැමැත්ත අනුව ජීවත් වන්නේවත් නැතිව ඔහු තම ධනය පව්කාර ජීවිතයක් ගත කිරීමට යොදවයි.

“ශික්ෂාව පිළිපදින්නා ජීවන මාර්ගයෙහිය; එහෙත් අවවාදය එපාකරන්නා මුළාවයන්නේය” කියා ඉශ්‍රායෙල් රජ තවදුරටත් පවසයි. (හිතෝපදේශ 10:17) එක් විශාරදයෙකු පවසන්නේ මෙම පදය දෙයාකාරයකට තේරුම්ගත හැකි බවයි. එක් ආකාරයක් නම්, කෙනෙකු හික්මවීම පිළි නොගෙන ජීවනයට යන මාර්ගය හැර යන අතර තවත් කෙනෙකු හික්මවීම පිළිගෙන ජීවනයට මඟ පාදන ධර්මිෂ්ඨකම ලුහුබැඳීමය. එම පදය තේරුම්ගත හැකි අනෙක් ආකාරය නම්, “හික්මවීම පිළිගන්න කෙනා ජීවනයට යන මාර්ගයෙහි යෑමට අන් අයටද ආදර්ශයක් සපයයි. නමුත් තරවටුව එපා කරන අය අන් අයව මුළා කරයි.” (හිතෝපදේශ 10:17, New International version) මෙම අර්ථකථනයන් දෙකම අප හික්මවීම පිළිගැනීමත් තරවටුව අත් නොහැරීමත් කොතරම් වැදගත්ද යන්න පැහැදිලි කරයි.

වෛරය වෙනුවට ප්‍රේමය

එකම අදහස ගෙනහැර දක්වන කාරණා දෙකකින් යුත් හිතෝපදේශයක් සාලමොන් ඊළඟට පවසයි. එහි දෙවෙනි කාරණයෙන් පළමුවන කාරණය තහවුරු කරයි. “වෛරය සඟවන්නා බොරුකාර තොල් ඇති කෙනෙක්ය.” යම් පුද්ගලයෙකු තවත් කෙනෙකු ගැන සිතේ වෛරයක් තබාගෙන එය උඩින් නොපෙන්වා ඔහුත් සමඟ චාටු බස් දෙඩුවත් ඇත්තෙන්ම මුළා වන්නේ ඔහුමයි. ඔහුට ඇත්තේ, “බොරුකාර තොල්.” තවදුරටත් ප්‍රඥාවන්ත රජ පවසන්නේ, “කේලමක් පතළකරන්නාද අඥානයෙක්” කියාය. (හිතෝපදේශ 10:18) වෛරය අත්හරිනවා වෙනුවට සමහරෙකු වෛර කරන පුද්ගලයා ගැන බොරු චෝදනා හෝ නින්දාසහගත කතා පතුරුවාලන්නට පෙලඹේ. නමුත් මෙවැනි දෙයක් ඇත්තෙන්ම අනුවණකමකි. මන්ද අපහාසාත්මක වාර්තාවක් මගින් අමනාපයක් තිබෙන පුද්ගලයාව වෙනස් කරන්න යන්නේ නැත. එසේම, එම අපහාසාත්මක කතාවට සාවධානව ඇහුම්කන් දෙන කෙනෙකු එහි ඇති බරපතළකම තේරුම්ගන්න අතර අවසානයේදී එම කතාව පැවසූ පුද්ගලයා කෙරෙහි ඔහු තුළ ඇති වන්නේ කලකිරීමකි. මෙයින් එක් දෙයක් ගම්‍ය වේ. එනම්, නරක ආරංචියක් පතුරුවන්න යෑමෙන් සිදු වන්නේ අනුන්ට කැපූ වළේ තමන්ම වැටීමය.

ධර්මිෂ්ඨ ලෙස ජීවත් වන විට වංචාසහගත හෝ අපහාසාත්මක දේවල් පවසන්නේ නැත. දෙවි ඉශ්‍රායෙල් ජාතියට පැවසුවේ, “නුඹේ සිතින් සහෝදරයාට වෛරනොවෙන්න” කියායි. (ලෙවී කථාව 19:17) එමෙන්ම යේසුස් තම ශ්‍රාවකයන්ට පැවසුවේ “නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, නුඹලාට පීඩාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න; මෙසේ නුඹලා ස්වර්ගයෙහි සිටින නුඹලාගේ [පියාණන්ගේ] පුත්‍රයෝ වන්නෝය” කියායි. (මතෙව් 5:44, 45) ඇත්තෙන්ම අපේ හදවත් වෛරයේ ගින්නෙන් දැවි දැවී තිබෙන්න හරිනවා වෙනුවට ප්‍රේමය නමැති සිසිල් දිය දහරාවකින් පුරවාගැනීම කොතරම් යහපත්ද!

‘තොල් ආණ්ඩු කරගන්න’

දිව පාලනය කරගැනීමේ ඇති වැදගත්කම හුවා දක්වමින් ප්‍රඥාවන්ත රජතෙම මෙසේ පවසයි. “වචන බහුලවූ කල වරද හිඟ නැත; එහෙත් තමාගේ තොල් ආණ්ඩුකරගන්නා නුවණ ඇති කෙනෙක්ය.”හිතෝපදේශ 10:19.

“අඥානයා දිගින් දිගට කතා කරයි.” (දේශනාකාරයා 10:14, නව අනුවාදය) ඔහුගේ මුඛය “මෝඩකම වගුරුවයි.” (හිතෝපදේශ 15:2) අනවශ්‍ය ලෙස දොඩමලු වන සෑම කෙනෙකුම මෝඩයෙකු කියා මින් අදහස් නොකරයි. නමුත් යම් කෙනෙකු බොහෝ සෙයින් කතා කරයි නම් ඔහු හෝ ඇය මාර්ගයෙන් විනාශකාරි ඕපාදූප හෝ කටකතා පැතිරීමට වැඩි ඉඩ කඩක් තිබේ. සිතා බැලීමකින් තොරව මෝඩයෙකු ලෙස කතා කිරීම නිසා හොඳ නම කෙලෙසී යෑම, සිත් තැවුලට පත්වීම, සබඳතා බිඳ වැටීම, යම් විටක ශාරීරික අඩන්තේට්ටම්වලට ලක්වීම යනාදි දේවලට පවා මුහුණ දීමට සිදු විය හැකියි. “කතාව වැඩි තැන වරදට ඉඩ ඇත.” (හිතෝපදේශ 10:19, න. අ.) සෑම දෙයකටම ඇඟිලි ගසන කෙනෙකු සමඟ සිටීම ඇත්තෙන්ම හිසරදයක්. එමනිසා අපි එම හිසරදයට පංගුකාරයන් නොවෙමු.

බොරු කතාවලට සම්බන්ධ නොවී සිටිනවාට අමතරව යම් කෙනෙකුට තම තොල් ආණ්ඩු කිරීම තුළින් නැණවත්ව කටයුතු කිරීමට හැකියාවක් ලැබේ. ඔහු හෝ ඇය කතා කිරීමට පෙර සිතා බලයි. යෙහෝවාගේ ප්‍රමිතිවලට ඇති ප්‍රේමයත් සෙසු සාමාජිකයන්ට දක්වන ලෙන්ගතුකමත් නිසා ඔහුගේ වචන අන් අයට බලපාන්නේ කෙසේද කියා සැලකිලිමත් වෙයි. ඔහු හෝ ඇය පවසන දෑ ප්‍රේමනීයයි. කාරුණිකයි. එමෙන්ම තමන් පවසන දේ අන් අයට ප්‍රිය උපදවයිද උපකාරයක් වෙයිද කියා ඔහු නිතර සිතා බලයි. ඔහුගේ වචන “රිදී කර්මාන්තවල තිබෙන රන් ජම්බු” මෙන් උපායශීලියි, උදාරයි.—හිතෝපදේශ 25:11.

‘බොහෝදෙනෙකුව පෝෂණය කරන්න’

“ධර්මිෂ්ඨයාගේ දිව අනර්ඝ රිදී මෙන්ය; දුෂ්ටයන්ගේ සිත අගය නැත” කියා සාලමොන් පවසයි. (හිතෝපදේශ 10:20) ධර්මිෂ්ඨයෙකු පවසන දේ හරියට පිරිපහදු කළ රිදී මෙන් පවිත්‍රයි; අනර්ඝයි. මෙය ඇත්තෙන්ම සැබෑවක් වන්නේ යෙහෝවාගේ සේවකයන් දෙවිගේ වචනයෙහි ඇති ජීවිත ගළවන දැනුම අන් අය සමඟ බෙදාගන්නා විටයි. ඔවුන්ගේ උතුම් උපදේශකයා වන යෙහෝවා දෙවි ඔවුන්ට උගන්වා ‘විඩා වූ අයට වචනවලින් පිහිට වෙන්ට ඔවුන්ට උගතුන්ගේ දිවක් දී’ තිබේ. (යෙසායා 30:20; 50:4) බයිබල් සත්‍යය ගැන කතා කරන විට ඔවුන්ගේ දිව ඇත්තෙන්ම අනර්ඝයි. දුෂ්ටයෙකුගේ හිතේ ඇති දුෂ්ට උපායවලට වඩා අවංක හදවත් සනසාලන ඔවුන්ගේ වදන් කොතරම් අගනේද! එමනිසා අපි දේවරාජ්‍යය ගැනත් දෙවිගේ විස්මිත ක්‍රියා ගැනත් කතා කිරීමට උත්සුක වෙමු.

ධර්මිෂ්ඨ පුද්ගලයෙකුව ආශ්‍රය කරන අයට පවා ආශීර්වාද ලැබේ. “ධර්මිෂ්ඨයාගේ තොල් බොහෝදෙන පෝෂණයකෙරෙති; එහෙත් මෝඩයෝ තේරුම් මදිකම නිසා මියයති.”හිතෝපදේශ 10:21.

‘ධර්මිෂ්ඨයාගේ තොල් බොහෝදෙනෙකුව පෝෂණය’ කරන්නේ කෙසේද? මෙහි භාවිත කර ඇති හෙබ්‍රෙව් වචනයෙන් ගෙනහැර දක්වන අදහස නම් “එඬේරකම් කිරීම” යන්නයි. (හිතෝපදේශ 10:21) එනම් පුරාණ කාලයේ එඬේරෙකු තම බැටළුවන්ට මඟ පෙන්වමින් උන්ව පෝෂණය කළ ආකාරය හා සමාන අදහසක් ඉන් අඟවයි. (1 සාමුවෙල් 16:11; ගීතාවලිය 23:1-3; සාලමොන්ගේ ගීතිකාව 1:7) ධර්මිෂ්ඨ පුද්ගලයෙකු අන් අයටද ධර්මිෂ්ඨ මාර්ගයක යෑමට මඟ පෙන්වන අතර ඔහුට ඇහුම්කන් දෙන අයව පෝෂණය කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් ප්‍රීතිමත් සහ තෘප්තිමත් ජීවිතයක් ගත කරන අතරම සදාතන ජීවිතයකටද උරුමකම් කියයි.

දුෂ්ටයෙකු ගැන කුමක් කිව හැකිද? දුෂ්ට හෘදය නිසා ඔහුගේ කල්ක්‍රියාවේ ප්‍රතිඵල දැකීමට නොහැකි වන තරමට ඔහු අන්ධව සිටියි. එවන් පුද්ගලයෙකු කුමන ප්‍රතිඵලයන් අද්දැක්කත් තමන්ට අවශ්‍ය දේ කෙසේ හෝ මුදුන් පමුණුවාගනී. එමනිසා පසුකලෙක ඔහුට ඔහුගේ ක්‍රියා ගැන ශෝකවීමට සිදු වේ. ධර්මිෂ්ඨ අය අන් අයට ජීවත් වීමට උපකාර කරයි. එහෙත් දුෂ්ට සිතක් ඇති අයට තමන්ගේ පණ රැකගැනීමටවත් නොහැකි වේ.

නින්දිත හැසිරීම්වලින් වළකින්න

යම් පුද්ගලයෙකුගේ රුචි අරුචිකම් මගින් ඔහුගේ හෝ ඇගේ චරිතය පිළිබඳ යම් අවබෝධයක් ලබාගත හැක. මෙම කාරණය ගැන ඉශ්‍රායෙල් රජ මෙසේ පවසයි. “අනුවණයාගේ විනෝදය නපුරු ක්‍රියා කිරීම ය [නින්දිත හැසිරීම්වල නිරත වීමය, NW]; නුවණැත්තාගේ ප්‍රීතිය ප්‍රඥාව ලැබීම ය.”—හිතෝපදේශ 10:23, න. අ.

සමහරෙකුට නින්දිත හැසිරීම්වල නිරත වීම සෙල්ලමක් වැනිය. එහි නිරත වන්නේ හුදු “විනෝදය” තකායි. සෑම කෙනෙකුම දෙවිට ගණන් දිය යුතුය යන්න එවැනි පුද්ගලයෝ නොසලකා හරින අතර ඔවුන්ගේ ජීවිතයේ කරන වැරදි පිළිගැනීමටද මැළි වෙති. (රෝම 14:12) දෙවි ඔවුන් කරන වැරදි දකින්නේ නැහැයි කියා සිතන තරමටම ඔවුන් තම සිතුවිලිවලින් මුළාව ගොස් ඇත. “දෙවිකෙනෙක් නැතැයි” කියා ඔවුන් තම ක්‍රියා තුළින් පෙන්වයි. (ගීතාවලිය 14:1-3; යෙසායා 29:15, 16) එය මොනතරම් අනුවණකමක්ද!

ප්‍රඥාවන්ත පුද්ගලයෙකු නින්දිත හැසිරීම සෙල්ලමක් කියා නොසිතයි. එවන් හැසිරීමක් දෙවි පිළිකුල් කරන බවත්, දෙවිත් සමඟ ඇති සබඳතාවය බිඳහෙළීමට තරම් එය හේතුවක් විය හැකි බවත් ඔහු දනී. නින්දිත හැසිරීම ඇත්තෙන්ම අනුවණ ක්‍රියාවකි. මන්ද, එයින් පුද්ගලයන්ගේ ආත්ම ගෞරවය විනාශ වන අතර විවාහයන් කඩාකප්පල් වේ. එපමණක්ද නොව, එය ශරීරයත් මනසත් තුවාල කරයි. ආත්මික දේවල් කෙරෙහි තිබෙන අගය නැති කර දමයි. එමනිසා, අපි නින්දිත හැසිරීම් හෙළාදකිමින් ප්‍රඥාගෝචර ක්‍රියාවලට ප්‍රිය සහෝදරියකට මෙන් ඇලුම් කරමු.—හිතෝපදේශ 7:5.

නියම අත්තිවාරමක් මත ගොඩනඟන්න

නියම අඩිතාලමක් මත කෙනෙකු ජීවිතය ගොඩනැඟීමේ ඇති වටිනාකම සාලමොන් මෙසේ ගෙනහැර දක්වයි. “දුෂ්ටයා භයවෙන දේම ඔහු පිටට පැමිණෙයි; ධර්මිෂ්ඨයා ආශාවන දේ ඔහුට දෙනුලබන්නේය. සුළිසුළඟ ගසන කල්හි දුෂ්ටයා නැතිවන්නේය; එහෙත් ධර්මිෂ්ඨයා සදහටම අත්තිවාරමක්ය.”හිතෝපදේශ 10:24, 25.

දුෂ්ටයෙකු අන් අයට බොහෝ බිය උපදවන දේ කරයි. නමුත් අන්තිමේදී අනුන්ට දුන් භීතිය තමන් මතටම කඩා වැටේ. ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති මත තම ජීවිතය ගොඩනඟා නැති කෙනෙකු හරියට දරුණු සුළිසුළඟකට කඩා වැටෙන ශක්තිමත් නැති ගොඩනැඟිල්ලක් වැනිය. ඔහු පීඩනයට හසු වෙයි. එහෙත් ධර්මිෂ්ඨයා යේසුස් පැවසූ දෙයට එකඟව ක්‍රියා කරන පුද්ගලයා හා සමානයි. “ඔහු පර්වතය පිට තමාගේ ගෙය සාදාගත් නුවණ ඇති මනුෂ්‍යයෙකුට සමානකරනු ලබන්නේය. වැසි වැස, ජලය ගලා, හුළඟ හමා, ඒ ගෙට ගැසුවේය; එය පර්වතය පිට පිහිටා තිබුණු බැවින් නොවැටුණේය.” (මතෙව් 7:24, 25) එවැනි පුද්ගලයෙකු ස්ථිරයි. ඔහුගේ සිතුවිලි සහ ක්‍රියා දෙවිගේ ප්‍රතිපත්ති මත දැඩිව පිහිටා තිබේ.

දුෂ්ටයා සහ ධර්මිෂ්ඨයා අතර ඇති වෙනස තවදුරටත් දැක්වීමට පෙර ප්‍රඥාවන්ත රජුගෙන් වැදගත්කමින් යුත් සුළු අවවාදයක්. ‘අලසයා දත්වලට විනාකිරිද ඇස්වලට දුමද මෙන් වනු ඇත.’ (හිතෝපදේශ 10:26, න. අ.) විනාකිරි දත්වල යම් හිරිගතියක් ඇති කරයි. එහි ඇති ඇසිටික් අම්ලය මුඛය තුළ ඇඹුල් රසයක් ඇති කරන අතර එය කෙනෙකුගේ දත්වලට සංවේදී විය හැකියි. දුම ඇස්වලට දැවිල්ලක් ඇති කරයි. කවුරු නමුත් අලසයෙකුගෙන් වැඩ ගැනීම හෝ ඔහුව නියෝජිතයෙකු ලෙස යොදාගැනීම ඇත්තෙන්ම අමනාපකම් ඇතිවීමටත් පාඩු සිදුවීමටත් හේතුවක් වෙයි.

‘යෙහෝවාගේ මාර්ගය අවංක අයට බලකොටුවක්ය’

‘යෙහෝවා කෙරෙහි භයවීමෙන් දවස් වැඩි වෙයි. එහෙත් දුෂ්ටයන්ගේ අවුරුදු හීන වන්නේය. ධර්මිෂ්ඨයන්ගේ ප්‍රාර්ථනාව ප්‍රීතියය; එහෙත් දුෂ්ටයන්ගේ බලාපොරොත්තුව සුන් වන්නේය’ කියා ඉශ්‍රායෙලයේ රජ තවදුරටත් පවසයි.—හිතෝපදේශ 10:27, 28.

ධර්මිෂ්ඨයා තුළ දේවභයක් තිබෙන නිසා ඔහු තම සිතුවිලි, කතා බහ සහ ක්‍රියා දෙවිට ප්‍රසන්න ආකාරයට සකස් කරගන්න උත්සාහ කරයි. එමනිසා දෙවි ඔහු ගැන සලකන අතර ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රාර්ථනා ඉටු කර දෙයි. නමුත් දුෂ්ටයා ගත කරන්නේ අභක්තික ජීවිතයකි. සමහර අවස්ථාවලදී ඔහුගේ ප්‍රාර්ථනා ඉටු වෙනවා සේ පෙනිය හැක. නමුත් එය තාවකාලිකය. මන්ද ඔහු ගත කරන දුෂ්ට ජීවිතය නිසා ඇති වන අහිතකර බලපෑම් හෝ ලෙඩ දුක් නිසාවෙන් ඔහුගේ ජීවිතයෙහි දවස් කෙටි වෙයි. මරණ මංචකයේදී ඔහුගේ සියලු ප්‍රාර්ථනා සුන් වී යයි.—හිතෝපදේශ 11:7.

‘යෙහෝවාගේ මාර්ගය අවංක අයට බලකොටුවක්ය.’ නමුත් ‘අයුතුකම් කරන්නන්ට විනාශයක්ව තිබේ’ කියා සාලමොන් පවසයි. (හිතෝපදේශ 10:29) මෙහිදී යෙහෝවාගේ මාර්ගය ලෙස හඳුන්වා තිබෙන්නේ අප ගමන් කළ යුතු ජීවනය සඳහා යන මාර්ගය නොව දෙවි මනුෂ්‍යයන් සමඟ කටයුතු කරන ආකාරයයි. ‘ඔහු පර්වතයය, ඔහුගේ ක්‍රියාව සම්පූර්ණය; මක්නිසාද ඔහුගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය’ කියා මෝසෙස් පැවසුවේය. (ද්විතීය කතාව 32:4) දෙවිගේ ධර්මිෂ්ඨ ක්‍රියා තුළින් ධර්මිෂ්ඨයාට ආරක්ෂාවද දුෂ්ටයාට විනාශයද අත් වෙයි.

“ධර්මිෂ්ඨයා කිසිකලෙක නොසෙලවන්නේය; එහෙත් දුෂ්ටයන්ට දේශයෙහි වාසයක් නොලැබේ. ධර්මිෂ්ඨයාගේ මුඛය ප්‍රඥාව නිකුත්කරයි; එහෙත් ප්‍රයෝගකාර දිව සිඳදමනු ලැබේ. ධර්මිෂ්ඨයාගේ තොල් ප්‍රසන්න දේ දනියි; එහෙත් දුෂ්ටයාගේ මුඛය ප්‍රයෝග කතාකරයි.” යෙහෝවා තම සෙනඟට දෙනු ලබන ආරක්ෂාව මොනතරම්ද!—හිතෝපදේශ 10:30-32.

ධර්මිෂ්ඨයා ඇද නැති මාර්ගයක ගමන් කරන නිසාවෙන් ඔහු හොඳින් තම කටයුතු කරගන්නා අතර බොහෝ ආශීර්වාද භුක්ති විඳියි. ඇත්තෙන්ම ‘යෙහෝවාගේ ආශීර්වාදය පොහොසත්කම ලබා දෙන්නේය, ඔහු ඊට දුක එකතු නොකරන්නේය.’ (හිතෝපදේශ 10:22) එමනිසා අපි සෑමවිටම දේවප්‍රතිපත්තිවලට අනුව කටයුතු කිරීමට අදිටන් කරගනිමු. ඒ වගේම අපි අපගේ කතා බහ ගැනත් පරෙස්සම් වෙමු. අපි අපේ දිව අන් අයට දෙවිගේ වචනයේ ඇති ජීවිත ගළවන සත්‍යය දීමටත් ධර්මිෂ්ඨ මාර්ගයේ ගමන් කිරීමට උපකාර කිරීමටත් පාවිච්චි කරමු.

[පාදසටහන]

^ 3 ඡේ. හිතෝපදේශ 10:1-14 දක්වා ඡේද පිළිබඳ සවිස්තර පැහැදිලි කිරීමක් 2001 ජූලි 15 මුරටැඹ කලාපයේ 24-7 දක්වා පිටුවල පළ විය.

[26වන පිටුවේ පින්තූරය]

දිව “අනර්ඝ රීදි” මෙන් විය හැක